
ආචාර්ය රාජසිංහ බණ්ඩාර විසින් රචිත “මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව නෙරපූ 1975 – 76 පේරාදෙණි ශිෂ්‍ය අරගලය” නැමැති 1976 දී පේරාදෙණිය සරසවියේ වීරසූරිය සිසු ඝාතනය හා ඒකාධිපති පාලකයන් රට ආගාධයට ඇද දැමූ සැටි ඇතුලත් ග්‍රන්ථය එළිදැක්වීම 2024 අගෝස්තු 01 වන දින කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි. එම අවස්ථාවට ආචාර්ය රාජසිංහ බණ්ඩාර එංගලන්තයේ සිට එවන ලද “අප රටේ ඒකාධිපති පාලකයන් රට ඇද දැමූ තැන” පිළිබඳ විග්‍රහය පහත පළවේ.
ආයුබෝවන්! සුභ සන්ධ්‍යාවක් වේවා! මම රාජසිංහ බණ්ඩාර. මම මේ සුබ පැතුම් එවන්නේ එංගලන්තයේ සිට.
මගේ අඩුව සැපිරීමට මම ඒ වගකීම බාර දුන්නේ මගේ මේ ලස්සන හුරුබුටි මිනිබිරිය‚ තාරිකා මිහිරංගනීට. ඇය මගේ ලොකු අයියාගේ දුවගේ එක ම දියණිය. ඇය කැලණි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් උපාධි ලැබූ උපාධිධාරිනියක් වගේ ම ITN රූපවාහිනී නාලිකාවේ සේවය කළ ඉතා දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක්.

ආචාර්ය රාජසිංහ බණ්ඩාර
එම තනතුරට ඇය තෝරාගෙන තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වවුනියාව දිස්ත්‍රික්කයේ සහභාගී වූ ප්‍රධාන වැඩසටහනක් විශිෂ්ට ලෙස ඉදිරිපත් කිරීම නිසා.
ඒ නිසා මට විශ්වාසයි මෙම වැඩසටහනත් ඇය විශිෂ්ට ලෙස ඉදිරිපත් කරයි කියා.
මම ප්‍රථමයෙන් මෙතැනට පැමිණි ඔබ සෑමදෙනා ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වී සිටින හිටපු ගරු කථානායක කරූ ජයසූරිය මහතාත්‚ ප්‍රධාන දේශනය පැවැත්වීමට සහභාගී වී සිටින ආචාර්ය දයාන් ජයතිලක මහතාත්‚ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාත් මෙහි දී ගෞරවයෙන් පිළිගන්නවා.
දයාන් හා මහින්ද මා සමඟ විශ්ව විද්‍යාලයේ සිටි සමකාලීන මිත්‍රවරු විතරක් නෙවෙයි මගේ කෘතියෙන් විස්තර කෙරෙන ශිෂ්‍ය අරගලයේ සැබෑ කොටස්කරුවන්. මෙම අවස්ථාවට මම ආරාධනා කරා 1975 – 76 මණ්ඩපාධිපති මහාචාර්ය විතානගේ ට එරෙහිව කෙරුණ ශිෂ්‍ය සටන්වල දී සැබෑ නායකත්වය ගත් සහෝදරවරුන් සමහරක්ට. ඒ අතරින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරුන් ලෙස කටයුතු කළ අබේසේකර සහෝදරයාත් සරත් ලියනගේ සහෝදරයත් මෙතැන සිටිනවා. සමහර අයට අසනීප තත්ත්වයන් නිසා සහභාගි වීමට හැකියාවක් නැහැ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී කරගත යුත්තේ කවුරුන්ද@ යන්න ගැන මම ගැඹුරින් කල්පනා කළා. ඒ සඳහා සුදුසුම පුද්ගලයා ලෙස‚ හිටපු කතානායකවරයෙකු පමණක් නොව දීර්ඝ දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන කරූ ජයසූරිය මැතිතුමා තෝරා ගත්තා. ඊට හේතුව මම අප රටේ වංචා දූෂණවලට වගකිවයුතු දේශපාලන නායකයින්ගේ බොහෝ චරිත ගැන පුද්ගලිකව දන්නා හෙයින් කරූ ජයසූරිය යන චරිතය ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ දූෂණ වංචා පිටු දැකි‚ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට කැපවුණු අයෙකු ලෙස මගේ සිතේ සටහන් වී ඇති රූපයි.
ආචාර්ය දයාන් ජයතිලක.
ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයෙක්‚ දේශපාලන විශාරදයෙක්. ඔහු ප්‍රංශය‚ රුසියාව වැනි රටවල් ගණනාවක ම ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ලෙසත්‚ එක්සත් ජාතීන්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙසත් ක්‍රියා කර තිබෙනවා. මෙම අවස්ථාවේ ප්‍රධාන කථිකයකු ලෙස ඔහුට ආරාධනා කළේ ඔහුගේ එම තනතුරු නිසා ම නොවේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ අප එක්ව දේශපාලනය කළා. එකට සටන් කළා. ඉතිහාසයේ ඇති වූ බැඳීම් මට අද වගේ මතකයි.
මහින්ද දේශප්‍රිය.
විද්‍යා පීඨයේ සිටි දක්‍ෂ ම ශිෂ්‍යයෙක් වගේ ම සිසුන් අතර සිටි ජනප්‍රිය ම ශිෂ්‍යයෙක්. හැම ශිෂ්‍යයෙක් සමඟ ම වාගේ විහිළු තහලු කර සිනහ ගැන්වීමට දක්ෂ ඔහු අසාධාරණයට විරුද්ධව සටන් කිරීමට කිසිසේත් ම පසුබට වුණේ නෑ. මෙම පොතේ විස්තර වන අඳුරු කාල පරිච්ඡේදය තුළ විශ්ව විද්‍යාලයේ හිටපු මණ්ඩපාධිපති විතානගේ ට විරුද්ධව කෙරුණු සෑම සටනකදී ම ඔහු පෙරමුණ ගත්තා. ක්‍රියාකාරී කමිටු‚ පෝස්ටර් ගැසීම්‚ පෙළපාලි‚ ශිෂ්‍ය වර්ජන මේ හැම තැනකදී ම අපි එකට සිටියා. ඔහු සහකාර මැතිවරණ කොමසාරිස්ගේ සිට මැතිවරණ කොමසාරිස් දක්වා පැමිණි ගමනේ හැම අදියරකදී ම මා සමඟ මිත්‍රකම් පැවැත්වූවා. ඔහු මේ රටේ මැතිවරණ කොමසාරිස් ලෙස අපේ ආදරය දිනා ගත්තේ මැතිවරණ දූෂණවලට තිත තැබූ පළවෙනි මැතිවරණ කොමසාරිස්වරයා ලෙසයි. මම මේ අවස්ථාවේ දේශනයක් පැවැත්වීමට ආරාධනා කළ විට මට කීවේ “රාජා‚ මම මැරිලා හිටියත් එදාට එනවා” කියලයි. ඒ අනුව දයානුත් මහින්දත් මා මෙම සභාව තුළ සජීවී කරනවට නොඅනුමානයි.
මම මේ පොත ලිව්වේ 1975 – 76 අතර කාලය තුළ මණ්ඩපාධිපති මහාචාර්ය විතානගයට එරෙහිව කෙරුණු ශිෂ්‍ය අරගලය පාදක කොට ගෙනයි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1976 නොවැම්බර් 12 වෙනි දින සිදු වූ ශිෂ්‍ය ඝාතනයත්‚ මහා ලේ වැගිරීමත් ඉන් පසු රට පුරා පැන නැගී මහජන විරෝධයත් හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඒකාධිපති පාලනය බිඳ වැටීමත් පිළිබඳ ලැබූ සැබෑ අත්දැකීම් පදනම් කොටගෙනයි. 1977 පැවති මහ මැතිවරණයෙන් පසුව 5/6 ක බලයක් සහිතව ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ජයවර්ධන බලයට එන විට මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටියා. මම මේ පොත ලිව්වේ 1977 – 78 කාල පරිච්ඡේදයේ ශිෂ්‍යයකු වශයෙන් සිටින විට වගේ ම මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් වශයෙන් කටයුතු කරන විට. පොත මුලින්ම කියවූ පාඨකයා වූයේ මා මිත්‍ර දයාන් ජයතිලක එය කියවීමෙන් පසු ඔහු මට කීවේ‚ “රාජාගේ පොත නාට්‍යයක් බලනවා වගේ කියවන්න පුළුවන්. ඒ තරමට සජීවී ව චරිතයන්ට පණ දීලා තියෙනවා.” කියලා.
සැබැවින් ම ඔහු කී දේ ඇත්ත බව මම පිළිගන්නවා. ගහේ කොලේ පිපුණු මලේ සිට විතානගේ මණ්ඩපාධිපති ලෙස පත් කළ දින මහා රෑ එළියට බැස සිසුන් දැක්වූ පෙළපාලියේ සිට 1976 නොවැම්බර් 11, 12 ඇති වූ ශිෂ්‍ය විරෝධය හා මිලේච්ඡ පොලිස් ප්‍රහාරය ගැනත්‚ ලැව් ගින්නක් සේ දිවයින පුරා පැතිර ගිය මහජන විරෝධතා ගැනත් මෙහි චිත්ත රූප මවමින් විස්තර වෙනවා. ඒ අනුව අවුරුදු 100 කට පසුව වුවත් මෙම පොත කියවන පාඨකයා තුළ සිනමා පටයක් මෙන් රූප දිගහැරෙනු ඇති බව මා කියන්නේ ලේඛන කලාව හා දේශපාලන සාහිත්‍ය පිළිබඳව ඇති දැඩි අවබෝධයෙන් යුතුවයි. මෙම කෘතිය උත්සවය අවසානයේ ඔබට මිල දී ගතහැකියි. එය අලෙවිකොට ලැබෙන ලාබයේ හැම සතයක් ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ සුභසාධනය වෙනුවෙන් බැරවෙනවා.
මේ පොතේ අන්තර්ගතය ගැන මා වැඩිපුර කතා නොකරන්නේ මා මිත්‍ර දයාන්ගේ හා මහින්දගේ කතාවලට ඔබලා සවන් දෙන බැවිණි. මෙම පොතට පෙරවදනක් වගේ ම පසු වදනක් මා ලියා තිබෙනවා. පෙරවදන ලියනකොට මා තවදුරටත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. පසු වදන ලියනු ලැබුවේ මා ආචාර්ය උපාධිධරයකු ලෙස පමණක් නොව රටේ පැවැති ඒකාධිපති දේශපාලනයෙන් බැට කා‚ ඒ පිළිබඳ ජීවිතයේ ලැබූ සැබෑ අත්දැකීම් පදනම් කොටගෙනයි. විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ ලියූ මේ පොත ඔබ අතට පත්වීමට මෙතරම් කාලයක් ගත වූයේ ඇයිද@ යන්නට පිළිතුරු ලැබෙන ලිපියක් මෙම කෘතියට ඇතුළත් කර තිබෙනවා තිබෙනවා. අප විශ්වාස කළ දේශපාලන පරමාදර්ශ‚ සමාජ සාරධර්ම‚ මානව හිමිකම්‚ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඒකාධිපති පාලනයන් මගින් මගේ මුළු පවුල ම විනාශ කිරීමේ කතාව පොදුරාජ්‍ය මණ්ඩලයේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රවෘත්ති සඟරාවේ ප්‍රධාන කර්තෘ ඩේවිඩ් ස්පාක් ලියු‚ එංගලන්තයේ පළ කළ ලිපිය මෙම පොතට ඇතුළත් කර තිබෙනවා.
මම පාසල් යන අවදියේ පටන් අගමැති සිරිමාවෝ බණ්ඩාරනායකගේ ඒකාධිපති පාලනය යටතේ මිනිසුන් මර්දනයට ලක් වූ හැටි‚ තාඩන පීඩනවලට ලක් වූ හැටි‚ මිරිස් පොලු හාල් පොලුවලින් ගොවියන් පීඩා විඳි හැටි අත් දැක්කා. මා විශ්ව විද්‍යාලයේ සිටි කාලයේ පටන් ලේඛන කලාවට ඇලුම් කළා. මා හා මගේ පවුලේ සාමාජිකයින් විශ්වාස කළ සමාජ සාධාරණත්වය‚ දේශපාලන පරමාදර්ශවල ගොදුරු බවට අපිට පත් වෙන්න සිදුවුණා. ඒ කතාව මම දැන් ලෝකයට කියනවා. ඒ කතාව මම ඔබට කියන්නේ මේ කතාව තුළ අප රටේ ඇති වංචාකාරී‚ දූෂිත දේශපාලනයේ‚ ප්‍රජාතන්ත්‍රවාදයේ හා නීතියේ අදිපත්‍යය බිඳවැටීම‚ ඒකාධිපති පාලනය තුළින් සිවිල් යුද තත්ත්වයන් ඇතිවීම වැනි බොහෝ දේ ඉගෙන ගත හැකි නිසා.
මා ලෝකයේ විශිෂ්ට දේශපාලන කථිකයින්ගේ‚ රාජ්‍ය නායකයින්ගේ කතාවලට සවන් දී තිබෙනවා. යුද්ධයේ කුරිරුකම තේරුම් කර දීමට බොහෝ විට ඔවුන් තෝරාගෙන තිබුණේ එක් පුද්ගලයෙකුගේ නැතිනම් එක පවුලක කතාවක්. TITANIC නැව අයිස් පර්වතයක ගැටී ගිලෙන විට 1,500 කට වැඩි ගණනකට ජීවිත අහිමි වුණා. ඒත් ඒ ඛේදවාචකය පදනම් කරගෙන නිර්මාණය කළ චිත්‍රපටයට පාදක වන්නේ ප්‍රේම වෘතාන්තයක්.
මම එංගලන්තයේ දී ජනමාධ්‍ය කලාව ගැන මහාචාර්ය රිචඩ් මේන් ගෙන් ඉගෙන ගත්තා. උතුරු නැගෙනහිර ඇති වූ සිවිල් යුධ තත්ත්වයෙන් පසුව ඇති වූ මිනිස් ඝාතන හා දරුණු වද හිංසා ගැන මා ලියූ ලිපියක් කියවා බලු ඔහු මට කීවේ‚
“Raj, look. Almost everyday hundred of people get killed, people don’t care’ But individual stories more powerful than number. Bring the story to the top.” ලෙසයි.
ඒ කතාව වූයේ ගිණි කාෂ්ඨක අවුවේ‚ වෙලේ කමතක දහඩිය පෙරාගෙන වැඩ කරමින් සිටි තරුණ ගගාරින් අයිස්ක්‍රීම් වෙළෙන්දෙක්ගෙන් ලබා ගත් අයිස්ක්‍රීම් එක කා සල්ලි ගන්න පහුවදා එන්න කී වරදට ආයුධ සන්නද්ධ පොලීසිය ඔහු අල්ලාගෙන ගමේ හන්දියට ගෙනැවිත් දස වද දුන් ආකාරයයි.
ඒ අනුව මම දැන් ඔබට මගේ කතාව කියනවා.
මම එංගලන්තයට ආවේ දේශපාලන රැකවරණ ලබා ගැනීමට. ඒ වෙනකොට මගේ පවුල නැත්තට ම නැතිවෙලා. අපේ අම්මාගේ හා අප්පච්චීගේ සෝචනීය අවසානයෙන් පස්සේ පණ බේරාගැනීමට මම‚ බිරිඳත් මගේ අවුරුදු 4 ක කුඩා පුතුත් ලංකාවේ දාලයි ආවේ. තනිවෙලා හිටපු මම කණ්නාඩියෙන් මූණ බලාගෙන විඳවපු දුක් වේදනා මතක් වී ඉකි ගහලා අඬ අඬා කිව්වා‚ “මගේ අම්මාගේ කතාව මුළු ලෝකයට ම කියනවා අම්මේ…” කියලා. ඒ කතාවයි දැන් මම ඔබට කියන්නේ.
ඒ කාලයේ මම ලස්සන තරුණයෙක්. මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න දවස්වල මා එක්ක හිල්ඩා ශාලාවේ එකට සිටි room-mate, ලේක් හවුස් එකේ කතෘ මණ්ඩලයේ වැඩ කරපු සුගත් වටගෙදර හමුවන්න ගියා. ප්‍රසිද්ධ ලේඛක සෝමවීර සේනානායකත් බන්දුල හරිස්චන්ද්‍රත් එතන හිටියා. මම එතනින් ආවාට පස්සේ බන්දුල හරිස්චන්ද්‍ර සුගත්තට කිව්වලු‚ “මම අඳින චිත්‍ර කතාවේ ප්‍රධාන ප්‍රේමවන්තයා හැබැහින් දැක්කා.” කියලා. ඒ කතාව පදනම් කරගෙන නිෂ්පාදනය කළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න මට ආරාධනා කළා. මගේ රූපය ගැන සමහරු කිව්වේ විජය කුමාරතුංග වගේ කියලා. මම ගුරුවරයෙක් වශයෙන් වැඩ කරනකොට ප්‍රාථමික පන්තිවල ළමයි කියනවා‚ “අපේ සර් Nightrider වගේ.” කියලා. දවසක් මම උගන්වපු තාලාවේ ඉස්කෝලෙකට මගේ බිරිඳ සමඟ ගියා. මගෙන් ඉගෙන ගත් ශිෂ්‍යයෙක්‚ ඔහු දැන් නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්. මගේ බිරිඳට කිව්වලු “සර් මෙහේ ඉන්නකොට කොල්ල කාළේ තරුණ ටීචර් ලා හැරි හැරී බලනවා” කියලා. මට ඒ රූපය ලැබුණේ මගේ අම්මගෙනුයි අප්පච්චි ගෙයිනුයි. ඒ දෙන්නා හරිම ලස්සනයි.
මගේ අප්පච්චි දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරියෙක්. සුදු ආණ්ඩුව කාලේ ගම් ගණනාවක ගම්ප්‍රදානියා (Village Headman) වශයෙන් වැඩ කරලා තිබුණා. ඔහුට දෙමළ භාෂාව ගැන විශාරද ඥානයක් තිබුණා. ඔහු සිංහල‚ දෙමළ‚ මුස්ලිම් හැම ජන කොට්ඨාශයක් සමඟ ම වැඩ කළා. ජාතික සමගියේ වැදගත්කම මමත්‚ මගේ පවුලේ අයත් ඉගෙන ගත්තේ ඔහුගෙන්. ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වවුනියාවට පැමිණි ප්‍රධාන උත්සවයක දී ඔහු ඉංග්‍රීසියෙන් කළ කතාව දෙමළට පරිවර්තනය කලේ මගේ අප්පච්චි බව ඔහු මට කියා තිබුණා. ඒ පිළිබඳව ආණ්ඩුකාරවරයා ඉහළින් ම ප්‍රශංසා කොට තිබුණා. මගේ අප්පච්චි පළමුවෙන් විවාහ කරගෙන තිබුණේ ගමේ ලොකු රටේ මහත්තයගෙ දුවගෙ දුවක්. ඒ නිසා ගම පුරා ඉඩකඩම් දෑවැද්දට ලැබී තිබුණා.
J.R. ජයවර්ධන බලයට ආවේ මැතිවරණ වේදිකාවල 1976 නොවැම්බර් 12 සිදු වූ මහා ලේ වැගිරීමත් ශිෂ්‍ය ඝාත ගැනත් කියමින්. හාමුදුරුවරුන්ගේ ලේ වැගිරුණු සිවුරු පෙන්න පෙන්නා. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ඒකාධිපති පාලනය තුරන් කොට මේ රටේ සාධාරණ‚ ධාර්මිෂ්ට සමාජයක් ඇති කරන බවටත්‚ රට ආර්ථික වශයෙන් බබළවා සමෘද්ධිමත් රටක් කරන බවටත් පොරොන්දු වෙමින්. මේ කතා විශ්වාස කරපු මිනිස්සු ඔහු 5/6 ක බලයකින් පාර්ලිමේන්තුවට ගෙනාවා.
J.R. බලයට පැමිණ වැඩිකලක් යන්නට ඉස්සර ජාතිවාදී කලබල මුළු රට පුරා ඇතිවුණා. මහනුවර නගරයේ තිබූ හැම දෙමළ කඩයක් ම වාගේ ගිනි තිබ්බා. මිනිස්සු මැරුවා. මම වවුනියා නගරයත් දෙමළ ගම්වල මිනිස්සුන්ගේ ගෙවලුත් ගිනි තියලා තිබුණු හැටි ඇහින් දැක්කා. මේ ප්‍රහාර සංවිධානය කිරීමට ආණ්ඩුවට සම්බන්ධ හේම බස්නායක වගේ අය කොළඹින් ඇවිල්ලා, සිංහල පරිපාලන නිලධාරීනුත්, ආරක්ෂක අංශත් සම්බන්ද කරගෙන ගමේ පන්සලට සිංහල මිනිස්සු එකතු කර ප්‍රහාරය සැලසුම් කරා. මේ ප්‍රහාරය ඇති කරලා තිබුණේ ඇඳිරි නීතිය වෙලාවේ. ප්‍රහාරය එල්ල කළ මිනිස්සු මහ රෑ ම නගරයට ප්‍රවාහනය කර තිබුණේ ආරක්ෂක අංශවලට අයිති වාහනවලින්. වෙලිකුලමේ ගමේ පාර අයිනේ වේලුපිල්ලේ දැක්කා. උඩු කයේ ඇඳුම් නැතුව, කොටු සරම දෙකට නමාගෙන ඇඳලා අසරණ විදිහට මගේ මූණ බැලුවා. එයාගේ ගෙදර බිමට සමතලා වෙන්න ගිනි තියලා. ඒ දවස්වල අපේ අප්පච්චි හම්බවෙලා වගා කරන්න දේවල් ගන්න නිතර ආපු කෙනෙක්. මගේ පපුව කඩා වැටුණා. මාමඩුව පාරේ තිබුණු දෙමළ ගම් බලන්නත් මම ගියා. එක ගෙදරක්වත් නැතුව ඔක්කොම ගිනි තියලා.
රට පුරාම ඇති වූ ජාතිවාදී ඝාතන, හිංසන අහම්බෙන් ඇති වූ ඒවා නොව, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු වූ දේ බව වවුනියාවේ මා දුටු සිදුවීම් තුළ නොබියව ප්‍රකාශ කරනවා. මට හිතාගන්න බැරි වුණා මෙතරම් ‘ධර්මිෂ්ඨ ’සමාජයක් බිහි වුණේ කොහොමද කියලා? මේ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් අප රටට වූ අවමානයෙන් බේරෙන්න ආණ්ඩුව සංසෝනි කොම්මිෂම පත් කරා. දිස්ත්‍රික්ක ගානේ ගොස් සාක්ෂි ලබා ගත්තා. ඒ වෙනකොට වවුනියාවේ පොලිසියේ මේ අපරාධවලට සම්බන්ධ ස්ථානාධිපතිවරයාට ඕනෑ වුණා ඔහු රාජකාරිය හරියට ම කළ බව පෙන්වන්න. මගේ අයියා රූපසිංහත් තවත් කිහිප දෙනෙකුත් බොරු චෝදනා පිට අත්අඩංගුවට ගත්තා. මගේ අයියා කියා තිබුණා සංසෝනි කොමිසම ඉදිරියේ ඔහු ඇත්ත කියන බව. අනුරාධපුරයේ සිර භාරයේ සිටිය දී ඔහු අභිරහස් විදිහට මිය ගියා. ඔහුගේ මරණ ගෙදරින් පසු අපේ ගෙදරට නිර්ණාමික ලිපියක් ආවා. ඒකෙ තිබුණේ රූපසිංහට පොලිසියෙන් කෑමට වස දමා මරණයට පත්වන්න සැලැස්වූ බවයි. රූපසිංහ අයියා අපේ පවුලේ පිරිමින්ගෙන් සිටි ලස්සන ම කෙනා. කසාද බැඳලා හිටියේ. මැරෙන කොට වයස 26 යි. පුංචි දූලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙකුට අවුරුදු 2 යි. අනිත් කෙනාට අවුරුද්දයි. ඊට පස්සේ වයස 24 ක් ව හිටි තරුණ අක්කා ගැහැණු දරුවන් පරිස්සම් කරගෙන හදාගන්න ඕනෙවට කවදාවත් නොබැඳ ඉන්න තීරණය කළා. එයාලගේ මුළු ජීවිතය ම කඳුලක් වුණා පොලිසිය අපරාධ වහන්න කරපු දෙයින්. අයියා මැරිලා මිනී පෙට්ටියෙ තියල තියෙනකොට එයාගෙ පුංචි දුවලා දෙන්නට තේරුම් ගන්න බැරිවුණා අප්පච්චි මැරිල කියලා. එයාල හිතුවේ පෙට්ටියේ නිදි කියල. “ඇයි මේ ගෙදර සරසලා තියෙන්නේ? කියලා අවුරුදු දෙකේ දුව මගෙන් අහනවා.
මේ කාලයේ දෙමළ ජාතිවාදය ගැන රකුසෙක් මවන්න සමහර ජනමාධ්‍ය මගින් විශාල ප්‍රචාරණයක් ගෙන ගියා. රජයේ හමුදාවලට ඇති ආයුධ පරණ බවත්, හමුදාව නවීන ආයුධවලින් සන්නද්ධ කරන ලෙසත්, ‘ගාන්ධියම්’ වැනි ව්‍යාපාර සංහාරය කරන ලෙසත් ඔවුන් ආණ්ඩුවට යෝජනා කළා. උතුරු නැගෙනහිරට ඊශ්‍රායල් ක්‍රමයට පුහුණු කළ හමුදා භටයෝ, ගුවන් හමුදා භටයෝ එව්වා.
විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු මගේ පළවෙනි උපාධිධාරී ගුරු පත්වීම ලැබුණේ කිලිනොච්චියේ සිංහල මහා විද්‍යාලයට. ඉන්පසු මාරුවීමක් ගත්තා යාපනයේ සිංහල මහා විද්‍යාලයට. මේ කාලයේ හමුදාව හැසිරුණ විදිහ මට දකින්නට ලැබුණා. හරියට ආක්‍රමණික හමුදාවක් වගේ. හමුදා රථ පාරවල්වල යන විට අනෙක් වාහන නතර කොට ඔවුන්ට ඉඩ නොදුන්නොත් වාහනවලින් බැස්ස හමුදා භටයෝ බුරුත පොලු වැනි පොලුවලින් ඒ වාහනවල වීදුරු කඩා රියදුරන්ට පහර දුන්නා. වවුනියාවේ සිටි ගුවන් හමුදා භටයෝ පාරක කඩ සාප්පුවක් අයිනේ පස් දෙනෙකුට එකතුව කතා කරන්න ඉඩ තිබ්බේ නෑ. ඔවුන් බැහැපු තැන හිටපු මිනිස්සුන්ට දිගට හරහට පහර දුන්නා. මේ වනවිට යාපනයේ මිල කළ නොහැකි පුස්තකාලය ගිනි තබා තිබුණා. 1983 ජූලි මාසයේ සොල්දාදුවන්ට LTTE සංවිධානයෙන් කළ පහර දීම මේ සියල්ලට දැක්වූ ප්‍රතිචාරයක්. ඉන් පසුව ඇති වූ ජාතිවාදී ප්‍රහාරයෙන් 1983 මුලු රට පුරා ඇති වූ කළු ජූලිය ආණ්ඩුවේ සම්පූර්ණ අනුග්‍රහය පිට සිදු වූවක්.
මම යාපනයේ සිංහල මහා විද්‍යාලයේ උගන්වන දවසක මාව හම්බවෙන්න කිලිනෝචි මහා විද්‍යාලයේ ඉඳලා ආපු තරුණ ගුරුවරියන් දෙදෙනෙක් හා ගුරුවරයෙකු ඇරලන්න ප්‍රධාන බස් නැවතුම්පොළට යනකොට හිටි ගමන් මිනිස්සු දුවන්න ගත්තා.
ஓடுங்கோ, ஓடுங்கோ…. எயா போஸ் காரர். சூட் பண்ணிக்கொண்டு வாராங்கள்…. (දුවපල්ලා… දුවපල්ලා… එයාෆෝස් කාරයෝ වෙඩි තිය තිය එනවා.) ඒත් ඔවුන් නගරයට ආවේ නැහැ. ඊට පැයකට විතර පස්සේ මම ඉස්කෝලෙ ඉන්නකොට එතෙන්ට සිංහල ගුරුවරියකගේ මවක් ඇවිල්ලා වෙවුල වෙවුලා එයාගේ අත්දැකීම කීවා.
“චුන්නාකම් මාකට් එකේ මම ඉන්නකොට එයාෆෝස් කාරයෝ එතෙන්ට කඩා වැදිලා ගිනි පෙළි වගේ මැෂින් තුවක්කු දික් කර කර වෙඩි තියන්න ගත්තා බඩු ගන්න ආපු මිනිසුන්ට. මම කඩ බක්කියක් යට හැංගිලා පණ බේරගත්තා.”
එදා හැන්දෑවේ ප්‍රවෘත්තිවලට කිව්වා ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව ද්‍රවිඩ ත්‍රස්තවාදී සමඟ ඇති වූ සටනේ දී ත්‍රස්තවාදීන් 24 ක් මැරුම් කෑ බව. ඒත් මැරිල හිටියේ පාරෙ හිටපු මිනිස්සුයි පොළට බඩු ගන්න ආපු මිනිස්සුයි ඉස්කෝලෙ ළමයිනුයි. බඩ දරු අම්මා කෙනෙකුත් වෙඩි කා යාපනයේ රෝහලට ඇතුල් කළ පසු මියගොස් තිබුණා.
මේ කාලයේ යාපනය නගරයේ තැනින් තැන රෑ වෙඩි තබා මරා තිබුණු තරුණයින්ගේ මළ සිරුරු මා දැක්කා. ඒ මල සිරුරු උඩින් තිබුණු දෙමළ පෝස්ටර් සමහරෙක මෙහෙම ලියා තිබුණා.
“கண்திறந்து பாருங்கள்…..எமது தேசத்தில் எமக்கு நடக்கின்றதை….”
(ඇස් ඇරලා බලන්න. අපේම භූමිය තුළ අපිට වෙන දේ… අපේ ඉරණම.)
ඒ මළමිනී උඩින් අලවපු සමහර පෝස්ටර්වල බුදුහාමුදුරුවෝ ඒවා දැකලා කඳුළු සලන හැටි ඇඳලා තිබුණා. J.R. ජයවර්ධන ආණ්ඩුව උතුරු නැගෙනහිර යුද්ධය නිර්මාණය කළේ ඒ විදිහටයි.
අනික් අතට දකුණේ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂයන් මර්දනය කිරීමට එවැනිම පිළිවෙතක් ගෙන ගියා. දකුණේ තවත් සිවිල් යුධ තත්ත්වයක් නිර්මාණය වුණා. ආණ්ඩුවේ ආරක්ෂක අංශ කරන ඕනෑ ම අපරාධයක් යට ගැසීමට ත්‍රස්තවාදී මර්දන පනත, වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත වැනි පනත් ගෙනාවා. මේ පනත් දූෂිත පොලිස් නිලධාරීන්ට අහිංසක සල්ලි තියෙන දෙමළ මිනිස්සු අත්අඩංගුවට ගෙන සල්ලි හම්බ කරගන්න හොඳ ඉල්ලුමක් වුණා. වවුනියාවේ හිටපු පොලිස් අධිකාරී ආතර් හේරත් ඒ පිළිබඳව කුප්‍රකට පුද්ගලයෙක්.
උතුරේ සන්නද්ධ කල්ලි හතු පිපෙන්නා වගේ බිහිවුණා. එවැනි මිලේච්ඡ මර්ධනයකට මුහුණ දෙන මිනිස්සුන්ට රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දෙන්න ආයුධ ගැනීමට සිදුවුණා. රාජ්‍ය ත්‍රස්තවාදය නිසා අපේ රටේ තිස් අවුරුද්දක් තිස්සේ දිග්ගැසුණු යුද්ධයකට මුල පිරුණේ එලෙසයි. එනිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය, සාධාරණත්වය පැතූ මිනිසුන්ගේ ලෙයින් අපේ මහපොළව තෙත්වුණා.
මේ කාලයේ දෙමළ ජනතාවට එරෙහිව කෙරෙන ප්‍රහාර තුළින් ජාතික සමගිය කඩා වැටී රට අස්ථාවර වීමේ අවදානම දුටු බුද්ධිමතුන් ජාතීන් අතර “යුක්තිය හා සමය පිළිබඳ ව්‍යාපාරය” ගොඩනැගුවා. මා මිත්‍ර දයාන් ජයතිලක ද එහි ප්‍රමුඛත්වය ගත් කෙනෙක්. වවුනියාව දිස්ත්‍රික්කයේ ලේකම් වශයෙන් ක්‍රියා කළේ මාගේ බාල සොහොයුරු එස්.එම් කුමාරසිංහ. සභාපති වශයෙන් ක්‍රියා කරේ ආචාර්ය ඩොනල්ඩ් කනගරත්නම්. ඔහු මෙතෝදිස්ත (Methodist) පූජකවරයෙක්. ජාතික සමගියට කුමාරසිංහගේ කැපවීම අපේ පවුල නැත්තටම නැතිවන තැනට කටයුතු යෙදුණා. 1983 මුළු ලංකාව පුරා ජාතිවාදී ගිනිදැල් ඇවිලුනත් වවුනියාව නගරයේ එය සිදුවූයේ 1983 අගෝස්තු මාසයේ. ජාතිවාදී ප්‍රහාරවලට මුවාවෙන් මෙහි දී සිදුවූයේ ගුවන් හමුදාවේ සමහර භටයනුත් වවුනියාවේ පොලිසියේ සිංහල පොලිස් නිලධාරීනුත් එකතුව නගරය කොල්ලකෑමයි.
ජාතිවාදී ප්‍රහාරවල දී මුලින්ම කොල්ලකන්නේ දෙමළ ජාතීන්ගේ කඩ බව දැනගත් ඔවුන් වටිනා බඩු ගොඩක් කඩවල තබා තිබුණේ නැහැ. මුස්ලිම් ව්‍යාපාරිකයින් සිතුවේ ඔවුන් හට කිසිම හානියක් නැති බවයි. මේ නිසා ඔවුන්ගේ කඩවල රූපවාහිනී යන්ත්‍ර, ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි වටිනා බඩුවලින් පුරවා තිබුණා. මෙම ප්‍රහාරයේ දී කොල්ලකා ගිනි තබා තිබුණේ මෙම මුස්ලිම් කඩයි. වවුනියාවේ මන්ත්‍රී සිදම්බරම් කඩේක උඩ තට්ටුවේ ඉඳලා සම්පූර්ණ සිද්ධිය බලාගෙන ඉඳලා. ඔහු සමහර ගුවන් හමුදා භටයෝ ඇඳින ගෙන තියෙනවා. විපතෙන් අසරණ වෙච්ච මුස්ලිම් ව්‍යාපාරිකයින් අපේ ගෙදර පැමිණ කුමාරසිංහට කිව්වා බලධාරීන්ට පැමිණිලි කරන්න කියලා. කුමාරසිංහ එහෙම කරන්න ඉස්සර අපේ ගෙදරට ගුවන් හමුදාවෙනුයි පොලිසියනුයි ආවා. එදා මම යාපනයේ මගේ හිතවත් දෙමළ යාළුවෝ දෙන්නෙකුට, නඩරාජාටයි කස්තුරි මාස්ටර්ටයි මා සමඟ වැඩ කළ සිංහල ගුරුවරයෙකුටයි දවල් කෑමට අපේ ගෙදරට ආරාධනා කරලා තිබුණා. මේ ඉන්නේ කොටි කියලා අපි ඔක්කොටම පහර දීලා මම පුවත් පත්වලට ලියූ ලිපි, විශ්ව විද්‍යාලයේ කියවපු පොත් ඔක්කොම අරගෙන (අද කරළියට ගෙන ආ මේ පොතත් ඒ අතර තිබුණා.) වවුනියා ගුවන් හමුදා කඳවුරට ගෙන ගියා. අපේ ගෙදර දී අත්අඩංගුවට ගත් ගුණදාස කපුගේගේ කැසට් පටයක් කඳවුරේ දී වාදනය කළා. ඒ සින්දුව වූයේ ජාතික සමගියට අඬගහන, “උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ…” නඩරාජා අපිත් එක්ක එදා එතැන හිටියා.
එම කඳවුරේ අණදෙන නිලධාරී වූ ඔලිවර් ගුරුගේ වැදගත් තරුණ නිලධාරියෙක්. ඔහු පසුවදා මා ගෙදරට ගෙනවිත් බාර දීමට කටයුතු කළා. පහුවදා මගේ යාළුවොයි කුමාරසිංහයි පොලිසියට බාර දුන්නා. පොලිසියේ දී ඔහුට මාරාන්තික ලෙස පහර දී රහස් අවයවවල මිරිස් ගල්වා පොලුවලින් ගසා කකුල් කඩා තිබුණා. මේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා අමානුෂික පහරදීම් ගැන මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුවා. ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ වද හිංසා පැමිණවීම ඔප්පු නොවන බවත් පවතින නීතියට අනුව ආරක්ෂක අංශවලට එසේ අත්අඩංගුවට ගැනීමට බලයක් ඇති බවයි. කුමාරසිංහ රෝහල්ගතව සිටිය දී පොලිස් අත්අඩංගුවෙන් මිඳී පැන ගියා. ඊට පස්සේ මහ රෑ පොලිස් අධිකාරි ආතර් හේරත්ගේ නිල රථයෙන් පැමිණි පිරිසක් අපේ ගෙදර අම්මයි අප්පච්චියි ලොකු නංගිගේ කිරි දරුවොයි නිදාගෙන ඉද්දී ගෙදරට ගිනි තබා තිබුණා. ගෙදර හිටපු මගේ බාල මල්ලි, නාලක මහින්ද ගමේ මිනිස්සු එකතු කරගෙන ගින්න නිවා තිබුණා. මේ තත්ත්වය යටතේ මට ගෙදරට යන්න වාතාවරණයක් තිබුණේ නෑ. විශ්‍රාමික පියාත් අම්මාත් බලා ගැනීමට ඉතුරුව හිටියේ බාල මල්ලි. තරුණ වියේ සිටි ඔහුත් විනාශ කිරීමට පොලිස් අධිකාරී ආතර් හේරත්ට වුවමණා වී තිබුණු බවට මම දැනගත්තේ අත්අඩංගුවට පත්වූ සිංහල මිත්‍රයා චන්දරේගෙන්. ඊට වැඩි දවසක් යන්න ඉස්සර මැරවරයෙකු යොදා ඔහුගේ අත කපා තිබුණා. ඒ වන විට මල්ලිගේ වයස අවුරුදු 18 ක් විතර. මේ මැරවරයා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ ආරක්ෂාවට. අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු ඉන්නකොට වවුනියා දිස්ත්‍රික්කයේ හිටපු දිසා ඇමති එක්සත් ජාතික පක්ෂයේ මහින්ද සෝම මැරවරයා හිර ගෙදරට කතාකොට ඔහු ආරක්ෂා කරන ලෙස දැන්වූ බව ජේලර්වලයෙකු මා සමග කීවා. මල්ලිගේ අත කැපූ මැරවරයා කිසිම චෝදනාවක් නැතිව නිදහස් කරලා හමුදාවට බඳවා ගත්තා. මේ විදිහටයි නීතියේ ආදිපත්‍ය රට තුළ ක්‍රියාත්මක වුණේ. මල්ලී දෙමළ තරුණයින්ගේ සහය ඇතිව කෘතිම අතක් දමාගන්න බෝට්ටුවකින් ඉන්දියාවට යන විට නාවික හමුදාව ඒකට වෙඩි තියනකොට පන බේරගෙන තියෙන්නෙ මුහුදට පැනලා පීනලා. සාම ගිවිසුමෙන් පසු ඔහු ලංකාවට ඇවිල්ලා ඉන්නකොට කොටි සංවිධානයෙන් කුරිරු ත්‍රස්තවාදීන් ඔහු අල්ලාගෙන ගොස් වෙඩි තියලා මරා දාලා තිබුණා. අපි ජාතික සමගිය වෙනුවෙන් කරපු කැපකිරීම්වලට ඔවුන් දුන් “තෑග්ග” එයයි.
J.R. ජයවර්ධන ආණ්ඩුව නිමාණය කළ සිවිල් යුධ තත්ත්වයේ සියලු පව් කර ගහන්න වුණේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට. J.R. ජයවර්ධන ජීවත්ව සිටියදී ම ඔහුට කිට්ටුවෙන් ම සිටි මැති ඇමතිවරු විශාල ගණනාවකට ජීවිතවලින් වන්දි ගෙවන්න සිදුවුණා. ඉන්දුලංකා සාම ගිවිසුම J.R. සමඟ අත්සන් කළ හිටපු ඉන්දීය අගමැති රාජීව් ගාන්ධිට දිවි පිදීමට සිදුවුණා. ජනාධිපති රණසිංහ ප්‍රේමදාසත් එවැනිම ඉරණමකට ගොදුරු වුණා.
ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඇදුනේ “ලොතරැයියක්.” ඇය බලයට ආවේ මේ රටේ කිසිම අම්මා කෙනෙකුට ඇගේ පාලනය යටතේ කඳුළක් සලන්නට ඉඩ නොතියන බවට සිහිනයක් මවා. මම ගිය සතියේ ඇගේ පාලනය පිළිබඳ වික්ටර් අයිවන් විසින් රචිත ‘චෞර රැජිණ’ නම් කෘතියෙන් උපුටා ගත් කොටස්වල වීඩියෝ පටයකට සවන් දුන්නා. මට එංගලන්තයට පැමිණි ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය වූයේ ඇගේ ආණ්ඩුවේ හිටපු අධ්‍යාපන ඇමති රිචඩ් පතිරණ ගෙන් එල්ල වූ මරණීය තර්ජන නිසා. වවුනියාවේ හිටපු ඇගේ ආණ්ඩුවේ සිංහල මන්ත්‍රී, පී. සුමතිපාල වවුනියාවේ ගාමිණි මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සිටි මම වවුනියාවේ පැවැති දැවැන්ත සාම පාගමනින් පසු කැලේක ඉස්කෝලෙකට මාරු කරලා මරා දැමීමට සැලසුම් කළා. උතුරේ යුද්ධය නිමාකොට සාමයට එළඹෙන ලෙස LTTE සංවිධානය හා රජයට බල කළ මෙම සාම පාගමනට දහදාහක් විතර සහභාගී වුණා. එහි ප්‍රධාන සංවිධායකයා වූයේ මමයි. රිචඩ් පතිරණ මට මරණීය තර්ජන එල්ල කළේ ඔහුගේ තකතීරු ගුරු වැටුප් සංශෝධනයක් විවේචනය කොට ‘දිවයින’ පත්‍රයට ලියූ ලිපියක් නිසා. ඔහුගේ මෙම වැටුප් සංශෝධනයෙන් වැඩිම වැටුප් හිමියන් ලෙස වර්ග කර තිබුණේ පුහුණු ගුරුවරු. හේතුව ඔහු පුහුණු ගුරුවරයකු නිසා. උපාධිධාරීන් හා පශ්චාත් උපාධිධාරීන් පහළ වැටුප් ස්ථාරවල තබා තිබුණා.
චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසු ජනාධිපති බවට පත්වූ මහින්ද රාජපක්ෂ බලයට ආවේ යුද්ධය නිමා කොට යුද්ධයට වියදම් කරන අති විශාල ධනස්කන්ධය මහජන හිත පිණිස යොදවන බවට පොරොන්දු වෙලා. ඒත් උතුරේ යුද්ධය ඉවර වුණු ගමන් දකුණේ අලුත්ම ආරෙක යුද්ධයක් ඇති කරා. පාතාලය සංහාරය කරනවා කියලා. ත්‍රස්තවාදී කඳවුරකට වගේ වැලිකඩ හිරගෙදරට එල්ල කළ ප්‍රහාරයත් සිරකරුවන් ඝාතනය කළ හැටිත් මම ප්‍රවෘත්තිවලින් දැක්කා. සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ පැවති තත්ත්වය නැවත නිර්මාණය වෙන්න ගත්තා. ඒ තත්ත්වය මොකක්ද කියලා මගේ පොතට ඇතුල් කරලා තියෙන හැන්සාඩ් වාර්තාවලින් කියවා ගන්න පුළුවන්. පොලිසියට අල්ලාගෙන යන සැකකාරයන් පණපිටින් එළියට ආවේ කලාතුරකින්.
ඉන් පස්සේ මෛත්‍රිපාල සිරිසේන බලයට ආවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අපරාධකරුවන් දඬු කඳේ ගසන බවට පොරොන්දු වෙලා. ගෝඨාභය රාජපක්ෂට බලයට ඒමට සියලු පසුබිම සැකසුවේ ඔහු. පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම ගැන සම්පූර්ණ වගකීම ජනාධිපති වශයෙන් ඔහු බාරගත යුතු බවට මුල්ම ලිපිය ලියූයේ මමයි. ගෝඨාභය රාජපක්ෂ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට මම දැක්කා මේ ලෝකයේ වැඩිම විධායක බලතල ඇති ඇමරිකානු ජනාධිපතිටත්, ප්‍රංශ ජනාධිපතිටත් නැති තරම් බලයක් ඔහුට ලබා ගැනීමට යෝජනා කර තිබෙන බව. මම ඒ නිසා ප්‍රංශ ව්‍යවස්ථාවත් ඇමරිකානු ව්‍යවස්ථාවත් දෙවරක් බැගින් කියවා එංගලන්තයේ පලවන පුවත් පතකට ලිපියක් ලිව්වා. එම ලිපියේ මම රෝම ඉතිහාසයේ සිට ඒකාධිපතියන්ට අත් වූ ඉරණම පෙන්වා දී තිබුණා. ඒ විතරක් නොව පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු අතරත් බෙදීමට සැලැස්සුවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විද්‍යුත් ලිපිනයට කෙලින්ම ලියා ඔබට රට ගොඩනැගීමට අවශ්‍ය සම්පූර්ණ බලය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බවත්, යෝජිත ව්‍යවස්ථාවෙන් රට භයානක ඒකාධිපති තත්ත්වයට ගෙනයන බවත් J.R. ජයවර්ධන යුගයේ අත්දැකීම් සිහි කරමින් මම ඔහුට ලිව්වා. නමුත් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු ලයිට් කණු වාගේ අත උස්සා ඒකාධිපති ව්‍යවස්ථාව සම්මත කරා. අවසානයේ දී සිදුවී ඇත්තේ කුමක්ද? චිකාගෝවල වැනි තත්ත්වයක් රටේ ඇති වී තිබෙන බව මෑතක දී සිදු වූ ක්ලබ් වසන්ත ඝාතනය ගැන පරීක්ෂා කිරීමට ආ විනිසුරුකාරතුමා කිව්වා. පාතාලය කරන මිනිස් ඝාතන රට පුරා හැම තැනම….
මගේ මල්ලීගේ අත කැපූ අපරාධකරුවා තවම නිදැල්ලේ, සුවපහසුවේ ජීවත් වෙනවා. මම මේ රටේ යුක්තිගරුක හා නීතිගරුක පොලිස් හා රහස් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ඔහු නැවත නීතිය ඉදිරියට ගෙනැවිත් යුක්තිය ඉටු කරන ලෙස.
මෙහි දී මම සඳහන් කළ යුතු විශේෂ කරුණක් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම රටේ ප්‍රශ්නවලට විසඳුම නොවේ. බලය විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර තුලනය විය යුතුයි. අගමැතිට පමණක් විධායක බලතල දීමෙන් අත් වූ ඉරණම සිරිමා බණ්ඩාරනායක යුගයෙන් ඉගෙන ගන්න.
19 වන ව්‍යවස්ථා සංශෝධනය අපේ රටේ ඇතිවූ පරමාදර්ශී ව්‍යවස්ථා සංශෝධනයක්. එය නිර්මාණය කිරීමට නායකත්වය දුන් ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතාටත්, ඒ සඳහා ප්‍රමුඛත්වය ගත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කැප වූ බුද්ධිමතුන්ටත් මාගේ ප්‍රණාමය මෙම අවස්ථාවේ පුදකරනවා. ඒවගේම මම අප රයේ ජනමාධ්‍යවලට විවෘත ඉල්ලීමක් කරනවා කරුණාකර විධායක ජනාධිපතික්‍රමය රකුසෙක් වගේ මවා පාන්න හදන්න එපා. ඇමරිකාවෙත් ප්‍රංශයෙත් ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයක් වුවත් ජනාධිපතිවරයාට ඕනෑ විදිහට සෙල්ලම් දාන්න බැහැ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය කළේ එවැනි තත්ත්වයක්.
ඔබ සැමට ජය වේවා
ස්තූතියි.
Sanath / September 2, 2024
I had a brilliant opportunity to be present at the book launching ceremony. This book showcase us 180digree look back what really happed to us and the pitfalls we created on our own path where we are working today to the future. And how the painted politics play a common role while people see the different colors on blind eyes. specially the weight given by the students to shape up and protects the rights of of common people and their rights against government mis management where general public is looking at students fronts as a different view. the book is million worth today than yesterday and is the very right time we can see on this soil
/
rathnamal / September 2, 2024
Amazing work by the journalist, it’s extremely educational and important to our family as well. Not only that, it has a great importance to the younger generations as it shows how and why people had to suffer as a result of dictatorship rules.
Seen his speech and his book is like seen a movie in 3D. This work has given me experience and knowledge as if I had lived to witness the ordeal experience in point of my view. As always brilliant work by Dr rajasinghe bandara and looking forward to seeing more of his work. Last but not least, thank you for shining a light on this matter.
/
Muru / September 2, 2024
නැවතත් මෙවැනි ම්ලේඡ්ච පාලනයක් ඇති නොවීමට ආචාර්‍යය රාජසිංහ බණ්ඩාර මහත්මාගේ මෙම ලිපිය හා ඔහුගේ මෙම පොත මනා පිටිවහලක් වනු ඇත..
-R. වීරසිංහ-
/
MA / September 3, 2024
The writer brings a wealth of experince for the reader to understand the truth and lies about the dictators and the corrupt leaders who brought our nation to the hell and bankruptcy. JR Jayewardene was responsible for creating two civil wars in the country that led our people to witness contiuous bloodbath nearly three decades and having had to experince enormous suffering. But Rnil, on the political stages, praise JR as ‘Greatest’ politician ever lived in Sri Lanka’. Sajith Premadasa, creates dreams about the life of the people under his rule after 21st of this month, with the vision he has, as the son of late President Ranasinghe Premadasa. He thinks people were born again.
Namal Rajapaksa boast about ‘the great success of his father Mahinda Rajapaksa’
We hear fairy tales on the political stages and waiting to see whether the voters learned anything from the past.
/