26 April, 2024

Blog

ටීඑන්ඒඇතුළු සෑම පක්ෂයක්ම බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තිය ඉදිරියට ගෙන යාමට එකගයි – රනිල් වික්‍රමසිංහ

 රනිල් වික්‍රමසිංහ

බුදු සසුන, ආරක්ෂා කිරීම ඊට ප්‍රමුඛත්වය දීම පිළිබදව අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තිය ඉදිරියට ගෙන යාමට එකගයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. දේශපාලන පක්ෂ පමණක් නොව කතෝලික සභාවේ මැල්කම් රංජිත් කාදිනල් තුමන්, සෙසු හින්දු ඉස්ලාමීය නායකයන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තිය එසේම පැවතිය යුතු බවටත්, නව ව්‍යවස්ථාවටත් ඒ වගන්තිය ඒ අයුරින්ම ඇතුළත් කළ යුතු බවටත් ප්‍රකාශ කර තිබෙනවා. මෙය ප්‍රශ්නයක් ඇතිකර ගත යුතු කරුණක් නොවෙයි.Ranil Maithri

2016 ඔක්තොම්බර් මස 09 වන දින කොළොන්නාව, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ මහා විහාරස්ථානයේ ඉදිකරන ලද අභිනව බෝධි මළුව, බෝධි ප්‍රාකාරය, චෛත්‍ය, ධර්ම ශාලාව හා පුස්තකාල මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්:

 

සේදවත්ත වෙහෙරගොඩ විහාරස්ථානය ඇරඹුයේ මීට වසර 150කට පෙරදියි. ඒ යුගයේදී මේ රට බ්‍රිතාන්‍ය පාලනයට යටත් වී තිබුණා.

දේවානම්පියතිස්ස රජ දවස සිට වසර දහස් ගණනක් අපේ වෙහෙර විහාරස්ථාන රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවතුනා. 1815 වසරෙන් පසු ශ්‍රී ලංකාවට රජවරුන් නැති වුණා. වෙනත් පාලන ක්‍රමයක් ඇති වුණා. ඒ සමගම රදල ක්‍රමය නැතිවුණා. රජතුමාට අයත් වූ ඉඩම් බි්‍රතාන්‍ය පාලකයන්ට අයිති වුණා.

ඒ අවස්ථාවේදී විහාරස්ථාන නඩත්තු කළ හැකිද ? බුදු දහම ආරක්ෂා කරන්නේ කෙසේද ? ශාසනයට අනාගතයක් තිබෙනවාද යන ප්‍රශ්නය රටේ ජනතාව අතරත්, බ්‍රිතාන්‍ය පාලකයන් අතරත් තිබුණා.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමියන් මූලික වී බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළේ ඒ යුගයේදීයි. බෞද්ධ ප්‍රබෝධය ඇතිවූ අවස්ථාවේදී මේ ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රධානීන් එක්වී සේදවත්ත මේ භුමියේ විහාරස්ථානයක් ඉදිකිරීමට තීරණය කළා.

මේ විහාරස්ථානය ඉතා පැරණියි. එදා කොළඹනගරයක් හැටියට තිබුණේ නැහැ. එකළ කොටහේනේ විහාරස්ථානය තිබුණා. සේදවත්ත විහාරස්ථානය පසුව බිහි කළා.

කොළොන්නාව ප්‍රදේශයේ තවත් විහාරස්ථාන ආරම්භ කළා. කොල්ලූපිටිය, බම්බලපිටිය, කුරුදුවත්ත ප්‍රදේශවලට ගොස් ජනතාව පදිංචි වූයේ පසුකාලීනවයි. ඒ යුගයේදී ශ්‍රී ජිනරතන හිමියන් ගංගාරාම විහාරස්ථානයත්, ඉසිපතනාරාමය, වජිරාරාමය, වාලූකාරාමය වැනි විහාරස්ථානත් ආරම්භ වුණා. මෙවැනි විහාරස්ථාන පළමුවෙන්ම ඇරඹුනේ කොළඹින් පිට ප්‍රදේශවලයි. ඒ නිසා මේ විහාරස්ථානය ඉතා වැදගත් විහාරස්ථානයක් බව කිව යුතුයි.

විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් විහාරස්ථානය දියුණු කිරීමට පියවර කීපයක් ගත්තා. විහාරස්ථානය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන්න මීට වසර එක හමාරකට පෙර අප තීරණය කළා. මැයි මාසයේ වෙසක් පොහොයට පෙර එම කටයුතු විවෘත කිරීම අපගේ අරමුණ වුණා. නමුත් ඇති වූ ගංවතුර නිසා සියල්ල අමතක කර ඥානාලෝක හිමියන්, මරික්කාර් මන්ත්‍රීතුමා සමග එක්වී සෙසු ආගමික සිද්ධස්ථානද එකතු කරගෙන හමුදාව ද සහභාගි කරගෙන ජනතාවට සහන දීමේ වැඩපිළිවෙල ඇරඹුවා. ඒ නිසා ඔක්තෝබරයේදී නව ධර්මශාලාවක් බෝධි ප්‍රකාරයක් සඟ සතු කිරීමට තීරණය කෙරුණා. විහාරස්ථානය දියුණු කිරීමට ඥාණාලෝක හිමියන්ට විශාල සැලැස්මක් තිබෙනවා.

ධර්මශාලාව ප්‍රතිසංස්කරණය කළ සුරංග මුතුකුඩ මහතාටත් අප ස්තුති වන්ත විය යුතුයි. බුදු පිළිමය දුන් මියන්මාර් රාජ්‍යයටත්, මේ වැඩකටයුතු බාරගෙන ඉටු කළ හමුදාවටත් මා ස්තුතිය ප්‍රකාශ කරනවා.

විහාරස්ථානයේ අනාගත වැඩපිළිවෙල බලාපොරොත්තු වන ආකාරයටම ඉදිරියට ගෙන යන බවට අපට කිසිදු සැකයක් නැහැ. එදා බෞද්ධ ප්‍රබෝධය නිසාත්, බුදු සමය රැකගත් හෙයිනුත් රටේ අද විහාරස්ථාන පහළොස්දහසක් පමණ තිබෙනවා.

අපේ ගම්බද විහාරස්ථානවලට ප්‍රශ්න කීපයක් ඇති වී තිබෙනවා. අද ග්‍රාමීය ජනගහනයට වඩා අර්ධ නාගරික ජනගහනය වැඩියි. බොහෝ අය ගම්මානවලින් පිටත් වී නගරවල රැකියා සොයා යනවා. නැතිනම් රැකියා සොයා මැද පෙරදිග යනවා. ඒ නිසා ගම්බද විහාරස්ථාන පවත්වාගෙන යාමේ ප්‍රශ්න ඇතිවෙලා. ඒ පිළිබදව රජයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

බෞද්ධ සිද්ධස්ථාන පෝෂණය කිරීමට දායක දායිකාවන් සිටින නිසා තවත් වැදගත් අංශ කීපයක් කෙරෙහි රජයේ අවධානය යොමු කෙරෙනවා.

පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව අපේ මූලික අවධානය යොමු වී තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංවිධාන කළ යුතුයි. මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස 1980 වසරේදී පිරිවෙන් වලට ආධාර උපකාර කිරීමේ වැඩසටහනක් ඇති කිරීමට මට අවස්ථාව ලැබුණා. මහානායක නාහිමිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසු පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සදහා විශාල වැඩසටහනක් අවශ්‍ය බව පෙනීගොස් තිබෙනවා. ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේත්, බුද්ධ ශාසන අමාත්‍යාංශයේත් අවධානය යොමු කෙරෙනවා.

බුදු සසුන, ආරක්ෂා කිරීම ඊට ප්‍රමුඛත්වය දීම පිළිබදව අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තිය ඉදිරියට ගෙන යාමට එකගයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ.

දේශපාලන පක්ෂ පමණක් නොව කතෝලික සභාවේ මැල්කම් රංජිත් කාදිනල් තුමන්, සෙසු හින්දු ඉස්ලාමීය නායකයන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තිය එසේම පැවතිය යුතු බවටත්, නව ව්‍යවස්ථාවටත් ඒ වගන්තිය ඒ අයුරින්ම ඇතුළත් කළ යුතු බවටත් ප්‍රකාශ කර තිබෙනවා. මෙය ප්‍රශ්නයක් ඇතිකර ගත යුතු කරුණක් නොවෙයි.

සියලූම දෙනා අද බුද්ධ ශාසනය තුළ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමට කතා වී සිටිනවා. බුද්ධ ශාසන ඇමතිතුමන් මේවා ගැන සංඝයා වහන්සේ සමග සාකච්ඡා කරනවා. සංඝයා වහන්සේගේ ඒකමතික කැමැත්ත තිබෙන අවස්ථාවලදී ඒ තීරණ ඉදිරියට ගෙනියන්න රජය කටයුතු කරනවා.

බුදු සසුන ගැන කිසිම ප්‍රශ්නයක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය බුදු සසුන දියුණු කිරීමටයි. පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීමයි. ඊට අපගේ අවධානය යොමු කරනවා.

රජයක් ලෙස ජනාධිපතිතුමන්වත්, මමවත් බෙර ගහලා මේවා ප්‍රකාශ කරන්නේ නැහැ. අප බුදු සසුන ආරක්ෂා කරන්නේ ක්‍රියාවෙනුයි. වචනයෙන් නොවෙයි. සමහරුන් බුදු සසුන වචනයෙන් ආරක්ෂා කරන්න දක්ෂයි. ඒ වගේම ඔවුන් ක්‍රියාවෙන් බුදු සසුන නැති කරන්නත් දක්ෂයෝයි. නමුත් අප ක්‍රියාවෙන් බුදු සසුන ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.

ලබන වසරේදී ජාත්‍යන්තර වෙසක් දිනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ සදහා බෞද්ධ රාජ්‍යයන්වල නායකයින්ටත් ආරාධනා කරනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාටත් මා ජාත්‍යන්තර වෙසක් උළෙලට සහභාගි වන ලෙස ආරධනා කළා.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම පුත්‍රයා ලෙස හදුන්වන්නේ ගෞතම බුදුන් වහන්සේයි. බුදුන් වහන්සේ අපට මෙන්ම ඉන්දියාවටත් පොදුයි. ඉන්දියාව ඔවුන්ගේ අනන්‍යතාවය රැකගන්න කැමතියි. අප ශ්‍රී ලංකාවේ දේ රැකගන්න කැමතියි. නේපාලයේ ලූම්බිනිය වැනි සිද්ධස්ථාන රැකගන්න එරට කැමතියි.

බුදු දහම අද දකුණු ආසියාවම පිළිගෙන තිබෙනවා. පකිස්ථානය,බංගලාදේශය,භුුතානය, ආදි සෑම රටක්ම බුදු දහම පිළිගෙන තිබෙනවා. අප අපේ පූජනීය ස්ථාන දියුණු කරන ආකාරයටම ඉන්දියාවේ නාලන්දා මහ පිරිවෙන ආරක්ෂා කරන්නත්, දියුණු කරන්නත් කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා අප ථෙරවාදී බුදු දහමේ දියුණුව සදහා මූලික අවධානය යොමු කළ යුතුයි.

ලබන වසරේ ජාත්‍යන්තර වෙසක් උත්සවය පවත්වන අවස්ථාවේදී ථේරවාදී, මහායාන, වජ්‍රයාන සියලූම අංශවලට සහභාගි වන්න ඉඩ ප්‍රස්ථාව දෙනවා.

2018 වසරේදී ශ්‍රී ලංකාවේ ථේරවාද බෞද්ධ සමුළුවක් පැවැත්වීමට මා පියවර ගන්නවා. ථේරවාදී බෞද්ධ රටවල් ඊට සහභාගි කර ගන්න පියවර ගන්නවා.

ඉන්දියාවේ භික්ෂුන් වහන්සේ උදෙසා ථේරවාදී බුදු දහම පිළිබඳ පුහුණුවක් දීමට පිරිවෙනක් ඇරඹිම සදහා සාංචියේ මධ්‍ය ප්‍රදේශ මහ ඇමතිතුමන් අපට භූමියක්ද දුන්නා.

අපේ අරමුණ ථේරවාදී බුදු දහම ලෝකයට ගෙන යාමයි. ශ්‍රී ලංකාවේ බුදු දහම රැකගන්නා අතර බුදු දහම ලෝකයට ගෙනයාම අපේ අරමුණයි. අප ආසියාවෙන් නතර කළ යුතු නැහැ. යුරෝපය, ඇමරිකාව, දක්වා බුදු දහම ව්‍යාප්ත කළ යුතුයි. මේ අප අරඹන්නේ ඒ වෑයමේ මූලික වැඩකටයුතු බව කිව යුතුයි. ඒ වැඩකටයුතු සදහා ඔබ සැමගේ සහයෝගය අවශ්‍ය වෙනවා.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    oyala waganthiya geniyayi issarahata. eyala waganthiya natath wadatika issarahata geniyayi eyalata ona widiyata. ranil will stay like he doesnt care. Sirisena will wait for the news paper.

  • 0
    0

    එයාලා මෙයාලා නොවෙයි ප්‍රශ්නය කතා කළ යුතුයි. පටන් ගත්තේ වගන්තිය අයින් කරනවා කියලාගදැන් එයාලා මෙයාලා කතා කියනවා. රටේ රහතන් වහන්සේලා පහළ වුණේ ඔය වගන්ති නැති කාළේ. දැන් පවත්නේ වගන්තියට සටන් කිරිම නොවේ. මගොඩිස්ලාට කඩේ යන භික්ෂුන් ගෙන් සාසානයේ සත්‍ය අරමුණ බේරා ගැනිමයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.