24 September, 2020

Blog

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක සන්දර්භය තුළ මැතිවරණ ප‍්‍රතිසංස්කරණ

රොහාන් සමරජීව

මහාචාර්ය රොහාන් සමරජීව

මහාචාර්ය රොහාන් සමරජීව

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වීමත් සමග, 1978 ව්‍යවස්ථාවට 19 වතාවක්ම විවිධ සංශෝධන අමුණමින් මෙතෙක් කරන ලද අභ්‍යාසයට වෙනස්ව, මුළුමණින් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමට තීරණය කොට තිබේ. 1990 ගණන්වලින් පටන් ගෙන, 20 වැනි සංශෝධනය ගෙන ඒමට ගත් අසාර්ථක උත්සාහය දක්වා වර්ධනය වී පැමිණි මැතිවරණ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තුළ මෙතෙක් නිරත වූවන් දැන් අඩියක් පස්සට ගෙන, නව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක පුළුල් පසුබිම යටතේ නැවත සිය ප‍්‍රයත්නයන් අළුතෙන් ස්ථානගත කළ යුතුව තිබේ. සම්මත කර ගැනීමට යෝජිත නව ව්‍යවස්ථාව තුළ, විධායක ජනාධිපති ධුරය නැති බව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ වන විට රටට දන්වා ඇත. එබැවින් මැතිවරණ ප‍්‍රතිසංස්කරණ විකල්ප ගැන අළුතින් සිතා බැලීමක් අවශ්‍ය කෙරේ

1978 ව්‍යවස්ථාව යටතේ හඳුන්වාදෙන ලද සමානුපාතික නියෝජන ක‍්‍රමය, ජනතා අභිමතය නිවැරදිව නිරූපණය කෙරෙන ක‍්‍රමයක් වශයෙන් ගත් විට, ඊට කලින් පැවති ආසන ඡුන්ද ක‍්‍රමයට වඩා බෙහෙවින් විශිෂ්ඨ ය. මෑතකදී ආසන ඡුන්ද ක‍්‍රමය යටතේ පවත්වන ලද බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයේදී අත්වූ වර්ගයේ ප‍්‍රතිඵලයක්, සමානුපාතික ඡන්ද ක‍්‍රමයක් යටතේ ඇති වීමට ඉඩක් නැත. මේ කියන මැතිවරණයේදී 38 ලක්ෂයක් ඡන්ද ලබා ගත් එක් පක්ෂයක් එක ආසනයක් පමණක් ලබා ගන්නා විට, 15 ලක්ෂයක ඡන්ද ප‍්‍රමාණයක් ලබා සිටි තවත් පක්ෂයකට ආසන 56 ක් ලැබුණේය. 20 වැනි සංශෝධනය ගෙන ඒමට ගත් උත්සාහයේදී බලාපොරොත්තු වුණේ, සමානුපාතික ඡන්ද ක‍්‍රමය අහෝසි කිරීමට නොව, 1988 දී හඳුන්වා දෙන ලද මනාප ඡන්ද ක‍්‍රමය නිසා ඇති වූ ප‍්‍රශ්න විසඳා ගැනීමටයි. එහෙත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව යටතේ, සමානුපාතික ඡන්ද ක‍්‍රමයේ මූලික ලක්ෂණ ගැන නැවත සිතා බැලීම වටී.

ප‍්‍රබල ජනාධිපති ක‍්‍රමයක් නැති සමානුපාතික ඡන්ද ක‍්‍රමයක්

සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ පක්ෂ බෝ වීමට අවකාශ ලැබේ. ඒ මගින් සභාග ආණ්ඩු බිහි වීමට වැඩි ප‍්‍රවනතාවක් පවතී. නිදහස ලැබීමේ සිට 1978 දක්වා මුස්ලිම් පක්ෂ යනුවෙන් වර්ගයක් නොතිබුණි. එතෙක් පැවති ප‍්‍රධාන පක්ෂ දෙකට අමතරව ඒ දක්වා අපට තිබුණේ, උතුරු සහ නැගෙනහිර පළාතේ සංකේන්ද්‍රණයව සිටි දෙමළ ජනතාව නියෝජනය කිරීම සඳහා පෙනී සිටි පක්ෂත්, තෙත් කළාපයේ සංකේන්ද්‍රණයව සිටි දෘෂ්ටිවාදීමය සුළුතර පිරිස් නියෝජනය වෙනුවෙන් සිටි තවත් පක්ෂ කිහිපයකුත් ය.

ඒ අතර, ප‍්‍රධාන පක්ෂ තුළ සෑහෙන සුළුතර නියෝජනයක් තිබුණි. ඔවුන්ගේ අපේක්ෂකයන් වශයෙන් විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන් ඉදිරිපත් කෙරුණි. එසේ තිබියදී, සමානුපාතික නියෝජනය යටතේ මුස්ලිම් ප‍්‍රජාව වැනි භූගෝලීය වශයෙන් විසිරී සිටි ජනතාවට ප‍්‍රධාන පක්ෂ හරහා නියෝජනයක් ඉල්ලා සිටීමට පෙළඹවීමක් ලැබුණු අතර නිතරග ගිවිසුම් සහ සන්ධාන සඳහා අවස්ථාවක්ද විවර වුණි. මන්ත‍්‍ර‍්‍රීවරුන් තෝරා ගැනුණේ සමානුපාතික ඡන්ද ක‍්‍රමය හරහා නිසා, විශේෂයෙන් එසේ තෝරා ගැනීමේ අවම යෝග්‍යතා මට්ටම සියයට 5 ක ඡන්ද ප‍්‍රතිශතයක් දක්වා පහළ දැමීම නිසා, අළුත් පක්ෂ බෝ වීම වැඩි විය. වාර්ගික මෙන්ම දෘෂ්ටිවාදීමය සුළුතරයන්ට ප‍්‍රධාන පක්ෂ ඔස්සේ දේශපාලනය කිරීමට, සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ සැපයෙන තල්ලූව අල්පයි. ඔවුන් වැඩිමනත් පෙළඹෙන්නේ, තමන්ගේම වන කුඩා පක්ෂ බිහි කර ගැනීමටයි. එසේ පිහිටුවා ගන්නා පක්ෂ හරහා ඊළඟට, මැතිවරණයට කලින් හෝ පසුව සන්ධානයන්ට එළැඹීම සඳහා වන කොන්දේසි සාකච්ඡුා කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.

1989-2000 අතර කාලයේදී සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේ පැවැත්වුණු මැතිවරණයකින් යම් පක්ෂයකට/සන්ධානයකට බහුතරයක් සහිත ජයග‍්‍රහණයක් අත්කර ගත හැකිව තිබෙන්නේ අවස්ථා දෙකකදී පමණි. අනිත් සෑම අවස්ථාවකදීම, මැතිවරණයෙන් පසුව වෙනත් කණ්ඩායම් මූට්ටු කර ගත් පාලක සන්ධානයක් අටවා ගැනීමට සිදුව තිබේ. මේ සන්ධාන පාර්ශ්වකරුවන්ට සරුසාර අමාත්‍යාංශ පිරිනැමීමාදියේ සිට විවිධ වරදාන ප‍්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට/අගමැතිවරයාට සිදුව තිබේ.

සරත් නන්ද සිල්වාගේ අධිකරණ තීන්දුව ඔස්සේ, පක්ෂ මාරු කරන මන්ත‍්‍රීවරුන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සැලසීමත් සමග, පක්ෂ සාමාජිකයන් කෙරෙහි එතෙක් පක්ෂ නායකත්වය සතුව තිබූ බලය අඩපන විය. වෙනම ඡන්දයකින් පත්කර ගන්නා විධායක ජනාධිපතිවරයෙකු නැති ක‍්‍රමයක් තුළ, සන්ධානගතව සිටින පාර්ශ්වකාර පක්ෂවලට සහ පක්ෂ තුළ සිටින කල්ලිවලට තවත් හයියක් සැපයෙනු ඇත.

පලාත් පාලන ආයතන තුළ මේ ප‍්‍රශ්නය මනාව පෙන්නුම් කෙරේ. පලාත් පාලන නීති මෑතකදී සංශෝධනය කිරීමෙන් පසු ඇතැම් පලාත් පාලන ආයතන පාලනය කරගත නොහැකි තත්වයක් ඇති වී තිබේ. වගුරු බිම් ගොඩ කිරීම වැනි නීති විරෝධී ක‍්‍රියාවක යෙදෙන යම් පලාත් පාලන මන්තී‍්‍රවරයෙකුට එරෙහිව නගරාධිපතිවරයෙකු හෝ සභාපතිවරයෙකු පියවර ගත් විට සාමාජික මන්ත‍්‍රීවරුන් කරන්නේ කල්ලි ගැසී එම පළාත් ආයතනයේ අයවැය පරාජය කිරීමයි. ආණ්ඩුකරණය හැසිරවීමේ බලය කුඩා කණ්ඩායම් හෝ කල්ලිවලට ලබා දීම සාර්ථක පාලනයකට උචිත නොවේ. එයින් සිදුවන්නේ දූෂණය ඔඩු දිවීමයි.

ඉහළ අනුපාතික යෝග්‍යතා ඡන්ද ප‍්‍රතිශයක් සමග සමානුපාතික ඡන්ද ක‍්‍රමය ඈඳීම

සමානුපාතික ඡන්ද ක‍්‍රම පවතින බොහෝ තැන්වල මේ ප‍්‍රශ්නය විසඳාගෙන ඇත්තේ, තේරී පත්වීමේ අවම යෝග්‍යතා ඡන්ද ප‍්‍රතිශතය ඉහළ දැමීමෙනි. 1978 ව්‍යවස්ථාව යටතේ යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් තේරී පත්වීමට නම්, අඩුම වශයෙන් සියයට 12.5 ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලැබිය යුතු විය. එහි අදහස වන්නේ, යම් දිස්ත‍්‍රික්කයකින් සියයට 12.5 ක ඡන්ද ප‍්‍රතිශතයක් නොගන්නා පක්ෂයක හෝ කණ්ඩායමක එක පුද්ගලයෙකුවත් මන්ත‍්‍රීවරයෙකු වශයෙන් තෝරා නොගැනෙන බවයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අනිත් අතට, ඉහත කී 12.5 සීමාව ඉක්මවන සෑම පක්ෂයකටම, තමන් ලබා ගත් මුළු ඡන්ද ප‍්‍රමාණය ඉක්මවන වැඩි මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් ලැබෙන්නේය.

මෙය ‘අසාධාරණයක්’ සේ කුඩා පක්ෂවලට පෙනී යා හැකි වෙතත්, කලින් පැවති ආසන ඡන්ද ක‍්‍රමයට වඩා මේ තත්වය පවා යහපත් බව වටහා ගත යුතුය. ආසන ක‍්‍රමය යටතේ සිදුවුණේ, ජයග‍්‍රාහී මන්ත‍්‍රීවරයා ලබා ගන්නා ඡන්ද ප‍්‍රමාණය හැරුණු කොට අනිත් සෑම ඡන්දයක්ම අපතේ යෑමයි. තේරී පත්වීමට අවශ්‍ය කරන අවම ඡන්ද ප‍්‍රතිශතය ඉහළ මට්ටමක් දරණ සමානුපාතික ඡන්ද ක‍්‍රමයකදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂවලට දැන් තරම් මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් ලබා ගත නොහැකි වීමේ ඉඩක් ඇති බව සැබෑව. එහෙත් තේරී පත්වීමට අවශ්‍ය කරන අවම යෝග්‍යතා ඡන්ද ප‍්‍රතිශතය ඉහළ අගයක් සහිත ඡුන්ද ක‍්‍රමයකදී, වාර්ගික/දෘෂ්ටිවාදී සුළුතරයන්ට සේම ප‍්‍රධාන පක්ෂවලටද වෙනස් ආකාරයකින් කටයුතු කිරීමට සිද්ධ වන බවත් අමතක නොකළ යුතුය. වාර්ගික/දෘෂ්ටිවාදී සුළුතර පක්ෂවලට එහිදී ප‍්‍රධාන පක්ෂ සමග සමෝධානය වීමට බල කෙරෙන අතර ජාතික මට්ටමේ මහ පක්ෂවලට ඉහත කී සුළුතර පක්ෂ තමන්ගේ ‘මහ කූඩාරම්’ යටතට ආකර්ශනය කර ගැනීමටත් බල කෙරේ.

එවැනි ඉහල ප‍්‍රතිශතයක යෝග්‍යතා අවමයක් පවත්වා ගැනීම මගින් විසඳා ගත හැක්කේ පාලනය හසුරුවා ගැනීමේ සහ දූෂණයේ ව්‍යුහාත්මක පෙළැඹවීම් අවම කර ගැනීමේ ප‍්‍රශ්නය පමණක් නොව, ඒ මගින්, වාර්ගික සහ පටු දෘෂ්ටිවාදීමය පක්ෂ අනන්‍යතා අතික‍්‍රමණය කෙරෙන ජාතික මට්ටමේ පක්ෂ බිහි වීමටත් තල්ලූවක් ලැබේ. පොදු පදනමක් සකසා ගැනීමේ අවශ්‍යතාව ඔස්සේ, අද අපට බෙහෙවින් අවශ්‍ය කරන දේශපාලන පක්ෂවල අභ්‍යන්තරික ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයටත් එය සේවයක් විය හැකිය.

කෙසේ වෙතත්, මේ අවම යෝග්‍යතා ප‍්‍රතිශතය වැඩි කර ගැනීමට දැන් ඇති ඉඩකඩ අවමයි. තමන්ට අනර්ථයක් විය හැකි එවැනි වෙනසකට, පහළ යෝග්‍යතා ප‍්‍රතිශතයක් සහිත ඡන්ද ක‍්‍රමයක් තුළින් සෘජු ප‍්‍රතිලාභ ලැබූ පක්ෂ විරෝධය දක්වනු ඇත.

දෙමුහුන් විසඳුමක්

ජනාධිපතිවරයාගේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේත් ප‍්‍රකාශනවලින් ඉදිරිපත් කොට ඇත්තේ දෙමුහුන් විසඳුමකි. ඒ අනුව, ජර්මනිය, ජපානය, නවසීලන්තය සහ තායිවානය වැනි රටවල අත්දැකීම් දෙස බැලිය යුතුව තිබේ. එහෙත්, දේශපාලනික සංස්කෘතිය අතින් ගත් විට එම රටවල තත්වයන් අපට වඩා වෙනස් ය. එවැනි රටක සාර්ථක වන ක‍්‍රමයක් අපේ රටේ සාර්ථක වෙතැයි අනිවාර්යයෙන් කිව හැකි නොවේ.

මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක් ඉල්ලා සිටීමට ප‍්‍රධාන හේතුව වන්නේ,  දූෂණයට ඉඩ සලසන ව්‍යුවහාත්මක සාධක ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවයි. උදාහරණයක් වශයෙන්, විශාල ප‍්‍රදේශයක ඡන්ද ව්‍යාපාරයක් දැරීමට සිදුවීම අවම කිරීමේ උවමනාව සහ ඡන්ද පෙත්සම් ක‍්‍රමය සහ අතුරු මැතිවරණ ක‍්‍රමය නැවත හඳුන්වා දීමේ අවශ්‍යතාව දැක්විය හැක. මුදලට පක්ෂ මාරු කිරීමේ ප‍්‍රශ්නයට, අතුරු මැතිවරණ ක‍්‍රමය නැවත හඳුන්වා දීම විසඳුමක් විය හැකිය. මන්ත‍්‍රීවරුන්ට තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඡන්දය පාවිච්චි කළ හැකි වන අතරේම, පක්ෂ නායකයන්ගේ රූකඩ බවට පත්වීමෙන්ද මිදිය හැකිය. බංග්ලා දේශයේ මෙන් පක්ෂ මාරු කිරීම මුළුමණින් තහනම් කළොත් සිදුවන්නේ පක්ෂ නායකයන්ගේ අතේ නැටවෙන රූකඩ බවට මන්ත‍්‍රීවරුන් පත්වීමයි. දෙමුහුන් මැතිවරණ ක‍්‍රමයක් යටතේ, මන්ත‍්‍රීවරුන් සෑහෙන සංඛ්‍යාවක් පත්කර ගැනෙන්නේ ආසන මට්ටමේ සෘජු ඡන්දයෙනි. එවැනි මන්ත‍්‍රීවරයෙකු පක්ෂයක් මාරු කරන්නේ නම්, ඔහුට හෝ ඇයට තමන්ගේ තීන්දුව, නැවත වරක් අතුරු මැතිවරණයකට ගොස් සිය ආසනයේ ඡන්දදායකයාව විමසීමෙන් පසක් කොට බැලිය හැකිය. එහෙත් මේ දෙමුහුන් ඡන්ද ක‍්‍රමය යටතේ, කෙලින්ම ආසනයකින් පත් නොවන මන්ත‍්‍රීන් සංඛ්‍යාවක්ද සිටින හෙයින් ඔවුන් පක්ෂ මාරු කළොත් අතුරු මැතිවරණ පැවැත්විය නොහේ. ඔවුන්ට පක්ෂ මාරුකිරීම තහනම් කිරීම හැර විකල්පයක් නැත.

එහෙත් මේ දෙපිරිස අතර ඇති සංඛ්‍යාත්මක අනුපාතය කළමණාකරනය කර ගැනීමෙන් යම් විසඳුමක් සලසා ගත හැකිය. 2015 මුල් භාගයේ මේ සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවලදී අපට වැටහී ගිය කාරණයක් වන්නේ, ආසන මට්ටමින් වැඩි මන්ත‍්‍රී සංඛ්‍යාවක් පත්කර ගැනීම තුළින් බහුතර ආණ්ඩු පවත්වාගෙන යාමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. උදාහරණයක් වශයෙන්, ආසන මට්ටමින් මන්ත‍්‍රීවරුන් 125 ක්ද, යම් ආකාරයක සමානුපාතික නියෝජනයක් මත තෝරා ගැනෙන මන්ත‍්‍රීවරුන් 100 ක්ද වශයෙනි. එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ පැහැදිළිවම දක්වා ඇති පරිදි වර්තමාන මන්ත‍්‍රීන් සංඛ්‍යාව වන 225 ඊට වඩා අඩු කර ගැනීම හෝ ඒ මට්ටමේම පවත්වා ගැනීම තුළ, ශ‍්‍රී ලංකාවටම සුවිශේෂී විසඳුමක් සකසා ගත හැකි වනු ඇත.

මුලින් ප‍්‍රශ්නය තිබුණේ, වර්තමානයේදී මෙන්, බොහෝ කොට සුළුතර ආණ්ඩු ඇති වීමට සමාන තත්වයක් පවත්වා ගැනීමයි. එහෙත් අවශ්‍ය කරන්නේ බහුතර ආණ්ඩු ඇති කරගන්නා ක‍්‍රමයක් නම්, දෙමුහුන් ක‍්‍රමයක් තුළත්, වර්තමාන මන්ත‍්‍රී සංඛ්‍යාව නොඉක්මවමින්, ආසන මට්ටමෙන් පත්කර ගන්නා සාධාරණ මන්ත‍්‍රී සංඛ්‍යාවක් සහිත ක‍්‍රමයක් ස්ථාපිත කර ගත හැකිය. එවැනි ක‍්‍රමයක් තුළට, දේශපාලනික පක්ෂවලින් නිර්දේශ කෙරෙන අතිරේක මන්ත‍්‍රීන් සංඛ්‍යාවක්ද උකහා ගත හැකිය. එහිදී කාන්තා නියෝජනය ගැනත් සළකා බැලිය හැකි වන අතර, පවත්වන ලද මැතිවරණයේදී ඉහළ ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් මුත් පළමු තැනට පැමිණිය නොහැකි වීම නිසා ආසනයක් අහිමි වූ තැනැත්තන්ද නම් කිරීමේ හැකියාව පක්ෂයකට ලැබේ.

භූගෝලීය වශයෙන් විසිරී සිටින වාර්ගික ප‍්‍රජාවන් වෙතින් මතු වන ප‍්‍රශ්න, සීමා නිර්ණය කොමිසමක් මගින් විටින් විට ප‍්‍රතිශෝධනය කළ හැකි, ප‍්‍රඥාවන්ත බහු-ආසන ක‍්‍රමයක් ස්ථාපිත කිරීමෙන් විසඳා ගත හැකිය. සිංගප්පූරුව මෙවැනි බහු-ආසන ක‍්‍රමයක් පාවිච්චියට ගනී. අපටත් ඒ ගැන සෑහෙන අතීත අත්දැකීම් තිබේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සන්දර්භයක් තුළ, අප කළ යුත්තේ අපේ පරිසරයට වෙනස් දේශපාලනික පරිසර සහිත රටවලින් අළුත් ක‍්‍රම ආනයනය කිරීම නොව, අපේ දේශපාලනික යථාර්ථය තුළ ස්ථාපිත කළ හැකි මැතිවරණ ක‍්‍රමයක් සකසා ගැනීමයි. එවැනි විසඳුමක මූලිකාංග, දිනේෂ් ගුණවර්ධන තේරීම් කමිටු වාර්තාවෙන් සොයා ගත හැකිය.

*2015 දෙසැම්බර් 03 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Electoral Reforms in the Context of a New Constitution” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.