25 April, 2024

Blog

ශ‍්‍රී ලංකාවේ ‘මෙගාපොලිස්’ (අගනගරයාය) වෙතට

එස්. සිවදාසන්

එස්. සිවදාසන්

එස්. සිවදාසන්

නිදහසේ සිට අද දක්වා ‘මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන්’ පසු ඉදිරිපත් වන විශාලතම සංවර්ධන යෝජනාව වන්නේ ‘මෙගාපොලිස්’ (අගනගරයාය) ව්‍යාපෘතියයි. ඒ දෙක අතර ගතවූ අඩ සියවසක කාලයේ රටේ දේශපාලන ක‍්‍රමය පිළිබඳව ඇත්තේ ඛේදනීය කතාවකි. ආර්ථිකයේ අදූරදර්ශී කළමනාකරණය ඊටත් හපන් ය. මේ නව යෝජනාව, ඒ අතීතය ආපසු හැරවීමේ සහ රටක් වශයෙන් අලූත් මගක පිය මැනීමේ ආරම්භයකි. අදාළ ව්‍යාපෘතිය ව්‍යාප්ත වන භූගෝලීය පරිමාවත්, අවසාන අදියරකට ළඟා වීමට ගන්නා කාලයත්, අතුරු ප‍්‍රතිලාභ සඳහා වැය කෙරෙන ආයෝජන පරිමාණයත් අනුව ගත් විට එය සැළකෙනු ලැබෙන්නේ යෝධ ව්‍යාපෘතියක් වශයෙනි.

‘නගර කලාපයට’ යා කෙරෙන නාගරික පෙදෙස් දාමයක් පිළිබඳ සංකල්පය, ස්කොට්ලන්ත ජාතික භූගෝල විද්‍යාඥයෙකු වන පැටි‍්‍රක් ගෙඞ්ස් 1915 දී ඉදිරිපත් කෙළේය. 2002 දී අගමැතිවරයා වශයෙන් ගරු රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනා ක‍්‍රමය, මෙගාපොලිස් සංකල්පයට (අගනගරයායට) ආසන්න වන්නකි. එහි ප‍්‍රධාන ලක්ෂණය වුණේ, බස්නාහිර පළාතේ නගර යා කිරීමයි. මෙට්‍රොපොලිස් හෙවත් ‘පුරවරය’ යන්න, මෙගාපොලිස් (අගනගරයාය) සංකල්පයෙන් වෙනස් වන්නේ ඒ ලක්ෂණය නිසා ය.

වර්ධනයේ වේගය

මේ සම්බන්ධයෙන් අවට ලෝකය දෙස බැලීම ප‍්‍රයෝජනවත් ය. එසේම එම දැක්ම, ප‍්‍රබෝධවත් අභ්‍යාසයක්ද වනු ඇත. ගත වූ වසර 2000 ක කාලය තුළ ගොඩනැගුණු දෙවැනි මහ නගරය වන ලන්ඩනයේ වර්ධනය සඳහා සියවස් ගණනක් ගත විය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය යටතේ ලන්ඩන් මහ නගරය ගොඩනැගෙන්නේ, රෝම අධිරාජ්‍ය මගින් රෝමය ගොඩනගා වසර 1800 කට පසුවයි. එහෙත් එයින් පසුව, අවුරුදු 200 ක් වැනි කෙටි කලක් තුළ ඉතිරි සියලූ මහ නගර ගොඩනැගීමට නූතන මිනිසාට හැකි වෙයි.

Megapolis Project Sri Lankaවිශාල භූගෝලීය අවකාශයක් හරහා විසිරී පැවතීම වෙනුවට, මෙවැනි සංකේන්ද්‍රගත වීමකට හේතුභූත වන කරුණු කවරේද? මිනිස් සාමූහිකයක් කෙරෙහි බලපවත්වන එකිනෙකට වෙනස් හැසිරීම් ශක්‍යතා- කේන්ද්‍රාභිසාරී (නගරය වෙතට ඇදෙන) සහ කේන්ද්‍රාපසාරී (නගරයෙන් පිටතට ඇදෙන) ශක්‍යතා රටා පිළිසැසඳීම පහසු නැත. මූල්‍යමය වශයෙන් සහ සැපයුම් සංවිධානය සම්බන්ධයෙන් ගත් විට, සංකේන්ද්‍රණය නොවී විසිරී පැතිරී පැවතීම මනුෂ්‍යයාට වඩාත් ජීවධාරී නම්, මේ වන විටමත් මනුෂ්‍ය වර්ගයා විසින් එය යථාර්ථයක් කරගෙන තිබෙනු ඇත. මේ විෂය, වඩාත් පුළුල්ව අධ්‍යයනය කෙරෙන විෂය පථ කිහිපයක් තිබේ. එහෙත් අතීත අත්දැකීම් පමණක් අපි මෙහිදී සැළකිල්ලට ගමු.

ග‍්‍රාමීය-නාගරික සංක‍්‍රාන්තිය

වර්ෂ 1800 වන විට, දස ලක්ෂයකට වැඩි ජනගහනයක් ජීවත් වන නගර බිහි කොටගෙන තිබුණේ දෙකක් පමණි. එතැන් සිට වසර 207 ක කාලයක් තුළ එවැනි නගර 468 ක් ගොඩනැගී තිබුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරන පරිදි, 2030 වන විට, ප‍්‍රකෝටි පහක් හෙවත් මුළු ලෝක ජනගහනයෙන් සියයට 60 ක් ජීවත් වෙනු ඇත්තේ නගරවලයි. ගමෙන් නුවරට, ග‍්‍රාමීයත්වයෙන් නාගරිකත්වයට, නුවරින් නගරයට, නගරයෙන් මහ නගරයට සහ එතැනින් නගරයායට යන ගමන අනිවාර්යයි. එය නතර නොවන සහ ආපසු හැරවිය නොහැකි ප‍්‍රවණතාවකි.

එවිට, ගැමි හුදෙකලාවේ නිස්කලංක ප‍්‍රමෝදය, පොහොසතුන්ට පමණක් අත්විඳිය හැකි වරප‍්‍රසාදයක් වනු ඇත. ග‍්‍රාමීය පරිසරයක නිවාඩු නිවෙසක් තබා ගැනීම, ආඪ්‍යත්වයේ සංකේතයක් වනු ඇත. එතරම් වාසනාව නැති නාගරිකයාට, විවිධ ගැජට් අඩුවැඩියත්, සංචාරයේ සතුටත් භුක්ති විඳිය හැක. ඒවා, ගමේ සුන්දරත්වය අහිමි වීම සහ නගරයේදී සතුට අහිමි වීම පියවා ගැනීම සඳහා ලැබෙන ප‍්‍රමාණවත් වන්දි හෙවත් පාරිතෝෂික වන්නේය.

දසලක්ෂ ගණන් මිනිසුන් වෙසෙන යෝධ නගර 35 ක් අද ලෝකයේ තිබේ. ඉන් ඉහළින්ම සිටින්නේ මිලියන 38 ක ජනගහනයක් සහිත තෝකියෝවයි. එසේම ලෝකයේ විශාලතම පුරවර භූමි ප‍්‍රදේශයක් සහිත නගරය වන්නේද එයයි. දෙවැනි තැන ගන්නේ ජාකර්තා නුවරයි. තනිකර නගරයක් වශයෙන් ගත් විට, ෂැංහයි ප‍්‍රමුඛත්වය ගනී. මිලියන 20-38 අතර ජනගහනයක් සහිත යෝධ නගර 14 ක් ලෝකයේ තිබේ. මිලියන 10-20 අතර ජනගහනයක් සහිත යෝධ නගර 21 ක් තිබේ. ජනගහනයේ මිම්මට අමතරව මෙවැනි යෝධ නගර වර්ගීකරණය සඳහා ගැනෙන තවත් සාධක තිබේ. මධ්‍යම නගරයේ සිට පිටතට දිවෙන බහු මංතීරු සහිත අධිවේගී මාර්ග, සුපිරි අධිවේගී මාර්ග, ගුවන් පාලම් මාර්ග, රට අභ්‍යන්තරයට යන දුම්රිය මාර්ග, ඈත නගරවලට දිවෙන අධිවේගී දුම්රිය, කඩිනම් සහ සුවපහසු මාර්ගස්ථ මෙට්‍රෝ පද්ධති, මොනෝරේල්ලූ සහ මධ්‍යම පරිමාණයේ සහ මහ පරිමාණයේ අහස උසට නැගෙන ගොඩනැගිලි ආදිය ඒ අතර වෙයි. අවුරුදු 10 කදී ලංකාවේ බස්නාහිර පළාතේ මේ සියල්ල තිබෙනු ඇත.

විස්තීරණ දිගන්තයන්

අතරවාර සාම සමයේ වටිනා කියන අදහස් පහළ වී තිබේ. නූතන පුරවරයක් පිළිබඳ අදහස 1998 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සැලකිල්ලට ගැනුණි. 2002 සාම ගිවිසුම කාලයේ එවක අගමැති රනිල් වික‍්‍රමසිංහ එම අදහස තව ඉදිරියට ගෙන ගියේය. ලංකාවේ සහ සිංගප්පූරුවේ විශේෂඥ කණ්ඩායම් මීට තල්ලූවක් සපයමින්, මීගමුවේ සිට බේරුවල දක්වා දිවෙන මහ පරිමාණ ‘බස්නාහිර මහ නගරයායක්’ යෝජනා කළහ. දශක තුනක් තුළ ගොඩනැගෙන, මිලියන 8.5 කට වාසස්ථාන වන ‘මහ නගරයායක්’ එම ව්‍යාපෘතියේ අපේක්ෂාව විය. එනම්, නාගරික ජනගහනය තව තිස් ලක්ෂයකින් වැඩි වීමකි.

2015 නොවැම්බර් මාසයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික ප‍්‍රතිපත්ති සැකිල්ල තුළ, නිසියාකාරයෙන් ස්ථානගත කෙරෙන පරිවාර කේන්ද්‍ර නගර 5 ක් යෝජනා කෙරුණි. එහි පරමාර්ථය වන්නේ, තනි කේන්ද්‍රයකට ජනගහනය තල්ලූ වීම වැළැක්වීමයි. එවැනි සංවර්ධන වැඩපිළිවෙලක් තුළ, උතුරෙන්, දකුණෙන්, නැගෙනහිරින් සහ මධ්‍යම පළාතෙන් කොළඹට ගසාගෙන එන ජන තෙරපීම පාලනය කෙරේ. ඊටත් වඩා වැදගත් කාරණයක් වන්නේ, මෙවැනි විස්තීරණ ව්‍යාප්තියක් තුළ වාර්ගික තුලනයකුත් පවත්වා ගැනීමෙන්, රට පුරා සමබර වර්ධනයක්ද ඉලක්ක කළ හැකි වීමයි. එය, ජාතික සංහිඳියාවේ පෙරගමන්කරුවෙකු වනු ඇත.

සංකල්ප සැලසුම්කරණය

සැලසුම්කරණ අවදියේ අඩකට වඩා දැන් ගතව ඇත. එහෙත් සංකල්ප ඉතිරිව තිබේ. මුලින් දෙන ලද සංඛ්‍යාවන් සහ කාල පරිමාවන් වෙනස් විය හැකිය. ‘බස්නාහිර අගනගරයායේ’ කේන්ද්‍රය සේ සැළකෙන කොළඹ නගරය විසි ලක්ෂයක ජනගහනයකින් සමන්විත වනු ඇත. අධි-වේගවත් ක‍්‍රියාකාරකම්, දැනට වඩා විශාල ආයෝජනයන් සහ අධි-ඝනත්වයකින් යුත් යටිතල පද්ධතියක් ඒ මගින් ජනනය කෙරෙනු ඇත. මිනිසුන්ගේ ජීවන තත්වය උසස් වන උද්‍යාන නගරයක් තුළ ‘ජීවත් වෙමින්-වැඩ කිරීම’ නැමැති සංකල්පය යථාවක් කිරීම මේ මගින් අපේක්ෂා කෙරේ. ඒ යටතේ, ව්‍යාපාරික සහ මූල්‍ය දිස්ත‍්‍රික්ක අයත් වනු ඇත්තේ නගර කේන්ද්‍රයටයි. කොම්පඤ්ඤ වීදිය සහ ගාලූ පාර, සාප්පු සවාරි සඳහා වෙන් කෙරේ. බේරේ වැව අවට පෙදෙන, කලා ශිල්ප, විනෝද ක‍්‍රීඩා සහ විනෝදාංශ සඳහා වෙන් වෙයි.

මේ කියන නගර කේන්ද්‍රය, අර්ධ කවාකාරව තව තවත් ඈතට විහිදෙයි. ජා-ඇල සිට මොරටුව දක්වා වන අභ්‍යන්තරික මාලය තුළ මධ්‍යම ප‍්‍රමාණයේ නගර ඉදිවෙයි. ඊට එපිටින්, මීගමුවේ සිට හෝමාගම හරහා කළුතර දක්වා දිවෙන බාහිර මාලයක් බිහි වෙයි. දැනටමත් දිසාවන් තුනක් කරා විහිදෙන මාර්ග පද්ධතියට මුළු රටම ඈඳීම, මේ කියන කේන්ද්‍ර නගරයට සැලසෙන තවත් වාසියකි. වඩා පහසු ගමනාගමනයක් සහතික කරනු වස් මංතීරු 4 සහ 5 ආදී වශයෙන් වන මාර්ග පද්ධතියක් අනිවාර්ය කෙරෙන නිසා බස්නාහිර කලාපයේ වැදගත්කම තවත් වැඩි වෙයි.

ඉහත සඳහන් කෙටි සටහන, වසර 30 කට වැඩි කාලයක් අවශ්‍ය කෙරෙන යෝධ සැලැස්මක් වන ‘බස්නාහිර මහ නගරයාය’ පිළිබඳ දළ හැඳින්වීමකි. 2011 සැප්තැම්බර් 25 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ ‘කොළඹ යනු කොළඹ ය’ නැමැති ලිපිය මගින් රනිල් වික‍්‍රමසිංහ මේ ගැන ඉතා පැහැදිළි විග‍්‍රහයක් කර තිබේ. ඔහු අගමැති වශයෙන් සිටි කාලයේ, 2004 අපේ‍්‍රල් මාසයේ අවසන් කරන ලද, වෙළුම් තුනකින් යුත්, ‘බස්නාහිර මහනගරයාය’ සැලැස්ම තුළ විස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කෙරුණි. ඒ සා පැරණි සැලැස්මක් මුල පටන් නැවත පණ පොවා ගන්ට සිදුවුණේ මන්ද යන්න ඔහු ඉදිරියේ ඇති අභියෝගාත්මක ප‍්‍රශ්නයකි. මේ නිසා තවත් කල් යන්ට නොදී වේගවත්ව ඊට ප‍්‍රවිශ්ඨ වීම අත්‍යාවශ්‍ය කෙරේ.

වරාය නගරය සහ කොම්පඤ්ඤ වීදි ව්‍යාපෘති

රනිල් යෝජනා කෙළේය. රාජපක්ෂලා ක‍්‍රියාත්මක කළහ. ඔවුන් ‘බස්නාහිර මහ නගරයාය’ ක‍්‍රියාත්මක කිරීමට වන්නේ, ඔවුන්ට අවශ්‍ය පරිද්දෙනි. අදාළ වැඩපිළිවෙලේ අනුපිළිවෙල කැඞීම නිසා මගහැරුණු ඉහත ව්‍යාපෘති දෙක, 2015 ජනවාරි මාසයේ ආණ්ඩු වෙනස සිදුවන විට පටන්ගෙන තිබුණි. ඒ වන විටමත් ප‍්‍රකෝටි ගණනක මුදලක් වැය කොට තිබූ සහ ආණ්ඩු වෙනසින් පසු යම් කාලයකට ඇනහිටි ‘වරාය නගරය’ දැන් නැවත ආරම්භ වීමට ඉඩ තිබේ. නිෂේධාත්ම අංගයන්ගෙන් වියුක්තව මේ මහා ව්‍යාපෘතිය ජාතියේ අවශ්‍යතාව සඳහා යොමු වෙනු ඇත.

කලකදී අතහැරුණු දෙයක් යළි ඇරැුඹීමට යන අගමැතිවරයාගේ වැඩපිළිවෙල තුළ තව සැලසුම් පහක් තිබේ. යාපනය, නුවර, ත‍්‍රිකුණාමලය, කුරුණෑගල සහ ගාල්ල එම සැලසුම්වලට නිමිති වෙයි. ඒ සඳහා වන ක‍්‍රමෝපායික සැලසුම් ඉදිරි අවුරුදු දෙකේදී සැපයෙනු ඇත. ‘බස්නාහිර මහ නගරයාය’ වැඩපිළිවෙල, ඒ සඳහා සඳහා අගනා පූර්වාදර්ශයක් වීමට ඉඩ තිබේ. මෙකී ‘මහ නගරයාය’ සඳහා වන විශේෂ අමාත්‍යාංශයක් පිහිටුවීමත්, අයවැය ප‍්‍රතිපාදන නිර්ලෝභීව ඒ සඳහා වෙන් කිරීමත් මගින් කියා පාන්නේ, ඒ කෙරෙහි වන උද්‍යෝගී චේතනාවකි. ‘බස්නාහිර මහ නගරයායෙන්’ ආදර්ශයක් ගන්නා ප‍්‍රාදේශීය මහ පුරවර ව්‍යාපෘති තුළින් වෙනසක් දැකීමට තව අවුරුදු 10 ක් පමණ ගත වෙනු ඇත. එහි ප‍්‍රතිලාභ සඳහා අවුරුදු 20 ක් පමණ ගත විය හැකිය. ඒ අනුව, මධ්‍යම කේන්ද්‍රයත්, පරිවාරයත් එකිනෙකට සමාන්තරව ඉදිරියට ඇදෙන සැටි දැක ගැනීමට අපි බලා සිටිමු.

*2015 දෙසැම්බර් 30 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “Moving Towards Megapolis In Sri Lanka” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.