28 March, 2024

Blog

නව සමාජ ගිවිසුමක් සඳහා

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

පසුගියදා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයෙන් මට දේශනයක් සඳහා ඇරයුම් ලැබිණ. එහි තේමාව වූයේ “ව්‍යවස්ථාදායකය, එහි බලතල හා කාර්යභාරය” යන්නයි. ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරමුණු කොට ගත් සංවාද මාලාවක එක් අංගයකි. එහිදී මා කළ කෙටි අදහස් දැක්වීම තරමක් වර්ධනය කොට ලිඛිතව ඉදිරිපත් කළ යුතු යැයි මා තීරණය කළේ එය මෙරට ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ අනාගතය සම්බන්ධයෙන් වන සංවාදයට කිසියම් හෝ දායකත්වයක් වනු ඇතැයි යන විශ්වාසයෙනි.

සමාජ ගිවිසුම පිළිබඳ ප්‍රබන්ධය

මගේ දේශනයේදී මා මතු කළ පළමු කාරණය වූයේ මෙයයි: නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පදනම් වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනයේ එන මූලික පිළිගැනීමක් මතයි. එනම්, ව්‍යවස්ථාව මගින් කිසියම් නෛතික හැඩයක් ලබා දෙන්නේ පුරවැසියන් අතර ගොඩ නැගී තිබෙන සමාජ ගිවිසුමකටය යන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු සමාජ ගිවිසුමක් මත පදනම් වන්නකි. මෙහි අදහස ඉතිහාසයේ එක්තරා දිනයක කිසියම් රටක සියළු පුරවැසියන් එක්වී තමන් පාලනය විය යුත්තේ කවර නම් නීතියකට අනුවදැයි සාකච්ජා කොට එකඟතාවකට පැමිණි බව නොවේ. සමාජ ගිවිසුම්වාදය මගින් ඉදිරිපත් කෙරෙන්නේ නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය වූ ආකාරය පිළිබඳ ප්‍රබන්ධ කතාවකි. එම ප්‍රබන්ධ කතාවට අනුව නූතන රාජ්‍ය පාලනයට සුජාතභාවයක් ලැබෙන්නේ අසහාය දෙවියන් වහන්සේ විසින් පාලකයින් හට පරම වරමක් ලබා දී ඇති නිසා නොවේ; පාලකයින්ට රාජ්‍යත්වය කෙරෙහි පාරම්පරික උරුමයක් පවතින නිසාද නොවේ; සුජාතභාවය ගලා එන්නේ වංශවත් උපත කෙරෙන්ද නොවේ. ඒ වෙනුවට පාලකයින් රාජ්‍ය පාලනය සඳහා වරමක් ලබා ගත යුත්තේ ජනතාවගෙනි.

දාහත් වන සියවසේ මහා බ්‍රිතාන්‍යයේ ඇති වූ මහා දේශපාලන කලබැගෑනිය තුළ රාජ්‍යත්වයේ පැත්ත නියෝජනය කළ තෝමස් හොබ්ස් පවා රාජ්‍යත්වයේ සුජාතභාවය තේරුම් කළේ දේව වරම, පාරම්පරික උරුමය, වංශවත් උපත යනාදී වැඩවසම් පිළිගැනීම් මත පදනම් වූවක් ලෙසින් නොව සමාජ ගිවිසුමක් මත පදනම් වූවක් ලෙසයි. හොබ්ස් පෙනී සිටියේ රජු වෙනුවෙන් වුවත්, ඔහුගේ සමාරම්භකත්වයෙන් රචනා කෙරුණු සමාජ ගිවිසුම පිළිබඳ ප්‍රබන්ධය පැරණි රාජාණ්ඩු ක්‍රමය පදනම් වූ විශ්වාස පද්ධතියට එරෙහිව යන්නක් විය.

සැබවින්ම පවතින සමාජ ගිවිසුම

සමාජ ගිවිසුම යන්න ප්‍රබන්ධයක් වුවත් අද දක්වාම ලිබරල්-ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය ක්‍රියාත්මක වන්නේ එම ප්‍රබන්ධයෙන් නියෝජනය වන මූලික උපන්‍යාසයන් මත පදනම් වෙමිනි. තර්ක බුද්ධියට ප්‍රමුඛත්වය දෙන පශ්චාත්-ප්‍රබුද්ධත්ව යුගයේදී පවා එවන් ප්‍රබන්ධයක් වැඩ කරන්නේ කෙසේද? “අපගේ සමාජ යථාර්ථය යනුම යම් යම් දෘෂ්ටිවාදී ආධාරකයන් මත රඳා පවතින ප්‍රබන්ධයක් වේය” යන න්‍යායික අදහස මදකට පසෙකින් තබා වුවද, සමාජ ගිවිසුම නමැති ප්‍රබන්ධය ප්‍රායෝගිකව වැඩ කරන්නේ කෙසේදැයි අපට වටහා ගත හැකිය යන්න මගේ විශ්වාසයයි. ඒ අපගේ දේශපාලන ක්‍රමය පදනම් වන යම් යම් අලිඛිත සමාජ එකඟතා නොහොත් ගිවිසුම් සැබවින්ම පවතින බැවිනි.

එම ගිවිසුම් තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ජීන් ජාක් රූසෝ යනාදී දේශපාලන චින්තකයින් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රබන්ධ කතා සමග මුළුමනින්ම අනුගත වන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත්, කිසියම් දේශපාලන ක්‍රමයක සුවිශේෂකත්වයන් වටහා ගැනීමට නම් අප එම දේශපාලන ක්‍රමය පදනම් වන්නේ කවර මූලික සමාජ එකඟතා (සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව පන්තිමය සබඳතා, ග්‍රාම්ස්චියානු මාක්ස්වාදයට අනුව ඓතිහාසික හවුල) මතද යන කාරණය විමසා බැලිය යුතුය. වෙනත් වචනවලින් කිව හොත්, අදාළ දේශපාලන ක්‍රමයෙහි ලිඛිත ගිවිසුම (textual contract) නොහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස නොව එම ලිඛිත ගිවිසුමේ පදනම වන්නා වූ “සැබවින්ම පවතින සමාජ ගිවිසුම” (actually existing social contract) දෙස බැලිය යුතුය.

මෙහිදී පැහැදිලි කළ යුතු තවත් කාරණයක් නම්, මේ සැබවින්ම පවතින සමාජ ගිවිසුම් හුදෙක් මැතිවරණවලදී ජනතා නියෝජිතයින් සහ ජන්දදායකයින් අතර ඇති වන සම්මුතීන්වලට ලඝු නොකළ යුතු බවයි. මැතිවරණවල සන්ධර්භය තුළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති ප්‍රකාශන, දේශපාලන වැඩපිළිවෙලවල්, සටන් පාඨ, දෘෂ්ටිවාදී ස්ථාවරයන් යනාදිය ඔවුනට ජන්දදායකයින්ගේ සක්‍රීය හෝ අක්‍රීය කැමැත්ත දිනා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන බව සැබෑය. නමුත්, මැතිවරණ මගින් ගොඩ නැගෙන්නේ තාවකාලික ගිවිසුම් (provisional contracts) ය. මගේ තර්කය වන්නේ එම තාවකාලික ගිවිසුම් පැවතිය හැක්කේ අදාළ දේශපාලන ක්‍රමය තුළ සංස්ථාපිතව ඇති මූලධාර්මික ගිවිසුම්වල (foundational contracts) රාමුව තුළ බවයි.

නිදසුනක් ලෙස, වත්මන් ශ්‍රී ලංකාවේ මැතිවරණ මගින් රාජ්‍ය බලය දිනා ගැනීම අරමුණු කර ගන්නා කවර දේශපාලන නායකත්වයකට වුවද රාජ්‍යය තුළ බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දීමට එකඟ වීමට සිදුවේ. බෞද්ධාගමේ ප්‍රමුඛත්වය පිළි නොගන්නා පක්ෂයක් මෙරට රාජ්‍ය බලය දිනා ගනු ලැබීම වත්මනෙහි පවත්නා තත්ත්වය තුළ අපේක්ෂා කළ හැක්කක් නොවේ. මන්ද යත්, අප කැමති වුවද නොවූවද, එය මෙරට දේශපාලන ක්‍රමය පදනම් වන මූලධාර්මික සමාජ ගිවිසුමේ අංගයක් බවට පරිවර්තනය වී ඇත. මා අදහස් කරන්නේ එම මූලධාර්මික ගිවිසුම ස්ථිතිකව පවතින බව නොවේ. එය විකාශනය වෙමින්, වෙනස් වෙමින් සහ පුනරාවර්තනය වෙමින් පවතින්නකි. එසේම, එය පරිවර්තනයට ලක් කළ හැකිය; නමුත්, එසේ කිරීම වනාහී විප්ලවීය දේශපාලන ක්‍රියාවකි.

ලාංකීය සැබෑ සමාජ ගිවිසුමේ ස්වරූප

පශ්චාත්-යටත් විජිත ශ්‍රී ලංකාවේ සැබවින්ම පවතින සමාජ ගිවිසුම කුමක්දැයි විමසීමේදී අපට ලාංකීය ප්‍රජාතන්ත්‍රයේ මූලික උභතෝකෝටිකයක් මුණ ගැසේ. එනම්, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් මෙරටට නූතන ලිබරල් ආයතන, නියෝජන ප්‍රජාතාන්ත්‍රික ක්‍රියා පටිපාටීන් සහ ව්‍යවස්ථාමය ආකෘතීන් යනාදිය හඳුන්වා දෙන ලද්දේ එකල මේ දිවයිනේ ජනයා අතර පැවති සමාජ ගිවිසුමක් මත පදනම් වී නොවේය යන්නයි. ඔවුන් පදනම් වූයේ ඔවුනගේ රටේ එනම් මහා බ්‍රිතාන්‍යයේ ගොඩ නැගී පැවති සමාජ ගිවිසුමක් මතය. නිදසුනක් ලෙස, මහා බ්‍රිතාන්‍යයේ 1918 ජනතා නියෝජනය පිළිබඳ පණත මගින් කම්කරුවන්ට ජන්ද බලය ලැබුණේත්, 1928 සමාන ජන්දබල පණත මගින් ස්ත්‍රීන්ට ජන්ද බලය ලැබුණේත් දහ නම වන සියවසේ අග භාගයේ සිට ජන්ද අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වූ බහුජන ව්‍යාපාරවල ප්‍රතිපලයක් ලෙසිනි.

තම රටේ සර්වජන ජන්ද බලය ස්ථාපිත කළ වසරේදීම සිලෝන් දූපතට පැමිණි ඩොනමෝර් කොමිසම එකී සර්වජන ජන්දය අපටද ලබා දීමට තීරණය කළේය. එබැවින්, එය අප සමාජයීය වශයෙන් පහත සිට ගොඩ නැගූ ව්‍යාපාරයක් මගින් දිනා ගන්නා ලද්දක් නොව ඉහළ සිට (සහ පිටත සිට) අප වෙත ප්‍රදානය කරන ලද්දකි. දකුණු ආසියාතික රටවල “සිවිල් සමාජයට වඩා රාජ්‍යය අධි-සංවර්ධනයට ලක්ව තිබේ” (over-development of state than civil society) යැයි අප කලාපයේ බිහි වූ කීර්තිමත් මාක්ස්වාදී න්‍යායවේදියෙකු වූ හම්සා අලවි පැවසුවේ මෙවන් තත්ත්වයන් තේරුම් කිරීම සඳහාය.

මගේ අදහස වන්නේ නිදහසින් පසුව ලාංකීය දේශපාලන සමාජයත් සිවිල් සමාජයත් මෙසේ ඉහළින් (සහ පිටතින්) හඳුන්වා දෙන ලද ලිබරල්-ප්‍රජාතාන්ත්‍රික රාමුවට යාන්ත්‍රිකව අනුගත වූවා නොව, ඉතාම සක්‍රීයව එම රාමුව ප්‍රතිසංස්කරණය කොට එය ස්වදේශිකකරණයට ලක් කිරීමට සමත් වූ බවයි. එසේ කරන ලද්දේ මෙරට නියෝජන ප්‍රජාතන්ත්‍රික දේශපාලනයට අදාළව ගොඩ නගා ගන්නා ලද “සැබවින්ම පවත්නා මූලධාර්මික සමාජ ගිවිසුමකට” අනුවය. මේ පිළිබඳව අප කව්රුත් දන්නා නිදසුන් කිහිපයක් මෙසේය: නිදහස ලබා ගත් විගසම උඩරට පෙදෙස්වල කම්කරු ජනයාගේ පුරවැසිකම සහ ජන්ද අයිතිය අහෝසි කිරීම මෙරට පුරවැසිභාවය නිර්වචනය කිරීමේ පළමු ප්‍රායෝගික ක්‍රියා මාර්ගය විය; ඉන්පසුව, සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් නූතන රාජ්‍යය ජනවාර්ගිකමය ලෙස නැවත නිර්වචනය කරන ලදී; බෞද්ධාගමට රාජ්‍යයේ ප්‍රමුඛත්වය හිමි විය යුතුය යන්න නීතිගත කරන ලද්දේ ලංකාව ජනරජයක් බවට පත් කිරීමේ ව්‍යවස්ථාව මගින්මය. එමගින්, ශ්‍රී ලාංකීය ප්‍රජාතාන්ත්‍රික ජනරජය ආගමික ලෙස (පාකිස්ථානයේ මෙන් නොවූවද).නිර්වචනය කෙරිණ.

අර්නෙස්ටෝ ලැක්ලාවූගේ සහ ශන්තාල් මූෆ්ගේ දේශපාලන කතිකා විශ්ලේෂණ න්‍යාය අදාළ කර ගනිමින් මා මින් ඉහත පෙන්වා දී ඇති පරිදි මෙරට සිංහල බෞද්ධ ජාතිකවාදයත් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයත් අතර සුසම්බන්ධයක් (articulation) ගොඩ නංවනු ලැබ තිබේ. (සුසම්බන්ධය යනු යම් යම් සංඝටකවල අරුත් පරිවර්තනයට ලක් වන පරිදි ඒවා අතර සබඳතා ගොඩ නැංවීමකි.) ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයම බහුතර ජනවාර්ගික සහ ආගමික දෘෂ්ටිවාදයන් අනුව පුනර්-නිර්වචනයට (redefine) ලක් වීම ඉහත ක්‍රියාවලියේ ප්‍රතිපලයකි. එහිදී සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් රාජ්‍යයෙන් බැහැර කිරීමට හෝ ආන්තිකකරණයට ලක්ව ඇත්තේ ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණයන්ම භාවිත කරමින්ය.

ඉහත විශ්ලේෂණයට එක් කළ යුතු තවත් කාරණයක් වන්නේ සැබවින්ම පවතින ලාංකීය සමාජ ගිවිසුමේ ගැටළු තේරුම් කළ යුත්තේ ජනවාර්ගික සහ ආගමික පසමිතුරුතා අනුසාරයෙන් පමණක් නොවන බවයි. ජාතික ප්‍රශ්නය අධි-අවධාරණයකට ලක් වීම විශේෂයෙන්ම 1980 දශකයේ සිට මෙරට ලිබරල් දේශපාලන විශ්ලේෂණයන් තුළ නිරීක්ෂණය කළ හැකි ගැටලුකාරී තත්ත්වයකි. නමුත්, මෙරට රාජ්‍යයෙන් මෙන්ම ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ව්‍යුහයන්ගෙන් බැහැර කිරීමට ලක්ව ඇත්තේ සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් පමණක් නොවේ. අව-වරප්‍රසාදලාභී සමාජ පන්තීන්ද, ස්ත්‍රීන්ද, වෙනස් ලිංගික ප්‍රජාවන්ද එලෙස ආන්තිකකරණයට ලක් වූ කණ්ඩායම් අතර වේ.

ලිබරල් ව්‍යවස්ථාවාදයේ ගැටළුව

අවසන් වශයෙන් කිව යුත්තේ ලිබරල් ව්‍යවස්ථාවාදීන් ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළු තේරුම් කරන්නට ප්‍රයත්න දරන්නේ නෛතික, ආයතනික සහ ක්‍රියා පටිපාටිමය තලයෙහි ප්‍රතිසංස්කරණ වෙත අධි-අවධාරණයක් යොමු කරමින් බවයි. නමුත්, මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළුවල ගැඹුරු සමාජමය සහ ඓතිහාසික මූලයන් ඔවුනට මග හැරේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට අභිමුඛ වන්නේ සරලව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය එකහෙළා ප්‍රතික්ෂේප කරන පැහැදිලි අධිකාරීවාදී පසමිතුරු අනෙකෙකු නොවේ; ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප මගින්ම තම අධිකාරීවාදී කියා පෑම් සාධාරණීකරණය කර ගන්නට ප්‍රයත්න දරන බහුතරවාදී අනෙකෙකි. (විදේශ ඇමතිවරයාගේ ජිනීවා දේශනය කියවීමෙන් මේ කාරණය මනාව වටහාගත හැකිය.)

තවද, දූෂණය සහ රාජ්‍ය දේපළ අවභාවිතය යනාදිය හුදෙක් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ මගින් පමණක් අහෝසි කළ හැකි තත්ත්වයක් නොවන්නේ අනුග්‍රාහක දේශපාලනය මෙරට සැබවින්ම පවතින සමාජ ගිවිසුමේ අංගයක් බවට පත්ව ඇති බැවිනි. එය ජනතා නියෝජිතයා සහ ජන්දදායකයා අතර මැතිවරණ සමයේදී ගොඩනැගෙන තාවකාලික ගිවිසුමේ වැදගත් කොටසක් වී ඇත්තේ එබැවිනි.

මේ අනුව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඔබට සැබවින්ම අවශ්‍ය නම් එහි පළමු පියවර විය යුත්තේ නව සමාජ ගිවිසුමක් සඳහා අරගල කිරීමය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.