27 April, 2024

Blog

සයිටම් විරෝධයේ ව්‍යාජය

සෙනෙවිරත්න වැල්ලවත්ත –

රට පුරා ඇති රජයේ වෛද්‍ය පීඨ මගින් බිහි කරනු ලබතැයි කියන ගුණාත්මක භාවයෙන් යුත් වෛද්‍යවරුන් සතු සායනික සාමර්ථය සයිටම් ආයතනයෙන් බිහි කෙරෙන වෛද්‍යවරුන්ට නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුකම් ලබන අපොස උසස් පෙළ සමත් විශාල ශිෂ්‍ය පිරිසක් රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නොහැකි වීම යනු, වෛද්‍යවරුන් වශයෙන් බිහිවීමට සිටින විශාල පිරිසකගෙන් එම අවස්ථාව උදුරා ගැනීමකි.

තව තවත් වෛද්‍යවරුන් ලංකාවට අවශ්‍ය කෙරේ. එසේ හෙයින් සුදුසුකම් සහිත වෛද්‍යවරුන් තව තවත් බිහි කළ යුතුව තිබේ. එක වෛද්‍යවරුයෙකු බිහි කිරීමට රජය දරණ වියදම රුපියල් මිලියන 20 ක් බවට ගණන් බලා තිබේ. එම වියදම පියවන්නේ රටේ ජනතාවගෙන් එක්රැුස් කර ගන්නා බදු මුදල්වලිනි.

රාජ්‍ය අංශයේ වෛද්‍ය පීඨ

තිස් අවුරුදු සිවිල් යුද්ධයක් නිසා රටේ සම්පත් විනාශ විය. තව තවත් වැඩි වැඩියෙන් රාජ්‍ය අංශයේ වෛද්‍ය පීඨ ඇති කිරීමට නම්, ඒවාට අවශ්‍ය ගොඩනැගිලි ඉදි කිරීමට, අළුතෙන් පීඨ ඇති කිරීමට, ඒවාට පහසුකම් සැපයීමට, ගුරුවරුන් සහ අදාළ ශ්‍රේණි සඳහා සේවකයන් බඳවා ගැනීමට, ඒවා සඳහා අවශ්‍ය රෝහල් ඇති කරමින් ඒවාට අවශ්‍ය ඖෂධ සහ වෙනත් කළමනා සැපයීම ආදිය සඳහා අවශ්‍ය විශාල වැය භාරය නිසා අළුතෙන් වෛද්‍ය පීඨ ඇති කිරීමට රජයට හැකියාවක් නැති වීම හේතුවෙන්, අපොස සමත් වන සියලු වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීමට රාජ්‍ය අංශයට නොහැකි වෙයි. එසේම, රාජ්‍ය අංශයෙන් වෛද්‍යවරුන් වශයෙන් බිහි වන වෛද්‍යවරුන්ට මසකට රුපියල් 60,000 ක් වැනි ආරම්භක වැටුපක් ගෙව්වත්, බොහෝ දෙනා රාජ්‍ය අංශය හැර යති. තවත් අය ඈත පළාත්වල සේවය කිරීමට කැමැත්තක් නොදක්වති. තවත් අය රට හැර යති. තවත් අය පෞද්ගලික අංශයේ සේවය කරති. මේ තත්වය තුළ, ජාතික අවශ්‍යතාවක් වශයෙන් සළකා රටට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා රාජ්‍ය/පෞද්ගලික අංශයේ පොදු සහභාගීත්වය අවශ්‍ය කෙරේ.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව 2015 ජුලි මාසයේදී, සයිටම් වෛද්‍ය විද්‍යාලයට අයත් රෝහල පරීක්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා 10 දෙනෙකුගෙන් සැදුම්ලත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එව්වේය. සයිටම් ආයතනයට අයත් ශික්ෂණ රෝහලේ රෝගීන්ගේ සංඛ්‍යාව සහ රෝගීන්ගේ විවිධත්වය පිළිබඳ බරපතල ප‍්‍රශ්නයක් ඇති බව ඔවුහූ වාර්තා කළහ. එනම් රෝගීන්ගේ සංඛ්‍යාව සහ විවිධත්වය ප‍්‍රමාණවත් නොවන බව ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් විශ්ව විද්‍යාලයට විරෝධය දක්වන බව පෙනෙන්නේ, මේ කියන රෝහලේ පවතින රෝගීන්ගේ බරපතල හිඟය සහ රෝගීන්ගේ විවිධත්වය ප‍්‍රමාණවත් නොවීම නිසා විය යුතුය. ඒ අනුව, රාජ්‍ය අංශයේ වෛද්‍ය පීඨවල ශිෂ්‍යන්ට සායනික පුහුණුව සපයන දැනට රට පුරා පිහිටි රජයේ රෝහල්වල මේ අඩුපාඩු නැතැයි අප විශ්වාස කළ යුතු ද? රාජ්‍ය වෛද්‍ය පීඨ සියල්ලේම ශිෂ්‍යයන්ට එක සමාන රෝගීන් සංඛ්‍යාවක් ඇති සහ එක සමාන විවිධත්වයෙන් යුත් රෝගීන් සහිත රාජ්‍ය රෝහල්වලින් ඔවුන්ගේ සායනික අධ්‍යාපනය සහ පුහුණුව සැපයෙයි නම්, ඒ සියල්ලන්ට න්‍යායික සහ සායනික අධ්‍යාපනය සඳහා වන පොදු තනි විභාගයක් නොපවත්වා ඒ ඒ පීඨ සඳහා වෙන වෙනම විභාග පවත්වන්නේ ඇයි? එයින් අදහස් වන්නේ, එක රාජ්‍ය වෛද්‍ය පීඨයක් සහ තවත් රාජ්‍ය වෛද්‍ය පීඨයක් අතර මේ කියන සායනික සංයුතියේ ගුණාත්මක භාවය අතර වෙනසක් ඇති බව නොවේද?

සයිටම් ශිෂ්‍යයන්

සයිටම් රෝහල පටන් ගැනුණේ, ඉහත කී 2015 ජුලි මාසයේ පරීක්ෂණ කමිටුව පැමිණීමට බොහෝ කලකට ඉහතදී නොවේ. රාජ්‍ය අංශයේ වෛද්‍යවරුන් විසින් මේ රෝහල සඳහා අවශ්‍ය කරන කාලය සහ සහයෝගය දුන්නේ නම්, ඒ රෝහල වෙත අවශ්‍ය තරමේ රෝගීන් සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමටත්, අවශ්‍ය තරමින් රෝගීන්ගේ විවිධත්වයක් ඇති වන බවටත් වගබලාගත හැකිව තිබුණා නොවේද? මෑතක සිට මේ සයිටම් රෝහලේ නොමිලේ සේවා සැපයෙන අංශයකුත් පිහිටුවා ඇති බැවින් ඉදිරියේදී මේ ප‍්‍රශ්නය යම් තාක් විසඳාගත හැකි වන්නේය. රාජ්‍ය අංශයේ රෝහල්වලින්, පොදුවේ වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය සායනික පුහුණු පහසුකම් සලසාලීම රටේ උන්නතිය සඳහා හේතු නොවන්නේද? එසේ තිබියදී සයිටම් ශිෂ්‍යයන් රජයේ රෝහල්වලින් සායනික පුහුණුව ලැබීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වළකාලන්නේ ඇයි?

සයිටම් වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමේ සුදුසුකම්, රාජ්‍ය අංශයේ වෛද්‍ය පීඨවලට සිසුන් ඇතුළත් කර ගන්නා සුදුසුකම්ම විය යුතුය. සයිටම් වෛද්‍ය පීඨයේ විෂය මාලාව සහ සායනික පුහුණුව ගැන නිශ්චය කළ යුත්තේ සහ නිරීක්ෂණය කළ යුත්තේ රාජ්‍ය අංශයේ එම ක්ෂේත‍්‍රයේ ගුණාත්මක භාවය නිශ්චය කරන අපක්ෂපාතී ස්වාධීන මණ්ඩලයක් විසිනි. එසේම මේ ආයතනයේ ශිෂ්‍යයන් රාජ්‍ය අංශයේ ශිෂ්‍යයන් සමත් වන පොදු සාමාන්‍ය ප‍්‍රශ්න පත‍්‍රයෙන් සමත් විය යුතුය. එනම්, තරගයේ පොදු පදනමක් තිබිය යුතුය.

වර්තමාන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාව සියලු වෛද්‍යවරුන්ගේ සහ සියලු ශිෂ්‍ය සංගම්වල විරෝධතාවක් ද එසේ නැතහොත්, බලාධිකාරය හොබවන සුළුතරයකගේ උවමනාවක් ද? ඇත්ත වශයෙන්ම වැඩ වර්ජනයක් කිරීමට කලින් එම වැඩ වර්ජනය කළ යුත්තේද නැද්ද යන්න තැපැල් මගින් කෙරෙන රහස් ඡන්දයක් හරහා (මැතිවරණ දෙපාර්තමේන්තුවේ ද සහයෝගයෙන්?) නිශ්චය කරගන්නේ නම්, මෙකී ප‍්‍රහාරකයන්ගේ තර්ජන ගර්ජන බිඳලිය හැකි වන්නේය.

අනිත් අතට, මේ වනාහී දේශපාලනික වෘත්තීය සමිතිවල අවශ්‍යතා මත ගෙනියන පංති අරගලයක්වත් ද? එසේත් නැතහොත්, තමන් දැනට භූක්ති විඳින පෞද්ගලික චැනලින් කේක් ගෙඩිය තවත් පිරිසක් සමග බෙදාගෙන කෑමට නොකැමැති වෛද්‍යවරුන් පිරිසකගේ අභිලාෂයක්වත් ද?

*2017 ඔක්තෝබර් 10 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “SAITM Fiasco” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    It is very clear why the state doctors and med; students against SAITM .If there is any deficiency in clinical of SAITM the government should make facilities in state Hospitals. State duty on developing infrastructure for higher studies is a must. Allowing hospitals for clinical for the Private sector and monitoring them and conducting standard exams for them also a duty of the state. Govern; should have the proper and justifiable mechanism for that . it shouldn’t be the SLMC which is monopolize by the state doctors and DEANS and aristocratic.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.