25 September, 2020

Blog

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනමත විචාරණයක් පවත්වනු

ආර්. ඇම්. බී. සේනානායක

ආර්. ඇම්. බී. සේනානායක

ආර්. ඇම්. බී. සේනානායක

නිදහස් හා සාධාරණ මැතිවරණ යළි ස්ථාපිත කරන්නේ කෙසේද යන්න ගැන ‘නිදහස් සහ සාධාරණ මැතිවරණ පිළිබඳ ජනතා ක‍්‍රියාකාරී පෙරමුණ’ (පැෆරල්) විසින් පැවැත්වූ වැඩමුළුවකට මම සහභාගී වීමි. නිදහස් හා සාධාරණ මැතිවරණ අද අපට නැති බවත්, එවැනි මැතිවරණවලට යෝග්‍ය පරිසරයක් ඇති කිරීමට වර්තමාන බලධාරීන්ව තල්ලූ කෙරෙන මහජන ක‍්‍රියාකාරීත්වයන් සඳහා අප පෙරමුණ නොගන්නේ නම් අනාගතයේදීත් එවැනි පරිසරයක් නිර්මාණය නොවන බවත්, අපි කවුරුත් දනිමු. සිය විවේචකයන්ට පිළිතුරු දෙන ජනාධිපතිවරයා තමා ආදර්ශමත් පාලකයෙකු බව පෙන්නුම් කිරීමේ තර්කයක් වශයෙන් පාවිච්චි කරන්නේ, බලයට පත්වීමෙන් පසු ඔහු විසින් පවත්වා ඇති මැතිවරණ මාලාවයි. ඇත්ත, ඔහු විසින් නිතිපතා මැතිවරණ පවත්වා තිබේ. එහෙත්, සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපය පාලනය කළ කොමියුනිස්ට් රාජ්‍ය තන්ත‍්‍රයන් ද මැතිවරණ පැවැත්වූ බව අපි දනිමු. ඒ රටවල් එදා මැතිවරණ පැවැත්වුව ද, පාලක පැලැන්තියම එම මැතිවරණ අතිවිශාල බහුතරයකින් කවදත් ජයග‍්‍රහණය කළ ද, ඒවා මොන විදිහකවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් වශයෙන් කිසි ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් පිළිගෙන නැත.

ජනාධිපති රාජපක්ෂ සම්මත කරගත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මියගිය සැටි අපි දනිමු. රාජ්‍ය සේවයේ, පොලීසියේ සහ අධිකරණයේ ඉහළ නිලධාරීන්ගේ පත්වීම්, පහ කිරීම් සහ විනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභා සංස්ථාපනය කෙරුණු 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය, මේ කියන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමත් සමගම අවලංගු කෙරුණි. එතැන් පටන්, රජයේ සෑම අංශයකම උසස් තනතුරුවලට පත්කිරීම් සහ පහකිරීම් සම්බන්ධයෙන් වන පරම බලය ජනාධිපතිවරයා වෙත පවරා ගැනුණි. එය, වැඩවසම් යුගයේ රජවරුන්ට පමණක් තිබුණු බලයකි. ඉතිං, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ රාජ්‍ය සේවයේ අපක්ෂපාතීත්වය වියැකී ගියේය. පොලීසිය, රටේ පොලීසිය නොවී, ජනාධිපතිවරයාගේ සහ පාලක පක්ෂයේ පොලීසිය බවට පත්විය. ඒ ආකාරයෙන්ම, රාජ්‍ය සේවය සහ අධිකරණයත්, ප‍්‍රවීණත්වය මත ගොඩනැගෙන ජනතා සේවාවන් නොවී, ජනාධිපති පත්වීම්ලාභීන්ගේ ආයතන බවට පත්විය. මේ සෑම ආයතනයකම ඉහළ නිලධාරීන් බලය හොබවන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇති තාක් පමණි. මැතිවරණ කොමිසම කිසි දවසක පත්කෙරුණේ නැත. හිටපු මැතිවරණ කොමසාරිස් ආතතියක් ගැන කන්කෙඳිරි ගෑවේය. අද ඔහු ආ ගිය අතක් නැත.

ජනාධිපති ධුර වාර ගණන කෙරෙහි පනවා තිබූ සීමාව අහෝසි කළ සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, පැහැදිළිවම ජනතා ස්වාධීපත්‍යයට පටහැනි පනතක් වූ නිසා, එවැන්නක් සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතුව තිබුණි. එහෙත් මේ වන විට ජනාධිපතිවරයාගේ ප‍්‍රසාදය මත අගවිනිසුරු පදවියට පත්ව සිටි ශිරානී බණ්ඩාරනායක, ස්වාධීන විනිසුරුවරියක් වීමට වඩා ඔහුට පක්ෂපාතී විනිසුරුවරියක් වීමට පෙළඹී සිටියාය. එනිසා, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැතැ යි ඇගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය. අනතුරුව, යම් හේතුවක් නිසා, ‘දිවි නැගුම’ පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කැමැත්ත පරිදි කටයුතු කිරීමට ඈ අකමැති වූවාය. එහෙත් කලින් ඇගේ පරාධීන චර්යාව හේතුවෙන් නැති වී ගොස් තිබූ අධිකරණයේ ස්වාධීනත්වය යළි අත්පත් කර ගැනීමට ඒ වන විට ප‍්‍රමාද වුණා වැඩි ය. ඉතිං, විධායකයට අකීකරු වීමේ ප‍්‍රතිවිපාක සෙස්සන්ටත් ආදර්ශයෙන් දක්වනු වස් ඇයව බිල්ලට ගැනුණි. දෝෂ සහිත, අසාධාරණ සහ අනීතික දෝෂාභියෝගී ක‍්‍රියාවලියකින් ඇයව දොට්ට දැමුණි. ඇය තවමත් නෛතික අගවිනිසුරුවරිය වන බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය කියයි. දෝෂාභියෝගය අසාධාරණ සහ අයුක්ති සහගත බව, ජාත්‍යන්තර නීතිඥ සංගමයත් කියයි. එහෙත් එපමණි. අපේ නීතිඥයන් ජාත්‍යන්තර විනිශ්චය සභාවකට මේ සිද්ධිය ගෙන නොගියේ ඇයි? ප‍්‍රභාකරන් විසින් එදා දැක තිබුණු, අපේ සිවිල් සමාජයට සුපුරුදු කෙටි මතකය ඊට හේතුවයි.

ආණ්ඩුවක් සාමකාමී මාර්ගයෙන් වෙනස් කර ගැනීමේ යාන්ත‍්‍රණයක් වශයෙන් අද මැතිවරණවල කිසි අදාලත්වයක් නැත. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු කිසි දවසක මැතිවරණයක් සාධාරණ සහ අපක්ෂපාතී වීමට ඉඩක් නැත. තායිලන්ත ජනතාව ඒ අතින් සුරුවිරුවන් ය. තමන්ගේ රටේ මැතිවරණ තවදුරටත් අපක්ෂපාතී සහ සාධාරණ නොවන බව වටහාගත් ඔවුහූ, එරට අගමැතිවරයාගේ රබර් මුද්‍රාවක් පමණක් වන මහ මැතිවරණයකට විරෝධය පළ කොට, අගමැති සිනවාත‍්‍රාට අස්වැන්නැ යි බල කළහ.

අද ලංකාවේ බලයේ සිටින පුද්ගලයාව මොනම විදිහේ විපක්ෂයකින්වත් බලයෙන් පහ කළ නොහේ. සරත් ෆොන්සේකාගේ පරාජයෙන් එය තීරණාත්මකව ඔප්පු විය. එබැවින් මොනම ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් හරහාවත් පවතින පාලක පක්ෂය පරාජය කිරීමේ ඉඩක් තවදුරටත් ඉතිරිව නැති බව අප තේරුම්ගත යුතුය. රාජ්‍ය සම්පත් අපහරණය කිරීම, විපක්ෂ අපේක්ෂකයන් විවිධ තාඩනපීඩනයන්ට ලක්කිරීම, විපක්ෂ අපේක්ෂකයන් අල්ලස් මාර්ගයෙන් මිළට ගැනීම, පාලක පක්ෂයට ඡුන්දය පාවිච්චි කරන්නන්ට මහජන දේපළවලින් සැළකීම සහ විපක්ෂයට ඡුන්දය පාවිච්චි කරන්නන්ට හිරිහැර කිරීමාදිය, පාලකයන්ට මැතිවරණයක් ජයග‍්‍රහණය කිරීමට හොඳටම ප‍්‍රමාණවත් ය. අඩු වශයෙන් ජනගහනයෙන් සියයට 40 වත් රාජ්‍යය මත යැපෙන තත්වය තුළ සහ රාජ්‍යය වන්නේ බලය අභ්‍යාස කරන්නන්ම වීම තුළ, පවතින පාලකයාව හෝ පාලක පක්ෂය පරාජය කිරීමට ඉඩක් ඉතිරි වන්නේ නැත.

ළිඳට වැටුණු මිනිහා එම ළිං කටින්ම ගොඩ ආ යුතු බවට කියමනක් තිබේ. මේ නිසා ඉහත කී ‘පැෆරල්’ වැඩමුළුවේ දී එක් යෝජනාවක් සැළකිල්ලට ගැනුණි. එනම්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනමත විචාරණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් පටන්ගත යුතු බවයි. මේ නිසා, දැනටමත් ප‍්‍රතිඵලය තීන්දු වී ඇති මැතිවරණයකට යනවාට වඩා එවැනි සිවිල් ක‍්‍රියාකාරීත්වයකට ජනතාව පෙළගැස්වීම විපක්ෂයේ සහ සිවිල් සංවිධානවල වගකීම වන්නේය. ජනතාවගෙන් බහුතරයක් එවැනි ජනමත විචාරණයක් ඉල්ලා සිටින්නේ නම්, ජනාධිපතිවරයා එම ජනමතයට කන් නොදී සිටීම තවත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවක් වන්නේය. එවැනි පෙළගැස්වීමක්, වර්තමාන නිද්‍රාශීලී භාවයෙන් සිටින ජනතාව අවදි කැරැුවීමේ පියවරක් ද වන්නේය. ඒ කිසිවක් ගැන නොතකමින් පාලකයන් ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නේ නම් සහ එම මැතිවරණ සාධාරණ සහ අපක්ෂපාතී අන්දමින් නොපවත්වන්නේ නම්, ඒවායේ තීන්දු ප‍්‍රතික්ෂේප කිරීමට විපක්ෂයට හැකි වන්නේය. එයම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බොරු මුහුණවර අවසානයකට පත්කිරීමට ද හේතු වන්නේය.

*2014 පෙබරවාරි 11 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Hold A Referendum On The 18th Amendment නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.