24 April, 2024

Blog

ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරීම සඳහා උදා වී තිබෙන එකම අවස්ථාව

රනිල් වික්‍රමසිංහ

අප නිදහස ලබා ගන්නා අවස්ථාව වන විට මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් හෝ ආගමික ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අප 1948 වර්ෂයේ ඩී. එස්. සේනානායක මැතිතුමාට තිබුණු ප්‍රධාන ප්‍රශ්න වූයේ රටේ එක්සත් භාවය ඉදිරියටද පවත්වාගෙන යන්නේ කෙසේද යන්නයි. ඒ නිසා, අපි සිංහල වුවත්, අපි ද්‍රවිඩ වුවත්, මුස්ලිම් වුණත්, අපි බර්ගර් වුණත්, අපි මැලේ වුණත් මේ ශ්‍රී ලංකාව අපේ මව්බිම ලෙස සැලකිය යුතු බව එතුමා එදා කියා සිටියා. අපි සියලු දෙනාම මේ රටේ පුරවැසියන් ලෙස සිතිය යුතුයි. අපි ලාංකිකයන් හැටියට සැලකිය යුතුයි.

එතුමා මේ රටේ ජාතික ගීය ලෙස තෝරා ගත්තේ අද අප ගායනා කළ එක මවකගේ දරුවන් යනුවෙන් ඇතුළත් ජාතික ගීතයයි. අපේ මව ලෙස අප සැලකුවේ ශ්‍රී ලංකා රාජ්‍යයයි.

එදා අපිට ඉහළින් තිබුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. ඉන්දියාව, පකිස්ථානය, බංගලදේශය යන සෑම රටක්ම පාලනයේ කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා විසිනුයි. එකල කිසිඳු පුද්ගලයෙකු තමාගේ රට තනි රටක් ලෙස පිළිගත්තේ නැහැ. ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව එදා කියා සිටියේ තමන් ද්‍රවිඩ ජාතිකයන් බවයි. තවත් පිරිසක් තමන් තෙළගු ජාතිකයන් බව ද, තවත් පිරිසක් තමන් බෙංගාලි ජාතිකයන් බව ද, පාසි ජාතිකයන් බව ද කියා සිටියා. නමුත්, තමන් ඉන්දියානු ජාතිකයෙකු බව ඔවුන් කිසිවෙකු කියා සිටියේ නැහැ.

නිදහස ලැබෙන විට පකිස්ථානය, ඉන්දියාව ලෙස කොටස් දෙකකට බෙදී තිබුණා. ඉන්දියාවට පොදු කාරණයක් තිබුණේ නැහැ. අඩුම තරමින් සියලු දෙනා හින්දි භාෂාව හෝ කතා කළේ නැහැ. ඒ වගේම පිරිසක් හින්දු ආගමිකයන් ද, තවත් පිරිසක් ඉස්ලාම් ආගමිකයන් ද, ක්‍රිස්තියානු ආගමිකයන් ද, බෞද්ධාගමිකයන් ද වශයෙන් බෙදී තිබුණා. එම නිසා බොහෝ දෙනෙකුගේ අදහස වුණේ ඉන්දියාව වෙන් වනු ඇති බවයි. ඉන්දියාව වෙන්වුණොත් එය ලංකාවටත් බලපායි ද යන්න ගැටළුවක් ඇති වුණා. මේ භය සහ සැකය එදා ඇති වුණා.

එම නිසා ශ්‍රී ලංකාවේ සියලු දෙනා එකතු විය යුතු බව එම අවස්ථාවේදී ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රකාශ කළා. ඉන්දියාවේ නේරු මැතිතුමා ද කටයුතු කළේ එම අදහස ඇතිවයි. ඒ අනුව ඒ සියලු ජාතිකයන් ද ඉන්දිය ජාතිකයන් ලෙස ඉදිරිපත් විය යුතු බව කල්පනා කළා.

මේ වන විට වසර 70ක් පමණ ගතව තිබෙනවා. නමුත් අද ඉන්දියාවට ගිය විට කිසිවෙකු තමන් බෙංගාලි, දෙමළ, තෙලිගු, හින්දු හෝ මුස්ලිම් ජාතිකයන් ලෙස හඳුන්වා ගන්නේ නැහැ. ඒ සියලු දෙනාම කියා සිටින්නේ තමන් ඉන්දීය ජාතිකයන් බවයි. තමන් ඉන්දියානු පුරවැසියන් බවයි. නේරුතුමන් වසර 70 කට පෙර ඇති කළ එම සංකල්පය ඊට පසුව බලයට පත්වූ සියලුම ජනාධිපතිවරු සහ අගමැතිවරු ඉදිරියට ක්‍රියාත්මක කළා.

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සැලකුවේ එක රටක් හැටියටයි. අපේ රජවරුන් යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදි විවිධ ජාතින් සේවය කළා. නමුත්, ඉන්දියානු දේශපාලඥයන් ඉන්දියාව එක් රටක් ලෙස ප්‍රකාශ කරන විට අපේ දේශපාලකයෝ ජනවාර්ගික ප්‍රශ්න, භාෂා ප්‍රශ්න, ආගමික ප්‍රශ්න ඇති කළා. එමගින් ත්‍රස්තවාදයට හා බෙදුම්වාදයට මුහුණදීමට සිදු වූ නිසා වසර 30 ක කාලයක් අපේ අනාගතය විනාශ වුණා. එම ප්‍රශ්න ඇති වූ පසුබිම මා සඳහන් කළේ මින් ඉදිරියට එම ප්‍රශ්න නැවත ඇති වීම වළක්වාලීම සදහායි.

1977 වන විට අප ඉන්දුනිසියාවට වඩා ඉදිරියෙන් සිටියා. තායිලන්තය, මැලේසියාව යන රටවල් අප සමග කරට කර සිටියා. ඒ වගේම වියට්නාමය, බංග්ලාදේශය සිටියේ අපට පිටුපසිනුයි. චීනයත් අපට වඩා දුප්පත්ව සිටියා. නමුත් වසර 30ක කාලයක් ගත වන විට මේ සියලු දෙනාම අපට වඩා ඉදිරියට ගොස් තිබෙනවා. අපට සිදු වුණේ පසුපසට යාමටයි.

යුද්ධය නිසා අපේ ආර්ථිකයට එවැනි විශාල හානියක් සිදුවුණා. යුද්ධය අවසන් වන විට අපේ රටට ආදායමක් තිබුණේ නැහැ. රට විශාල ණය බරින් වෙලී තිබුණා. ඉදිරි පරම්පරා තුනකට ගෙවීමට තරම් අපි ණය ලබාගෙන තිබුණා. අපි කටයුතු කරන්නේ අපේ ඉදිරි වසර 5 – 10 ක කාලය තුළ එම ණය ස්ථාවර මට්ටමකට පත් කර ඉන් ඉදිරියට ණය ගෙවීම ප්‍රශ්නයක් නොවන තත්ත්වයට පත් කිරීමටයි. මේ රටේ මෙවැනි පසුබෑමක් නොතිබුණා නම් අපට මීට වඩා හොඳ පාසල්, විශ්ව විද්‍යාල සහ රෝහල් වඩා දියුණුවක් දකින්නට හැකියාව තිබුණා.

අපේ පක්‍ෂ සියල්ල එකතු වී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙස පත්කර ජාතික ආණ්ඩුවක් ඇති කළේ එම ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහායි. සමහර දේශපාලඥයන් පිල් මාරුකරමින් ඔවුන්ගේ කටයුතු කළත්, අපි මේ ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලබා නොදෙන්නේ නම් සියලු දේ විනාශ වෙනවා

අද අපේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ යළි ජාතික සමගිය ඇති කිරීම පිළිබඳවයි. අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් හැදින්වීමටයි. එම වැඩපිළිවෙළෙහි කොටසක් මේ වන විට අවසන් වී තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ප්‍රසිද්ධියක් ලැබුණු විට ඔවුන් ප්‍රකාශ කරන්නේ අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් බවයි. ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම් දිනන විට හෝ පරදින විට ද ඔවුන් පවසන්නේ අප ශ්‍රී ලංකිකයන් බවයි.

මේ ආණ්ඩුව තුල සෑම ජනවර්ගයකටම, සෑම ආගමකට අයත් පිරිස් සිටිනවා. සෑම කෙනෙක්ම උත්සාහ දරන්නේ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන ශ්‍රී ලාංකිකයෙකු වීමටයි. බුදුන් වහන්සේගේ ධර්මය පිළිපැදීම යනු අනෙක් අයට විරුද්ධ වීම නොව සියලු දෙනා එකට එකතු වී කටයුතු කිරීමයි. අශෝක අධිරාජ්‍යයා පැවසූ ආකාරයට සෑම ආගමකටම, සෑම ධර්මයකට අප ගෞරව කළ යුතුයි. හොඳ මුස්ලිම් ජාතිකයෙක් වීම ශ්‍රී ලාංකික සංකල්පයට විරුද්ධ වන්නේ නැහැ. අනෙක් ආගම්වලට ගරු කරමින් තමන්ගේ ආගම පිළිපැදීම වරදක් නොවෙයි. ක්‍රිස්තියානි, හින්දු ආගමිකයන් තමන්ගේ ආගම පිළිපදිනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස විවිධ ආගම්, ඇදහීම්,  විවිධ ආගමික උත්සවවලට සහභාගි වීමද ගැටළුවක් නොවෙයි. මෙවැනි දේ හරහා අපි ජාතික සමගිය ඇති කළ යුතුයි.

සමහර මාධ්‍ය එක ආගමක්, එක ජාතියක් පමණක් ගැන කතා කරමින් අලෙවිය හා ප්‍රසිද්ධිය වැඩි කර ගැනීමට උත්සාහ දරනවා. ඒ වගේම සමහර අවස්ථාවල වෙළඳ ව්‍යාපාර අතර තිබෙන තරඟය ජාතිවාදී හා ආගම්වාදී මුහුණුවරක් ගන්නවා. ස්වල්ප දෙනෙක් විසින් කරනු ලබන මෙවැනි කටයුතු සඳහා ඉඩ ලබාදිය නොහැකියි. මේ වන විට මම සෑම පක්‍ෂ නායකයෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ සෑම නායකයෙකුටම පැනනැගී ඇති ගැටලුව වන්නේ පක්‍ෂ ස්ථාවරය, අනන්‍යතාවය තහවුරු කරගනිමින් තම පක්‍ෂයේ ඡන්ද පදනම අහිමි කර නොගෙන මේ වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්නයි. මේ කාරණය ගැන සාකච්ඡා කිරීමේ දී දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් කටයුතු නොකළ යුතුයි. අනෙකුත් කරුණු කාරණා සම්බන්ධයෙන් කැමැති ස්ථාවරයක සිට කටයුතු කළ හැකියි.

ශ්‍රී ලාංකික අනන්‍යතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්‍ෂා කරගනිමින් වෙළෙඳ ආර්ථිකයට යා යුතුයි. ඒ ආකාරයට අප ලබාගත යුතු බොහෝ දේ තිබෙනවා. මේ වන විට අමෙරිකාව කල්පනා කරමින් සිටින්නේ මෙක්සිකෝව සීමාව හරහා විශාල බැම්මක් ඉදිකිරීම සම්බන්ධයෙනුයි. ඒ වගේම යුරෝපා සංගමයෙන් ඉවත් වීම ගැන එංගලන්තය කල්පනා කරනවා. ඒ කිසිවක් ආගම්වාදී නැහැ. අපත්  ඒ ආකාරයට කටයුතු කළ යුතුයි. අප ගමන් කළ යුතු වන්නේ එම සමාජයටයි.

අද අපේ පාර්ලිමේන්තුව ගත් විට පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායකවරයා ද්‍රවිඩ ජාතිකයෙක්එය ප්‍රශ්නයක් වී නැහැ. විපක්‍ෂයේ අනෙකුත් කණ්ඩායම් එතුමා සමඟ වැඩ කටයුතු සිදු කරනවා. අපේ රටේ ජාතික සමගිය, ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරීම සඳහා උදා වී තිබෙන එකම අවස්ථාව මෙයයි. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෝ අග්‍රාමාත්‍යවරයා වන මාගේ වගකීමක් පමණක් වන්නේ නැහැ. එය ඔබ සැමගේම වගකීමක් බව කිව යුතුයි. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු බියකින් තොරව කතා කළ යුතුයි.

අද වන විට ජනතාව ජාතිවාදයෙන් ඉවත් වෙමින් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ සියලු දෙනා සමග එකතු වී ආර්ථික, සමාජ සංවර්ධනය ඇති කර ගෙන එය භුක්ති විඳීමටයි. අප අද බලය ලබාගෙන තිබෙන්නේ එම තත්ත්වය ඇති කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහායි. මීට වසර 70 කට පමණ පෙර ඒ සඳහා ලැබී තිබූ අවස්ථාව අප විසින් අහිමි කර ගත්තා. පසුගිය කාලයේ පැවැති යුද්ධය හේතුවෙන් අපට වසර 30 ක් පසුපසට යාමට සිදු වුණා. නමුත් දැන් අප සියලු දෙනාට එකතු වී ඉදිරියට යාම සඳහා අවශ්‍ය ශක්තිය හා දැනුම තිබෙනවා. එසේ නම් අපේ අඩුපාඩුකම් හදාගෙන සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට හැකි සමාජයකට යා යුතුයි.

මීට ඉහත දී කතා කළ කථිකයෙකු පැල්පත්වාසීන් සම්බන්ධයෙන් අදහස් පළ කළා. කොළඹ පැල්පත් ඉවත් කර නව නිවාස ඉදිකර දීම සඳහා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සාකච්ඡා කර විශාල මුදලක් වෙන් කිරීමට කටයුතු කරමින් සිටිනවා. අප විරුද්ධ විය යුත්තේ දුප්පත්කමටයි.

සහිරා විද්‍යාලය ඇති කළේ ශ්‍රී ලාංකිකයන් බිහි කිරීම සඳහායි. අද අපි දේශපාලන ක්‍රමයෙනුත්, සමාජ ක්‍රමයෙනුත් නැවත ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වැඩ කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාවට පෙර නිදහස ලබාගත් අපට ඒ වැඩ කටයුතු සිදු කිරීම අතපසු වුණා. අප සියලු දෙනා දැන්වත් එකතු වී ඒ වැඩ කටයුතු සිදු කරමු යැයි  ප්‍රකාශ කරමින් සහිරා විද්‍යාලයට සුභ ප්‍රාර්ථනා කරනවා.

*2017.09.15 වන දින මරදානසහිරා විද්‍යාලයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    “අද වන විට ජනතාව ජාතිවාදයෙන් ඉවත් වෙමින් සිටිනවා.”
     
    Really?
     

    “…………. ආගම් වාදය, ජාතිවාදය තමන්ගේ පැවැත්ම සඳහා තියෙන ඔක්සිජන් එක. මේ ඔක්සිජන් ටික ගියොත් එහෙම පැවැත්මක් නැහැ.”   අධිකරණ ඇමතිවරයා පැවසීය.
     
     
    The question is can politicians exist without their ඔක්සිජන් .

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.