Colombo Telegraph

ජීවත් වීමේ බලපත්‍රය අහිමි විදෙස් ගත ශ්‍රමිකයන් හා වාහන බලපත්‍රය ඉල්ලන ලාංකික ශ්‍රමිකයන්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ශ්‍රී ලාංකා ආර්ථිකයේ වැඩියෙන්ම විදේශ විනිමය නිෂ්පාදනය කරන්නා වූ ක්ෂේත්‍රයන් තුන වන්නේ විදේශ ගත ශ්‍රමිකයන්, ඇගළුම් කර්මාන්තය හා වැවිලි ක්ෂේත්‍රයයි. ඒ අතුරුන් වැඩියෙන්ම විදේශ විනිමය ගෙන එන්නේ විදේශ ගත ශ්‍රමිකයන් ය. 2014 වර්ෂයේ සංඛ්‍යාලේඛනයන්ට අනුව එලෙස රැකියා සදහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 300,413ක් වන අතර ඔවුන් උපයා මෙරටට එවා ඇති මුළු මුදල ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 6,407කි. ඉන් ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් මිලියන 3,562ක් මැදපෙරදිග රටවල සේවය කරන්නන්ගෙන් වන අතර එය මුළු විදේශ ශ්‍රමික ඉපැයීම් වලින් 55.6%කි.

ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයන් උපයන විනිමයෙන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල සේවයේ යෙදී සිටින ශ්‍රමික කාන්තාවන් විසින් උපයන විදේශ විනිමය යැයි කීවොත් වඩා නිවැරදිය. විදේශ ඉපයීම් වලින් දෙවන හා තෙවන ස්ථානයන් ගන්නා ඇගලුම් ක්ෂේත්‍රයේ හා වතු ක්ෂේත්‍රයේ ඉපයීම් වලට ද වැඩි සම්මාදමක් ඇත්තේ කාන්තාවන් ය. ඒ අනුව විදේශ විනිමය ඉපයීමේ ලා වැඩි බරක් දරන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන් වන අතර මෙරට ආර්ථිකය කාන්තාවන් මත පදනම් වූවක් බව නිරීක්ෂණය කළ හැකිය.

ශ්‍රී ලංකා ආර්ථිකය විදේශ ගත ශ්‍රමිකයන්ගේ ඉපයීම් මත තීරණයවීම ආර්ම්භවූයේ 1978 දී වෙළෙද පළ ආර්ථිකයකට ප්‍රවේශවීමත් සමගය. ආරම්භයේ දී එලෙස ශ්‍රමිකයන් විදේශ ගත වීම බහුල ලෙස සිදුවූයේ කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස මැදපෙරදිග රටවල් කරා ඇදී යෑමෙනි. එහෙත් ඒ තත්ත්වය දැන් ක්‍රමිකව වෙනස් වෙමින් පවතී. මැදපෙරදිගට ගෘහ සේවිකාවන් යැවීමේ තත්ත්වය වෙනස් වී ලොව වෙනත් රටවලට පුහුණු හා නුපුහුණු පිරිමි ශ්‍රමිකයන් යැවීම වැඩිවෙමින් තිබේ. ඒ අනුව 1996 දී මුළු විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් පිරිමින්ගේ ප්‍රමාණය 26.52%ක් වූ අතර 2014 වර්ෂය වන විට එය 63.22% දක්වා ඉහළ නැග ඇත.

විදේශ ගත ශ්‍රමිකයන්ගේ ඉපයීම් ප්‍රමාණය ආර්ථිකය තුළ ඉහළ යෑමත් සමග ඝෘජු විදේශ ආයෝජනයන්ට වඩා එම ඉපයීම් හය හත් ගුණයකින් වැඩි විය. මෙම අගය දකුණු ආසියාවේ අනෙක් රවලට වඩා ඉහළ අගයක් ගත් අතර සමස්ත අපනයන ආදායමෙන් 61.58% වුණි. කෙසේ හෝ විදේශ ගත ශ්‍රමිකයන්ගේ ඉපයීම් ලංකාවේ ගෙවුම් ශේෂ හිගය තුලනය කිරීමේ ලා කළ හා කරමින් සිටින මෙහේය අති මහත් ය. ග්‍රාමීය ආර්ථිකයට ගලා ගිය ඩොලර් මුදල් වලින් පවුල් ආර්ථිකය ශක්තිමත් වූවා මෙන්ම එම නිසා ග්‍රාමීය ආර්ථිකය ද ස්ථාවර වුණි. ශ්‍රී ලංකාවේ ගැටළුවක් බවට පත්ව ඇති ග්‍රාමිය හා නාගරික ආන්තික ජනතාවගේ ආර්ථිකය සැලකිය යුතු ප්‍රමාණයකින් ශක්තිමත් වී පවුලේ දුප්පත්කම අවම වීම විදේශ ශ්‍රමික ඉපයීම් වලින් ලංකාව ලැබූ ජයග්‍රහණයකි.

මෙරට ආර්ථිකයට බරපතල සම්මාදමක් දැරුව ද ඒ ශ්‍රමික පිරිස වෙනුවෙන් ආර්ථික ස්ථාවරත්වයක් සකස් කිරීමට රජය දරා ඇති මහන්සිය ප්‍රශස්ත මට්ටමක නොපවතී. ඔවුන් උපයා මෙරටට ඒවන ඩොලර් ඩැහැ ගැනීමේ උපාය උපක්‍රම හැරෙන්නට ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන විශේෂ වැඩපිළිවෙලක් හෝ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ලා ඔවුන් දරන මහන්සියට විශේෂ ගෞරවයක් හෝ ඇති කරන වැඩපිළිවෙලක් රජය විසින් නිර්මාණය කර නොමැත. අලුත් ආණ්ඩුව බලයට පත් වී ගෙන ආ මංගල අය වැය මගින් ද මේ සමාජ තීරුව අමතක කර තිබීම බරපතල වැරද්දකි.

මේ අර්ථයෙන් සලකා බැලූ විට විදේශ ශ්‍රමිකයන් රටට සම්පතක් වුවද මේ නිසා ඇතිවූ සමාජ ප්‍රශ්න සුළු කොට තැකිය නොහැක. විශේෂයෙන් කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යෑම නිසා පවුල් සංස්ථාවේ අර්බූද ඇතිවූ අතර ඒවා විවාහයන් බිදී යෑමට හා දරු පවුල් අනාථවීමට බලපෑවේය. මේ තත්ත්වය පසුකාලීනව විකල්ප ක්‍රමය්න් මගින් ජය ගැනීමට ප්‍රයත්න දරා ඇත. ඒ අනුව විගමනික ශ්‍රමිකයන් ලෙස කාන්තාවන්ට වඩා පිරිමින් දිරි ගැන්වූ අතර කාන්තාවක් යන්නේ නම් ආරක්ෂණය ලැබිය යුතු වයසේ දරුවන් නොමැති බවට වැනි සහතිකයක් අවශ්‍ය වුණි. එහෙත් කාන්තාවන් මුළුමනින්ම ගෘහ සේවිකාවන් ලෙස යැවීම වලක්වන තුරු මුහුණදෙන්නට වන අපහසුතා අවම වේ යැයි සිතිය නොහැක.

විදේශ ගතවීම් වලින් පසුව බරපතල ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නේ බහුතරයක් කාන්තාවන් ය. ඒ අතර ඝාතනයට ලක්වීමේ සිට සුළු තුවාල වලට මුහුණ පෑම දක්වා ඒවා විවිධ විය හැකිය. පසුගිය කාලය තුළ එවැනි ගැටළු ජනමාධ්‍යන් මගින් විවේචනයට ලක් වුණි. ශරීරයට ඇණ ගැසීම් හා වෙනත් විවිධ පීඩාවන්ට ලක් කිරීම් ඒ අතර වුණි. එවැනිම බරපතල ප්‍රශ්නයක් වන්නේ මැදපෙරදිග රටවල් වල දී ඒ රටවල නීතිය උල්ලංඝනය කිරීම් වලට ලක්ව දඩුවම් වලට ගොදුරුවීමයි.

මැදපෙරදිග රටවල නීතිය රුදුරු බවත් ඒවා නවීන යුගයට නොගැලපෙන බවත් ඇත්ත ය. මිනිස් හැසිරීම් පාලනය කිරීමට අපහසුවීමත් ඇත්තය. එහෙත් කුමන හෝ හේතුවක් නිසා මැදපෙරදිග ගෘහ සේවයට ගිය කාන්තාවන් වැරදි කර දඩුවමට ලක් වී මරණ දඩුවමට ලක්වූ අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තාවීම කනගාටුවට කරුණකි. ගිය වසරේ දී එක් තරුණියක් එසේ මරණ දණ්ඩනයට ලක් කළ අතර මේ වනවිට ද තවත් කාන්තාවක් එවැනි මරණ දණ්ඩනයකට නියම කර ඇත.

මෙවැනි ගැටළු වල දී තාවකාලික පියවරක් ලෙස රාජතාන්ත්‍රික සබදතා පාවිච්චි කරමින් විසදුමක් සොයා ගැනීමට රජය දක්ෂ විය යුතුය. එහෙත් එවැනි රාජතාන්ත්‍රික පෞර්ෂයක් මේ වනවිට ශ්‍රී ලංකාවට තිබේද යන්න ගැටළුවකි. අශිෂ්ඨ රාජ්‍ය පාලන ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා රාජ්‍යයට ශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තරය සමග කේවල් කිරීමේ ශක්තියක් අලුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වුවද ලැබී ඇතැයි කිව නොහැක.

රටට වැඩියෙන්ම විදේශ විනිමය උපයා දී රටේ ගෙවුම් ශේෂ හිගය පියවීමට විශිෂ්ඨ දායකත්වයක් දරන විදෙස් ගත ශ්‍රමික කාන්තාවක් කළා යැයි කියන වරදකට දඩුවම් ලෙස මේ මොහොත වන විටත් ගල් ගසා මරා දැමීමට නියමිතව තිබේ. එහෙත් ලැජ්ජාවට කාරණාක් වන්නේ මෙවැනි මොහොතක ඒ කාන්තාවගේ හෝ ඇගේ සමීපතමයන්ගේ හෝ මානුෂික හැගීම් වලට සංවේදී වන සමාජයක් ශ්‍රී ලංකාවේ නොවීමයි. පොදු සමාජය තුළ එම කාරණාව කතා බහට ලක්ව ඇත්තේ තවත් “රසවිදිය හැකි ප්‍රවෘත්තියක්” ලෙස පමණි. ඉන් ඔබ්බට වූ සමාජ කතිකාවක් නිර්මාණය කර ගැනීමට තරම් එය සංවේදී නොවීම කණගාටුවට කරුණකි.

රජයේ නිලධාරීයාගේ සිට ජනාධිපතිවරයා දක්වා දරන වියදම් පියවා ගැනීමට ප්‍රබල දායකත්වයක් දරන විදෙස් ගත ශ්‍රමික කාන්තාවක් සම්බන්ධයෙන් පොදු සමාජය සංවේදී නොවූවත් රාජ්‍ය නිලධාරීන් හා රජයේ දේශපාලන අධිකාරීය ඊට අනිවාර්යෙන්ම සංවේදී විය යුතුය. එහෙත් ඊට මූලිකත්වය ගත යුතු රජයේ විධායක නිලධාරීහු මේ වනවිට ස්වාර්ථය සදහා වූ අරගලයක නිරතව සිටිති. දේශපාලන අධිකාරියට බලපෑම් කිරීමේ ප්‍රබල ශක්තියක් ගොනුවී ඇත්තේ රජයේ විධායක නිලධාරීන්ට ය. රාජ්‍යයේ මර්මස්ථානයන්හි තීන්දු තීරණ ගන්නා හා ඒවා ක්‍රියාත්මක කරන විධායක නිලධාරීන් නොතකා හැරීමට දේශපාලන අධිකාරියට නොහැකිය. එහෙත් තමන්ට ඇති ශක්තිය පොදු සමාජ යහපත වෙනුවෙන් උරගා බැලීමේ සංස්කෘතියක් රාජ්‍යයේ විධායක නිලධාරින්ට නොමැත.

දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද වසර පහකට වරක් බදු රහිත වාහන බලපත්‍රයක් ගන්නේ ද මෙරටට උපයා එවන විදේශ විනිමය වලිනි. එහෙත් මේ මොහොතේ ඒ නිලධාරීන් කල් යල් බලන්නේ ඒ වාහන බලත්‍රය අවලංගුවීම වලක්වා ගැනීමට පමණි. වසර පහෙන් පහට බදු රහිත වාහන බලපත්‍රයක් රජයේ විධායක නිලධාරීන්ට ලැබීම තමන්ට ලැබෙන වේතනයට සමාන මුදලක් මාසිකව ලැබීමට හා සමානය. එවැනි වරප්‍රසාද බුක්ති විදින නිලධාරී පෙලන්තියක් ඒ වියදම් දැරීමට දායකත්වයක් දරන සමාජ කොටස් වල අර්බූදයක දී සංවේදී නොවීම අභාග්‍යයකි.

ශ්‍රී ලංකාව පසුගිය වසර හතලිහක පමණ කාලය තුළ ගෙවා දැම්මේ ලෙයින් හා කදුළින් වන්දි ගෙවූ අතීතයකි. ඒ කාලය තුළ රජය මෙන්ම විකල්ප දේශපාලන කණඩායම් ද ලේ වැකි ගහණ ඉතිහාසයක් ලිවීමට සම්මාදම් වූහ. මේ කාලය තුළ ඒ රුදුරු තත්ත්වයන් පාලනය කිරීමට දේශීය මෙන්ම විදේශීය මැදිහත්වීම් ද බලපෑවේය. එහෙත් සමාජ දේශපාලන කාරණාවන් සම්බන්ධයෙන් මැදිහත්වෙන සංස්කෘතියක් රජයේ විධායක නිලධාරීන්ට ඉතිහාසය පුරාම තිබී නොමැත. බලපෑමක් කළ හැකි අවම සීමාව තුළ හෝ සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වන පුද්දක් ඔවුන්ට නොවීම ශ්‍රී ලංකාව ගමන් ගන්නා සම්ප්‍රදායික මග හෙළිකිරීමට කදිම උදාහරණයකි.

බදු රහිත වාහනයක් රජයේ විධායක නිලධාරීන්ට ලබාදීමේ සම්ප්‍රදායක් ඇති කළේ පාරිභෝජනවාදය තුළ කරවටක් ගිලී ගිය දේශපාලන අධිකාරියේ පැවැත්ම සහතික කර ගැනීමට යැයි අනුමාන කළ හැකිය. ඒ නිසා දේශපාලකයන් කරන්නා වූ අට අනූවක් වැරදි නොතකා සිටීමේ සම්ප්‍රදායක් ඇති කර ගැනීමට හැකිවුණි. එහෙත් ඒ වැය බර දැරුවේ රටේ පොදු ජනතාවයි. ජනතා අරමුදල් වලින් අල්ලස් ලබා ගෙන එකිනෙකා හවුලේ ජනතා මුදල් මහ දවාලේ කොල්ල කෑමට සම්මාදන්වීම සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ආවා යැයි කියන රජයේ විධායක නිලධාරීන් ලැජ්ජා විය යුතුය. ඊටත් වඩා ලැජ්ජාවට හේතුවක් වන්නේ ඩොලර් සොයා අරාබියට ගිය දුප්පත් ගැහැණියක් මරා දැමීමට නියමව ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් සංවේදී නොවී බදු රහිත වාහන බලපත්‍රයක් වෙනුවෙන් අරගල කිරීමයි.

මේ මොහොතේ සමාජයක් ලෙස අප අරගල කළ යුත්තේ රටේ ආර්ථිකයට බරපතල ලෙස සම්මාදම් වන ශ්‍රමිකයන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙනි. එහෙත් ඒ සදහා සමාජයට මග පෙන්විය යුතු “නිදහස් අධ්‍යාපනයේ දරුවන්” තම ස්වාර්ථය පතා නිරුවත්වීම ලැජ්ජාවට කරුණකි.

shan.info1978@gmail.com

Back to Home page