26 April, 2024

Blog

හිසේ ඇම්මට මාරු කළ කොට්ටයේ කටු ඇනෙන්නට පටන්ගෙන ඇත

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පැවතීගෙන යන විවාදය අතරතුරදී පලවන ඇතැම් අදහස් වගකිවයුත්තන් විසින් වගකීමෙන් තොරව සිදු කරන ප‍්‍රකාශ බව පෙනී යයි. දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡාවකදී පසුගිය දිනයක කරන ලද ප‍්‍රකාශයක් උදාහරණ වශයෙන් උපුටා දැක්වීමට අවශ්‍ය වී ඇත. ව්‍යවස්ථාව පිළිබඳව මහානායක ස්වාමින් වහන්සේලාගේ ස්ථාවරය හා ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජයසේකර ඇමතිවරයා කියා සිටියේ මහානායක හිමිවරුන්ගෙන් නොයෙකුත් අය විමසුම් කරද්දී උන්වහන්සේලාටද යමක් හෝ ප‍්‍රකාශ කිරීමට සිදුවන බවයි. එම සාකච්ඡාවේදීම ඔහු තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ දැනට වසර පනහකටත් අධික කාලයක සිට උතුරේ දෙමළ ජනතාව වෙතින් ඉදිරිපත් වී තිබෙන ඉල්ලීම් හේතුවෙන් නව ව්‍යවස්ථාවක් බිහි කිරීමට සිදු වී ඇති බවයි.

මේ දෙකම වගකිව යුතු ඇමතිවරයෙකු විසින් නොකළ යුතු ළාමක හා බොළඳ කියමන් බව නොකියාම බැරිය. අපගේ ගෞරවණීය මහා නායක හිමිවරුන් ජාතික වශනේ අතිශයින් වැදගත් කාරණා සම්බන්ධයෙන් කාගේවත් උවමනාවන් පිරිමැසීමට හෝ බලපෑමට යටවීමෙන් යම් යම් ප‍්‍රකාශ නිකුත් කරන බව කිසිම බුද්ධිමත් බෞද්ධයෙක් පිළිගනිතැයි විශ්වාස කළ නොහැක. එය උන්වහන්සේලාගේ බුද්ධියට කෙරෙන විශාල අගෞරවයක් බව නම් කිව හැක. මේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වී ඇත්තේ උතුරේ දෙමළ ජනතාව පිනවීම සඳහා යයි සිතන අමනයින් සිටින්නට පුළුවන. එයද මුඛ්‍ය වශයෙන් හෝ ව්‍යවස්ථාවක් ගෙන ඒම​ සඳහා පවතින පුළුල් ජාතික අවශ්‍යතාවය හඳුන්වා දෙමින් කරුණු ඉදිරිපත් කළ දේශපාලන නායකයින්ට කරන ලද බලවත් අපහාසයකි. පුවත් සාකච්ඡාවලදී කරනු ලබන මෙලෝ හසරක් නැති මෙබඳු අපරිණත හිරිමල් ප‍්‍රකාශන වලින් රජය හා වගකිවයුත්තන් බලවත් ලෙසින් අපහසුවට පත්වන බව සිහි තබා ගැනීම කාලෝචිතය. පකිස්ථානයට යාමට නියමිත ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ ජීවිතාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්න කරන ජනමාධ්‍ය නියෝජිතයින්ට පිළිතුරු දුන් මෙම ඇමතිවරයා වෙඩි කන්නට හෝ තමාද එහි යන බව කීමත් එබඳුම සුරතල් කථාවක් නොවන්නේද? ඔවුන් මොනවා කීවත් අනේ අපේ කැබිනට්ටුවේ තත්වය ඔහොම තමා කියා සැනසෙන්නට දැන් රටවැසියන් හුරු පුරුදු වී හමාරය.

කබීර් හෂීම් අමාත්‍යවරයාද පුවත්පත් සාකච්ඡාවලදී විවිධ වෙට්ටු දැමීමටත් ඇතැම් විට එම සාකච්ඡාවල තොරතුරු ජනතාව අතරට පත් නොවනු ඇතැයි සිතමින් පිළිතුරු සපයන බවද පෙනී යයි. පසුගිය දින ගෑස් මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් සම්බන්ධයෙන් නැගූ ප‍්‍රශ්නයකට ඇමතිවරයාද දුන්නේ පුදුම සහගත පිළිතුරකි. සිංහල මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී ඉංග‍්‍රීසි බසින් ඔහු දුන්නේ ‘යන්නේ කොහොද මල්ලේ පොල්’ වැනි උත්තරයකි. ගෑස් සමාගමේ හිටපු සභාපති ඉවත් කිරීම එහි සිදුවූ ටෙන්ඩර් සිද්ධීන්ටද සම්බන්ධ බවට පෙන්නුම් කිරීමට ඇමතිවරයා ළාමක උත්සාහයක නිරත වන විට එම සභාපති එළවා දැමුමේ මහා පරිමාණ ජාත්‍යන්තර මූල්‍ය වංචාවක් සැකයෙන් තොරව ඔප්පුවීම නිසා බව එහි සිටි ඇමතිවරයා සිතුවට වඩා ඥනවන්ත මාධ්‍ය කරුවන් විසින් පෙන්වා දෙන ලදි. බොරු ලෝකයකට සිරවී ‘කල දුටු කල වල ඉසීමේ’ යෙදී සිටින අපේ ඇමතිවරුන්ට එබඳු පෙන්වාදීම්වල එතරම් වැදගැම්මක් තිබේද යන්න සැක සහිතය.

රට වැසියන්ට වැදගත් වන්නේ මෙබඳු පන්දු කෙලි නිසා ඉහල යන ගෑස් මිල දරා ගන්නේ කෙසේද යන්නය. ඒ තාක් දුරට ඔවුන් ඇමතිවරයාට වඩා මාධ්‍යවේදියාට ගෞරව කරන බවට නම් සැකයක් නැත. මාධ්‍යවේදීන් විසින් නගන ලද ප‍්‍රශ්නවලට අනුවත් පසුව හෙළිදරව් කළ තොරතුරු අනුවත් තවත් දූෂිත ගණුදෙනුවකට මුල පුරා තිබෙන බවත් ඒ මගින්ද දූෂණයේ පතුලටම කිඳා බසිමින් තිබෙන රාජ්‍ය පාලනයකට තවත් දැල්බරුවක් එල්ලී ඇති බවත් පැහැදිලි වේ. සැඟවුන න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා පිළිගත් ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය පිටුදැකීම සඳහා නෛතිකව වලංගු උපක‍්‍රමයක් හැටියට කැබිනට්ටුව මගින් පත්කල විශේෂ කොමිටියක් යොදවා ගැනීම නවතම පිළිවෙත බවද පෙනී යයි. හදිසි අවස්ථා මවා පාමින් පිළිගත් සම්ප‍්‍රදායන් වෙනුවට කෙටි පාරවල් යොදා ගැනීම අළුත්ම උප්පරවැට්ටිය වී ඇත.

පුවත්පතක්, රූපවාහිනියක් බැලූවොත් දකින්නට ලැබෙන්නේම කෙටි පාරවල් හරහා දූෂණවලට මඟ විවර කර ගැනීම පිළිබඳ තොරතුරුය. ගෑස්, ගල් අඟුරු ආදී සියලූම ආනයනයන්ද, අධිවේගී මාර්ග වැනි මහා පරිමාණ කොන්ත‍්‍රාත්තුද, බැංකු හා මූල්‍ය අංශය සම්බන්ධිත ගනුදෙනුද යන මේ සියල්ල පිළිබඳව දක්නට ඇත්තේ විෂම ආරංචි පමණි. කෙටිකාලීනව අධික ඉපැයීම් ඉලක්ක කරගෙන කරන දූෂිත ගනුදෙණු නිසා රටම වෙලාගත් දූෂණ රැුල්ලක් පැතිරී යමින් පවතී. නිතර නිතර එල්ලවන චෝදනා තිබුණ ද මෙම කටයුතු වැඩි තැකීමක් නොමැතිව සිදුවෙමින් පවතින බවක් පෙනේ. එය එක්තරා දේශපාලන හිතුවක්කාර කමක්ද වේ. තවත් අතකින් බලන විට දිගු කාලයක් බලයේ රැුදී සිටීම සම්බන්ධයෙන් පැන නැගුන අවිනිශ්චිත බවක් නිසා මෙබඳු දේ කරන බවක්ද සිතාගත හැක.

අර්ජුන ඇලෝසියස්ට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර නොලැබීමද ජනතා අවධානයට යොමු වූ තවත් වැදගත් කාරණයකි. මේ සා මහත් තොරතුරු සම්භාරයක් හෙළිදරව් වී තිබියදී රටම මවිතයට පත් කරන වංචාවක් පිළිබඳ විශාල ආන්දෝලනයක් තිබියදී ද තමන්ගේ සුපුරුදු රටාව යටතේ තවදුරටත් නිදැල්ලේ ඔබ මොබ යාමට තරම් මානසිකත්වයක් මොවුන්ට ලැබෙන්නේ කෙසේද? බැඳුම්කර මගඩිය පුරාම දක්නට තිබෙන නීතිය, රෙගුලාසි හා පිළිවෙත් නොතකමින්ද බලතල ඉක්මවමින්ද තමන් දෙසට එල්ලවී පවතින විවේචන හා චෝදනා නොතකමින්ද කටයුතු කිරීමේ ප‍්‍රවණතාවයක් තවමත් එයට සම්බන්ධ වී සිටි අය තුළින් ප‍්‍රදර්ශනය වීම තුළින් පැහැදිලි වන්නේ මොනවා හෙළිදරව් වුනත් අපට කිසිවක් වන්නේ නෑ වැනි අදහසක් ඔවුන් තුල පවතින බවය.

වෙන කවරදාක කුමක් වුවත් මහ බැංකු බැඳුම්කර මගඩි නැටුමේ රංගන ශිල්පීන්, අධ්‍යක්ෂවරු, පසුබිම් ගායකයින් හා වේදිකා සකස් කළ වුන් ඇතුළු ලොකු කුඩා සැමටම දේශපාලන ලෝකයෙන්ද සමාජය තුළින්ද හොඳම ප‍්‍රතිචාර ලැබීම නම් කිසිවෙකුටත් යටපත් කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි වනු ඇත. ලෝවැඩ සඟරාවේ ‘‘සැපයක් නම් නැත කම් රස කෙළියේ’ යන කවිය සිහිගවන්වමින් දැනට සිදුවේගෙන යමින් පවතින ක‍්‍රියාවලිය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.

ව්‍යවස්ථාව, සයිටමය, මඟ නැඟුම් රැුඟුම, විල්පත්තු විනාශය, නිදන්ගත කුණු කඳු, ජලය නොමැතිව පීඩා විඳින ජන ගැටළු, මහ පොලව දෙදරවන උමා ඔයවවල් තවමත් එතැනමය. ඒවා ජනතාවට බවුන් වැඞීමට ඉතිරි කළ කසීන මණ්ඩප බවට පත්ව ඇත.
රාජ්‍ය බැංකු, ගුවන් තොටුපල, වරාය, ජාතික ගුවන් සේවය නිර්දය ලෙසින් විජාතික කිරීමේ කටයුතු ඒ අතරතුර යහතින් හා නිරුපද්‍රිතව සිදුවෙමින් පවතී. පාර්ලිමේන්තුවේ තත්ත්වයද වැඩි වැඩියෙන් හාස්‍යජනක වෙමින්ම පවත්වාගෙන යාමද එම ගුප්ත සංවර්ධන වැඩ පිළිවෙලේම තවත් අංගයකි. මහජන සේවයෙන් ඉවත් කළ යුතු කොටස් මල් මැදුරේ රැුකවරණ ලබමින් සිටී. මහා වංචා හා දූෂණ රැුල්ලට තවත් බොහෝ දේ එකතුවෙමින් පවතී. සංවර්ධන අපේක්ෂා ඉලක්කයන් අඳුරු සමයේ දිග ඇදෙන සෙවණැලි මෙන් වී ඇත.

මුලින් පළවූ වොක්ස්වැගන්, මෙගාපොලිස්, ක්ෂණික රැුකියා දශලක්ෂ ජන මතකයෙන් ඉවත්ව යමින් තිබියදී, සංවර්ධන ඉලක්ක ක්ෂිතිජය දක්වාම දිග ඇදෙමින් පවතී. අපේ සැලසුම් සංසාරය තරමටම දිගය. මනා රචනා රටාවට යටවී ප‍්‍රසිද්ධියට පත්වෙමින් තිබෙන ආර්ථික යෝජනාවල හරය තවත් චුවින්ගම් හා බ්‍රේස්ලට් ඉක්මවා ගිය බවක් පෙනෙන්නට නැත.

ලෝකය වේගයෙන් වෙනස් වේ. සෑම රටක්ම තමන්ගේ නිපැයුම් හා ආර්ථික වර්ධනය තමාට ගැළපෙන ලෙසින් සකස්කර ගනිමින් සිටී. එම ජගත් ගමන්මගට අප එක්වන්නේ අපට ණයට දී පොලී උපයාගෙන තමන්ගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට උත්සාහ කරන රටවල් වල ගොදුරක් වීමටය. එබඳු ව්‍යාපෘති හරහා තම තමාගේ බැංකු ගිණුම් තර කර ගැනීම ස්ථිරසාර දිගුකාලීන සම්පත් වර්ධනයක් දෙසට යොමු වීමට වඩා අපේ ඊනියා සැලසුම්කරුවන්ට වැදගත්ය. අන් රටවලට අපෙන් ලබා දිය හැකි දේ ගැන දක්වන අවධානයට වඩා ඔවුන්ගෙන් අපට ලබා ගත හැකි දේ ගැන සැලකිල්ල වැඩි වී ඇත.

හිසේ ඇම්මට මාරු කළ කොට්ටයේ කටු ඇනෙන්නට පටන්ගෙන ඇත. සුව පහසු නින්දකට කවුරුත් කැමති නිසා පවතින අඩුපාඩු මඟහරවා ගත හැක්කේ කෙසේදැයි ජනතාව දැඩි අවධානයෙන් සිටී.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    හොඳ ලිපියක්. කටු අකුල් වල නිදියන්න හෝ කොට්ටෙ ඇනෙන කටු අරන් දදා ඉන්න මිනිස්සුන්ට ඕනේ කමක් නැහැ. පුළුන් වෙනුවට තියෙන්නේ කටු බව දැන් තමා චන්දෙ දීපු මිනිස්සුන්ට තේරෙනව ඇත්තේ. කටු තියෙන කොට්ටේ වීසි කරලම දාන්න ඕනේ. රනිල් හැමෝම නොමඟ යවල අවුරුදු 4 1/2ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරවා හරින්න බැරි කර ගත්ත නිසා මිසක්, නැත්නම් මෙලහට මිනිස්සු පාරට බැහැල, හර්තාල් කරලා, අරගල කරලා, මේ ආණ්ඩුව එළවල. මිනිස්සු ආයේ කවදාවත් මම හිතන්නේ නැහැ ශ්‍රීලනිප, යුඑන්පී හෝ රාජපක්ෂලට චන්දෙ දෙයි කියල. හැමෝටම තිත්ත වෙලා තියෙන්නේ දේශපාලකයන්ව.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.