19 April, 2024

Blog

ලංකාවේ වාසියට ඇත්තේ කරුණු දෙකක් පමණි

රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටි විශේෂඥයන් ගණනාවක් සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා. සෙසු පිරිසත් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ අය එනවිට ඔවුන්ගේ මිත්‍රයන්ද එක්කරගෙන එන ලෙස මා පැවසුවා. ඒ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වීම සදහායි.ranil-w

2016 සැප්තැම්බර් මස 22 වන දින පිටිපන, හෝමාගම “Techno City” තාක්‍ෂණික නගරය සඳහා මුල්ගල් තැබීමේ සමාරම්භක උත්සවයට සහභාගි වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්:

කොළඹ ගලදාරි හෝටලයේ පැවති ජාත්‍යන්තර සමුද්‍රිය සමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව අද මා මෙහි පැමිණියා. ලංකාවේ වාසියට ඇත්තේ කරුණු දෙකක් පමණක් බව මා එහිදි ප්‍රකාශ කළා. එක් කරුණක් ශ්‍රී ලංකාවේ පිහිටීමයි. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරය මධ්‍යයේයි. අත්ලන්තික්, පැසිපික් සහ ඉන්දියන් යන ලෝකයේ ප්‍රධාන සාගර තුන අතුරින් සාගරයක් මැද පිහිටි එකම රට ශ්‍රී ලංකාවයි. එම පිහිටීමේ උපරිම ප්‍රයෝජනය අප ලබාගත යුතුයි. නාවික, ගුවන් පණිවිඩ හුවමාරුව මෙන්ම ව්‍යාපාරික වාසිද එමගින් අත්වෙනවා.

ශ්‍රී ලංකාවට ඇති අනෙක් වාසිය කුමක්ද? ඒ මිනිස් සම්පතයි. අප මිනිස් සම්පතෙන් උපරිම පල ප්‍රයෝජන ලබාගත යුතුයි. වර්තමාන යුගය නවෝත්පාදන යුගයක් බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ද ප්‍රකාශ කළා. නවෝපාදන කටයුතු සදහා මිනිස් සම්පත අවශ්‍යයි. එම මිනිස් සම්පත නොහැකිව ඉදිරියට යාමට හැකියාවක් නැහැ.

කර්මාන්ත යුගයේදී විශේෂයෙන්ම ජලය අත්‍යඅවශ්‍ය වුණා. ගල්අගුරු,යකඩ,වානේ සහ ඉන්ධන වුවමනා වුණා. එයින් අප සතුව තිබුණේ ජලය පමණයි. වෙනත් කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් අප අරඹ​න්නේ දැනුම පදනම් කරගත් යුගයක් බව කිව යුතුයි. දැනුම පදනම් කරගෙන නවෝත්පාදනයට යාම අපේ අරමුණයි. ඊට අවශ්‍ය මූලිකම සම්පත වන්නේ මිනිස් සම්පතයි. එම මිනිස් සම්පත අප සතුව තිබෙනවා. අප කළ යුත්තේ එම මිනිස් සම්පත දියුණු කිරීමයි.

අධ්‍යාපන ක්‍රමය, තාක්ෂණ හා පර්යේෂණ ක්‍රමය සහ පෞද්ගලික අංශය ඒකරාශි වී මිනිස් සම්පත දියුණුවට පත් කිරීමට කටයුතු කළ යුතුයි. මගේ කනගාටුවට හේතු වූ කරුණක් තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල සංචාරය කරන විට ශ්‍රී ලාංකික විශේෂඥයන් එම රටවල රැකියා කරන අයුරු අප දකිනවා. විද්‍යා ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, කාර්මික ක්ෂේත්‍රය, මූල්‍ය ක්ෂේත්‍රය, කළමණාකරණ ක්ෂේත්‍රය ආදි විවිධ ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකික විශේෂඥයන් සේවය කරනවා.

ඇමරිකාවේ පමණක් සිටින අපගේ විශේෂඥයන් සියල්ල එකතුකර ගතහොත් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත් රටක් බවට පත්කිරීමට එයම ප්‍රමාණවත් බව කිව යුතුයි. ඇමරිකාව අද බලවත් රටක් බවට පත්වී ඇත්තේ ඇයි ? චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාවට වඩා විශාල බව ඇමරිකාව පවා පිළිගන්නවා. දැනුම ඇති ඕනෑම පුද්ගලයෙකු අපගේ රටට ගන්නවා යන ප්‍රතිපත්තියෙහි ඇමරිකාව කටයුතු කරනවා. ඔවුන් ඉදිරියට යන්නේ ඒ නිසයි. දැනුම ඇති ශ්‍රී ලාංකිකයන් මෙරට රදවාගෙන නවෝත්පාදන ආයතන බිහිකර නවෝත්පාදනය දියුණු කළ යුතුයි.

නවෝත්පාදනය ඉතා අසීරු කටයුත්තක් නොවේ. එය ආරම්භ කළ යුතුයි. ෆේස් බුක් වෙබ් අඩවියක් බිහිවේවි යැයි මීට වසර 10කට පෙර සිතුවාද ? අප අලූත් විදියට සිතිය යුතුයි. මේ සියල්ල නවෝත්පාදනයි. රියදුරන් නැති වාහන අද තිබෙනවා. නොයෙක් අදහස් තිබෙනවා. මේ අදහස්වලින් සියයට දශම එකක් දියුණු වී පොහොසත් ධනවාදී සමාගම් බිහිවෙනවා. සෙසු යෝජනාත් අප රටේ දියුණුවට යොදා ගත හැකියි.

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම සදහා දැනුම යොදාගත යුතුයි. අරාබියේ සිට ඉන්දුනිසියාව දක්වා බිලියනයක පමණ ජනතාවක් කෑම සොයමින් ඉදිවි. අපේ වගකීම මධ්‍යම පන්තියට අවශ්‍ය ආහාර ශ්‍රීලංකාවෙන් ලබාදීමයි. අලූත් තාක්ෂණය ලබාදීමයි. ඉදිරියට ගමන් කළ හැක්කේ එවිටයි.

ශ්‍රී ලාංකීය සමාජයේ ශීඝ්‍ර දියුණුව රදා පවතිනුයේ තාක්ෂණ සහ විද්‍යා අංශයේ දියුණුව මතයි. අද මෙහි ඇරඹුවේ එහි වැදගත් පියවරක් බව සදහන් කළ යුතුයි. මෙය දැනුමේ කේන්ද්‍රස්ථානයක්. ශ්‍රී ලංකාවේ සිටින අයගෙන් අප මෙය ආරම්භ කරමු. ශ්‍රී ලංකාවට පැමිණිමට කැමති අයගෙන් මෙය ආරම්භ කරමු. විදේශිකයන් ද අපට සහාය දක්වාවි.

අප තබන මෙම පියවර ලංකා ආර්ථික ඉතිහාසයේ මෙන්ම දේශපාලන ඉතිහාසයේ වැදගත් පියවරක් වනු ඇති. සෑම වැදගත් පියවරක්ම දේශපාලන කටයුත්තක් නොවෙයි. වස්කෝද ගාමා ඉන්දියාවට පැමිණීම දේශපාලන කටයුත්තක් නොවෙයි. නමුත් එය ලෝකයේ දේශපාලනය බොහෝ දුරට වෙනස් කළා. ශ්‍රී ලංකාව ඉදිරියට යනවා නම් අප දැනුම ලබාගත යුතුයි. එලෙස දැනුම ලබාගන්නා අවස්ථාවේදී කරුණු කිහිපයක් පිළිබදව සැලකිලිමත් විය යුතුයි.

පළමුවැන්න අප අධ්‍යාපන ක්‍රමය දියුණුවට පත්කළ යුතුයි. සියළුම ශ්‍රී ලාංකික දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුයි. ශ්‍රී ලංකාවේ විද්‍යා සහ තාක්ෂණ දැනුම ලබාදෙන්නේ සීමිත පාසල් සංඛ්‍යාවක් පමණයි. වර්තමානයේ උසස් පෙළ පන්තිවලදි විද්‍යා අධ්‍යාපනය ලබන්නේත් සුළු පිරිසක් පමණයි. එමනිසා අප වැඩිපුර විද්‍යා ගුරුවරුන් ලබාදිය යුතුව තිබෙනවා. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව හැර සෑම විෂයකම හොද ප්‍රතිඵල ලබාගන්නේ කාන්තාවන්. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව පමණක් පිරිමි අය හොද ප්‍රතිඵල ලබාගන්නවා.

විද්‍යාව එක් ධාරාවකට පමණක් සීමා කළ යුතු නැහැ. සෑම දෙනෙකුම විද්‍යාව ඉගෙනගත යුතුයි. මා පසල් ගිය සමයේදී මා සිටියේ කලා අංශයේයි. නමුත් අප ගණිතය ඉගෙන ගත්තා. ශුද්ධ ගණිතය, ජ්‍යාමිතිය ආදී හැම දෙයක්ම ඉගෙන ගත්තා. එහි වාසිය දැන් අපට තිබෙනවා. අප මෙරට තාක්ෂණය දියුණු කළ යුතුයි. එය ඉදිරියට ගෙන ආ යුතුයි. අධ්‍යාපන මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් හැරුණු විට තවත් විශේෂ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එහි වගකීම පැවරී තිබෙනවා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාටත් එහි වගකීම පැවරී තිබෙනවා. තමන්ගේ සම්පූර්ණ කාලය මේ සදහා යොදවන්න. අප තවත් තාක්ෂණ ආයතන ශ්‍රී ලංකාවට ලබාගැනීම සදහා ක්‍රියා කරනවා.

කුඩා ව්‍යාපාරිකයන්ට ආධාර මුදල් ලබාදෙන ආකාරය පිළිබදව මා මහ බැංකුව සමග සාකච්ඡා කළා. උපරිමයෙන්ම රුපියල් ලක්ෂ දෙකහමාරක ආධාර මුදලක් ලබා දෙන්නම්. ආරම්භයේදී අප කුඩා පියවර අනුගමනය කරනවා. එම පියවර තවත් ඉදිරියට ගෙනයාම අපේ බලාපොරොත්තුවයි.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා සුසිල් පේ‍ර්මජයන්ත ඇමතිතුමා විශාල ලෙස උනන්දු වෙනවා. එහි ප්‍රතිඵල වසර දෙක තුනකින් දැක ගන්නට හැකිවේවි.

ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටි විශේෂඥයන් ගණනාවක් සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා. සෙසු පිරිසත් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ අය එනවිට ඔවුන්ගේ මිත්‍රයන්ද එක්කරගෙන එන ලෙස මා පැවසුවා. ඒ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වීම සදහායි.

චම්පික රණවක ඇමතිතුමා විද්‍යා තාක්ෂණ නගර නිර්මාණය කිරීම සදහා කටයුතු කරනවා. විද්‍යාව හා තාක්ෂණය ඉබේ බිහිවන්නේ නැහැ. ඒ සදහා නව නගර නිර්මාණය කළ යුතුයි. එම නගර තුල විද්‍යාව සහ තාක්ෂණය දියුණුවට පත්වෙනවා. ඉන්දියන් සාගරයේ විශාලතම නගරය ශ්‍රී ලංකාවේ ඇති කිරීම අපේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයටත් තාක්ෂණය යොදාගත යුතුව තිබෙනවා. එසේ නොවුනහොත් තව වසර තුන හතරක් යනවිට මෙම ස්ථානයට එන්නට පැය තුනක් පමණ ගතවේවි. ඒ පිළිබදවත් චම්පික රණවක මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. එතුමාත් ඉංජිනේරුවකු ලෙස තාක්ෂණය පිළිබදව උනන්දුවක් දක්වනවා.

අපගේ ව්‍යාපාරයේ එක් අරමුණක් වන්නේ දැනුම ඇතිකිරීමයි. බස්නාහිර මහ නගරයක් ලෙස දියුණුවට පත්කළ විට එම ප්‍රදේශයට බොහෝ දෙනෙකු පැමිණෙනවා. අද අප තැබුවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් බව කිව යුතුයි.

අප ඇරඹු මෙම වැඩ පිළිවෙලින් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතයේ විශාල විපර්යාසයක් ඇතිවේවායි මා ප්‍රාර්ථනා කරනවා. රට ඉදිරියට යන මාර්ගය ඉදිරියේදී මීටත් වඩා පැහැදිලි වේවි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.