17 June, 2019

Blog

අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරිම සඳහා අපට චීනයෙන් ලැබෙන සහාය පිළිබද චීන රජයට ස්තුති වන්ත වෙනවා

රනිල් වික්‍රමසිංහ

අද මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාගේ ආරාධනයෙන්, මෙටලොජිකල් ගෲප් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම කඩවතින් මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිරිකිරිම් කටයුතු ආරම්භ කරනවා. කඩවත ඓතිහාසික ප්‍රදේශයක්. මහනුවර රාජධානියේ සිට මුහුදුබඩ ප්‍රදේශයට පැමිණෙද්දී වැදගත් ස්ථානයක් වූයේ කඩවතයි. එදා කොළඹට පැමිණ, ඔරුගොඩවත්තෙන් මෙම ප්‍රදේශයට පැමිණියා. කඩවතින් මීරීගමට යන විට තිබුණු මැක්ඩොනල්ඩ් කොටුව හරහා මැණික් කඩවරටත් යාමට පුළුවන්කම තිබුණා. එසේම රුවන්වැල්ල හරහාත් යාමට පුළුවන්කම තිබුණා. ඒ එක්කම ප්‍රධාන පාරවූ අවිස්සාවේල්ලට ගොස් එහි සිට රුවන්වැල්ලට යාමටත් හැකියාව ලැබුණා. මෙහිදි රුවන්වැල්ල කේන්ද්‍රස්ථානයක් බවට පත්වුණා. එතැනින් මැණික්කඩවරටත්, ගලිගමුව හරහා බලනටත් එතැනින් මහනුවරටත් ගමන් කළා. සිංහල රජකාලේ ගමන් ගත්තේ ඒ අනුවයි. එහෙත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා මේ තත්වය වෙනස් කළා. නුවර පාර මෙතැනින් ආරම්භ කරලා කඩවත පළමු නැවතුම්පොළ හැටියටත් අඹේපුස්ස වැනි නගරයන් පසුකොට අවසානයේ බලන හරහා නොගොස් කඩුගන්නාව හරහා යෑමට මාර්ගය ඉදි කළා. කඩුගන්නාවේ කැප්ටන් ඩෝසන් කුළුණ ඉදිකොට තිබෙන්නේ ඒ මාර්ගය සෑදු ඩෝසන් ඉංජිනේරුවරයා සිහි කිරිමට වන අතර දෙවන මාර්ගය වුණේ එයයි.

Ranilඅද අපි අපේ වැඩසටහනේ කොටසක් හැටියට තවත් ඉදිකිරිමක් ආරම්භ කරනවා. ඒක කඩවතින් පටන් ගන්නවා. ඒ මාර්ගය මහනුවරට ඇතුල්වෙන්නේ පේරාදෙණිය පැත්තෙන් නොවෙයි. ගලගෙදර පැත්තෙන්. එතැන තවත් අලූත් මාර්ගයක් කුරුණෑගල හා මාවතගම හරහා ගමන් ගන්නවා. ඒකත් පරණ මාර්ගයක්. ශ්‍රී වික්‍රම රාජසිංහයන් සිරභාරයට ගත් අවස්ථාවේ එතුමා බලන හරහා ගෙන ඒමට බි්‍රතාන්‍යයන් බිය වුණා. ඒ නිසා එතුමා ගලගෙදර, මාවතගම, වාරියපොල යන මාර්ගයන් ඔස්සේ කොළඹට ගෙනාවා. ඒ පාර කොටසක් පිරිසිදු කිරිමේ කාර්යභාරය පැවරී තිබුණේ ජෝන් අමරතුංග ඇමතිතුමාගේ මුතුන් මිත්තන් පිරිසකට බව සඳහන් වෙනවා. දැන් අප සියලූ දෙනාම මේ අලූත් මාර්ගය ආරම්භ කිරිමට මෙතැනට රැස්ව සිටිනවා.

මහනුවරට අධිවේගි මාර්ගයක් අවශ්‍ය බවට තීරණය කළේ වර්ෂ 2002දී. එදා අපි විකල්ප දෙකක් දෙස අවධානය යොමු කළා. නමුත් ඒ කටයුතු අවසන් කිරිමට පෙර රජය වෙනස් වුණා. ඊට පස්සේ උතුරු අධිවේගි මාර්ගය ගැන යෝජනා කෙරුණා. මේ පිළිබදව උතුරේ ජනතාවගෙන් අදහස් විමසද්දි ඔවුන් ප්‍රකාශ කළේ උතුරට අධිවේගි මාර්ගයන් අනවශ්‍ය බවයි. ඔවුන් ඉල්ලා සිටියේ බස් ධාවනය හා දුම්රිය ධාවනය දියුණු කිරිමටත් ගුවනින් ගමන් කිරිමේ පහසුකම් ලබාදීමටත් කටයුතු සලසා දෙන ලෙසයි. අපට උතුරේ සිට කොළඹට ඉක්මනින් පැමිණීම සඳහා මෙම ඉල්ලීම් ඉටුකර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඔවුන් තවදුරටත් කියා සිටියේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් මෙම වැඩසටහන සුදු අලියෙක් නොඑසේ නම් සුදු අලි රංචුවක් විය හැකි බවයි. ඒ අනුව මා මහාමාර්ග අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමගත් සාකච්ඡා කොට, මධ්‍යම අධිවේගි මාර්ගය තැනීමේ වැඩ පිළිවෙලට ප්‍රමුඛත්වය දීමට තීරණය කළා.

මධ්‍යම අධිවේගි මාර්ගය එක් පසෙකින් මහනුවර දක්වාත් අනිත් පැත්තෙන් දඹුල්ල දක්වාත් දිව යනවා. එහි සිට අවශ්‍යතාවය අනුව ඕනෑම කෙනෙකුට ත්‍රිකුණාමලය, මන්නාරම, පොළොන්නරුව, අනුරාධපුරය, යාපනය වැනි ස්ථානයනට යාමට පුලූවන්කම ලැබෙනවා.
අපි මධ්‍යම අධිවේගි මාර්ගය ආරම්භ කිරිමට පෙර කලින් සාකච්ඡා කළ සමාගම් අලූතින් කැදවනු ලැබුවා. ඒ අනුව අඩුම මුදලකින් මේ ව්‍යාපෘතිය නිම කිරිම සඳහා ඉල්ලූම් කොට තිබූ මෙපොලොජිකල් ගෲප් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගමට මෙහි ඉදිකිරිම් භාර දුන්නා. ඔවුන් ඉතා ඉක්මනින් වැඩ ආරම්භ කරන බව අපට දන්වා සිටියා. විශේෂයෙන් සදහන් කළ යුත්තේ මේ සඳහා කලින් තෝරා ගෙන තිබු සමාගමට වඩා 50% ක් අඩුවෙන් මේ ව්‍යාපෘතිය නිම කිරිමට ඔවුන් එකඟත්වය පළකළ බවයි. මේ නිසා කොතරම් මුදලක් රටට ඉතිරි වුනාදැයි සිතා බලන්න.

මෙම ව්‍යාපෘතිය මාස 60කින් අලූත් රටක් ගොඩනැගීමේ වැඩ සටහනේ එක පියවරක්. ඒ ගැන මා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මේ වැඩසටහනට මමත් සම්බන්ධයි. 1977 මැතිවරණයේදි මම බියගම මන්ත්‍රීවරයා වශයෙන් තේරි පත්වුණ අවස්ථාවේදි බියගම, කොළඹහා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ඉතා නොදියුණු ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ ආර්ථිකය උඩු යටිකුරු කර කාර්මික හා වෙළඳ ආර්ථිකයක් ක්‍රියාත්මක කිරිමට මම එදා තීරණය කළා. රඹුටන් වගාව, ගෝනි නිෂ්පාදනය හා බීඩි එතිම වැනි කර්මාන්ත එදා මේ ප්‍රදේශයේ ආර්ථිකය බවට පත්ව තිබුණා.

එදා කිරිබත්ගොඩ සහ කඩවත කුඩා කඩ මණ්ඩියක් වශයෙනුයි පැවතුනේ. කඩවත, නගරයේ තිබුණේ ටකරන් වහලකින් සෑදි වෙළෙඳ පොලක්. කිසිකලෙක කිසිවෙකුටත් කඩවත නගරය වෙනස් කරන්නට නොහැකි බවට එදා මතයක් පැවතුණා. නමුත් මම ඒ මතය වෙනස් කිරිම ආරම්භ කළා. එසේ පටන්ගෙන මාර්ග ඉදිකිරිමට ප්‍රමුඛත්වය ලබාදුන්නා. පාර්ලිමේන්තුවේ සිට බැලූම්මහර දක්වා මාර්ගය වගේම බියගම කඩුවෙල සම්බන්ධ කරමින් පාලම හැදුවා. බියගම වෙළෙද කලාපය ආරම්භ කළා. බියගමට තවත් කර්මාන්ත ගෙනවිත් බියගම කර්මාන්ත ප්‍රදේශයක් බවට පත්කළා. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ව්‍යාප්ත කළා. විදුලි බලාගාරය ගෙනාවා. බස්නාහිර පළාතට මහවැලියේ විදුලිය බෙදාහැරීම් මධ්‍යස්ථානය මෙහි ස්ථාපිත කළා. මේ සියලූ කටයුතු තුළින් අපි ප්‍රදේශයේ විශාල සංවර්ධන ක්‍රියාවලියන් දියත් කළා. ජල පහසුකම් ලබාදුන්නා. පොලිස් ස්ථාන ඇති කළා. මේ නිසා කිරිබත්ගොඩ අංග සම්පූර්ණ නගරයක් බවට පත්කොට එමගින් ප්‍රදේශය පුරා දැවැන්ත ආර්ථික සංවර්ධන පෙරළියක් ඇතිකළා.

මෙසේ කිරිබත්ගොඩ සංවර්ධනය කරමින් පසුවන අවස්ථාවේදි මම කඩවත ප්‍රදේශයටත් අවධානය යොමු කළා. එතැන තිබුණු ටකරන් මඩුව ඉවත්කොට අලූත් වෙළෙඳ පොළක් ඉදි කළා. කඩවත සංවර්ධනය කීරිම ජීවිත කාලයට, කිසිවෙකුටත් කරන්නට නොහැකි බවට පැවති මතය අපි වෙනස් කළා. පසුව චන්ඬිකා කුමාරතුංග මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරුන් යටතේ මාර්ග ඉදිකිරිම් සිදුවුණා. ඒත් ප්‍රධාන කාර්යභාරය වූයේ මධ්‍යම අධිවේගි මාර්ගය ආරම්භ කිරිම වුණත් එය ඉටු වුණේ නැහැ. එමනිසා අපි අද ඒ වැඩ කටයුත්ත ආරම්භ කළා. එසේම ගනේමුල්ලේ විශාල රථවාහන තදබදයක් පවතින බැවින් එහි ගුවන් පාලමක් ඉදිකිරිමටත් පියවර ගන්නා බවද සඳහන් කළ යුතුයි. මේ කටයුතු හේතුකොට ගෙන මේ ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇතිවෙනවා. එක පසෙකින් මහනුවර දක්වා යන සාමාන්‍ය නුවර පාර තිබෙනවා. ඊළඟට මධ්‍යම අධිවේගි මාර්ගය ඉදිවෙනවා. තවත් පැත්තකින් කටුනායක අධිවේගි මාර්ගය සේම බියගම සිට බැලූම්මහරට පැමිණිමේ මාර්ගයත් තිබෙනවා.

අපේ සංවර්ධන වැඩ සටහනට අනුව අනාගතයේදි මේ ප්‍රදේශය වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. කැළණිය, බියගම, කඩවත, ඉදිරි වසර 05 ඇතුලත විශාල නගරයන් බවට පත්වීමට ඉඩ තිබෙනවා. අපේ බස්නාහිර මෙගා පොලිස් වැඩසටහනේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන්නේ කැළණිය බියගම හා කඩුවෙල නගර බව මා සඳහන් කරන්නට කැමතියි. මෙය නිකම්ම ඉදිකරන පාරක් නොව ආර්ථික කේන්ද්‍රස්ථාන එකට යා කරන මාර්ගයක් බව කිව යුතුයි. මේ මාර්ගය ඉදිකළායින් පසු මහනුවර කටුගස්තොට සිට පේරාදෙණිය, තලාතුඔය, හා කුණ්ඩසාලේ දක්වා දීර්ඝ කිරිමට බලාපොරොත්තු වෙනවා. ඒ ධ්ධ් අදියරයි. මහනුවර ආර්ථික සංවර්ධන අධි කලාපයක් තිබෙනවා සේම දඹුල්ලේත් සංචාරක ආර්ථික සංවර්ධන අධි කලාපයක් තිබෙනවා. සියල්ලම ආපසු කුලියාපිටිය, දිවුලපිටිය ආර්ථික සංවර්ධන අධි කලාප හා සම්බන්ධ වෙනවා. ඒ අනුව විධිමත් සැලැස්මක් මත නව රටක් ගොඩ නගන්නට, මේ ප්‍රදේශ දියුණු කරන්නට, මෙහි තරුණ තරුණියන්ට රැකියා ආදායම් මාර්ග බිහිකරන්නට අද මේ ආරම්භ කළ ව්‍යාපෘතියෙන් අවස්ථාව සැලසෙන බව කිව යුතුයි. මධ්‍යම අධිවේගි මාර්ගය අදියර තුනකින් ක්‍රියාත්මක වන අතර ඒ කටයුතු අවසන් වන විට මේ වටා අලූත් ගම් නගර ඉදිවෙනු නොඅනුමානයි.

මේ ප්‍රදේශයට තවත් අඩුපාඩු කීපයක් තිබෙනවා. තාක්‍ෂණ විද්‍යා පීඨයක් ලබාදෙන්නටත් මට මෙතෙක් ඉටු කරන්නට නොහැකි වූ සේවාවක් වූ මේ ප්‍රදේශයට අංග සම්පූර්ණ රෝහලක් ලබා දෙන්නටත්, බියගම වෙළෙඳ කලාපයේ තුන්වන අදියර ෙදාම්පෙන් ආරම්භ කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. එසේම මධ්‍යම පන්තික ජනතාවට නිවාස ලක්‍ෂ 5ක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය යටතේ පාසැල් හා සමගම එම වැඩ සටහන මේ ප්‍රදේශය තුළත් ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා.

මේ ව්‍යාපෘතිය සඳහා අපට මුදල් සපයා දී තිබෙන්නේ චීන රජයයි, මහජන චීනයත්, ශ්‍රී ලංකාවත් අතර 1948 සිට ඩී. එස්. සේනානායක හා මා ඕ සේතුං මැතිතුමාලා අතර සම්බන්ධතා පැවතුනා. 1978 ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා නිදහස් වෙළෙඳ ආර්ථිකය ක්‍රියාත්මක කළ අවධියේදි, චීන සමුහාන්ඩුවේ නායක ඩෙන් ෂියාඕ පෙං මැතිතුමත් එරට නිදහස් වෙළඳ ආර්ථිකය ක්‍රියාත්මක කළා. ඒත් අවුරුදු 30ක 40ක යුද්ධයක් නොතිබු නිසා චීනයට අපට වඩා වාසියක් හිමිවුණා. එමනිසා චීනය සීඝ්‍රයෙන් දියුණු වුණා. අපට ඒ කාලය අහිමි වුණා. නමුත් දැන් අපට එම අහිමි වූ කාලයත් රැගෙන ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්කේ විශාල හා ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රස්ථානයන් වශයෙන් සංවර්ධන වීමට හැකියාව ලැබී තිබෙනවා.

චීන රජය අපේ රටේ සංවර්ධනය උදෙසා විවිධ ව්‍යාපෘති සඳහා උදව් කොට තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයේ තවත් වැඩ කටයුතු ගණනාවක් සිදු කිරිමට මා දැනටමත් සාකච්ඡා කොට තිබෙනවා. චීනය හා ශ්‍රී ලංකාව අතර පවත්නා ශක්තිමත් සම්බන්ධතා හේතුකොට ගෙන අලූත් ශ්‍රී ලංකාවක් බිහි කිරිම සඳහා අපට චීනයෙන් ලැබෙන සහාය පිළිබද චීන රජයට ස්තුති වන්ත වෙනවා.

*2015/08/03 වන දින මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිමේ සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.