27 April, 2024

Blog

ජගත් මානව හිමිකම් කොමිසම ආරක්‍ෂාකල​ යුත්තේ පීඩිතයින්ගේ මිස පීඩකයින්ගේ ස්වාධිපත්‍යය​​ නොවේ

රංජිත් සී. පෙරේරා

රංජිත් සී. පෙරේරා

මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවට නතුවන බොහෝ රටවල් එම චෝදනාවෙන් ගැලවීමට යොදන උපක්‍රමය ස්වාධිපත්‍යය​​ මූලධර්මය පෙරට දෑමීම යි. එයට දැක්විය​ හෑකි මෑතම උදාහරණය එවැනි චෝදනාවලට ලක්වූ ශ්‍රී ලංකාව යි. ලංකාවට සෑමදාම එල්ලවන යුධ අපරාධ චෝදනවට අමතරව මෙවර විශේෂයෙන් එල්ලවී ඇත්තේ පසුගිය වසරක කාලය තුල විවිධ අණපනත් මගින් රටේ ජනතාවගේ මානව අයිතීන් කඩකිරීම යන චෝදනාවයි. චෝදනාවල නියම ස්වරූපය රජය හෝ රජයට පක්ෂපාති මාධ්ය හෝ ජනතාවට පවසන්නේ නැත. ලංකාවේ ස්වාධිපත්‍යට පහරක වන ලෙසට ජගත් මානව කොමිසම කටයුතු කරන බව රජයත්, ඉහත සඳහන මාධ්‍ය​ ජනතාවට ඒත්තු ගන්වීමට උත්සහ කරමින් සිටියි. රජය ඒ අතර ජගත් මානව කොමිසම් වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.

රජයේ ස්ථාවරය පිළිගන්නා සමහර විචාරකයින් පවසන්නේ ජගත් මානව හිමිකම් කොමිසම ස්වාධිපත්‍ය යන මූලධර්ම​ යටතේ රටේ අභයන්තර​ කරුණුවලට අතපොවන බවයි. අප ඇසිය යුතු ප්‍රශ්නය නම් ස්වාධිපත්‍ය අහෝසිව තිබෙන්නේ පාලකයන්ගේ ද නැත්නම් පාලිතයන්ගේ ද යන්නයි. උදාහරණයක් ගෙන බලමු. වර්තමාන රජය පාර්ලිමේන්තුවට විසිවන සංශෝධනය ගෙනවිත් ඒ යටතේ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට ව්‍යවස්ථාදායකයට​ එතෙක් තිබුණ බලය විධායකයට පවරා ඇත. මෙම ස්වාධීන කොමිසම් අතර අධිකරණ, රාජ්‍ය​ සේවා සහ මෙරට මානව හිමිකම් ආදියද වේ.  

ව්‍යවස්ථාදායකය විසින් නැත්නම් එය විසින් පත්කරන විවිධ පක්ෂවලට අයත් පුද්ගලයන් ගෙන් යුත් කමිටුවක් මගින් පත්කරන අධිකරණ කොමිසමකට වඩා විධායකය නැත්නම් ජනාධිපති පත්කරන අධිකරණ කොමිසම වඩා ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ කෙසේද? එවැනි අධිකරණ් කොමිසමක් යටතේ විනිසුරුවරයන්ට ස්වාධීනව කටයුතු කිරීමට නිදහසක් තිබෙනවා යයි තර්ක කරන්නේ කෙසේද? විධායකයේ බලපෑම හේතුකොට ගෙන යම් පාර්ශවයකට අගතියක් සිදුවූ විට එවැනි පාර්ශවයකට විධායකයට එරෙහිව කටයුතු කිරිමට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සළසා තිබේද? පෙර තිබූ තත්වය යටතේ එවැනි අවස්ථාවක දී අගතියට පත්වූ පාර්ශවය වෙනුවෙන් කටයුතු කිරීමට ව්‍යවස්ථාදායකයට ඉඩකඩ තිබුණි. එම අයිතිය අහෝසි කිරීම ජනතාවගේ මානව අයිතීන් කඩකිරීමක් නොවන්නේද?

විසිවන සංශොධනය අනුමත කරන අයගේ තර්කය එවකට තිබූ ස්වධීන කොමිසම් පත්කිරීමේ සහා ඒවායේ ක්‍රියකාරිත්වයේ අඩුපාඩු තිබුන බවයි. දහ නවවන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු තිබුන බව එහි නිර්මාපකයන්ම පිළිගෙන තිබුණි. එසේ නම් එයට ප්‍රතිකර්මය විය යුතුව තිබුනේ එම අඩුපාඩු මගහැර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට සකස් කිරීමයි. එසේ නොමැතිව තනි පුද්ගලයකුට එම බලය පැවරීම නොවේ. එම ක්‍රියාව ප්‍රසිද්ධ කියමනක තිබෙන පරිදි ළමයා නෑවූ වතුර සමග ළමයාත් විසි කිරීමට​ සමාන වේ.

මෙම මාතෘකාවට අදාලව ඉංග්‍රිසියෙන් සපයන ලිපිය ගැන ජාතිවාදී කෝණයකින් බලා ලියන ලද විචාරයන් කිහිපයක් තිබුණි. එම ලිපියෙන් උත්සහා කළේ දැනට ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩවීම්වල බලපෑම  උතුර දකුණ හෝ සිංහල දෙමල හෝ වශයෙන් නොව සමස්ථ ජනතාවටම එකසේ බලපාන බව පෙන්වා දීමටය. ඉහත උදාහරණයම ගතහොත් අධිකරණයේ ස්වාධීනත්වය නැතිවීම මෙරට සැමදෙනාවටම  බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේවුවත් පාර්ලිමේන්තුවේ විරුද්ධ පාක්ෂිකයින් පවසන පරිදි නම් එම වෙනස්කම් පාලක පක්ෂයට යහපත් ලෙස බලපා තිබෙන බව පෙනී යයි. එම ප්‍රකාශ දෙස බලන විට මානව හිමිකම් දැන් කඩවි තිබෙන්නේ පාලිතයන්ගේ මිස පලකයන්ගේ නොවන බව ඉතා පැහැදිලි වේ. එම පදනමේ පිහිටා  මානව හිමිකම් කඩකිරීම්වලට එල්ල කරන චෝදනා එලෙස කඩකළ සහ කඩ කිරීමට අනුබල දුන් අයට කෙළින්ම බලපාන ලෙස එල්ල කළ යුතු බව මෙහිදී තර්ක කරන්නේ එම නිසාය.

විශේෂයෙන් ආසියා- අප්‍රිකා-ලතින් අමෙරිකා රටවල දැකිය හැකි සංසිද්ධියකි. එයින් අදහස් වන්නේ අනෙකුත් රටවල එසේ නොවන බව නොවේ. එවැනිදේ සිදුවන විට එම රටවල නිසි යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් වරද නිවැරදි කිරීමට බොහෝ විට සමත් වේ. මෑතකම ගත හැකි හොඳම​ උදාහරණය අමරිකාවේ මැතිවරණයෙන් ජයගත් අපේකෂකයාට හිමි තැන ලබා නොදෙමින් එහි හිටපු ජනාධිපති ගන්නා ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරවලට විරුධව එරට අධිකරණය සහ මාධ්‍ය​ ගත් පියවරයන් ය. සමහර රූපවාහිනී නාලික හිටපු ජනධිපතිගේ ප්‍රකාශ හිටි අඩියේ නැවැත්වූයේ එසේ කිරීමට හේතුද දක්වමිනි. ලංකාවේ නම් ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවිට සිදුවුන දෙය සහා එයට විරුද්ධව ඉදිරිපත් කළ නඩුවක තීන්දුව දීමට වසර දහතුනක් ගත් සැටි අපි සමාජ මාධ්ය තුලින් දුටුවෙමු. පාලකයන් ජනතාවගේ මානව හිමිකම් කඩකිරිම් වලදී පාලිතයන්ගේ අයිතිවාසිකම් රැකීමට ඉහතකී රටවල යාන්ත්‍රණයන් නිදහස්ව ප්‍රබලව කටහුතු කරන ආකාරය අපගේ වැනි රටවල දැකීමට නොලැබේ.

ජගත් මානව හිමිකම් කවුන්සලය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර​ සංවිධානද ස්වාධිපත්‍ය යන්නට නව අර්ථකතන​යක් සැපයීමට කාලය උදා වි තිබේ. කිසිම රටක පාලකයකුට එරටේ ජනතාවගේ මානව හිමිකම් කඩකර චෝදන එල්ලවන විට ස්වාධිපත්‍ය නම් කඩතුරාව යොදාගෙන ගැලවීමට අවස්ථව නොදිය යුතුය. තවද එසේ එවැනි චෝදනා එල්ල කරන විට ඒවා එල්ල කළ යුත්තෙත් සම්බාධක පැනවිය යුත්තෙත් ඒවාට වගකිව යුතු පාලකයින්ට මිස පාලිතයින්ට නොවීමට ඔවුන්ගේ අවධානය යොමුවීම වැදගත් වේ. ලොවේ සමස්ථයක් ලෙස මානව හිමිකම් කඩකිරීම් අවම කිරීමට එවැනි තීරණ අතිශයින්ම වැදගත්වනු නොඅනුමානය.  

*මෙම ලිපිය Colombo Telegraph හී මෙම රචකයාගේ UNHCR should focus on the Sovereignty of the Oppressed not of the Oppressors යන මැයෙන් පළවූ ලිපියේ සිංහල සංස්කරණයකි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.