28 October, 2020

Blog

කොටියාගේ වැටීම, සිංහල ගෙරවිල්ලේ නැගීම සහ ජිනීවා හිසරදය

රාජන් පිලිප්ස්

රාජන් පිලිප්ස්

රාජන් පිලිප්ස්

කොටියාගේ වැටීම, සෘජුවම සිංහල ගෙරවිල්ලේ හෝ සිංහල රාවයේ නැගීමට තුඩුදී ඇති සෙයකි. වෙනත් පැත්තකින් ගත්තොත්, ලෝකය පුරා ඇති එල්.ටී.ටී.ඊ. ඉතුරු පතුරු ගැන කතා කරන්නා සේම, උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කුඩුපට්ටම් කරනු ලැබීමෙන් පසු රාජපක්ෂ ආණ්ඩුව මගින් දකුණේ ව්‍යාප්ත කළ විජයග‍්‍රහණයේ රැුල්ල හරහා බිහි කොට ඇති ‘සිංහල රාවය’ සහ එම වරිගයේ වෙනත් අතුරු පතුරු ගැනත්, කෙනෙකුට කතා කළ හැකිය. පසුගිය දා අගමැති කාර්යාලයට කඩා වැදීමට තැත් කිරීම නිසා ‘සිංහල රාවය’ විශේෂ කුප‍්‍රකටත්වයට පත්ව තිබේ. ඉන් පසු, හික්කඩුවේ ක‍්‍රිස්තියානි පල්ලිවලට පහර දීමට වැඩි කලක් ගියේ නැත. එය දියත් කෙළේ, ‘හෙළ බොදු පවුර’ නැමැති සංවිධානයකිනි. මෙවැනි සිදුවීම්, මාධ්‍ය තුළ නිෂේධාත්මක ප‍්‍රචාරයට තවත් හේතු විය. කෙසේ වෙතත්, විජයග‍්‍රහණයේ මේ ඝෝෂාවන්, දැන් කාලයක සිට රාජ්‍ය පාලනයේ ඉහළ තැන්වල විවෘත ආශිර්වාදයෙන්, නිදහසේ සැරිසරයි. කුලප්පුව තවම නතර වී නැත. එහෙත් මේ ප‍්‍රකෝපකාරී සහ විකට නාඩගම්, පාලන තන්ත‍්‍රයට වාසියක් වෙනුවට දැන් අවාසියක් වෙමින් තිබේ. ජිනීවා හිසරදය පාලකයන්ට වදයක් බවට පත්වෙන මේ මොහොත වන විට, එය වඩාත් උග‍්‍ර අවාසියකට පෙරැුලෙමින් තිබේ.

මේ වල්භූත දේශපාලනික යාමයේ, මං පෙහෙලි කරන, දැනුම් තේරුම් ඇති ප‍්‍රතිචාරයක් සැපයෙන බවක් පෙනෙන්නේ, හිටපු ජනාධිපති චන්ද්‍රකා කුමාරණතුංගගෙනි. නැවත දේශපාලනයට පැමිණීමට තමාගේ අදහසක් නැති බව මහනායක හිමිවරුන් වෙත මෑතක දී සැළ කොට සිටි ඈ, තමාගේ එකම අභිලාෂය වන්නේ, ‘බෞද්ධ අන්තවාදීන් විසින් ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් දේවස්ථානවලට කරන ප‍්‍රහාරයන්’ සහ ශ‍්‍රී ලංකාවේ ආගමික සමගිය විනාශ කිරීම වැළැක්වීම බව කියා සිටියාය. ඒ අරමුණ වෙනුවෙන් ජනවාරි 28 වැනි දා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වෙන රැුස්වීමකට, ඈ සියලූ ආගමික නායකයන්ට ආරාධනා කළාය. හයිරංකාර විරෝධතාකරුවන්ගේ කඩාකප්පල්කාරී ක‍්‍රියාවන්ගෙන් තොරව එම රැුස්වීම පැවැත්වුණොත් සහ ඇගේ ව්‍යායාමයෙන් යම් යහපතක් අත් වෙතොත්, හොඳ ය. එය, ඇගේ කණපිට හැරුණු අතීත උරුමය පිළිසකර කර ගැනීමට ද අවස්ථාවක් වන්නට පිළිවන. එසේ නොමැතිව, ජනාධිපති පදවිය සඳහා නැවත තරග කිරීමෙන් විය හැක්කේ එය තවත් කුරුවල් වීමයි.

හිටපු ජනාධිපතිනියගෙන් වර්තමාන ජනාධිපතිවරයා වෙත අපේ අවධානය යොමු කරමු. එවැනි ප‍්‍රකාශයක් කවදාවත් වර්තමාන ජනාධිපතිවරයාගෙන් අපට අසන්නට ලැබේවි ද? එනම්, ආගමික සමගිය ඇති කිරීමේ අරමුණ පෙරදැරිව, අන්තවාදී සංවිධානවලට දෙහි කපන ප‍්‍රකාශයක්? දේශපාලනයෙන්වත්, ජනාධිපති ධුරයෙන්වත් ළඟ දී සමුගැනීමට කිසි අදහසක් ඔහු තුළ නැති බවත් ඒ සමගම කෙනෙකු සිහියේ තබා ගත යුතුය. ජනාධිපති රාජපක්ෂ, ඔහුගේ ජනප‍්‍රිය පූර්වගාමියා දැන් කරන පරිදි, ‘අන්තවාදී ආගමික සංවිධාන’ හීලෑ කිරීමට කිසි ක‍්‍රියාමාර්ගයක් කවදාවත් ගෙන ඇති බවක් අපට මතක නැත. එහෙත් ප‍්‍රමාදව මුත් මේ කාරණය ගැන ආණ්ඩුවේ වෙනත් තැන්වලින් කතා කෙරෙනු ඇසෙන්ට ලැබේ. හැබැයි ඒ, රාජපක්ෂ පාලනයට ජාත්‍යන්තර වශයෙන් ඒ හේතුවෙන් ඇති විය හැකි අවාසි ගැන මිස, එවැනි සංවිධානවල සුජාතකත්වය, පරමාර්ථ සහ ක‍්‍රියාමාර්ග ගැන ප‍්‍රශ්න කිරීමක් වශයෙන් නොවේ. ඒවා සියල්ල, ජිනීවා හිසරදය නිසා නැගෙන මැසිවිලි ය.

තානම සහ විචාර බුද්ධිය

ජනාධිපති රාජපක්ෂගේ අධ්‍යාපන ඇමතිවරයා වන, පහේ ශිෂ්‍යත්වය පිළිබඳ අපකීර්තිමත් බන්දුල ගුණවර්ධන, ‘ජිනීවාහි දියත් වීමට නියමිත ශ‍්‍රී ලංකා විරෝධී ප‍්‍රචාරණයේ අංගයක් වශයෙන් ඇතැම් බෞද්ධ භික්ෂූන්ගේ ක‍්‍රියාකාරකම් පාවිච්චි කිරීමේ සැලැස්මක් ඇතැ’ යි අනතුරු අඟවා තිබේ. ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳ ‘නරක ප‍්‍රචාරයක්’ ලබා දීම සඳහා අන්තර්ජාලය සහ වෙනත් සමාජ මාධ්‍යයන් පාවිච්චි කෙරෙමින් ඇති බවට ඔහු නාහෙන් අඩයි. ඒ කියන, ‘ඇතැම් බෞද්ධ භික්ෂූන්ගේ ක‍්‍රියාකාරකම්’ මේ පහේ=ශිෂ්‍යත්ව විශේෂඥයාගේ විවේචනයට ලක්වන්නේ නැත. පිරිවෙන් ගුරුවරුන්ගේ රැුස්වීමක් අමතමින් මේ සඳහන කළ ඇමතිවරයා, ‘බෞද්ධ භික්ෂූන්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා ‘පිරිවෙන් පනත’ සංශෝධනය කෙරෙන බවත්’, මේ කතාවට අදාළව හෝ නැතිව, ප‍්‍රකාශය කොට තිබුණි. අපට මෙහි දී ප‍්‍රාර්ථනා කළ හැකි එකම දෙය වන්නේ, ‘පිරිවෙන් පනත’ සංශෝධනය කිරීම, පහේ ශිෂ්‍යත්වය නතර කිරීමට ගොස් ඇති කර ගත් පන්නයේ තවත් කැඳ හැලියක් නොවේවා ය යන්න පමණි.

ඊට වඩා තරමක් පැහැදිළි විවේචනයක්, ගිය ඉරිදා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ, ‘පිස්සු භික්ෂූ සංසිද්ධිය’ යන සිරසින්, දේශපාලන තීරුවේ පළවිය. එහෙත් අපූරුව වන්නේ, අධ්‍යාපන ඇමතිවරයා සේම ’දි අයිලන්ඞ්’ දේශපාලන තීරු ලිපි රචකයා ද, මේ කියන භික්ෂූන් සහ භික්ෂු සංවිධාන නම් කිරීම මගහැර තිබීමයි. ඇමතිවරයා නාහෙන් අඩන්නේ, ‘ඇතැම් බෞද්ධ භික්ෂූන්ගේ ක‍්‍රියාකාරකම්’ ගැන ය. තීරු ලිපි රචකයා තඩිබාන්නේ ‘පිස්සු භික්ෂූ සංසිද්ධියට’ ය. ‘සිංහල රාවය’, ‘හෙළ බොදු පවුර’, ‘රාවණා බලය’, ‘බොදුබල සේනා’, ‘සිංහල වීර විධාන’, ‘චින්තන පර්ෂදය’, ‘ජයග‍්‍රහණය’ ඇතුළු දීර්ඝ ‘බෞද්ධ අන්තවාදී’ ලැයිස්තුවේ කිසි නමක් මේ දෙන්නාගෙන් එක් කෙනෙකුවත් සඳහන් කරන්නේ නැත. මේ නම්වලට එළිවැටක්, තානමක් තිබිය හැකිය. එහෙත් ඒවායේ පැවැත්මටත් යම් තානමක් හෝ හේතු බුද්ධියක් තිබේ ද?

ඉහත සඳහන් ‘දි අයිලන්ඞ්’ කොලමේ දීම, ජාතික හෙළ උරුම භික්ෂුව සහ එහි නායක ඕමල්පේ සෝභිත හිමියන් කියා ඇති පරිදි: ‘‘භික්ෂූන් වහන්සේලා පාරේ පෙළපාලි යන එකේ, විරෝධතා දක්වන එකේ වරදක් නැහැ. හැබැයි, භික්ෂු නාමය සහ අනන්‍යතාව ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට තමයි, ජනතාවත් ආණ්ඩුවත් ඒක සැලකිල්ලට ගන්නේ. මේ විරෝධතාවලට හුඟාක් වෙලාවට තියෙන්නේ, සාධාරණ හේතු. ඒ දුක්ගැනවිලිවලට ආණ්ඩුව ඇහුම්කන් නොදෙන කොට, ඇහුම්කන් දෙන විදිහේ දේවල් කරන්න අනිත් පාර්ශ්වය පෙළඹෙනවා.’’ මේ වනාහී, තීරුලිපි රචකයා ඉදිරිපත් කරන වඩාත් සෘජු ප‍්‍රශ්නයකට ඕමල්පේ සෝභිත හිමියන් දෙන, වටරවුම් උත්තරයකි. මාධ්‍යවේදියා අසන්නේ, ‘‘මහ පාරේ විරෝධතා දක්වන නූතන භික්ෂු ප‍්‍රපංචය සහ පෙර නොවූ විරූ ආකාරයෙන් භික්ෂූන් මෙසේ අශෝභන සහ සැහැසි ආකාරයෙන් ප‍්‍රසිද්ධියේ හැසිරීමට’’ හේතු කවරේ ද යන්නයි. මේ විරෝධතාවන් උසිගන්වන්නේ ආණ්ඩුවේම ඉහළ තැන්වලින් නිසා, ඒවා මගින් ආණ්ඩුවට අමුතුවෙන් කියාපෑමට දුක්ගැනවිල්ලක් හෝ වෙනත් යමක් තිබෙන්නට පුළුවන් කමක් නැත. සැබවින්ම මහ දවල් කෙරෙන එවැනි නොපනත්කම් නතර කිරීමට ආණ්්ඩුව මෙතෙක් කිසි පියවරක් නොගෙන තිබීම, එහි අනිත් පැත්තයි.

මේ නිර්නාමික ‘පිස්සු භික්ෂූන්’ ජාතික හෙළ උරුමයට අයත් නැතැ යි පෙන්වීමට ප‍්‍රයත්නයක් ගැනුණත්, ඒ ‘පිස්සු භික්ෂූන්’ අයත් වන සංවිධාන, ජාතික හෙළ උරුමයෙන්ම උපන් ඒවා සහ ඊට අනුබද්ධිත ඒවා බව බොහෝ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ජාතික හෙළ උරුමය බිහි වී යැයි කියන්නේ, ‘ජීවිතය සහ මරණය අතර ප‍්‍රශ්නයකට රට මුහුණදී සිටි අවස්ථාවක… එනම් ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක පැටළුනු අවස්ථාවක.. සිංහල බෞද්ධයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරගනු’ සඳහා ලූ. එම ප‍්‍රකාශය තුළ ඇත්තේ, සත්‍යයට වඩා බාහිර සාටෝපයකි. ජාතික හෙළ උරුමයේ බිහි වීම, ස්ථිරවම, රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩු කාලයේ දියත් වූ සාම ක‍්‍රියාවලිය ගැන සිංහලයන් තුළ ඇති කරන ලද අසහනයෙන් උපන් සෘජු ප‍්‍රතිචාරයකි. ඊට වඩා තියුණු ප‍්‍රකාශනයක්, ගංගොඩවිල සෝම හිමියන්ගේ නමින් ඒ වන විට, ඇති වී නැති වී තිබුණි. දේශපාලනිකව ගත් විට, මේ සිංහල අසහනය අසාමාන්‍ය නැත. අවජාතක ද නැත. වරද සිදුවුණේ, ඒවාට අවංකව සහ සෘජුව ප‍්‍රතිචාර දැක්වීමට දේශපාලන නායකත්වය අසමත් වීමයි.

සාම ක‍්‍රියාවලියේ කළමනාකරුවන් වශයෙන්, වික‍්‍රමසිංහ ආණ්ඩුව සිංහලයන්ට ඇමතීමට යම් උත්සාහයක් ගත්තේය. සිංහලයන්ව නිහ`ඩ කරවන්ට, ‘සාමයෙන් ලැබෙන ප‍්‍රතිලාභ’ ප‍්‍රමාණවත් වෙතැ යි ඔවුන් සිතීය. සාමයේ සහ යුද්ධයේ ප‍්‍රතිලාභ ගියේ ජනතාවට නොව, ඇතැමුන්ගේ සාක්කුවලට නිසා, ඉහත කී අසහනයේ ප‍්‍රකාශනයන්ට, යුද්ධය හා සාමයේ ක‍්‍රියාකාරීත්වයන් තුළ ඉඩක් නැතිව ගොස් වෙනත් විකල්ප සෙවීමට යොමු විය. එසේම, යම් නරුම ආකාරයකින්, එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයන් ද, එවැනි සංවිධාන, විශේෂයෙන් ජාතික හෙළ උරුමය (සහ ජනතා විමුක්තු පෙරමුණ) වැනි සංවිධාන හුරතල් කරමින්, මැතිවරණමය වශයෙන් ඔවුන්ව ඔසවා තැබීමට බැලීය. පැරණි වාමාංශික පක්ෂ විනාශ කිරීමේ අභිමතාර්ථයෙන් ගෙනා, සමානුපාතික නියෝජන ක‍්‍රමය සහ දිස්ත‍්‍රික් ලැයිස්තු ක‍්‍රමය මගින් ඒ අභිමතාර්ථය ද මුදුන්පමුණුවා ගන්නා අතරේ, ඉහත කී පක්ෂ පතුරුවලටත් එම ක‍්‍රමය විශේෂයෙන් වාසිදායක විය. ප‍්‍රධාන පක්ෂ දෙකේ සහයෝගයකින් තොරව, ජාතික හෙළ උරුමයටවත්, ජනතා විමුක්ති පෙරමුණටවත් ඒ සා ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට කවදාවත් නොහැකි වනු ඇත.

යුද්ධ කාලය තුළ ජාතික හෙළ උරුමයක් බිහි වීමට තිබූ හේතු කාරණා මොනවා වෙතත්, යුද්ධයෙන් පසුව මුස්ලිම්=විරෝධී සහ ක‍්‍රිස්තියානි=විරෝධී ව්‍යාපාර සමග තවදුරටත් පැවතීමට හේතුවක් ජාතික හෙළ උරුමයට හෝ එහි අනුබද්ධිත වෙනත් සංවිධානවලට ඇත්තේ නැත. වික‍්‍රමසිංහගේ සහ කුමාරණතුංගගේ ‘සන්ධාන දේශපාලනය’ තුළ බිහි කෙරුණු මැතිවරණමය අපේක්ෂාවන් තුළ කිරි දී හැ¥ මේ පක්ෂ පතුරු, රාජපක්ෂ පාලනය යටතේ ගෙඩිය පිටින්ම අවශෝෂනය කරගෙන තිබේ. සත්තකින්ම අද පැහැදිළිව පෙනෙන්ට ඇති පරිදි, එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ වැඩි හයියක් ඇත්තේ, එවැනි අන්තවාදී පක්ෂ පතුරුවලට මිස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නොවේ. අගමැතිවරයා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊනියා ජ්‍යෙෂ්ඨ නියාමකයන්, කොන් කෙරුණු අපතයන් බවට අද පත්ව ඇත.

‘පිස්සු භික්ෂූ සංසිද්ධිය’ මේ තාක් රාජ්‍ය බලයෙන් රැුකවරණ සලසාගෙන ඇතිවා පමණක් නොව, ‘බ්ලොග්’, ‘ට්වීට්ස්’ සහ ‘මුහුණු පොත‘ වැනි සමාජ මාධ්‍ය නිපුණත්වයන් හරහා ‘තාක්ෂණිකව ද බලගැන්වී’ සිටී. තමන්ගේ ආණ්ඩුව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්කිරීම සඳහා අන්තර්ජාලය ඇතුළු එකී සමාජ මාධ්‍ය භාවිත කෙරෙන්නේ යැයි අද නාහෙන් අ`ඩන අධ්‍යාපන ඇමතිවරයා, සීමාන්තික ජාතිකවාදීන් විසින් එම මාධ්‍යයම උපයෝගී කරගෙන රට ඇතුළේ ආගමික සහජීවනයට සහ සමාජ සාමයට කරන නපුර සහ විනාශය අවබෝධ කරගත යුතුව තිබේ. සෝම හිමියන් තමන්ගේ පණිවිඩය ලස්සණට දමා ගැසීමට රූපවාහිනිය පාවිච්චි කෙළේය. දැන්, වෛරයේ සහ හිංසනයේ පණිවිඩය පතුරුවාලීමට ආධානග‍්‍රාහීන් විසින් අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නේය.

‘පිස්සු භික්ෂූ සංසිද්ධිය’ ගැන කියැවෙන ලොකුම විකාරය වන්නේ, එය ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම විනාශ කිරීම සඳහා බටහිර සංවිධානවල අනුග‍්‍රාහකත්වයෙන් දියත් වන්නක් ය යන හරුපයයි. එය, මෙම සංසිද්ධිය පැහැදිළි කිරීමේ සාධාරණ හේතු දැක්වීමක් නම්, සමස්ත රාජපක්ෂ පාලනයම බටහිර කුමන්ත‍්‍රණයක් යැයි කීමත් අභව්‍ය කතාවක් නොවනු ඇත. සත්තකින්ම, බටහිර ලෝකයා තමන්ව කුදලාගෙන යාමට මානබලන්නේ ය යන මායාවේ පැටලී සිටින්නේ ආණ්ඩුවමයි. මගේ අදහසේ හැටියට, හදිසි සහ වඩාත් වැදගත් කර්තව්‍යය වන්නේ, රටේ විවිධ පළාත්වල ආණ්ඩුව විසින්ම අටවමින් තිබූ අන්තවාදී අට්ටාල වහා ගලවා දැමීමයි. ජිනීවා හිසරදයට එය ද ප‍්‍රතිකර්මයක් විය හැකිය.

*2014 ජනවාරි 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Fall Of The Tiger, The Rise Of The Sinhala Roar, And Geneva Anxieties නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.