19 April, 2024

Blog

මැයි දින කියුම් හා කෙරුම්

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

දිනන පක්ෂය වෙනුවෙන් එකක්ද, එක අතට එක මිටට තවත් පක්ෂයක්ද, රජයට එරෙහිව තවත් කොටසක්ද, ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයේ මැයි රැුලි පැවැත්වූහ. සෙසු පක්ෂ හා කම්කරු සංවිධාන සුපුරුදු පරිදි මැයි සැමරුම නිම කළහ. වැඩ කරන ජනතා ශක්තිය එ්කරාශී කිරීම වෙනුවට දේශපාලන පක්ෂවල සවිය පෙන්නුම් කිරීමේ තවත් සන්දර්ශනයක් එසේ නිම විය.

වහලූන් මෙන්, සම්මත වැඩ කරන වේලාවක් නොමැතිව, වැඩපොලවල් සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවන තැන් බවට පත්ව සිටි යුගයකදී, පැය 8 ක වැඩ මුරයක් ඉල්ලා සටන් වැදී කම්කරුවන්ගේ ජීවිත අහිමි කරගත් දිනය මෙසේ දේශාපලන බලයට යටවී එකිනෙකාට අවලාද නගා ගන්නා වේදිකාවක් නිර්මාණය වන දවසක් හැටියට දැකීමට කම්කරු ජනතාවට සිදුවී තිබීම ශෝචනීය කාරණයකි. සැබෑ කම්රකරු ඒකරාශී වීම මෙම දේශපාලන පක්ෂවලට මහත් හිසරදයකි. එනිසාම ඔවුන් තම පක්ෂ අතර කම්කරු පිරිස් බෙදා ගනිමින් එම එ්කරාශීවීමේ බලය ශුන්‍යකර දමන අතර, එබඳු කම්කරු බලවේගයක් මතු නොවීමෙන් තම තමාගේ පැවැත්ම තහවුරු කර ගැනීමේ අපූර්ව අනෝන්‍ය අවබෝධයකින් කටයුතු කරන අතර, එකිනෙකාට එල්ලකර ගන්නා අවලාද මගින් ඔවුන්ගේ සැබෑ කම්කරු පන්ති විරෝධී අරමුණු ව්‍යාජ ලෙසින් වසන් කර ගැනීමටද සමත්ව සිටිති. පාලන බලයේ සිටින කොටස් අතර කම්කරුවන් වෙනුවෙන් හෝ ජාතික වශයෙන් හෝ කිසිම සම්මුතියක් නැත. එහෙත් ඔවුන් සම්මුතිවාදිව කටයුතු කරති. ඒ ඔවුන්ගේම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ඇතිකරගෙන තිබෙන සම්මුතිය තුලය. බලය හරහා තම තමාගේ කාර්යයන් අඩුපාඩු වලින් තොරව ඉටුකර ගැනීමේ සම්මුතිය තුලය. කම්කරුවන් එ්කරාශී වීම වළකන සම්මුතිය තුල ඔවුන් තදින්ම පිහිටා ඇත. අසරණ කම්කරුවන් එයට ගොදුරු වී සිටින බව ජාත්‍යන්තර කම්කරු දිනයේදී ඉතාමත් ශෝකභරිතව අපි මෙනෙහි කරමු.

අප රටේ කම්කරුවන් වෙනුවෙන් ඉටු නොවූ ප‍්‍රශ්න ගණනාවක්ම පවතී. අවධානය නිසි අයුරින් යොමු නොවුනු කරුණුද බොහොමයකි. දිනාගත් හා ලබාදුන් අයිතීන් හා හිමිකම් ක්ෂය වෙමින් පවතින තත්ත්වයන්ද ඇත. ඒවා සියුම් දේශපාලන සට කපටකම් මගින් උදුරා ගැනීමේ ව්‍යාපාරයක්ද දියත් වෙමින් පවතී. මෙබඳු වාතාවරණයක් තුල කම්කරු ප‍්‍රශ්න ගැන කථා කිරීම, ඒවාට විසඳුම් සෙවීම, යෝජනා කිරීම, වෙනුවට සිය දේශපාලන විරුද්ධවාදීන්ට මඩ ගැසීමටත්, දේශපාලනයේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහාත් ඔවුන් මැයි දිනය යොදා ගැනීම නිසා කම්කරුවාට තමාගේ ප‍්‍රශ්න පිළිබඳව කථා කිරීමට හඬක් නැගීමට තිබෙන එකම දිනයත් අහිමිවී ඇත.

මෙරටේ බහුතරයක් කම්කරු ජනතාවට නිසි ආකාරයේ සේවාවසාන ප‍්‍රතිලාභ ක‍්‍රම සලස්වා දී නැත. ජීවිතයේ වි‍්‍රශාම කාලය ඔවුන් ගත කළ යුතුව ඇත්තේ සිය දූ දරුවන්ටත් සමාජයටත් බරක් ලෙසින්ය. අති විශාල බහුතරය සේවයෙන් විශ‍්‍රාම ගන්නේ තමාගේම දායකත්වයෙන් ඉතිරි වූ අර්ථසාධක අරමුදලට පමණක් හිමිකම ඇතිවිය. එම මුදල් වැය වූ පසු ඔවුන්ගෙන් බහුතරයක් සමාජයේ අසරණ වුවන් බවට නිසැකයෙන් පත්වේ. මිනිසුන්ට මියයන තෙක් අනුනට අත නොපා ජීවත් වමේ අයිතිවාසිකමක් තිබිය යුතුය. තමාගේ යව්වනය, ජීවන ශක්තිය වැඩකරන කාලයේදී සේවයට ලබාදෙන කෙනෙක්, වැඩ කිරීමට නොහැකි කාලයේදී අසරණ බවට පත්විය යුතුද? මෙය බරපතල සමාජ ප‍්‍රශ්නයකි. සෑම ශ‍්‍රමිකයෙකුටම මරණය දක්වා හිමිවන විශ‍්‍රාම වැටුපක් තිබිය යුතුය. එමගින් ඔහු සමාජයට හෝ සිය පවුලට බරක් නොවන කෙනෙක් විය යුතුය.

අර්ථසාධක අරමුදල සුරක්ෂිත විය යුතුය. එය දේශපාලකයින්ගේ අනුග‍්‍රහය සහිතව කොල්ල කෑමට භාජනය නොවිය යුතුය. දූෂිත ව්‍යාපාරිකයන්ට අසීමිත ලාභ උපදවා ගැනීම සඳහා අනිසි ලෙස යොදවා ගන්නා ධන උල්පතක් බවට අප රටේ අර්ථසාධක අරමුදල පසුගිය දිනවල භාජනය වී තිබීම රහසක් නොවේ. එසේ කොල්ලකාගත් මහා ධන සම්භාරය කොල්ලකරුවන්ගෙන් ආපසු අයකර ගත යුතුය. යළිත් එබඳු ඉරණමක් අත් නොවීම සඳහා අවශ්‍ය ආරක්ෂාකාරී ප‍්‍රතිපත්තිමය පියවර ගත යුතුය.

අර්ථසාධක අරමුදල, සේවා භාර අරමුදල, සේවක පාරිතෝෂික දීමනා අරමුදල යන මේ සියලු ප‍්‍රතිලාභ අතරට විධිමත් ලෙස හඳුන්වා දෙන විශ‍්‍රාම වැටුපක් අසරණ කම්කරුවන් වෙනුවෙන් ලබා දිය යුතුය.

අන්ත අසරණ වහල් තත්ත්වයෙන් ලයින් කාමර ජීවිතයට කොටුවී සිටින වතුකරයේ කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය මානුෂිය මට්ටමක් දක්වා වර්ධනය කළ යුතුය.

වයස් ගතවී රෝගීන් බවට පත්වී අසරණවන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතුය. කම්කරුවාගේ සෞඛ්‍ය තත්ත්වයත්, ඔවුන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වයත් අද මුළුමනින්ම නොසලකා හැර තිබෙන ක්ෂේත‍්‍ර බවට පත්වී ඇත.

මේ ගැන අවංකව කථා කරන, මේවාට පිළියම් සොයන නායකයින් අප අතර නැත. ඔවුන්ගේ කථාබහ යොමුවී පවතින්නේ ඔවුන්ගේම පැවැත්ම සඳහා වූ බල අරගලයේ ගැටළු දෙසටය. එක නායකයෙක් තමන්ගේ මැයි රැුලියට පැමිණ ඇති සෙනඟ දෙස බලා තමන්ගේ මීලඟ මැතිවරණය ගැන කියයි. ‘‘මේ සෙනඟ දකින විට අපිට ඕනෑම මැතිවරණයක් ජය ගත හැකි’’ බවට උදම් අනයි. එසේ වුවද යාබදව පැවැත්වෙන තවත් මැයි රැුලියක ඊට වඩා හතර පස් ගුණයක සෙනඟක් සිටින බව මෙම නායකයා දන්නේ නැත. ඒ බව දන්නවා නම් තමන්ගේ සුළුතර සෙනඟ දෙස බලා එබඳු අඥන ප‍්‍රකාශයක් නොකරනු ඇත.

මැයි රැුලියකදී වෘත්තිකයන්ටත්, සංවිධානය වූ විරෝධතාවන්ටත් ඉතාමත් නින්දිත ලෙසින් පහර දුන් ඉතිහාසයක් නැත. කම්කරුවන්ගේ දවස වන මැයි දිනයකදී කවුරු කවුරුත් තම තමාගේ හයිය පෙන්වීමට යන්නේ නැත. කම්කරු පන්තිය දෙස සානුකම්පිත ලෙසත්, සංවිධානය වූ පිරිස් විසින් ගෙනයනු ලබන විරෝධතා ව්‍යාපාර දෙස තරමක් සංයමයකින් හා ඉවසීමෙන් බැලීම හා කථා කිරීමත්, වැදගතුන්ගේ සිරිතකි.

දිවංගත ඇස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැති තුමාට තරම් කම්කරු පන්ති ව්‍යාපාරවලින් පහර වැදුනු නායකයෙක් මේ රටේ සිටියේ නැත. එමෙන්ම එතුමා තරම් ඒවා දෙස ඉතා ඉවසිලිමත්ව බැලූ නායකයෙක්ද සිටියේ නැත. එක වෙසක් තොරණක වයර් මාරුවී සවිකර තිබූ නිසා එහි එන එක්තරා නාටිකාංගනාවන්ගේ නැටුම් දර්ශනයක් විකෘති විය. විදුලිය වැරදි තැනට සවිකර තිබූ නිසා නිසලව තිබිය යුතු රජ කෙනෙක් නටන්නට පටන් ගත්තේය. නාටිකාංගනාවන් නිසලව බලා සිටියේය. වයර් මාරුවීම නිසා නොයෙක් විකෘතිකම් සිදුවිය හැකිය. ඇමතිවරුන්ටද වයර් මාරු වීම නිසා නොයෙකුත් විකෘති තත්ත්වයන් ඇතිවිය හැකි බව සත්‍යයකි. රාජිත ඇමතිතුමා මැයි දිනයට දවස් 2 කට කලින් ජනාධිපතිවරයා ඇමතු බව කියයි. අගමැතිවරයාටද කථාකල බව ඔහුම කියයි. එසේ කථාකර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ දඬුවම් ප‍්‍රමාදය ගැනලු. එසේ නම් මැයි දිනයට ඔහු සූදානම් වී ඇත්තේ මහින්ද ගැන කථා කරන්නටය. කම්කරු ප‍්‍රශ්න ගැන කථා කිරීමට නොවේ.

රාජිත හොඳ ඇමතිවරයෙකි. මෙසේ වූයේ මක් නිසාද යන්න ප‍්‍රශ්නයකි. එතුමාට එරෙහිව කවුරුන් හෝ කුමන්ත‍්‍රණයක් කරමින් එතුමාගේ ලිපිගොනු එලියට අදින්නට ගිය නිසා මෙසේ වූවාදැයි නොදනිමු. ජනමත විචාරණයක් මගින් ව්‍යවස්ථාවක් සංශෝධනය කර ගැනීමක් ගැනද ඔහුගේ වේගවත් වෛරී ස්වරූපයක් ගත් මැයි දින කථාවේ කියැවින. ජනමත විචාරණයකට ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන එතරම් කලබල විය යුත්තේ මක්නිසාදැයි අපට නම් තේරුම් ගත නොහැක. කම්කරුවන් මර්දනය කිරීමට අභියෝග කිරීම එතරම් ශුභවාදී නැත. කාරණය කුමක් වුවත් පාගා දැමීමට එරෙහිව නැඟී සිටීම කම්කරු පන්තියේ ස්වභාවය බැවින්ය. රාජිතගේ දරදඬු ප‍්‍රකාශය එ.ජා.ප. ය අනුමත කරන්නේද යන්න ජනතාව අතරේ පැන නැඟී ඇති ප‍්‍රශ්නයකි. එ.ජා. පක්ෂයේ ලාබාලයකු වන රාජිත පක්ෂයේ මැයි දිනයේදී එතරම් බරපතල ලෙසත්, ආවේගශීලී ලෙසත් මර්දනය කිරීමේ අභියෝගය එල්ල කළේ කා වෙනුවෙන්ද යන ප‍්‍රශ්නයද ජනතාව අතරේ පවතී. කළු බළල්ලු, කහ බළල්ලූ, ප‍්‍රා වැනි මර්දන කණ්ඩායම්වල අතීත කථා සිහි ගන්වනසුළු මෙම අභියෝගාත්මක මැයි දින කථාව, යහපාලන රජයකට නම් කිසිසේත්ම නොගැළපෙන බව සඳහන් කළ යුතුය.

අද අපේම අවාසනාවට මැයි දින ශක්තිය ප‍්‍රදර්ශනය වන්නේත් ඒ ගැන කියන්නේත් බස් කීයකින් සෙනඟ ගෙන ආවාද යන මිම්ම යොදා ගනිමින්ය. තවත් සමහරු එය මනින්නේ අරක්කු බෝතල් කීයද, අතට දුන් ගාන කීයද යන මිනුම් දඬු වලින්ය. සෑම දේශපාලකයෙක්ම තමන්ගේ උදාරම්කම කියා පාන්නේ එන සෙනඟ දෙස බලමින්ය. එසේ වන විට වැඩියෙන්ම උදාරම් ගායනය කළ හැක්කේ මහින්දටය. ඒ රැුලියට ගෝල්ෆේස් පිටියද ඉඩ මදි වී පිරී ඉතිරී යන තරමේ සෙනඟක් ගෙන ආවේය. සෑහෙන්නට වියදම් යන්නට ඇතිය. ඒත් ගේම ඔහු දිනුම්ය. මක්නිසාද සහභාගී වන ඔළුගෙඩි සංඛ්‍යාව ශක්තිය හා බලය මැනීමේ මිනුම් දණ්ඩ වන නිසාය.

ඒත් මේ තුන් ගොල්ලටම වැරදී ඇත. ගැටඹේ, කැම්බල් පාර්ක් එමෙන්ම ගෝල්ෆේස් එකට ආවේ ටික දෙනෙකි. වැඩි දෙනෙක් ගෙනාපු අය වේ. ගෙනඒම සඳහා වියදම් කළ යුතුය. වියදම් කළ ප‍්‍රමාණයට එම ප‍්‍රතිඵල සාර්ථක වේ. එහෙත් සත්‍යය අනිකකි. මේ සියල්ලම බලා සිටින එකකටවත් නොයන අති විශාල බහුතරයක් මේ බහුරූ කෝලම් දෙස බලා සිටින බවයි. ඒ අය අරක්කු බෝතලයට බත් පැකට්ටුවට නොමිලේ කොළම යාමට, රක්ෂාවේ ඉල්ලුම්පත‍්‍රයට හා සම්ම්ඛ පරීක්ෂණයට ලැබෙන ලකුණට යටවන පෑගෙන උදවිය නොවේ.

සාධාරණත්වය, නීතිය, යුක්තිය රජකරවීම ඒ අයගේ පැතුමයි. එය ඉටුකරගත හැකි බව ඒ අය හොඳින්ම තේරුම් ගෙන තිබේ. පසුගිය යුග පෙරලිය හොඳම සාධකයයි. එයට දායක වුන, කඬේ ගිය බොහෝ දෙනාට සමාජයේ දැන් දැන් එතරම් පිළිගැනීමක්ද නැත. ඔවුන් හති අරිමින් සිටිති. මේ අතර ජනතාව නිහඬව අවස්ථාව උදාවන තුරු බලා සිටිති. තුන්ගොල්ලම උන් උන්ට කියා ගන්නා දේ අපට ඇසේ. තුන්ගොල්ලම කරන් දේත්, සමහරු කරපු දේත් අපට පෙනෙන්නට ඇත. එමනිසා කලින් කඬේගිය වන්දි බට්ටයින් නැතිවම, හෙමින් ඒකරාශී වෙමින් සිටින, සාධාරණය, යුක්තිය, නීතිය අගය කරන බලවේගයක් එක් වෙමින් සිටී. ඔවුනට ගෝල්ෆේස්, කැම්බල් පාර්ක් හෝ ගැටඹේ අවශ්‍ය නැත.

කාලය ගතවෙන තරමටම එම සිදුවීම වඩ වඩාත් තීව‍්‍ර ලෙසින් වර්ධනය වන්නේය. කැම්බල් පාර්ක් ජනතාව දෙස බලමින්ද, ගැටඹේ කණ්ඩායම් ගණන් කරමින්ද, ගෝල්ෆේස් ඔළුගෙඩි නරඹමින්ද සිටිනවුන්ට ජනතාව වෙනුවෙන් අපට කියන්නට ඇත්තේ ඔය එකකටවත් නැති අතිවිශාල බහුතරයක් තොපගේ නරිවාදම් නරිනාටක බලා සිටින බවය.

මැයි දිනයට ජය වේවා !

සාධාරණත්වය අගයන මිනිසුන්ට ජය වේවා !

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.