Colombo Telegraph

අපේක්ෂාව නසා කලකිරීම යළි ජනිත කරවන දේශය

රාජසිංහම් නරේන්ද්‍රන්

ආචාර්ය රාජසිංහම් නරේන්ද්‍රන්

ලෝකය පුරා මා කළ සංචාරවලදී, රටවල් ඉදිරියට තල්ලූ කරන අපේක්ෂාව මට දැනී තිබේ. එසේම, නෂ්ටාපේක්ෂාවේ කලකිරීමෙන් එක තැන පල් වෙන රටවල් ද හමුව තිබේ. යුද්ධයෙන් හෙම්බත්ව කඳවුරුවල සිටි සරණාගතයන් ඇතුළු සියලූ ශ‍්‍රී ලාංකිකයන් තුළ යහපත් අනාගතයක් ගැන ලියලමින් තිබූ බලාපොරොත්තුව මට පෙනුණි. ඇසුණි. හැඟුණි. එම අපේක්ෂාව මම ද බෙදා ගත්තෙමි. එය, කාටත් දැනෙන සහ හැෙඟන සැබෑවක් බවට පරිවර්තනය වෙතැ යි සිහින දැක්කෙමි. එය එක පැත්තකින්, දුර්ලභ ඓතිහාසික මොහොතක් විය. තවත් පැත්තකින්, ස්වරණමය අවස්ථාවක් විය. මගේ ඒ අපේක්ෂාවන් සහ සිහින, දැන් කුඩුපට්ටම් වී ගොසිනි. එහෙත් තවදුරටත් අපේක්ෂා දල්වා නොගැනීමට තරම් මා දුර්වල නැත.

අපේ ජනාධිපතිවරයාගේ වචනත්, ජාත්‍යන්තර ප‍්‍රජාවේ ආශිංසනයත් නිසා, පශ්චාත්-යුද සමය තුළ අපේ ඉතිහාසයේ අළුත් පිටුවක් පෙරලිණැ යි බොහෝ දෙනා විශ්වාස කළහ. ලෞකික අවශ්‍යතාවන් සඳහා – ආහාර, වාසස්ථාන, ඇඳුම් පැළඳුම් සහ සෞඛ්‍ය සේවා – සැපයීමට ආණ්ඩුව ඉදිරිපත් වු කඩිනම් ස්වභාවය සිත්ගන්නා සුළු ය. ඒ අතරේම, ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් එම සරණාගතයන්ව ගසා කෑමටත් ගිජුලිහිණියෝ සිටියහ. හිතින් මවාගත් ඇතැම් ආරක්ෂක හේතු මත එවැනි තත්වයක් ඇති වීම නොවැළැක්විය හැකි විය. කෙසේ වෙතත් එම කරුණුවලට= එල්.ටී.ටී.ඊ, සාමාජිකයන් ඇතුළු වෙනත් පුද්ගලයන්ව හොරෙන් රටින් පිට කිරීම, සරණාගත කඳවුරු වෙනුවෙන් වෙන් කොට තිබූ සම්පත් හොරකම් කිරීම= වැනි කරුණුවලට වඩා ඉහතින් කී සාධනීය සාර්ථකත්වය වැදගත් කොට සැළකිය යුතුය.

අප මුහුණදුන් යුද්ධය, නිශ්චිත නිර්ණායකයන්ට හසු නොවන යුද්ධයකි. එය සිවිල් යුද්ධයකුත් නොව, රටවල් දෙකක් අතර කෙරුණු යුද්ධයකුත් නොව. ඒ අර්ථ දෙකම එය තුළ තිබුණි. එය සම්ප‍්‍රදායික යුද්ධයකුත් නොව, ගරිල්ලා යුද්ධයකුත් නොව. ඒ දෙකේම සම්මිශ‍්‍රණයකි. එසේම එය, මිනිස් ජීවිතය තුළ තිබිය හැකි වඩාත්ම අශික්ෂිත ගති පාලනය කිරීම සඳහා පවතින සකල ශිෂ්ට ප‍්‍රමිතීන් දෙපාර්ශ්වය විසින්ම උල්ලංඝනය කරන ලද යුද්ධයකි.

දෙමළ ජනතාවගෙන් කොටසක් සහ ඔවුන් අතර සිටි ඇතැම් දේශපාලනික කොටස්, සරණාගතයන්ගේ අවාසනාව, ආණ්ඩුවට සහ සිංහල ජනතාවට එරෙහි ස්වකීය ආයුධයක් සේ පාවිච්චි කිරීමට වන්හ. මා සිතන පරිදි, එය දෙමළ ජනතාව වෙනුවෙන් ගත් නරක ආරම්භයකි. විනාශයෙන් පසුව ගොඩනැගෙමින් තිබූ බලාපොරොත්තුවට අගයක් සහ ශක්තියක් එක් කරනු වෙනුවට ඒ මගින් කෙරුණේ, කලකිරීම අතිශයෝක්තියට නගමින් අවධාරණය කිරීමකි. යුද්ධයෙන් බැටකෑ ජනතාවකගේ අවශ්‍යතාවන්, අසාර්ථක දේශපාලනික ඉලක්කයන්ට ඉහළින් ඔසවා තැබීමට ඊට නුපුළුවන් වුණි.

අනිත් පැත්තෙන්, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව, ඉබේම හෝ සැලසුම් සහගතව හෝ මාරක ආශාවක් නිසා හෝ ගමන් කෙළේ, දෙමළ ජනතාව සහ වෙනත් සුළුජාතිකයන් පරාරෝපණය කෙරෙන (පිටමං කෙරෙන) නව අදියරකටයි. රටේ ජනතාවගෙන් බහුතරයකගේ අනාගත දැක්මට සහ අපේක්ෂාවන්ට පසමිතුරු අළුත් පිටපතක්, සිංහල-බෞද්ධ අන්තවාදී කල්ලිවල සහයෝගයෙන් යුතුව සම්පාදනය කිරීමට ආණ්ඩුව පෙරමුණ ගත්තේය. නොසළකා හරින ලද සහ විනාශ කරන ලද උතුරු සහ නැගෙනහිර පෙදෙස්වල යටිතල පහසුකම් යළි ස්ථාපිත කිරීමේ සහ වර්ධනය කිරීමේ මහා ව්‍යාපෘතියකට අතගැසූ සහ ඒ අංශයෙන් යම් ප‍්‍රශංසනීය සාර්ථකත්වයක් ද ලැබූ රාජපක්ෂ පාලනය, අවාසනාවකට මෙන් තමන්ගේ අපකීර්තිමත් දේශපාලනයත් එම පළාතේ ජනතාව මතට බලහත්කාරයෙන් පැටෙව්වේය. එපමණක් නොව, ඔවුන් වෙනුවෙන් කහින්නට ඉදිරිපත් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ වඩාත් සාපරාධී කොටස් ද තම සේවාව සඳහා අනුයුක්ත කරගත් රාජපක්ෂ පාලනය, එවැනි කොටස්වලින් බැටකා සිටි දෙමළ වින්දිතයන්ට අනිත් පැත්තෙන් දඬුවම් කෙළේය.

ජාත්‍යන්තර පීඩනය යටතේ ආණ්ඩුව, කඩිමුඩියේම සරණාගතයන්ව ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කර හැරියත්, අළුත් ජීවිතයක් ඇරඹීමට ඔවුන්ට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කෙළේ නැත. එම පළාත්වල රැුකියා නිර්මාණය කිරීමට ආණ්ඩුව අසමත් විය. යුද්ධයේ වැන්දඹුවන්, යුද්ධයෙන් අනාථ දරුවන්, යුද්ධයෙන් තුවාල ලැබූවන් සහ පුනරුත්ථාපනය කළවුන්ගේ විශේෂිත අවශ්‍යතා ගැන ආණ්ඩුව සැළකුවේ නැත. ඒ වෙනුවට, තමන්ගේ දේශපාලනික හිතවාදීන්ට එම පළාත් කොල්ලකෑමට සහ අළුතෙන් ලැබුණු බලය අවභාවිත කිරීමට ඉඩ හැරියේය. මූලිකවම, දෙමළ ජනතාව දේශපාලනික වශයෙන් බලගැන්වීමට ආණ්ඩුව අසමත් විය. උතුරු පළාත් සභාවට බලතල පැවරීම ප‍්‍රතික්ෂේප කෙළේය. යුද්ධ කාලය තුළ කෝකටත් තෛලයක් සේ උඩ දැමූ සර්ව පාක්ෂික නියෝජිත නිර්දේශ ජනාධිපතිවරයාගේ කුණු බක්කියට ගියේය. ඒ වූ කලී, සමාව දිය නොහැකි, අධම ගනයේ රැුවටිල්ලකි. එපමණක් නොව, ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමත් තහනම් කොට, මහ දවල්ම දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකෑවේය. එතෙකින් නොනැවතුණු ආණ්ඩුව, උතුරේ මායිම් පෙදෙස්වල සිංහල ජනපදකරණයන් ද හොරෙන් පටන් ගත්තේය. අන්තිමේ දී, එල්.එල්.ආර්.සී. (උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ) නිර්දේශත් තවම ක‍්‍රියාත්මක නොවී තිබේ.

යුද්ධයෙන් පසුව, දෙමළ ජාතික අති බහුතරයේ අපේක්ෂාවන් රාජපක්ෂ පාලනය විසින් මේ වන විට තෙත කොට්ටයකින් ඔතා සිර කරනු ලැබ තිබේ. සුපුරුදු යුද්ධයෙන් සහ භීෂණයෙන් දෙමළ ජනතාව දැන් නිදහස් බව ඇත්ත. දැන් ඔවුන්ට විදුලිය තිබේ. ලස්සණ පාරවල් තිබේ. කේ.එෆ්.සී. කෑම කඩයකුත් තිබේ. එහෙත් ඔවුන්, යම් සීමිත දුරටකටවත් තමන්ගේ ඉරණම ගැන තීන්දු ගැනීමට නොහැකි, කූඩු කළ සතුන් මෙනි. දෙමළ ජනතාව සහ කූඩු කළ බ්‍රොයිලර් කුකුළන් අතර ඇති වෙනස කුමක් ද? තමන්ට එල්ල විය හැකි විවිධ ආකාරයේ තර්ජනවලට ඔවුන් යටත් ය. අනාගතයේ දී යම් විදිහකින් ඔවුන් නොසන්සුන් වෙතොත්, තමන්ගේ දේශපාලන අයිතීන් ඉල්ලා සිටියොත්, නිත්‍ය වශයෙන්ම එම අවදානමට ඔවුන් යටත් වනු ඇත. හොඳින් කෑම බීම ලැබෙන නිසා බ්‍රොයිලර් කුකුළන්ට නිදහසක් දැනේ ද? ආරක්ෂාවක් සහ සනීපයක් දැනේ ද? මොන තරම් කන්න දුන්නත්, දවස් කිහිපයකින් ඔවුන් ඝාතනය වෙනු ඇත. යුද්ධය අවසන්ව ගත වූ වසර පහක කාලයක් තුළ කලකිරීමට පත්වීමට ඕනෑ තරම් හේතු දෙමළ ජනතාවට සැපයුණි. දැන් දෙමළ භාෂාවම කතා කරන මුස්ලිම් ජනතාවට වෙන දේවල් දකින විට ඔවුන්ගේ බිය තවත් වැඩි වෙයි.

රාජපක්ෂ ජනාධිපති යටතේ ආණ්ඩුකරණය යන්න නොම්මර එකේ විකාරයකි. දුර්දාන්ත පාලනය, ආණ්ඩුවේ පුරුෂාර්ථය වී තිබේ. එහි ප‍්‍රතිවිපාකයක් වශයෙන්, සමස්ත රටම අගාධයකට වැටෙමින් සිටී. අපේ පාලන ක‍්‍රමය සහ සමාජ ව්‍යුහය තුළ මෙතෙක් පැවති සියලූ ප‍්‍රධාන මුරගල් – ව්‍යවස්ථාව, නීති පද්ධතිය, නීතියේ ආධිපත්‍යය, ජනාධිපති ක‍්‍රමය, කැබිනට්ටුව, පාර්ලිමේන්තුව, පොලීසිය, පරිපාලන සේවය, අධ්‍යාපන පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය, විශ්ව විද්‍යාල, බෞද්ධ භික්ෂූත්වය සහ තවත් අනන්තවත් දේවල් – මින් පෙර නොවු විරූ ආකාරයෙන් කණපිට හරවා තිබේ. සිවිල් ජීවිත සහ මහජන අවකාශය තුළට සන්නද්ධ සේවාවන් කාන්දු කොට තිබේ. එය මීට පෙර නොතිබුණු, තනිකර රාජපක්ෂ නිර්මාණයකි. ශ‍්‍රී ලංකාව, පාකිස්ථානකරණයකට ලක්කිරීමක ආරම්භයකි. අළුත්ගමදී විනාශ කරන ලද දේපළ පිළිසකර කිරීම පවා දැන් භාර දී ඇත්තේ හමුදාවන්ටයි. ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය තවමත් සිංහල යැයි ගලගොඩඅත්තේ ඥානසාර බෙරිහන් දුන්නේ ද ඒ අළුත්ගමදීමයි. මහජන අවකාශය මෙසේ හමුදාකරණය වීම නිසා ඇති විය හැකි අනතුර, විශේෂයෙන් සුළුජන ප‍්‍රජාවන්ටත්, පොදුවේ මුළු රටටමත්, මුහුණදීමට සිදුවන භයානක අනතුරකි.

මේ රටේ ජනතාවට සැපයෙන නරකම ආදර්ශය තුළ බොහෝ දේවල් තිබේ: දූෂණය, ප‍්‍රයෝගය, වංචාව, මවාපෑම, ඥාති සංග‍්‍රහය, මූල්‍ය අශිෂ්ඨත්වය, විවිධ ආකාරයේ අල්ලස්, කුඩු ජාවාරම්කාරයන්ට, ස්ත‍්‍රී  දූෂකයන්ට සහ මිනිමරුවන්ට සැපයෙන රාජ්‍ය අනුග‍්‍රහය, පොලිස් සේවය අවභාවිත කිරීම, පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන්ව මරණයට පත්කිරීම, සිරකරුවන් ඝාතනය කිරීම, හමුදා කණ්ඩායම් සහ කුලී මැරයන් ආණ්ඩුවේ සහායට පාවිච්චි කිරීම, වෙනත් අදහස් නොඉවසීම සහ සුදු වෑන් පාවිච්චිය ඒ අතර තිබේ. ඕනෑම දෙයක් චන්ඩි කමින් කිරීම සහ ප‍්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීම සාමාන්‍ය සිරිතකැ යි සාමාන්‍ය ජනයාට සිතෙන තරමට මේ ප‍්‍රවණතාව අද වර්ධනය වෙයි. ප‍්‍රතිලාභ ලැබෙන්නේ එවැනි ආකාරයන්ගෙන් බවත්, කඩිනම් භෞතික සාර්ථකත්වයක් අත්කරගත හැක්කේ එවැනි මාර්ගයන්ගෙන්ම බවත් පොදු ජනතාවට ඒත්තු යන තත්වයක් නිර්මාණය වෙයි.

මේ සියල්ල, මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩත්වයෙන් තවත් උලූප්පා දැක්වෙයි. ඥානසාර සහ ඔහුගේ මැර කල්ලිවලට අනුග‍්‍රහ කොට ඔවුන්ට ආරක්ෂාව සැපයීමට ආණ්ඩුව ඉදිරිපත් වීම, මේ නින්දනීය ප‍්‍රවණතාවයේ කැපී පෙනෙන අළුත්ම ප‍්‍රකාශනයයි. විජිත හිමියන්ගේ අබග්ගය ඒ බව තවත් සනාථ කරයි. ක‍්‍රිස්තියානි විරෝධය දැනට යටපත්ව ඇතත්, පාලකයන්ට අවශ්‍ය අවස්ථාවේ දී නැවත එය ඉස්මත්තට ගනු නොඅනුමානයි. පරණ සිංහල-දෙමළ දෙබෙදුම ඉවරයක් කරගන්නටත් කලින් තවත් වාර්ගික සහ ආගමික නොසන්සුන්තාවන් ඇති කිරීම අපේ අන්ත අවාසනාවකි. විවිධ ජන කොටස් අතර සමගිය ගොඩනැගීමට අද තිබෙන ප‍්‍රධාන බාධකය වන්නේ වෙන කිසිවක් නොව, වර්තමාන ආණ්ඩුවමයි. මේ අංශය කෙරෙහි දැක්වෙන දෙමළ ප‍්‍රතිචාරය තවම මෝරා නැත. හේතුව, ඔවුන් තවමත් සිටින්නේ යුද්ධයේ කෙඩෙත්තුවෙන් සහ සන්නද්ධ සේනා මගින් හතර වටින් වට කොට බැවිනි. එහෙත්, හැම දාමත් තත්වය එසේ පවතී යැයි විශ්වාස කළ නොහේ.

ආර්ථික දියුණුවත්, යුද්ධයෙන් පසුව අපේක්ෂා කළ තරමින් මෙතෙක් සිදු වී නැත. මිනිසුන්ට දැනෙන අන්දමින් ආර්ථිකය වර්ධනය විණි නම්, අද මතුවෙමින් ඇති බොහෝ සමාජ ප‍්‍රශ්න උද්ගත නොවන්නට තිබුණි. ජීවන වියදම, විරැුකියාව සහ සමාන අවස්ථා නැති කම නිසා කුලී මැර පංතියක් බිහි කර තිබේ. ආණ්ඩුවේ සහායට විටින් විට කැඳවෙන්නේ ඔවුන් ය. අළුත්ගමදී පාරට බැස්සූ මැරයන් කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් ගෙන්වාගෙන ඇති බව වාර්තා විය.

අපට සිතා ගැනීමටත් නොහැකි තරමට, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සීමාවන්ටත් එපිටින්, මහින්ද රාජපක්ෂ අද බලය සියතට ගෙන ඇත. එය තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට පාරම්පරිකව ගෙන යා හැකි බලයක් බවට පත්කිරීමට ඔහු යුහුසුළු වෙමින් සිටී. ස්වකීය පුද්ගල=අභිවාදනය සහ පම්පෝරිය සඳහා ඔහු මහජන මුදල් නාස්ති කරන ආකාරය ඔක්කාරය දනවන සුලූ ය. ඔහු තුළ තවදුරටත් ලජ්ජාව කියා දෙයක් ඉතිරිව ඇත් දැ යි කෙනෙකුට සිතෙන තරමි. මහජන මුදලින් ගොඩනැගෙන ව්‍යාපෘති ජීවතුන් අතර සිටියදීම ඔහුගේ නමින් නම් කෙරේ. මර්වින් සිල්වා සහ පවිත‍්‍රා වන්නිආරච්චි ඔහුගේ දෙපා මුල දණගසා වැඳ වැටෙනු අපට පෙනේ. මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චූදිතයෙකු වන දුමින්ද සිල්වාගේ නිවසට ඔහු තකහනියක් යයි. වැදිබණ සහ සාටෝප කතා මධ්‍යයේ ප‍්‍රදර්ශනය වන මේ ආණ්ඩුවේ සහ එහි ප‍්‍රධානියාගේ එකී අශිෂ්ටත්වයට කෙළවරක් නැත.

තමන්ගේ ගන්දස්කාරය සහ ඇඟිලි සලකුණු වසං කර ගනු වස් ඔවුන් දිනපතා සොයන්නේ විදේශ හතුරන්ව ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හෙළිදරව් කිරීම සඳහාවත් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් ඔවුන්ට අවශ්‍ය නැත. විසකුරු ප‍්‍රතිවිපාක ගෙන දෙන විකෘති ජාතිකත්වයක් මේ ආණ්ඩුව විසින් පැලපදියම් කෙරෙමින් සහ පෝෂණය කෙරෙමින් පවතින්නේ, එක පැත්තකින් ඡන්ද කොල්ලකෑමටත්, අනිත් පැත්තෙන් තමන්ගේ පවු වසා ගැනීමටත් ය.

යුද්ධයෙන් පසු ඇති වූ අපේක්ෂාව, සිහිබුද්ධිය සහිත ශීලාචාර සෑම ජන කොටසක් සහ පුද්ගලයෙකු තුළම අද නෂ්ටාපේක්ෂාවක් බවට පත්වෙමින් තිබේ. එදා අපේක්ෂාවට තිබුණු තැන අද කලකිරීමෙන් වැසී ගොස් තිබේ. මේ කලකිරීම, උඩ බලාගෙන සිටීමට සේම, ප‍්‍රචණ්ඩත්වයටත් හේතු විය හැකිය. බොහෝ පැතිවලින් දැනටමත් එය අපට දැක ගන්නට තිබේ.

කෙසේ වෙතත්, අපේක්ෂා භංගත්වය සහ කලකිරීම, කවදත් අළුත් බලාපොරොත්තුවක් බවට පත්වෙයි. අපේ රට වෙනුවෙන් ඇති ඒ බලාපොරොත්තුවේ අග‍්‍ර දූතයා වන්නේ කවුද? මොකක්ද? ඒ සඳහා කාලය මෝරා තිබේ. මේ නව අපේක්ෂාව, ක‍්‍රියාකාරීත්වයක් වශයෙන් ප‍්‍රකාශයට පත්වන්නේ කෙසේද? වතුරේ ගසාගෙන යද්දී පරඬැල ගැනත් බලාපොරොත්තු තබා ගැනීමට හැකි වීමත්, එක පැත්තකින් අපේ වාසනාවකි.

*2014 ජුනි 28 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Land Where Hope Was Killed And Despair Was Reborn නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Back to Home page