20 October, 2020

Blog

නවී පිල්ලේගේ පැමිණීම: ඈ ආවාය, දැක්කාය, එකඟ නොවුණාය

රාජන් පිලිප්ස්

රාජන් පිලිප්ස්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මියගේ සතියක ලංකා සංචාරය, කරුණු කිහිපයක් නිසා කැපී පෙනේ. කෙසේ වෙතත්, නිතර සිදුවන්නා සේ, වෙනත් දේශීය සහ විදේශීය සිදුවීම් කිහිපයක් නිසා, ඇගේ පැමිණීමේ සංවාදය තරමක් දුරට යටපත් විණ. දෛනික ප‍්‍රවෘත්ති සහ ඒ ප‍්‍රවෘත්ති අපේ අවධානයට පැටවෙන වේගය ගැන සළකන විට, ලෝකයේ සෑම තැනකම ඇති වන නව සිදුවීම් සහ ඒවා සිදුවන වේගය ගැන සළකන විට, එක් ප‍්‍රවෘත්තියක් හරි හැටි දිරවා ගැනීමට කලින් තවත් ප‍්‍රවෘත්තියක් සම්පාදනය වීම, මේ යුගයේ ස්වභාවයයි. ඒ ආකාරයෙන්, ජාත්‍යන්තර තලයෙන් ගත් විට සිරියාවේ ඛේදවාචකය ගැන ඇති වූ අන්තර්ජාතික විකට රංගනයත්, දේශීය වශයෙන් ගත් විට, උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනයත්, වයඹ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය තුළ ආණ්ඩුවේම පාර්ශ්ව අතර හටගත් නින්දනීය ඇනකොටා ගැනීම් සහ, (මුස්ලිම් යැයි කියන) අන්තවාදයක් සහ එහි (මුස්ලිම් යැයි කියන) දේශීය ප‍්‍රකාශනයත් ගැන, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ අමාත්‍ය රවුෆ් හකීම් අතර ප‍්‍රසිද්ධියේ ඇති වූ ආරාවුල වැනි සිදුවීම් මගින් ඇගේ සංචාරයේ ප‍්‍රමුඛත්වය යම් තාක් දුරකට යටපත් කෙරුණි.

එසේ වතුදු, ඇගේ සංචාරයේ සහ ඇය නිකුත් කළ දීර්ඝ අවසාන නිවේදනයේ අරුත තේරුම් ගැනීමට ඉහත කී වර්ධනයන් උචිත සන්දර්භයක් සපයයි. රාජපක්ෂ අධිපති තන්ත‍්‍රය අභ්‍යන්තරයේ තත්වය, ගෝඨාභය-හකීම් හුටපටය මගින් විදහා දැක්වේ. සියල්ලන්ගේ ව්‍යාකූලතා සහ පරස්පරතා නරුම ආකාරයකින් මතු වන්නට ඉඩ හරින අතරේ, සකල තීරණ ගැනීමේ අවසාන බලය පැවරෙන්නේ රාජපක්ෂ සහෝදරයන්ටම බව එයින් පෙන්නුම් කෙරුණි. හකීම් මහතාට විරෝධය පාන්නට පිළිවන. වාසුදේව සහෝදරයාට, නවී පිල්ලේට චාටු දාන්නට පිළිවන. එහෙත් ජනාධිපති රාජ සභාව තුළ ඔවුන්ගේ වචනවලට තැනක් නැත. නිකුත්වන පණිවිඩ තුළ ඇති ව්‍යාකූලත්වයත්, පරස්පරතාවනුත්, නවී පිල්ලේ මහත්මියටත් බලපෑවේය. එක පැත්තකින්, මුග්ධ විවාහ යෝජනාවක් ඈට ඉදිරිපත් කෙරුණි. තවත් පැත්තකින්, ලේක්හවුසියේ කර්තෘ දාසයෙක් ඈට අභියෝග කෙළේය. එසේ වෙතත්, දකුණු ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප‍්‍රිකානුවෙකු වන බැවින්, දකුණු ආසියාවේ ඇවතුම් පැවතුම් ගැන නොවේ නම්, අඩු වශයෙන් එම ජනයාගේ සමාජ නාඩගම් ගැනවත් ඈට තියුණු අවබෝධයක් තිබුණු බව පෙනේ.

මිනිස් ජීවිතය ගැන ගරුත්වය

ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ප‍්‍රකාශකයන් ඒ සම්බන්ධයෙන් නවී පිල්ලේ මහත්මියගෙන් සමාව භජනය කිරීම අරුමයක් නොවේ. එහෙත්, ඉහත කී වැරදිකරුවන් සම්බන්ධයෙන් බලධාරීන් කිසි පියවරක් ගත්තේ නැත. එය අර පරණ, ‘ෂේප් කරන’ විධික‍්‍රමයමයි. අනිත් අතට, නවී පිල්ලේ මහත්මිය ද, පවුල්, ආගම්, ජාති හෝ භූගෝලීය ප‍්‍රභවයෙන් ඉවත ලමින් මහජන තලයේ සහ ජාත්‍යන්තර තලයේ මනුෂ්‍යයෙකු වන්නේ කෙසේ ද සියල්ලන්ට දැකගත හැකි ආකාරයෙන් පෙන්වා දුනි. ශ‍්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය සහ රජයේ අංශ වෙතින් ඇයව, ‘එක්සත් ජාතීන්ගේ කොටි ධේනුවක’ වශයෙන් හඳුන්වනු ලැබීම, ‘සහසුද්දෙන්ම පොට පටලවා ගැනීමක්’ වශයෙන් ඈ හැඳින්නුවා පමණක් නොව, ඒවා කෙනෙකුට ‘බෙහෙවින් අපහාසාත්මක’ වන බව ද පෙන්වා දුන්නාය. තවද, එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සහමුලින්ම තමන් වෙනස් වන බව පෙන්වා දෙමින්, එවැනි ‘අනුකම්පා විරහිත සංවිධානයක් උත්කර්ෂයට නැංවීමේ කිසි ඉඩක් නැති’ බව, එම සංවිධානයේ මතකයට ගරු කරන ඩයස්පෝරාවට ඈ මතක් කර දුන්නාය.

ඒ සමගම ඈ තවත් දෙයක් කීවාය. එය, මගේ මතකයේ හැටියට, ලංකාවේ කිසි නායකයෙකු මෙතෙක් කියා නැති දෙයකි. යුද්ධය අවසන් වීමෙන් පසු යම් විදිහක හානිපූරණ කතාවකට රනිල් වික‍්‍රමසිංහ වරක් යාපනේ දී අරඇන්දත්, වෙන දේවල් ගැන මෙන්ම එහි දී ද ඔහු ඇනගත්තේය. එහෙත් පිල්ලේ මහත්මිය, ‘ඒ ගැටුම්කාරී දශක තුන තුළ ජීවිත විනාශ වූ සතර දිග් භාගයේ සකල මිනිසුන්ට සිය ප‍්‍රණාමය’ පාමින් ඔවුන්ගේ ‘පවුල්වලට-ඔවුන් මොන ජාතියකට අයත් වෙතත්= සිය හෘදයාංගම අනුකම්පාව’ පළ කළාය. ඒ සියල්ලන් ‘එක් ආකාරයකින් සමානයන් වන බව’ ඈ පෙන්වා දුනි. ඒ, ‘ආපසු උපද්දන්නට නොහැකි ජීවිතයක් ඔවුන්ට අහිමි වීමෙනි.’ සිරියාවේ සිට ශ‍්‍රී ලංකාව දක්වා මොන විදිහේ වෙනස්කම් පැවතියත්, අපේ යුගයේ දේශපාලනයේ සාරය විය යුත්තේ, මිනිස් ජීවිතය සඳහා වන ගරුත්වය මිස, රටක ස්වෛරීත්වය හෝ ජාතික ස්වයං-නිර්ණය හෝ ජාතික ආරක්ෂාවක නාමයෙන් කෙරෙන යුද්ධයක් උඩ දැමීම නොවේ.

උතුරු සහ නැගෙනහිර පෙදෙස්වල භෞතික යටිතල වර්ධනයන් තමා හඳුනාගත් බව කියන අතරේම, යුද්ධයට කලින් පැවති තත්වයට එම ජනතාව රැුගෙන යාම සඳහා අවශ්‍ය කරන සමාජ යටිතල වර්ධනයන් නොමැති කම ඈ පෙන්වා දුන්නාය. අධ්‍යාපනය, කෘෂිකර්මය සහ සංචාරක ව්‍යාපාරය වැනි සිවිල් ක‍්‍රියාකාරකම් තුළ එන්න එන්නම හමුදාව කඳවුරු ගැසීම, අවශ්‍ය කරන දෙයක්වත්, එම ජනතාවට හිතකර දෙයක්වත් නොවේ. දේශපාලන සංහිඳියාව සඳහා ඒ මගින් ඇති කැරැුවිය හැකි නරක ප‍්‍රතිවිපාක පැත්තකින් තිබ්බත්, ඇහැකන නොපෙනෙන, අතපය අහිමි මිනිසුන් සහ අනාථ දරුවන් සහ කණවැන්දුම් කාන්තාවන්ගෙන් පිරුණු සමාජයකට, පාරවල් සහ හමුදා ඛණ්ඩවලින් සැපයිය හැකි සහනයක් නැත. සාමූහික ක්ෂතියකට ගොදුරු වු එවන් සමාජයකට අවශ්‍ය කරන්නේ සහනය සලසන විශේෂ වැඩපිළිවෙලවල් ය.

රාජ්‍ය නොවන සංවිධාන අවශ්‍ය කරන්නේ මේ ක්ෂේත‍්‍රයේ දී ය. ලෝකයේ ඕනෑම තැනක මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හි දී ඔවුන් සිය කාර්යක්ෂමතාව පෙන්වා තිබේ. එහෙත් ඒ අංශයේ, ‘රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීත්වය බලධාරීන් විසින් අවුරා තිබීම ගැන පුදුම වන’ බව ඈ කීවාය. එවැනි සීමාවන් පනවන්නේ ඇයි? ප‍්‍රමුඛතා අගය කළ යුත්තේ කෙසේද? යුද්ධයෙන් විනාශ වු සමාජයක් යථා තත්වයට පැමිණවීමේ ප‍්‍රථම පියවරක් වශයෙන් ඔවුන්ගේ දුක ශෝකය සන්සිඳුවන ක‍්‍රියාමාර්ග මිස, ඉස්සන් බෝ කරන කොරටු සහ සංචාරක තෝතැනි ඇති කිරීම ද කළ යුත්තේ?

ප‍්‍රතිඥා සහ කාර්යසාධනය

ආණ්ඩුවේ පොරොන්දු සහ කෙරුවාව සසඳා බැලීමට ඇති ප‍්‍රධාන රාමුව වන්නේ, මොන අඩුපාඩුකම් තිබුණත්, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් සභාවේ’ (එල්.එල්.ආර්.සී) වාර්තාවයි. තමන්ගේ වැඩ කටයුතු, දෙන ලද පොරොන්දුවලට සමගාමී වන්නේ හෝ ඒවා පවා අභිබවා යන්නේ යැයි කියා මානව හිමිකම් කොමසාරිස්වරියට පෙන්නුම් කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විණි නම්, ඒ අභිප‍්‍රාය සඵල නොවුණු බව කිව යුතුය. නිවැරදි දෙය කිරීම සඳහා වන අව්‍යාජ කැපවීමක් පෙන්නුම් කරන්නේ නම්, තමන්ගේ වැඩ ගැන අනුන් ලවා විශ්වාස කැරැුවීමට මත්තෙන් ඒවා ගැන තමන්මත් විචාරාත්මකව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වන බව ආණ්ඩුවක් තේරුම්ගත යුතුය. එම සද් කාර්යයන් සාක්ෂි දැරිය යුත්තේ, මහ පොළොවේ වෙසෙන මිනිසුන්ගේ ජීවිත තුළින් මිස, තඩි ලිපිගොනුවල නොවේ.

තමන් ගැන අනුන් තුළ විශ්වාසය දැනවිය හැකි ආණ්ඩුව සතුව ඇති තවත් මාවතක් වන්නේ, යුද්ධය අවසන්ව මේ තාක් කල් ගතව ඇති අවස්ථාවක, මානව හිමිකම් උල්ලංඝනයන් අවසානයකට පත්කිරීමයි. දෙමළ ජනතාව අතරේ පමණක් නොව, මුස්ලිම් ජනතාව අතරේත්, රජයේ දේශපාලනය නොපිළිගන්නා සිංහල ජනතාව අතරේත් ආණ්ඩුවේ කැරැුට්ටුව වර්ධනය කරගත යුතුව ඇත. ආණ්ඩුවේ දකුණු අතෙන් එල්.එල්.ආර්.සී. නිර්දේශ ක‍්‍රියාත්මක කරති යි කියන අතරේ ආණ්ඩුවේ වම් අතෙන් අළුතෙන් මානව හිමිකම් උල්ලංඝණය කරනු ලැබීම යෝග්‍ය නැත. මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඇගේ අවසාන ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේ දී, මානව හිමිකම් උල්ලංඝන මාලාවක් කියවනු ලැබීම රටට හිතකර නැති බව දත යුතුය.

ආණ්ඩුවක් වශයෙන් තමන් වෙත පැවරී ඇති කාර්යයන් කරනු විනා, ගෝඨාභය රාජපක්ෂ නවී පිල්ලේ මහත්මිය මුණගැසුණු අවස්ථාවේ කළා යැයි කියන ධර්ම දේශනා මාර්ගය, සාර්ථක මූලෝපායක් වන්නේ නැත. එසේම, ජිනීවා නුවර සහ වෙනත් තැන්වලදී ශ‍්‍රී ලංකාව ගැන අසන ප‍්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ඇමරිකාවට බැන අඩගැසීමෙන් ද පලක් නැත. එසේම ලංකාවේ මුස්ලිම් ජනතාව සමග යහතින් කල් ගෙවීම සඳහා ජගත් අන්තවාදයක බිල්ලෙකු මැවීමෙන් ද වැඩක් නැත. මේවා, ලංකාවේ ප‍්‍රවෘත්ති පුරසාරම් සඳහා යෝග්‍ය විය හැකිය. බොදුබල සේනාකරුවන්ටත් ගැලපෙන්නට පිළිවන. එහෙත් ඒවා, නවිනීදන් පිල්ලේ වැනි, දැනුම් තේරුම් ඇති, බුද්ධිමත් රාජ්‍ය තාන්ත‍්‍රික ගැහැනියක් රැුවටීමට සෑහෙන්නේ නැත.

*2013 සැප්තැම්බර් 8 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Navi Pillay’s Visit: She Came, She Saw, She Did Not Concur ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.