28 March, 2024

Blog

ඔබ රජෙකි – අප ඔබ හිටපු රජෙකු කරන්නේ ඒ නිසාය

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

වර්තමාන ජනාධිපතිවරයා රජෙකු ලෙස නම් කිරීම ආරම්භ කළේ මෙරට සිටින ඊනියා කලාකරුවන් විසිනි.සහේලි ගමගේ නම් ගායිකාවක් මතුව මහරාජණෙනියි ගැයුවාය. වේරලියද්ද නැමත්තාද මහ රජ මහින්දට ප්‍රශස්ති ගයා කලාව නම් මහජන බුද්ධිමය උපකරණය දූෂණය කළේය. මහජන ඡන්දයෙන් බලයට පත් වූ සාමාන්‍ය මිනිසෙකු රජකෙනෙකුට ඇන්දීම ගැන එකල සිටම විචාරශීලීහු අප්‍රසාදය පළ කළහ. ඉන් පසු ජැක්සන් ඇන්තනී වැනි අවස්ථාවාදියෝ උඩ පැන පැන කීවේ මේ නම් රජෙකු බවය. රණවිරු ස්ටාර් නම් රියැලිටි වැඩසටහනෙන් පෙනුණ ප්‍රධානම රියැලිටිය අන් කිසිවක් නොව ජනාධිපතිගේ රාජ උන්මාදයයි. ඒ වැඩසටහනේ ජැකාට පැවරී තිබුණ කොටස මහින්ද රාජපක්ෂ යනු රජෙකු යැයි නම් කිරීමයි. ජැකා එය නියමෙටම කළේය. මහින්ද යනු දුටුගැමුණුට විතරක් නොව සුද්ධෝදන රජුට පවා ඥාතිකම් ඇති කෙනෙකු යැයි ජැකා කීවේය. ඒ වෙනුවෙන් ජැකාට ලැබුණු දේවලින් ටිකක් ලංකා පුවත්පත වරක් පළ කළේය. තව දේවල් එළියට එනු ඇත.

රාජපක්ෂ පවුලම තමන් රජ පවුලක් සේ ඉදිරිපත් කරනු අසා සිටින්නට ආසා කළේය. අර රණවිරු ස්ටාර්වලදී රාජපක්ෂ බෑයන් සහ ඔවුන්ගේ ඇඹේනියන් බැලුන් සේ බුම්බන ලද ජැකාගේ වචන අසා සිටියේ තමන් කුමරකුමරියන් යැයි සලකාගෙන මන්දස්මිත පාමිනි. මේ පවුල රජ පවුලක් කරන්නට වැඩියෙන්ම වෙහෙස වූයේ කුලියට ගත් කලාකාර නඩයයි.

එහෙත් මේ කලාකාරයන් නොදැනුවත්වම කළ කාර්යේ යම් ප්‍රගතිශීලි දෙයක්ද තිබිණ. ඒ නම් අන්කිසිවක් නොව මේ බලකාමී පවුල විනාශ කරන්නට කළ හැකි හොදම දේ ඔවුන් රජුන්ට අන්දවා මුරුංගා අත්තේ යැවීම බව ඒ කුලී කලාකාරයෝ ලෝකයට පෙන්වා දුන්හ. සැබවින් මහින්ද රජුගේ අභ්‍යන්තරික ඛාදනය ඇති කළ බෝක්කු කටා වූයේ ජැකාය.

විධායක ජනාධිපති ව්‍යවස්ථා යටතේ ජනාධිපති ධුරයට පත් වන එතරම් විචාර බුද්ධියක් නැති කෙනෙකුට අත්විය හැකි ඉරණම අර අවස්ථාවාදීන් ඔසවා තබන මුරුංගා අත්තේ කැමැත්තෙන්ම නැග යාමයි. මුරුංගා යනු කඩා වැටෙන අත්තක් බව රජතුමාට දැන් පසක් වී ඇති සෙයක් පෙනේ.

Mahindaමෛත්‍රීපාල සිරිසේන මහතාත් යුද්ධය ආසන්න වූ දවස්වල තම ජනාධිපතිවරයා රජෙකු යැයි නම් කරන කතාවක් රාජපක්ෂ රජ්ජුරුවන්ගේ වන්දිභට්ට කණ්ඩායම විසින් ඡන්ද ගැරීම පිණිස භාවිත කරනු ලැබේ.

ඒ දැන්වීම සම්බන්ධයෙන් විවිධ කතාබහ ඇති විය. සමහරුන් දැක්කේ එය මෛත්‍රී අතින් සිදුවූ අවාසනාවන්ත වරදක් හැටියටයි. මේ රචනයේදී මා කරන්නේ ඒ කතා බහ ඇසුරින් මතු වූ අදහස් කීපයක්ද ඒ කාරණය ගැන මා සිතන ආකාරයද සටහන් කිරීමයි.

ඒ දැන්වීමෙන් ආණ්ඩුව අපේක්ෂා කළේ ගැමි ජනතාවගේ ඡන්දය දිනාගැනීමට නම් ඒ වැඩේ අවුල් විය. බොහෝ දෙනා එය අර්ථකථනය කළේ මෙසේය.

“අර බලන්නකො ඉස්සර ජනාධිපතිතුමාට රජකෙනෙකුට වගේ සලකපු පක්ෂපාතී කෙනෙක්නෙ ඔය මෛත්‍රී මහත්තයා. රජ පවුලෙ මොනව හරි වැරදි ඇති. නැත්නං එහෙම පක්ෂපාතී කෙනෙකුත් යයිද? ජනාධිපතිවරයාට එතරම් ගරු කළ කෙනෙක් අනික් පැත්තට ගිහිල්ල හිටන් ජනාධිපතිට විරුද්ධවම ඡන්දෙ ඉල්ලන්න ජනාධිපති ගැන ඔය චම්පික මහත්තේල අනුර මහත්තේලා කියන එව්ව හරි වෙන්ඩ ඕනෙ.”

සමහරු ඒ ප්‍රකාශය දැක්කේ මෛත්‍රීගේ අවංකකම ලෙසටයි. සමහරු එය තවත් විදියකට දැක්කේය. ඔවුන්ට අනුව මෛත්‍රී යනු රාජපක්ෂගේ රාජ උන්මාදය කලින්ම දැක ඒ උන්මාදයම පාචිච්චි කොට රජපක්ෂගේ ඒකාධිපති වියරුව විනාශ කිරීමට තැත් කළ කෙනෙකි. අනිත් අය අනුගමනය කරමින් ඔහුද එය කියන්නේ ඒ රාජපක්ෂ අසන්නට කැමති දෙය එය නිසාය. රාජපක්ෂ රජුට ඇදගෙන මුරුංගා අත්තේ උඩටම ගොස් සිටින විට මෛත්‍රී එළිය ඇවිත් -හූ රැවටුණා- යැයි කියන්නේ ඒ නිසාය. ඒ තර්කය නිවැරදි නම් මෛත්‍රී යනු ශූර දේශපාලකයෙකි.

මහින්ද රාජපක්ෂ රජෙකු ලෙස ප්‍රතිරූප ගැන්වීම පවතින විධායක ජනාධිපති ක්‍රමයේද අර්බුදය කියාපාන බව හෙමින්සැරේ බලන විට පෙනේ. එවැනි රාජ පිස්සුවක් ඇති රාජපක්ෂ කෙනෙකුට තමන්ගේ සියලු මනස්ගාත ක්‍රියාවට දැමීමට මේ ව්‍යවස්ථාව ඉඩ දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාවක් තුළින් එවැනි රාජ පිස්සුවක් හැදෙන්නේ නම් එය රාජපක්ෂ යන නම දරණ විශේෂයෙන් පිස්සු පවුලක ප්‍රශ්නයක් නොවේ. එය කාටත් වැළදෙන්නට ඉඩ ඇති පිස්සුවකි.

රටට වැදගත් වන දේවල් ගැන කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ විවාද කර පොදු තීරණයකට ඒම ප්‍රජාතන්ත්‍රවාදයේදී සිදුවේ. රජ කෙනෙකු සිටින විට සිදුවන්නේ ඔහුගේ තනි මතය අනුව සියල්ල කිරීමයි. දැන් සිදුවන්නේ එයයි. වර්තමාන ජනාධිපතිවරයා ජාතික අයවැයෙන් අතිබහුතරයක් පාලනය කරන්නේ රාජ භාණ්ඩාගාරයක් පාලනය කරන්නාක් මෙනි. මහ බැංකුවේ අධිපති ලෙස දේශපාලන හෙංචය්යෙකු තෝරාගෙන සිටින්නේද පැරණි රජවරුන් කළ පරිද්දෙනි. ජැක්සන් ඇන්තනී සහ විමල් වීරවංශ වැනි වන්දිභට්ට අන්දරේලා තබාගෙන සිටින්නේ රජකෙනෙකු මෙනි.

රටේ ප්‍රධානම මැතිවරණ තමන්ගේ නැකැත් වෙලාවට සහ ග්‍රහචාරයට අනුව පවත්වන්නේද වර්තමානය නොගැලපෙන වැඩවසම් රජවරුන්ගේ සිරිත් සිහි කරමිනි. බහුතර ජනතාවට සුදුසු වෙලාව වෙනුවට රජ්ජුරුවන්ට සුදුසු වෙලාට තේරීම ප්‍රජාතන්ත්‍රවාදය හා නොගැලපේ.

මෙවැනි රාජ මානසිකත්වයක් ජනිත වන්නට සහ පවත්වාගෙන යන්නට මෙම ව්‍යවස්ථාව සහ ආණ්ඩු ක්‍රමය ඉඩ දෙන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපේ. ඒ නිසා එය වෙනස් කළ යුතුය. මේ ව්‍යවස්ථාව යටතේ තමන් රජෙකු යැයි සිතාගත් ජනාධිපති කෙනෙකුගේ සිත් දිනාගෙන ජනතාවට සේවය කිරීමට නම් ඇමැති කෙනෙකුට පවා සිදුවන්නේ ජනාධිපතිට රජෙකුට සේ සැලකීමයි.

මීට කලින් සිටි අන් කිසිම ජනාධිපතිවරයෙකුට වඩා මහින්ද මහත්තයාගේ ඇති වෙනස නම් මේ ව්‍යවස්ථාව මගින් ජනිත කළ හැකි බොහෝ විකාර අපට දැක ගන්නට සැලැස්වීමයි. ඔහු ඒවා නියමෙට පෙන්වා දෙයි. ඡන්දෙන් පත්වූ සාමාන්‍ය පවුලක මිනිසෙකු තමා රජෙකු යැයි සිතන්නට පටන්ගත් විට සිදුවන විකාර වැඩ ඔහු කාටත් පෙනෙන්නට සලස්වයි. ඊටම හරියන පුත්තුද ඔහුට සිටිති. තමන් කුමාරයන් යැයි සිතාගත් විට සිදුවිය හැකි දේ ඔවුහු ලැජ්ජා නැතිව පෙන්නා දෙති. එංගලන්තයෙන් අශ්වයන් අවශ්‍ය වන කුමාරයන් බිහිවීම ව්‍යවස්ථාවේ වරදක් නොවන බව ඇත්තය. එය එක්තරා නූගත්කමක පලයකි. ජනාධිපති පුතුන්ගේ අත්තනෝමතික වැඩවලටත් කෑදරකමටත් එක්හේතුවක් වන්නේ ඔවුන්ගේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් බව මහාචාර්ය රජීව විජේසිංහ මහතා දෙසැම්බබර් 19 වැනිදා කලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවියට ලියා තිබිණ. එහෙත් ඒ කුමාරයන්ගේ පිස්සු වැඩවලට අවශ්‍ය ධනය සපයා දෙන්නට පියරජුට හැකිවන්නේ විධායක ජනාධිපති ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබෙන රැකවරණය නිසාය.

“මට රජෙක් කියා කියන්න එපා. මම මහජන ඡන්දෙන් පත් වූ ජනාධිපති කෙනෙක්” යැයි මහින්ද රාජපක්ෂ කාටවත් කියා නැත. ඔහු ජනවාරි 8 වැනිදාට කඩා වැටෙනතෙක්ම රාජවස්ත්‍රෙයන් සැරසී මුරුංගා අත්තේ නැග ඇත. ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය යට කී දැන්වීම අවසන් කරන්නේ “ඔයත් කියනව මං රජෙක් තමයි” යනුවෙන් මෛත්‍රීට කෝචොක් කරමිනි. තමන් රජෙකු යැයි ඔහු ඇත්තටම සිතන බව ඒ දැන්වීමෙන් පෙනෙයි. නැත්නම් මුදලුත් ගෙවා එවැනි පිස්සු අදහසක් ප්‍රචාරය කරන්නේ නැත. එනම් ඔහු තුන්වනවර ඡන්දය ඉල්ලන්නේ නියමෙටම රජෙකු වන්නටය. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී අපේක්ෂාවකි.

ඒ නිසා ජනතාව කළ යුත්තේ ඔහු හිටපු රජෙකු බවට පත් කර ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන පන්නයේ නව නායකයෙකු පත් කර ගැනීමය.

ඉදිරිය පුවත්පත ජනවාරි 4

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.