Colombo Telegraph

හොඳ සිහිය පවතීවා

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

උන්මත්තකයන් පිස්සන් කොටුවට ද, මානසික විකෘතියෙන් පෙලෙනවුන් වෛද්‍ය පරීක්ෂණ වලටද, සොරුන් සහ වංචා කාරයින් සිපිරි ගෙටද යැවිය යුතුය. පන්සල් පල්ලි හා දේවස්ථාන සෑම කෙනෙකුටම විවෘතව පවතී. ඒවාට​ අපරාධකාරයින්ට මනෝ විකෘතියට භාජනය වූවන්ටද වෙනසක් නැතිව ඇතුළු විය හැකිය. එසේ වුවද ඒවාට​ ඇතුළුවන ඕනෑම තරාතිරමක හෝ වර්ගයක මිනිසුන් එහිදී මිනිසුන් ලෙස සිහියෙන් බුද්ධියෙන් හැසිරෙති. පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍යයේ මුදුන් මල්කඩ ලෙසින් සලකනු ලැබේ. රට පවත්වාගෙන යාමට නීති රීති හදන්නේත්, ජනතා ශුභ සිද්ධියට ඉවහල් වන කටයුතු සඳහා මුදල් හදල් වෙන් කරදෙන්නේත් රටේ පාර්ලිමේන්තුවයි. එය සත්‍ය වශයෙන්ම පාරිශුද්ධ ස්ථානයකි. නොයෙකුත් හේතුන් සහ අපගේ අහේතුව නිසා එයට නොගැළපෙන දුෂ්ට හා අමනකම්වලින් පිරුණු පුද්ගලයින්ද ඇතුල් වේ. පූජනීය ස්ථානයකට එන අපරාධකාරයින්ට වෙනම නීතියක් නොපවතින නමුත් ගෞරවනීය තත්ත්වය නොකෙලසන පරිදි හැසිරීමට ඔවුන් වගබලා ගනිති. එහෙත් පාර්ලිමේන්තුවට ඇතුල් වන නුසුදුස්සන් එහි පවතින නීති රීති රෙගුලාසි සම්ප්‍ර​දායන් සහ පොදු මිනිස් ගුණධර්ම පවා අමතක කරමින් හැසිරෙන බව අපට දකින්නට ඇත. මෙය මහත් අභාග්‍යයකි. මුළු රටටම අපහාසයකි. ලෝ වැස්සන්ගේ අවමානයට බඳුන් වීමට හේතුවකි.
මෙම පසුබිම සිතේ දරාගෙන පසුගිය දින පාර්ලිමේන්තුවේ ගුටි කෙලියකින් අවසන් වූ අප්‍ර​සන්න සිද්ධිය පිළිබඳව ප්‍ර​ත්‍යාවලෝකනයක් සිදු විය යුතුය. රටේ සියලු ආගම් නායකයින්ගේද, බුද්ධිමතුන්ගේද, අවධානය එයට යොමු විය යුතුය. උද්දගත වූ තත්ත්වයට පාදක වූ සිද්ධියට ලඝු කරමින් කාරණය දෙස විමසිලිමත් ලෙසින් බැලීම වැදගත් වනු ඇත. අවශේෂ කරුණු ඇදා ගැනීමෙන් නියම තතු පහදා ගැනීමට නොහැකි විය හැකි බැවින්ය.

බැඳුම්කර මගඩියක් සිදු විය. එය මුළු රටම දන්නා කාරණයකි. එය සිදුවූයේ අගමැතිවරයා භාරයට පත්කර ගන්නා ලද මහ බැංකුවේ ය. අගමැති රනිල් වික‍්‍රමසිංහගේ විශේෂ හා පුද්ගලික නිර්දේශය මත මහ බැංකු අධිපති ධුරයට පත් කළ අර්ජුන මහේන්ද්‍ර නැමැති විජාතිකයා එම මගඩියට වගකිවයුතු විත්තිකරුවෙක් හැටියට කොමිසම විසින් සොයාගෙන ඇති බවද වාර්තා වී ඇත. වංචාවේ ප්‍ර​මාණයද, සාපරාධී ලෙසින් උපයා ගත් මුදල් ප්‍ර​මාණයද කොමිසම විසින් ගණන් බලා ප්‍රකාශයට පත්කර ඇත. එම වංචනික ඉපැයීම් ජාතිය සතුකර ගැනීමට අප්‍රමාදව නීති රීති සකස් කළ යුත බවටද කොමිසම නිර්දේශ කර ඇත. කොමිසම ඉදිරියේ බොරු සාක්ෂි දුන් සහ සෘජුව පැහැදිලි කළ නොහැකි විශාල මුදල් ගණුදෙනු හා අයථා වාසි සලස්වා ගැනිම් පිළිබඳ චෝදනා යටතේ හිටපු මුදල් ඇමති සහ එ.ජා.ප.යේ නියෝජ්‍ය නායක රවී කරුණානායකට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසන් සභා නීතිය යටතේ ද සාපරාධී නීති කෘත්‍ය යටතේද නඩු පැවරීමට නිර්දේශ වී ඇත.

රටේ පාර්ලිමේන්තුවට මෙම වාර්තාව මේ වනතුරු ලබා දී නැත. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සෑම අතකින්ම බලපවත්නා වගකීමක්ද වේ. COPE කාරක සභා පරීක්ෂණ දෙකකටම යටත් වූ සිද්ධියක් නිසාත් එක් COPE වාර්තාවක් පාර්ලිමේන්තුවේ දැනටමත් සභාගත කොට විවාද කිරීමෙන් පසුව වැඩිදුර කටයුතු සඳහා නීතිපති වරයාට යොමුකර තිබෙන නිසාත් මෙම කොමිසන් සභා වාර්තාව පිළිබඳව දැන ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇත. එනිසා එම වාර්තාව සභාගත කරන ලෙස මන්ත‍්‍රීවරුන් ඉල්ලා සිටීම සාධාරණය. වාර්තාව ලැබීමෙන් පසුව ඒ පිළිබඳව අදහස් පළ කිරීම සඳහා විවාදයක් ඉල්ලා සිටීමද සාධාරණය.

එහෙත් සිදුවූයේ කුමක්ද? බැංකු බැඳුම්කර මගඩිය හෙළිදරව් වූ අවස්ථාවේ පටන්ම එවැන්නක් නොවූ බවටත්, බැංකු අදිපති එයට වගකිව යුතු නැති බවටත් කරුණු දැක්වූ අගමැති වික‍්‍රමසිංහ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කිරීමටත් කලින් විවාදයකට ඉඩ ලබා දීමට මැදිහත් වීම පුදුමසහගත නොවේද? මීට කලින් බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම විවාද ඉල්ලා සිටි නමුත් ඒවාට ඉඩක් නොදුන් අගමැතිවරයා මෙවර වාර්තාව කියවා බැලීමට ඉඩක් ලැබීමටත් කලින් විවාදයක් ලබා දීමට ඉදිරිපත් වූයේ සද් චේතනාවෙන් නොවන බව තේරුම් ගැනීමට ජනතාවට අපහසු නැත.

2015 මාර්තු 17 වනදා අගැමතිරයා පාර්ලිමේන්තුවට බැඳුම්කර චෝදනාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ අවස්ථාවේදී එම ප්‍රකාශය ගැන විවාදයක් ඉල්ලා සිටි මන්ත‍්‍රීවරුන්ට එම අවස්ථාව ලබා දුන්නේ නැත. අගමැති විසින් තෝරා පත්කරන ලද ත‍්‍රිපුද්ගල එ.ජා.ප. නීතිඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසුවද මන්ත‍්‍රීවරු විවාදයක් ඉල්ලා සිටි නමුත් එයට ද ඉඩක් ලබා නොදුනි

අර්ජුන මහේන්ද්‍රන් වහාම සිය ධුරයෙන් ඉවත් කරන ලෙසට ඉල්ලමින් මන්ත‍්‍රීවරුන් 80 කටත් වැඩි දෙනෙකුගේ අත්සන් සහිතව කථානායකවරයාට භාර දෙන ලද යෝජනාවක් න්‍යාය පුස්තකයටද ඇතුළත්ව ඇති නමුත් විවාදයට ගත්තේ නැත.
පළමු COPE කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නවත්වන ලෙසට එ.ජා.ප. මන්ත‍්‍රී සුජීව සේරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කර පසුව ඉල්ලා අස්කර ගත්තේය. එම වාර්තාව පසුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එම වාර්තාව ගැනද විවාදයක් කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාව අහිමි විය.

දෙවන COPE කමිටුව පත්කළේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවය. එහි වාර්තාව සභාගත කළේ 2016 ඔක්තෝබර් මාසයේදී ය. ඒ පිළිබඳව පාර්ලිමේන්තු විවාදය කරන ලද්දේ 2017 ජනවාරි මාසයේදී ය. එම විවාදයද මඩ ගැසීම්, බාධා කිරීම්, එකිනෙකාට චෝදනා කර ගැනීම්වලට වෙන් වූ විවාදයක් විය. මහා වංචාව සම්බන්ධයෙන් පැහැදිලි තීරණයකට එළඹීමක් එම විවාදයේදී සිදු නොවීය.

ජනාධිපතිවරයා සිය බලතල සහ රටේ පවත්නා සාමාන්‍ය නීතිය උපයෝගී කර ගනිමින් විමර්ෂන කොමිෂන් සභාවක් පත් කිරීමට පියවර ගන්නේ මෙබඳු තත්ත්වයක් යටතේය. විවාදයට භාජනය විය යුතුව තිබුණේ එම කොමිසන් සභා වාර්තාවය. තවමත් සිදුවී නැත්තේ ද එයමය. පාර්ලිමේන්තුවට ඇත්තේ කොමිසන් සභාවෙන් නිර්දේශිත ක‍්‍රියාමාර්ග ගැනීම ගැන රජය අනුගමනය කරන පිලිවෙත් පිළිබඳවත් කොමිසන් සභා නිර්දේශ වලින් හෙළිදරව් වන කරුණු කාරණා පිළිබඳවත් වගකිව යුතු අයුරින් තීරණ හා තීන්දු වලට එළඹීමටය.

මෙහිදී සිදු වූ බවට වාර්තා වී ඇත්තේ සම්පූර්ණයෙන් වෙනත් දෙයකි. ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි නිසා එයට අවස්ථාවක් දෙන බව කියමින් අගමැතිවරයා වහාම විවාදයක් ලාබ දීමට ඉදිරිපත් විය. කලින් වතාවලදී ඉල්ලා සිටි විවාද ලබා නොදුන් ඔහු මෙවර වාර්තාව මන්ත‍්‍රීවරුන්ට ලැබෙන්නටත් කලින් විවාදයක් ලබා දීමට එකඟ වෙයි. විවාදයට කලින් අගමැතිවරයා කලින් සූදානම් කරගත් ප්‍රකාශයක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පිළියෙල කර ගනී.

ඉතා පැහැදිලිව මෙහිදී සිදුවන්නට ගියේ කොමිසන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ හා ක‍්‍රියාත්මක කළ යුතු කරුණු පසෙක තිබියදී, අගමැතිවරයාගේ ප්‍ර​කාශයේ අන්තර්ගතය පිළිබදව විවාදයකට පාර්ලිමේන්තුව යොමුකර ගැනීමයි. මෙය උප්පරවැට්ටියකි. ප්‍ර​කෝපකාරී පියවර ගනිමින් ප්‍ර​තිපක්ෂවල මන්ත‍්‍රීවරුන් අර්බුදයකට යොමු කරමින්ද ප්‍ර​ශ්නයෙන් පැන යාමට සැලැස්වීමේ කූට අරමුණක් තිබී ඇති බව පෙනේ.

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍ර​කාශය නිකුත් වූයේ එහි අන්තර්ගතය අනුව සකස් වූ කෙටි සාරාංශයක් වශයෙනි. වාර්තාව වත් නුදුටු අගමැතිවරයා තම ප්‍ර​කාශය මගින් කියන්නට යන්නේ කුමක්ද? එක්කෝ බැඳුම්කර මගඩිය හෙළිදරව් වූ අවස්ථාවේ සිටම වරින් වර ඔහු විසින්ද, එ.ජා.ප යේ වෙනත් අය විසින්ද පලකල විවිධ අදහස් නැවත කියන්නට ය. එසේ නැතිනම් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සාරාංශය පදනම් කරගෙන සිය මතයද ප්‍ර​කාශ කිරීමටය. මේ දෙකෙන්ම රටට කිසිම පලක් නැති බව අමුතුවෙන් කිව යුතු නැත. රටේ ජනතාව හොරාගේ අම්මාගෙන් පේන ඇසීමට යන්නේ නැත. මේවා ගැන කිසිම විශ්වාසයක් රට තුළ නොපවතින බව දැනගත් ජනාධිපතිවරයා එයට හොඳම පිළියම වශයෙන් අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත්කළේය. ප්‍රසිද්ධියේ සාක්ෂි විභාග කළ කොමිසම ඇඟ හිරිවැටෙන තොරතුරු හෙළිදරව් කර ගත්තේය. අල්ලස් දුන් හැටි, දුන් අය, ලැබූ අය, දුරකථන මගින් සබඳතා පැවැත්වූ අය, පරීක්ෂණ පවත්වන අතරතුරදී දුරකථනය මගින් මෙහෙයවීම් කර ඇති ආකාරය, වංචාව සැලසුම් කළ විදිය, නිලධාරීන්ට බලපෑම් කර ඇති ආකාරය, සල්ලි මිටි වලින් සේප්පු පිරී ගිය ආකාරය, අයිතිකරුවෙක් නැතිව පහල වූ සුඛෝපභෝගී මහල් නිවාස යනාදී විවිධ තොරතුරු අද ජනතාව සතුව ඇත. සාක්ෂි දීමේදී තමන්ගේ දැනීම හා මතක ශක්තිය කොතරම් දැයි රටේ දේශපාලන නායකයින් ප්‍රදර්ශනය කළ ආකාරයද දැන් ජනතාව දනී.

බහුතරයකට පහසුවෙන් වටහාගත නොහැකි තොරතුරු හා විස්තර ප්‍රබල ලෙස විකෘති කරමින් ජනතාව මුලා කරීම සඳහා වංචාවට සම්බන්ධ වී එය සැලසුම් කළ ලොකු ලොක්කන් අද හැසිරෙන ආකාරය ගැන සුළු හෝ අවබෝධයක් ඇති විශාල ජන කොටසක් සිටින බව අමතක නොකළ යුතුය. ‘‘දිය රත්වන තුරු හැලියේ නටන කකුළුවන්’’ සිහි ගන්වන මෙම ක‍්‍රියා කලාපයන් තුළින් බලාපොරොත්තු සුන් වී යමින් අන්ද මන්ද වී සිටින අයගේ හැසිරීම් ස්වභාවය පෙන්නුම් කරන බව සඳහන් කළ යුතු වේ.
මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් උපහැරනය මදක් විමසිලිමත්ව සලකා බැලීමට ද වටී. එතුමා සඳහන් කළේ ‘‘හොරා අල්ලපියව්’’ කියමින් හොරා අල්ලා ගැනීම සඳහා දුවන ජනයා සමග එක් වෙමින් හොරාද දුවන බවයි. මෙම උපමාව පාර්ලිමේන්තුවේ උද්ගත වූ තත්වයට මනා ලෙසින් ගැළපේ. විවිධ වංචා දූෂණ වලට චෝදනා වලට භාජනය වී සිටින ඒකාබද්ධ විපක්ෂය එබඳුම චෝදනා රැුසකට භාජනය වී සිටින එ.ජා.ප. ය සමග කෙස්වලු පටලවා ගැනීමත් පික් පොකට් කාරයාගේ හැසිරීමට බොහෝ දුරට සමාන වන්නේය.

උද්ගත වී ඇති තත්ත්වය තවදුරටත් එසේම පැවතීම රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් වී ඇති බැවින් තීරණාත්මක පියවරක් ගැනීමේ අවශ්‍යතාවය තදින්ම පවතී. මෙම වගකීම රටේ ජනතාව පවරන්නේ ජනාධිපතිවරයාට බැවින් ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු විය යුතුය. නෙරපා දැමිය යුත්තන් නෙරපා දමා ලංකර ගත හැකි දූෂිත බවට පත් නොවූවන් ලංකර ගනිමින්, ජාතික රජය ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම ජනතාව ජනාධිපතිතුමාට පවරා ඇත. ඉතා ඉක්මනින් කැබිනට් සංශෝධනයක්ද, අසම්මත ලෙසින් කර තිබෙන මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කිරීම වැනි විෂයය වෙනස්කම් වහාම බල පැවැත්වෙන පරිදි යථා තත්වයට පත් කිරීමද ජනතාව බලා සිටින කාරණා අතර ප්‍ර​මුඛත්වයක් ගනී.

Back to Home page