6 December, 2019

Blog

‘ප්‍රජාපීඩක සමාජවාදය’ සහ ලංකවේ ශිෂ්‍ය දේශපාලනය

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

ලංකාවේ තිබෙන්නේ ශිෂ්‍ය දේශපාලනයකටත් වඩා තෝරාගත් දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවෙනු ලැබෙන රූකඩ මාදිලියේ දේශපාලනික ක්‍රියාකාරීත්වයක් බව බැලූ බැල්මටම පෙනේ. විශ්වවිද්‍යාල යන සන්දර්භය තුළ අඩුම තරමින් න්‍යායික අර්ථයෙන්වත් අප බලාපොරොත්තු වන්නේ තමන්ගේම කියා චින්තන වපසරියකින් හෙබි බුද්ධිමය විචාර භාවිතාවක් වුවද මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ජවිපෙ හා පෙසප ආධිපත්‍යයේ ගොදුරු බවට පත් වීම නිසාම එහි තිබිය යුතු පරිණත බව සහමුලින්ම පාහේ අහෝසි වී ඇති බව අපි දකිමු. (විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතීන්ට හා බුද්ධිමය සම්පත්වලට අදාළ ගැටළුද මීට බලපාන නමුදු ඒවා වෙනම සලකා බැලිය යුතු කරුණුය). මෙරට ප්‍රගමනය කරා මෙහෙයවීමට විභවයක් ඇතැයි අපට සිතීමට සිදු වන තරුණ පිරිසක් මෙවැනි දේශපාලනික අතකොලු බවට පත් වීම ඛේදවාචකයක් වන්නේ ජාතික වශයෙන් වැදගත් බොහෝ අර්බුදවලදී විචාරශීලී තරුණ ජවයක මැදහත් වීමට ඇති ඉඩ ඉන් ඇහිරී යන හෙයිනි. මගේ ලිපියට වඩාත් අදාළ කාරණය වන්නේ බාහිර සමාජය තුළ සමාජ සමානාත්මතාව, සමාජවාදය, අසාධාරණයට කොන්දේසි විරහිතව විරුද්ධ වීම ආදී තේමා තෝරා ගෙන හඬ නගන මෙවැනි පක්ෂවල ‘පෝස්ටර බලකාය’ නියෝජනය කරන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තරික වශයෙන් පවතින ප්‍රජාතන්ත්‍ර-විරෝධී භාවිතාවයි. මෙහි වඩාත් දෘශ්‍යමාන කලඑළි බැහීම අප දකින්නේ නවක වධය ආශ්‍රිතවය.sri-lanka-protests 1-colombotelegraph - Copy

සාමාන්‍යයෙන් තමන්ගේම පන්තියේ මිනිසුන් වධ බන්ධනයට ලක් කිරීම, ඔවුන්ව පාගා දැමීම සහ ඔවුන් හඬක් නොමැති එහෙයියන් ලෙස පාලනය කොට තබා ගැනීම ආදී ක්‍රියා මෙකී දේශපාලන පක්ෂවල න්‍යායික ආදර්ශය ලෙස පෙනෙන්නට තිබෙන මාක්ස්වාදයටත්, පොදුවේ සමාජවාදයටත්, මුළුමනින්ම පටහැනි බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමාජයක සාමාජිකයන් පදනම් විරහිතව වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් බලාපොරොත්තු විය හැකි සමාජ-වාදයක් තිබේද? ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යම්කිසි මැදහත් වීමක් සිදු කරන අපට මෙවැනි ගෝත්‍රික හා මර්ධක උපකරණ සහ උපායමාර්ග පිටු නොදැක සිටිය නොහැක. සැබැ අර්ථයෙන් මාක්ස්වාදී යැයි කට පුරා කිව හැකි කිසිදු දේශපාලනික පක්ෂයක් ලංකාවේ නොමැති බවට මා තර්ක කරන එක හේතුවක් වන්නේද මෙයයි.

සුරංගනා කතාව

ලංකාවේ විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව යහමින් ක්‍රියාත්මක වන නවක වධයට අදාළ මූලික සුරංගනා කතා දෙකක් තිබේ. එක් පැත්තකින් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සහ අන්තරය පුන පුනා කියන සුපුරුදු සුරංගනා කතාව වන්නේ අන්තරය වත්මන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කිසිදු ආකාරයක ‘නවක වධයක්’ ක්‍රියාත්මක නොකරන අතර තිබෙන්නේ නවක සිසුන් විශ්වවිද්‍යාල පරිසරයට හුරු කරවීම තුළින් ඔවුන්ට ‘හොඳක්’ කිරීම අරමුණු කොට ගත් අනුරූපතා ප්‍රයත්නයන් බවයි. වැස්සකට හෝ විශ්වවිද්‍යාලයකට ගොඩ වැදුණු අයෙකුට මෙහි ඇති විහිළුකාරීත්වය තේරුම් ගැනීම අපහසු නැත. නවක වධයට පදනම් වන මූලිකම මූලධර්මය වන්නේ සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුළු වූ තැන් පටන්ම පිට කොඳු බිඳ දමා ‘ඉහළින්’ එන ඕනෑම මතවාදයක් කරපින්නා ගැනීමට හුරු කරවන රූකඩ බිහි කිරීම වන අතර අඳින ඇඳුමේ පටන් සීමා දමමින් ‘අමුතු’ ධූරාවලියකට සිසුන් හුරු කරවීමේ අපමණ උත්සහයන් නිරන්තරයෙන් දරනු ලැබේ. සාමාන්‍යයෙන් ලංකාවේ විශ්වවිද්‍යාලවල පළමු වසරේ සිසුන් සහ උසස් පෙළ සිසුන් අතර කිසිම වෙනසක් නැති වීමටත්, දෙවන වසරේදී සහමුලින්ම ‘සමාජවාදී සරසවි සිසුවාගේ’ භූමිකාව ත්‍රස්තවාදියෙකුගේ භූමිකාව බවට පරිවර්තනය වීමටත් මෙය ඍජුව බලපායි.

‘අසාධාරණයට’ එරෙහිව අන්තරය හා අනෙකුත් ශිෂ්‍ය සංගම් වීදි බසිනු දැකීම මට විහිළුවක් වන්නේ අඩුම තරමින් ඕනෑම විප්ලවවාදී ව්‍යාපාරයක තිබිය යුතු මූලිකම කොන්දේසිය වන පුද්ගල සමානාත්මතාව යන්නම ඔවුන් විසින් බිඳ දමනු ලැබ ඇති හෙයිනි. මිනිසුන්ගේ කටවල් බැඳ ධූරාවලීගත එහෙයියන් බිහි කිරීම ධනවාදයේ නිසග ලක්ෂණයක් වන හෙයින් එහි පරස්පරය නියෝජනය කරන (හෝ එසේ කරන්නේ යැනි තමා විසින්ම උපකල්පනය කරගෙන සිටින) ‘සමාජවාදීන්’ තම භාවිතාව තුළ එය වැළඳ ගැනීමේ උභතෝකෝටිකය ඔවුන් විසින්ම විසඳා ගත යුතුය.

දෙවැනි සුරංගනා කතාව නම් ජවිපෙ, පෙසප වැනි දේශපාලන පක්ෂ ‘විශ්වවිද්‍යාල නවක වධය හා තම පක්ෂ අභිලාෂයන් අතර කිසිදු සම්බන්ධයක් නැති’ බව අමුතුවෙන් සමාජගත කිරීමට උත්සාහ දැරීමයි. මේ සුරංගනා කතා දෙකම මේ වන විටත් සමාජය ඉදිරියේ විහිළුවක් බවට පත්ව තිබුණද මොවුන් ඒ බව වටහා ගෙන ඇති සෙයක් පෙනී යන්නේ නැත. තම පක්ෂවලට අදාළ පෝස්ටර් ඇලවීම හෝ තමන් විසින් සංවිධානය කරනු ලැබෙන ‘සමාජවාදී(?)’ උද්ඝෝෂණ සඳහා අවශ්‍ය පිරිස් බලය ‘බලහත්කාරයෙන් හෝ’ ලබා ගැනීම පමණක් මොවුන්ගේ අරමුණ වී ඇති බව අපි දනිමු. වර්තමානයේ සරසවි සිසුවා යන භූමිකාව සමාජය ඉදිරියේ හෑල්ලු වීම කෙරෙහි මොවුන් දක්වා ඇති දායකත්වය සුළුපටු නැත. සරසවි සිසුන් සහභාගී වන සෑම උද්ඝෝෂණයකදීම පාහේ පොලීසියෙන් පළමුවෙන්ම ගුටි කන ‘බැටෑලියන් එක’ බොහෝ විට සමන්විත වන්නේ පළමු වසර සිසුන්ගෙන් බව දන්නෝ දනිති.

න්‍යාය විරෝධය

ශිෂ්‍ය සංගම් හා ඔවුන් නියෝජනය කරන පිරිස් නිතර නිතර හඬ ගා කියන සටන් පාඨ ‘අහුලා ගෙන’ ඇත්තේ මාක්ස්වාදී ව්‍යාපාරයන්ගෙන් බව බැලූ බැල්මටම පෙනනේ. එහෙත්, මොවුන් ඇත්තටම මාක්ස්වාදීද? මාක්ස්වාදය යනු මිනිස් වර්ගයා එක් අධිපති පන්තියක නිර්දය ආධිපත්‍යයෙන් මුදවා ගෙන සමානාත්මතා සමාජයක් බිහි කිරීම ඉලක්ක කර ගත් න්‍යායික ප්‍රවේශයකි. ඊර්ෂ්‍යාව හා ‘තමාට නැති දේ අනෙකාට ලැබෙතැ’යි බියෙන් තමන්ගේම පන්තියේ එකා පාගා දමා නැගිටීම කිසිසේත්ම මාක්ස්වාදයට අනුකූල නොවේ. චිංගීස් අයිත්මාතමව් ගේ ‘ගුරු ගීතය’ පොත කියවා මාක්ස්වාදීන් වෙන්නට හදන ඇතැම් සරසවි සිසුන්ට විකිපීඩියාවෙන් හෝ මාක්ස්වාදයේ මූලික න්‍යායික කරුණු ඇහිඳ ගන්නැයි මා නිතරම යෝජනා කරන්නේ එහෙයිනි.

ශ්‍රී ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් මාක්ස්වාදයට කර ඇති ලොකුම හානිය නම් ‘මාක්ස්වාදය යනු සමාජ විරෝධී උන්මත්තකයන්ගේ ඇදහිල්ලකි’ යන අදහස සමාජ මනස තුළ ඇති වන තැනට කටයුතු කිරීමයි. මීට බලපා ඇත්තේ මාක්ස්වාදය ගැන මොවුනගේ ඇති නොදැනුවත්භාවයටත් වඩා ඒ පිළිබඳ සංවේදීභාවයක් නැති වීම බව මට සිතේ. මේ බොහෝ මාක්ස්වාදීන්ගේ මාක්ස්වාදී නැඹුරුව පවතින්නේ කෙසේ හෝ දැනට සිර වී සිටින සමාජ තත්ත්වයෙන් අඩියක් ඉහළට පනින තුරු පමණි. ශිෂ්‍ය සංගම් මෙහෙයවමින් හා අනෙකුත් සිසුන් බිලී බා ගනිමින් ‘ශිෂ්‍ය දේශපාලනයක’ නිරතව සිට විමල් වීරවංස ජවිපෙ සිටි කාලයේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් තනතුරු උපයා ගෙන යහමින් කල් හැරි ‘ශිෂ්‍ය නායකයන්’ ගැන මම පෞද්ගලිකව දනිමි. කණගාටුවට කාරණය වන්නේ ඔවුන්ට එකී තනතුරු, යාන වාහන ආදිය උපයා දෙනු වස් දහස් සංඛ්‍යාත සිසුන් පොලීසියෙන් ගුටි කා තිබීමයි!

සැබෑ සමාජවාදයකින් අප බලාපොරොත්තු විය යුත්තේ සමානාත්මතාව හා ප්‍රජාතන්ත්‍රවාදය මිස ත්‍රස්තවාදය නොවේ. මේ නිසාම, මෙම ශිෂ්‍ය සංගම් මෙහෙයවනු ලබන දේශපාලන පක්ෂ තමන්ගේ න්‍යාය පත්‍ර (අඩුම තරමින් මවා පෙන්වන) සහ තමන් විසින් හසුරුවනු ලැබෙන පාර්ශ්වයන්ගේ ම්ලේච්ඡ හැසිරීම් ගැන නැවත නැවතත් සිතා බැලිය යුතුය. ‘නවක වධය නෑ’ කියන අය ‘නවක වධයක් එපා’ කියන තැනට පුරුදු පුහුණු කළ යුතුය. මේ අතරම, කිසිවෙකු ජීවත් වන විදිය තවෙකෙකුට හානියක් නොවන තාක් කල් ඔහුට හෝ ඇයට වධ බන්ධන කරමින් ජීවත් වීම පිළිබඳ පුහුණු පාඨමාලා පැවැත්වීම සහ සමාජවාදය අතර ඇති පරස්පරය වටහා ගැනීමට තැත් කළ යුතුය.

මාක්ස්වාදය පිළිබඳව අනුන්ගෙන් ඇහිඳ ගන්නා ප්‍රලාප ගිරවුන් මෙන් කියවීම වෙනුවට ඒවා හැදෑරීම තුළින් සමාජයටත්, මනුෂ්‍ය වර්ගයාටත් ආදරය කරන ‘සමාජවාදීන්’ බිහි වන තුරු එය සිහිනයක් ලෙසම පවතිනු ඇත.

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 8
    2

    කියන්න තියෙන හැමදේම කියල..ලිපියට ස්තුතියි.මම උපුටාගන්නවා?

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.