25 April, 2024

Blog

සිරිකොත ප්‍රහාරය, ප්‍රජාතන්ත්‍රවාදය හා වල්බූරු නිදහස

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පසුගිය බදාදා උදෑසන එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ආ පිරිසක් සමග එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් ගැටුමක් ඇතිකරගෙන තිබුණි. එම සිද්ධිය ආරංචි වූ සැනෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අපූරු අදහසක් තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.

”මෙම ගැටුම කෙසේ සිදුවූවාදැයි තවම නොදනිම්. එසේ වුවත් මේ උද්ඝෝෂණය කළ පිරිසට එජාප මූලස්ථානයේ සිටි අය බාධාකළා වීම බොහෝ දුරට විය හැක්කකි. එය එසේ වූවානම් එය මුලුමනින්ම වැරදි ක්‍රියාවකි. මේ උද්ඝෝෂණය තනිකරම ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව ඇත්තක් වුව ද එය සිදු තිරීමට ඒ අයට අයිතිය ඇත. ඒ අයිතිය ප්‍රතික්ෂේප කරමින් ඊට බාධා කිරීම යනු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට ඇති සදාචාරමය අයිතිය දුර්වල කර ගැනීමකි.”

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණ අපේක්ෂක මෙත්‍රීපාල සිරිසේන සමග ඇතිකර ගෙන ඇතැයි කියවෙන රහස් ගිවිසුමක් පිළිබද කරුණු රැසක් සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක විසින් පසු ගිය දා හෙළිකිරීමත් සමග ඒ සම්බන්ධයෙන් ගනුදෙනුවක් බේරා ගැනීමට මෙම පිරිස සිරිකොත අසලට පැමිණ සිටියහ. ඇත්තටම ගිවිසුම විනාශකාරි හා ගැටළු ඇති කරන්නක් නම් එය දේශපාලනික කාරණාවක් නිසා ගනුදෙනුව බේරා ගත යුත්තේ රටේ ජනතාව සමග ය. එනම් විනාශකාරී ගිවිසුමක් අත්සන් කර ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ජනාධිපති පොදු අපේක්ෂකයාට ලබා නොදෙන ලෙස සමාජයට කියමින් ඒ සම්බන්ධයෙන් වූ මතයක් ඇති කළ හැකිව තිබුණි.

විනාශකාරී ගිවිසුමක් අත්සන් කර ඇතැයි චෝදනා එල්ලවීමත් සමග විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෙත්‍රීපාල සිරිසේන ඒකාබද්ධව ප්‍රකාශ කළේ එවැන්නක් අත්සන් නොකළ බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් ය. තිස්ස අත්තනායක විසින් හෙළිකළ එම ගිවිසුම විමසිල්ලෙන් කියවන්නකුට ඒත්තු යන්නේ එකී ක්‍රියාවම සැක සහිත කරුණු වලින් පිරි හුදු දේශපාලන නිග්‍රහයක් කිරීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද්දක් බවය.

Sirikothaතිස්ස අත්තනායකගේ චෝදනාව සම්බන්ධයෙන් මේ උද්ඝෝෂකයන්ට කිසිම සැකසහිතභාවයක් ඇති නොවීම පුදුම සහගතය. හිටපු යූ.එන්.පීකාරයකු පක්ෂය මාරු කළ සැනෙන් කරන ප්‍රකාශයක් ගැන සැක නූපදන මෙම පිරිස අඩු වශයෙන් විපක්ෂනායකයා හෝ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා කරන ප්‍රකාශයන් හෝ සැළකිල්ලට ලක්කරන්නේ නැත. එමෙන්ම එවැනි ගිවිසුමක් සම්බන්ධයෙන් කළ යුතු පරිදි නීතියේ පිහිට පැතීම හෝ ජනාධිපතිවරණයේ දී සමාජයේ අවධානයට එය ලක් කිරීම හෝ නොකිරීම නිසා උද්ඝෝෂකයන් සම්බන්ධයෙන් ඇති වන්නේ සැකයකි. ඔවුන්ගේ අරමුණ සත්භාවී නොවන බවත් පටු පක්ෂ දේශපාලන අරමුණකින් යුක්ත බවත් පැහැදිලි වේ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන පරිදි සමාජය තුළ පැවතිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ හසර තුළ ඒ උද්ඝෝෂකයන්ට ද තම කටයුතු වලට නිදහසක් තිබිය යුතුය. උද්ඝෝෂණය මුළුමනින්ම ප්‍රකෝපකාරී ක්‍රියාවක් වුවද උදඝෝෂණය සිදුකිරීමට ඔවුන්ට අයිතියක් ඇත. ඒ අයිතිය ප්‍රතික්ශේප කරමින් ඊට බාධා කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට ඇති සදාචාරමය අයිතිය දුර්වල කිරීමකි.ප්‍රජාතන්ත්‍රවාදය සාපෙක්ෂ හෝ නිරපේක්ෂ මිනුම් දණ්ඩෙන් මැනීම මූලික වරදක් වන බව පවසන ආචාර්ය නිර්මාල්, ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රතිමානයක් බැවින් ඊට අයත් ගුණාංගයන්ට ගරු කළ යුතු බව පවසයි. ඔහුගේ තර්කයේ මූලික පදනම එම කරුණ යැයි හැගේ.

සිරිකොත අසල ඇතිවූ ගැටුමට මුල් වූ උද්ඝෝෂණය මගින් උත්සාහ දැරුවේ පටු පක්ෂ දේශපාලන අරමුණක් සත්භාවී නොවන අන්දමින් ජයග්‍රහණය කර ගැනීමටත් එමගින් ප්‍රතිවාදියාට පහරක් එල්ල කිරීමටත් බව පැහැදිලි ය. ඒ අනුව උද්ඝෝෂකයන් උත්සාහ දැරුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සිදුරු තුළින් රිංගා යෑමට ය. මගේ තර්කය වන්නේ සමාජයට හානිකර අන්දමින් පැන නගින එවැනි උද්ඝෝෂණයන්ටත් ඉඩක් ඇත්නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ සංවර්ධනයට දායක වන්නක් නොවන බවය.

එමගින් කියවෙන්නේ තමන් පිළිනොගන්නා හා තමන්ට ඉවසීමට නොහැකි ප්‍රතිවාදී විරෝධයන් මර්දනය කළ යුතුය යන සරල අදහස නොවේ. සද්භාවී නොවන විරෝධයකට පිළිතුරු දීමට ද සමාජයට ඉඩක් ඇති බවත් සමාජ මැදිහත්වීමක් තුළින් එම විරෝධයේ බොරුව හෙළිදරව් කළ යුතු බවත් එමගින් කියවේ.

මෙම තර්කය පාර්ශ්වික ලෙස දැකීමෙන් එය අවබෝධකර ගැනීම උගහට ය. සිරිකොත ඉදිරිපිට එකසත් ජාතික පක්ෂ විරෝධීන්ගේ උද්ඝෝෂණයක් ලෙස නොව ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට එජාප පාක්ෂිකයන් කරන්නා වූ උද්ඝෝෂණයකට වුවද මගේ තර්මක අදාළ ය. උද්ඝෝෂණයක් මගින් විරෝධය දැක්වීමට නිදහස තිබිය යුත්තේ එම විරෝධයට සත්භාවී පදනමක් ඇත්නම් පමණි. එම සත්භාවය විමසීමට උද්ඝෝෂකයන්ට ඇති අයිතියටම සමාන අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තුළ තිබිය යුතුය.

මේ සම්බන්ධයෙන් අගනා ආදර්ශයක් පෙන්වූයේ එවකට හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරයකු වූ මහින්ද රාජපක්ෂ යි. 1993 දී පැවැති දකුණු පළාත් සභා මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂය වැඩි ආසන ගණනක් දිනා ගත්ත ද පාලන බලය ඒකාබද්ධ විපක්ෂයට ලබාදීමට ආණ්ඩුකාරවරයා නොපෙළඹුණි. එහිදී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුකාරවරයා හමුවීමට බලෙන් ගිය ඒකාබද්ධ විපක්ෂය ඔහු ලවා අමරසිරි දොඩන්ගොඩ ප්‍රධාන අමාත්‍ය ධූරයේ දිවුරුම් දී ගත්තේ බලහත්කාරයෙනි. එහෙත් මහින්ද රාජපක්ෂගේ එකී ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදයට පරස්පරය. නමුත් මහින්දගේ එම ක්‍රියාවට ආණ්ඩුකාරවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන හැසිරීමෙන් සමාජ වලංගුභාවයක් ලබාදුනි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ”ධාතු කරඩුවක්” නොවන බවත් භාවිතයට ගත යුතු මෙවලමක් බවත් පැහැදිලි ලෙස අර්ථදක්වා ඇත්තේ මෙවැනි ප්‍රායෝගික භාවිතාවන් තුළිනි. එහෙත් යම් මහජන විරෝධයක් සත්භාවී ද පටු අරමුණකින් යුක්ත ද යන්න තීන්දු කිරීම සාපෙක්ෂ ය. එය ඇත්තටම විවාදසම්පන්න ය. සිරිකොත ඉදිරිපිට ඇති කළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ද එවැනි ගැටළුවක් පැන නගී. නමුත් ඒ ගැටළුව සමාජය විසින්ම විසදන්නකි.

පොදු විපක්ෂය අත්සන් කළා යැයි කියන මෙම ගිවිසුම සම්බන්ධයෙන් සැකයක් යම් පර්ශ්වයකට ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය දැක්විය යුතු අවස්ථා හා ඉඩ කඩ අවශ්‍ය තරම් පවතී. පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට බල කළා නම් හෝ කොටුව ස්ටේෂම අසල උද්ඝෝෂණය පැවැත්වූවා නම් හෝ මෙවැනි ගැටුමක් ඇතිවන්නට ඉඩක් නොමැත. එහෙත් උද්ඝෝෂකයාගේ පටු අවශ්‍යතාව ඔවුගේ හැසිරීම තුළින්ම පැහැදිලි වීම මෙහි ඇති විශේෂත්වයයි.

ප්‍රජාතන්තවාදය හෝ යහ පාලනය හෝයනු නිවසට ඇතුළුවී නිවසියන්ට පහරදෙන තෙක් ඉවත බලාගෙන සිටීම නොවන බව පැහැදිලි කිරීමේ අභියෝගය පොදු විපක්ෂයට නොවේ නම් මෙවැනි ගැටළු හමුවේ දුෂ්කරතාවට පත්වීම නොවැළැක්විය හැකිය. එහෙත් මේ මොහොතෙදීත් එවැනි අභියෝගයක් භාරගත හැකි ශක්තියක් හෝ ඊට මුහුණදිය හැකි පෞර්ෂයක් හෝ ඒකාබද්ධ විපක්ෂයට නොමැති බව ක්‍රියාකාරීත්වයෙන් පැහැදිලි වේ. නමුත් මා ඉහත දී උදාහරණයට ලක් කළ පරිදි බලහත්කාරයෙන් ගොස් ආණ්ඩුකාරවරයා ලවා දිවුරුම ලබා පළාත් සභාවේ බලය ගැනීමට මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් අවස්ථාවේ එවැනි පෞර්ෂයක් එදා පොදු විපක්ෂය විසින් ගොඩනගා ගෙන තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස හා සාධාරණත්වය ඇත්තේ මුද්‍රිත අකුරු තුළ නොව ප්‍රායෝගිකත්වයේ බව තේරුම් නොගන්නා තාක් ” ප්‍රජාතන්ත්‍රවාදය” එකිනෙකට පරස්පර අතාර්කික අර්ථයක් ජනනය කරන්නා වූ සාර ගුණයකින් යුතු ප්‍රපංචයක් පමණක් බව කිව යුතුය.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    පිලිප්ලා යනු පැහැදිලිවම කන්නට ඔිනෑවූ විගස කබරගොයා තලගොයා කරන්නට හැකි පිරිසකි. මා එසේ කියන්නෙ පිලිප්ලා සැම විටම උද්ඝෝෂණ අයිනින් සුරැකීම ගැන කථා කරන නමුත් සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණය “තනිකරම ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව ඇත්තක්” යයි ඔහු විසින් ඉහත ලිපියෙ සඳහන් කර අැති නිසාය.

    අදාළ උද්ඝෝෂණය කිසිසේත්ම ප්‍රකෝපකාරී ක්‍රියාවක් නොවීය. මා එසේ කියන්නෙ උද්ඝෝෂකයන් සහ ඔවුන්ගේ උද්ඝෝෂණයත් එම උද්ඝෝෂණයට පහර දෙන්නවුන් සහ එම පහරදීමත් අපි අැස් පනා පිට සහ පැහැදිලිව වීඩියෝපට වලින් දුටු නිසාය. උද්ඝෝෂකයන් අතර ගැහැනුන් ගනනාවක් විය. කිසිම උද්ඝෝෂකයෙක් අත ගල් මුල් හෝ පොලු නොතිබුනි. ලොරියකින් සටන් පුවරු ගෙනැවිත් බානවා දුටුවෙමු. පසුව උද්ඝෝෂකයන් එම බෝඩ් උස්සාගෙන සිටිනවා සහ කෑ ගසනවා දුටුවෙමු. උද්ඝෝෂණයට පහර දෙන්නවුන් 2×2 පොලු අතැතිව සිරිකොත තුලින් මහ පාරට පැමිනෙනවා දුටුවෙමු. ඔවුන් එම බෝඩ් උදුරාගෙන එ්වා කඩා බිඳ දමා ගිනි තබනවා දුටුවෙමු. මාස ගණනාවක් බෝඩ් උස්සා ගෙන මහජනයා යන එන පාරවල් අවහිර කිරීම ප්‍රකෝපකාරී ක්‍රියාවක් නොවන නමුත් පිලිප් කියන විදියට මෙම උද්ඝෝෂණය ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව නොවේද දේවසිරි වක්‍රාකාරයෙන් ඉඟි කරන්නෙ. කුහකකමට පෙන්වා දීමට තවත් උදාහරණ අවශ්‍යද?

    පිලිප් කියන්නෙ මාර කතාවකි. මේ පිලිප්ගේ ලිපියෙ ලියා අැති කොටසකි. “ඇත්තටම (සිරිසේන-රනිල්) ගිවිසුම විනාශකාරී හා ගැට‍ළු ඇති කරන්නක් නම් එය ශපාලනික කාරණාවක් නිසා ගනුදෙනුව බේරා ගත යුත්තේ රටේ ජනතාව සමග ය. එනම් විනාශකාරී ගිවිසුමක් අත්සන් කර ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ජනාධිපති පොදු අපේක්ෂකයාට ලබා නොදෙන ලෙස සමාජයට කියමින් ඒ සම්බන්ධයෙන් වූ මතයක් ඇති කළ හැකිව තිබුණි.” ඔක්ස්ෆෝඩ් යුනියන් එකේ දේශණයකට ගිය ජනාධිපති මහින්ද එරෙහිව ඔහු සිටි හෝටලය ඉදිරිපිට දෙමළ කොටි උද්ඝෝෂණ කලේය. මහින්දගේ කතාව අසා එතනදී ප්‍රශ්න අසන්නයයි බිරිතානි පිලිප්ලා කොටින්ට කීවේ නැත. උද්ඝෝෂණ කරුවෝ උද්ඝෝෂණ කර දේශණය පැවැත්වීමට ඉඩ නොදුන්නාය. නමුත් කවුරුවත් උද්ඝෝෂකයන්ට පහර දුන්නේත් නැත.

    රනිල් සහ සිරිසේනගේ ඉතිහාසය ගතහොත් රනිල් යනු පිරාපකරන් සමග ගිවිසුමක් අත්සන් කර ජාතික කොඩිය ලෙල නොදෙන ලෙස පවත්වාගෙන යෑම සඳහා ශ්‍රි ලංකාවේ 1/3ක් ලිඛිතව කොටින්ට පවරා දුන් නායකයෙකි. සිරිසේන යනු චන්ද්‍රිකාගේ කුප්‍රකට සුනාමි සහන මණ්ඩල ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සපථ කල චනද්‍රිකාගේ රූකඩයකි. එනිසා අපට වැදගත් වන්නේ රනිල්-සිරිසේන ගිවිසුමෙන් මහජනයාට ඉදිරිපත්කර අැති කරුනු කාරනාය. අදාල අැත්තෝ අත්සන් බොරුද අැත්තද යන්න උසාවියේදි බේරා ගතයුතුය. බෝඩ් ලෑලි ගිනිතබා උද්ඝෝෂකයන්ට තඩිබෑමට 2×2 පොලු සහ තාර අතැති තගාලා සිරිකොතෙන් එලියට දක්කන්නේ නැතිව උද්ඝෝෂකයන් ඉල්ලා සිටි මතභේදයට තුඩු දී අැති ගිවිසුමේ අඩංඟු කරුනු කාරනා වලට රනිල්-සිරිසේන යුගල එකඟ නොවන බව ප්‍රකාෂ කලේ නම් උද්ඝෝෂකයන් විසිර යනු අැති බවට වාදයක් නැත.

    තමන්ගේ රූකඩය ජනපති වෙන්නට පෙර එජාප තගාලා මෙසේ හැසිරෙනවා නම් රූකඩ සිරිසේන ජනපතිවූනහොත් කෙසේ හැසිරේවිදැයි අපට අනුමාන කල හැක. නිනැතින්ම අපේ මතකයට නැගෙන්නේ JRJගේ, ප්‍රේමදාසගේ සහ චන්ද්‍රිකාගේ දීර්ග නිමක් නැති ගෝනාවල සුනිල්ලා, සොත්ති උපාලිලා, බැද්දගාන සංජීවලා, නාවල නිහල්ලා, මොරටු සමන්ලා වැනි තගාලාගෙන් පිරී ඉතිරී ගිය පාලන සමයන්ය. JRJගේ කාලයේ විනිසුරුවන්ට විරුද්ධව උද්ඝෝෂණය කිරීම පමණක් නොව ගල් ගැසීමේ අයිතිය පවා කලු ලකීලාට තිබූ නමුත් රු10/=ක පඩි වැඩි කිරීමක්වත් ඉල්ලා උද්ඝෝෂණය කිරීමේ අයිතිය මහජනයාට තිබුනේ නැත. ප්‍රේමදාසගේ කාලයේ ‘මේ කවුද මොනවද කරන්නෙ’ කියා අැසුවොත් උස්සනවාය. චන්ද්‍රිකාගේ කාලයේ පැවැත්වූ කුප්‍රකට වයඹ මැතිවරණයේදී චන්ද්‍රිකාට විරුද්ධව පෙලපාලි ගිය එජාප ස්ත්‍රියකගේ රෙදි ගලවා පාරේ අැවිද්දවූවාය.

    එවැනි සිදුවීම් අද අසන්නටවත් නැත. ඉතින් චන්ද්‍රිකා-සිරිසේන-රනිල් කැඳ හැලි අශුද්ධ හවුල මේ සැරසෙන්නෙ මොකාට දැයි අපට නම් පැහැදිලිය. එනිසා 2015, ජනවාරි 8වනදා ඔවුන් පැරදවීම සඳහා උද්ඝෝෂණ මතින් අවශ්‍ය මතය ගොඩනැගිම අනිවාර්යය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.