5 December, 2020

Blog

පුද්ගලික බස් රථ රියැදුරන්ට සහ ත්‍රීවීලර් රියැදුරන්ට යට වීම: අරාජකත්වයේ අද්දර සිටින රටක්?

රජීව ජයවීර

රජීව ජයවීර

රජීව ජයවීර

2015 දී මේ ලේඛකයා ‘‘මැතිවරණ අල්ලස්, අයවැය ආපස්සට ගැනීම් සහ වෘත්තීය සමිති’’ මැයෙන් ලිපියක් ලිවීය. එහිදී සාකච්ඡාවට ගැනුණේ, ඇතැම් අයවැය යෝජනාවන්ට එරෙහිව වෘත්තීය සමිති විසින් කැඳවා තිබූ ‘මහ වැඩ වර්ජනයක’ තර්ජනය පිළිබඳ කාරණාවකි. එම තර්ජනයට ආණ්ඩුව යට වූ අතර, විවාදාපන්න අයවැය යෝජනා ඉවත් කරගෙන වැඩ වර්ජනය වැළැක්වීය. ‘‘වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට අගමැතිවරයා විසින් මෙසේ ඉඩ දෙනු ලැබීම දුර්වලත්වයක සංඥාවක් වශයෙන් අර්ථකථනය විය හැකි අතර එය අනාගතයේ අසාධාරණ හේතු පෙරදැරිව ගෙන එන වැඩ වර්ජන දිරිමත් කරනු ඇතැ’’ යි මේ ලේඛකයා තර්ක කෙළේය. ඊළඟ වසර තුළ, එම අනතුරු ඇඟවීම්වල ප‍්‍රතිඵල අවස්ථා කිහිපයකදී ඉස්මතු විය. පසුගිය දෙසැම්බර් 2 වැනි දා පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර්කරුවන් වැඩ වර්ජනය කිරීම නිසා මුළු රටම අක‍්‍රීය විය. මහ වැඩ වර්ජනයක තර්ජනයක් නම් නොවුණි. එහෙත්, ‘පීඩාව, උපයෝජ්‍යතාව සහ ගමනාගමන දීමනාව’ (DAT) වැඩි කරන බවට ආණ්ඩුව ඊට කලින් දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්ට ස්ථිර සහතිකයක් දී තිබුණි. ඒ ඔවුන් වැඩ වැරූ නොවැම්බර් 30 වැනි දා ය. ඒ සහතිකය නිසා, මේ පිරිස් දෙකම එක වර වැඩ වර්ජනය කිරීමේ අවදානම වැළැකුණි. තමන්ගේම වන ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරමින් වැඩ වර්ජනය කිරීමට සැරසී සිටි දුම්රිය සේවකයන් ද, ජනාධිපතිවරයා සමග කරන ලද සාකච්ඡාවකින් පසු තම ඉල්ලීම්වලින් බොහොමයක් ලබා ගන්නා ලදැ යි කියමින් වර්ජනය කිරීමෙන් වැළැකී සිටියහ.

පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන්ගේ වැඩ වර්ජනයෙන් ඇති කළ ප‍්‍රතිවිපාක ගණනාවකි. රට පුරා විශ්ව විද්‍යාලවල විභාග, බස් වැඩ වර්ජනය හේතුවෙන් ශිෂ්‍ය සහභාගීත්වය අවම වීම නිසා, කල් දැමීමට සිදු විය. සිකුරාදා පැවැත්වීමට නියමිතව පැවති නීති විද්‍යාලයේ විභාග ඊළඟ බදාදා දක්වා කල් දැමුණි. රටේ නොයෙක් තැන්වල ලංගම බස් රථවලට ගල් ගසා තිබුණු අතර, වැඩ වර්ජිත සාහසිකයන්ගේ ක‍්‍රියාවන් නිසා ඇතැම් ලංගම රියැදුරන් තුවාල ලබා තිබුණි. ත‍්‍රීවීලර් රියැදුරන් අගනුවර පෙළපාලි ගිය නිසා කොළඹ මාර්ග අවහිර විය. කොළඹ-මීගමු පාරත්, මීගමුවේ ගල්කන්ද පෙදෙසේ දුම්රිය මාර්ගත් මේ පිරිස් විසින් අවහිර කරන ලදි. පොදුවේ දෛනික ජන ජීවිතයට සිදු කරන ලද අවහිරය අති විශාල විය.

සාමාන්‍යයෙන් පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර්කරුවන් වැඩ වර්ජනය කරන්නේ, ආණ්ඩුව විසින් ඞීසල් මිල ඉහළ දැමීම සහ බදු වැඩි කිරීම ආදියත්, බස් ගාස්තු සහ ත‍්‍රීවීලර් ගාස්තු වැඩි කිරීමට ඉඩ නොදීම ආදියත් මුල් කරගෙන ය. කෙසේ වෙතත්, මෙවර ඔවුන් වැඩ වැරුවේ අසාමාන්‍ය හේතුවක් මුල් කර ගනිමිනි. මෙවර ඔවුන්ගේ ඉල්ලීම වුණේ, මාර්ග නීති උල්ලංඝණය කිරීම් හතක් වෙනුවෙන් දැනට තිබෙන දඩ මුදල රුපියල් 25,000 ක අවමයක් දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව ගත් තීන්දුවයි.

මේ වැඩි කරන ලද දඩ මුදල ආණ්ඩුවේ ආදායම් වැඩි කර ගැනීමේ මාර්ගයක් වශයෙන් අයවැය තුළින් ගෙන ආ යුතුව තිබුණු දෙයක් ද, නැතහොත්, මාර්ග නීති ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මත ගෙන ආ දෙයක් ද යන්න වැදගත් නැත. අදාළ නැත. ඒ කුමක් වෙතත්, එය ආණ්ඩුවේ තීරණයකි.

සැලකිල්ලට ගත යුතු වැදගත් කාරණය වන්නේ, ශිෂ්ට සම්පන්න රටවල සහ සමාජවල ගිවිස නොගන්නා කරුණු අරභයා දැන් පවතින ආණ්ඩුව ඇතැම් පුද්ගල කණ්ඩායම් සමග සාකච්ඡාවලට පිවිසීමයි. යෝජිත දඩ මුදල් අවම කිරීම සඳහා එම කොටස් සමග සාකච්ඡා කිරීමට එකඟ වීමම, ආණ්ඩුව අන්තවාදී ඉල්ලීම්වලට යට වන බවට ඇති පැහැදිළි සංඥාවකි.

මේ විවාදාපන්න මාර්ග වැරදි හත ගැන අපි සළකා බලමු:
1. වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය පැදවීම
2. රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම
3. වම් පැත්තෙන් ඉස්සර කිරීම
4. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම
5. බීමත්ව රිය පැදවීම
6. දුම්රිය හරස් මාර්ග හරහා නොසැලකිල්ලෙන් රිය පැදවීම
7. වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැති කෙනෙකුට වාහනයක් පැදවීමට දීම

මුලින්ම මතක් කර දිය යුතු යමක් තිබේ. ඇතැම් දේශපේ‍්‍රමීන් පෙන්වා දෙන පරිදි, අපට දියුණු වාරිමාර්ග සහ ජල පද්ධති තිබුණු කාලයක බටහිර රටවල මිනිසුන් කොළ අතු ඇඳගෙන ගිය කතා කෙසේ වෙතත්, මෝටර් රථවාහන, මාර්ග සහ මහා මාර්ග, මාර්ග නීති සහ ප‍්‍රමුඛත්වයේ අයිතිය වැනි දේවල් පටන් ගත් බටහිර රටවලින් එම ක්ෂේත‍්‍රය අරභයා අපට උගත හැකි බොහෝ දෑ තිබේ. එම රටවල ඉහත කී වැරදි හතට සමාවක් නැත. ඒ සඳහා වන දඩ මුදල් ගැන කේවල් කිරීම් නැත. අපේ ශ‍්‍රී ලාංකීය පාරාදීසයේ මෙන් නොව, ඒ රටවල මෙම වැරදිවලට දඬුවම ක්ෂණික ය.

වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රියක් පදවන තැනැත්තා, පැහැදිළිවම, එම කාර්ය සඳහා නුපුහුණු, නුසුදුසු පුද්ගලයෙකි. එවැනි පුද්ගලයන් නිසා සෙස්සන්ට ආපදා සහ අනතුරු සිදු විය හැකිය. සෙස්සන්ගේ ජීවිත අහිමි විය හැකිය. තවත් මිනිස් ජීවියෙකුව අබ්බගාතයෙකු කරන හෝ, ඊටත් වඩා, තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයක් උදුරා ගන්නා පුද්ගලයෙකුට, සොච්චම් දඩයක් හෝ 25,000 ක දඩයක් වුව ගැසීමෙන් සඵල කර ගත හැකි යුක්තිය කුමක්ද? වලංගු රක්ෂණ බලපත‍්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීමත් ඊට සමාන ය. එහිදී, පුද්ගලයෙකුට ශාරීරිකව කෙරෙන ආපදාවට අමතරව, මහජන සහ පෞද්ගලික දේපලවලට කෙරෙන අලාභහානි ද තිබේ. වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම සහ බීමත්ව ධාවනය කිරීමත් ඊට සමාන ය. ඒ මගින් ද, ජීවිතවලටත්, දේපළවලටත් හානි සිදු කෙරේ. ශිෂ්ට සම්පන්න රටවලදී, මෙවැනි වැරදිවල ස්වභාවය අනුව කෙමෙන් වැඩි වන ආකාරයේ දඩ නියම කෙරේ. අධික වේගයේ ප‍්‍රමාණය සහ ශරීරගතව ඇති මධ්‍යසාර මට්ටම ආදිය අනුව දඩය අඩු වැඩි වෙයි. වේග සීමාව අධික වශයෙන් ඉක්මවා ඇති අවස්ථාවක හෝ මධ්‍යසාර අධික මට්ටමකින් ශරීරගතව ඇති විට දැඩි දඩ මුදලක් පමණක් නොව, ලකුණු කපා හැරීමේ ක‍්‍රමයක් ද එම රටවල ක‍්‍රියාත්මක වෙයි. (අවුරුදු දෙකක කාලයක් තුළ ලකුණු 12 ක් කැපී ගියොත්, රියැදුරු බලපත‍්‍රය අවලංගු කෙරේ). එපමණක් නොව, රියැදුරු බලපත‍්‍රය තාවකාලිකව ඉවත් කිරීම, නිශ්චිත කාලයක් තුළ රිය පැදවීම තහනම් කිරීම, එම කාල සීමාවෙන් පසු නැවතත් රිය පැදවීමේ පරීක්ෂණයකින් සමත් වීම අනිවාර්ය වීම ආදී දඬුවම් ඊට ඇතුළත් වෙයි. වැරදි පැත්තෙන් ඉස්සර කිරීම සහ දුම්රිය හරස් මාර්ගවලදී නොසැලකිල්ලෙන් රිය පැදවීම ආදී වැරදි සඳහා පනවන දඩ මුදල් සහ ලකුණු කපා හැරීමේ ක‍්‍රම නිසා එම වැරදි කිරීමෙන් මිනිසුන්ව අධෛර්යමත් කෙරේ.

නීතියක් නැති කම අපේ සමාජයේ ජම්ම ගතියකි. නීතිය (මාර්ග නීති හෝ වෙනත් නීති) නොතකා හරින්නේ දේශපාලඥයන් පමණක් නොවේ. ඉහත කී වැඩ වර්ජන ආදියෙන් පෙන්නුම් කළ පරිදි, පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන් වැනි සාමාන්‍ය පංතික පිරිස් ද, මාර්ග නීතිවලට අවනත වීම ප‍්‍රතික්ෂේප කරති. කොහෙත්ම නොකළ යුතු වැරදි සම්බන්ධයෙන් වන දඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටීමම වරදකි. මාර්ග නීති, අපේ රටේ කැලෑ නීති බවට පත්ව ඇත්තේ බොහෝ විට පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන්ගේ නොමනා රියැදුරු චර්යාව නිසා ය. ඔවුන් පමණක් නොව, මර්සිඞීස් බෙන්ස්, බී.එම්.ඩබ්. සහ ඩිෆෙන්ඩර් වැනි අධි සුඛෝපභෝගී වාහන පදවන්නන් ද එම තත්වයට දායක වන බව නොවලහා කිව යුතුය.

මේ නිසා, වලංගු රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව රිය පැදවීම, වලංගු රියැදුරු බලපත‍්‍රයක් නැති පුද්ගලයෙකුට රිය පැදවීමට ඉඩ දීම සහ වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය පැදවීම යන වැරදි තුනට අදාළ රුපියල් 25,000 දඩය වෙනුවට බරපතල වැඩ සහිත එක් වසරක සිර දඬුවමකට යටත් වන ආකාරයෙන් මාර්ග නීති ආඥාපනත සංශෝධනය විය යුතු බව මෙයින් උදක්ම ඉල්ලා සිටිනු ලැබේ. මොන තත්වයක් යටතේවත් ඒ සඳහා සහන සැලසීමක් නොතිබිය යුතුය.

පෞද්ගලික බස් රියැදුරන් සහ ත‍්‍රීවීලර් රියැදුරන් වේවා, වෛද්‍යවරුන් හෝ වෙනත් වෘත්තිකයන් පිරිසක් වේවා, වර්ජන තර්ජන යටතේ ආණ්ඩුවක් ගෙල ග‍්‍රහණයෙන් ගැනීම තුළ, නීතිය හා සාමය පිළිබඳ ප‍්‍රශ්නයට අමතරව තවත් ප‍්‍රශ්නයක් මතු කරවයි. බටහිර රටවල වෘත්තීය සමිති ආරම්භ කෙරුණේ සේවකයන්ව සේවයේ නිරත කර ගනු සඳහා ය. එහෙත් අද දකින්ට ඇති පරිදි වෘත්තීය සමිති කරන්නේ හැකි සෑම අවස්ථාවකදීම සේවයෙන් ඉවත් වීම සඳහා ඒ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග පාවිච්චියට ගැනීමකි. වැඩ වැරීම වූ කලී, සාධාරණ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡුා කොට ඒවා දිනා ගැනීම සඳහා වෘත්තීය සමිතිවලට ලැබෙන අයිතියකි. එහෙත් එම අයිතිය වගකීමෙන් යුතුව පාවිච්චි කිරීමත් මෙහිදී අපේක්ෂා කෙරේ. පසුගිය දා සිදු වූවා සේ, අසාධාරණ සහ වගකීම් විරහිත ඉල්ලීම් වෙනුවෙන් ඉවක්බවක් නැතිව පාවිච්චි කිරීම සඳහා ලැබෙන අයිතියක් නොවේ, වර්ජන අයිතිය.

2015 දී බලයට පත්වූ දා සිටම මේ ආණ්ඩුව, වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග තර්ජනවලින් වට කරනු ලැබ තිබේ. වර්ජන තර්ජන නිසා, ඉදිරියට තැබීමට යත්න දරණ සෑම පියවරයක් පාසාම, පියවර තුනක් පස්සට තැබීමට ආණ්ඩුවට සිදු වී ඇත. එය, 2015 දෙසැම්බර් අයවැය යෝජනාවලදී මෙන්ම, එට්කා ගිවිසුම, වැට් බදු වැඩි කිරීම සහ තවත් අවස්ථා කිහිපයකදී අපට දැක ගත හැකි විය.

කම්කරු ඉල්ලීම්වලට කන් දිය යුතුය. ඒවා ආවාටගියාට ප‍්‍රතික්ෂේප කළ යුතු නැත. අනිත් අතට, වෛද්‍යවරුන් ද ඇතුළු කම්කරුවන් ද, සාධාරණ විය යුතුය. අවශ්‍ය තන්හිදී දැඩි පියවර නොගෙන, මේ ආණ්ඩුවට ඉතිරි කාලය ගෙන යාමට පුළුවන් කමක් නැත. දැන් සිදු වන්නේ, අදාළ ඇමතිවරයා සමග ගනුදෙනුවේදී පැහැදිළි ස්ථාවරයක සිටින ආණ්ඩුව, ඊළඟට කැබිනට් අනුකාරක සභා අවස්ථාවේදී හෝ අවසාන වශයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමේදී එම ස්ථාවරය වෙනස් කර ගැනීමයි. මේ මගින් පෙන්නුම් කරන තවත් කාරණයක් වන්නේ, හොඳින් සිතා බලා තීරණ ගැනීමට මේ ආණ්ඩුවට ඇති නොහැකියාවත්, ඇති කර ගන්නා ප‍්‍රතිපත්ති සහ තීන්දු තීරණ ඒත්තු යන ආකාරයෙන් අදාළ පාර්ශ්වකරුවන් කරා ගෙන යාම කෙරෙහි දක්වන නොහැකියාවත් ය. එසේ වීම නිසා එක අතකින් ආණ්ඩුව බෙලහීන වන අතරේම, අනිත් පැත්තෙන් රටක් වශයෙන් අරාජකත්වයේ තර්ජනයට මුහුණදෙන්නේය.

‘අත්‍යාවශ්‍ය සේවා පනත’ නැවත හඳුන්වා දීම ගැන ආණ්ඩුව මේ අවස්ථාවේ බරසාරව අවධානය යොමු කළ යුතුව තිබේ. ඒ මගින්, පසුගිය දා අත්දුටු වැඩ වර්ජන ලත් තැනම ලොප් කළ හැකිව තිබුණි. මේ ලියුම්කරුට මතක ඇති පරිදි, පසුගිය දශක පහක කාලය තිස්සේ එම පනත විවිධ අවස්ථාවල සාර්ථක අන්දමින් ක‍්‍රියාවේ යොදවා තිබේ. අවසාන වරට එසේ පාවිච්චියට ගැනුණේ, විදුලි බල මණ්ඩලයේ සේවකයන් ජාතික විදුලි ජනන පද්ධතිය කඩාකප්පල් කළ අවස්ථාවේ ය. එදා, දින ගණනක් තිස්සේ රටම අන්ධකාරයේ ගැලූණි.

එසේම, එවැනි නීතියක් දේශපාලනික වාසි තකා මොන ආකාරයකින්වත් පාලකයන් විසින් පාවිච්චියට නොගත යුතු බවත් පැහැදිළිව අවධාරණය කළ යුතුව තිබේ. පෞද්ගලික බස් රියැදුරන්ගේ සහ ත‍්‍රීවීලර් රියැදුරන්ගේ ඉල්ලීම් දේශපාලනික ඉල්ලීම් නොවුණි. එසේම, ඒවා ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරභයා ද නොවුණි. ඉතා සරළව ගත් විට ඔවුන්ගේ ඉල්ලීම්වල පදනම වුණේ, මිනිස් ජීවිත සහ දේපළවලට හානි කරවන ක‍්‍රියාකලාපයක් සඳහා බුරුලක් ඉල්ලා සිටීමක් මතයි.

නීතිය හා සාමය පිළිබඳ ප‍්‍රශ්නය කේවල් කළ හැකි ප‍්‍රශ්නයක් නොවේ. ආණ්ඩු කටයුතු කළ යුත්තේ ඒ ගැන එසේ සලකමිනි. එසේ නොවුණහොත් සිදු වන්නේ, ජාතියක් වශයෙන් අරාජකත්වයක් කරා ගමන් කිරීමකි.

*2016 දෙසැම්බර් 11 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Caving Into Private Bus & Trishaw Drivers – A Nation On The Brink Of Anarchy? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.