27 October, 2020

Blog

හමුදාව පාවා දුන්නේ අප නොව, අපට ඒ චෝදනා එල්ල කරන අයමයි

රනිල් වික්‍රමසිංහ

ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවා අපේ රටේ ත්‍රිවිධ හමුදාවට නිසි තත්ත්වයක් සහ ගෞරවයක් ලබා දීමට අප සියලූ දෙනාම බලාපොරොත්තු වුණා. යුද්ධය පිළිබඳව අපි ත්‍රිවිධ හමුදාවට විශාල වශයෙන් අත්දැකීම් තිබෙනවා. මේ අත්දැකීම් 1983 දී ඇති වූ යුද්ධයට පමණක් සීමා වී නොමැති බව අප මතක තබා ගත යුතුයි.

Ranil Wickramasinghe 1 - colombo telegraph20 වැනි ශත වර්ෂයේ මුල් භාගයේ දී දකුණු අප්‍රිකාවේ පැවැති බොඑර් යුද්ධයටත්, පළමු වැනි ලෝක යුද්ධයට වගේම දෙවැනි ලෝක යුද්ධයටත් සහභාගි වී අපේ ආරක්‍ෂක හමුදා විශාල වශයෙන් අත්දැකීම් ලබා තිබෙන බව සිහිපත් කළ යුතුයි. ජාතික නිදහසින් පසුව අපේ ආරක්‍ෂක හමුදා කළ විශාලම මෙහෙයුම සහ යුද්ධය වන්නේ 1983 ඇති වූ උතුරු නැගෙනහිර යුද්ධයයි.

එවැනි අත්දැකීමක්, හැකියාවක් සහ පළපුරුද්දක් තිබෙන දක්‍ෂ හමුදාවක් අවසානයේ දී තණ කොල කැපීමට යෙදවීම විශාල ප්‍රශ්නයක් බවට පත්වූ අතර ඒ තත්ත්වය ඉතාම කණගාටුදායක වුණා. ඒ අනුව තණ කොල කැපීමට, පාරවල් අතු ගෑමට සහ කාණු සුද්ධ කිරීමට යොදවා සිටින අපේ වීරෝදාර රණවිරුවන් ඒ තත්ත්වයෙන් මුදවා ගෙන ත්‍රිවිධ හමුදාව, හමුදා වැඩ කටයුතුවලට පමණක් යොදවන බවට දින 100 වැඩසටහනේ 69 වැනි වගන්තිය මගින් ජනාධිපතිවරණයේ දී රටත් – ජනතාවත් හමුවේ අප ප්‍රති ඥා දුන්නේ ඒ නිසයි.

එසේ නම් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය තණ කොළ කැපීමට, කාණු සුද්ධ කිරීමට සහ පාරවල් අතුගෑමට යෙදවූ අපේ වීරෝදාර රණවිරුවන් ජාත්‍යන්තර මානුෂීය මෙහෙයුම්වලට යොමු කිරීමට අපට හැකි වී තිබෙනවා.

නේපාලයේ හදිසි භූමිකම්පාව ඇති වූ අවස්ථාවේ දී පළමු වතාවට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව සිය මෙහෙයුමක් ලෙස සිවිල් නිලධාරීන් ද එකට ඒකරාශී කර ගෙන නේපාලයට ගොස් ඒ අයට භාර දුන් දිස්ත්‍රික්කයේ වැඩ කටයුතු සාර්ථකව සිදු කරමින් විපතට පත් ජනතාවට උදව් උපකාර කළා.

නේපාලය මේ හදිසි භූමිකම්පාවට මුහුණ දී ජනතාව විපතට පත්වූ අවස්ථාවේ දී වැඩිපුරම බර කරට ගෙන ඇද්දේ එරට ආරක්‍ෂක හමුදායි. එහෙත් නේපාලයට ගොස් මේ වැඩ කටයුතුවල දී එරට හමුදාවට හැකි උපරිමයෙන් උදව් උපකාර කිරීමට අපේ ත්‍රිවිධ හමුදාවට හැකි වුණා. නේපාලයේ යුද හමුදාපති ගෞරව් බහදූර් රානා මහතා අපේ මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස් මැතිතුමාට මේ සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කර තිබෙනවා.

මීට පෙර අපේ ත්‍රිවිධ හමුදා මෙවැනි ජාත්‍යන්තර මානුෂීය මෙහෙයුම්වලට සහභාගි නොවූ නමුත් සමහර අවස්ථාවල දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් වැඩ කටයුතු භාර ගෙන ක්‍රියා කළා. එමෙන්ම ආණ්ඩුව සිදු කරන මානුෂීය මෙහෙයුම් සඳහා ද අපේ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සහභාගි වුණා.

එහෙත් ප්‍රථම වතාවට ජාත්‍යන්තර මානුෂීය මෙහෙයුම් සඳහා අපේ ආරක්‍ෂක හමුදාවේ අය ගෙන යන්න ගුවන් හමුදාවට හැකියාව සහ අවස්ථාව ලැබුණා. රටත් – ජනතාවත් ණය කර “එයාර් බස්“ මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි ගණන් මුදල් වැය කළාට වඩා විශාල අහස් යානා දෙකක් අපේ ගුවන් හමුදාව වෙනුවෙන් මිලදී ගැනීමට එදා ක්‍රියා කළා නම් මීටත් වඩා සැලකිය යුතු තත්ත්වයක් ලෝකයෙන් මේ අවස්ථාවේ දී ලබා ගැනීමට අපට අවස්ථාව තිබුණා.

එමෙන්ම අපේ ආරක්‍ෂක හමුදා ගැන විශේෂයෙන් සඳහන් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අපේ හමුදාවට විශේෂ ගෞරවයක් ලබා දී තිබෙනවා. හිටපු ආණ්ඩුව කියා සිටියා වගේ අපේ හමුදාව තණ කොල කැපීම, කාණු සුද්ධ කිරීම සහ පාරවල් අතුගෑම කළ යුතු යැයි එතුමා කියා සිටියේ නැහැ.

“මන්ගේ රට වැසියන් නොයෙක් තැන්හි පිහිටුවා ඇති හමුදා මුරපොළවල දී පරීක්‍ෂාවට ලක් වෙනවා නම් එවැනි රටක ජීවත් වීමට අප කිසිසේත් කැමැති වන්තේ නැත. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව උදෙසා යුද හමුදාවට විශාල මෙහෙවරක් ඇත. ඉන්දියන් සාගරයේ වැදගත් මුහුදු ගමන් මාර්ග ආරක්‍ෂා කිරීමේ කාර්යයත්, ලෝ පුරා ඇති එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාදාමයන්ට සහභාගි වීමත් ශ්‍රී ලංකා හමුදාවන්ට අයත් වගකීමකි. සටන් බිමෙන් ඈත්ව අනෙකුත් ක්‍රියාදාමයන්ට අවතීරණ වෙද්දී ඔබ සමග එක්ව අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට අමෙරිකා එක්සත් ජනපද රජය එක හෙළාම සූදානම් බවත් දන්වනු කැමැත්තෙමි.“ යනුවෙන් රාජ්‍ය ලේකම්වරයා සිය කතාවේ දී පැහැදිලිව කියා සිටියා.

ඒ කියන්නේ රට ආරක්‍ෂා කිරීමේ වගකීම අපේ හමුදාවට පැවරී තිබෙන අතර එවැනි වගකීමක් හමුදාවට දැන් නොමැති බව ඔහු කිසිඳු අවස්ථාවක කියා නැහැ. අපේ හමුදාව ඉන්දියානු සාගරයේ ආරක්‍ෂාව සඳහා මෙහෙයුම් කළ යුතු බව කියන ජෝන් කෙරී එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට අපේ හමුදාව සම්බන්ධ විය යුතු බව ද සඳහන් කළා. එපමණක් නොව, මේ කටයුතු සඳහා අපේ හමුදාවට අමෙරිකාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පැහැදිලිව කියා සිටියා.

ශ්‍රී ලංකා හමුදාව ගැන කියන්නේ කුමක්දැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් පවත්වන දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා කියා තිබෙන්නේ ශ්‍රී ලංකාවත්, ඉන්දියානු සාගරයට අයත් ප්‍රධාන නාවික කේන්ද්‍රස්ථානයක් වන නිසා ඉන්දියානු සාගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවට කිරීමට වැඩ කොටසක් තිබෙන බවයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා සහභාගි කරගත හැකි යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එසේ නම් අපේ පාලනය යටතේ අපේ ත්‍රිවිධ හමුදාවට නව මුහුණුවරක් අප හඳුන්වා දී ඒ අයට නිසි ගෞරවය සහ පිළිගැනීම ලබා දී තිබෙන බව කිව යුතුයි. අප හමුදාව පාවා දුන්නා යැයි කෑ ගසමින් චෝදනා එල්ල කළත් ඇත්ත වශයෙන්ම හමුදාව පාවා දුන්නේ අප නොව, අපට ඒ චෝදනා එල්ල කරන අයමයි.

යුද්ධයක් කරන විට ඕනෑම හමුදාවක සමහර අයගෙන් යුද නීති සහ සාමාන්‍ය නීති කඩවන අතර ස්ත්‍රී දූෂණ වගේම හොරකම් ද සිදු වනවා. ලෝකයේ ඕනෑම රටක හමුදාවක මෙවැනි සිද්ධීන් ඇති විය හැකි අතර එසේ වුණාම ඒ පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගැනීම ඒ රටේ යුතුකම සහ වගකීම වනවා.

යුද්ධයේ අවසාන භාගයේ දී සිවිල් ජනයා මරුමුවට පත් වුණු බවට චෝදනා එල්ල වෙද්දී ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කිරීමයි. එසේ නොකර පැවැති ආණ්ඩුව කළේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කිරීමට එකඟතාවය පළ කිරීමයි. ඒ අනුව එම ජාත්‍යන්තර පරීක්‍ෂණයෙන් අපට රටක් ලෙස ඈත් විය නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වී තිබෙනවා.

පැවැති ආණ්ඩුව ජාත්‍යන්තරයට දුන් මේ පොරොන්දු අනුව මේ එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන, සාධාරණ සහ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් කරන්නැයි ජාත්‍යන්තරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය නමුත් එම ආණ්ඩුව එවැනි පරීක්‍ෂණයක් කළේ නැහැ.

ඊට පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව එළිදැක්වුණා. එම කමිටු වාර්තාව එළිදැක්වුණු අවස්ථාවේ දී රජයේ කණ්ඩායම කියා සිටියේ නීති කඩ කළ ඕනෑම අයෙකුට දඬුවම් කිරීමට රජය සූදානම් බවයි. එහෙත් මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පැත්තෙන් සාක්කි ඉදිරිපත් කිරීමට පියවර නොගත් ආණ්ඩුව සෑම අවස්ථාවකදීම උත්සාහ කළේ සිය පැවැත්ම ආරක්‍ෂා කර ගැනීමට විනා හමුදාව ආරක්‍ෂා කිරීමට නොවෙයි. හමුදාවේ ආරක්‍ෂාව නොව, සිය ආරක්‍ෂාව ගැන පමණක් සිතූ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව හමුදාව පැත්තකට කළා.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට සහ ආරක්‍ෂක ඇමැති ධූරයට පත් වුණාට පසුව එදාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක් රටේ නිර්මාණය වී තිබෙනවා. යුද්ධය අවසන් වී තිබෙන මේ මොහොතේ අපේ හමුදාව ද අනාගතය දෙස බැලිය යුතුව තිබෙනවා. රටේ ආරක්‍ෂාව තහවුරු විය යුතු අතර ත්‍රස්තවාදය යළි ඇති වීමට කිසිසේත් ඉඩ තැබිය නොහැකියි.

අපේ ත්‍රිවිධ හමුදාවට අලූත් වැඩ කොටසක් පැවරිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මමත්, ආණ්ඩුවත් තීරණය කළේ ඒ නිසයි. රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අප ක්‍රියාත්මක වන අතර අපේ ස්ථාවරය වන්නේ ආරක්‍ෂාව තහවුරු කිරීම සම්පූර්ණයෙන්ම හමුදාවේ සහ පොලිසියේ වගකීමක් පමණක් නොවන බවයි. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලන වශයෙන් වගකීම් ඇති කරමින් දේශපාලන විසඳුමක් ලබා දීමට දේශපාලනඥයින්ට ද හැකි විය යුතුයි. හමුදාවට කළ හැකි සියල්ලම හමුදාව අවසන් කර තිබෙන අතර අප දැන් ඒ ඒ ප්‍රදේශ නගා සිටුවීමට ක්‍රියා කළ යුතුයි. දේශපාලන විසඳුමකට ආණ්ඩුව ගමන් කරමින් සිටින නිසා ඒ ඔස්සේ මේ සියලූ ප්‍රශ්න විසදා ගැනීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.

හමුදාව පාවිච්චි නොකරන සහ ඒ අය වානිජමය වශයෙන් පමණක් පාවිච්චි කරන ඉඩම් ආරක්‍ෂාවට තර්ජනයක් නොවන පරිදි යළි පදිංචි කිරීම් සඳහා ලබා දීම අපේ ප්‍රතිපත්තියක් වූ අතර උතුරේ එවැනි ඉඩම් අක්කර 1000 ක් හඳුනා ගෙන හමුදාවම මැදිහත් වී ඒ ඉඩම් යළි පදිංචි කිරීම් සදහා ලබා දුන්නා. හමුදාවේ ඒ ක්‍රියාමාර්ගය හේතුවෙන් අපේ හමුදාවට තවත් කීර්තියක් අත් වූ අතර අමෙරිකාව ආදී රටවල මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන අපේ ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ ආරක්‍ෂක හමුදා නවීකරණය කර 21 වැනි ශත වර්ෂයට ගැලපෙන පරිදි සූදානම් කරමින් නවීන ලෝකය සමග ද සම්බන්ධ කර ආරක්‍ෂක වැඩ කටයුතු භාර දිය යුතු බවයි.

ඒ අනුව දින 100 වැඩසටහන මගින් පොරොන්දු වූ ආකාරයටම ත්‍රිවිධ හමුදාවේ අපේ වීරෝදාර රණවිරුවන්ට නිසි ගෞරවය සහ පිළිගැනීම ලබා දෙමින් හොඳ අනාගතයක් ඇති කර දී තිබෙන බව අපට ආඩම්බරයෙන් යුතුව කිව හැකියි.

මේ කරුණු කාරණා සහ අලූත් තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් දැනුම්වත් කරන්නැයි ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසූරිය මහතා ඇතුලූ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ද මම ලිඛිතව දැනුම් දී තිබෙනවා.

*2015.05.08 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ දී ආරක්‍ෂක ක්ෂේත්‍රයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සහ ක්‍රියාකාරීන් පිරිසක් හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස් 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.