25 April, 2024

Blog

නන්දිකඩාල් කළපුවේ සින්දු කියන මාළුන් නැත්තෙ ඇයි?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

අනුරාධපුරයේ සිට පදවි පරාක්‍රමපුර තෙක් ආ කාපට් ඇතුරූ මාර්ගය පදවි ශ්‍රී පුර බලා යයි. පරාක්‍රම පුරයෙන් වමට හැරී වැලිඔය බලා යන මාර්ගය පැරැණි ගල් අතුරා තාර දැමූ මාර්ගයකි. එය සම්පත්නුවර, ඇහැටුගස්වැව හරහා කිරි ඉබ්බන් වැව ගම්මානය තෙක් යනතුරු කාපට් පාරක් හමු නොවේ. වැලිඔය කිරිඉබ්බන්වැව් තාවුල්ල පසු කරන විට ආරම්භ වූ කාපට් පාර දිව යන්නේ මුලතිව් කරා ය. වැලිඔය සිට මුලතිව් කරා කිලෝමීටර් 47ක් පවතී. මගේ ගමන් සගයා තම ජව සම්පන්න යතුරු පැදිය උදෑසන නැවුම් සීතල සුළග අතුරින් මුලතිව් කරා පදවයි. කිරි ඉබ්බන් වැව ගම්මානය පසු කර ජනකපුර කරා එනවිට ක්‍රමයෙන් සිංහල ජනාවාස අවසන් වෙමින් පවතී. දෙමළ ජනයා සංවිධානාත්මකව පළවා හරින්නට පෙර පදිංචිව සිටි ප්‍රදේශය තවමත් පවතින්නේ ජනශූන්‍යවයි. අනතුරුව මුලතිව් කැළයේ ගිනිකොනදිග පෙදෙස මැදින් අපේ ගමන් පථය මුළුමනින්ම ජන ශූන්‍ය කලාපයක් පසු කරයි.

වැලිඔය යුද හමුදා කදවුර පසු කර ඉදිරියට එන විට අතරින් පතර තිබූණේ හමුදා බංකරයක් දෙකක් වුවද ජනකපුර පසූකර මුලතිව් දෙසට එන විට කුඩා හමුදා කදවුරු මීටර් පන්සියයෙන් පන්සියයට පමණ දක්නට ලැබේ. ඒ අතර අතර මැදි ප්‍රමාණයේ කදවුරු ද පවතී. වෙනදා මේ කදවුරු අසල දී ලොකු පිළි ගැනීමක් තිබූ යුද හමුදා භටයන්ට දැන් එවැනි වටිනාකමක් ලැබෙන්නේ නැත.එනිසා අතරින් පතර මහා මාර්ගයේ යන වාහනයක් දෙස බලා මද සිනහවක් පා තම කාන්සිය නැති කර ගැනීමට ඔවුහු පෙළඹී සිටීම උත්ප්‍රාසජනක ය.

Nandikadal Armyමුලතිව් දෙසට ඇදෙන මහා මාර්ගය මුළුමනින්ම කාපට් අතුරා තිබෙන නිසා මගේ මිතුරා පහසුවෙන් හා වේගයෙන් යතුරු පැදිය ධාවනය කරයි. රථ වාහන සීමිතවීම අපේ වේගයට ජවයක් සපයයි. එහෙත් අධික වේගය මට වටපිට බලන්නටත් ඒවා තේරුම් ගන්නටත් බාධා කරයි. මා තේරුම් ගන්නා සගයා යතුරු පැදියේ වේගය අඩු කර මට යමක් පැහැදිලි කරයි.

“වැලිඔයට දුන්නේ ලයිට් විතරයි. ටෙලිෆෝන් නෑ. වතුර නෑ. ගෙවල් හැදුවෙත් නෑ. ඒකට බලන්නකො මෙහේ.”

සගයාගේ සියුම් චෝදනාවේ ඇත්තක් පවතී. මුලතිව් කරා යන මේ ගමනේ දී දක්නට ලැබුනේ කාපට් මහා මාර්ගයන් පමණක් නොවේ. අලුතින් ඇදි විදුළි රැහැන්, දුරකථන රැහැන්, ජල කරාම හා කොන්ක්‍රීට් පාරවල් ද දක්නට ලැබුණි. යුද්දයෙන් විනාශ වූ සමහර නිවෙස් යළි ඉදිකර ඇත. සමහර නිවෙස් ප්‍රතිසංකරණය වෙමින් පවතී. සමහර නිවෙස් වසාදමා පවතින්නේ ජනාවාසයෙන් තොර යැයි ඉගිකරමිනි. මගේ මිතුරා පැවසුවේ එසේ වසාදමා ඇත්තේ පවුල් පිටින් යුද්දයට හසුවී මිය ගොස් ඇති මිනිසුන්ගේ නිවෙස් විය හැකි බවයි.

“මහින්ද මහත්තය දෙමළ මිනිස්සුන්ට ඔක්කොම දුන්න. ගෙවල් දුන්න, වතුර දුන්න, ලයිට් දුන්න, ටෙලිෆෝන් දුන්න, කාපට් පාරවල් දුන්න, කොන්ක්‍රීට් පාරවල් දුන්න. හැබැයි ඉතින් දෙමළ මිනිස්සුන්ට ඕන උනේ නිදහස. ඉතින් එයාලට මොනව දුන්නත් නිදහස නැති නිසා එයාල මහින්ද මහත්තයව පැරද්දුව”

මිතුරා තොරතෝන්චියක් නැතිව මට කරුණු පැහැදිලි කරමින් යයි. ඔහුගේ කතාවේ ඇත්තක් තිබේ. රාජපක්ෂ රෙජීමයේ ප්‍රධාන අමාත්‍යංශය වූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තේ උතුරු නැගෙනහිර භෞතික සංවර්ධනයටයි. හැමදේම දුන්නත් නිදහස නොලැබුන නිසා දෙමළ ජනයා අතර මහින්ද රාජපක්ෂට පිළිගැනීමක් නොලැබුණි. ඒ අනුව ඔහු නියම ඉල්ලන් කෑම කා ඇත්තේ දෙමළ ජනයාගෙන් විය යුතුය. යුද්දය අවසන් වූ පසුව ඔහු දෙමළ ජනතාව දිනා ගැනීමට යොදා ගත්තේ භෞතික සම්පත් ලබාදීමයි. එහෙත් යුද කිරීමට හේතු වූ දේශපාලන කාරණා පිළිබද සවිඥාණිකත්වයක් තිබූ දෙමළ ජනයා භෞතික සම්පත් ලබා ගැනීමෙන් සෑහීමකට පත් නොවුණි.

මට මතක් වූයේ ඊ.පී.ඩී.පී. සංවිධානයේ ඩග්ලස් දේවානන්ද 2003 දී මා සමග කී කතාවකි.

” අපි රජයට එරෙහිව අරගල කළා. අපේ ජනතාවගේ අයිතීන් දිනා ගන්නයි අපි අරගල කළේ. ඒත් දකුණෙ දේශපාලන නායකයන් හදන්නෙ උතුරෙ මිනිස්සුන්ට කන්න බොන්න දීල ඒ මිනිස්සු ජය ගන්න. මම දකුණෙ සිංහල නායකයන්ට කියන්නෙ දෙමළ ජනතාවට අපහාස කරන්න එපා කියලයි.”

උත්ප්‍රාසය වන්නේ එහෙව් කී ඩග්ලස් දේවානන්ද කැබිනට් ඇමතිවරයකු වූ රාජපක්ෂ රෙජීමය ද දෙමළ ජනතාව දිනා ගැනීමට වෑයම් කළේ ඔවුනට කන්න බොන්න දීමෙන් පමණයි වීමයි.

මුලතිව් නගරය එතරම් ක්‍රියාකාරීත්වයකින් හා කලබලකාරීත්වයකින් යුත් නගරයක් නොවේ. තවමත් නගරයේ ගැවසෙන්නේ විවිධ අවශ්‍යතාවන්ට ඔබ මොබ යන සිවිල් ඇදුමින් සැරසුන යුද හමුදා භටයන් ය. උදෑසන අට පමණ වනවිටත් දැරිය නොහැකි අව් රශ්මියකින් නගරය වෙලාගෙන තිබුණි. නගරයේ මාර්ගයන් අතුරින් ඇවිද ගිය අපි ඊළගට හැරුනේ පුදිකුඩි ඉරුප්පු නගරය දෙසටයි. එම මාර්ගයේ ටික දුරක් යතුරු පැදිය පැදවූ මිතුරා දකුණට හැරුණ අතුරු මාර්ගයකට යොමු වුණි. නන්දිකඩාල් කලපු ප්‍රදේශය හා මුහුදු කොටින්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ ප්‍රදේශයේ තවමත් යුද්දයේ දී අල්ලා ගත් එල්ටීටීඊයේ යුද උපකරණ ප්‍රදර්ශනයට තබා තිබේ. ඒවා පසු කරමින් වෙල්ලමුල්ලිවයික්කාල් හා පුදුමාතලන් ප්‍රදේශ ඔස්සේ යන අපගේ ඉලක්කය වූයේ පුදිකුඩු ඉරුප්පු නගරයයි.

පුදුමාතලන්හි ඉදිකර තිබූ එල්ටීටීඊ සංවිධානයේ ආරක්ෂක පස් බැම්ම පසු කර ඉදිරියට යන විට ඉද හිට මිනිසුන් හමුවුණි. ඔවුන්ගේ මුහුණු දැඩි විඩාබර ස්වරයකින් දක්නට ලැබුනේ යුද්දයේ පීඩාව තවමත් පහව ගොස් නොතිබූ නිසා විය හැකිය. එහෙත් යුද්දය නිසා විනාශ වූ තම නිවෙස් වහ වහා පිළිසකර කර තිබුනේ අලුත් ජීවිතයකට සූදානම් වෙන්නට මෙනි. ඒ සදහා ශ්‍රී ලංකා රජයේ, රාජ්‍ය නොවන සංවිධාන හා විදේශ ආධාර මත වූ ප්‍රතිපාදන යොදාගෙන තිබුණි. එල්ටීටීඊ සංවිධානයේ මුහුදු කොටි බලකායේ ප්‍රධානියා වූ සුසෙයිගෙ නිවෙස පිහිටි ප්‍රදේශය මේ වනවිට පිළිසකර කර ඇති අතර අතුරු මාර්ග කොන්ක්‍රීට් කර විදුලි බලය ලබා දී තිබේ. ජනයා ද සාමාන්‍ය ජනජීවිතය ආරම්භ කර ඇති බවක් දක්නට ලැබේ.

පුදුකුඩි ඉරුප්පු – ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ පිහිටි කැළෑවේ තිබූ එල්ටීටීඊ නායකයාගේ නිවෙස යුද්දය නිමාවත් සමග මහජන ප්‍රදර්ශනයට විවෘත කර තිබුණි. එහි ගිය දකුණේ ඇත්තෝ යුද්දය සම්බන්ධයෙන් පහන් සිත් ඇති කරගෙන දකුණට ආහ. එසේ ඇවිත් “දෙමෙල්ලුන්ට කත් ඇද්දෙ නැති එකම නායකයා” යැයි කියමින් රාජපක්ෂලාටම කතිරය ගැසූහ. එහෙත් මේ වනවිට ඒ නිවෙස දැක බලා ගැනීමට යුද හමුදාව විසින් ඉඩ නොදේ. හමුදා බල ඇණියක් එහි රදවා ඇති අතර පිවිසුමේ කිසිවකු නොමැති නිසාත් ඇතුළුවීමට තහනමක් සදහන් කර නොතිබූ නිසාත් කැළෑව පසුකර අපි ඇතුළට ගියෙමු. කදවුර ආසන්නයේ දී හමුවූ යුදහමුදා භටයෙක් තත්ත්වය අපට පහදා දී යාප්පුවෙන් ඉල්ලා සිටියේ ඉහළ නිලධාරියකු දකින්නට පෙර වහා ඉවත්ව යන ලෙසයි.

එල්ටීටීඊ නායකයාගේ නිවෙස දැකබලා ගන්නට ඉඩ නොදෙතත් පුදිකුඩුඉරුප්පු – මුලතිව් මාර්ගයේ පිහිටුවා ඇති යුද ස්මාරකය අසල එල්ටීටීඊයෙන් අල්ලා ගත් යුද අවි හා උපකරණ ප්‍රදර්ශනයට තබා තිබේ. එසේම යුද්දයේ අවසන් අවස්ථාවේ ඡායාරූප රාශියක් ද ප්‍රදර්ශනයට තබා ඇත. ඒවා පැහැදිලි කරදෙන යුද භටයන්ගේ කටෝර ස්වරය දකුණෙන් යන ජනයාට ජවයක් සපයයි. ඒවා නරඹා එළියට එන්නේ වර්ගවාදයෙන් හිස කුරූවල් කර ගත් පිරිසක් මිස යුද්දයෙන් විනාශ වූ ජන ජීවිතයට යහපත් සාමග්‍රීය අදහස් ගෙන එන විවෘත ජන පිරිසක් නොවේ.

යුද්දයක් අවසන් වූ පසුව පශ්චාත් යුද අවධිය කළමනාකරණය කිරීම සදහා පියවර ගන්නේ ජයග්‍රාහකයා විසිනි. ප්‍රතිසංධාන ක්‍රියාවලියකට මුල් පියවර තැබිය යුත්තේ ඒ අනුව ය. ඒ සදහා ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණයන් පවතී. දකුණු අප්‍රිකාවේ පී ඩබ්ලිව් බෝතා පාලනය අවසන්ව ස්වදේශීකයන්ට බලය ලැබුන මොහොතේ නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කළේත් ඇමෙරිකානු සිවිල් යුද්දය ජයග්‍රාහීව අවසන් කළ පසුව ඒබ්‍රහම් ලින්කන් අනුගමනය කළේත් මිත්‍ර ජාතීන් ජපානය යටත් කළ පසුව අනුගමනය කළේත් එවැනි වැඩපිළිවෙලකි. එහෙත් යුද්දයේ ඉතුරු බිතුරු පෙන්වමින් ප්‍රතිසංධානයකට යන්නට තැත් කරන අපූරු දේශපාලනයක් ලංකාවේ පශ්චාත් යුද සමයේ අනුගමනය කිරීම කනගාටුදායකය.

මුලතිව් සිට නෙදුන්කර්ණි හරහා වව්නියාවට දිවෙන මාර්ගය ද මුළුමනිම කාපට් අතුරා සකස් කර ඇත. සතියේ දිනක වුවත් ඒ මාර්ගය ජනශූන්‍ය බවක් දිස් වූ අතර නෙදුන්කර්ණි නගරය කරා එන විට ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ දකුණේ නගරයක් ලෙස දිස්වුණි. වී අස්වනු නෙලන කාලය බැවින් වාහන නොමැති කාපට් පාරේ එක පැත්තක් මුළුමනින්ම වී වේලීමට යොදා ගැනීමට ගොවියෝ පෙළඹී සිටියහ. මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කයක් වුවද එය පාර්ලිමේන්තු මැතිවරණ දිස්ත්‍රික්කයක් වන්නේ වව්නියාව හා මන්නාරම යන දිස්ත්‍රික්ක දෙක ද ඊට හවුල් වී වන අතර ඊට වන්නි දිස්ත්‍රික්කය යැයි කියනු ලැබේ. 2012 ජනසංගණනය අනුව 91,947ක ජනතාවක් මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කයේ වාසය කරති. ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල බල ප්‍රදේශයන් හයක් එහි පිහිටුවා ඇති අතර ඒවා නම් මාන්තෙයි නැගෙනහිර, මුහුදු බඩ පත්තුව, ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩුයිඉරුප්පු, තුනුක්කායි හා වැලිඔය වේ.

එල්ටීටීඊ සංවිධානයත් ලංකා රජයේ ආරක්ෂක හමුදාත් කරගෙන ගිය යුද්දයේ අවසන් තීරණාත්මක සටන ඇවිළුනේ මුලතිව් නන්දිකඩාල් කළපුවේ නිසා ඉතිහාසයේ අමානුෂිකම ක්‍රියා මෙම ප්‍රදේශයේ සිදුවන්නට ඇතැයි සැක කෙරේ. මේ නිසා දෙමළ ජනතාව හා සිංහල ජනතාව අතර සහජීවනය ඇති කිරීමේ දී ගැටළු පැන නැගීම ස්වභාවිකය. ඒ නිසා පශ්චාත් යුද සමය කළමනාකරණය කිරීම අතිශයෙන් සංකීර්ණ ක්‍රියාවලියක් වීම ද ස්වභාවික ය. එහෙත් ඒ සදහා අවශ්‍යයෙන්ම පියවර ගත යුතුය. එය ආරම්භ කළ යුත්තේ යුද්දයේ ජයග්‍රහකයා යි.

වැලිඔය කලාපයේ සිංහල ජනයා අසරණව සිටිය දී මුලතිව් කලාපයේ දෙමළ ජනයා ද අසරණව සිටිති. සිංහල ජනයාට වඩා දෙමළ ජනයාට භෞතික සම්පත් ලැබී තිබෙන්නට පුළුවන් විය හැකිය. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ සියළු ජන කොටස්වම මානව ජීවන තත්ත්වයන් මීට වඩා සංවර්ධනය විය යුතුය. ඒ සදහා පාර්ශවයන් දෙකම අත් වැල් අල්ලා ගත යුතුය.

ජන කොටස් දෙක අතර සංහිදියාව ඇති කර ගැනීම සදහා පවතින බරපතලම ප්‍රශ්නය නායකයන් නොමැති කමයි. ඒ ඒ ජනකොටස් වලට නායකයන් සිටියත් සමස්ත ජනතාවට නායකයන් නොමැත. මේ නිසා සමස්ත ජනතාවගේ මානව තත්ත්වය උසස් කර ගැනීම සදහා බලාපොරුත්තු තබා ගැනීම ශුෂ්කර කටයුත්තක් වී ඇත.

මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය අයත් වන්නේ වන්නි පාර්ලිමේන්තු මැතිවරණ දිස්ත්‍රික්කයටයි. වන්නි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු ආසන හයකි. ඉන් හතරක් දෙමළ ජාතික සංධානයට ද එක්සත් ජාතික පක්ෂයට හා එක්සත් ජනතා නිදහස් සංධානයට එක් ආසනයක් බැගින් ද ලැබී තිබේ. මෙම මන්ත්‍රීවරුන් හයදෙනාම නියෝජනය කරන්නේ වව්නියාව හා මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කයි. මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ නැත. නැගෙනහිර පළාත් සභාවට මුලතිව් දිස්ත්‍රික්කයෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් පස්දෙනකු තේරී පත්ව ඇති අතර ඉන් හතරදෙනකු දෙමළ ජාතික සංධානයෙනි. එක් මන්ත්‍රීවරයකු එක්සත් ජනතා නිදහස් සංධානයෙනි.

ජාතික දේශපාලනය නියෝජනය කිරීමට මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කයෙන් නියෝජනයක් නොමැතිවීම බරපතල තත්ත්වයකි. මේ නිසා ජාතීන් අතර සංදියාව හා සහජීවනයට ද එය අයහපත් අන්දමින් බලපාන්නේ යැයි පෙනෙන්නට තිබේ. මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කයේ සුළු ජනකොටසක් වන සිංහලයන් සම්බන්ධයෙන් තබා දෙමළ, මුස්ලිම් ජන කොටස් සම්බන්ධයෙන් පවා සොයා බලන්නට ජාතික දේශපාලනය නියෝජනය කරන්නකු නොවීම කනගාටුදායකය. එසේම සියළු ජනකොටස් වලට ආමන්ත්‍රණය කළ හැකි දිස්ත්‍රික් නායකයකු නොවීම ඊටත් වඩා කනගාටුදායකය.මේ නිසා දෙමළ, මුස්ලිම් හා සිංහල යන ජනකොටස් එකිනෙකාට චෝදනා කරමින් වෙන වෙනම ජීවත් වෙති. සම්පත් බෙදා ගැනීම සදහා වර්ගවාදය පතුරවති. ඒ නිසා සමස්ත ජනතාවට උදා වී ඇත්තේ දුෂ්කර තත්ත්වයකි.

නෙදුන්කර්ණි කුඩා නගරය අයත් වන්නේ වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට ය. එම කුඩා නගරයට ඔබ්බෙන් බස් නැවතුම් පළක් ඉදි කර ඇත. එම බස් නැවතුම් පළට අප ළගා වන විට වව්නියාව සිට මුලතිව් බලා යන මගී ප්‍රවාහන බස් රථයක් තේ පානය සදහා එහි නවතා තිබුණි. එය පිටත්ව ගිය පසුව කුඩා හෝටලයේ දෙමළ ජාතික මුදලාලිගේ අවධානය අප වෙත යොමු වුණි. බීමට වතුර මිල දී ගැනීමට ගොස් සිංහලයන් බව තහවුරු වූ නිසාදෝ ඔහු අප දෙස විමසිල්ලෙන් බලා සිටියේ ය. ඔහුට සිනහවකින් සංග්‍රහ කළ අතර ඊට පෙරළා සිනහකින් ප්‍රතිචාර ලැබුණි. එහෙත් ඔහු හා වචනයක් දෙකක් කතා කරන්නට නොහැකි වුණි. ඔහුට සිංහල තේරුම් ගැනීමට හෝ කතා කිරීමට නොහැකිය. මට දෙමළ කතා කිරීමට හෝ තේරුම් ගැනීමට නොහැකිය. උපන් බිමේ කිලෝ මීටර් දෙතුන් සියයක පරතරයක දී එකම පුරවැසියන්ට අදහස් හුවමාරු කරගැනීමට නොහැකිවීම ගැන මට ඇතිවූයේ බලවත් ලැජ්ජාවකි. ඒ සමගම කනගාටුවකි.

නෙදුන්කර්ණි නගරයේ සිට වැලිඔය කරා දුෂ්කර මාර්ගයක් පවතී. ඒවායේ කරක් ගසා ඇති මගේ ගමන් සගයා මා අතුරු පාරවල් වලින් ද ප්‍රධාන පාරවල් වලින් ද ගෙන ආවෙ වැලිඔය කරා පැමිණීමේ අදහසිනි. නැදුන්කර්ණිහි පෙර පැවැති ඉදිරි ආරක්ෂක වලල්ල පසු කර තවත් ඉදිරියට එනවිට හමුවන්නේ ගජබාපුරයි. ගජබාපුර දුෂ්කර ගම්මානයකි. ඒ ගම්මානයේ දුෂ්කර ජීවිත ගෙවන මිනිසුන් පසු කරමින් එන විට මට හිතුනේ වැලිඔය සිංහල මිනිස්සු මෙන්ම මුලතිව් දෙමළ මුස්ලිම් මිනිස්සු ද එකම උගලක පැටළී ඇති බවකි.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    This is a well-researched article written by Philip. Indeed, a lot of blood, sweat and tears have gone into it. Making field visits, taking to people on the ground and writing a piece on the basis of what one learned about a given situation is far better that writing one on the basis of facts and views phoned in/emailed by a friend or contact. So, let me take my hat off to this writer. I myself organized and conducted a seminar to help students of the Mulaithivu district who were to sit the last year’s Grade -5 Scholarship Examination, especially targeting children from the war-affected families, and what I came to observe was heart-breaking, and really pricked my conscience.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.