25 April, 2024

Blog

ප්‍රජාතන්ත්‍රීය නොවූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සහ​ එහි දේශපාලනය

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

1926 වසරේ ඇරැඹුණු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැකගත හැකි ඉපැරැණිතම වෘත්තිය සමිතියක් ලෙස සැලැකෙයි. වසර 90 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තම භාවිතාව හා පැවැත්ම තුළ දේශපාලන මධ්‍යස්ථ භාවයක් සංවිධානයක් ලෙස චිරාත් කාලයක් ප්‍රදර්ශනය කළමුත් වසර හය හතක සිට එහි බරපතළ ගුණාත්මක කඩා වැටීමක් දක්නට ලැබේ. ර‍ටේ ඉහළම වෘත්තිකයන්ගෙන් සමන්විත සංවිධානයක් ලෙස එහි කඩා වැටීම සමාජයට කර ඇත්තේ අතිශය නිෂේධනාත්මක බලපෑමක් බව රහසක් නොවේ.

පොදු ව්‍යවහාරය තුළ වෘත්තිය සමිතියක් යනු තම වෘත්තියට අදාළ අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ සාමූහිකව කටයුතු කරන්නා වූ සංවිධානාත්මක ගොනුවකි. සාමාන්‍ය රැකියාවකට වඩා එහා ගිය මනුෂ්‍ය ජීවිතය සමඟ තීරණාත්මක ලෙස බැඳී පවතින ගෞරවනීය උතුම් සේවාවක් ලෙස ඉහළ මට්ටමේ ගරු හැසිරීමක් වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමාජය අපේක්ෂා කළ ද දිගින් දිගටම අපට අසන්නට හා ලියන්නට ලැබෙනුයේ එහි අනෙක් පැත්තය. එය කනගාටුදායක තත්ත්වයකි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඇල්ලු අලුත්ම අඩව්ව වූයේ තම දූ දරුවන් සුපිරි පාසල්වලට ඇතුළත් කරගැනීම වෙනුවෙන් පසුගියදා රඟ දැක්වූ විගඩමය. සෑම වෛද්‍යවරයකුම තම වෘත්තිය දිවිය ආරම්භ කරත්දී සිදුකරන හිපොක්‍රටීස් දිවුරුම හරහා ඉහළ සදාචාර ප්‍රමිතීන් පවත්වාගෙන යමින් තමන්ට පැවරි ඇති යුතුකම් හා නිසි පැවැත්ම රැකගන්නා බවට සහතික වන මුත් ප්‍රායෝගික ලෝකය තුළ සැබැවින්ම දැකගත හැක්කේ ඊට සපුරා වෙනස් තත්ත්වයකි. පොදු සමාජ යහපත අභිවෘද්ධිය වෙනුවට ආත්මාර්ථකාමිත්වය හා ලාභ උපරිම කර ගැනීමේ අරමුණු පෙරදැරිව සාතිශය බහුතරයක් වෛද්‍යවරුන් සංවිධානගතව කටයුතු කිරීම තුළ පෙනෙනුයේ මේ වන විට දක්නට ලැබෙන සමාජය පිරිහීමෙන් හා කඩා වැටීමෙන් ගැලවීමට සාපේක්ෂව උගත් හා බුද්ධිමත් ප්‍රජාවක් ලෙස සැලකෙන ඔවුන්ට ද නොහැකි වී ඇති බවය. කෙසේ වෙතත් මේ දුෂ්ට ප්‍රවාහයට හසු නොවී තවමත් උඩුගම් බලා පිහිනන අතළොස්සක් වූ වෛද්‍ය වෘත්තිකයන් ද සමාජයේ සිටින බව ඔවුන්ට ගෞරවයක් ලෙස මෙහිදී ලියා තබන්නට කැමැත්තෙමු. නමුත් අවාසනාවන්ත කාරණය වනුයේ එම සුළුතරය අධිනිශ්චය කරමින් බහුතරයේ අතාර්කිකභාවය හැම විටම කැපී පෙනීමය. එහි නූතන ප්‍රකාශකයා වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයය.

Padeniya - GMOA boss

වෛද්‍යවරුන්ට සමාජය සම්බන්ධයෙන් ඇති වගකීම ඉහළ වනුයේ, වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන සෑම දොස්තරවරයකු වෙනුවෙන්ම, මේ රටේ බදු ගෙවන ජනතාව, සෑහෙන පිරිවැයක් දරන බැවිනි. නිදහස් අධ්‍යාපනය සඳහා වැය කරනුයේ මේ රටේ ජනතාවගේ බදු මුදල්ය. නි‍ෙවසක් නොමැති පුද්ගලයන්ට නිවාස තනා දීමට වගා කටයුතු සඳහා වාරිමාර්ග ක්‍රම ඇති කිරීමට ආදි සෙසු අවශ්‍යතා සඳහා ඇති මුදල් නිදහස් අධ්‍යාපනයට යොදවනු ලබන්නේ නිශ්චිත අරමුණු පෙරදැරිවය. ඒ සියල්ල අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය. වෛද්‍යවරුන්ගේ සේවය සමාජයට අත්‍යවශ්‍ය එකක් බැවින්, එය කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි තරම්ය. නමුත් ගැටලුව වී ඇත්තේ, එම ආයෝජනයට සරිලන තරම් ප්‍රතිලාභ පෙරළා සමාජයට නොලැබීමය. තමන්ව පෝෂණය කළ සමාජයට, ප්‍රතිචාර දැක්වීම වෙනුවට වෛද්‍යවරුන් ලෙස වෙනම සංවිධානගත වී තම පෞද්ගලික අභිලාෂයන්, සිහින ඉටුකර ගැනීමට ඔවුන් වැඩි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට ඇත. තීරු බදු රහිත වාහන බලපත්‍ර, වැටුප් වැඩිවීම්, තම දරුවන්ව සුපිරි පාසල්වලට ඇතුළත් කරගැනීම වැනි අතිශය පෞද්ගලික වූ ඉල්ලීම් සමාජගත කරමින්සුපිරි පුරවැසියන් කොටසක් ලෙස පෙනී සිටීමට ඔවුන් තම කාලයෙන් වැඩි පංගුවක් මිඩංගු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඒ නිසාම වෛද්‍යවරුන් කෙරෙහි පැවති සමාජීය පිළිගැනීම ද මේ වන විට ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී.

මුලදී සඳහන් කළාක් මෙන් එම තත්ත්වය ඇතිවීම විෂයෙහි, ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෑත කාලීන ක්‍රියාකාරිත්වය යැයි පැවසුවහොත් එහි දොසක් නොමැති තරම්ය. පසුගිය දශකයක කාලය තුළ මේ රටේ ජනතාව පිළිකුල් කළ අප්‍රසන්න වෘත්තිය සමිතිය වූයේ ගැමුණු විජේරත්නගේ බස් සංගමයයි. නමුත් මේ වන විට අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ගැමුණුලා පහුකර බොහෝ දුර ගමන් කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිත්වය එහි ඉහළ නිලධාරීන්ගේ කෙරුවාවල් පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කියවෙන බැවින් ඒ ගැන ලිවීමට තීන්ත නාස්ති කිරීමට අප සූදානම් නැත. මේ සටහන තුළ අපේ ප්‍රස්තුතය වනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදය නොඑසේනම් එහි “දේශපාලනය” පිළිබඳ සාකච්ඡා කෙරුමටය. මහින්ද රාජපක්ෂ යුගයේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපැවැත්ම, පිළිබඳ බරපතළ ප්‍රශ්න රැසක් නිර්මාණය වී තිබියදී “නිර්වින්දිත” සංවිධානයක් ලෙස පෙනි සිටීම් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මෑතක සිට “එට්කා” විරෝධය වැනි සටන්පාඨ උත්කර්ෂයට නංවමින් මහා ප්‍රජාතන්ත්‍රීය සංවිධානයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරන මුත් එය සැබැවින්ම අව්‍යාජ වූ හැසිරිමක් ද යන්න සොයා බැලීම වැදගත්ය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රජාතාන්ත්‍රීය භාවය ප්‍රශ්න කරන බරපතළම කාරණය වනුයේ එයට නිලධාරීන් තෝරා ගන්නා ආකාරයයි. වාර්ෂිකව නිලධාරීන් තෝරා ගැනීමට නිලවරණ පවත්වන මුත් දැනට ඇති මධ්‍යගත නිලවරණ ක්‍රමය පවතින තුරු බලය හොබවන කණ්ඩායම ඉන් ඉවත් කිරීම අතිශය දුෂ්කර කටයුත්තකි. වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජිකත්වය විසිදහසකට වඩා වැඩිමුත් සාමාන්‍යයෙන් නිලවරණයකදී ඡන්දය ප්‍රකාශ කරනුයේ ඉන් 15%ක් තරම් පංගුවකි. වෛද්‍ය නිලධාරී සංගමයේ මවු ශාඛාවේදී නිලවරණය පැවැත්වෙන බැවින් කොළඹින් පරිබාහිරව සිටින සාමාජිකයන්ව නිතැතින්ම ඉන් බැහැර කිරීමක් සිදු වේ. ඒ මූලිකවම ඒ සඳහා කාලය සහ මුදල් වැය වන බැවිනි. එනිසාම මුළු සාමාජිකත්වයෙන් 80%කට වඩා වැඩි පිරිසක් නිලවරණය වර්ජනය කිරිම පසුගිය කාලය පුරාම දැකගත හැකි වූ පොදු තත්ත්වයකි. නිලවරණයකදී ධුරයේ සිටින කණ්ඩායමට වාසි ලැබෙන ආකාරය මඳක් සොයා බැලුම වැදගත්ය. නිලවරණය මෙහෙයවීමේ බලය හිමිව ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මැතිවරණ කමිටුවටය. ස්වාධීන බවක් පිටතට පෙන්වුවද එහි සිටිනුයේ ධුරය දරන කණ්ඩායමට පක්ෂපාති පුද්ගලයන්ය. පසුගිය අවස්ථා කිහිපයකදී එය නියෝජනය කළ විශේෂඥ වෛද්‍ය මංගල ගුණතිලක ඊට එක් නිදර්ශනයක් පමණි. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සමඟින් “විශේෂඥ” වූ ගුණතිලක තම මිත්‍රයා තරග කරත්දි මැතිවරණ කමිටුවේ සිටීමම යනු ලබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය කරනු ලබන්නකි. වත්මන් පාලනයට සම්බන්ධ බොහෝ දෙනා දශකයකට වැඩි කාලයක් තිස්සේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විධායක සභාව, මහා සභාව නියෝජනය කරන අතර නිලවරණය කැඳවීමෙන් පසුව වුවද මවු සංගමය සතු වත්කම් ඔවුන් භාවිත කරන ආකාරය පසුගිය අවස්ථා කිහිපයකදීම දැකගත හැකි විය. නිලවරණ අවස්ථාවකදී බලයේ සිටිමින් ඊට තරග කරන කණ්ඩායමට වෛද්‍ය නිලධාරී සංගමය සතු දුරකථන ෆැක්ස් ආදි සෙසු පහසුකම් භාවිත කිරීමට ඉඩ ලැබීම සෙසු අපේක්ෂකයන්ට කෙරෙන පැහැදිලි අසාධාරණයකි.

නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නන්ගෙන් අති බහුතරය අත්දැකීම් අඩු කනිෂ්ඨ වෛද්‍යවරුන් වීම විශේෂත්වයකි. ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහිත පළපුරුදු වෛද්‍ය වෘත්තිකයන්ව මැතිවරණ ක්‍රියාවලියට දායක කර ගැනීම වෙනුවෙන් කාර්යක්ෂම යන්ත්‍රණයක් නොමැති වීම පැහැදිලි ගැටලුවකි. බලයේ සිටින කණ්ඩායම ලෙස නිලවරණයට එක්වීම තුළ කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ මොළ සේදීමේ ක්‍රියාවලිය පහසුවෙන් සිදු කළ හැකි අතර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ නිහඬතාව එය තවත් පහසු කරනු ලබයි. මේ තත්ත්වය නිසාම ඡන්ද ක්‍රමය විමධ්‍යගත කළ යුතු බවට අවස්ථා කිහිපයකදී ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වූ නමුත් තවමත් එහි වෙනසක් සිදුව නොමැත. දැන් සිදු වනුයේ සමස්ත සාමාජිකත්වයේ 80%කට වැඩි පිරිසක් බැහැර කරවමින් නිලවරණය පැවැත්වීමය. මුළු සාමාජිකත්වයෙන් 20% කගේ කැමැත්ත අකැමැත්ත මත නිලධාරීන් තෝරා ගැනීමක් මේ වන විට සිදු වේ. නිලවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කමිටුවක් පත්කිරීම සිදු වනුයේ වාර්ෂික සමුළුවේදීය. සාමාන්‍යයෙන් ඊට සහභාගි වනුයේ දෙතුන් සියයක පිරිසකි. ඒ තත්ත්වය තුළ අපහසුවකින් තොරව මැතිවරණ කමිටුව සඳහා තම හිතවතුන්ව පත්කර ගැනීමේ හැකියාව සිටින පරිපාලනයට හිමි වේ.

තැපැල් ඡන්ද ක්‍රමයක් ද නිලවරණයේදී භාවිත කරනමුත් එය සැබැවින්ම අන්ත දූෂිත ක්‍රියාවලියකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය වඩාත් දූෂිත එකක් කරනුයේ තැපැල් ඡන්ද ක්‍රියාවලියයි. තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය සඳහා ලියාපදිංචි තැපෑල වෙනුවට මිල අධික පෞද්ගලික ලිපි ප්‍රවාහන ආයතනයන්හි සේවාව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ලබාගන්නා අතර තමන්ට හිතවත් කලාපීය ශාඛා වෙත ඒවා යැවූ පසු බොහෝ විට සිදු වනුයේ ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි ඒවා තොග පිටින් පුරවා නැවත මවු සංගමයට එවීමය. ප්‍රතිඵල පිළිබඳ අවදානම් සහගත තත්ත්වයන් නිර්මාණය වුවහොත් ප්‍රයෝජනයට ගැන්මට එසේ සිදු කරනු ලබයි. තැපැල් ඡන්ද ඉල්ලීම් සිදු කරද්දී ප්‍රතිඵලය පිළිබඳව තක්සේරුවක් දැන ගැනීමේ හැකියාව තමන්ට හිතවත් ඡන්ද නිලධාරීන් හරහා කල් තියා දැනගැනීමේ හැකියාව ලැබෙන අතර එම “අනාගත අවදානම” සැලකිල්ලට ගනිමින් වැඩිදුර ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදු කරනු ලබයි. තැපැල් ඡන්ද පත්‍රිකා මවු සංගමයට එවීම බලයේ සිටින කණ්ඩායමට වාසියක් වනුයේ, “මහගෙදර” පාලනය ඇත්තේ ඔවුනට බැවිනි. එය ඡන්දයක අනිවාර්යයෙන්ම පැවැතිය යුතු රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්න මතු කරයි. මහා දවාලේ සිදුවන මෙම ඡන්ද මංකොල්ලය ගැන බහුතර සාමාජිකයන් හොඳින් තොරතුරු දන්නා නමුත් ඒ පිළිබඳව කතා කිරීමට ඔවුන් මැලිකමක් දක්වයි. ඒ එසේ සිදුකර අනවශ්‍ය කරදරවල පැටලීමට මැලිකමක් දක්වන බැවිනි.

මෙම සියලු තත්ත්වයන් තුළ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලවරණ ක්‍රියාවලිය විමධ්‍යගත කිරීම වැදගත්ය. නමුත් ඒ පිළිබඳව කිසිදු අදහසක් උනන්දුවක්, ප්‍රජාතන්ත්‍රවාදය, අයුක්තිය, අසාධාරණය පිළිබඳව නිතර කෑමොර දෙන පාලකයන්ට නොමැත. එසේ සිදුකර තම පැවැත්ම කෙරෙහි බලපාන්නා වූ අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කර ගැනීමට ඔවුනට අවශ්‍ය නැත. දූෂණයට මඟ පාදන මෙම නිලවරණ ක්‍රමය සිදු කිරීම සම්බන්ධයෙන් වැදගත් අදහස් කිහිපයක් පසුගිය කාලයේ ඉදිරිපත් විණි. විද්‍යුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම, සෑම දිස්ත්‍රික්කයකම ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවීම, වැනි යෝජනා හරහා මුදල් හා කාලය ඉතිරි කර ගනිමින් කාර්යක්ෂම හා ප්‍රතිඵලදායි අවසාන තීන්දුවක් ලබා ගත හැකි බවට ප්‍රබල මත සමාජගත වුවද ඒ සියල්ල බීරි අලින්ට වීණා වැයීමට වඩා වැඩි දෙයක් නොවුණි. මැතිවරණ ක්‍රියාවලිය තුළ නිල බලයෙන් හිමිව ඇති මෙම වාසිදායක තත්ත්වයට අමතරව මඩ ගැසීම කොන් කිරීම ආදි පහත් ක්‍රියා ද ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන් අරභයා නිරතුරුවම සිදු වෙයි. තම දරුවාට හොඳ පාසලක් ලබා ගැනීම, ස්ථාන මාරු සිදුකර ගැනීම, දැනට සේවය සිදු කරන ස්ථානයේ තව දුරටත් රැඳී සිටීම, විනය පරීක්ෂණවලින් ගැලවීම යන මේ සියල්ල සඳහා මාවත වැටි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ පරිපාලනය හරහා බැවින් එය ද නිලවරණයකදී මානසික අල්ලසක් ලෙස යොදා ගැනෙයි.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ පරිපාලනයට තේරී පත්වීම පාඩුවක් නොවන්නේ ඒ සමඟ අතිරේක වරදාන වරප්‍රසාද රැසක් ගැටගැසී ඇති බැවිනි. 2014 වසරේදී වෛද්‍ය සංගම් මාෆියාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ එවකට සිටි කීර්තිමත් වෛද්‍යවරුන් කණ්ඩායමක් එක පෙරමුණකට පැමිණියේය. විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ, විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න, විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා, විශේෂඥ වෛද්‍ය එස්. එච්. කොළඹගේ, වෛද්‍ය උපුල් ගුණසේකර ඇතුළු ප්‍රමුඛ පෙළේ වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් ඊට ඇතුළත් විය. ඔවුන් අනාවරණය කළ තොරතුරු අනුව රජයේ වෛද්‍ය නිලධාරී සංගම් පරිපාලනය කෙතරම් දූෂිත එකක් ද යන්න මැනැවින් පෙනී ගියේය. 2013/2014 මූල්‍ය වර්ෂයේ සංගමයේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ දෙසීය පනහක් වෙද්දි එහි වියදම ඊට වඩා ලක්ෂ හතළිහකින් වැඩි වී තිබු අතර ඒ අතරින් වැඩිම මුදලක් විය පැහැදම් කර තිබුණේ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් හෝ පර්යේෂණ කටයුතු සඳහා නොවේ. ලක්ෂ එකසිය හැත්තෑවක මුදලක් වැය කර තිබුණේ, ග්‍රහලෝකාගාරය ඉදිරිපිට පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ ඇති මවු සංගම් කාර්යාලයේ විය පැහැදම් වෙනුවෙනි. එහි සේවය කරන අතළොස්සක් වූ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් වෙනුවෙන් රුපියල් තුන්ලක්ෂ පනස් දාහක මුදලක් වැය කරද්දී ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් ලක්ෂ පනහකට වඩා මුදලක් වැය කර තිබිණි. සංගමයේ ඉහළ වගකීම් හොබවන ඇතැමුන්ගේ නම් ද එම වැටුප් ලේඛනයේ විය. සාමාජිකයන් වාර්ෂිකව ගෙවන සාමාජික මුදලින් නඩත්තු වන ඔවුන් හා මුට්ටිකාසිකාරයන් ලෙස අතීතයේ හැඳින්වූ වෘත්තිය සමිති නායකයන් අතර වෙනසක් නොමැති තරම්ය. අප ඉහත සඳහන් කළ මුදල් වර්ෂයට අදාළව සංගම් කාර්යාලයේ දුරකථන හා අන්තර්ජාල වියදම් වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ හැත්තෑ එක් දහසක්; ගමන් වියදම් හා ප්‍රවාහන වියදම් සඳහා රුපියල් විසිදෙලක්ෂ හතළිස් නවදහස් හතළිස් එකක්, වාර්ෂික මහා සභා රැස්වීම්, කමිටු රැස්වීම්, ජනමාධ්‍ය සාකච්ඡා හා නිලවරණය වෙනුවෙන් රුපියල් විසිහත් ලක්ෂ විසිනව දහස් හත්සිය අසුඅටක් ශාඛා සමිති බැහැදැකීමේ සංචාර වෙනුවෙන් රුපියල් හාරලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑ හතක මුදලක් වියපැහැදම් කර තිබිණි. ඒ සා ප්‍රබල වි‍වේචන සමාජගත වුවද, කීර්තිමත් වෛද්‍යවරුන් රැසක් සංගමයේ ක්‍රියාකාරිත්වය එළිපිට විවේචනය කළ ද මධ්‍යගතව පවතින නිලවරණ ක්‍රමය තුළ වැඩි අපහසුවකින් තොරව අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩායම තම ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

2000 වසරේ සීමාවාසික පුහුණුවේ සිටියදී වෛද්‍ය සංගම් පරිපාලනයට පැමිණි අනුරුද්ධ පාදෙණිය විවිධ භූමිකා හොබවමින් රජයේ වෛද්‍ය සංගම් පරිපාලනය තුළ තවමත් නොදැවී සිටියි. ඔහු මේ වන විට තෙවතාවක් මෙහි සභාපති ධුරයට පත්ව තිබේ. ඉදිරියේ වුවද පවතින තත්ත්වය තුළ ඔහුව වෙනස් කිරීමට හැකිවෙතැයි සුළු හෝ අනුමානයක් තබාගත නොහැකි තරම්ය. වරක් ඇමැති එස්. බී. දිසානායක පාදෙණියගේ කැරැට්ටුව ප්‍රසිද්ධියේ හෙළි කළේ ඔහු හොරට විභාග සමත් වූ බව කියමිනි. ඒ අවස්ථාවේදී එස්. බී. ට එරෙහිව නඩු පැවරිය යුතු බවට වෛද්‍ය සංගම් විධායක සභාව යෝජනා කළ මුත් පාදෙණිය එසේ කළේ නැත. ඒ වෙනුවට අතරමැදි සාමදානයකට හෙතෙම ගමන් කළේය. අනතුරුව රාජපක්ෂ පාලනය සමඟ අවබෝධාත්මක ගනුදෙනුවකට ගිය පාදෙණිය පසුගිය ජනාධිපතිවරණයේදී පවා වෘත්තිය සංගම් නායකයකු ලෙස පෙනී සිටියේ කවුරුන් වෙනුවෙන් ද යන්න රහසක් නොවේ. අරලියගහ මන්දිරයේදී පැවැති දන්සල සඳහා තම සාමාජිකයන් නිරතුරුවම කැඳවාගෙන ගිය පාදෙණිය ඒ සමයෙහි වෛද්‍යවරුන්ගේ දරුවන්ව පාසල්වලට ඇතුළත් කිරීමේ ලිපි ප්‍රදානය කිරීමේ උත්සව පැවැත්වූයේ ද රටේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙනි. ඒ තරමටම දෙදෙනා අතර පැවැති සහසම්බන්ධය දියුණු එකක් විය.

වෛද්‍යවරුන් වීම නිසා දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට විශේෂ අවස්ථාවක් හිමි නොවන මුත් ඔවුන් විසින් ඉටුකරන සේවයට ගරු කරමින් වසර හතරකට වරක් සිදුවන ස්ථාන මාරු නිසා ස්ථිර පදිංචිය පිළිබඳව මතු වන ගැටලු සැලකිල්ලට ගනිමින් විශේෂ සහන ලබාදීමක් එහිදී සිදු වේ. නමුත් එහිදී පවා ඉහළම ප්‍රමුඛතාව හිමි වනුයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පරිපාලනය හොබවන වෛද්‍යවරුන්ගේ දරුවන්ටය. එතැනදීත් සිදු වනුයේ අවභාවිතාවකි.

දැන් මෙම ත්‍රස්තවාදයේ සැබෑ නිරුවත සමාජය ඉදිරියේ අනාවරණය වෙමින් පවතී. සැබැවින්ම වෘත්තිය සමිතියක් කටයුතු කළ යුත්තේ තමන් නියෝජනය කරන ප්‍රජාවට බලපාන්නා වූ ගැටලු ප්‍රශ්න විසඳීම වෙනුවෙනි. නමුත් ඒ වෙනුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් පරිපාලනය නම් දිගින් දිගටම කරනුයේ තම පෞද්ගලික දුෂ්ට අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වීමය. එබැවින් මේ කැත “දේශපාලනය” ජනතාව තේරුම් ගැනීම වැදගත්ය. රටක් ලෙස අප මෙතරම් ශෝචනීය ඉරණමකට ගොදුරුවී ඇත්තේ තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් සමාජ වගකීම් දරන්නන් නිසියාකාරව ඉටු නොකිරීම නිසාය. අන්‍යයන්ගේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමට සමගාමීව තමන් වෙත පැවැරෙන්නා වූ වගකීම් හා කාර්යභාරයට සාධාරණයක් ඉටු කරන විට නිසැකවම මේ සමාජය මීට වඩා යහපත් එකක් වනු ඇත. වෛද්‍යවරුනි, මේ ඔබේ හෘදය සාක්ෂිය අවදි කිරීමට කාලයයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.