30 July, 2026

Blog

අද දින 87 වන වියට පා තබන ප්‍රමුඛ පෙළේ සමාජ විද්‍යාඥයෙකු පිළිබඳ කෙටි සටහනක්

ප්‍රේමකුමාර ද සිල්වා

මහාචාර්‍ය ප්‍රේමකුමාර ද සිල්වා

ආචාර්ය සරත් අමුණුගම (1939—-) යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු, ප්‍රසිද්ධ සිවිල් සේවකයෙකු මෙන්ම විශිෂ්ට සමාජ විද්‍යාඥයෙකු සහ මානව විද්‍යාඥයෙකු ද වේ. දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වීමට පෙර සහ ඉන් පසුවත් ඔහු ශ්‍රී ලංකාවේ සමාජ, සංස්කෘතික සහ දේශපාලන පරිවර්තනයන් පිළිබඳව ගැඹුරු ශාස්ත්‍රීය දායකත්වයක් ලබා දුන් බුද්ධිමතෙකි.

මෙම කෙටි සටහන ඔහු විසින් සමාජ හා මානව විද්‍යා ක්ෂේත්‍රය දක්වන ලද දායකත්වය පිලිබද කෙටි ඇගයීමක් වෙනුවෙන් සම්පාදිතය. ඔහුගේ දේශපාලන ජිවිතය ට වඩා මා නිතැතින්ම ඇලුම් කරන්නේ ශ්‍රී ලංකේය සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රය ට දක්වන ලද දායකත්වය පිළිබඳ පාඨකයා ගේ අවධානය ට යොමු කිරිමය.

සරත් අමුණුගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් මෙන්ම කැනඩාවේ සස්කැචෙවන් විශ්වවිද්‍යාලයෙන් (University of Saskatchewan) ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. ප්‍රංශයේ කීර්තිමත් මානව විද්‍යාඥයෙකු වූ ලුවී ඩුමොන්ට් (Louis Dumont) ගේ මඟපෙන්වීම යටතේ ඔහු සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය.

පසුව ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ (University of Ceylon) සමාජ මානව විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස ද කලක් සේවය කලේය. 1969 දී කොළඹ සමාජ විද්‍යා දේපාර්තමේන්තුව ආරම්භ කළ සමයේ එහි බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සිය සේවය නොමඳව ලබා දී ඇත. ඔහු ගේ ඇකඩමික ජිවිතය ලංකා සිවිල් සේවය ට බැදිමෙන් පසුව යම් පසු බැමකට ලක් වුවද පර්‍යෙෂකයකු ලෙස දිගටම කැපිපෙනන දායකත්වයක් ලබා දී ඇති බව පහතින් දක්වන පර්යේෂණ ලැයිස්තුව සාක්ෂි දරණු ඇත.

ආචාර්ය සරත් අමුණුගම ගේ සමාජ විද්‍යාත්මක පර්යේෂණ (Sociological Research) ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධනය, ආගමික පුනරුදය, සාම්ප්‍රදායික යාතුකර්ම, සන්නිවේදනය සහ දේශපාලන කැරලි (විශේෂයෙන් ජා.වි.පෙ කැරැල්ල) වැනි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදී පවතී. මාගේ ඇස්තමේන්තුව අනුව ආචාර්ය අමුණුගම අයත් වන්නේ ශ්‍රී ලංකේය සමාජ විද්‍යාවේ තුන්වන පරම්පරාවට ය. මුල් පරම්පරාව ට අයත් වුයේ බ්‍රයස් රයන්, රැල්ෆ් පිරිස් හා එඩ්මන්ඩ් ලිච් වැන්නන් ය. දෙවන පරම්පරාව එස්. ජේ. තම්බයියා, ලක්සිරි ජයසුරිය සහ ගණනාථ ඔබේසේකර වැනි ප්‍රමුඛ පෙළේ සමාජ මානව විද්‍යාඥයෝ අයත් වුහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී රැල්ෆ් පීරිස්, එස්. ජේ. තම්බයියා සහ ගණනාථ ඔබේසේකර වැනි ප්‍රමුඛ සමාජ විද්‍යාඥයන් යටතේ ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගත් ඔහු, සිය පර්යේෂණ සඳහා මානව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක ක්‍රමවේදයන් (Anthropological & Sociological methodologies) ඉතා සියුම්ව හා විචක්ෂණශීල ලෙස භාවිත කර ඇති බව පැහැදිලිය.

සිය පර්යේෂණ යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ආගම සහ සමාජය පිළිබඳව වටිනා ග්‍රන්ථ රැසක් රචනා කොට ඇත.
සිංහල යාතුකර්ම හා සංස්කෘතිය පිළිබඳ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස Kohomba Kankariya: The Sociology of a Kandyan Ritual – (2021) හිසින් උඩරට සාම්ප්‍රදායික ශාන්තිකර්මයක් වන කොහොඹා යක්කංකාරිය, හුදු ලෙඩ සුව කිරීමේ යාතුකර්මය ක සිට නූතන ප්‍රසංග වේදිකාව දක්වා පරිවර්තනය වූ ආකාරය පිළිබඳ තියුණු සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක යෙදේ. එහිදී ගැමි සමාජයේ අවශ්‍යතා සහ කුල ක්‍රමය එම යාතුකර්ම හා බැදි පවතින ආකාරය පිලිබද නිරික්ෂණය කෙරේ. ඒ සදහා ඔහුට උත්පේරණය ලැබි ඇත්තේ විශ්වවිද්‍යාල අවධියේදීම ඔහු ගේ ගුරුවරුන් වු ගණනාථ ඔබේසේකර හා ස්ටැන්ලි තම්බය්යා සමඟ එකතුව පාතදුම්බර ප්‍රදේශයේ ග්‍රාමීය සමාජ ව්‍යුහයන් පිළිබඳ ක්ෂේත්‍ර පර්යේෂණ වලට සහභාගිවිමත් පසුව ඔබේසේකර ගේ හිනිදුම් පත්තුවේ මැදගම අධ්‍යයනය මෙන්ම පත්තිනි ඇදහිල්ල පිළිබඳ ක්ෂේත්‍ර පර්යෙෂණ තුලින් ලත් පරිචය නිසා බව මා සමඟ වරක් පැවසීය.

ඔහුගේ විශිෂ්ටතම පර්යේෂණ කෘතියක් වන The Lion’s Roar: Anagarika Dharmapala and the Making of Modern Buddhism (2016) හරහා, බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ලංකාවේ ඇතිවූ බෞද්ධ පුනරුදය සහ “ප්‍රොතෙස්තන්ත්‍ර බුදුදහම” (Protestant Buddhism) නමින් හැඳින්වෙන නව සමාජ-ආගමික ප්‍රවණතාව බිහිවීමට අනාගාරික ධර්මපාලතුමාගේ මැදිහත්වීම සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් විග්‍රහයක යෙදේ.

අමුණුගම ගේ ශ්‍රී ලංකේය ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විශ්ලේෂණයන් පදනම් වන්නේ ඔහුගේ සමාජ විද්‍යාත්මක පසුබිම සහ මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු ලෙස ලැබූ ප්‍රායෝගික අත්දැකීම්වල මනා සංකලනයකි. එදිරිවීර සරච්චන්ද්‍ර සහ සිරි ගුණයසිංහ වැනි ප්‍රමුඛ විද්වතුන්ගේ ආභාසය ලැබූ ඔහු, ජනමාධ්‍ය, කලාව සහ සාම්ප්‍රදායික යාතුකර්ම සමාජ පරිවර්තනයන් සමඟ වෙනස් වන ආකාරය පිළිබඳව තියුණු නිරීක්ෂණ ඉදිරිපත් කොට ඇත.

ඔහුගේ එම විශ්ලේෂණවල ප්‍රධාන තේමාවන් ලෙස “සදාචාරාත්මක භීතිකාව” (Moral Panic) සහ පොදු ජන (නිර්ප්‍රභූ) රුචිකත්වය යන සංකල්ප වැදගත් වේ. ජනප්‍රිය සංස්කෘතික (Popular Culture) ප්‍රවණතා දෙස මෙරට සම්ප්‍රදායික ප්‍රභූ විචාරකයන් බැලුවේ “සදාචාරාත්මක භීතිකාවකින්” (රටේ සංස්කෘතිය විනාශ වන බව පවසමින්) යුතුව බව ඔහු පෙන්වා දුන්නේය. ප්‍රභූ කලාවේ විචාරකයන් විසින් එච්.ආර්. ජෝතිපාල වැන්නවුන්ගේ ගීත සහ වාණිජ සිනමාව “රසවින්දනය මොට කරන” දේවල් ලෙස බැහැර කළ ද, ඒවා නැගී එන මධ්‍යම පන්තික පොදු ජනතාවගේ මනෝභාවයන් සහ ප්‍රකාශනයන් නියෝජනය කළ ප්‍රබල ජනප්‍රිය සංස්කෘතික මෙවලම් ලෙස අවබෝධ කරගත යුතු බව අමුණුගම අවධාරණය කළේය.

ආගම හා සංස්කෘතිය පිලිබද ව්ශ්ලේෂණයෙන් ඔබ්බට ගොස් දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ කැරලි පිළිබඳ පර්යේෂණ හරහා 1971 ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ල පිළිබඳව පර්යේෂණ කරමින්, කැරැල්ලට නායකත්වය දුන් රෝහණ විජේවීරගේ භූමිකාව සහ එම ව්‍යාපාරයට ග්‍රාමීය තරුණ ප්‍රජාව ආකර්ෂණය වීමට බලපෑ සමාජ-ආර්ථික සාධක, අධ්‍යාපන ක්‍රමයේ ගැටලු සහ රැකියා හිඟය ඔහු සමාජ විද්‍යාත්මකව විශ්ලේෂණය කළේය.

ග්‍රාමීය සංවර්ධනය, ඉඩම් සහ ශ්‍රම වෙළෙඳපොළ ගතිකත්වය පිලිබද අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඇතිවූ වියළි කලාපීය ජනපදකරණ ව්‍යාපාර සහ චන්ද්‍රිකාවැව වැනි ව්‍යාපෘති හරහා සිදු වූ සමාජීය වෙනස්කම් සහ “ශ්‍රමදාන” ව්‍යාපාරවල ගාමක බලවේග මෙන්ම ග්‍රාමීය ණයගැතිභාවය පිළිබඳව ඔහු පර්යේෂණ පත්‍රිකා (උදා: Dynamics of Rural Development and Shramadana in a Dry Zone Village (1976) රැසක් සම්පාදනය කර ඇත. සාම්ප්‍රදායික ඉඩම් හිමිකාරිත්වය සහ ග්‍රාමීය වැසියන් මුහුණ දෙන ණයගැතිභාවය (Rural Credit) පිළිබඳව ද ග්‍රාමීය සමාජ විද්‍යාත්මක පර්යේෂණ ද සිදුකර ඇත.

එපමණක් නොව 1970 දශකයේදී තොරතුරු සහ මාධ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන අතරතුර, ශ්‍රී ලංකාවේ පවුල් සැලසුම්කරණය පිළිබඳව ජනතාවගේ ආකල්ප සහ සන්නිවේදන උපායමාර්ග පිළිබඳව සමාජ විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයවීය (Social Science Research on Family Planning in Sri Lanka, (1978).

එසේම Dreams of Change: Land, Labour & Conflict in Sri Lanka” (2019) නමින් ආචාර්ය සරත් අමුණුගම විසින් රචිත, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ මුල් දශක පහේ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් පිළිබඳව ප්‍රායෝගික හා ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයකින් විශ්ලේෂණය කෙරෙන කෘතියකි. ඉඩම් ගැටලුව, ජනපදකරණය, ග්‍රාමීය ණයගැතිභාවය, තරුණ කැරැල්ල සහ නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවය වැනි ප්‍රධාන තේමාවන් ඔස්සේ ලාංකීය සමාජයේ සිදුවූ වෙනස්කම් මෙහි දි සාකච්ඡා කොට ඇත.

ආචාර්ය සරත් අමුණුගම සිය ජීවන අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ දේශපාලන-සමාජ ඉතිහාසය එකට කැටි කරමින් ස්වයංචරිතාපදාන කෘති ත්‍රිත්වයක් (Autobiographical Trilogy) රචනා කර ඇත. මෙම ග්‍රන්ථ ත්‍රිත්වය හුදු පෞද්ගලික තොරතුරුවලට එහා ගොස්, නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය පරිපාලනය සහ දේශපාලන ක්ෂේත්‍රය උඩුයටිකුරු වූ ආකාරය පිළිබඳව ලියැවුණු වටිනා ඓතිහාසික සාක්ෂි ලෙස සැලකිය හැක.

එම ස්වයංචරිතාපදාන ග්‍රන්ථ ත්‍රිත්වය මෙසේය:

Kandy Man (1939–1977) – පළමු වෙළුම තුළ ඔහුගේ ළමා කාලය, තාරුණ්‍යය සහ සිවිල් සේවයේ මුල් දශකය. මහනුවර නගරයේ ගතකළ ඔහුගේ මුල් අවධිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ජීවිතය සහ ලංකා සිවිල් සේවයට (CCS) බැඳී කටයුතු කළ මුල් කාලය මෙහි විස්තර වේ. එම යුගයේ ලංකාවේ සිටි ප්‍රමුඛ පෙළේ විද්වතුන් සහ පරිපාලන නිලධාරීන් පිළිබඳ රසවත් මතකයන් රැසක් මෙයට ඇතුළත් කොට ඇත.

To Paris and Back: The JRJ Years (1977–1990) – දෙවන වෙළුම, ජේ.ආර්. ජයවර්ධන යුගය සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ විප්ලවය පරිවර්තනය කෙරෙහි අවධානය යොමු කරමින් වයස අවුරුදු 37ක් වැනි තරුණ වියේදී මෙරට ලාබාලතම ස්ථිර ලේකම්වරයා ලෙස පත්වෙමින්, ඔහු මෙරට ගුවන්විදුලි, රූපවාහිනී (ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය බිහිවීම) සහ සංචාරක ක්ෂේත්‍රයේ ඇති කළ දැවැන්ත වෙනස්කම් ගෙන හැර දක්වා ඇත. 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීම සහ ඉන්පසු යුනෙස්කෝ (UNESCO) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස පැරීසියේ සේවය කළ ආකාරය ද මෙම වෙළුම ට ඇතුළත් ය.

In the Political Arena (1992–2022) – තෙවන වෙළුම, සක්‍රීය දේශපාලන ජීවිතය සහ සමකාලීන ලංකේය දේශපාලනය කෙරෙහි අවධානය යොමු කෙරේ. ඔහු මහනුවර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිස, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් යටතේ ලැබූ දේශපාලන අත්දැකීම් මෙහි විවෘතව සාකච්ඡා කරයි. ගෝඨාභය රාජපක්ෂ යුගය, මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය සහ ‘අරගලය’ දක්වා වූ සමකාලීන දේශපාලන ඛේදවාචකයන් පිළිබඳව “ඇතුළාන්තයේ සිටි පුද්ගලයෙකුගේ” (Insider’s view) දෘෂ්ටිකෝණයෙන් විග්‍රහයක යෙදී ඇත.

මා කලින් සදහන් කල පරිදි ආචාර්ය සරත් අමුණුගම ගේ දේශපාලන ජිවිතය අහිබවා ඔහුගේ පරිපාලන, පර්යෙෂණ හා ශාස්ත්‍රීය ජිවිතයෙන් අපහට උගත හැකි පාඩම් බොභෝය. එවැනිම සාර්ථක ශාස්ත්‍රීය ජිවිතයක් ගත කිරීමට ඔහුට නිදුක් නිරෝගි ච්රජිවනය ප්‍රාර්ථනා කරමී!.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.