27 April, 2024

Blog

ප්‍රචණ්ඩත්වය සහ නීතියේ ආධිපත්‍යය ගැන දෙගිඩියාව අභිබවා යන්නේ කෙසේද?

රොහාන් සමරජීව

ආචාර්ය රොහාන් සමරජීව

ආචාර්ය රොහාන් සමරජීව

මැතිවරණය ඇරඹුනු තැන් පටන් ප්‍රචණ්ඩත්වය රටේ ඉහළයමින් පවතියි. බලයේ සිටින ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් විසින් නීතිය නොතකා හරිමින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. සිය දේශපාලන ස්ථාවරය කුමක් වුවත්, මතවාදී ආකල්පයන් කුමක් වුවත් මේ ප්‍රචණ්ඩත්වය සහ අවනීතික හැසිරීම සාධාරණීකරනය කරන්නට ඉදිරිපත්වන්නන් වෙතොත් ඒ අතලොස්සකි. මෙම තත්වය හෙලාදකිමින් නොයෙක් පාර්ශව විසින් කෙරෙන කතා දිනපතාම පාහේ අසන්නට ලැබේ.

අපේ කතාවලට පටහැනි අපේම ක්‍රියා

කෙසේවෙතත්, පසුගිය මැතිවරණවල ප්‍රතිපල විමසා බැලූවිට පැහැදිලිවන කරුණ නම් ප්‍රචණ්ඩත්වයෙහි යෙදුනු සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින්ට ලබාදිය යුතු/හැකි දඬුවම් ලබාදෙන්නට ඡන්දදායකයින් කටයුතු කර ඇත්තේ ඉතා කලාතුරකින් බවය. වැඩිම ‘කටවුට්‘ ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරන අපේක්ෂයා බොහෝවිට ජයග්‍රහණය කරන අතර ඒ හේතුවෙන් ඊළඟ අවස්ථාවේදී සියලු අපේක්ෂකයන් සීමාව තව තවත් ඉක්මවා යන්නට පෙළඹෙති.

පසුගිය දිනෙක මා සමග එකට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවූ ජ්‍යෙෂඨ නීතීවේදියකු ප්‍රචණ්ඩත්වයට විරුද්ධව සියළුම නිවැරදි ප්‍රකාශ කලේය. එහෙත් එක් අවස්ථාවකදී, සම සමාජ පක්ෂය විසින් අතීතයේදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදාගනිමින් කටයුතුකළ ආකාරය පිළිබඳව ඔහු සඳහන් කළේ දැඩි තෘප්තියකිනි. අපේ විරුද්ධවාදීන් ගේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඬ නගන අපිම අපේ පක්ෂයේ උන් ප්‍රචණ්ඩත්වය දියත්කරන විට හුරේ තියමු.

සිය ආධාරකරුවන් බලහත්කාරයෙන් පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීම පිළිබඳව නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිගමට පරිභව කළෝ බොහෝය. එහෙත්, සිය ආධාරකරුවන් පොලිසියෙන් හෝ රිමාන්ඩ් භාරයෙන් මුදාගැනීමට අසමත් අපේක්ෂකයෙක් වේ නම් ඔහු ‘ පෙන්දෙකු’ ලෙස සැලකෙන බව සහ ඔහුගේ දේශපාලනය ජීවිතය කෙටි එකක් වන බවට ඕනෑම දේශපාලන අපේක්ෂකයකු විසින් සනාථකරනු ඇත.

මේ දෙබිඩි පිළිවෙත පැහැදිලි කළහැකිවන්නේ විශ්ලේෂණය වෙනත් ස්ථානයකින් ආරම්භ කිරීමෙනි.

ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සාම්ප්‍රදායික කතිකාවෙහි පූර්වකල්පනය කරන හේතුවාදී ඡන්දදායකයා, අපේක්ෂයකයින් විසින් ඉදිරිපත් කරනු ලබන පොරොන්දු කිරා මැන බලා අපේක්ෂකයාගේ පූර්ව හැසිරීම සහ විශ්වාසනීයත්වය සලකා බැලීමෙන් ද අනතුරුව සිය ඡන්දය ලබාදෙන්නේ කවුරුන්හටදැයි තීරණය කරන පුද්ගලයෙකි. නමුත් අපේ රටේ මෙවන් ඡන්දදායකයන් මෙතෙක් කල් නම් විද්‍යාමාන නුවූහ.

නුවර යුගයේ ප්‍රවේනි දාසයෝ

අප ක්‍රියාකරන්නේ ද තනි පුද්ගලයින් ලෙස නොවේ. අප දේශපාලන තීරණ ගන්නේ හේතුවාදී පදනමකින් නොවේ. අප කටයුතු කරන්නේ නුවර යුගයේ රජුන් යටතේ ජීවත්වූ ප්‍රවේනි දාසයන් ආකාරයෙනි. ආණ්ඩු පිළිබඳව අප කල්පනා කරන්නේ සමාජයේ අනෙකුත් උන්ට හෙණගසා යන්නට ඉඩහැර අපගේ කණ්ඩායමට මුදල් හා තෑගි බෝග බෙදාදෙන්නට පවතින්නක් ලෙසය. අප නියෝජනය කරන මහජන නියෝජිතයාට ඔහුට ඉහලින් සිටින ‘රජතුමා’ විසින් ඇමතිකම් සහ/හෝ වෙනත් තනතුරු ලබාදිය යුතුයැයි අපි බලාපොරොත්තු වෙමු. පාර්ළිමේන්තුව ඉටු කලයුතු ව්‍යවස්ථාදායක කාර්යය පිළිබඳව අප තකන්නේ සුළුවෙනි. අප කැමති මුදල් සහ සම්පත් අප කණ්ඩායමට ප්‍රධානය කීරීමේ හැකියාව ඇත්තවුනටය. විධායක ජනාධිපති ක්‍රමයට අප තුල විශේෂ කැමැත්තක් නැතිවන්නට ඉඩතිබෙන නමුත් අපේ නියෝජිතයාට/මන්ත්‍රීවරයාට කිසියම් ආකාරයක හෝ විධායක බලයක් තිබෙනු දැකීම අපේ අපේක්ෂාවය.

අප බලාපොරොත්තුවන්නේ, අපේ මන්ත්‍රීවරයා පක්ෂපාතීන්ට පරිදානයන් ලබාදෙමින් තමන්ගේ ද අනෙකුන්ගේ ද වස්තුවෙන් අපට ද කොටස් ලබාදෙන ප්‍රාදේශීය රජකු වශයෙන් ක්‍රියාකරනු දැක්මටය.   අපගේ මගුලට, අවමගුලට පැමිණ මුදල් ත්‍යාගයක් ද නොදුනහොත් මන්ත්‍රීවරයා පිළිබඳව අපට ඇතිවන්නේ අමනාපයකි. මහජන නියෝජිතයකුගේ යුතුකම් මෙවැනි දේ සමග ඝට්ටනය වන ආකාරය හෝ මෙසේ ලබාදීමට මුදල් ලැබෙන්නේ කොතැනකින්දැයි අප කොහෙත්ම කල්පනාකරන්නේ නැත.

එක පක්ෂයකින් තවත් පක්ෂයකට පනින දේශපාලනඥයින් ගැන වඩා හොඳින් වටහා ගතහැක්කේ මහනුවර යුගයේ ඉතිහාසය සමග සසඳා බැලීමෙනි. කාන්ගාර ආරච්චි වැනි ප්‍රාදේශීය නායකයින්ගේ එහා මෙහා වන පක්ෂපාතීත්වය මත සටන් තීරණය වීම එකල සිදුවිය. එක්තරා අවස්ථාවකදී පෘතුගීසීන්ගේ පැත්ත ගත් මොහු පවත්නා තත්වය සහ ලැබෙන පාරිතෝෂ වෙනස්වන ආකාරය අනුව තවත් අවස්ථාවකදී සිය සමස්ත පිරිස ද සමග පක්ෂවන්නේ මහනුවර රජුටය. 2001 වර්ෂයේදී මන්ත්‍රීවරුන් 13 දෙනෙකු පක්ෂ මාරුකිරීමත් සමගම බලය අනෙක් පැත්තට මාරුවූ අතර මේ සිද්ධිය සහ පලවෙනි විමලධර්මසූරිය රජු (1591-1604) විසින් පෘතුගීසින් උපායෙන් යටකර බලය ලබාගත් අවස්ථාව අතර ඇති වෙනස ඉතා සුළුය.

අපේ දේශපාලනඥයින් බොහෝ දෙනෙකුගේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් අතර පැහැදිලි වෙනසක් නැත. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එක් එක් අවස්ථාවලදී එක් එක් කණ්ඩායම සමග සම්බන්ධවන ‘වෘත්තීය’ මහජන නියෝජිතයෝය. නුවර යුගයේ ප්‍රාදේශීය නායකයෝ රජුන්ට හේවායන් ද පන්සල්වලට නැට්ටුවන් සහ බෙරකාරයන් ද සැපයුවේ තම ප්‍රදේශවල පාලනය වෙනුවෙන් ලැබෙන අමතර වරප්‍රසාද ලබාගැනීම පිණිසය.   එසේම, ඡන්ද මෙහෙයුම් කටයුතුවලට පිරිස සහ ඡන්ද සැපයීම වෙනුවෙන් අපේ ප්‍රාදේශීය නායකයින්ට ද වරප්‍රසාද ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථාව ලැබේ. නීතිය ඔවුන් සම්බන්ධයෙන් නම්‍යශීලීව ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් කොන්ත්‍රාත්තු වැනි දේ වලින් කොටසක් ලබාගැනීමට ඔවුන්ට ඉඩහරින බව සියළුදෙනාම අධ්‍යාහාරයෙන් දනිති.

අප ප්‍රචණ්ඩත්වය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව දක්වන දෙබිඩි පිළිවෙත මෙනයින් පැහැදිලිවේ. නූතනවාදය නමැති තුනී සිවිය ඉවත්කළ විට අපි තවමත් ශක්තිමත් නායකයින් විසින් අපේ කණ්ඩායම “බලා ගනු ඇතැයි” ප්‍රාර්ථනා කරන මහනුවර යුගයේ ප්‍රවේනි දාසයන් වෙමු. යහපාලනය පිළිබඳව ප්‍රසිද්ධියේ කෙරෙන ප්‍රකාශ සහ අපේ දේශපාලන හැසිරීම් එකිනෙක සමග නොපෑහීමට හේතුව මෙයයි.

දැනට සිදුවන ආකාරයට පුද්ගල ආධිපත්‍යය යටතේ පවතිනවාට වඩා නීතියේ ආධිපත්‍ය යටතේ පවතින්නේ නම් අපේ රට මීට වඩා හොඳ තැනක් වනු ඇති බව මගේ විශ්වාසයයි. නමුත් රටේ වැඩි දෙනෙක් පුද්ගල ආධිපත්‍යයට වැඩි කැමැත්තක් දක්වන බව පිළිගන්නට පවතින යථාර්ථය විසින් මට බලකරනු ලබයි.

මේ තත්වයෙන් මිදිය හැකි ද?

ලිඛිත නීතිය සහ එහි අභිප්‍රාය යන දෙකම උල්ලංඝනය කරන්නන් අපි දිගින් දිගටම බලයට පත්කරමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවදුරටත් අවම කරමින් බලයේ සිටින්නවුන් විසින් කරන අකටයුතුවලට අපි අපගේ ක්‍රියාවන් තුලින් සහය දෙන්නෙමු.   අප විසින්ම නිර්මාණය කරන ලද්දාවූ මේ අවනීතික නායකයන් පළවාහරින්නට අප කරන්නේ එම අකටයුතු ඊටත් වඩා නිපුණ අයුරින් කරන්නට සමත් තවත් කොටසක් ඉහත කොටසට එරෙහිව තල්ලුකිරීමය. සදාචාර ධර්ම අනුව ක්‍රියාකරන්නවුන් දේශපාලනය ක්ෂේත්‍රයට පැමිණීම අධෛර්යය කරන්නේ අපේම හැසිරීමයි.   ඕනෑම දෙයක් කර ජයගන්නට “ශක්තියක් නැති” යවුන් දේශපාලනයෙන් ඉවතට තල්ලුකර දමන්නේ ද අපේම හැසිරීමයි.

බොහෝ දෙනෙකු මෙන් නොව, අපේ ජනතාවගේ හැසිරීමේ දියුණුවීම් ක්ෂුද්‍ර මට්ටමින් සිදුවන බව මම විශ්වාස කරමි. උදාහරනයක් ලෙස, දශකයකට පෙර සිටි මට්ටමට වඩා අද ශ්‍රී ලාංකික රියදුරෝ වඩා සංයමයකින් ක්‍රියාකරති. මගේ කාලයෙන් විශාල කොටසක් මා ගතකරන ඉන්දියාවේ සහ බංගලිදේශයේ රියදුරන්ට වඩා ඔවුන්අනිවාර්යයෙන් ඉදිරියෙන් පසුවන බව කිවයුතුය.

අපේ රිය ධාවනයේ දියුණුව ඇති වූයේ ක්‍රමයෙන් සහ කුඩා ප්‍රමාණයන් වශයෙන් විනා මහා පරිමාණ නීතිය ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපාරයන් දියත්කිරීමෙන් නොවේ. වඩා හොඳින් මංතීරු ලකුණුකිරීම, මාර්ගවල සංඥා පුවරු සවිකිරීම වැනි කරුණු මෙයට හේතු විය.  විධායකය පූර්ණවශයෙන්ම පාර්ළිමේන්තුවට වගකියන තත්වයට පත්කිරීම වැනි හදිසි මහා පරිමාණ වෙනසක් කිරීම රට තවත් නරක අතට පත්කරන්නට හේතුවන්නට ඉඩ තිබේ. මන්ද, දැන් මෙන් මැතිවරණ කාලයේ පමණක් නොව වසරේ ගෙවෙන සෑම දිනයකම ප්‍රධාන විධායකයා ප්‍රාණ ඇපකාරිත්වයේ තබාගන්නට මේ හරහා ප්‍රාදේශීය නායකයින්ට ඉඩ සැලස්විය හැකි හෙයිනි.

කුඩා වෙනස්කම් රැසක එකතුවෙන් අපේ වැඩවසම් නම්‍යතාවයන් මැඩගත හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි. ප්‍රචණ්ඩත්වය මැඩපවත්වන ලෙස සහ මැතිවරණ ප්‍රතිපල නිකුත්කිරීමෙන් පසුව පරාජයවූ පක්ෂයේ ආරක්ෂාව සහතික කරන ලෙස සර්වෝදය නායක ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා විසින් අපේක්ෂක දෙපළ වෙතින්ම ඉල්ලීමක් කර තිබේ. මෙය වූ කලී ගතහැකි යහ ක්‍රියාමාර්ගයන් පිළිබඳ එක් උදාහරණයකි. නමුත්, අප ප්‍රවේනි දාස බවෙන් මිදී සත්‍ය පුරවැසියන් වශයෙන් හැසිරෙන්නේද යන්න තීරණය වන්නේ ජනවාරි 8 වැනිදා ඡන්දය පාවිච්චිකරන අවස්ථාවේදී ප්‍රචණ්ඩත්වයට සහ අවනීතියට විරුද්ධව අපගේ ඡන්දය ප්‍රකාශ කරන්නේද යන්න මතය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.