31 May, 2023

Blog

කිසිම ආගමික ව්‍යවස්ථාවකට හා ධර්මයේ කටයුතුවලට කිසිම ආණ්ඩුවකට ඇඟිලි ගහන්නට බැහැ

රනිල් වික්‍රමසිංහ

මේ රටේ අධ්‍යාපනය ආරම්භ කරන ලද්දේ අපේ විහාරස්ථාන හා පිරිවෙන්වලිනුයි. එම නිසා එදා සිට මේ දක්වා අපේ පැවිදි පක්‍ෂය මේ රටට උගතුන් බිහි කොට තිබෙනවා. අද විශේෂයෙන්ම කෝට්ටේ පාර්ශ්වයේ නව අනුනායක හැටියට අපේ කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ පත් කොට තිබෙන්නේ, ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාම සඳහායි. උන්වහන්සේ පාලි භාෂාව පිළිබඳ විශේෂ දැනුමක් ලබා ගත්තා පමණක් නොව, මේ රටේ රුහුණු විශ්ව විද්‍යාලය, කැලණි විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාලවල සේවය කොට උසස් තනතුරු ලබා ගෙන තිබෙනවා. අද විශේෂයෙන්ම අපේ සංඝරත්නය ඒ උගත්කම හා දැනුම, බුද්ධාගම ගැන පමණක් නොව අනෙක් කටයුතු පිළිබඳවත් උපයෝගී කර ගනිමින්, අපේ ශාසනය ආරක්‍ෂා කොට ගනිමින් ඉදිරියට ගෙන යනවා. අතීතයේ අපේ දෙමව්පියන් කතා බස් කළේ, උගත් පඬිවරුන් හා උගත් හාමුදුරුවරුන් වහන්සේලා ගැනයි. එම නිසා අපේ නව අනුනායක ස්වාමීන් වහන්සේත් ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන බවට අපේ කිසිම සැකයක් නොමැති අතරම, අපි උන්වහන්සේට ඒ සඳහා සම්පූර්ණ සහය ලබා දීමට ද බලාපොරොත්තු වෙනවා.

Ranilඑපමණක් නොවෙයි වර්තමානයේ අපේ සංඝයා වහන්සේලා, විදේශ රටවල්වල චාරිකා කොට ඒ රටවල විවිධ නායකයින් මුණගැසී තිබෙනවා. දළයි ළාමා හා ශුද්ධ වූ පාප් වහන්සේත් මුණගැසී තිබෙනවා. ආගම් හා නොයෙකුත් භක්තිකයන් අතර එම සම්බන්ධතාවය අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධතාවය අපේ අනුනායක ස්වාමීන් වහන්සේ මගින් තවදුරටත් ශක්තිමත් වන බවට මගේ කිසිදු සැකයක් නැත.

විශේෂයෙන්ම මීට කළින් සිදු කළ දේශනයන්හිදී අපේ පාලි ශබ්ද කෝෂයේ ඇති අඩු පාඩු පිළිබඳව හා ඒවගේම රෝමානු අකුරුවලින් අපේ ගාථා හා පොත් පත් තවම සකස් කොට නැති බව සඳහන් කෙරුණා. ඒ සඳහා අවශ්‍ය මුදල් සහ අනෙකුත් සහයෝගය රජයක් වශයෙන් ලබාදීමට සූදානම් බව මා මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැතියි. ඔබ වහන්සේලා සාකච්ඡා කොට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසුව මා ජනාධිපතිතුමාත් සමග ඒ පිළිබඳව සාකච්ඡා කොට ඒ වැඩ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. එම කාර්යභාරය අප විසින් කළ යුතුයි.

ශ්‍රී ලංකාව අපේ ථෙරවාදී බුදුදහම ආරක්‍ෂා කොට අපිට ඉතිහාසයක් ලබා දුන්නා. ලංකාව යළිත් ථෙරවාදී බුදුදහමේ මධ්‍යස්ථානයක් කළ යුත්තේ කෙසේ ද කියා අපි දැන් කල්පනා කළ යුතුයි. එසේ කටයුතු කරන අතරම මහායාන බුදුදහම පිළිබඳවත් අපගේ අවධානය යොමු කළ හැකියි. ඒ කටයුතු කළ යුතු අන්දම පිළිබඳව අපේ ගරුතර මහා සංඝරත්නය අපට උපදෙස් දෙන්නේ නම් ඒ සඳහා අප විශේෂයෙන්ම කැපවී සිටින බව මා මෙහිදී සඳහන් කිරීමට කැමැතියි. අපේ මහානායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කිරීමට මාත් පැමිණීමට බලාපොරොත්තු වනවා. මේ සම්බන්ධයෙන් වැඩි කල් නොයවා උපදෙස් ලබා දෙන්නේ නම් අපට මේ පිළිබඳව අනෙකුත් රටවල සංඝයාවහන්සේලාද මෙරටට කැදවා ඔබ වහන්සේලා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා.

අද අපට තිබෙන්නේ ලංකාවේ මහා සංඝරත්නය තවදුරටත් ශක්තිමත් කිරීමටයි. ඒ සම්බන්ධයෙන් මෙහිදී මා විශේෂයෙන් කරුණක් සඳහන් කරන්නට කැමැතියි. අද අපි භික්‍ෂු කතිකාවතක් ඉදිරිපත් කොට තිබෙනවා. මෙය කතා නායකතුමා හා ඇමැති හැටියට විජයදාස රාජපක්‍ෂ මහතා සකස් කළ එකක් බවට සමාජයේ මතයක් පවතිනවා. එය වැරැදියි. අපි කටයුතු කරන්නේ අපේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අනුවයි. පාර්ලිමේන්තුව සහ විධායකය හැටියට සිතා බලා ආර්ථිකය, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අංශ ගැන නීති හදන්නට නීති සංශෝධනය කරන්නට අපේ කැමැත්ත අනුව අපට පුළුවන්. එහෙත් ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී අපි ආගමික නායකයින් සමග එක්ව කටයුතු කරනවා, මිස අපිට ඊට මැදිහත්වන්නට ඒකට අතගහන්න බැහැ.

කිසිම ආගමික ව්‍යවස්ථාවකට හා ධර්මයේ කටයුතුවලට කිසිම ආණ්ඩුවකට ඇඟිලි ගහන්නට බැහැ කියා ඩී.එස්. සේනානායක අගමැතිතුමා ප්‍රකාශ කළා. අපි මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් විමසා තිබෙනවා. ගරුතර මහා සංඝරත්නය මේ පිළිබඳව සාකච්ඡා කොට අපට දැනුම් දීමෙන් අනතුරුව ඒ අන්දමට සම්මත කරනවා. මේ අවස්ථාවේදී අපි ක්‍රියා කරන්නේ අපේ කැමැත්ත අනුව නොව මහානායක ස්වාමීන් වහන්සේලාගේ කැමැත්ත අනුව බව නැවත වරක් මා ප්‍රකාශ කරන්නට කැමැතියි.

ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රශ්නයක් පැනනැගී තිබේ නම් අපි කටයුතු කළ යුත්තේ එහි ආගමික නායකයින්ගේ කැමැත්ත අනුවයි. අපේ කැමැත්ත අනුව නොවේ. ජනතාව විටින් විට පාරට බැහැලා බඩු මිල අඩු කරන්න කියලා, නැත්නම් මානව හිමිකම් ශක්තිමත් කරන්න කියලා අපට කියනවා. ඒ ඉල්ලීම්වලට අවධානය යොමුකොට ඒවා කරනවා ද නැද්ද කියලා තීරණය කරන්න අපට පුළුවන්. ඒත් මේ කටයුත්තේදී අපට එහෙම කරන්න බැහැ. මෙවැනි කතිකාවතක් ගෙන එන විට ප්‍රශ්න ඇති වෙනවා. ඒක පුදුමයක් නොවෙයි. ඒ වගේම අපි දන්නවා සමහර සමාජ ප්‍රශ්න ගැන. කතෝලික මහ සභාවේ ප්‍රශ්න තිබුණා. ශුද්ධ වූ පාප් වහන්සේ ඒ අය රෝමයට ගෙන්වා ඔවුන් සමග සාකච්ඡා කොට ඒ ගැන විසඳුම් ලබා දුන්නා. මම හිතන්නේ නැහැ එහිදී කවුරුවත් රෝම නගරයට ගිහිල්ලා පෙළ පාලි ගියා කියලා. ඒවා කරන්නට උවමනා නැහැ. දැන් එංගලන්ත සභාවේ ඊට වඩා විශාල ප්‍රශ්න තිබෙනවා. සමහර විට මේ නිසා එංගලන්ත සභාව දෙකට කැඩෙන්නත් පුළුවන්. අප්‍රිකානු රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා එක පැත්තක, කැනඩාව අනෙක් පැත්තේ. දැන් කැන්ටබරි රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා ලැම්බට් මාලිගාවට ගෙන්වා මේ ගැන සාකච්ඡා කරනවා. මේ ගැන එංගලන්ත සභාවේ අය බලාගෙන ඉන්නවා. එංගලන්ත සභාවට සම්බන්ධ පැවිදි අය ලන්ඩන් නුවර පෙළපාලි යන්නේ නැහැ. ආණ්ඩුවට කෑගහන්නේ නැහැ. මේක විසඳන්න කියලා කැමරන් අගමැති තුමාට කියන්නේ නැහැ. එතුමාට ඒක කරන්න බැහැ. සාකච්ඡා කොට විසඳුමකට ඒමටයි තිබෙන්නේ. එවැනි සම්ප්‍රදායකුයි පවතින්නේ. ක්‍රිස්තියානි ආගමට කලිනුයි බුදුරජාණන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. අපි ඒ විදිහට ඉදිරියට යමු.

මේ ගැන අදහස් තිබෙනවා නම් ලිපි තිබෙනවා නම් පළ කරන ලෙස මම විශේෂයෙන්ම මාධ්‍යයෙන් ඉල්ලනවා. ඒ වුණාට ඇතැම් අනවශ්‍ය දේවල් පත්තරවල මුල් පිටුවේ පළ කරන්නට එපා. එහෙම කළාම ගරුතර සංඝරත්නයට තිබෙන සැලකිල්ල අඩු වෙනවා. මාධ්‍ය මේ බව මතක තබා ගන්න. මේ හැම එකක්ම විකුණන්න ගියාම හරි යන්නේ නැහැ නේද? ඒනිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අපේ ථෙරවාදී බුදුදහමේ මධ්‍යස්ථානය බවට පත් කරන්නට කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන මේ අවස්ථාවේදී ඒ කටයුතු ශක්තිමත් කොට ඉදිරියට යන අන්දම පිළිබඳව සාකච්ඡා කරමු කියලා මා මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැතියි. මම මීට වැඩිය දීර්ඝ වශයෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට වෙනත් වැඩ කටයුත්තක් සඳහා ඉක්මනින් පිටවී යාමට අවශ්‍ය බැවින් මම ඔබ වහන්සේලාගෙන් ඒ සඳහා අවසර පතනවා.

*2016.01.30 වන දීන වාද්දූව තල්පිටිය බෝධිරාජාරාමයේ පැවැති කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක පදවිය පිළිබඳ අක්තපත්‍රය ප්‍රධානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.