26 April, 2024

Blog

ආර්ථික බිම් බෝම්බ: අද අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්

ආර්ථික බිම් බෝම්බ ජනතාවගේ අතරේ පිපිරෙන්නේ නැතිව ඒවා නිශ්ක්‍රීය කිරීමේ ව්‍යාපාරයක් අපේ ආණ්ඩුව අරඹා තිබෙනවා. මේ එක් බිම් බෝම්බයක්වත් ජනතාවගේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් නිශ්ක්‍රීය කරන්නට අප මූලිකත්වය ගෙන තිබෙනවා. එහි ප්‍රධාන තීරණ අප කැබිනට් මණ්ඩලයේ දී ගත්තා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එම තීරණය බලපානවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අත ගසන්නේ නැතිව ණය බර මේ ආකාරයටම ගෙන ගියහොත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය කඩා වැටෙනවා. ඒ වගේම අපේ ආර්ථිකයත් කඩා වැටෙනවා. ඒ වගේම අපගේ සංචාරක ව්‍යාපාරයත් කඩා වැටෙනවා. මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිසා අපට විශාල ණය බරක් දැරීමට සිදුවී තිබෙනවා.

Ranil Wශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙනුවෙන් ඩොලර් බිලියන 3.252 ක් ණයයි. ඒ ණය බරින් ගුවන් සේවය වියදමක් දැරීමට අපට සිදුවී තිබෙනවා. මුදවා ගැනීමට අප කැබිනට් මණ්ඩලයට පත්‍රිකා තුනක් ඉදිරිපත් කළා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත්වී තිබෙන ඉරණමෙන් ගොඩගෙන එය පවත්වා ගෙන යාමට රජය සමග තවත් හවුල්කාර සමාගමක් සොයා ගත යුතුව තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ඇණවුම් කළ ගුවන් යානා 4 ක නිෂ්පාදන කටයුතු තවමත් ආරම්භ කර නැහැ. එම ගුවන්යානාවල නිෂ්පාදන කටයුතු නවතා දමන්නැයි අප දැනුම් දී තිබෙනවා. නිෂ්පාදන ආරම්භ කර ඇති ගුවන්යානා 4 ක් ගැන පියවර ගැනීමට තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2008/2009 කාලයේ දී රුපියල් මිලියන 1000 ක් 2009/2010 කාලයේදී බිලියන 2.698 ක්, 2010/2011 කාලයේදී මිලියන 382 ක්, 2011/2012 කාලයේදී බිලියන 19.778 ක්, 2012/2013 කාලයේදී බිලියන 26 ක් 2013/2014 කාලයේදී බිලියන 32 ක්, 2014/2015 කාලයේදී බිලියන 16 ක් වශයෙන් අලාභය වාර්තා වී තිබෙනවා. 2014/2015 අලාභය අඩුවී ඇත්තේ තෙල් මිල අඩු වූ නිසයි. මේ පවතින අලාභය නිසා කිසිවෙකු මේ ගුවන් සේවය අරගන්නේ නැහැ. ඒ නිසා අපට විකල්ප දෙකක් ඉතිරි වී තිබෙනවා. එකක් ගුවන් සේවය වසා දැමීමයි. අනෙක ගුවන් සේවය පවත්වා ගෙන යෑම සඳහා රජයේ මුදල් යෙදවීමයි. ගුවන් සේවය වසා දැමීමේ විකල්පය දෙස අප අවධානය යොමු කළේ නැහැ. ඒ වෙනුවට ලබන ඔක්තෝබරය තෙක් ආයතන පවත්වාගෙන යාම සඳහා අප වෙනමම මුදල් වෙන් කළා.

ශ්‍රී ලංකා ගුවන් සේවය සහ මිහින් ලංකා ගුවන් සේවය ප්‍රතිසංස්කරණය කොට ඔක්තෝබරය දක්වා පමණක් ඉදිරියට ගෙන යාමට නම් ඩොලර් මිලියන 201 ක මුදලක් අවශ්‍යයි අප එය ලබා දුන්නා. ඩොලර් මිලියන 70 ක ණය පහසුකම් ද අප අනුමත කර තිබෙනවා. එම ණය සඳහා ආණ්ඩුව සහතිකයක් ලබා දී තිබෙනවා. මේ ගුවන් සේවය එක්වරම කඩා වැටුණොත් විතරක් ප්‍රශ්නයක් ඇති වෙනවා. ශ්‍රී ලංකා රජයට මෙම ණය ලබා ගෙන අනාගතයේදී ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් වන ණය නතර කර ගැනීමට තවත් ආයෝජකයකු හවුල්කරුවෙකු කර ගෙන ඉදිරියෙට ගෙන යෑම අපගේ අරමුණයි. අපට ඉතිරිවී ඇත්තේ ගුවන් සේවය වසා දැමීම හෝ හවුල්කරුවකු සමග එක්වී ගුවන් සේවය ඉදිරියට ගෙන යාමයි. මෙම ගුවන් සේවය පවත්වා ගෙන යන්නට අප මුදල් දුන්නොත් ජනතාව මත තවත් බර පැටවෙනවා. ජනතාව මත එම බර පටවන්න අප සූදානම් නැහැ.

අප ඉදිරියට යා යුත්තේ මෙම සියලූම ප්‍රශ්න විසදා ගනිමිනුයි. මේ එක් ණය බෝම්බයක් පමණයි. අප මේ බෝම්බයට අතගසා ටිකෙන් ටික එම වයර් ගලවනවා. කිසිවෙකුටත් හානියක් නොවන අයුරින් එම වයර් ගැලවීම අපගේ අරමුණයි. ඉන්පසුව මෙය ඉදිරියට ගෙන යා යුතුයි. අද මේ බෝම්බය නිෂ්ක්‍රිය කළා පමණයි. කිසිම වගකීමක් නොමැතිව ණය ගැනීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය නොදැන තීරණ ගැනීම හේතුවෙන් විශාල ප්‍රශ්න ඇති වී තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ පාලනයක් ඇති කර ගැනීම සඳහා නව කෙටුම් පතක් සකසා දෙන්නැයි අප පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා. අය වැය සඳහා පාර්ලිමේන්තුවේ වෙනම මූල්‍ය කාර්යාලයක් ඇරඹිමට අප පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව අප ජාතික විගණකාධීපති කෙටුම්පත පිළිබඳව ද සාකච්ඡා කොට තිබෙනවා. අවසන් නිර්දේශ ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල කොමිටියක් පත් කර තිබෙනවා. මෙම ණය බර අනාගතයට උරුම කර නොදීම අපගේ අරමුණයි.

ආණ්ඩුවක් ලෙස අප දැන් මේ වන විට රැකියා ලක්‍ෂ 10 ක් බිහි කිරීමේ කටයුතු අරඹා තිබෙනවා. ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම එහි අරමුණයි. ආර්ථික බිම් බෝම්බ පිපිරුණොත් මේ කිසිදු අරමුණක් ඉටු කර ගැනීමට අපට හැකියාවක් නැහැ. අප සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කොට මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඊළඟ වසර කිහිපය ඇතුළත දෙගුණයක් කිරීම අපගේ අරමුණයි. ඒ සඳහා පුද්ගලික ආයෝජකයින්ගේ සහය ලබා ගත යුතුයි. රජය සහ සංස්ථා මාර්ගයෙන් පමණක් කරන්නට හැකියාවක් නැහැ.

අප අලූත් රටක් වෙනුවෙන් අලූතින් සිතන්න අවශ්‍යයි. චීනය 1978 වසරේදී ගමන් කළ මාර්ගය පිළිබඳ අප අධ්‍යයනය කළා. ඒ රටවල්වලින් අප උදාහරණ ගත යුතුයි. ආර්ථිකය දියුණු කිරීම සඳහා 1991 වසරේදී ඉන්දියාව නව ගමන් මාර්ගයක් ඇරඹුවා. අපත් දැන් අලූත් ගමනක් යමු. ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්වීමට දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා. මේ පිළිබඳව අප චීනය සමග සාර්ථක සාකච්ඡා පැවැත්තුවා. එම වැඩ කටයුතු සාර්ථක වීම පිළිබඳව මගේ සැකයක් නැහැ. මෙම වැඩකටයුතු අවසානයේදී අපේ ණය බර තවත් ඩොලර් බිලියන 2 ක් හෝ 3 කින් අඩු කර ගැනීමට හැකි වේවි. ක්‍රමානුකූලව අප ණය බර අඩු කර ගත යුතුයි.

අප ණය ගන්නවා නම් ඒ මුදල් වැඩිපුර අධ්‍යාපනය, සෞඛ්‍ය සහ නිවාස වෙනුවෙන් යෙදවිය යුතුයි. වානිජ වැඩකටයුතුවලට වඩා එයට මූලිකත්වය දිය යුතුයි. විදේශවලින් හෝ ආයෝජකයින් මෙහි කැදවා ගෙන ඇවිත් ආර්ථික දියුණුව ඇති කළ යුතුයි.
ඉන්දියාව අද ආර්ථිකය දියුණු කරන්නේ සංස්ථාවලින් නොවේ. දේශීය සහ විදේශීය ආයෝජකයින් මගිනුයි. චීනය විශාල දියුණුවක් ලබා ගත්තේ දේශීය සහ විදේශීය ආයෝජන නිසයි. ඒ අය කෘෂිකර්මාන්ත, සේවා ආදී ආරම්භ කොට ඉදිරියට ගියා. අපත් ඒ මාර්ග අනුගමනය කළ යුතුයි.

බිම් බෝම්බ පිපිරි අපේ ගමන අසාර්ථක විය හැකියි. එසේ නොවන ලෙස අප ඉදිරියට යා යුතුයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව මේ තීරණය අරගත්තේ මෙවැනි ආර්ථික බිම් බෝම්බයක් පිපිරීම වැළැක්වීම සඳහායි.

මැයි මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතියේදී මේ පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට අප එකඟවී සිටිනවා. මේ පිළිබඳව දැන ගැනීමට රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. අප ඉතා විනිවිද භාවයෙන් මේ පිළිබඳව කටයුතු කරනවා. අපට හන්ගන්න දෙයක් නැහැ. අප ගන්නා හැම තීරණයක්ම ගන්නේ ජනතාවට බරක් පැටවෙන්නේ නැති ආකාරයටයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අප කිසිදු අලූත් බද්දක් පනවා නැහැ. වැට් බදු වැඩි කිරීම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බලපාන්නේ නැහැ. ගමේ කඩේටත් මෙය බලපාන්නේ නැහැ. ගෙවුණු සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේදී ජනතාවගේ අතේ මුදල් තිබුණා. අද ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. ඒ කියන්නේ අප දැනටමත් යම්කිසි දියුණුවක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් මේ වැඩ කටයුතු ටික අප අරඹා තිබෙන්නේ ඒ දියුණුව ඉදිරියට ගෙන යාමටයි.

පළමු වරට මේ රටේ ප්‍රධාන පක්‍ෂ දෙකක ආණ්ඩුවක් නිර්මාණය කර තිබෙනවා. අපට ප්‍රශ්න විසඳන්න නොහැකි නම් කිසිවෙකුටත් එය විසඳන්න බැහැ. අපේ කටයුතු සඳහා ලෝකයේ සහයෝගය තිබෙනවා. අප සියලූ දෙනාම එකට එක්වී ජාත්‍යන්තරයේ සහයේගය ලබා ගෙන ආර්ථික බිම් බෝම්බ නිශ්ක්‍රීය කොට සංවර්ධන යුගයකට යෑමට අප ක්‍රියා කරනවා. ජපානයේ පැවැත්වෙන ජී7 රැස්වීම සඳහා ජනාධිපතිතුමන්ට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නායකයකුට මෙම සමුළුව සඳහා ආරාධනා ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ රට ඉදිරියට ගෙන යාම සඳහා අපේගේ ජාතික රජයට සහයෝගය ලබා දෙන්නැයි අප සියලූදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ රට ඉදිරියට ගෙන යාමට හොඳම සහ එකම අවස්ථාව දැන් නිර්මාණය වී තිබෙනවා. තිබෙන ආර්ථික බෝම්බ පරිස්සමෙන් බය නැතිව නිශ්ක්‍රීය කරමු යැයි යෝජනා කරනවා.

විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මෙසේ පැවසීය:

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේදී ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනය එමිරේට්ස් ආයතනය සමග සම්බන්ධවී සාර්ථකව ගෙන ගියා. රජයට 60% ක් සහ එමිරේට්ස් ආයතනයට 40% ක් වශයෙන් එම යුගයේදී කොටස් පැවතුණා.
රටේ අවාසනාවකට පැවැති රජය විසින් එම සබඳතා හකුලා ගැනීමට තීරණය කළා. එමිරේට්ස් ආයතනයට වන්දි ගෙවා රාජ්‍ය ව්‍යවසායක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවත්වා ගෙන ගියා. එම තීරණයත් සමග අපට වසරක් පාසා විශාල ලෙස ණයවීමට සිදු වුණා. භාණ්ඩාගාරයේ මුදල් මෙවැනි දේට කැපකිරීමට සිදු වීමෙන් ජනතාව මත බදු පැටවීමට සිදු වනවා. අපගේ ණය බර සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ද විශාල ලෙස බලපානවා.

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළ අගයක පවතින සමයේදීත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මහා භාණ්ඩාගාරයට මෙතරම් බරක් නම් අනාගතයේදී එය කොතරම් බරක් වේවි දැයි සිතා ගන්නට බැහැ. මෙම තීරණයට එළඹිමට අප අදහස් කළේ ඒ නිසයි. තවත් ප්‍රබල ගුවන් සේවයක් හෝ ව්‍යවසායකු සමග එක්වී හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවත්වා ගෙන යෑමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

අනාගත ආර්ථික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයට වැදගත් තැනක් හිමි වනවා. වර්තමානයේදී විදේශ විනිමය උපයන මාර්ග තර්ජනයට ලක්වී තිබෙනවා. තේ, රබර් ආදී අපනයන භෝගවලට ලෝක වෙළෙඳපොළේ ඉල්ලූම අඩු වෙමින් තිබෙනවා. එම නිසා ඒ මතම නොසිට වෙනත් ක්ෂේත්‍ර කරා යොමු වීම කළ යුතුයි. සංචාරක කර්මාන්තය විදේශ විනිමය ඉපැයීය හැකි මූලික ක්ෂේත්‍රයක් වශයෙන් හැදින් විය හැකියි. ඒ සඳහා රෝග නැති ගුවන් සේවයක් අත්‍යවශ්‍යයි. වර්තමානයේ පවතින තත්ත්වයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවත්වා ගැනීමට හැකියාවක් නැහැ. ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා රජයෙන් විශාල මුදලක් යොදවනවා. එවැනි තත්ත්වයක් යටතේ අප ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි ආයතන ශක්තිමත් කිරීම සඳහා නව ව්‍යවසායකයින් සොයා ගත යුතුයි.

මෙහිදී මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇසූ ප්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය : නව රජය බලයට පත්වීමෙන් පසුව රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීම සහ සහන ලබාදීම නිසා දැන් ආර්ථිකය හසුරවා ගන්නට නොහැකි වී ඇතැයි දැන් විපක්‍ෂය චෝදනා කරනවා?
පිළිතුර : අප බලයට පත්වූ පසු බොහෝ සහන ලබා දුන්නා. රට ඉදිරියට ගෙන යාමට නම් ජනතාවගේ අතේ මුදල් තිබිය යුතුයි. ජනතාව ශක්තිමත් කරන අතරතුර අප ආර්ථික බිම් බෝම්බ පිපිරීම නවතා නව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. අප කෙලෙස හෝ එම ඉලක්ක ජය ගන්න බව කිව යුතුයි.
ප්‍රශ්නය : ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යාම සඳහා මේ වන විට ව්‍යවසායකයකු ඉදිරිපත්වී සිටිනවා ද?
පිළිතුර : තවමත් එවැනි සමාගමක් පිළිබඳව තීන්දු කර නැහැ. උපදේශන සමාගමක් සොයා ගෙන ඉදිරියේදී කටයුතු කරන්න අප තීරණය කර තිබෙනවා.
ප්‍රශ්නය : හවුල්කාර සමාගමක් සමග රජය කටයුතු කරන ආකාරය පැහැදිලි කළ හැකි ද?
පිළිතුර : අප හවුල්කාර සමාගමට වැඩ කරන්න අවස්ථාව දෙනවා. මෙම ක්‍රමය සාර්ථක දැයි වසරකට වරක් පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කරනවා.
ඊට පිළිතුරු දුන් සරත් අමුණුගම මහතා : විශාල සමාගම් සමග සම්බන්ධවී කටයුතු කරන විට අපට විශාල වාසි අත්වනවා. අපට ලැබෙන වාසි වැඩියි. ලාභය වැඩියි. උදාහරණයක් ලෙස ගත හොත් අප තනිව භාණ්ඩයක් මිලදී ගන්නවාට වඩා තොග කඩයක් සමග හවුල්වී මිලදී ගන්නා විට ඉතා අඩු පිරිවැයක් දරා එම භාණ්ඩය මිලදී ගත හැකියි.
ප්‍රශ්නය : ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණන්න හදනවා යැයි ඇතැමුන් චෝදනා කරනවා?
පිළිතුර : අප යන්නේ හවුල් ව්‍යාපාරයකට පමණයි. කිසිදු විකිණීමක් නැහැ. මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නැතිව ණය ගෙවන්නේ කවුද? ජනතාව මත ණය බර පටවන්න අපට හැකියාවක් නැහැ. පුවත්පත්වල නිවේදන පළ කර ඉල්ලූම්කරුවන් කැදවනවා.
ප්‍රශ්නය : එවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය යන නම වෙනස් කරනවාද?
පිළිතුර : නම වෙනස් කරන්න තීරණයක් ගෙන නැහැ. කෙසේ වුවත් මගේ නම නම් දාන්නේ නැහැ. ඉතා ඉක්මනින්ම මෙම කටයුතු ඇරඹිම අපේ අරමුණයි.
ප්‍රශ්නය : හිටපු ජනාධිපතිවරයා විසින් අති සුඛෝපභෝගී ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා. එම ගුවන් යානය ගෙන්වනවා ද?
පිළිතුර : නැහැ. අප ඒ ගිවිසුම අහෝසි කළා. දැන් ජනාධිපතිතුමාත් මමත් සාමාන්‍ය ගුවන් යානාවල විදේශ සංචාර යනවා. බැංකොක්, ඩුබායි ගුවන් තොටුපොළවල බැස වෙනත් ගුවන් යානාවලට නැග සාමාන්‍ය පරිදි අප විදේශ ගමන් යනවා. සුවසේ නිදාගෙන අපටත් විදේශ ගමන් යන්නට තිබුණා. නමුත් ජනතාව ඒ කර මතින් ගොස් ඔවුන්ට බර පැටවීමට අපට බැහැ.
ප්‍රශ්නය : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයට අනුව බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා යැයි චෝදනාවක් තිබෙනවා?
පිළිතුර : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස් මෙන්ම අපේ අදහස් ගෙන රටට ගැලපෙන ආර්ථික උපක්‍රම අප ක්‍රියාත්මක කරනවා. අප කිසිවෙකුටත් වහල් වන්නේ නැහැ. අප ක්‍රියාත්මක කරන්නේ රටට ගැලපෙන බදු ප්‍රතිපත්තියයි.

*අද අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.