17 December, 2017

Blog

දේශපාලඥයනි, පරිස්සම් වෙනු! නුඹලාගේ නීති විරෝධී නියෝග කිසි රාජ්‍ය නිලධාරියෙකු ක‍්‍රියාත්මක නොකරනු ඇත

විශ්වමිත්‍ර​ –

තම නායකයාට උත්තර බැඳීම කෙනෙකු නතර කළ යුතු මොහොතක් පැමිණේ.  ඒ, තමාගේ හෘද සාක්ෂියට උත්තර බැඳීමට කෙනෙකුට සිදු වන මොහොතේ දී ය’’ – ඈන් තුසා (නියුරෙන්බර්ග් නඩු විභාග)

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් පවරන ලද නඩුවක් පිළිබඳ ඉතා බරපතල තීන්දුවක් 2017 සැප්තැම්බර් 7 වැනි බ‍්‍රහස්පතින්දා කොළඹ මහාධිකරණය ප‍්‍රකාශයට පත්කෙළේය. එම තීන්දුව ප‍්‍රකාරව, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන දෙදෙනාව බරපතල වැඩ සහිතව තුන් අවුරුද්දකට හිරේට නියම විය. ඔවුන් කළ වරද වී තිබුණේ, විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් සාවද්‍ය පරිහරණයට ගෙන, 2015 ජනාධිපතිවරණයේදී ඒ මුදලින් සිල් රෙදි බෙදා දීමයි.

මේ සිර දඬුවමට අමතරව, වැරදිකරුවන් එකිනෙකා රුපියල් මිලියන දෙකක දඩයකට යටත් කෙරුණු අතර වන්දි වශයෙන් එක් අයෙකු රුපියල් මිලියන පනහක මුදලක් විදුලි සංදේශ නියාමන කොමිසමට ගෙවිය යුතු බවට ද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියම කෙළේය. ඔවුන් දෙන්නා විසින් ක‍්‍රියාත්මක කොට ඇති බව පෙනෙන්නේ ඔවුන්ගේ ඉහළ දේශපාලන බලධාරීන් විසින් ඔවුන්ට දෙන ලද නියෝගයකි. ලලිත් වීරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා වූ අතර, විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා ද විය.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙන්නාට විරුද්ධව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබුණි. විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600 ක් සාවද්‍ය පරිහරණය කිරීම, 1991 අංක 25 දරණ විදුලි සංදේශ නියාමන පනතට පටහැනිව එම මුදල් සිල් රෙදි සඳහා පාවිච්චි කිරීම ඒ අතර විය. මේ මුදල්, හිටපු ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ගිණුමකට බැර කොට තිබේ. එය සිදු කොට ඇත්තේ, 2014 දෙසැම්බර් 5 වැනි දා, විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට හරහා ය.

විදුලි සංදේශ නියාමන කොමිසමේ ලේකම්වරයෙකුගේ සාක්ෂියකට අනුව, මේ මුදල් ලබා දීම සඳහා කිසි අවස්ථාවක එම කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නැත. මේ ගනුදෙනුව කෙරී ඇත්තේ, ලිඛිත ආකාරයකින් නොව, එක්තරා ‘සංසරණ’ ක‍්‍රමයකට අනුව බව, විනිසුරුවරයා පෙන්වා දුනි. සිල් රෙදි බෙදා දීම දීර්ඝ කාලයක් තිස්සේ කෙරීගෙන ආ දෙයක් බවට විත්තිය කරුණු දැක්වුවද, එය පිළිනොගත් විනිසුරුවරයා පෙන්වා දුන්නේ, මේ වනාහී, විශේෂිත අපේක්ෂකයෙකු වෙනුවෙන් විශේෂිත වාසියක් අපේක්ෂාවෙන් ඡුන්දයක් සඳහා කඩිමුඩියේ කරන ලද ක‍්‍රියාවක් වන බවයි.

‘‘විත්තිය කියන පරිදි, සිල් රෙදි බෙදා දීම, ජනාධිපතිවරයාගේ වියදම් ලැයිස්තුව යටතට ගැනෙන්නකි. එහෙත් ඒ සඳහා අවශ්‍ය කරන වියදම් සඳහා මුදල් ප‍්‍රමාණවත් නොවීම නිසා තමන් විදුලි සංදේශ නියාමන කොමිසමේ මූල්‍ය ආධාර පැතූ බව විත්තිය කියා සිටී. එහෙත් අධිකරණයේ මතය වන්නේ, එවැනි මුදලක් පරිපූරක ඇස්තමේන්තු හරහා ලබා ගත යුතුවා මිස, අක‍්‍රමික සහ නීති විරෝධී ආකාරයන් ලබා ගත යුතුව නොතිබුණු බවයි.’’ යනුවෙන් විනිසුරුවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

අධිකරණය පැමිණි විනිශ්චය බරපතල ය. වැරදිකරුවන් කරන ලද වීරතුංග සහ පැල්පිට තමන්ගේ දේශපාලනික හාම්පුතුන්ගේ අවශ්‍යතා මත තමන් කරන ලද ක‍්‍රියාවන් දෙස දැන් නැවත වරක් වඩාත් පරීක්ෂාකාරීව සහ ඥානාන්විතව බැලීමට සමත් වේද? බලය යනු ඉතා තාවකාලික දෙයක් බවත්, හාම්පුතුන් විසින් දෙන ලද නීති විරෝධී අණ පිළිපැදීමට තමන් හෙබැවූ බලගතු තනතුරු බලපත‍්‍රයක් නොවන බවත් එදා ඔවුන් දැන සිටියේ නම් එදා ඔවුන් මෙසේ ක‍්‍රියා කරනු ඇත්ද? රුපියල් මිලියන 600 ක් යනු කජු ඇට කොස් ඇට නොවේ. මගේ තර්කය මෙසේ ගොනු කිරීමට මම කැමැත්තෙමි:

අංක 34 දරණ නව නීති වාර්තා සංගෘහිතයේ 50 වැනි පිටුවේ දැක්වෙන ‘පොන්නයියා එදිරිව ඕසන්’ නඩුවේ දැක්වෙන පරිදි, සුරාබදු පරීක්ෂකවරයෙක් යම් වාහනයක් නතර කර ගැනීම සඳහා පාර හරහා යකඩ​ කූරු වැටක් එලා තිබේ. එසේ කිරීම සුරාබදු කොමසාරිස්වරයා විසින් අනුමත කරන ලදැ යි පරීක්ෂකවරයා තමන්ගේ නිදහසට කියා සිටියේය. කෙසේ වෙතත්, මාර්ගය බාධා කිරීම සහ සාපරාධී ලෙස අවහිර කිරීමේ වරදට ඔහුව වැරදිකරු කරනු ලැබිණ. එවැනි ක‍්‍රමයක් නිසා මාර්ගය භාවිත කරන අහිංසක පුද්ගලයන්ටත් හානි පැමිණවිය හැකි නිසා තමන්ගේ රාජකාරිය තුළ එවැනි ක‍්‍රම අනුගමනය නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සුරාබදු දෙපාර්තමේන්තුවටත් අවවාද කෙළේය.

පහළ නිලධාරීන්ගේ ක‍්‍රියා සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ගේ වගකීම ස්ථාපනය කළ අවස්ථාවක්, ආචාර්ය වීරසූරියගේ කෘතියේ ‘ඉහළ නිලධාරීන්’ නැමැති අනු මාතෘකාව යටතේ මෙසේ දක්වා තිබේ. ‘කෙසේ වෙතත්, පහළ නිලධාරියෙකු ක‍්‍රියා කොට ඇත්තේ ඉහළ නිලධාරියෙකුගේ නියෝග මත නම්, එම නිලධාරීන් දෙදෙනාට එරෙහිවම නඩු පැවරිය හැකිය’ මෙහිදී ගැනෙන මූලික නීතිමය ආස්ථානය වන්නේ, නීති විරෝධී නියෝගයක් ක‍්‍රියාත්මක කරන පහළ නිලධාරියෙකුට එම නියෝගය ලැබුණේ ඉහළ නිලධාරියෙකුගෙන් යැයි කීම නිදහසට කාරණයක් නොවන බවයි. අති ප‍්‍රකට නියුරෙම්බර්ග් නඩු විභාග තුළදී මේ කාරණය නිශ්චිතවම තහවුරු කෙරුණි. හිට්ලර්ගේ අතවැසියන්ට තමන්ගේ වැරදිවල වගකීම හිට්ලර් මත පටවා බේරෙන්ට ලැබුණේ නැත.

වීරතුංග සහ පැල්පිට යනු, හුදෙක් වෙන කෙනෙකුගේ වරදකට කර ගැසූවන් නොවේ. තමන් ක‍්‍රියාත්මක කරන්නේ නීති විරෝධී නියෝගයක් බව ඔවුන් දැන සිටිය බව පෙනේ. ඔවුන් නොදැන සිටි එකම කාරණය වන්නේ, බලය යනු අස්ථාවර දෙයක් වන බවයි. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දූෂිත කල්ලිය ද එදා එය දැන සිටියේ නැත. දූෂණය නැමැති මාරකය සහ එහි අඬපඬු අපේ දේශපාලනය තුළ මොන තරම් විසකුරු ලෙස බෝ වී පැතිරී ඇත්ද යන්න දැන් පැහැදිළි ය. ඒ තිත්ත සහ කුරිරු සත්‍යය දැන් මහාධිකරණයකින් ඇඟිල්ලෙන් ඇන පෙන්වා දී තිබේ. මේ නිලධාරීන් දෙන්නා ගැන අද අනුකම්පාව පාන පුද්ගලයන් දැන ගත යුතු එක දෙයක් තිබේ. එනම්, සැබවින්ම මේ සිද්ධියේ වින්දිතයන් වන්නේ ඔවුන් දෙන්නා නොවන බවයි. ඔවුන් වනාහී, ප‍්‍රභූ සොරකමක් කළ අපරාධකරුවන් ය. සමාව දිය නොහැකි ඒ දරුණු අපරාධය තුළ තිබෙන්නේ රුපියල් මිලියන 600 ක මහජන දේපළයි.

මේ සිද්ධියට අදාළ සිල් රෙද්ද රටේ හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රදානයක් නොවේ. එය සිල් රෙද්දක දැවටූ අල්ලසකි. මේ දෙන්නා වීරයන් සහ වින්දිතයන් සේ හුවාදැක්වීමට ‘ඒකාබද්ධ විපක්ෂය’ අරඅඳී. ඔවුන් එකිනෙකා ගෙවිය යුතු රුපියල් මිලියන 52 මුදල ගෙවනු ඇත්තේ කවුරුන්ද යන වග මුළු රටම දනී. ඝාතනයට ලක්වූ 60 ලක්ෂයක් යුදෙව් ජාතිකයන්ට සහ වෙනත් අයවළුන්ට ප‍්‍රණාමය දැක්වීමක් වශයෙන් මෙන්ම අනාගතයේ එවැනි වැරදි සිදු නොවීම සඳහා වන පූර්වාදර්ශයක් වශයෙන් පැවති, ඓතිහාසික නියුරෙම්බර්ග් නඩු විභාගයේ ‘මිත්‍ර​ සන්ධානයේ පාලන කොමිසම’ තූළ සේවය කළ නිලධාරියෙකු එම අපරාධ සඳහා චූදිතයන්ව සිටි පුද්ගලයන් ගැන මෙසේ කීවේය: ‘‘මේ ප‍්‍රධාන පෙළේ විකට සහ සටකපට චරිත මොන තරම් අජූව සහ සාහසික ද යත්, අන්ත බූරුවෙකුට මිස මොවුන්ව තමන්ගේ පාලකයන් වශයෙන් ගත හැකි නොවේ.’’

මේ කරන ලද ප‍්‍රභූ කොල්ලය, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ තීන්දුව අනුව ගත් විට, පසුගිය රජය කෙරෙහි විශ්වාසය තබා සිටි අනන්තවත් අපේ අහිංසක ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ විශ්වාසය ගසා කෑ තවත් බොහෝ සිද්ධීන්ගෙන් එකක් පමණි. මෙවැනි ‘පුණ්‍ය’ ක‍්‍රියා හිටපු පාලකයා කෙළේ දුක් විඳින ජනතාව වෙනුවෙන් කරන පුණ්‍ය කර්ම වශයෙන් හුවාදක්වමිනි. එහෙත් යථාර්ථය ඊට ඉඳුරා වෙනස් ය. ළඟ එන 2015 ජනාධිපතිවරණය ගැන ඇස ගසාගෙන සිටි නිර්දය කල්ලියක් අතිශය දුෂ්කර ග‍්‍රාමීය පෙදෙස්වල ජීවත් වන භක්තිමත් මිනිසුන්ගේ ඡුන්දය කඩවඩා ගැනීම සඳහා ආණ්ඩුවේ සල්ලි පෙට්ටි හිස් කළහ. එම තැත වැරදුණි. දේශපාලඥයන්ගේ එවැනි තකතිරු ක‍්‍රියාවල සාර්ථකත්වය හැම විටකම සහතික කළ නොහේ. එවැනි දේශපාලඥයන්ගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කළ නිලධාරීන් ද කිසි ලෙසකින්වත් ජනාධිපතිවරණයේ පරාජයක් ගැන සිතා තිබුණේ නැත.

මේ පිරිසට, 2005-2015 අතර පැවති පාලන කාලය හොඳමට මදි බවක් පෙනෙන්ට ඇත. 19 වැනි ව්‍යස්ථා සංශෝධනය සම්මත වීම කරණකොටගෙන ජනාධිපති තනතුර හෙබවිය හැකි වාර ගණන දෙකකට සීමා කෙරුණි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් භුක්ති විඳිමින් සිටියත් එම බලය මැතිවරණවලදී නොලැබුණු නිසා මොවුන් කෙළේ වෙනත් නොමනා, අශීලාචාර මාර්ග ඔස්සේ තමන්ගේ දේශපාලනික ගනුදෙනු සහතික කර ගැනීමයි. තමන්ගේ අශීලාචාර දේශපාලන දිවිය දිග් කර ගැනීම සඳහා රාජපක්ෂලා හැම විටකම අක‍්‍රමික, සදාචාර විරෝධී සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ගවලට පිළිපන්හ. ජනාධිපති ධුරය, අගමැති ධුරය සහ වෙනත් වැදගත් සෑම තනතුරක්ම තමන් අත තබා ගනිමින් ඔවුහූ දසලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිත පාලනය කළහ.

මේ තත්වය තුළ, රාජ්‍ය නායකයා වෙනස් කිරීම පමණක් නොසෑහෙන බව කෙනෙකුට වැටහිය යුතුය. දූෂණය පිළිබඳ සංස්කෘතිය, අගතියට පත් මානව සාරධර්ම පිළිබඳ සංස්කෘතිය, ඉවක්බවක් නැති ධන තෘෂ්ණාව පිළිබඳ සංස්කෘතිය විසින් අපේ ජාතික දේශය විනාශ කරනු ලැබ තිබේ. ඒ සියල්ලටමත් වඩා කණගාටුදායක වන්නේ, ජනතාව පැත්තෙන් දකින්ට ලැබෙන ‘උදාසීනත්වයේ සංස්කෘතියයි.’ අත්‍යාවශ්‍ය ආචාර ධාර්මික සහ සදාචාරමය හැඩගැසීම් දැන්වත් ඇති කර නොගෙන ඉදිරියටත් ජනතාව කටයුතු කරන්නේ මේ ආකාරයෙන්ම නම්, කුලතුංග විනිසුරුවරයා විසින් දෙන ලද අධිකරණ විනිශ්චයේ වටිනාකම නිශ්ඵල විය හැකිය. රට ඉදිරියට යාමට නම්, ජාතියේ චරිත ස්වභාවය සහ ආත්මය ප‍්‍රාණවත් කිරීමේ අභිලාෂයෙන් යුතුව, දූෂිත ක‍්‍රියාකාරකම් පිළිබඳ අහක බලාගෙන නොසිටීමටත්, ඒවාට එරෙහිව ඊට අදාළ පුද්ගලයන්ට, ඉහළම රාජ්‍ය බලධාරීන් වේවා, වෙනත් සිවිල් පුද්ගලයන් වේවා, දඬුවම් පැමිණවීමට සහ යුක්තිය ඉල්ලා සිටීමටත්, ජනතාවගේ පැත්තෙන් තිබිය යුතු අධිෂ්ඨාන ශක්තිය සහ කැප වීම මෙහිදී අත්‍යාවශ්‍යම වන්නේය.

*2017 සැප්තැම්බර් 13 වැනි දා ‘කළම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළවූ Politicians Beware! No Bureaucrat Will Carry Out Your Illegal Orders නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.