දස වසරකට ආසන්න රාජපක්ෂ පාලනය බිද දැමීම සදහා පොදු විපක්ෂයට තීරණාත්මක සහාය ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෙත්‍රීපාල සිරිසේනගෙන් බව නොරහසකි. ඒ තීරණාත්මක ජනාධිපතිවරණයේ දී පොදු විපක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය රාජපක්ෂ පාලනයට එරෙහිවූ සමස්ත මහජනයාගේම ජයග්‍රහණයක් බවත් නොරහසකි.
ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන ජනවාරි 09 දා දිවුරුම් දෙමින් ප්‍රකාශ කළේ තමා නැවත වරක් ජනාධිපති ධූරයට තරග නොකරන බවය. එසේම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පසුව පුන පුනා ප්‍රකාශ කළේ ළග එන මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ ආසන ලබා ගන්නා අනු පිළිවෙල මත අග්‍රාමාත්‍ය ධූරයත් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධූරයත් වැඩිම ආසන ලබන පක්ෂ දෙකට පිරිනමන බවය. එසේම ඒ අනුව සීමිත කාලයකට ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවය.
ඒ ප්‍රකාශයන් අනුව ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන තවදුරටත් සම්ප්‍රදායි ශ්‍රී ලාංකික ජනාධිපතිවරයකු වන්නට ඔහුට අභිලාෂයක් නොවූ බව ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබුණි. “ගැහැණියක පිරිමියකු කරන්නට පමණක් නොහැකි” විධායක ජනාධිපති ධූරයක් එක් කාල සීමාවකට පමණක් භුක්ති විදින්නට සිත අවනත කර ගැනීම ඇත්තටම පරිත්‍යාගයකි. ඒ කාල සීමාව ද වසරකින් අඩු කර පස් වසරකට සීමා කර ගැනීමට කැමැතිවීම ද ඇත්තටම පරිත්‍යාගයකි. මුළුමනින්ම නොවූවත් සැලකිය යුතු මට්ටමකින් පදවියේ විධායක බලය අත් හැරීමට කැමැතිවීම ද තවත් පරිත්‍යාගයකි. ඒ අර්ථයෙන් මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනස් වූ අල්පේච්ඡ ගමන් මගක සෙමින් සෙමින් යමින් සිටින බවක් පෙනෙන්නට තිබුණි.
බැදීම් ඇති නොකර ගනිමින් බලය ක්‍රමාණුකූලව අත්හරිමින් සිටි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පත් වූ සැනෙන් වෙනස් ගමන් මගක කටයුතු ආරම්භ කරන බවක් පෙනෙන්නට තිබේ. මේ වනවිට ජනාධිපතිවරයා කටයුතු කරමින් ඉන්නේ ළග එන මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තු බලය ලබා දී පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන්නට ය. ඒ සදහා ඔහු ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් දර දිය ඇදි පිරිස් වලට ඇමති ධූර හා නියෝජ්‍ය ඇමති ධූර ප්‍රදානය කරයි. පක්ෂයේ සිටින අතිශය පෞද්ගලික කටයුතු පවා අන් සහායෙන් කර ගත යුතු මහළු නායකයන්ට උපදේශ පදවි පිරිනමයි. එසේම රාජපක්ෂ පාලනයේ හිටපු මැති ඇමතිවරුන්ට විවිධ භෞතික වරප්‍රසාද ප්‍රදානය කරයි.
ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බලය ස්ථාවර කර ගැනීමේ හදිසි මෙහෙයුමක් දියත් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තමන්ට අහිමි වූ බලය යළි ලබා ගැනීමට තැත් කරමින් “දේශපාලනික හැංගිමුත්තමක” යෙදී සිටින නිසා යැයි කීවොත් එය වඩා නිවැරදිවනවා නො අනුමානය.
වසර දහයකට ආසන්න රාජපක්ෂ පාලනය ජනවාරී 08 දින ජන කැමැත්ත පරිදි පරාජය වුවත් හිටපු ජනාධිපතිවරයාට ඒ පරාජය දරා ගන්නට නොහැක. ඒ නිසා තම පාලන කාලය තුළ ශක්තිමත් වූ “කළු ආර්ථිකයේ සල්ලිකාරයන්” විසින් යොදවන “කළු සල්ලි” වලින් මෙහේයවන ව්‍යාපාරයක් මගින් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනව දුර්වල කිරීමට හිටපු ජනාධිපති රාජපක්ෂ කටයුතු කරමින් සිටී.එල්ටීටීඊය පරදවා රට බේරා ගත් අර්ථයෙන් ඒ ව්‍යාපාරය සතුව දේශපාලන ශක්තිය ද තිබේ. කළු ආර්ථිකයක මූල්‍යමය ශක්තිය ද ඔවුන් සතුව තිබේ. එවැනි ව්‍යාපාරයකට මුහුණ දීම කිසිවකුට අල්පප්‍රාණික නොවන්නකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන් මග හා සලකා බැලූ විට වත්මන් ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ගමන් මග ඊට සපුරා වෙනස් ය. ඒ අර්ථයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට රාජපක්ෂයන් හා පොර බැදීම දේශපාලනිකව “මඩේ ලැගීමකි.” සැකය, බොරුව හා ළාමකත්වය යොදා ගනිමින් “දේශපාලන ගැලරිය” ගිනි තැබීමට සමත් කණ්ඩායමක් රාජපක්ෂට සිටී. අවශ්‍ය නම් තමාම එය යහමින් කිරීමට වුවද හේ පසු නොබසී. ඒ අශිෂ්ඨ සංස්කෘතියට දරදිය ඇද බලය අල්ලා ගැනීම රාජපක්ෂට එතරම් දෙයක් නොවේ. එහෙත් ඊට සපුරා වෙනස් දේශපාලන සංස්කෘතියක් තුළ සමාජය හා සම්මුතියකට ආ ජනාධිපතිවරයාට මහින්ද රාජපක්ෂගේ සංස්කෘතිය තුළ කටයුතු කිරීම උගහට ය.
ඒ අර්ථයෙන් දේශපාලන පුරුෂාර්ථයන් නොසලකන “කළු සල්ලි” වලින් යැපෙන රාජපක්ෂගේ දේශපාලනය හා පොර බැදීම නිරර්ථකය. ඒ පොරයට ඔට්ටු වන තරමට ජනාධිපතිවරයාගේ දේශපාලන පෞර්ෂය බිද වැටේ. මෙත්‍රීපාල සිරිසේන ඉතිහාසයේ කවර ජනාධිපතිවරයකුවත් නොකළ පරිදි “බලය අත් හැරීම” ප්‍රගුණ කරමින් ලාංකික සමාජයට අලුත් දේශපාලන සංස්කෘතියක් උදා කර දී ගෞරවනීය පුද්ගලයකු ලෙස විශ්‍රාම යන්නට සිටින ජනාධිපතිවරයෙකි. විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලය අත්හරිමින් සිටි ජනාධිපතිවරයාට පක්ෂ සභාපති ධූරය පිරිනැමීම ඔහුගේ එතිහාසික දේශපාලන ගමන මොට කිරීමට සමත් කටු ඔටුන්නක් ප්‍රදානය කිරීමක් වී තිබේ.
ජනාධිපතිවරයාගේ දේශපාලන චරිතය පෞර්ෂවත් වන්නේත් ශක්තිමත් වන්නේත් නොගැලපෙන දේශපාලන සංස්කෘතියක කටයුතු කරන රාජපක්ෂ හා බල අරගලයකට යෑමෙන් නොවේ. ඔහු මේ මොහොතේ කළ යුත්තේ රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම අයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර දී එම වගකීම අත් හැරීමයි. අනතුරුව ජනවාරි 08 වන දා ජනතා ජයග්‍රහණයට පාදක වූ මහජන සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ හා අනෙකුත් ප්‍රගතිශීලී බලවේග සමග ඇති දේශපාලන එකගතාව ශක්තිමත් කර ගැනීමයි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් හැරීම කිසියම් හෝ දෝෂදර්ශනයකට මූලික නොවේ. ඔහු පක්ෂය අත් හරින්නේ පක්ෂයට නායකත්වය දීමට වඩා රටට නායකත්වය දීම වඩා වැදගත් වන බැවිනි. තමන්ට අවනත නොවන ජරාජීර්ණ වූ ආකල්ප වලින් යුත් පක්ෂය අත් හැර තමන්ට අවනත වන රටට නායකත්වය දීම වඩා ප්‍රශස්ත වන්නේ ය. එවිට රාජපක්ෂට හෝ වෙනයම් අයකුට හෝ අවශ්‍ය පරිදි පක්ෂය මෙහේය විය හැකි අතර ඇති කරගත් දේශපාලන සම්මුතිය මත කටයුතු කරමින් ඉදිරි වසර පහ තුළ රටට නායකත්වය දී ගෞරවනීය මෙහෙවරක් ජනාධිපතිවරයාට සිදු කළ හැකිය. එවිට පක්ෂයෙන් එල්ල වන නරක නාමය අවලංගු වන අතර දේශපාලන සම්මුතිය අනුව කටයුතු කිරීම නිසා සමස්ත රටෙන්ම ගෞරවයක් ලැබේ. පළමු ධූර කාලයෙන් පසු විශ්‍රාම යන්නට සිටින, පළමු ධූර කාලයේ කාල සීමාව පවා වසරකින් කෙටි කර ගත් එසේම සැලකිය යුතු පරිදි විධායක බලය අත් හැරි ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට තැත් කිරීම අර්ථ විරහිත වන්නේ එබැවිනි.
මේ මොහොත වනවිට ජනාධිපතිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට ද තමන් සමාජය සමග එළඹි දේශපාලන සම්මුතිය අමතක වෙමින් තිබේ. ඒ නිසා ඒ දෙදෙනාම ශක්තිමත් කරන්නේ තම තමන්ගේ පක්ෂ කාඩරයන් ය. ආමන්ත්‍රණය කරන්නේ තම තමන්ගේ පක්ෂ කාඩරයන්ට ය, එහෙත් ඒ හා සමාන්තරව මේ දෙදෙනාම සමාජයේ විසුළුවට ලක්වන්නේ ජනාධිපතිවරණයේ දී මේ දෙදෙනාම සමාජය සමග එළඹි සම්මුතිය අමතක කරන බැවිනි.
ප්‍රධාන පක්ෂ දෙකෙන් සමන්විත ජාතික ආණ්ඩුවක දේශපාලන සංස්කෘතිය අපේ රටට නුහුරු අත්දැකීමකි. මේ වනවිටත් පවතින හවුල් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බවට පරිවර්ථනය වී නැත්තේ එබැවිනි. ජාතික ආණ්ඩුවක් ඇති කර ගන්නේ දෙපාර්ශ්වයක් හෝ ඊට වැඩි ගණනක් හෝ එකග වන පොදු කරුණු මත පිහිටුවමිනි. එවිට එකග නොවන කරුණු ඉස්මත්තට ගන්නේ නැත. එහෙත් මේ හවුල් ආණ්ඩුවේ දෙපාර්ශ්වයම ඉස්මත්තට ගන්නේ එකග නොවන කරුණුමය. විවේචනය කරන්නේම අනෙකාය. එබැවින් මේ හවුල් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බවට පරිවර්තනය වීම උගහට ය.
පක්ෂ දේශපාලනය ශක්තිමත් කිරීමේ සම්ප්‍රදායි ආකල්ප වලින් මේ මොහොත තුළ වෙනස් විය යුතු අතර ප්‍රධාන පක්ෂ දෙකේ එකගතාවකින් යුතු ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීම සදහා දේශපාලන සම්මුතිය ශක්තිමත් කර ගත යුතුය. ඒ ජාතික ආණ්ඩු කාලය තුළ රටේ ප්‍රධාන ප්‍රශ්න සදහා විසදුම් සම්බන්ධයෙන් එකගතාවකට ආ යුතු අතර එකගවිය හැකි කරුණු මත පමණක් පිහිටමින් සම්මුතියකින් කටයුතු කළ යුතුය.
අපේ සමාජයට ජාතික ආණ්ඩු අලුත් අත්දැකීමක් නිසා ඒ නුහුරු සංස්කෘතියට ඇති බාධා ඉවත් කර ගැනීම නායකයන්ගේ මැදිහත්වීම මත විය යුතුය.
තමන්ටම ආවේනික දේශපාලන පෞර්ෂයකින් රටට නායකත්වය දී විශ්‍රාම යෑමට බලාපොරුත්තුවෙන් සිටින ජනාධිපතිවරයා නායකත්වය දිය යුත්තේත් එමගින් ශක්තිමත් වී විසදුම් ලබාදිය යුත්තේත් රට හමුවේ පවතින මෙවැනි ගැටළු වලට ය. ඒ අනුව ජනවාරී 08 වන දා බලාපොරුත්තු වූ ජනතා ජයග්‍රහණය සදහා මූලික වූ දේශපාලන සම්මුතිය ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා පෙරට ඒම අනිවාර්ය අවශ්‍යතාවකි. ඔහුට අභිමානවත් නායකයකු සේ විශ්‍රාම යා හැක්කේ එවිට පමණක් බව සටහන් කර තැබිය යුතුය.
*shan.info1978@gmail.com
Navaratna Bandara / June 30, 2015
Well Said Philip
ජනාධිපතිවරයාගේ දේශපාලන චරිතය පෞර්ෂවත් වන්නේත් ශක්තිමත් වන්නේත් නොගැලපෙන දේශපාලන සංස්කෘතියක කටයුතු කරන රාජපක්ෂ හා බල අරගලයකට යෑමෙන් නොවේ. ඔහු මේ මොහොතේ කළ යුත්තේ රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම අයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර දී එම වගකීම අත් හැරීමයි. අනතුරුව ජනවාරි 08 වන දා ජනතා ජයග්‍රහණයට පාදක වූ මහජන සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ හා අනෙකුත් ප්‍රගතිශීලී බලවේග සමග ඇති දේශපාලන එකගතාව ශක්තිමත් කර ගැනීමයි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් හැරීම කිසියම් හෝ දෝෂදර්ශනයකට මූලික නොවේ. ඔහු පක්ෂය අත් හරින්නේ පක්ෂයට නායකත්වය දීමට වඩා රටට නායකත්වය දීම වඩා වැදගත් වන බැවිනි. තමන්ට අවනත නොවන ජරාජීර්ණ වූ ආකල්ප වලින් යුත් පක්ෂය අත් හැර තමන්ට අවනත වන රටට නායකත්වය දීම වඩා ප්‍රශස්ත වන්නේ ය. එවිට රාජපක්ෂට හෝ වෙනයම් අයකුට හෝ අවශ්‍ය පරිදි පක්ෂය මෙහේය විය හැකි අතර ඇති කරගත් දේශපාලන සම්මුතිය මත කටයුතු කරමින් ඉදිරි වසර පහ තුළ රටට නායකත්වය දී ගෞරවනීය මෙහෙවරක් ජනාධිපතිවරයාට සිදු කළ හැකිය.
Navaratna Bandara
/