
රාජන් ෆිලිප්ස්
එකින් එක ආලෝක ධාරා නිවී යමින් ඇත. මාස හතක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ එකතුවට මෙන්ම රටේ ප්‍රගතිශීලී දේශපාලන ලෝකයට තිදෙනෙක් මේ වනවිට අහිමි වී ඇත.ක්‍රිස් රොද්‍රිගෝ මියගියේ මාර්තු මාසයේදීය. බාහු ජූලි මාසයේදීය, දැන් ඒ තිදෙනාගෙන් වැඩිමලා කුමාර් ඩේවිඩ් මියගොස්ය. මහාචාර්ය කුමාර් ඩේවිඩ් ඔක්තෝබර් 14 වැනි සඳුදා ලොස් ඇන්ජලීස්හිදී අභාවප්‍රාප්ත විය. එවිට ඔහුගේ වයස අවුරුදු 83 කි.
ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකින් පසු ඔහු කලක සිට සෞඛ්‍ය පිරිහීමකට ලක්ව සිටි අතර එම සැත්කම එතරම් සාර්ථක නොවීය. නමුත් මැයි මස මුලදී ඔහුගේ වාර්ෂික ශ්‍රී ලංකා සංචාරයේදී, ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිටින බවක් පෙනෙන්නට තිබූ අතර, ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලොස් ඇන්ජලීස් වල සිට සමීපව නිරීක්ෂණය කළේය. ඔහු පැහැදිලිවම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගැන සතුටු වූ අතර නොවැම්බරයේ ඔවුන්ගේ ඒකාබද්ධ වීම දැකීමට බලාපොරොත්තු වන්නට ඇත. එය එසේ නොවීය. ඔහු දිගු ජීවිතයක් ගතකලා; හොඳින් ජීවත්වුනා; නමුත්, අවසන් මොහොත හදිසියේම, එකවර පැමිණි අතර අප බොහෝ දෙනෙකුට එය වේදනාවක්ම විය.
ඊටත් වඩා අවුරුදු පනහකට ආසන්න කාලයක් ඔහු හා දිවි ගෙවූ ඔහුගේ බිරිඳ රෝහිණීට , දරුවන් අසේල, අනුෂා සහ අම්රිත්, මුණුබුරන් යස්මින්, එලායි, ඇඩී සහ ඇන්ඩි වගේම ඔහුගේ ඥාති සොහොයුරියන් සහ නැන්දම්මාගෙන් සමන්විත ඔහුගේ සුවිසල් පවුලට ඔහුගේ අහිමිවීම දැඩිලෙස දැණෙනු ඇති නමුත් ඔහු පිළිබඳ සොඳුරු මතකයන් සහ ඔවුන්ට ආඩම්බර විය හැකි සහ ආශ්වාදයක් ලබා ගත හැකි ඔහුගේ ජයග්‍රහණවල උරුමයක් ද ඇත.

කුමාර් ඩේවිඩ් (1941-2024)
ද්විත්ව උරුමයන්
ඉංජිනේරු පීඨයේ ඔහුගේ සියලුම සමකාලීනයන් අතර, ඔවුන්ගේ කාලයේ සිටි හොඳම සහ දීප්තිමත්ම ශ්‍රී ලාංකිකයන් අතර, කුමාර් ඩේවිඩ් බොහෝ දෙනෙකුගේ ජීවිත ආලෝකමත් කළේය.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ දේශන ශාලා වල සිට ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ පර්යේෂණ විද්‍යාගාර දක්වා, ස්වීඩනයේ සහ සිම්බාබ්වේ හි දීර්ඝ කාලයක් සේවය කරමින්, ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ පැවරුම් පරීක්ෂා කරමින් සේම වසර 25 ක් ගත කර ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ලෙස විශ්‍රාම ගිය චීනයේ ප්‍රධාන භූමියෙන් පවා සිසුන් ආකර්ෂණය කරගත් හොංකොං පොලිටෙක්නික් ආයතනය ඔහුගේ අවසාන කූටප්‍රාප්තිය විය. කුමාර් ඩේවිඩ් වසර හැටකට ආසන්න කාලයක් විවිධ කාලවලදී ඔහුව හඳුනන සෑම කෙනෙකුටම ආඩම්බරයෙන් සිහිපත් කිරීමට හා සැමරීමට හැකි දිගු ඉගැන්වීමේ සහ පාණ්ඩිත්‍යයේ බරසාර උරුමයක් ඉතිරි කර ඇත. නමුත් කුමාර්ගේ ජීවිතයට සහ ශාස්ත්‍රීය උරුමයට තවත් බොහෝ දේ ඇත.
ඔහු ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත ඔහුගේ ශාස්ත්‍රීය ජයග්‍රහණ සඳහා ප්‍රසිද්ධ හා ගෞරවයට පාත්‍ර වූ අතර, දේශපාලනයට සම්බන්ධ වීම් සහ කතිකාවන් සම්බන්ධව ශ්‍රීලංකාව තුළ ඊටත් වඩා ප්‍රසිද්ධ විය. පුළුල් පරාසයක විෂයයන් එනම් ජාතික සහ ගෝලීය දේශපාලනය, ජාතික සහ ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව, විද්‍යාව සහ තාක්‍ෂණය සහ ඇත්ත වශයෙන්ම මාක්ස්වාදය සහ සමාජ විපර්යාසයන්හි ගතිකත්වයන් ගැන පසුගිය වසර 17 ක් පුරාම Sunday Island පුවත්පතේ නිත්‍ය සහ ජනප්‍රිය තීරු ලිපි රචකයෙකු ලෙස කටයුතු කළේය.
ඔහුගේ ජීවිතයේ දේශපාලන යුගය ආරම්භ වූයේ, 1963 දී ඔහුගේ ඉංජිනේරු ජීවිතය ආරම්භ වීමට දශකයකට පෙරය. පවුලේ සබඳතාවයන් නිසාම ඔහු තරුණ පිරිමි ළමයෙකු ලෙස ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන පෙලේ නායකයින්ට හා සමාජවාදී දේශපාලනයට සමීපවීමට හේතු විය. මාක්ස්වාදය ඔහුට චින්තනමය උපකරණයක් විය. ළමාවියේ දීම 1953 හර්තාලය පිළිබඳ දේශපාලන සාකච්ඡාවලට ඇහුම්කන් දුන් අතර එම සවන්දීම් ඔහුගේ බුද්ධිමය වර්ධනයටත් දේශපාලන කැපවීම් වලටත් දිගුකාලීන බලපෑමක් ඇති කළේය.
එහෙත් මුල්කාලීනව දේශපාලනයට නිරාවරණයවීම සහ පසුකාලීන දේශපාලන මැදිහත්වීම් ඔහුගේ අධ්‍යාපන සහ ශාස්ත්‍රාලීය අධ්‍යයන වලින් ඔහුව ඈත් නොකළ අතර, තම වැඩිහිටි ජීවිතය පුරාම දේශපාලන සහ ශාස්ත්‍රාලීය කටයුතු යන දෙකම වෙනුවෙන් විනයගතව හා කැපවීමෙන් අවධානය යොමු කිරීමට හැකිවීම කුමාර් ඩේවිඩ්ගේ විශිෂ්ටත්වයයි.
කුමාර් ඩේවිඩ් (1963 දී උපාධිය ලබාගත්තේය) හැරුණු විට, එම පැරණි යුගයේ තවත් ඉංජිනේරු ශිෂ්‍යයන් තිදෙනෙක්, එනම් සිවානන්දන් සිවසේගරම් (1964), සහ වික්‍රමබාහු කරුණාරත්න සහ ක්‍රිස් රොද්‍රිගෝ (1965) ඔවුන්ගේ දේශපාලන පරමාදර්ශ සහ බැඳීම් වල ක්‍රියාශීලීව කටයුතු කරමින්ම , ශාස්ත්‍රාලීය විශිෂ්ටත්වය අත්කර ගැනීමද විශේෂත්වයකි. ආචාර්ය සිවසේගරම් තම දේශපාලනයට ආභාසය ලබා දුන් පරමාදර්ශයන් මතම සිටිමින්, වත්මන් වර්ධනයන් පිළිබඳ තියුණු නිරීක්ෂණ ඉදිරිපත් කරමින්, අනෙක් දෙදෙනා අත්හැර ගිය මාවතේම ගමන් කරයි.
ඔවුන්ගේ ශාස්ත්‍රීය ජයග්‍රහණ වාස්තවික වශයෙන් අවිවාදිත වන අතර, ඔවුන්ගේ දේශපාලන ජයග්‍රහණ පවත්නා විශයමූලික දේශපාලන තත්ත්වයන් අනුව අර්ථකථනය කිරීමට විවෘතය. කෙසේ වෙතත්, අවිවාදිත දෙය නම්, ඔවුන්ගේ දේශපාලනය ස්වයං-ප්‍රවර්ධනයෙන් සහ පාර්ලිමේන්තු දේශපාලනය හා බැඳුනු නොවැදගත් දේවලින් සහමුලින්ම නිදහස් වී තිබීමයි. හුදු දේශපාලන නියෝජනය කිරීමකට වඩා, ඔහුගේ සමකාලීනයන් තිදෙනා මෙන්ම කුමාර් ඩේවිඩ්ගේ ප්‍රධාන දේශපාලන භූමිකාව වූයේ ධනාත්මක දේශපාලන අධ්‍යාපනයට වැඩි දායකත්වයක් සපයන “ඓන්ද්‍රීය මහජන බුද්ධිමතෙකුගේ” භූමිකාවයි. ලෝකයේ වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද වාම දේශපාලනය යනු, සැමවිටම ආගමික අන්තවාදය, අයුක්තිය සහ අසමානතාවය පිළිබඳ ස්ථාපිත ප්‍රතිපත්තිවලට එරෙහි වීමේ දේශපාලනයයි. බලය සමඟින් වන අපේක්ෂිත අවසානයට ලගා නොවන විටදී වූව මෙම දේශපාලනය අනුගමනය කිරීම වැදගත් ලක්ෂණයකි.
2021 ජුනි මාසයේ කුමාර් ඩේවිඩ්ගේ 80 වැනි උපන්දිනය වෙනුවෙන් වාම දේශපාලනයේ ගමන්මග ගැන මම තරමක් පුළුල් ලෙස ලිව්වෙමි. ජූලි මාසයේදී බාහු අභාවප්‍රාප්ත වූ විට අපගෙන් සමහරෙක් එම තේමාවන් නැවත පරීක්ෂාකර බැලූවෝය. ඔහුගේ අවසාන ලේඛනය විය හැකි, බාහුගේ දේශපාලන උරුමය ගැන ලියූ කුමාර් ඩේවිඩ් ගේ ලිපියෙන් වාමාංශික නායකයින්ගේ දෙවොලේ සිටින වාම ව්‍යාපාරයේ ආරම්භක පියවරුන් සමග බාහු සමතැන්හි තැබුවේය. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සැප්තැම්බර් ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ පුළුල් දළ සටහනක් ලියමින් මෙය වමේ ව්‍යාපාරයේ සමස්ථ දායකත්වයන් ලෙස මම නැවතත් සදහන් කළෙමි.
1960 ගණන්වල සිට වාම දේශපාලනය සහ එහි ඔහුගේ භූමිකාව පිළිබඳ අභ්‍යන්තර කතාන්තරයක් මහාචාර්ය විජය කුමාර් විසින් සපයා තිබේ. අනුර කුමාර දිසානායක හා ජාතික ජන බලවේගය පරිපාලනය එහි පොරොන්දු සහ අපේක්ෂාවන් ඉටු කරන්නේ නම්, මෙම කරුණු ධනාත්මකව නැවත බැලීමට තවත් අවස්ථා තිබෙන්නට පුළුවන.
කුමාර් ඩේවිඩ් තුළ, විවෘත පුළුල් මනසකින් යුක්ත වීම සහ මාක්ස්වාදය සහජීවනයෙන් හා අනුපූරකව එකිනෙකට එකතුව පැවතියේය. කවර හෝ අවස්ථාවක, කෙනෙකුට පටු ආකල්ප සහිත මාක්ස්වාදියෙකු විය නොහැකිය. කුමාර් ස්වභාවයෙන්ම අන්‍යයන්ගේ අවශ්‍යතා සහ කටයුතු කෙරෙහි සහකම්පනයෙන් යුතුවිය.
ඔහු තියුණු හා උද්යෝගිමත් ලෙස වෙනත් මතයන් විවේචනය කල නමුත් කිසි විටෙකත් අන් මත නොඉවසන සුළු නොවීය. ඉතා බැරෑරුම් අරමුණු ඇති මිනිසෙක් වුවත්, ඔහු බෙහෙවින්ම දඟකාර, සමාජශීලී ඇසුරේදී සැමවිටම විනෝදජනක ලෙස හැසිරුනේය.
කුමාර් අධික ලෙස ත්‍යාගශීලී වූ අතර, ඔහු සම්බන්ධ වූ දේශපාලන සංවිධානවලට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමට අමතරව, අවශ්‍යතා ඇති පුද්ගලයින්ට උදව් කළ අවස්ථා බොහොමයක් තිබේ. ජීව විද්‍යාත්මක ඔරලෝසුව ක්‍රියා විරහිත වෙමින් තිබියදීත් ඔහු මෙම ගුණාංග අවසානය දක්වාම පවත්වා ගෙන ගියේය. ඔහු හොඳ ධාවන තරගයක නිරත වූයේය, හොඳ සටනක නියැලුනේය. යහපත් ජීවිතයක් ගත කළේය. පොරොන්දු ඉටු කලේය. අවසන විවේකයෙන් සිටීමට නික්ම ගියේය.
*2024.10.19 දින Colombo Telegraph වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පලවු ලිපියේ සිංහල පරිවර්තනය ඊ.එම්.තිස්සකුමාර