20 April, 2024

Blog

යාපනයේ කුලභේදය හා ධනේශ්වර සංවර්ධනයේ ගතිකයන්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කුල භේදය තදින් පවතින යාපනයේ රුධිර පාරවිලයනය අවම වීම නිසා රුධිරය හිගයක් පවතින බවත් ඊට පිළියමක් ලෙස යුද හමුදා භටයන් රුධිරය දන් දී එම හිගයට විසදුමක් ලබාදුන් බවත් පසුගිය දා “ඩේලි මිරර්” පත්‍රය වාර්තා කළේ ය. මේ වාර්තාව ප්‍රසිද්ධවීමත් සමග මුහුණු පොතේ ඉන්නා සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීහු පස්වනක් ප්‍රීතියෙන් ඔද වැඩී ඝෝෂා කරන්නට වූහ. ඔවුන්ගේ අදහස වූයේ කුල භේදය තදින් පවතින යාපනයේ දෙමළ ජනයාගේ එකිනෙකා අතර පවතින අනෝන්‍ය ගැටුම් නිසා ජාතිකවාදී ප්‍රශ්න අහෝසි වන බව ය.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයකින් කියවුනේ පුවත්පත් වාර්තාව අසත්‍ය බව ය. ඒ අනුව පැහැදිලි වූයේ යාපනයේ අවශ්‍ය තරම් රුධිරය පවතින බවත් යුද හමුදා භටයන් විසින් කළ රුධිර පාරවිලයන වැඩසටහන සාමාන්‍ය පරිදි යාපනයේ සිදුවන්නක් බව ය. එහෙත් සමහරක් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන්ට රෝහල් අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය පිළිගන්නට අපහසු වුණි. ඔවුන්ගේ මතය වූයේ කුලභේදය නිසා රුධිරය පාරවිලනය නොකරන බවත් එනිසා රුධිර හිගයක් යාපනයේ පවතින බවත් ය. එසේම රෝහල් අධ්‍යක්ෂවරයා දේශපාලන අවශ්‍යතා මත හැසිරෙන බව ය.

කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ පරමසෝති තංගස් විසින් කළ පර්යේෂණ පත්‍රිකාවක් වන “යාපනය සමාජයේ අභ්‍යන්තරිකව විතැන් වූවන්ගේ සමාජ බැහැර කිරීම හා කුලය” යන්නෙහි සදහන් වන පරිදි යාපනය අර්ධද්වීපයේ ජනතාවගෙන් 50%ක් වෙල්ලාලයෝ වෙති. කාරියාර්, කෝවියාර්, පලාර් ඇතුළු අනෙකුත් කුල ධුරාවලීන්ගේ ජනගහන ප්‍රතිශතය ඉතිරිය වේ. යාපනය දෙමළ සමාජයේ ද කුල ගැටුම් පවතී. එහෙත් රෝහල් වල රුධිරය හිග වෙන්නට තරම් එම ගැටුම් උත්සන්නව ඇතැයි කීම නිර්මාණශීලී බොරුවකි. තමන්ගේ මතවාදයන් ව්‍යාප්තියට සත්‍ය කරුණු යොදා නොගෙන මෙවැනි අතාර්කික දෑ යොදා ගැනීම බංකොලොත්කමකි.

දෙමළ සමාජයේ මෙන්ම සිංහල සමාජයේ ද කුල භේදය පවතී. යම්කිසි ජාතිකත්වයක කුල භේදය පැවතීම එම ජාතිකත්වයේ ජාතිකවාදයට බාධාවක් බව අවිවාදිත ය. එනිසා ජාතිකවාදී එකමුතුවීම් පරදා කුලවාදී බෙදා වෙන්වීම් ශක්තිමත් වේ. එහෙත් කුලවාදය යන්න ද ජාතිකවාදයේ මුල් පුරුක වේ. ජාතිකවාදය මෙන්ම කුලවාදය ද මිනිස් සමාජය බෙදීමට ලක් කරන්නකි. කුලභේදය පවතින ගමන්ම ජාතිකත්ව භේදයන් ද තීව්‍ර කර ගන්නා  අපූරු අවස්ථාවන් ද දැක ගන්නට ලැබීම උත්ප්‍රාසජනක ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 දී යූඑන්පියේ දාහත් වසරක සාපය අවසන් කරමින් ජනාධිපති වී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේ එල්ටීඊඊය හා සාකච්ඡාමය විසදුමකට ඒමට හොද හිත ඇතිකර ගැනීමේ පදනමක් ලෙසයි. ඉතා ටික කලක් පැවති ඒ හොද හිත ඇති කිරීමේ උත්සාහය පුපුරා ගියේ එල්ටීටීඊය විසින් ත්‍රිකුණාමළයේ දී නාවික බෝට්ටුවකට පහරදීමෙනි.

ඒ පහරදීමත් සමග දකුණේ ජනයා තුළ කේන්තිය වෙරය හා ක්‍රෝධය පුපුරා යෑම ඇරඹුණේ අලුත් වටයකිනි. එදා ඇල්පිටිය බස් නැවතුම් පළේ දී මට හමුවූ මිත්‍රයකු කතා කළේ ද දකුණේ සිංහල බෞද්ධ කෝපයේ හරස් පැතිකඩක් නිරූපනය කරමිනි.

” සිංහල බෞද්ධ රට මුං විනාශ කරනව.සටන් විරාමයක් කියල මගුලක් ගෙනහල්ල හැමදාම කොටිය ශක්තිමත් කරනව. දැන් පේනවනෙ ගෙනාපු සාමෙ. අපේ කොල්ලො ටික මැරෙන එක විතරයි”

මිත්‍රයගෙ කතාවට මා මද සිනහවක් පෑවෙ උපේක්ෂා සහගතවයි.

මගේ නිහඩියාව මිතුරා කෝප ගැන්වීමට හේතු වුණි. “ඇයි සද්දෙ නැත්තෙ? මේ විනාස වෙන්නෙ සිංහල බෞද්ධ රට බං”

මම මදක් සිනහසුනෙමි. අනතුරුව මිතුරාට සෙමින් කීවේ” නෑ බං මේ විනාස වෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම රට.” කියලයි.

මගේ මිතුරාගේ මුහුණ අදුරු විය. ඇස් දෙක රතු විය. කුල පීඩිතයෙක් වන මගේ මිතුරා ඉන් ඔබ්බට මුකුත් කිව්වෙ නැත. හිත පෑරිච්ච මිනිහෙකුට තවදුරටත් මුකුත් කියන්න මා හිතුවෙත් නැත.. ඒත් මිතුරා යන්න ගියේ යමක් තේරුම් ගත් අයුරකිනි.

ගාල්ල යනු විවිධ කුල වලට අයත් ජන මිශ්‍රණයකින් යුත් දිස්ත්‍රික්කයකි. ගොවිගම, කරාව, සලාගම, වහම්පුර ආදී වශයෙන් ප්‍රධාන කුල වලට අමතරව තවත් කුල ගණනාවක් දිස්ත්‍රික්කය පුරාම විසිරී පවතී. මුහුදු බඩ තීරයේ බලපිටිය, අම්බලන්ගොඩ, රත්ගම, ගාල්ල හා හබරාදූව කරාව,සලාගම හා වෙනත් කුලයන් නියෝජනය කරන අතර රට අභ්‍යන්තර ප්‍රදේශ වල සිටින්නේ ගොවිගම ජනතාවයි. ඒ අතුරින් කරන්දෙනිය වහම්පුර ජනයාගේ නිජබිමකි.

කරන්දෙණිය ප්‍රදේශය හරහා යන එනවිටත් ඇල්පිටිය රජයේ රෝහලින් ලැබුණ ආරංචි අනුවත් ඒ දවස් වල ඇහැට කණට දකින්නට අහන්නට ලැබුනෙ ශෝකජනක සිද්ධීන්ම ය. එක්කෝ කුරුදු කැත්තෙන් කපල මරල, එහෙම නැත්නම් සිය දිවි නසා ගන්න ඇසිඩ් බීල, ඇළක ගගක පැනල, දබර කර ගැනීම්, කළකෝලාහල මෙකී නොකී කී විදිහට වාර්තා වුනේම ශෝකජනක හා සමාජීය වශයෙන් කනගාටුදායක සිද්ධීන්ය. ඒ වගේම ළමා මරණ, දුප්පත්කම, මන්දපෝෂණය, නිරක්තිය වැනි සමාජ නිර්ණායක සසදා බැලූ විට ගාල්ල දිස්ත්‍රික්කයෙන් නරක වාර්තා ලැබුනෙත් කරන්දෙණියෙනි.

කරන්දෙණිය මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන නගර දෙක වන්නේ ඌරගස්මන්හන්දිය හා මහේදණ්ඩයි. ඌරගස්මන්හන්දිය යම්තරමක භෞතික දියුණුවක් ලබා තිබුණ ද මේ මැතක් වනතුරුම මහේදණ්ඩ පැවතියේ පිළිකන්නක් පරිද්දෙනි. පොලීසිය, රෝහළ වැනි රාජ්‍ය සේවා සපයන ආයතනයන් හැරෙන්නට ආර්ථිකමය වශයෙන් වැදගත් වෙනත් කිසිම රාජ්‍ය ආයතනයක් කරන්දෙණියේ තිබුනේ නැත. විදුලිය බල පහසුකම් ද බැංකු පහසුකම් ද කරන්දෙණියේ ජනතාවට ලැබුනේ නැත.

1977 දී මැතිවරණ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ දී කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශය ඇති කළේ වහම්පුර ජනයා බහුතරයක් ජීවත් වූ ප්‍රදේශ එකට එක් කරමිනි. ඉන් අනතුරුව පැවති 1977 මහා මැතිවරණයේ දී කරන්දෙණියේ මන්ත්‍රීවරයා බවට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ බන්දුල සේනාධීරට හෝ ඔහුගේ අකල් මරණයෙන් මන්ත්‍රී ධූරයට පත්වූ ඔහුගේ බිරිද දයා සේපාලී සේනාධීරට හෝ කරන්දෙණියේ සමාජ ප්‍රශ්න වලට විසදුමක් තිබුණේ නැත.1988 දකුණු පළාත් සභා මැතිවරණයෙන් ද 1989 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ද කිසිම පක්ෂයක් නියෝජනය කරමින් කරන්දෙණියෙන් මහජන නියෝජිතයකු තේරී පත් නොවීම මේ සමාජ ගැටළු තව තවත් ත්‍රීව්‍ර කළේ ය.

මේ තත්වය තුළ විපක්ෂයේ දේශපාලන කටයුතු පමණක් නොව පාලක යූඑන්පීයේ දේශපාලන කටයුතු ද කරන්දෙණිය ප්‍රදේශයේ පැවතියේ මහත් අර්බූදයකයි. 1989 සිට එක්සත් ජාතික පක්ෂ කරන්දෙණිය සංවිධායක වූ ජයන්ත ජයවීරට වඩා ආකර්ශනීය නායකත්වයක් ප්‍රදේශයට ලැබුණේ ගුණරත්න වීරකෝන්ගෙනි. ජයන්ත වැඩි කලබලයක් නොමැති සන්සුන් පුද්ගලයකු වූ අතර වීරකෝන් කට සැර ක්‍රියාකාරී ගැම්මකින් යුතු අයෙකි. ජයන්තගේ නිවුණු ස්වරූපයට වඩා වීරකෝන්ගේ නොදැමුණු ස්වරයට ලැබුනේ ලොකු ආකර්ශනයකි. 1992 වනවිට යූඑන්පී විරෝධී දේශපාලනය මේ හැම ප්‍රදේශයකම තිබුණේ මෝදු වෙමිනි. ඒ වනවිට ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයේ දේශපාලන විද්‍යා ආචාර්යවරයා වූ ගුණරත්න වීරකෝන් කරන්දෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත් වුණි. වහම්පුර ජනතාවගේ බහුතරය රැදුන කරන්දෙණියට ගුණරත්න වීරකෝන්ගේ නායකත්වය ලබාදුන්නේ ලොකු ගැම්මකි..ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ඔහු ගුරුවරයකු ලෙස සේවය කිරීමෙන් ද ලැබූ පෞර්ශ්වය ඇල්පිටිය ප්‍රදේශයේ සමාජ පදනමක් ගොඩ නගා ගැනීම සදහා වීරකෝන්ට ලබාදුන්නේ ලොකු හයියක්. එමෙන්ම ඒ වනවිටත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නොයෙල් පත්මසිරි කාරියවසම්ව ඇල්පිටියේ ජනතාව විසින් පිළිකුල් කිරීමත් වීරකෝන්ට ලබාදුන්නේ ගැම්මක්. ඒ අනුව 1993 දකුණු පළාත් සභා මැතිවරණයෙන් පරාජිත වුවත් 1994 දකුණු පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ගුණරත්න වීරකෝන් පළාත් අමාත්‍ය ධූරයක් ද ලබා ගත්තේ ය.

කරන්දෙණිය මැතිවරණ බල ප්‍රදේශය සාපේක්ෂව කුඩා ප්‍රදේශයකි. බෙන්තර ඇල්පිටිය, බද්දේගම, හිනිදුම වැනි විශාල ඡන්දදායක පිරිසක් ජීවත් වන මැතිවරණ බල ප්‍රදේශයන්ට සාපේක්ෂව කරන්දෙණියේ ඡන්දදායක පිරිස අඩුයි. ඒ නිසා කරන්දෙණියේ වහම්පුර ජනතාවගේ ඡන්ද වලින් පමණක් පාලිමේන්තු යෑමට හෝ පළාත් සභාවට යෑමට හෝ නොහැක. ගුණරත්න වීරකෝන්ට පළාත් සභාවට යෑමට අවශ්‍ය අඩු ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේ බෙන්තර ඇල්පිටියෙනි.

එහෙත් ගුණරත්න වීරකෝන්ගෙ දේශපාලනයට කුල සාධකය බලපෑම් කරන්නට වැඩි කල් ගියේ නැත. කුලය අභිබවා දේශපාලනයක යෙදීමට ඔහුට අවශ්‍ය වුවත් තම ආධාරකරුවන්ගේ නොදියුණු ආකල්ප ඊට බාධා කළේ ය. “අපේ උන්ට සලකන්නෙ නැතිව ගොවිගම උන්ට සලකන්නෙ ඇයි” යන ප්‍රශ්නය හමුවේ ගුණරත්න වීරකෝන් මුහුණ දුන්නේ ලොකු අභියෝගයකටයි. 1993/94 වකවානුවේ ඇල්පිටියේ ජනතාව සමග ඔහු ගොඩ නගා ගත් සම්බන්ධතා ක්‍රමයෙන් බිද වැටීමට වැඩි කල් ගියේ නැත. එසේම කාරියවසම්ලා වෙනුවට ඇල්පිටියේ ජනතාවට විකල්පයක් ලැබීමත් මේ සබදතාව බිද වැටීම තීව්‍ර කරන ලදි.

තමන්ට අහිමිවන ඡන්ද පදනම හමුවේ තම බල පදනම් අලුතින් ගොඩ නගා ගැනීමට තරම් ගුණරත්න වීරකෝන් දක්ෂයකු වීම ඇත්තටම අගය කළ යුත්තකි. ඇල්පිටියෙන් ඔහුට අහිමි වූ ගොවිගම ඡන්ද වෙනුවට අම්බලන්ගොඩ, රත්ගම හා බලපිටිය ප්‍රදේශයන්හි කරාව හා සලාගම ඡන්ද පදනම් ඔහු විසින් තහවුරු කර ගත්තේ තමා දැරූ පළාත් ධීවර ඇමති ධූරයේ ශක්තියෙනි. 1999 දී නැවතත් පළාත් සභා මැතිවරණයේ දී මෙන්ම 2004, 2010 පාර්ලිමේන්තු මහා මැතිවරණයන්ගෙන් ද ගුණරත්න වීරකෝන් ජයග්‍රහණය කළේ එසේ ගොඩ නගා ගත් ඡන්ද පදනම් වලිනි.

1994 දී පළාත් අමාත්‍යවරයකු ලෙස කරන්දෙණිය සංවර්ධනය කිරීමට මූලික වූ ගුණරත්න වීරකෝන් ඉඩම් බෙදා දීම, නිවාස සාදාදීම, රැකියා සැපයීම වැනි සම්ප්‍රදායී මහජන නියෝජිතයකුගේ කාර්යභාරය ඉටු කිරීමෙන් ලබා ගත්තේ ලොකු සාර්ථකත්වයකි. ඒ අනුව නිවාස 1000 ක් ඉක්මවන ගම්මාන දෙක තුනක්ම අලුතින් ඇති කළ අතර මහා මාර්ග, ක්‍රීඩාංගන වැනි යටිතල පහසුකම් ද පාසැල් පද්ධති හා පාළම් ආදිය ද ඉදිකරමින් කලක් පිළිකන්නක් බවට පත්ව තිබූ කරන්දෙණිය ප්‍රදේශය භෞතික වශයෙන් ඔසොවා තැබූවේ ලොකු උසකිනි.

ඒ භෞතික සංවර්ධනය ජන ජීවිතයට ද ලොකු ගැම්මක් ලබාදුන් නිසාදෝ සමාජ තත්ත්වයේ එදා තිබූ පිරිහීම අද වනවිට සෑහෙන දුරකින් අවම මට්ටමකට ඇද වැටී අවසන් ය. නව ලිබරල් ආර්ථිකය නිසා ඇතිවන ඇති නැති පරතරය හා වෙනත් සමාජ ගැටළු සම්බන්ධයෙන් කරන්දෙණියත් පවතින්නේ අනෙක් ප්‍රදේශ හා සම මට්ටමක යන්න සත්‍යයකි. ඒත් කුල පීඩනය නිසා සමාජයේ පිළිකන්නක් බවට පත්ව තිබූ කරන්දෙණියට අලුත් ආලෝකයක් ලැබී ඇති බව සැගවිය නොහැක්කකි. සාපේක්ෂව බැලූ විට එදා කරන්දෙණියෙන් වාර්තා වූ මනුෂ්‍ය ඝාතන, සිය දිවි නසා ගැනීම් හා ඒවා සිදු කර ගැනීමේ දී යොදා ගත් අති අමානුෂික උපක්‍රම දැන් වාර්තා නොවන තරම් ය.

1977 දී තිබූ සමාජ වටපිටාව හා සංසන්දනාත්මකව බැලූ විට යම් ඉහළ මට්ටමක කරන්දෙණියේ ජන ජීවිතය පවතින්නේ වැදගත් සාධක දෙකක් මත යැයි පවසන්නට පුලුවන. 1978 දී ලෝකයට ශ්‍රී ලංකාව නිරාවරණය වීමත් සමග ගලා ආ ප්‍රාග්ධනය ඊට එක් හේතුවකි. කුල සාධකය මත පදනම් වෙමින් සම්ප්‍රදායිකව කරගෙන ආ කුරුදු නිෂ්පාදනයට ඉහළ වටිනාකමක් ලැබීමත් ලෝක වෙළෙද පළේ විවෘත වූ රැකියා අවස්ථා තුළ කරන්දෙණියේ රැකියා වියුක්තිය අඩුවීමත් නිසා මේ ප්‍රදේශයේ ආර්ථිකයට ලොකු අස්වැසිල්ලක් ලැබුණි. එසේ ගලා ආ විදේශ විනිමය නිසා කරන්දෙණියේ ආර්ථිකය ලැබුවේ ලොකු ජවයකි. ඒ නිසා කාලයක් පුරා මුළුගැන්වී තිබූ කරන්දෙනිය ආර්ථිකමය ලෙස ලැබූවේ ප්‍රබෝධයකි.

විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් මගින් වාර්ෂිකව විශාල මුදලක් පොම්ප කිරීම ප්‍රදේශීය සංවර්ධනයේ දී වැදගත් සාධකයකි. මහජන නියෝජිතයකු නොමැතිවම කාලයක් පුරා පසෙකට වී තිබූ කරන්දෙණියට එසේ රාජ්‍ය ප්‍රාග්ධනය ගලා ඒම භෞතික සංවර්ධනයේ ලා සපයන්නේ ප්‍රබල දායකත්වයකි. එසේ රාජ්‍ය ප්‍රාග්ධනය කරන්දෙනිය කරා ගෙන ඒමේදී පැවති විවිධ බාධා ජය ගැනීමට ගුණරත්න වීරකෝන් සතුව තිබූ නොදැමුනු ස්වරය ද එක් සාධකයකි. වරක් රාජ්‍ය ආයතනයකට අයත් ඉඩම් මහජනතාවට බෙදාදීමේ දී අනුගනය කළ අනීතික ක්‍රමවේදයට බාධා කළ රාජ්‍ය නිලධාරියා නිහඩ කළේ ඔහුගේ හිසට පිස්තෝලයක් තැබීමෙනුයි. ඒ අනීතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමය ද කරන්දෙණියේ සංවර්ධනයේ එක් පදනමකි.

ගෝලීය ප්‍රාග්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් නොතකා හැරීම ප්‍රබල සමාජ ගැටළු ඇති කළත් කරන්දෙනියේ වත්මන් ප්‍රබෝධයට ඒ සාධක දෙක විසින්ම දැරුවේ ලොකු අත්වැලකි. ගෝලීය ප්‍රාග්ධනය කරන්දෙණියේ අස්සක් මුල්ලක් නෑර ගලා ගිය නිසා වැඩවසම් කුල සාධකය අවලංගු කරමින් ආර්ථික වශයෙන් ශක්තිමත් පුරවැසියන් ලෙස සමාජය ඉදිරියේ අභිමානයෙන් නැගී සිටීම සදහා එහි ජනතාවට ලැබී ඇත්තේ ලොකු අවස්ථාවකි. එසේම වෙනස් නොවූ රාජ්‍ය පාලන ක්‍රමවේද වෙනස් කරමින් තීරණ ගැනීමේ ලා ජනතාවට වාසි සහගත ලෙස ක්ෂණික පෙළබීමක් ඇති කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාමාර්ග හා ආකල්ප මගින් ලබා දී ඇති ශක්තිය ද නොතකා හැරිය නොහැක්කකි.යුග ගණනාවක් පුරා කරන්දෙනියේ ජනතාව පීඩනයට පත් කළ කුල සාධකය යම් තරමකින් හෝ අවලංගු කිරීමට ප්‍රාග්ධනය දරා ඇති වෙහෙස අපමණ වුවත් සංවර්ධනය සදහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් නොතකා හැරීම සමාජයේ බරපතල බිද වැටීමකි.

ප්‍රාග්ධනය ගමට ගලා එන ධනේශ්වර සංවර්ධනය විසින් සමාජයේ ඉතුරු බිතුරු වී ඇති වැඩවසම් සමාජ ලක්ෂණ සෝදා හරියි. සමාජ සංවර්ධනයේ දී එය අමතක කළ නොහැකි කරුණකි. ශ්‍රී ලංකාව ධනේශ්වර සංවර්ධනයට යොමු කළ යුත්තේ එවැනි සමාජ සංවර්ධනයක් සදහා ය.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.