26 April, 2024

Blog

‘ජෑමර්’ හිරගෙදර සොමි සහ​ ‘සමයං’ පාතාල මර්දනය

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

“සමයං” නොහොත් අරුණ උදයංග ඝාතනය “පාතාල” ක්‍රියාකාරිත්වය පිළිබඳ සංවාදයක් රට තුළ නිර්මාණය කර තිබේ. සැබැවින්ම මේ දිනවල මාධ්‍ය වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ චිකාගෝ පන්නයට සිදුවූ “සමය” ඝාතනය හා සම්බන්ධ පුවත්වලටය. මෙම සමස්ත සිදුවීම පිළිබඳ පුවත් මවන ආකාරය ද අපූරුය. සමාජයේ වරදින් “සමයං”ට මෙම ඉරණම අත්වුණ බව කියමින්, ඔහුට යම් සමාජ අනුකම්පාවක් ලබාදීමට ඇතැමුන් උත්සාහ කරද්දී තවත් සමහරු කෙසඟ සිරුරක් හිමි මේ පුද්ගලයා සිදුකළ අපරාධ රැල්ල පිළිබඳ නාටකීය විස්තර වාර්තා ඉදිරිපත් කරමින්, තම මාධ්‍ය අවකාශය පුරවමින් සිටිති. එම සංවාදයට එකතු වෙමින් මෙම තිරශ්චීන සිදුවීම ප්‍රසාංගීකරණයට ලක්කිරීමේ උවමනාවක් අපට නොමැත. ඒ වග ආරම්භයේදී ම ලියා තැබුමට කැමැත්තෙමු. ජනමාධ්‍ය පමණක් නොව බොරදියේ මාළු බෑමට උපන්-හපන්කම් ඇති දේශපාලනඥයන් ද, කළුතර සිදුවීම තමනට අවශ්‍ය පරිදි “විකුණමින්” සිටිති. මෙම සිදුවීමත් සමඟ පාතාල ක්‍රියාකාරිත්වය යළි හිස ඔසවා ඇති බව කියමින් “කිඹුල් කඳුළු” හෙළන්නන් අතර ඉදිරියෙන්ම පසුවනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායම්ය. පාතාල ක්‍රියාකාරිත්වයේ තීව්‍රතාව අඩුවැඩි වීම සම්බන්ධව මත දැක්වීමට එම කණ්ඩායමට ඇති හැකියාව ප්‍රශ්න විරහිතය.

“පාතාලය” සමඟ කිට්ටු සම්බන්ධයක් රාජපක්ෂලාට පැවැති බව රහසක් නොවේ. එය ප්‍රසිද්ධියේ, රට හමුවේ තහවුරු වූයේ වරකදී දෙකකදී නොවේ. 2002 ජූලි 01 වැනිදා තංගල්ල බන්ධනාගාරය තුළ සිදුවූ කැරැල්ල වෙත මේ මොහොතේ ඔබව රැගෙන යාමට කැමැත්තෙමු. එම කැරැල්ලට නායකත්වය සැපයුවේ ගීගන ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේය. බන්ධනාගාර නිලධාරීන්ව ප්‍රාණ ඇපයට ගත්, අමරේ ඇතුළු රැඳවියන් බන්ධනාගාර ආයුධ ගබඩාව ද බිඳ පළා යෑමට උත්සාහ කරන ලදී. ටී56 අවි 12ක් පැහැරගත් එම කණ්ඩායම තවත් ආයුධ රැසක් ද එකතු කරගත්තේය. එම අවස්ථාවේදී ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා ත්‍රිවිධ හමුදාව යොදවමින් බන්ධනාගාරයෙන් පිටත තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටියදී රජය සාකච්ඡාවක් සඳහා කැරලිකාර රැඳවියන්ට ආරාධනාවක් ද කළේය. එම සාකච්ඡාව සඳහා එවකට අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ ජෝන් අමරතුංග ඇතුළු ඉහළ මට්ටමේ කණ්ඩායමක් තංගල්ල බලා ගිය මුත්, ඒ වන විට විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන තෙක්, අමරේ සාකච්ඡාව සඳහා පිටතට පැමිණියේ නැත. බන්ධනාගාර ආපන ශාලාවේ පැවැති එම සාකච්ඡාව සඳහා රාජපක්ෂ මහතා ද පැමිණ ඇති බව බන්ධනාගාර නිලධාරීන් අමරේට දැනුම් දුන් මුත් පිටතට පැමිණීමට දොර විවෘත කිරීමට මත්තෙන් රාජපක්ෂ මහතාව දැකීම අවශ්‍ය බව කැරැලි නායකයා දැනුම් දෙන ලදී. එම අවස්ථාවේදී බන්ධනාගාරයේ දොරටුව අසළට ගිය රාජපක්ෂ මහතා ඊට තට්ටු කරමින් මෙසේ පැවැසු බව 2002 ජූලි 02 වැනිදා ප්‍රකාශයට පත්වූ ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි. “අමරේ මම ඇවිත් ඉන්නේ බය නැතුව එළියට එන්න.” අමරසිරි සාකච්ඡාව සඳහා පිටතට පැමිණියේ ඉන් අනතුරුවය. විපක්ෂ නායක ධුරයේ සිටි රාජපක්ෂ මහතා රටේ මුල් පුටුවට පැමිණීම අමරේට “ස්විප් ටිකට්” දිනුමක් ඇදීමක් විය. තංගල්ල, වලස්මුල්ල, මිද්දෙණිය, වීරකැටිය, තණමල්විල, ගල්හේන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක අමරේගේ කැලෑ නීතිය ඉන්පසු රජ කරන්නට විය. ටී56 තුවක්කුවක් සහිතව ප්‍රසිද්ධියේ හම්බන්තොට සැරසු අමරේ තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබු වරෙන්තු තුට්ටුවකට මායිම් කළේ නැත. වරෙන්තු නිකුත් කර තිබියදී පවා බන්ධනාගාරගත කර තිබූ තම හිතවතුන්ව බැලීමට ඔහු තංගල්ල බන්ධනාගාරයට ගියේය. මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා ඒ බව වරක් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන ලදී. තමන් පිටුපස ඇති දේශපාලන හයිය මත නීතිය නැවීමට ‘ජුලම්පිටියේ අමරේ’ කටයුතු කළේ වරකදී දෙකකදී නොවේ. ජුලම්පිටියේ අමරේ හා සම්බන්ධ මෙම සිදුවීම පාතාල නායකයන් හා රාජපක්ෂවරු අතර තිබු සම්බන්ධය පෙන්වන එක් සිදුවීමක් පමණි. තවත් අනන්තවත් උදාහරණ අවශ්‍යනම් ඉදිරිපත් කළ හැකිය.

පාතාලය හා සම්බන්ධතා පැවැත්වූ හෝ එසේ සම්බන්ධතා පවත්වන එකම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ යැයි අප නොකියන්නෙමු. අපේ සමස්ත දේශපාලනය පුරාම එම අවලක්ෂණ ගතිය නිල්, කොළ, රතු බේදයකින් තොරව පොදුවේ දැකගත හැකි ය. තිත්ත වුවද ඇත්ත එයයි. පශ්චාත් නිදහස් සමයේ මුල සිටම දේශපාලනය තුළ මැර බලය අඩු වැඩි වශයෙන් දැකගත හැකි වුවද, එය දේශපාලනය තුළ අනිවාර්ය අංගයක් බවට පත්වූයේ, නවසීය අසූව දශකය ඇරැඹුණු පසුය. දේශපාලනඥයා හුදු ජනතා සේවකයාගේ භූමිකාවෙන් ඔබ්බට රැගෙන යමින් එය සුඛෝපභෝගී ආකර්ෂණීය රැකියා අවස්ථාවක් බවට පත්කිරීමෙන් අනතුරුව බලය හා ප්‍රචණ්ඩත්වය යන වචන සරළ සමාන්තර මාවතක ගමන් කිරීම ඇරැඹුවේය. තමනට හිමි වන බස් මත්පැන් බලපත්‍ර ඇතුළු අනෙකුත් වරදාන පවත්වාගෙන යෑම වෙනුවෙන් ඊට ගැළපෙන කණ්ඩායමක අවශ්‍යතාව තදින්ම දේශපාලනඥයන්ට විය. එසේම මැතිවරණ ජයග්‍රහණය සඳහා ධනය පමණක් නොව මැර බලය ද අත්‍යවශ්‍ය සාධකයක් විය. ජනතාව අතර ඉහළ පිළිගැන්මක් ලැබෙනුයේ වඩ වඩාත් මැරකම්හි නිරත වන්නන්ටය. ඒ නිසාම ඒ වෙනුවෙන් හොඳම “වැඩකරුවන්” තමන් වෙත එකතු කර ගැනීමට දේශපාලනඥයන් පොර කන්නට විය. පැහැදිලිවම එය ගනුදෙනුවක් විය. මැතිවරණ සමයේදී ඉටුකරන්නා වූ සේවාව වෙනුවෙන් ජයග්‍රහණයෙන් අනතුරුව මැරවරයන්ට පෙරළා කළගුණ දැක්වීමේ යුතුකමක් දේශපාලනඥයන්ට විය. චක්‍රය එතරම්ම විෂම එකක් ය. දේශපාලනඥයන් හා මැරවරයින් අතර ඒ හැටි වෙනසක් නොමැති වීම තුළ සම්බන්ධය කදිමට පෑහෙන ලදී. වර්තමානයේ සිටින බොහෝ දේශපාලනඥයන්ට මෙන්ම මැරවරයින්ට ද නිශ්චිත දේශපාලනයක් නොමැති වීම මෙම ගැළපීම වඩාත් අංගසම්පූර්ණ එකක් බවට පත් කරවයි. දේශපාලනඥයන් මෙන්ම එක රැයකින් පාට වෙනස් කිරීමට පාතාල මැරවරයින් ද දක්ෂය.

ලාභ සන්තානය හැර සැලකිය යුතු අන් කිසිවක් එහිදී දැකගත නොහැකිය. රටේ සියලු දේශපාලනඥයන් මැරවරයන් හා සම්බන්ධ බවට කුහක අදහසක අප නොමැත. මේ සම්බන්ධය පිළිකුල් කරන එය හෙළා දකින පක්ෂ, විපක්ෂ දේශපාලනඥයන් ගණනාවක් තවමත් මේ රට තුළ සිටිති. නමුත් කිසිසේත්ම එම පිරිස බහුතරය නොවේ.

පාතාල ක්‍රියාකාරකම් නොඑසේනම් සංවිධානාත්මක අපරාධ ගත් විට ඒවා පාලනය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව වැනි බලගතු රටවල් පවා මෙම උවදුර මුළුමනින්ම තුරන් කිරීමට අවශ්‍ය “බෙහෙත්” තවම සොයාගෙන නැත. එය ඇත්තකි. නමුත් එසේ කියා අත පිහිදා ගැනීමේ හැකියාවක් නොමැත. පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරිම වෙනුවෙන් මීට වඩා සාධනීය උත්සාහයක් පැවැතිය යුතු බව කළුතර සිදුවීම යළි යළිත් සිහිපත් කර දෙයි.

“සමයං” ඝාතනය “පාතාලයේ” ප්‍රබලත්වය පෙන්වූ අවස්ථාවක් විය. ආරක්ෂා සහිතව ගමන් කරන බන්ධනාගාර බස් රථයකට බන්ධනාගාරය ආසන්නයේදීම පහසුවෙන් ප්‍රහාරයක් එල්ල කළ හැකි බව එය ඔප්පුකර පෙන්වන ලදී. පොදුවේ ගත් විට රටේ බන්ධනාගාර පද්ධතිය හා ඒ තුළ සිටින අති බහුතරයක් නිලධාරීන් දූෂිත බවට ප්‍රබල අදහසක් සමාජගතව පවතී. මෙබඳු ප්‍රහාරයක් සැලසුම් කරන ලද පුද්ගලයන් එය මනාව ප්‍රයෝජනයට ගෙන ඇති බව බැලු බැල්මට පෙනී යයි. මුදල්, හදල් ඇති ඕනෑම පුද්ගලයකුට බන්ධනාගාරය තුළ රජෙකු මෙන් සිටිය හැකි බව රහසක් නොවේ. දුරකථන, රූපවාහිනී, පහසුකම් ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් අඩුවකින් තොරව එවැන්නෙකුට හිමි වෙයි. “විසිට්” එක ස්ථිරය. තත්ත්වය කෙතරම් දුරක් ගමන් කර ඇත්ද කියතොත් බන්ධනාගාරයේ සිට අධිකරණය දක්වා රැගෙන යන බස් රථය ටින්ට් කර එහි ‘සෙටප්’ සවි කරගැනීමට තරම් භාග්‍යවන්ත සිරකරුවන් මේ රටේ සිටිති. එම සැලකීම් වෙනුවෙන් තමන්ව අධිකරණයට රැගෙන යන නිලධාරින්ට අත දිග හැර වියදම් කිරීමට ඔවුන් පසුබට නොවේ. අධිකරණයේ සිට බන්ධනාගාරයට ආපසු යන ගමන තුළදී අවශ්‍යනම් රැඳවියාව ඔහුගේ නිවසට පවා රැගෙන යයි.

මේ අතර, බන්ධනාගාරය තුළ ජංගම දුරකථන භාවිතය සීමා කරලීම වෙනුවෙන් “ජෑමර්” යන්ත්‍ර කලකට පෙර සවි කරන ලද මුත් බාල වර්ගයේ යන්ත්‍ර සවිකර ඒ හරහා දූෂිත නිලධාරීන් මුදල් ගරා ගත්තා මිසක සැබැවින් සිදුවූ දෙයක් නොමැත. ලක්ෂ ගණන් වටිනා නවීනතම ජංගම දුරකථන බන්ධනාගාරගතව සිටින රැඳවියන් සතුව මේ මොහොතේත් පවතී. මේ සියලු පහසුකම් හිමිවීම තුළ රැඳවියා පිටස්තර ලෝකයෙන් හුදෙකලා වීමක් සිදුවන්නේ නැත. සිදුවන්නේ තව තවත් බාහිර ලෝකය හා සම්බන්ධතා ශක්තිමත් වීම පමණි. පාතාල සාමාජිකයන් තම ක්‍රියාකාරකම් වෙනුවෙන් නවීනතම තාක්ෂණය නොනවත්වා උපරීමයට භාවිත කරමින් සිටිති. ටී56, මයික්‍රෝ පිස්තෝල පාතාල කල්ලි සාමාජිකයන්ට සෙල්ලම් බඩු තරමට සමීප වී තිබේ. යුද හමුදාව හැරගිය අවි පුහුණුව ලත් සෙබළුන් පමණක් නොව එල්ටීටීඊය සමඟ සිටි වෙඩික්කරුවන් ද අද දකුණ කළඹන පාතාල කල්ලියක් හා එක්ව සිටින බව මේ වන විට තොරතුරු හෙළිව ඇත. අනෙක් අතට පාතාල කල්ලි අද අපරාධ සැලසුම් කරනුයේ පොට්ටු අම්මාන් ශෛලියටය. ඒ අනුව අපරාධයට අදාළ එක එක කොටස් සිදු කරනුයේ එක් එක් පුද්ගලයන්ය. ඔවුන් අතර අදහස් හුවමාරුව සිදු වනුයේ වයිබර්, වට්ස්ඇප් වැනි දියුණු සියුම් ක්‍රම හරහාය. එසේම අපරාධයක වගකීම භාරගනිමින් සම්බන්ධව පොලීසියට භාරවද්දී ඉදිරිපත් කරනුයේ ඊට කිසිසේත්ම සම්බන්ධයක් නොමැති අවි ආයුධය. පරීක්ෂණ අවුල් කරමින් නඩු වෙනතකට යැවීමට එසේ කරනු ලබයි. මේ සියලු තත්ත්වයන් තුළ පාතාලය සුද්ධ කිරිම යනු පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා හුදු වදන් හරඹයකට එහා ගිය පැහැදිලි අවංක දැක්මක් මෙන්ම දියුණු වැඩපිළිවෙළක් ද පැවැතිය යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.