26 April, 2024

Blog

නැත්ත ඇත්ත කිරීම

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

සමහරු නොදන්නා දේ කරති. තවත් සමහරු දන්නා බව පෙන්වීමට ද යම් යම් දේ කරති. නුවණැත්තෝ තමන් දන්නා දේ පමණක් ම කරති. ගමේ කැලෑ පත්තර කාරයින්ට කීයක් හෝ අතමිට මෙලවීමෙන් උවමනා ආකාරයට කවි පන්තියක් ලියාගත හැකිය. එමගින් කාට හෝ උපහාස කරවීමට ද පුළුවන. එක පේළියකට ගමන් කරන සරඹ කණ්ඩායමක එක් අයෙක් නොන්ඩි ගැසුවොත් හෝ වැරදියට පාද හැසිරවූවොත් එය බලා සිටින අයට එක විටම පැහැදිලි ලෙසින් පෙනේ. නොන්ඩි ගසන්නාට සමහර විට තමන්ගේ ඇදය අවබෝධ වන්නට ටික වේලාවක් ගතවේ. සුදු බැටළු ගාලක කළු බැටළුවන් කීප දෙනෙක් සිටියොත්, පළමුව පෙනෙන්නේ කළු එවුන්මය. මෙය සාමාන්‍ය දෙයකි. එනිසා කිසියම් පුද්ගලයෙකුගේ අසාමාන්‍ය ක්‍රියාකාරකමක් වෙතොත් එයට එල්ල විය හැකි විවේචන හා මතවාද ගැනද බලාපොරොත්තු විය යුතුය.

ජනාධිපතිවරයා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන හා පරික්ෂණ කිරීම සඳහා ත්‍රි පුද්ගල කොමිසමක් පත්කරන ලද්දේ 2015 ජනවාරි 27 දින දරණ ගැසට් නිවේදනය මඟින්ය. විමර්ශනයට භාජනය විය යුතු කාරණා ඉතා පැහැදිලි ලෙසින් එම නිවේදනයේ සඳහන්ව ඇත. කොමිසන් සභාව විසින් විමර්ශනය කොට වාර්තා කළ යුතු දේ අධිකාරී පත්‍රය යටතේ එම නිවේදනයේ පෙන්වා ඇත. තවද එම පත් කිරීම සිදු කෙරෙන්නේ කවර නීති ප්‍ර​තිපාදනයක් යටතේද යන්න එහි දක්වා ඇත. එම ගැසට් නිවේදනයේ සඳහන්ව ඇති කාරණා සම්බන්ධයෙන් ස්වකීය නිර්දේශයන් කොමිසම විසින් ඉදිරිපත් කරනු ඇත.

තවද මෙම කොමිසම පත් කිරීමට හේතු වූ වෙනත් කාරණාද සැලකිල්ලට ගත යුතුය. අගමැතිවරයා 2015 පෙබරවාරි 27 වනදාම පත්කල ත්‍රි පුද්ගල නීතිඥ කොමිටිය, විවිධ පාර්ශව හා දේශපාලන පක්ෂ විසින් අල්ලස් හා දූෂණ කොමිසමට කරන ලද පැමිණිලි, පුද්ගලයින් කීප දෙනෙක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම, මන්ත්‍රීවරු 90 කගේ පමණ අත්සන් සහිතව කථානායක වරයාට භාරදෙන ලද විශ්වාස භංග යෝජනාව, කථානායකවරයා විසින් නිවේදනය කර පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ පරික්ෂණ කමිටුව (පළමු කෝප් කොමිටිය), සහ මහ මැතිවරණයෙන් පසුව රැුස් වූ නව පාර්ලිමේන්තුව විසින් පත්කළ දෙවන කෝප් කොමිටිය යනාදී සියලුම පරික්ෂණ හා විමර්ශන කටයුතු ප්‍රතිඵලයක් නොමැතිවම නිමාවට පත්විය. 2016 ඔක්තෝම්බර් මාසයේදී දෙවන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත විය. ඒ පිළිබඳව මුළු රටම බලාපොරොත්තුවෙන් සිටි පාර්ලිමේන්තු විවාදය 2017 ජනවාරි මාසයේදී පැවැත්විනි. එම විවාදය පවත්වන අවස්ථාව වන විට අගමැතිවරයා විසින් කෝප් වාර්තාව නීතිපති වෙතට යොමුකර තිබුණ බවද වාර්තා විය. එහෙත් මේ සියලුම පියවර හා ක්‍රියාමාර්ග මහා වංචාවක් හැටියට ජනතාව අතර ප්‍රචලිතව පැවති මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් අවසාන විනිශ්චයක් නොමැතිව නිම විය.

ජනාධිපතිවරයා 2017 ජනවාරි මස 27 වන දින විශේෂ ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කළ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාව පත්කරන ලද්දේ මෙම වාතාවරණය තුළය. එය මුළු රටේම ජනතාවගේ මහත් ප්‍රසාදයට භාජනය වූ සාධනීය පියවරක් ලෙස පිළිගැනිණ.

විමර්ශනය කළ යුත්තේ කුමන කාරණාවක් ද? එම කාරණය විමර්ශනයකට යොමු කිරීමට හේතු වූයේ මක් නිසාද? විමර්ශනයෙන් පසුව කොමිසන් සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කළ යුත්තේ කවර කාරණා සම්බන්ධයෙන් ද? යන විස්තර ඉතා පැහැදිලි ලෙස එම ගැසට් නිවේදනයේ ඇතුලත් විය.

එමෙන්ම එම කොමිසන් සභාවේ කොමසාරිස්වරුන් ලෙසට නම් කළ විනිසුරුවරුන් ඇතුළු කොමිසන් සභාව සම්බන්ධයෙන් කිසිම ආකාරයක අයහපත් විවාදයක් හෝ විවේචනයක්ද අද වනතුරුත් ඉදිරිපත් නොවීය. ප්‍රසිද්ධ විභාගය කොමිසන් සභා නෛතික ප්‍රතිපාදන යටතේ ආරම්භ විය.

මුලදී හෙළිදරව් නොවුවද කිසියම් පිරිසක් හෝ කණ්ඩායමක් එබඳු විමර්ශන හා පරික්ෂණ කොමිසන් සභාවක් පත් කිරීම පිළිබඳ අප්‍රසාදයකින් සිටි බව මෑතකදී සිදු කෙරුන ඇතැම් අයගේ ප්‍රකාශ තුළින් දැන් පැහැදිලි වී ඇත. කොමිසන් සභාවකින් තබා වෙනත් කිසිම ආකාරයකින්වත් මහ බැංකු බැඳුම්කර මගඩිය පිළිබඳව පරික්ෂා කිරීමකට අකමැත්තෙන් සිටියේ කවුද යන්න රහසක් නොවේ. පරික්ෂණ යට ගැසීම, එල්ල වූ විවේචන හා හෙළිදරව් කිරීම් නොතකා දිගටම කටයුතු කරගෙන යාම, සාධාරණ විනය ක‍්‍රි යාමාර්ග නොගෙන සිටීම, පරික්ෂණ කටයුතුවල අවධානය අදාල නොවන පරිබාහිර කරුණු වෙත යොමු කරමින් ප්‍රශ්නය පිළිබඳ සැලකිල්ල වෙනත් දිසාවලට යොමු කිරීම, අදාල බලධාරීන් කාරණයට ගැලපෙන පරිදි පරික්ෂණ කටයුතු සිදු නොකිරීම, විශේෂයෙන් තෝරාගත් කිසිම ප‍්‍රවීණත්වයක් නැති පිරිස් යොදවා ගනිමින් නිසි හෙළිදරව් කිරීම මඟහැරීම, පාර්ලිමේන්තු කෝප් කමිටු පරික්ෂණවලදී නිලධාරීන්ට තර්ජනය කිරීම, විමර්ශන කටුයුතුවලට විවිධ අවහිරතා ඇති කිරීම, කෝප් වාර්තා රටට හෙළිදරව් වීම වැලැක්වීමට කටයුතු කිරීම, තීරණාත්මක පියවර ගැනීම උපක‍්‍රමශීලීව මඟහැරීම වැනි මෙකී නොකී සියලූම බාධා කිරීම්, මඟහැරීම් වැනි කටයුතු වලට විවිධ ආකාරයෙන් දායක වූ අය සහ අනුබල දුන් අය එදා කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදයකින් සිටි බවට කිසිම සැකයක් නැත.

එහෙත් ජනාධිපති කොමිසන් සභා නීතියේ ද සඳහන් වන ආකාරයට ජාතික වැදගත්කමක් සහිත කාරණයක් සම්බ්නධයෙන් අපක්ෂපාතී ලෙසින් සිදුකළ යුතුව තිබෙන පරික්ෂණ ආරම්භ කිරීමට ජනාධිපතිවරයාට සිදු විය. එදා ඒ පිළිබඳව කිසිම ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් හෝ මත දැක්වීමක් නොකර සිටි අය අද විවිධ ප‍්‍රකාශ කිරීම පුදුමයට කාරණයකි. දැන් එබඳු ප‍්‍රකාශ කරන අය ලැජ්ජා විය යුතුය. ජනාධිපතිවරයා කොමිසන් සභාවක් පත්කළේ එ.ජා. පක්ෂයේ ඇතැමුන්ට කිසියම් ආකාරයක පහරක් ගැසීමට යැයි සඳහන් කිරීම උඩබලාගෙන කෙළ ගැසීම වැනි අමන මරිමෝඩ කමකි. එබඳු ප‍්‍රකාශයකින් ගම්‍යවන්නේ එජාපයේ ඇතැමුන් වෙත කිසියම් ආකාරයක අභියෝගයක් එල්ල වී පවතින බව නොවන්නේ ද? එම තත්වයට හේතු වී ඇත්තේ කොමිසන් සභාවේ විමර්ශනය බවද එයින්ම තවදුරටත් ගම්‍ය වේ. එසේ නම් එබඳු තත්ත්වයක් උද්ගත වූයේ මෙම කොමිසන් සභාව පත් කිරීම නිසාය. එසේ නම් මේ අවලාද නඟන අමනයන්ගේ අභිප‍්‍රාය වී ඇත්තේ කාරණාවට වගකිව යුත්තන් තව දුරටත් හෙළිදරව් නොවී සිටීම බව නම් ඉතා පැහැදිලිය. යට ඇඳුමක් නැති එකෙක් ඇඳි වත ඔසවා මුහුණ වසා ගැනීමට යාමෙන් පහල ප‍්‍රදේශයේ හෙළුව නොදැනුවත්වම ප‍්‍රදර්ශනය කරන්නාක් මෙන් මෙබඳු බාල අවලාද මඟින් තමන්ටම අපහාස කරගන්නා බව දකින හා විශ්වාස කරන බහුතරයක් අද සමාජයේ සිටින බව මොවුනට මතක්කර දිය යුතුය.

කොමිසම ඉදිරියේ දිගහැරෙමින් පැවති විශ්මය ජනක තොරතුරුවලින් සන්නද්ධ වී සිටින ජනතාවට මෙබඳු අවලාද ඇසෙන විට ද්වේෂයක් හට ගැනීම සාධාරණය. එනිසා එබඳු අවලාද ගැන අදහස් දැක්වීමට හා සුදුසු ප‍්‍රතික‍්‍රියා දැක්වීමට ජනතාවට අයිතියක් ඇත.

බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තු වරප‍්‍රසාද, පක්ෂයට පහර ගැසීම පිළිබඳ ප‍්‍රශ්න, මතකයට නැගී ඇත්තේ බොහෝ කරුණු කොමිසම ඉදිරියේ හෙළිදරව් වීමෙන් පසුවය. මේ ආකාරයට තොරතුරු හෙළිදරව් වීමක් නොවූයේ නම් ඇතැම් විට කොමිසම පත් කිරීම ගැන අවලාද නැඟීමක් නොවන්නට ද තිබුණි. මුළු රටේම ජනතාව ඉතා දැඩි සෝදිසියකින් බලා සිටින බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තම තමාට ඇතිවන අපහසුතාවයන් ගැන පමණක් කල්පනා කරමින් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිරීමට හෝ අවලාද නැගීමට යාම තමන් විසින් දැනටමත් කර තිබෙන බරපතල අක‍්‍රමිකතාවන්, පිළිබඳව එල්ල වී පවතින ජනතා පිළිකුල තවත් වැඩි වීමට හේතුවක් බව මොවුන් අවබෝධ කරගත යුතුය.

දෙවන කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලා අස්වීමේ පුරප්පාඩුව සඳහා එයට පත් කරන ලද සුජීව සේරසිංහ මන්ත්‍රීවරයා 2015 මහා මැතිවරණයට පෙර ‘‘ඇත්ත නැත්ත’’ නමින් පුස්ථකයක් මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කළේය. බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව තමාගේ දැනුම හා අවබෝධය අනුව රටේ ජනතාවද දැනුවත් කිරීම සඳහා මෙම ග‍්‍රන්ථය පළ කළ බව පෙනී යයි. ඒ මහතා පළමු කෝප් කමිටු රැුස්වීම්වලදී ප්‍රබල දායකත්වයක් ලබා දුන් කමිටු සාමාජිකයෙකි. ඒ අතර පළමු කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට එරෙහිවද අධිකරණයේ නඩුවක් ඔහු විසින් ගොනුකර තිබුණි. පසුව ඔහු එය ඉල්ලා අස්කර ගත්තේය. පුස්ථකයේ දක්වා ඇති ඇතැම් කරුණු සහ ඔහුගේ වර්තමාන ප්‍රසිද්ධ ප‍්‍රකාශන තුළින් මතුවන ආන්දෝලනාත්මක තත්වය නිසා, තරමක විමසුම්කාරී ලෙසින් ඇතැම් කරුණු සළකා බැලීමට සිදු වී ඇත.

ඇත්තටම මෙම විෂය පිළිබඳව පුස්ථකයක් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීමට තරම් වූ ප්‍රශස්ත විෂයබද්ධ දැනුමක් එදා එම කතුවරයාට තිබුණාද යන ප්‍රශ්නය අදාල වන්නේය. තමාගේ පක්ෂයේ අගමැතිවරයාට අනුව ඔහුද බැඳුම්කර ගැන දන්නේ James Bond හා Brook Bond යන ටික පමණක් විය යුතුය. මක්නිසාද මුළු පාර්ලිමේන්තුවම එම තත්වයට වැටෙන පරිදි ප්‍රකාශයක් 2015 මාර්තු 17 වැනිදා අගමැතිවරයා කළ බැවිනි.

මෙම කාරණයටම අදාලව තවත් ලිඛිත සාධකයක් උපුටා දැක්වීම අවස්ථානුකූල වේ. මෙම උපුටා ගැනීම පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 109 යටතේ 2015 පෙබරවාරි සිට 2016 මැයි මස දක්වා වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් වශයෙන් කටයුතු කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාවේ 13 වැනි වෙළුමේ 630 වන පිටුවේ අන්තර්ගත කොටසකින් කතුවරයාගේ විෂය පිළිබඳ අවබෝධය පැහැදිලි වන්නේය:

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා : මේක Perpetual Treasuries Limited එකේ ලාභයත් එක්ක ලඝු කරන්න එපා.Perpetual Treasuries Limited ලාභය ලබා ගන්නේ Primary Market එකෙන් නොවෙයි.Perpetual Treasuries Limited ලාභ ලබා ගන්නේ Secondary Market එකෙන්.

ගරු සුජීව සේනසිංහ මහතා : එහෙමද, මම දන්නේ නැහැ ඒක​.

මෙම වාර්තාගත සංවාදය සිදු වී ඇත්තේ 2016 ඔක්තෝම්බර් මාසයේ 21 වන දින කෝප් කාරක සභා සාක්ෂි විභාගය අතරතුරදීය. කතුවරයාගේ පුස්තකය නිකුත් වී තිබෙන්නේ 2015 මහා මැතිවරණයටත් කලින්ය. පුස්ථකය ප්‍රසිද්ධ කිරීමෙන් අවුරුද්දකටත් වැඩි කාලයකටත් පසුවද බැඳුම්කර ගණුදෙනුවල වැදගත්ම අංගයක් වන ද්විතීය වෙළඳපොළ ගැන කතුවරයා අනවබෝධයෙන් සිට ඇත. ඇතැම් විට අගමැතිවරයා James Bond-Brook Bond කතාව කියන්නට ඇත්තේ මෙබඳු මන්ත්‍රීවරුන්ගේ දැනුම පිළිබඳව එතුමා හොඳින් දැන සිටි නිසා විය යුතු බව අපට විශ්වාස කිරීමට සිදු වේ.

එම පුස්තකයේ අවසාන පිටු කිහිපයේ මෙසේ සඳහන් වී ඇත.

‘‘මහ බැංකුවේ අධිපතිවරයාට විරුද්ධව සාක්ෂි වශයෙන් තෝරාගත් කරුණු කිහිපයක් පමණක් කාරක සභාව ඉදිරියේ ගෙනහැර දැක්වීමේදී එම සාක්ෂි මඟින්ම ඊට වඩා හාත්පසින්ම වෙනස් ඇතැම් කරුණු ද කාරක සභාව ඉදිරියේ ඉදිරිපත් වූ බවට ඇති සාක්ෂි බොහොමයක් ඒවා සියල්ල සලකා බැලීම සඳහා කාරක සභාවට තවත් කාලයක් අවශ්‍ය බවත් කෝප් කමිටුවේ සභාපති ඞීව් ගුණසේකර මහතා මෙන්ම කාරක සභාවේ සාමාජිකයින් සියලූම දෙනාත්, එයට සහභාගී වෙමින් උපකාර කළ නිලධාරීන් සියලු දෙනාමත් ඉතා හොඳින් පිළිගන්නා කරුණකි.

ඉදිරි කාලයේ දී ඉදිරිපත් වූ හා ඉදිරිපත් නොවූ සියලූ කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිදරව්කර, ඉතා හොඳ පරික්ෂණයක් සිදුකර සියලූ සාක්ෂි සටහන් කරවා, අදාළ දත්ත තොරතුරු විශ්ලේෂණය කොට, නිවැරදි හා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම, කෝප් කමිටුවේ සභාපතිවරයා වූ ඩිව් ගුණසේකර පැවසූ ආකාරයට මෙන්ම, ඉදිරියට පත්වන අපගේ රජයේ පළමු හා ප‍්‍රමුඛ කාර්යයක්ද වන්නේ ය.

එබැවින්, සියලු කරුණු මේ අවස්ථාවේ ඔබට හෙළිදරව් කිරීමට නීතියෙන් අවකාශ නොමැත. නීතියෙන් අවසර ලැබෙන පරිදි ඉහතින් දැක්වූ කරුණු ඔබගේ සත්‍ය විනිශ්චය සඳහා ඉදිරිපත් කිරීමට හැකිවීම මට සතුටකි. එමඟින් ඇතැමුන් කාලයක් තිස්සේ නඟන ලද චෝදනා සියල්ල අසත්‍ය හා අභූත බව පැහැදිලි කරදීමට හැකිවීම එම සතුට වැඩි කරලන්නකි.

ඉදිරියේදී පත්වන අප රජය යටතේ විශේෂ කමිටුවක් මගින් මෙකී සියලු කරුණු සාක්ෂි සහිතව ඔප්පු කොට, සත්‍ය හා සම්පූර්ණ වාර්තාවක්, සියලූ දත්ත, සංඛ්‍යා ලේඛන, වාචික සාක්ෂි සටහන් හා නිවැරදි තොරතුරු සහිතව ඔබ හමුවේ ඉතාමත් ඉක්මනින් තබන බවට මේ අවස්ථාවේදී මා සපථ කර සිටිමි.

ඔබට සැමට ස්තුතියි’’

කතුවරයාගේ මෙම සටහන තුළින් පැහැදිලිවන හා ඒත්තු යන කාරණා කීපයක් සලකා බැලීම වැදගත්ය.

01. අදාල පරික්ෂණයේදී මහ බැංකුවේ අධිපතිවරයාට විරුද්ධව තෝරාගත් සාක්ෂි පමණක් ඉදිරිපත් වූ බව මෙම ගත්කතුවරයා විශ්වාස කළ බව.

02. සාක්ෂිවලින් ගම්‍ය වූ කරුණු වලට වඩා වෙනස් වෙනත් කරුණුද ඉදිරිපත් වූ බව.

03. ඒවා සලකා බැලීමට ප‍්‍රමාණවත් කාලයක් නොතිබූ බව.

04. ඉදිරිපත් නොවූ කරුණු ඉදිරි කාලයේදී හෙළිදරව් කරගත යුතු බව.

05. කතුවරයාගේ ඉදරිපත් කිරීම මගින් මෙම කාරණය සම්බන්ධයෙන් නඟන ලද චෝදනා සියල්ල අසත්‍ය හා අභූත බව තමාගේ පුස්තකයෙන් පැහැදිලි කර දීමට ඔහු සමත් වී යැයි හෙතෙම විශ්වාස කරන බව.

06. ඉදිරියේදී පත්වීමට නියමිත රජයක් යටතේ විශේෂ කමිටුවක් මගින් සියලූ තොරතුරු ජනතාව ඉදිරියේ තබන බව.

07. ඒ ගැන තමා ජනතාවට පොරොන්දු වන බව.

වර්තමානයේදී කතුවරයා දක්වන කරුණු මෙම ප‍්‍රකාශනයට හාත්පසින්ම විරුද්ධ නොවන්නේද යන වග විමසුම් කිරීමට පාඨකයින්ට අයිතියක් ඇත.

වැඩිදුරටත් පරික්ෂණයක් පවත්වා කරුණු හෙළිදරව් කරන බවට සපථ වූ කතුවරයා අද ජනාධිපති කොමිසන් සභාව හෑල්ලු කරමින් ප‍්‍රකාශ නිකුත් කරන්නේ මක් නිසාද?

එදා ඉදිරිපත් නොවූ කරුණු අතරට පසුව එක් වූ කාරණා අතර තිබෙන රහස් දුරකථන පණිවිඩ වැනි දේ හෙළිදරව් වීම වරදක් ද? එසේ හෙළිදරව් වීම නිසා කිසිවෙකු අපහසුතාවයට පත් වූයේද?

කතුවරයා විශ්වාස කළ පරිදි එදා ඉදිරිපත් වූ චෝදනා අසත්‍ය හා අභූත බව තවමත් ඔහු විශ්වාස කරනවාද?

එදා ඉදිරිපත් වූ චෝදනා අසත්‍ය හා අභූත බව ඔප්පු කිරීමට යාම තමා කළ වැරදි ක‍්‍රියාවක් බව දැන් ඔහු පිළිගන්නවාද?

තමා ජනතාවට සපථ වූ විශේෂ පරික්ෂණය දැනට පත්කර ඇති ජනාධිපති කොමිසමටත් වඩා බලසම්පන්න එකක්ද?

එබඳු කොමිටියක් පත් කරන බවට ජනතාවට සපථ කිරීමට තරම් තමාට බලතලයක් හෝ අයිතියක් තිබුණාද?

තමා එබඳු තීරණයක් ගැනීමට තරම් කිසියම් නිලයක් හෝ තානාන්තරයක් දැරුවාද?

අද ජනාධිපති කොමිසම පිළිබඳ තමා අයත් පක්ෂයේ මතයටත් පිටින් ප‍්‍රබල ප‍්‍රකාශ කරන්නේ කාගේ හෝ අනුදැනීමක් සහිතවද?

තමාගේ ප‍්‍රකාශ මගින් රටේ අනාගත ඉරණම විසඳීම සඳහා ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයේ පක්ෂ දෙකක් අතර ඇති කරගෙන තිබෙන සම්මුතියට බලවත් පහරක් වදින බව තමා පිළිගන්නේද?

එවැනි දෙයක් සිදුවීම තමා අපේක්ෂා කරන්නේද?

වඩුරාළගේ ලී ඉරණ බැංකුවේ කූංඥය ගැළවූ වඳුරාගේ කථාව අපට සිහි ගන්වන මෙම සිද්ධීන් මාලාව මහා වංචාවක සුල මුල දැනගැනීමටත්, සාපරාධී ලෙසින් උපයා ගත් දේපොළ රාජ සන්තක කරවා ගැනීමටත්, වැරදි කරුවන් බන්ධනාගාර ගත කරනු දැකීමටත්, බලා සිටින ජනතාවට බලවත් කණගාටුවට හා සන්තාපයට හේතුවකි.

හමුදා කණ්ඩයක සුළු සෙසු නිලයෙක් සියලු ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් අභිබවා යමින් ප‍්‍රහාර එල්ල කිරීමට යාමෙන් මුළු හමුදා කණ්ඩායමම අපහසුවට හා අවාසි සහගත තත්වයකට පත්වීම නොවැලැක්විය හැකි බැවින් මනා විනයක් සහිතව හැසිරීමට සෙසු නිලයන්ට පුහුණුවක් ලබා දෙනු ලැබේ. දේශපාලනයේදී ද නිලධාරීන් හා සමාන ප‍්‍රබල නිලතල නොදරන ලාබාල පාක්ෂිකයන්ට කටමැත දෙඩවීමේ විනය සීමාවන් තිබිය යුතු බවත් එම සීමාව ඉක්මවන අවස්ථාවලදී එබඳු පුහු ඝෝෂාකාරීන් වේදිකාවෙන් බැහැර කිරීමක් සිදුවිය යුතු බවට සාධාරණ පාක්ෂිකයන් හා ජනතාව අපේක්ෂා කරති. අපි සාමාන්‍ය ජන වහරේ අසා ඇත්තේ, ගුරුතුමා හිටගෙන කරන දේ ගෝලයා දුවමින් කරන බවයි. එහෙත් පුදුමයට කාරණය නම් ගුරුතුමා එසේ නොකර සිටියදී ගෝලයා මෙසේ කටයුතු කිරීමය.

Print Friendly, PDF & Email

Latest comment

  • 3
    0

    It is very clear why a person who did not know about the bond market wrote a book saying nothing wrong happened. In the part of the world that I am living, if this happened, it is now years since these guys were taken to the Jail. I read even in the US, senators are punished just for abusing mail. At one time, I read, a Senator was caught hiding bribe money in his freezer. Sri lanka allows investing money overseas while crying for foreign investment. On the other hand, when we bring money to the country, they tax it. So, Ministers get the opportunity to invest their commiss – money overseas right away.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.