27 April, 2024

Blog

ශ්‍රීලනිපයේ ගමනක අවසානය හා ජවිපෙ ගමනක උපත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ඊයේ පෙරේදා බදුල්ලේ දී මහජන හමුවක් අමතමින් විරුද්ධ පක්ෂයේ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසා ඇත්තේ ශ්‍රීලනිපය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇති බවය. එවැන්නක් කිරීමේ දේශපාලන උවමනාවක් කලකට පෙර එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද තිබුණි. ජේ. ආර් ජයවර්ධන ශ්‍රීලනිපය විනාශ කිරීම සදහා මර්දනය කැදවා තිබුණි. රෝහණ විජේවීර ශ්‍රීලනිපයේ ගමනක අවසානය ගැන කියමින් රට පුරා ගියේ ය. එහෙත් අද නම් එක්සත් ජාතික පක්ෂයට එවැනි අවශ්‍යතාවක් ඇතැයි කිව නොහැක.

දාහත් වසරක් තිස්සේ එක්සත් ජාතික පක්ෂ පාලනය තුළ අහෝසි වෙමින් තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලන වටිනාකමක් ලබාදුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක යැයි කිවහොත් වඩා නිවැරදි ය. ඈ 1993 දී පමණ පක්ෂයේ ප්‍රතිපත්තින් වෙනසකට ලක් කරමින් එකසත් ජාතික පක්ෂය හා කරට කර සිටිය හැකි මට්ටමකට පක්ෂය ප්‍රතිසංවිධානය කළා ය. ජේ. ආර්. ජයවර්ධන විසින් 1978 දී මෙරට ආර්ථික, දේශපාලන හා සමාජ තලයන්ගේ කළ වෙනස තේරුම් ගත නොහැකිව ඊට ජාතිකවාදී වාමවාදී කැට කැබැලිති එල්ල කරමින් විකල්පයක් නොමැතිව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය බලය ලබාදීමට තරම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කළ ප්‍රතිසංස්කරණ ශක්තිමත් වුණි.

ජේ. ආර්. ජයවර්ධන පාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැති දෙකකින් අභියෝගයක් බවට පත්ව තිබුණි. ජේ. ආර්. ජයවර්ධන විසින් හදුන්වා දුන් ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ එක් අතකින් මතවාදී තලයේ දී ශ්‍රී ලනිපයට අභියෝගයක් වුණි. එසේම ජේ.ආර්. ජයවර්ධන විසින් ශ්‍රී ලනිපයට එරෙහිව දියත් කළ මර්දනය අනිත් අතින් අභියෝගයක් වුණි. මේ පැති දෙකෙන්ම එල්ල වූ අභියෝගයට මුහුණ දෙන්නට අසූව දශකයේ දී ශ්‍රී ලනිපයට ශක්තියක් නොවූ අතර එය එක්තරා ප්‍රමාණයකට දිය වෙමින් තිබුණි.

එහෙත් ඒ අභියෝගයන් ජය ගනිමින් පක්ෂය ජයග්‍රාහීව ඔසොවා තැබීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක සමත් වූ පසුව ක්‍රමානුකූලව යළි එය ශක්තිමත් වුණි. 1956 එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක ශ්‍රී.ලනි.ප.ය ජයග්‍රහණය කරා ගෙන ගියේ සමාජ තළ කිහිපයක එකතුවක් වූ පංච මහා බලවේගය මත පදනම් වෙමිනි. එහෙත් 1978 දී හදුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රථිපලයක් ලෙස පංච මහා බලවේගයන්ට තිබූ සමාජ බලය අහෝසි වෙමින් තිබුණි. එහෙත් පක්ෂයේ පදනම් පවුරු පංච මහා බලවේගයන්ගෙන් ඉවත්ව ඇති බව යථාර්ථය වුවද තවදුරටත් සටන් පාඨයක් ලෙස කීවේ පක්ෂයේ පදනම පංච මහා බලවේගය බවයි.

Wijeweera

සග, වෙද, ගුරු, ගොවි, කම්කරු යන සමාජ තීරූන් අත්කරගෙන තිබූ බලය ඉන් ගිලිහී නව ආකාරයකින් සමාජය ප්‍රතිසංවිධානය වෙමින් තිබූ අතර එකී සමාජ බලවේගයන්ට අලුත් සමාජ ප්‍රතිසංවිධානය තුළ නව වටිනාකම් ලැබෙමින් තිබුණි. ඒ සෑම සමාජ තීරුවකටම 1978 ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රථිපලයක් ලෙස පාරිභෝජනවාදය ඉස්මතු වී තිබූ අතර ඒ තුළ සෑම සමාජ තීරුවකටම මිලක් නියමව තිබුණි. ඒ නිසා ඒවාට පැරණි සමාජය තුළ තිබූ පුරුෂාර්ථ වටිනාකම් ගිලිහී මූල්‍යමය වටිනාකම් ලැබී තිබුණි. මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ පදනම් සම්බන්ධයෙන් නව කියවීමකට යා යුතුව තිබුණත් එවැනි කතිකාවක් ආරම්භ නොවුණි.

එහෙත් 1994 සිට එක්සත් ජාතික පක්ෂයට විකල්ප ධනපති පක්ෂයක් ලෙස රාජ්‍ය පාලනයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තහවුරු වුණි. පක්ෂයේ පදනම අතරමැදි සමාජ තීරුවේ සිට ධනපති සමාජ තීරුව දක්වා පුළුල් වුණි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතිකවාදී අගයන් ගැන ඇගයීමක් ඇති කිසිම බුද්ධිමතෙක් පක්ෂයේ සිදුවූ ව්‍යුහාත්මක වෙනස සම්බන්ධයෙන් බුද්ධිමය සංවාදයක් ආරම්භ කිරීමට පසුබටවීම කනගාටුවට කරුණකි. ඒ නිසා අද ද බොහෝදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයෙන් වෙනස්ව ප්‍රගතිශීලී අතර මැදි සමාජ තීරුව මත පදනම් වූ පක්ෂයක් ලෙස හදුන්වති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිකවාදය මත පදනම්ව ඇතැයි ද එක්සත් ජාතික පක්ෂය නව ලිබරල්වාදයේ දේශීය නියෝජිතයා ලෙස පත්ව ඇතැයි ද කියවේ. එහෙත් ඉතිහාසය පුරා එක්සත් ජාතික පක්ෂය ජාතිවාදී ලෙස හැසිරී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම බාධාවකින් තොරව ධනේශ්වර අවශ්‍යතා ඉෂ්ඨ කළා ය. ඒ අනුව ඒවායේ නාමික හැදින්වීම් වලින් ඔබ්බට ගොස් ප්‍රතිපත්ති සකස් කරගෙන තිබුණි. නමුත් 1994 වනවිට ලංකාවේ ධනපති පක්ෂ දෙක තුළම ව්‍යුහාත්මක වෙනස්කම් ආරම්භව තිබුණි.

ඒ ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රථිපලයක් ලෙස ජාතිවාදී අගතීන්ගෙන් ඉවත්ව තම දේශපාලන පරිකල්පනය ගොඩනංවා ගැනීමට එජාපය මෙන්ම ශ්‍රීලනිපය ද කටයුතු කළහ. ඒ අනුව ජාතික ප්‍රශ්නයට විසදුමක් ලෙස බලය බෙදා හැරීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනීමට පක්ෂ දෙකම 1994 වනවිට ඉදිරියට ගොස් තිබුණි. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මෙන්ම ගාමිණී දිසානායකගේ නායකත්වයන් ඒ අනුව වඩා ප්‍රගතිශිලීව ගොඩනැගී තිබුණි.

ධනපති පක්ෂ දෙකෙහි මේ ව්‍යුහාත්මක වෙනස් කම් නිසා සිංහල මහ ජාතිකවාදය මත පදනම්ව ඒ පක්ෂ දෙකෙහි සිටි සමාජ කොටස් ඉන් ඉවත්ව යෑම ආරම්භ කර තිබුණි. ඒ අනුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය මත පදනම් වූ දේශපාලන කියවීමකින් යුක්තව එම කොටස් වෙනම සංවිධානය වීම සැලකිය යුක්තකි. මහාචාර්ය නලින් ද සිල්වා, දොස්තර ගුණදාස අමරසේකර යන න්‍යායචාරීන් මත පදනම් වූ මේ දේශපාලන එක්තැන්වීමට පුළුල් සමාජ පදනමක් ඇති දේශපාලන බලවේගයක් ලෙස ගොඩනැංවීමට ශක්තියක් ලැබුනේ පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙනි.

මේ දේශපාලන බලවේගය සමාජයට කළ හානියේ තරම කියාපෑම ආරම්භ කළේ 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙනි. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දේශපාලන පදනම වූයේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි. එය ධනපති සමාජ කොටස් වලින් මෙන්ම වාමාංශික කොටස් වලින් ද පෝෂණය වුණි. ඒ අනුව ධනේශ්වර මූලයන් සහිත චම්පික රණවකගේ දේශපාලන සංවිධානයත් වාමාංශික මූලයන් සහිත ජනතා විමුක්ති පෙරමුණත් ඒ දේශපාලන මොහොත තුළ බලවත්ව තිබුණි. ඒ නිසා 2005 ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන දෘෂ්ඨිය ලෙස ශක්තිමත්ව තහවුරු වූයේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි.

නව ලිබරල්වාදය තුළ ආන්තික ස්වෝත්තමවාදී මතවාදයන්ට වලංගුතාවක් නොලැබෙන නිසා පක්ෂ දෙකම ජාතිකවාදය අත්හැරියත් ඒ නිසා ධ්‍රැවීකරණය වූ ආන්තික දේශපාලන කණ්ඩායම් 2005 දී රාජ්‍යයයේ මතවාදය තීරණය කරන බලවේගය වීම අගතිගාමී වුණි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ඉස්මතුවීම සමාජය පරිහානියට තල්ලුවීමට හේතුවක් වූවා මෙන්ම එය පෙරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරිහානියට ද හේතු වී තිබේ. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඊයේ බදුල්ලේ දී මහජන හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ යූඑන්පී කුමන්ත්‍රණයක් ඇතැයි පවසා ඇතත් එම පක්ෂය විනාශ කිරීමේ ඇත්ත කුමන්ත්‍රණය අද පැන නැගී ඇත්තේ පක්ෂය තුළින්ම හා එහි මිතුරු බලවේගයන් තුළිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද විනාශ වෙමින් පවතින්නේ එය නැවත සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වැළද ගැනීම නිසා යැයි විපක්ෂ නායකවරයාට නොවැටහීම කනගාටුවට කරුණකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යටතේ 2005 වසරේ සිට රාජ්‍යයේ දේශපාලන දෘෂ්ඨිය සිංහලබෞද්ධ ස්වෝත්තවාදය වනවිට එහි සමාජ පදනම ලෙස පාදඩ සමාජ තීරුව පත්වුණි. 1978 දී ප්‍රතිසංස්කරණයට ලක්වූ ලංකා ආර්ථිකය තුළ ශක්තිමත් වූ සමාජ කොටස වූයේ පාදඩ සමාජ තීරුවයි. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද පදනම බවට පත්ව තිබීම උත්ප්‍රාසජනකය. තවමත් පංච මහා බලවේගයෙන් ආඩම්බරව කතා පවත්වන බොහෝ වියතුන් තම මුහුණ වැල්ලේ සගවා ගන්නේ ශ්‍රී ලනිපයට ශක්තිය දෙන බලවේගයන් බහුතරය පාදඩ සමාජ කොටස් වලින් සකස්ව ඇති බව හෙළිදරව් වනවිට ය. ඒ අනුව මහින්ද චින්තන සංස්කෘතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාදඩ සමාජ කොටස් නියෝජනය කරන දේශපාලන බලවේගය බවට පත්වුණි.

මේ වනවිට ආර්ථිකය තුළ වැඩි පංගුවක් හිමිව ඇත්තේ පාදඩ ආර්ථික ක්‍රියාකාරකම් වලට ය. ඒ නිසා කළු ආර්ථිකයට හිමි පංගුව දළ ජාතික නිෂ්පාදනයෙන් 50%ක තරම් මට්ටමක පවතී. සංසරණය වන කළු සල්ලි ප්‍රමාණය අති මහත් ය. මේ නිසා මේ කළු ආර්ථිකය තුළ යැපෙන සමාජ තීරුවේ ප්‍රමාණය ද විශාල වෙමින් පවතී. ඒ නිසා සම්භාව්‍ය අර්ථයෙන් අතර මැදි සමාජ තීරුව අසරණව සිටී. මේ මොහොත තුළ ලංකා දේශපාලනයේ රික්තයක් පවතී. එනම් සමාජයේ අතර මැදි සමාජ තීරුවේ සම්භාව්‍ය නියෝජනය සදහා දේශපාලන පක්ෂයක් නොවීමයි.

නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය සටන් පාඨයක් ලෙස මිමිණුව ද ජනතා විමුක්ති පෙරමුණ අද වනවිට නිර්ධන පන්ති දේශපාලනයේ යෙදෙන බවක් දක්නට නොලැබේ. සමාජවාදය සම්බන්ධයෙන් ඊට අලුත් කියවීමක් ඇති බවක් පෙනෙන්නට නොමැත. තවමත් දෘෂ්ඨිවාදයක් ලෙස ලෙනින්වාදය ඉදිරිපත් කළ ද නව ලෝක දේශපාලනය තුළ ලෙනින්වාදයට එල්ල වූ අභියෝග සම්බන්ධයෙන් ගැඹුරු කියවීමකට යන්නට තරම් ජනතා විමුක්ති පෙරමුණට ශක්තියක් නැත. ලාංකික දේශපාලනය පවා පැරණි අර්ථයෙන් කියවමින් ඊට ප්‍රතිසංස්කරණවාදී විසදුම් ඉදිරිපත් කිරීම එම පක්ෂයේ අද දක්නට ලැබෙන ලක්ෂණයයි.

රෝහණ විජේවීර බන්ධනාගාරයෙන් නිදහස්වීමෙන් පසුව රට පුරා යමින් තැත් කළේ ශ්‍රීලනිපයට “ගමනක අවසානයක්” අත්කර දීමටයි. ඒ අවශ්‍යතාවයේ මතවාදී මොහොත දැන් උදාවී තිබේ. ලාංකික සමාජයේ අතරමැදි සමාජ කොටස නියෝජනයට ශ්‍රීලනිපය ඉදිරිපත් නොවන අතර එළබෙන මහා මැතිවරණයෙන් පසුව මහින්ද චින්තන සංස්කෘතිය වසරක් තුළ දෙවැනි වතාවටත් පරාජය වන්නේ ය. ඉන් පසුව ශක්තිමත් නායකත්වයක් එනතුරු එම පක්ෂය තවත් කාලයක් ඉබාගාතේ යන්නේ ය. පක්ෂයේ පදනම් පවුරු මතවාද අවලංගු වන අතර සමාජ කොටස් යූඑන්පිය කර යනවා නො අනුමානය.

ඒ අර්ථයෙන් අතර මැදි සමාජ තීරුවේ දේශපාලන නියෝජනය සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වන්නේ නම් එය වඩා ප්‍රගතිශීලී පියවරක් වීම නොවැළැක්විය හැක්කකි.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.