24 April, 2024

Blog

සයිටම් ප‍්‍රශ්නය සයිටම් ආයතනයට එහා ගිය ප‍්‍රශ්නයක් වන්නේ මන්ද යත්

රංග ජයසූරිය

රංග ජයසූරිය

ප‍්‍රශ්නයට අදාළ සියලූ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාලබේ සයිටම් අධ්‍යාපනික ආයතනය පිළිබඳ තීරණයක් ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියයි. සමහර විට, කළ යුතුව ඇති නිවැරදි දෙය වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෙනස් තීන්දුවක් නොදෙන්නේ නම්, දැනට අධිකරණයෙන් දී තිබෙන විනිශ්චය කි‍්‍රයාත්මක කිරීමයි. විවේචකයන් සුළු පිරිසකගේ ඝෝෂාවක් සමනය කිරීම සඳහා නීතිය වෙනස් කිරීම හෝ නීතියක් ක‍්‍රියාත්මක නොකර සිටීම, මේ රටේ බොහෝ කලක් තිස්සේ කරගෙන යන පුරුද්දකි. එය නීතියේ ආධිපත්‍යයේ සමස්ත කඩා වැටීමට හානිකර ලෙස බලපා තිබේ.

සයිටම් පිළිබඳ ප‍්‍රශ්නය, අනාගතයේදී වෛද්‍ය උපාධිධාරීන් වීමට සිටින අතලොස්සකගේ ඉරණමක් පිළිබඳ ප‍්‍රශ්නයක් විණි නම්, ප‍්‍රශ්නය ඉතා සරළ ය. ප‍්‍රශ්නය එය නම්, උපයෝගීතාවාදී දෘෂ්ටි කෝණයකින් (කිහිප දෙනෙකුට අවැඩක් වෙතත්, වැඩි දෙනාගේ වැඩි යහපත සඳහා යමක් කිරීම යුක්ති සහගත කෙරෙන දෘෂ්ටි කෝණයෙන්) බලන කල, ශිෂ්‍ය විරෝධතා පෙළපාලි, වෛද්‍ය වැඩ වර්ජන ආදී මහා ගාලගෝට්ටි ඇති කර ගැනීමේ ප‍්‍රයෝජනයක් නැත. ඒ කන්දොස්කිරියාව වෙනුවෙන් විරෝධතාකරුවන්ගේ හඬට සවන්දීම වඩාත් උචිත ය. ප‍්‍රශ්නය එසේ විසඳා ගැනීම තවත් එවැනි ප‍්‍රශ්න මාලාවකට තල්ලුවක් විය හැකි බවට අතීතයේ ඇති අත්දැකීම් වෙනම කාරණයකි.

එහෙත් සයිටම් ප‍්‍රශ්නය යනු, හුදෙක් සයිටම් ආයතනය පිළිබඳ ප‍්‍රශ්නයක්ම නොවේ. එය, මේ රටට නැතිවම බැරි පෞද්ගලික අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නයකි. අනිත් පැත්තෙන් ගත් විට, එය මහජන මුදලින් නඩත්තු කෙරෙන, තරගයක් නැති කම නිසා දීර්ඝ කාලයක් තිස්සේ කඩා වැටෙමින් ඇති, පොදු අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්නයක් ද වන්නේය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර​ය තුළ දිනෙන් දින වැඩෙන ජගත් තරගකාරීත්වයට මුහුණදිය නොහැකි තත්වයකට පත්ව ඇති අතර, අඩ සියවසකට ඉහතින් ක‍්‍රියාවට දැමූ සහ එදා මෙදා තුර වෙනස් නොවූ, යල්පැනගිය පටු ආයතනික ව්‍යුහයක් තුළ ක‍්‍රියාත්මක වීම හේතුවෙන්, ලෝකයේ වෙනත් තැන්වල සාර්ථක අධ්‍යාපනික භාවිතාවන් උකහා ගැනීමට අපොහොසත් වී තිබේ. එම නිසා පවතින තත්වය වෙනස් කිරීමකට ඇතුළෙන් ප‍්‍රතිරෝධයක් මතු වීම ස්වභාවික ය. තමන්ගේ ඒකාධිකාරී රාජධානිය ආරක්ෂා කර ගැනීම සඳහා එයින් ඵල ප‍්‍රයෝජන ලබන ආයතන සහ පුද්ගල කණ්ඩායම් වෙහෙසීමත් පුදුමයට කාරණයක් නොවේ. ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර​ය, ඉන්දියාවේ ‘ලයිසන්ස් රාජ්’ ක‍්‍රමයේ ක්ෂුද්‍ර රූපයකි. ඉන්දියාවේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය නේරු, පෞද්ගලික අංශය ආර්ථිකයෙන් බැහැර කරවන, රටේ ආර්ථිකයේ බෙල්ල හිර කරවන ව්‍යුහයක් ගොඩනැගූවේය. එයින් පසුව ගත වු දශක හතරක කාලය තුළ ඉන්දියාව, හීන-ඵලදායිත්වයේ සහ දරිද්‍රතාවයේ පර්යාය නාමයක් බවට පත්විය. ඇතැම්හු, සදාචාරමය සහ ගුණවත් හේතු මත පිහිටා මෙවැනි සමාජ ව්‍යුහයන් වර්ණනා කිරීමට පෙළඹෙති. එහෙත් යල්පැනගිය යුගයක පැවති ආධානග‍්‍රාහී පිළිවෙත්වල සැබෑ ප‍්‍රාණඇපකරුවන් බවට පත්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ප‍්‍රායෝගික සුභසිද්ධියක් එම ව්‍යුහ තුළ අත්පත් කර ගැනීමට හැකිව ඇතොත් ඒ ඉතා අල්ප වශයෙනි.

කියන තරම් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය යහපත් නම්, නුපුහුණු කම්කරුවන් සහ ගෘහ සේවිකාවන් මෙතරම් පිටරට පටවනවා වෙනුවට අප කරනු ඇත්තේ වෘත්තිකයන්ව විදේශයන්ට යැවීමයි. අපේ උපාධිධාරීන් ඔය කියන තරම් උසස් මට්ටමේ සිටී නම්, ඉතා දියුණු ඉන්දියානු තොරතුරු තාක්ෂණ සමාගම් මේ රටේ ඔවුන්ගේ කාර්යාල විවෘත කිරීමට පෝලිමේ එනු ඇත. ‘උන්ට වැඩිය අපි ඉස්තරම්’ නැමැති මන්තරය විකාරයකි. අපේ ළිං මැඩි චින්තනයේම මායාවකි.

1989 දී ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ප‍්‍රශ්නයේදී පස්ස ගැසුවේය. අනතුරුව ආණ්ඩුවට පවරා ගත් එම වෛද්‍ය විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත් කරන ලදි. මෙය රජයට පවරා ගන්නැයි කියා උද්ඝෝෂණය කළ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ හඬට ඉඩ දීමෙන් සහ ත්‍රිකුණාමලේ ගල් අඟුරු බලාගාරයක් ගොඩනැගීම සඳහා සකස් කොට තිබූ සැලසුම් හකුලා ගැනීම තුළින් දකුණේ වාමාංශික කැරලිකාරීත්වය සමහන් කළ හැකි වෙතැයි ඔහු සිතුවේය. ඔහුගේ ඒ ගණනය පසුව වැරදී ගිය අතර, ඔහුගේ ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නට මුළු වෙර යොදා අර කැරලිකාරීත්වයෙන් රට ආරක්ෂා කර ගැනීමට සිදු විය. ජනාධිපති පේ‍්‍රමදාසගේ තීරණය නිසා අවසානයේදී සිදු වුණේ, ව්‍යාපෘති ප‍්‍රවණතාවක ආරම්භක අවදියක අත්පත් කරගත හැකිව තිබූ වාසියක් අපෙන් මගහැරී යාමයි. එදා පටන්, පෞද්ගලික අධ්‍යාපනය සඳහා දොරටු විවර කළ මැලේසියාව වැනි රටවල් අද වන විට ජාත්‍යන්තර ශිෂ්‍යයන් සඳහා වන ප‍්‍රධාන පෙළේ ගෝලීය කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇත. උදාහරණයක් වශයෙන්, 2014 වන විට මැලේසියාවේ විදේශ ශිෂ්‍ය සංඛ්‍යාව 135,000 ක් වූ අතර, 2020 වන විට එම ප‍්‍රමාණය 200,000 ට ආසන්න වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිදහසේ පටන් අප බොහෝ දේවල් අහිමි කරගෙන තිබේ. 1977 දක්වා කාලය වන තෙක් ආර්ථික ආධානග‍්‍රාහීත්වය නිසා ද, ඉන් පසුව දේශපාලනික අතීරණය නිසා ද, අප බොහෝ දේවල් අහිමි කරගෙන තිබේ. මේ පාරේම අප තවදුරටත් ගමන් කළොත්, අනාගත පරම්පරාවන් සඳහා ඇති අපේක්ෂාවන් ද නන්නත්තාර වනු ඇත.

උසස් අධ්‍යාපනයේ ඒකාධිකාරි අයිතිය ආණ්ඩුව සතු විය යුතු යැයි කියන කෙනෙකු අද නැති තරම් ය. උසස් අධ්‍යාපනය පමණක් නොව, වෙන කිසි දෙයක් සම්බන්ධයෙන් වුව ආණ්ඩුවක් ඒකාධිකාරී බලයක් අභ්‍යාස කිරීම වනාහී, තමන්ට බැරි බරක් බදා ගැනීමකි. (මැක්ස් වෙබර් කියන පරිදි, සමහර විට, ප‍්‍රචණ්ඩත්වය නීත්‍යානුකුලව පාවිච්චි කිරීමේ අයිතිය පමණක් සමහර විට ආණ්ඩුවේ ඒකාධිකාරයක් විය හැකිය). එසේ වන විට වන්නේ, සියල්ල හරහට සිදු වීමයි. තෙල් සම්පතින් ලැබෙන ඩොලර් සමෘද්ධිය සහිත රටවල් තිබේ. රජයට බදු ආදායම් වැඩියෙන් ලැබෙන රටවල් තිබේ. විශාල රාජ්‍ය බලයක් සහ අඩු ජනගහනයක් ඇති රටවල් තිබේ. එවැනි රටවල්වලට රාජ්‍ය ඒකාධිකාරියක් පවත්වා ගෙන යා හැකිය. එහෙත් අපට වඩා මුළුමණින් වෙනස් සමාජ ආර්ථික මට්ටමක් සහිත ස්කැන්ඩිනේවියානු රටවල් (නෝර්වේ, ස්වීඩනය, පින්ලන්තය සහ ඩෙන්මාර්කය) කරන හැම දෙයක්ම අපට කිරීමට පුළුවන් කමක් නැත. අපොස උසස් පෙළ විභාගයෙන් පසු දිගටම අධ්‍යාපනයේ නිරත වීමට අපේක්ෂා කරන සියලු සිසුන් සඳහා ගුණාත්මක උසස් අධ්‍යාපනයක් සැපයීමට පුළුවන් කමක් ලංකාවේ ආණ්ඩුවට නැත. එහෙත් ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් සේවාවක් කිරීමේ හැකියාව ඇති වෙනත් අංශවලට අවශ්‍ය කරන වාතාවරණය සපයා දීමට ආණ්ඩුවකට පුළුවන් කම තිබේ. උපකාරක පංති සඳහා වන ණය පහසුකම් සැපයීම සහ ශිෂ්‍යත්ව පිරිනැමීම ආදියේ සිට පෞද්ගලික අධ්‍යාපනික ආයතනවල වර්ධනය සහ ගුණාත්මක භාවය නියාමනය කෙරෙන කාර්යයන් ආණ්ඩුවකට කළ හැකිය.

ඒවා එසේ කරන අතරේම, දැනට කෙරෙන ආකාරයෙන්, තෝරා ගත් සුළුතරයකට සපයන රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගත මට්ටමකට ගෙන ඒමටත් කටයුතු කළ හැකිය. රටේ පවතින ප‍්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටම හා සසඳන කල ඉතා පහත් මට්ටමකි තිබියදී, තව තවත් අලුත් විශ්ව විද්‍යාල ආණ්ඩුව විසින් ආරම්භ කිරීම මෝල් කමකි. බාල ජනප‍්‍රියත්වය සඳහා කරන උප්පරවැට්ටියකි. දැනටමත් පිරී ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල, තව තවත් සංඛ්‍යාත්මකව වැඩි කිරීම සඳහා ශක්තිය සහ මුදල්හදල් නාස්ති කරනවා වෙනුවට, දැනට ආණ්ඩුව කළ යුත්තේ ඒවායේ ගුණාත්මක භාවය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා ආයෝජනය කිරීමයි.

කොළඹ, පේරාදෙණිය සහ මොරටුව වැනි විශ්ව විද්‍යාල, ජාතික මට්ටමේ සංයුක්ත සැලැස්මක් ඇතොත්, එසේ වැඩි දියුණු කළ හැකි ශක්‍යතාවක් සහිතයි. කොළඹ මෙගාපොලිස් මහ නගර ව්‍යාපෘතිය ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව සිංගප්පූරුවෙන් උපදෙස් ලබා ගන්නා රජයට, සිංගප්පූරුවේ විශ්ව විද්‍යාල ලෝක මට්ටමට පත්කර ගත්තේ කෙසේද යන්නත් සොයා බැලිය හැකිය. එවැනි සාර්ථකත්වයක් එම රට ලබාගෙන ඇත්තේ, නිශ්ක‍්‍රීය නිරීක්ෂකයන් වශයෙන් පැත්තකට වී බලා සිටීමෙන් නොව, සැලසුම් සම්පාදනයෙන්, ඉලක්ක සකසා ගැනීමෙන් සහ ජාත්‍යන්තර සේවාවන් ලබා ගැනීමාදිය සම්බන්ධයෙන් ආණ්ඩුව සෘජුව මැදිහත් වීමෙනි.

රජයේ විශ්ව විද්‍යාල එක තැන පල් වීම වෙනස් කර ගත්තොත්, පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන තිබෙන විරෝධයත් දුරු වී යනු ඇත. දේශීය විශ්ව විද්‍යාලවල තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ, සිය වසකටත් වැඩි කාලයක් තිස්සේ කොළඹ, නුවර සහ මා ඉගෙනුම ලත් ශාස්ත්‍රාලය පිහිටි ගාල්ල වැනි තැන්වල පවා ඇති බොහෝ උසස් පාඨශාලා තුළින් දෙන ලද ප‍්‍රබුද්ධ තත්වාරෝපණය එක දිගට පවත්වාගෙන යාමට අපොහොසත් වීමයි. මීට අමතරව, තවත් සමාජ ආර්ථික සාධක ඊට බලපාන බව ඇත්ත. කෙසේ වෙතත්, විශාල සම්පත් කන්දරාවක් සහිත ආයතන වශයෙන් මීට වඩා හොඳින් මේ කාර්ය කිරීමට විශ්ව විද්‍යාලවලට හැකි විය යුතුය. එය එසේ සිදු වන්නේ නම්, පිටස්තර පෞද්ගලික විශ්ව විද්‍යාල සහ වෙනත් අධ්‍යාපන ආයතනවලින් එන තරගය ගැන මෙතරම බයක්, රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන් තුළ ඇති නොවනු ඇත.

*2017 පෙබරවාරි 28 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Why SAITM Issue is Much More than SAITM itself” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    ලිපිකරැ රංග ගෙ විග්‍රහය සියයට සියයක් පිළිගන්නවා. අපි කැමති උනත් අකමැති උනත් අද හැම රටකම වගේ අධ්‍යපනය බිස්නස් එකක්. මුදල් ගෙවල ඉන්ටනැෂනල් ඉස්කොල වලට දෙමව්පියො ලමය් යවන්නෙ කැමැත්තෙන්. අද සම හරක් කියන්නෙ ඉන්ජිනියරින්, කොම්පියුටින් ප්‍රය්වෙට් කොලෙජස් හොඳය්ලු. ප්‍රය්වෙට් මෙඩිකල් කොලෙජස් විතරක් නරකය්ලු. අැයි කියල අැහුවොත් කියන්නෙ ප්‍රය්වෙට් කොලෙජ් වල ඉගන ගත්ත දොස්තරලට ජීවිතත් එක්ක සෙල්ලන් කොරන්න දෙන්න බැරිලු. බහ බූත කතානෙ. ප්‍රයිවෙට් ඉගන ගත්ත අය නඩත්තු කරන අහස් යානා බිල්ඩින් කඩා වැටුනොත් ජිවිත විනාස වෙන්නෙනෙ නැද්ද? අද කොම්පියුටර් අැනහිටියොත් සැත්කම් කොරලත් ඉවරය් නියල උන්ට තේරෙන්නෙ නැහැ.

    ජාතියන්තරය පිලිගත් පුද්ගලික මෙඩිකල් කොලෙජස් දහයකට වැඩිය මැලේසියාවෙ තියනවා නේපාලෙත් තියනවා. එන්ගලන්තෙත් තියනවා. ඒ කියන්නෙ පිළිගත් පුද්ගලික විශ්ව විද්‍යාල අද යන ලෝක රටාවය්. ඉතින් අැය් අපට නරක. රංග කිියනව වගේ එඩුයුකේෂන් කියන්නෙ මැලේසියාවෙ ලොකු බිස්නස් එකක්. ඉතින් නෙවිල් ෆර්නැන්නඩු ලංකාවෙ එ් වැඩේ ලංකාවෙ පටන් ගත්ත එක කොච්චර හොඳද?

    ලෝක රටාව නොපෙනෙන්නෙ කුහක අන්තරේ උන්ටය්. සයිටමේ ප්‍රශ්ණෙට දැන් උසාවි තීන්දුවක් ලැබිිලනෙ. පඹය සිරිසේනට තිියෙනනෙ බය්ලාවක් කියල අන්තරේ රැලටය් සයිටමේ උන්ටය් ප්‍රශ්නෙ උසාවියෙන් බලා ගන්න කියන්නය්. කාලෝ ෆොන්සේකා උසාවි තීන්දුව පිළිගන්නෙ නැත්නම් එක්කො ගෙදර යන එකය් නැත්නම් සුපිරිම් උසාවියට අැපිල් කොරන එකය් අැත්තෙ. කාලෝල මේ දඟලන්නෙ අද රටේ දැවෙන ප්‍රශ්ණ මගහරින්නය්. ඒකය් අපට ප්‍රශ්නෙ.

    කාලෝල දැන ගන්න ඔිනා ලංගම වත් කොර ගන්න බැරි රජයට අධ්‍යාපන බිස්නස් එක කොහොමත් කොරන්න බැහැ කවුරැත් එකතුවෙලා කලයුත්තේ සය්ටමේට තොප්පි දැමීම නෙවෙය් උදව් කරන එකය්. ප්‍රමිති නියම කරල රජය ඒවා අධික්ෂණය කරන ඒකය්. මම ගියෙ ලංකාවෙ විශ්වවිද්‍යාලෙකට නෙවෙය්. මගේ කවුරැවත් SAITM නැහැ මේ SAITM මේට යන්න අවශ්‍යත් නැහැ.

    දොස්තර නෙවිල් SAITM බේරගන්න මහින්දට බැනල සිරා/රනිලට කඩේ යනව අපි දැක්ක. ඒක අපට ප්‍රශ්ණයක් නෙවෙය්. හැබැයි සය්ටමේට අත්‍යවශ්‍ය (NFTH) ඉස්පිරිතාලෙ හදන්න ණය පහසුකම් දුන්නෙ මහින්දගෙ රජයෙන් කියල නෙවිල් අමතක නොකොල යුතුය්. නෙවිල්ට තියෙන්නෙ දැන් සයිටමේ ඉන්න කොල්ලො කෙල්ලො අමාරැවෙ නොදා සයිටමේ දිගටම අැදගන යන ඒකය්. වැඩි කල් නොගිහින් තව මෙඩිකල් කොලෙජස් අැවිත් අන්තරේ කල්ලිය කුනු වෙලා යය් මොකද අර රටේ දැවෙන ප්‍රශ්නෙ සය්ටමේ නෙවෙය් රට දිනපතා අාරාජිත වන ඒකය්.

  • 2
    0

    ලොවේ දියුණුම රටවල් වන ස්කැන්ඩිනේවියානු රටවල්, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව ගත්තම වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලික නැහැ. තියෙන ඉතාම සුළුතරයක් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය දෙන ආයතන කිසිවක් ලාභ ලබන ඒවා නෙවෙයි.
    පෞද්ගලික උසස් අධ්‍යාපනය කියන්නේ ලංකාව වගේ රටක විකෘතියක්. ඒ බව සයිටම් ආයතනයේ හැසිරීමෙන්ම ඔප්පු වෙලා තියෙනව. උසස් අධ්‍යාපනයට තමන්ගේ අතේ තියෙන මුදල් ගෙවීමට සිදුවීම සහ තමන් විසින් රජයට ගෙවූ මුදල් වලින්ම ඒ ගෙවීම කිරීම කියන දෙකේ වෙනස් කම් මොනවද කියල තේරුම් ගන්න බැරි අයට මේ දේවල් තේරෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ උසස් අධ්‍යාපනය කියන්නේ තවත් එක පාරිභෝගික භාණ්ඩයක් ළේආ භාවිතා කළ හැකි දෙයක් බව. මේ ලියුම් කරුට මම ආරාධනා කරනවා යුනෙස්කෝ එකේ උසස් අධ්‍යාපනය පිලිබඳ වූ ප්‍රඥප්තිය කියවන්න කියල. ලියුම්කරුගේ අවශ්‍යතාවය ප්‍රායෝගික කරුණු විකෘති කොට ස්වකීය අදහස් උලුප්පා දැක්වීම බව පැහැදිලියි.

    • 0
      2

      සම්පත් වලින් පිරි දියුනු ස්කැන්ඩිනේවියානු රටවල් කරන වැඩ දියුනුවෙන ලංකාවට කොරන්න බැහැ. GDP යෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කොරන්න ලංකාවෙ කිසිම රජයකට බැහැ – මුදල් නැහැ. මොකද මහා මාර්ග, බලාගාර වැනි අත්‍යවශ්‍ය සංවර්ධන වැඩ වලට මෙන්ම සමාජ සේවා, සහනාධාර සහ සවුක්‍ය වැනි දේටත් දුම්රිය වැනි පාඩු ලබන අායතන පවත්වගන යන්නත් රජය මුදල් වෙන්කල යුතුය්. අනෙක තමන් සතු ඉඩමක් කඩමක් විකුනල තම දරැවන් වැඩිදුර අධ්‍යපනය සඳහා රට යවන්න දෙමව්පියො කැමති නම් අැය් ඒ අයට ලංකාව තුල ඒ අවස්ථාව හදල නොදෙන්නෙ. තව දුරටත් කියනව නම් දොස්තර වෙන්න අධිෂ්ඨාණය අැති යන්තම් A/L පාස් උනත් හොඳට ලන්ඩන් A/L පාස් උනත් හුඟක් සල්ලි තියන අය අැමරිකාව වගේ රට වලටත් අනෙක් අය නේපාලය වගෙ රට වලටත් ගිහින් දොස්තරල වෙනවා.

      ලංකාවෙ විශ්ව විද්‍යාල ඉතා උසස් මට්ටමක තියනව කිියල ලිදේ ඉන්න ගෙම්බො උදම් අනනව. මම නම් අත් දැකීමෙන් දන්නව ලංකාවෙ උපාධිධරයන්ගෙ බහුතරය තත්වයෙන් පහලය් කිියල. ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව 2016 වසර වන විට විශ්ව විද්‍යාල 20,000 කින් ‘කොළඹ විශ්ව විද්‍යාලය’ 2039 වන තැන සහ ‘නැගෙනහිර විශ්ව විද්‍යාලය’ 11265 වන වන තැනය් ඉන්නෙ. අලුත පටන් ගත්ත සය්ටමේට ලැබිල තියෙන්නෙ 17148 වන තැන. තව එකක්, S3 ක් තිබෙන (දුෂ්කර පලාත්වල) අය රජයෙ මෙඩිකල් කොලීජ් ගිහින් මෙඩිකල් විභාග පාස් වෙලා දොස්තර වෙනව නම් S3 තියෙන අය සය්ටමේ ගිහින් පාස් උනහම මොකක්ද වරද? අනෙක අයින්ස්ටයිනුත් ජීනියස් උනේ පාසල් යන වයසෙදි නෙවෙය් වැඩි හිටි වයසෙදිය්.

      අැත්ත කිව යුතුය්. ලාබ ගත්ත නොගත්ත අද ලෝකෙ අධ්‍යාපනය බිස්නස් ඒකක් තමය්. පුන්‍යඅායතන උනත් බිස්නස් ඒකක් විදියට නොදිව්වොත් වැහිල යනව. එඩියුකේෂන් කියන්නෙ මැලේසියාවෙ ලොකු බිස්නස් එකක්. 2016 වන විට මැලේසියාවේ විදේශ ශිෂ්‍ය සංඛ්‍යාව 175,000 කට වැඩිය්. උපයන මුදල US $ බිලියන ගනනක්. එන්ගලන්තෙ අධික මුදලක් ගෙවල ඉගන ගන්න ශිෂ්‍යයො මිලියනයකට වැඩිය්. ඉතින් නෙවිල් ෆර්නැන්නඩු එඩියුකේෂන් බිස්නස් එක ලංකාවෙ පටන් ගත්ත එක කාලෝචිත වැඩක්. ඒහෙම නොහිතෙන්න කුහකයන්ටය් ජෙප්පොන්ටය් අන්තරේ උන්ටය් තමය්.

    • 2
      0

      යුරෝපයේ රටවල වෛද්‍ය ආයතන සමග සමීපව කටයුතු කරන ශ්‍රී ලාංකික විද්වතෙක් වන මට ඔබගේ මෙවැනි ආකාරයේ අද්හස් ගැන පුදුමයකට ලක්වීමට කරුනකි. ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය, ස්විට්සෙර්ලන්තය, ඔස්ට්රියාව ඇතුලු රටවල රජයේ සහ පුද්ගලික දෙකටම අදාල ආයතන තියෙනව, සමතත්වයක වෙද උපාධිධාරී න් බිහිකරන. ඒ හැම රටකම වෛද්‍ය විතරක් නොවේ අනෙක් හැම උප්පදියක්ම ප්රමිතියේ ඉහල මට්ටම් වල පවතින්නෙ. ඉතින් මෙවැනි දේ ඔබ වැනි අය මෙලෙස සමාජ ගත කිරීම මිනිසුන් තවදුරත් මුලා කිරීමක්. ඇරත් එන්ගලන්තයේ තියෙන්නෙම පුද්ගලික විශ්ව විද්යාල අධ්යාපනයක්. ජර්මනිය, ප්‍රංශය, ස්විට්සෙර්ලන්තය, ඔස්ට්රියාව වැනි රටවල විශ්ව විද්‍යා ල අධ්යාපනය රජයෙන් නොමිලේ ලාබා දෙන්නෙ.

      • 0
        0

        ලංකාවෙ තියන පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය නෙවෙය් ලංකාවෙ රජයේ වෙෙද්‍ය විද්‍යාලවත් ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය, ස්විට්සෙර්ලන්තය, ඔස්ට්රියාව වැනි රටවල වගේ සම මට්ටමක නැහැ. මම කලින් කිව්ව වගේ ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව 2016 වසර වන විට විශ්ව විද්‍යාල 20,000 කින් ‘කොළඹ විශ්ව විද්‍යාලය’ ඉන්නෙ 2039 තැන වන අතර ‘නැගෙනහිර විශ්ව විද්‍යාලය’ 11265 වන තැනය්. ඒහෙම වෙන්නෙ ස්විට්සෙර්ලන්තෙ ඉතා පොහොසත් ලංකාව දුප්පත් නිසා අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න ලංකා රජයට බැරි නිසය්. ඉතින් සයිටමේ අැරපු ගමන් ‘කොළඹ විශ්ව විද්‍යාලය’ මට්ටමට පත්විය යුතු යයි බලාපොරොත්තු වෙන එක කොහෙත්ම සාධාරන නැහැ. රජය කලයුත්තෙ වෛද්‍ය සභාවේ නිර්නායකයන්ට අනුව ක‍්‍රියාත්මක වන්න සයිටමේට උදව් කරන එකය්.

    • 1
      0

      You please get your facts right.

      Please dont mislead masses. Today, through web, anyone can get more informationa bout ALL THE european countries and their educational systems.

      Just to add that the countries have no pvt medical education is a blant lie.
      Just correct it please else, you should be and stupid idiot that just spread lies to be in good books of former Mafia family.

      • 0
        0

        Your English is appalling. It is impossible to understand exactly what you wanted to say. Why not write in Sinhala, I mean here.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.