26 April, 2024

Blog

ශ්‍රී.ල.නි.ප.ය විධායක ජනාධිපති ක්‍රමයට එකගවීම හා පොල් කටුවෙන් ඇග වසා ගැනීමේ නින්දා සහගත උත්සාහය

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කිරීම සදහා වූ යෝජනාවලියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් ඇතුළු මැති ඇමතිවරුන්ගේ සම්මන්ත්‍රණයක් එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් කැදවා තිබුණි. එය පැවැත්වූයේ එවකට ඇමතිවරයකු වූ කිංස්ලි ටී වික්‍රමරත්නට අයත්ව තිබූ කළුතර ටැංජරීන් හෝටලයේ වන අතර දින දෙකක වැඩමුළුවකින් පසුව යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය එළිදැක්වුණි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා එකල පැවැති මහජන සංවාදයේ එක් සැලකිය යුතු සංශෝධනයක් වූයේ පාර්ලිමේන්තුවේ සංයුතිය අඩු කිරීමයි. බලය බෙදා හරින ව්‍යවස්ථාවක් තුළ ඇතිවන ප්‍රාදේශීය පාලන ඒකක වලින් යුත් රාමුවක් තුළ මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුව දැනට පවතින ආසන 225කින් යුක්තවීම අර්ථ විරහිත බව මතයක් තිබුණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ආසන ගණන 150 කට හෝ ඒ ආසන්න සංඛ්‍යාවකට අඩු කිරීමට යෝජනාවක් ලෙස සාකච්ඡා වුණි. ඊට එකග නොවෙමින් ටැංජරීන් සමුළුවේ දී තීරණය වී තිබුනේ ආසන 225 සංඛ්‍යාව එලෙසම තබා ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ බවයි. ඊට හේතු වශයෙන් සාකච්ඡා වී තිබුනේ ආසන සංඛ්‍යාව 150කට අඩු වුවහොත් ඒවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් වූ බොහෝ පිරිසකට තම තනතුරු අහිමිවන නිසා එවැනි යෝජනාවකට එකග නොවූ බවකි.

ශ්‍රී.ල.නි.ප.ය ලැජ්ජා සහගත ස්ථාවරයක

ඒකීය රාජ්‍ය ව්‍යුහය තුළ ත්‍රස්තවාදය පරාජය කිරීම කළ යුතු යැයි ද එනිසා සාකච්ඡා වලින් ප්‍රජාතන්ත්‍රවාදී විසදුමකට යා හැකි යැයි හාංකාවිසියක වගක්වත් නොතිබූ කාලයක රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කරමින් ඒකීය ක්‍රමයේ සිට ෆෙඩරල් ක්‍රමයකට යා යුතු බව තම අදහස් නොබියව ප්‍රකාශ කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක බලය ලබා ගත් පසුව අධිපති මතයට යටවෙමින් පාර්ලිමේන්තුවේ සංයුතිය අඩු කිරීමට එකග නොවුණි. වඩාත් නිදාසහගත වූයේ එලෙස පාර්ලිමේන්තුවේ සංයුතිය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකග නොවන්නේ තම ආසන සංවිධායකවරුන් පිරිසකට තනතුරු අහිමි වන නිසා බව ප්‍රකාශ කිරීමය. Maithripala Sirisena 2016 04 13

1978 දී එක්සත් ජාතික පක්ෂය ඇති කළ විධායක ජනාධිපති බලැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වැඩියෙන්ම බැට කෑවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කීවොත් එය අසත්‍යයක් නොවේ. එහෙත් එම පක්ෂයට එම තනතුරේ බලය ලැබුන දා පටන්ම වැඩියෙන්ම මහන්සි වූයේ විධායක බලැති ජනාධිපති තනතුර රැක ගැනීමටයි. අද දින රාවය පුවත්පත වාර්තා කරන අන්දමට විධායක ජනාධිපති ක්‍රමය රැක ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කෙරෙමින් පවතී. ඒ විෂය සම්බන්ධයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාර්තා කිරීම සදහා පත් කළ කමිටුවේ නිර්දේශය වී ඇත්තේ එවැන්නක් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ප්‍රකාශ කර ඇත.

ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් පත් කළ කමිටුවේ තීරණයට හේතු වූ කරුණු විස්තර කරමින් ප්‍රකාශ කර ඇත්තේ සුළු ජනවර්ගයන්ට තමන්ගේ ජන්දයෙන් ඝෘජුවම ජනාධිපතිවරයකු පත් කර ගැනීමේ වැදගත්කම සලකා බලා එම තීරණයට එළඹි බවකි. සිංහල නොවන ජනකොටස් වලට ඝෘජුවම තම ජන්දයෙන් ජනාධිපතිවරයකු පත් කර ගැනීමට දායකවීමට හැකිවීම විධායක ජනාධිපති ක්‍රමයේ ලක්ෂණයක් බව ඇත්තකි. එසේම මේ තර්කය බොහෝ දෙමළ හා මුස්ලිම් වාර්ගික දේශපාලන පක්ෂයන් මෙතෙක් ඉදිරිපත් කළ තර්කයකි. විධායක ජනාධිපති ක්‍රමයේ ඒකාධිපති පීඩාව ගැන සමාජ සංවාදයක් ඇතිව තිබිය දී පවා මේ තර්කය සිංහල නොවන බොහෝ පක්ෂ විසින් ප්‍රකාශ කරන ලදි.

සිංහල නොවන වාර්ගික පක්ෂයන්ට පවා විධායක ජනාධිපති ක්‍රමයේ ඒකාධිපති වියරුව දැනුන ද ඒ පක්ෂ එම ක්‍රමය රැක ගැනීමේ අසීරු උත්සාහයක පැටලුනේ බලය බෙදා හරින ව්‍යුහමය රාජ්‍ය වෙනසක් නොවී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් තමන්ට ලැබෙන දේශපාලන වැදගත්කම අහෝසි වන නිසාය. පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් තුළ සිංහල බහුතරයේ ශක්තියෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම ආණ්ඩුවක් අටවා ගෙන තමන් නොසලකා පාලනය ගෙන යෑ හැකි බව සිංහල නොවන පක්ෂ දනිති. ඒ නිසා මධ්‍යම රජයේ බලය බෙදා නොහරින තාක් ඔවුන් විධායක ජනාධිපති ක්‍රමයට එකග වූයේ ජනාධිපතිවරණයක දී තම වාර්ගික ජන කොටස් වල කැමැත්ත නැතිව ජයග්‍රහණයක් ලබා ගැනීමට ප්‍රධාන පක්ෂ දෙකටම නොහැකි නිසාය. එහෙත් මධ්‍යම රජයේ බලය බෙදෙන ප්‍රාදේශීය බලැති පාලන රාමූන් සහිත සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමයක් වටා රොක්වී සිටින්නට සිංහල නොවන වාර්ගික පක්ෂ වලට හේතුවක් නොපවතී. අවාසනාවකට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එල්ලෙන්නට හදන්නේ ද සිංහල නොවන වාර්ගික පක්ෂ මෙතෙක් එල්ලෙමින් සිටි පිදුරු ගහෙහිය.

ශ්‍රී.ල.නි.ප.ය එල්ලෙන්නට වැල් සෙවීම

විධායක ජනාධිපති පාලන ක්‍රමයේ පවතින දැඩි පීඩාවට එරෙහිව නැගී ආ සමාජ කතිකාවට අලුත් අදහසක් එක්වූයේ 1993 දී පමණ ජාතික ප්‍රශ්නයට විසදුම් ලෙස ෆෙඩරල් පාලන ව්‍යුහයක් ඇති කළ යුතු බව චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් යළි පැවසීමත් සමගය. ඒ නිසා රාජ්‍යයේ ආකෘතිය වෙනස් කර ගනිමින් විධායක බලැති ජනාධිපති ක්‍රමය වෙනස් කර පාර්ලිමේන්තුවටත් ප්‍රාදේශීය ඒකක රාමූන්ටත් බලය බෙදා හැරිය යුතු බව සංවාදයට ලක් වුණි. ඒ සමාජ සංවාදයේ උපරිමය වූයේ 2000 වර්ෂයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක රෙජීමය විසින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. එය ඉල්ලා අස් කර ගැනීමට එවකට ආණ්ඩුවට සිදුවුවද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කරන හා ප්‍රාදේශීය ඒකකයන්ට බලය බෙදා හැරෙන, රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කරන්නා වූ ප්‍රශස්ත සංශෝධනයක් එහි අඩංගුව තිබුණි.

ඒ තුළ පීඩනයට පත්වන සියළු ජනකොටස් පාලනයට සහභාගී කරගැනීමේ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ඉදිරිපත් කෙරුණි. ඒ නිසා විධායක බලැති ජනාධිපති ක්‍රමයේ ඒකාධිපති ලක්ෂණ අහෝසි වූ අතර ආන්තීකරණයට ලක්වූ ජන කොටස් යළි පාලනයට සහභාගී කර ගන්නා රාජ්‍ය රාමුවක් බිහිවීමට නියමිතව තිබුණි. එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට තරම් ලාංකික සමාජය මෝරා නොතිබුන ද පසු කලෙක යළි ඇතිවූ සමාජ සංවාද ඔස්සේ 2015 ජනාධිපතිවරණ අවස්ථාව වනවිට රට නැවත යොමු වී තිබුනේ ඒ ආකාරයේ රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කරන්නා වූ ව්‍යවස්ථා සංශෝධනයකටය. එය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නා වූ හා ප්‍රාදේශීය ඒකකයන්ට බලය බෙදෙන්නා වූ නව පාලන ක්‍රමයක් මිස පවතින ක්‍රමය ආධානග්‍රාහීව පිළිගන්නා පැලැස්තර විසදුමක් නොවේ. අවසානාවකට සමාජ සංවාදයකින් දේශපාලන මති මාතාන්දර තීරණය නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගමන් කරමින් ඉන්නේ ඒ නින්දා සහගත ස්ථාවරයට ය.

කළ යුතු දෑ බොහෝයි

මේ මොහොත වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොමු වී ඇත්තේ ඉතිහාසයේ තවත් අර්බූදයකටය. ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී තිබේ. ජනාධිපතිවරයා පක්ෂය ගොඩ නගා ගැනීම සදහා තමන්ට නැති පෞර්ෂයක් අත්හදා බලමින් සිටින්නේ රාජ්‍ය බලය යොදවමිනි. ඒ අතර මහින්ද රාජපක්ෂ දහසකුත් කඩතොළු කතා කියමින් තමන්ට අහිමි වූ බලය යළි ලබා ගැනීමට තැත් කරයි. මෛත්‍රීපාල සිරිසේනට අසීමිත දේශපාලන පෞර්ෂයක් ගොඩනැගුනේ ජනාධිපතිවරණ සමාජ කතිකාව තුළ මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොවේ. මහින්ද රාජපක්ෂට දේශපාලන පෞර්ෂයක් ගොඩනැගුනේ යුදවාදී වටපිටාවක මිස පශ්චාත් යුද සමාජ ප්‍රතිසංස්කරණ යුගයක නොවේ. මේ කාරණා දෙක තම තමන්ට අදාළ වන ලෙස මේ දෙදෙනාම තේරුම් කරගෙන නොමැත. ඒ නිසා දෙදෙනාටම අදාළ සටකපටකම් වල යෙදෙමින් බලය තහවුරු කර ගැනීමට හා බලය රැක ගැනීමට ගන්නා වූ මහන්සිය සමාජයට ඇති කරන්නේ අගතියකි.

ඉදිරි ප්‍රධාන මැතිවරණයක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිමත්ව තරග බිමට ප්‍රවේශ විය හැක්කේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් විසදෙන්නේ නම් පමණි. ඉදිරියේ දී නැවතත් ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළට වාසි සහගත ය. එවිට ව්‍යස්ථානුකූලව නැවතත් මහින්ද රාජපක්ෂට තරග කළ නොහැකි නිසා පක්ෂයේ බහුතර බලය පාල සිරිසේනට තහවුරු කර ගත හැකිය. එසේ නොවී ඉදිරියේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර මහා මැතිවරණයක් පවත්වන්නේ නම් එය මහින්ද රාජපක්ෂ පිළට වාසි සහගත ය. මහා මැතිවරණයකට ඉදිරිපත් වෙන්නට මහින්ද රාජපක්ෂට ද හැකි නිසා ඔහු එහි වාසිය ගන්නට උපරිම උත්සාහය ගන්නවා නොඅනුමානය.

ජනාධිපතිවරණයක් ද? මහා මැතිවරණයක් ද?

පැවැත්වෙන්නේ මහා මැතිවරණයක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල අවුල් ජාලාවකට තල්ලුවීම නොවැළැක්විය හැක්කේ බල පොරය තුළ මෛත්‍රීපාල සිරිසේන ද සිටින බැවිනි. ඒ සංදර්භය තුළ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට බරපතල වාසි සහගත දේශපාලන පොර පිටියක් නිර්මාණය වේ. මේ තත්ත්වය රාජපක්ෂ මෙන්ම වික්‍රමසිංහ ද දන්නා නිසා කල් ඇතිවම විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසියක් වෙනුවෙන් මේ දෙදෙනා පසුගිය දා හිටිහැටියේ පෙනී සිටියහ. විධායක ජනාධිපති ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව මේ අතර තීරණයක් ගෙන ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය හා පැවැත්ම තහවුරු කරගැනීම සදහා ය. පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් එය රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන අතර කරට කර තරගයක් වෙනවා නොඅනුමානය. එහෙත් කොයි ආකාරයකින් හෝ පක්ෂ අභ්‍යන්තර ආරවුල විසදා ගනිමින් පක්ෂ බාහිර තරගකරු හා ජනාධිපතිවරණයට මුහුණදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගෙන ඇති බව පෙනේ.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව මේ බල අරගලය නිසා සමස්ත සමාජයටම මුහුණදිය හැකි අවදානම සමාන කළ හැක්කේ “ඉදුරුවේ ආචාරියා” මුහුණදුන් තත්ත්වයටය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහන්සි විය යුත්තේ මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගෙන තම නම ඉහළින් ඔසොවා තබා ගැනීමට නොවේ. ඒ සදහා ඔහුට දේශපාලන පෞර්ෂයක් නොමැති බව සක්සුදක් සේ පැහැදිලිය. එවැන්නක් ඇතැයි කියන්නේ ජනාධිපතිවරයාව ගොනාට අන්දවා තම පැවැත්ම රැක ගැනීමට දරන පක්ෂයේ අවස්ථාවදීන් විය හැකිය. ජනාධිපති සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ශක්තිමත් බලයක් නොමැත. එවැන්නක් ගොඩනගා ගැනීමට විශේෂ හැකියාවක් ද ඔහුට නොමැත. ජනාධිපතිවරයාට අසීමිත දේශපාලන පෞර්ෂයක් ඇත්තේ 2015 ජනාධිපතිවරණ සමාජ සංවාදයට දායක වූ ජන කොටස අතරය. ඔහු මහන්සි විය යුත්තේ ජනාධිපතිවරණ සමාජ සංවාදයට දායක වූ ජන කොටසට දේශපාලන නායකත්වය ලබා දී ඒ අරමුණු ජය ගැනීමටය.

ජනාධිපතිවරයාට තවමත් කල් තිබේ

ඒ තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වන අතර ශක්තිමත් යහපාලන රාජ්‍ය ක්‍රමයක් ඇති කළ යුතුය. එමෙන්ම රාජ්‍යයේ බලය බෙදා හරිමින් රාජ්‍යයේ ආකාරය වෙනස් කරන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කෙරේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සුරකීම වෙනුවෙන් ජනාධිපතිවරයා පෙනී සිටිය යුතු අතර බල තන්හාවෙන් විනිර්මුක්ත ආදර්ශමත් රාජ්‍ය නායකයකුගේ ආඛ්‍යානයකට ඔහු තැන් මාරුවිය යුතුය. මේ පරිසරය තුළ ඉතිහාසයේ නොවූ විරූ නායකයකු ලෙස අසීමිත පෞර්ෂයකින් හා අසීමිත ප්‍රතිරූපයකින් යුතුව ජනාධිපති සිරිසේනට විශ්‍රාම යා හැකිය. ඇතිවන නව රාජ්‍ය ව්‍යුහය තුළ බලය බෙදා හරිමින් ජාතික ප්‍රශ්නයට කල් පවත්නා වූ විසදුමක් ලැබෙන අතර පාර්ලිමේන්තු ක්‍රමය තුළ ඊළග මහා මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර තරගය පැවැත්වේ. දෙවරක් ජනතාව විසින් ප්‍රතික්ශේප කළ මහින්ද රාජපක්ෂ මෙන්ම ඉතිහාසයේ කුණු බක්කියට තල්ලු කළ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය ද ජනතාවට අවශ්‍ය නම් නැවත ඉදිරියට ගත හැකිය. අනවශ්‍ය නම් රාජපක්ෂ පරදා රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය යළි ලබාදිය හැකිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උද්ගතව ඇති දේශපාලන රික්තයට නිසි විසදුම් ලබාදෙන්නේ නම් විශිෂ්ඨ හා අග්‍රගන්‍ය රාජ්‍ය නායකයකු ලෙස විශ්‍රාම ගොස් ඉතා සැනසීමෙන් යුතුව විශ්‍රාම ජීවිතයට මුහුණ දෙමින් තමා නිසා රටේ ජාතික ප්‍රශ්නය විසදී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී ඒකාධිපති ආඥාදායකයකු අවලංගු කළ අන්දම ගැන සිතා මැදහත් සිතින් අතීතාවර්ජනයක් කර නිරාමිස සතුටක් විදිය හැකිය.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.