26 April, 2024

Blog

යෝජිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද​?

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ ජනතාවටයි. එම පරමාධිපත්‍ය බලය අන්තර්ගත කොට ඇති මූලික ලියවිල්ල වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේදී මුළු රටම ඊට එකතු කරගෙන විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම අපේ අරමුණයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් පමණක් නොව මුළු රටේම කැමැත්ත ජනමත විචාරණයකින් ලබා ගන්නවා.

නව ව්‍යවස්ථාව සැකසීමේදී පාර්ලිමේන්තුවේ සියලූම දෙනා ඊට සම්බන්ධ කර ගත යුතුයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේ කැමැත්ත හොඳ නැහැ, 25 ක් 30 ක් පමණ දෙනාගේ කැමැත්ත තමයි හොඳ කියා යමෙක් කියනවා නම් ඊට හේතුව කුමක් දැයි මම අහනවා? මෙම 25 හෝ 30 දෙනා තෝරන බලය ප්‍රධාන පක්‍ෂ හතරට භාරදෙනවා ද? නැතිනම් කෑනොගසා ඉන්නවාද?

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා වැදගත්. 2005 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට වූ පොරොන්දුව ලබාදීමෙන් පසුවයි. ඒ පිළිබඳව නොයෙක් පක්‍ෂ නොයෙක් ස්ථාවරයන්හි සිටියා. අප ජනාධිපතිතුමා සමග සාකච්ඡා කොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට යැව්වා. විධායක ජනාධිපතිතුමාගේ ඇතැම් බලතල ජනමත විචාරණයකින් තොරව අඩු කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවා. එම ශ්‍රේෂ්ඨාධිකරණ මතයට ගරු කරමින් අප විධායක ජනාධිපතිවරයා සතු බලතල සම්පූර්ණයෙන්ම ඉවත් කළේ නැහැ. මෙවර මහ මැතිවරණයෙන් පසුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අප තීරණය කළා.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපතිතුමාගෙන් සහ මගෙන් අවසන් සාකච්ඡාවේදී ඉල්ලා සිටියා. එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මිස පාර්ලිමේන්තුවෙන් පිටස්තරව ඇති කළ නොහැකි බව එහිදී අප සඳහන් කළා. සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය දා ජනාධිපතිතුමා ද ඒ පිළිබඳව ප්‍රකාශයක් කළා. සෝභිත හිමියන්ට අප විසින් දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා අප දැන් ක්‍රියාත්මක වී සිටිනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන්නේ කෙසේ දැයි අප පළමුවෙන්ම විමසා බැලිය යුතුයි. ලංකා ඉතිහාසයේ මීට පෙර ව්‍යවස්ථා පිළිබඳව සලකා බැලීමේදී සෝල්බරි කොමිසම අවසානයේ පිළිගත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා කෙටුම්පතයි.

ඒ සදහා සියලූම දෙනා එකඟ නොවූවත් සියලූම දෙනාට සහභාගිවීමේ අවස්ථාව ලැබුණා.

1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැදෙව්වා. පළමුවෙන්ම ඇය පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේදී ඊට අනුමැතිය ලබාගත්තා. ඒ සඳහා සියලූම දෙනා සහභාගි වුණා. එකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපේ අදහස් පිළිගත්තේ නැති වුවත් අපත් ඊට සහභාගී වුණා. සියලූම දෙනාට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුණා. අප එම ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ඉහත දැක්වූ පිළිවෙළටයි.

1977 පාර්ලිමේන්තුව මමත් නියෝජනය කළා. එකළ පාර්ලිමේන්තුවේ තිබුණේ පක්‍ෂ තුනක් පමණයි. එක්සත් ජාතික පක්‍ෂයට හයෙන් පහක බලයක් තිබුණා. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුව නියෝජනය කළ සෙසු පක්‍ෂයි. එවකට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ගතවී තිබුණේ වසර 5 ක් පමණයි. එම ව්‍යවස්ථාව අසාර්ථක නිසා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරම ලැබුණා. මෙහිදී පාර්ලිමේන්තුවම එකතු කර ගෙන ව්‍යවස්ථාව සම්පාදනය කළ යුතු ද යන ප්‍රශ්නයේදී අමිර්තලිංගම් මහතා පැවසූයේ “අපට ඊට සහභාගී වෙන්න බැහැ, අපට වරමක් ඇත්තේ වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට පමණයි” යනුවෙනි. එවන් තත්ත්වයක් යටතේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කිරීමට නොහැකි වුණා.

එවකට රටේ දෙවැනි පක්‍ෂය වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සහභාගීත්වයෙන් තොරව ව්‍යවස්ථාව සම්පාදනය කළ හැකි දැයි එහිදී ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා අප සාම්ප්‍රදායික තේරීම්කාරක සභාවක් මගින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය ද සෙසු දෙමළ නායකයින් ද සමග එක්වී නව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කළා. ව්‍යවස්ථාවේ මූලික අංශ සංශෝධනය කොට ජනමත විචාරණයකට යා යුතු යැයි අප කොන්දේසියක් පැනෙව්වා. 1982 වසරේදී ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්වුණා. එහිදී පළමු වතාවට පාර්ලිමේන්තුවේ කාලය ද දීර්ඝ කළා.

බලය බෙදාහැරීම සම්බන්ධයෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සකසන විට සර්ව පාක්‍ෂික සම්මේලනයක් කැඳවා සියල්ලන්ගේම එකඟතාවයෙන් සිදු කිරීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තීරණය කළා. ඒ සඳහා පක්‍ෂ දෙක තුනක් සහභාගී නොවුණත් අනෙක් සියලූම දෙනාම සහභාගිවී එය සම්මත කර ගත්තා. පාර්ලිමේන්තුවේ සියලූම දෙනාගේම එකඟතාවය පරිදි නව සම්මත කර ගැනීම් සිදු කිරීම සම්ප්‍රදායයි. තේරීම් කාරක සභා ක්‍රමය සාර්ථක වී නැහැ.

නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී මුළු පාර්ලිමේන්තුවේම සහයෝගය ලබා ගැනීමට අප අදහස් කළේ ඒ නිසයි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්‍ෂ කිහිපය මෙන්ම කුඩා පක්‍ෂත් තිබෙනවා. මෙම සියලූම පක්‍ෂ ඇතුළත් කොට තේරීම් කාරක සභාවක් පිහිටුවහොත් එම කමිටුව සඳහා අඩුම තරමේ පනස් දෙනෙක්වත් පත් කිරීමට සිදු වනවා.

ජී.එල්. පීරිස් උන්නැහේ පනස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ගොස් සියල්ල කඩා වැටුණා. කමිටුව වගේම ආණ්ඩුවත් ගහලා ගියා. එම නිසා සියලූම දෙනාගේ සහභාගීත්වයෙන් මේ වැඩ කටයුතු කිරීම අපේ අරමුණයි.

පළමුවෙන්ම මේ පිළිබඳව මා පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කළා. කිහිපවතාවක්ම පක්‍ෂ නායකයින් කැඳවනු ලැබුවා. සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් පොරොන්දුව මත නොවැම්බර් 16 වැනිදා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත්, නව ඡන්ද ක්‍රමයක් ගෙන ඒමටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කිරීමටත් එයින් ගත යුතු පියවර පිළිබඳවත්, ජනාධිපතිතුමා යෝජනා කළා.

එම කැබිනට් අනුකාරක සභාවට මගේ සභාපතිත්වයෙන් නිමල් සිරිපාලද සිල්වා, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, සුසිල් පේ‍ර්මජයන්ත, රිෂාඩ් බදුයුදීන්, පාඨලි චම්පික රණවක, විජයදාස රාජපක්‍ෂ, ඩී.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම අමාත්‍යවරුන් පත් කළා. අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් කමලිනී ද සිල්වා මහත්මිය එම අනුකාරක සභාවේ ලේකම් ලෙස පත් කරනු ලැබුවා. මහාචාර්ය සූරි රත්නපාල මහතා එහි උපදේශක ලෙස පත් කර තිබෙනවා. මේ වැඩ කටයුතු සඳහා සම්බන්ධ වන කණ්ඩායම් කිහිපයක් ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යෝජනා සකස් කර තිබෙනවා.

පක්‍ෂ නායකයින් සමග මා රැස්වීම් හයක් හතක් පමණ පැවැත් වුවා. එමෙන්ම පාර්ලිමේන්තුවේ කාරක සභා ඇති කිරීම පිළිබඳවත් අප එහිදී සාකච්ඡා කළා. අප අදහස් ඉදිරිපත් කිරීමට පෙර ව්‍යවස්ථාදායක මණ්ඩලය අදහස් ඉදිරිපත් කළ යුතුයි. එමෙන්ම ජනතා අදහස් ද ලබා ගත යුතුයි. ජනතා අදහස් ලබා ගත් පසුව අපට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. අප පළමුවෙන් කළ යුතුතේ කෙටුම්පත සැකසීම නොව ක්‍රමවේදය පිළිබඳ එකඟත්වයට පැමිණ ව්‍යවස්ථාදායක මණ්ඩලය පිහිටුවීමයි. එමෙන්ම කාරක සභා ක්‍රමය ඇති කිරීමට අවශ්‍යයි.

කාරක සභා පත්කිරීම සඳහා ස්ථාවර නියෝගවල ඉඩක් නැහැ. ඒ නිසා අප ව්‍යවස්ථාවේ 74 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම සහ පිළිවෙළ විධිමත් කිරීම සඳහා ද යෝජනා සම්මතයෙන් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලසීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය යන වගන්තිය පිළිගෙන තේරීම් කාරක සභා ඇති කිරීමට අප යෝජනා ගෙන එනවා. එම නිසා යෝජනා සම්මතයෙන් තේරීම් කාරක සභා ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටු වන්නේ මේ අයුරිනුයි. ව්‍යවස්ථාවේ 74 වැනි වගන්තිය යටතේ මේ කටයුතු සිදු කරනවා.

ඊට අමතරව මහජන අදහස් ලබා ගත යුතු නිසා පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට නම් ඉදිරිපත් කළා. ව්‍යවස්ථා ප්‍රතිසංවිධානය ගැන මහජන අදහස් ලබා ගැනීම සඳහා දෙසැම්බර් 12 වැනි දා කමිටුවක් පත් කළා. එම අදහස් ලබා ගැනීම සඳහා ඔවුනට මාස තුනක කාලයක් ලබා දුන්නා. මෙම කමිටුව 24 දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන්ට අනුකමිටුවලට බෙදී රටවටා යෑමේ හැකියාව ද තිබෙනවා. මාර්තු අවසානයේ හෝ අපේ‍ර්ල් මාසයේදී මෙම අදහස් අපට ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇති කිරීම සඳහා ඉකුත් 09 වැනි දා මා පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කළා. නව ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 14, ඔක්තෝම්බර් 23, නොවැම්බර් 05, නොවැම්බර් 19, නොවැම්බර් 28, දෙසැම්බර් 07 යන දිනවලදී පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කළා. එම සියලූම දෙනා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම සම්බන්ධයෙන් එකඟතාවය පළ කළා.

පාර්ලිමේන්තුව අවසන් වරට රැස්වූ දෙසැම්බර් 19 වැනි දා අප කාරක සභා පිළිබඳව යෝජනා ඉදිරිපත් කළා. එය පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වැනි වගන්තිය යටතේ මෙම යෝජනා සම්මත කර ගැනීමෙන් පසුව 74 වැනි වගන්තිය යටතේ කටයුතු කළ නොහැකි යැයි නැවත කියන්නේ කෙසේද? කාරක සභා වලංගු නම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයත් වලංගු විය යුතුයි. අප මෙම යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ ඒ අනුවයි. මේ ආණ්ඩුවෙන් ගත් තීරණයක්. අප ඒ අනුව තීරණය කරනවා.

මෙහි යම් යම් සංශෝධන අවශ්‍ය යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් පැවසුවා. ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීමේ යෝජනාවට අනුකඣලව ඕනෑතරම් යෝජනා ලබා දෙන්නැයි මා එහිදී පැවසුවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සංශෝධන ලබා දුන්නා. අනෙක් පක්‍ෂවලටත් මේ පිළිබඳව දැනුම්දී සාකච්ඡා මාර්ගයෙන් සිදු කිරීම අපේ යුතුකමයි. නැතිනම් ප්‍රධාන පක්‍ෂ දෙක පමණක් එක්වී ව්‍යවස්ථාව හදනවා යන චෝදනාව එල්ල වේවි. මේ සම්බන්ධයෙන් යෝජනා නැති බව එක්සත් ජාතික පක්‍ෂය දැනුම් දුන්නා. යෝජනා තිබෙන බවට තවත් පක්‍ෂ කිහිපයක් දැනුම් දී තිබෙනවා. අප සංශෝධනවලට සූදානම්. ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය සමග සංශෝධන පිළිබඳව සාකච්ඡා කරන්නම්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් කැමැතිනම් ඒ බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී කැබිනට් අනුමැතිය පරිදි ජනමත විචාරණයක් සඳහා යොමු කරනවා. මේ පිළිබඳව තවදුරටත් සංශෝධන තිබේ නම් ලබා දෙන්නැයි සභා නායක ලේකම්වරයාටත් දන්වනවා. විදේශ සංචාරයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුව මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. හැකිතරම් සංශෝධන පිළිගෙන ඉදිරියට යාමට සූදානම්. අප ක්‍රියාත්මක වන මාර්ගය මෙයයි. හදන ව්‍යවස්ථාව කුමක් දැයි මා දන්නේ නැහැ. එය තීරණය කළ යුත්තේ අප සියලූ දෙනාම එක්වී සියලූම දෙනාගේම අදහස් ලබා ගැනීමෙන් පසුවයි.

නව ව්‍යවස්ථා සම්පාදනය කළ නොහැකි යැයි මාධ්‍ය මගින් විශාල ව්‍යාපාරයක් ගෙන යනවා. ජී.එල්. පීරිස් හිටපු ඇමැතිතුමා එහි ඉස්සරහින්ම සිටිනවා. බුදුගුණ ගායනා කරන්න දේවදත්තයා ගේන්නේ කවුදැයි මා මෙහිදි ප්‍රශ්න කරනවා. ජනතාව මොවුන් කියන දේ පිළි ගන්නවාද?

මෙම නව ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ඒකීය බව නැති වනවා. බුද්ධාගම නැති වෙනවා යැයි තවත් සමහරුන් පවසනවා. රටේ ඒකීය බව කඩන්නවත්, වෙන කරුණු සඳහාවත් අප කතා කරලාවත් නැහැ. මොනවා කරන්නත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබිය යුතුයි. රටේ එකමුතුකම අප රැකගත යුතුයි. අප දැන් ඇති කරන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පමණයි.

1971 වසරේදී ඇති කළාක් මෙන් අප ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ඇති කළා පමණයි. අප සියලූම දේ කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනයට යටත්වයි. අපට රට බෙදන්න බැහැ. අප හැමවිටම ක්‍රියා කරන්නේ ඒ අනුවයි.

තවත් සමහරුන් බුදුදහම ගැන කතා කරනවා. ස්විස්ටර්ලන්තයේ සංචාරයෙන් පසුව නැවත මව්බිමට පැමිණි පසු ඒ පිළිබඳව මා ප්‍රකාශයක් කරනවා. මේ ව්‍යාපාර ගෙනියන්නේ කවුද? දළදා මාලිගාවට බෝම්බ ගහනවා යැයි කියූ මිනිසුන් ද? පන්සල් වටේ කැසිනෝ ශාලා ඇරඹු මිනිසුන්ද? මේ සියලූම කරුණු පිළිබඳව මා පැමිණි වහාම කරුණු කියන්නම්. අප සියලූම දෙනා බෞද්ධයෝ. මම බෞද්ධයෙක්, මම සිංහලයෙක් ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්. බේදී ගිය රට ඒකරාශී කිරීම මගේ එකම අරමුණයි. අප ඉදිරියට යා යුතුයි. පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රට පාවා දෙන්න එපා යැයි මා කුඩා දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනාධිපතිතුමාට මෙන්ම මටත් ජනතාව වරමක් ලබාදී තිබෙනවා. අප කිසිවෙකුටත් එම ජන වරමෙන් පිට ක්‍රියා කිරීමට හැකියාවක් නැහැ. 18 වැනි සංශෝධනය යටතේ ශ්‍රී ලංකාව ඒකාධිපති රාජ්‍යයක් බවට පත් වුණා. අද එම ඒකාධිපති බවක් නැහැ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවි මගින් ද අදහස් ලබා ගැනීමට අප තීරණය කර තිබෙනවා. අනාගතයේ ජීවත් වන්නේ තරුණ පරපුරයි. තරුණයින්ට විවිධ අදහස් තිබෙනවා. සමාජ වෙබ් අඩවි මගින් ද අදහස් ලබා ගෙන ව්‍යවස්ථා සම්පාදනය කරන ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාවයි. නිවසේ සිටම ඔබට මේ කාර්ය කළ හැකියි. හොඳ නම් හොඳ කියන්න. හොරා නම් හොරා කියන්න. මෙම ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ ඔබ වෙනුවෙන් බව අමතක කරන්න එපා. මේ ඔබ සඳහා වන ව්‍යවස්ථාවයි. කිහිප දෙනෙකු පාරට බැස කෑගැසුවාට අපේ කටයුතු නවතා දැමිය නොහැකියි.

ව්‍යවස්ථා සම්පාදනය සඳහා වන මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව සඳහා විසුම්පාය භාරදී තිබෙනවා. පැදුරු පාටි දැමූ විසුම්පාය දැන් ව්‍යවස්ථා සම්පාදන කටයුතු සඳහා යොදා ගෙන තිබෙනවා. ඔබත් එහි ගොස් අදහස් ලබා දෙන්න. මුළු රටම එකතු කර ගෙන සියලූම පක්‍ෂවල අදහස් ලබා ගෙන අප මෙම කාර්ය සිදු කරමු. කාමරයක් ඇතුළට වී ජුන්ටාවකින් ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමට මම නම් අදහස් කරන්නේ නැහැ.

*නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම පිළිබඳව අරලියගහ මන්දිරයේදී 2016.01.17 දින විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.