28 March, 2024

Blog

ඓතිහාසිකව ගත් විට, තුන්වැනි වාරයක් යනු, ජීවිත කාලයක් ය

එස්. වී. කිරුබාහරන්

එස්. වී. කිරුබාහරන්

එස්. වී. කිරුබාහරන්

ලෝකයේ පවතින පාලන ක‍්‍රම, විවිධ මාදිලිවලට අයත් වෙයි: ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, රාජධානි/රාජාණ්ඩු, ජනරජ ආණ්ඩු, කොමියුනිස්ට් සහ සමාජවාදී ආණ්ඩු යනුවෙනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක නම්, නීතිය ඉදිරියේ සමානත්වයක් ඇත. නිසි නීති ක‍්‍රියාවලියක් ඇත. රාජ්‍යකරණය කෙරෙහි පැනවෙන ව්‍යවස්ථාමය සීමාවන් ඇත. සමාන අයිතිවාසිකම් ඇත. සමාජ, ආර්ථික සහ දේශපාලනික බහුත්වවාදය ඇත. ජනතා ස්වෛරීත්වය ඇත. භාෂණයේ නිදහස සහ මාධ්‍ය නිදහස වැනි දේවල් ඇත. හොර මැතිවරණ පවත්වන අසමත් රාජ්‍යයන්ද තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි සිතයි. ඔවුන් මැතිවරණ ගැන කතා කළත් ඒ මැතිවරණ පවත්වන්නේ කෙසේද යන්න ගැන නොතකයි.

ඒකාධිපති රටක දේශපාලනික බලය රැුඳෙන්නේ තනි පුද්ගලයෙකුගේ අතේ ය. එය, පුද්ගල තන්ත‍්‍ර සහ අධිකාරීවාදී තන්ත‍්‍රයන්හි කාබන් කොපියකි.

ජනරජයක නම් දේශපාලන බලය තීන්දු කරන්නේ ජනතාවයි. එහෙත් ඇත්තටම ජනතාවට එවැනි බලයක් ඇත් ද යන්න අද කාලයේ ප‍්‍රශ්නයකි.

රාජාණ්ඩුවක දේශපාලන බලය තිබෙන්නේ ද තනි පුද්ගලයෙකු අතේ ය. ඔහු බොහෝ විට පරවේණියෙන් රාජ්‍යත්වයට පත්වන කෙනෙකි. මැද පෙරදිග හෝ වෙනත් එවැනි රටවල්වල සිටින රජවරුන්ට වඩා, ව්‍යවස්ථාමය/නාමික රජවරුන් වෙනස් ය.

Mahindaකොමියුනිස්ට් රාජ්‍යයක නම්, බහු-පක්ෂ ක‍්‍රමයක් ගැන කතාවක් නැත. තනි පක්ෂයක දෘෂ්ටිවාදය පදනම් වන්නේ මාක්ස්වාදය, මා ඕවාදය සහ ලෙනින්වාදය මතයි. ඒවා සැකසෙන්නේ, වැඩ කරන පංතියක් සතු හැකියාවන් පිළිබඳ පැනවෙන සංකල්ප මතයි.

මේ පාලන පද්ධති ගැන නිමක් නැතිව වාද විවාද කළ හැකිය. තොරතුරු සෙවිය හැකිය. ඒවා පිළිබඳ නිර්වචන සහ ඒවායේ අංග ලක්ෂණ සංකීර්ණ ය. එසේම තැනින් තැනට වෙනස් විය හැකිය.

මෙහි ඇති සිත්ගන්නා කාරණය වන්නේ, මේ බොහොමයක් රටවල් තමන්ව, ‘ජනරජයක්’, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ හෝ ‘සමාජවාදී’ රජයක් වශයෙන් හඳුන්වා ගැනීමට දක්වන කැමැත්තයි. එසේ වෙතත්, එවැනි නාමකරණයන් කිසිවක් සමග නෑකමක් එවැනි ඇතැම් රටවල් තුළ කොහෙත්ම දකින්ට නොලැබේ.

ජේ. ආර්. ජයවර්ධන

1978 දී ශ‍්‍රී ලංකාව, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී ශ‍්‍රී ලංකා ජනරජය’ වශයෙන් නම් කෙරුණි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමයක් ලංකාවට හඳුන්වා දුන්නේය. එසේ කිරීමේදී, එම ක‍්‍රමයට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියෙකු කිරීමත් පිරිමියෙකු ගැහැනියක කිරීමත් පමණකැ යි ඔහු කීය. එයින් අදහස් වන්නේ, සමාජවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ජනරජයක ප‍්‍රතිපත්ති මත එකී බලය පදනම් නොවන බව ඔහු දැන සිටින්ට ඇති බවයි. අඩු වශයෙන් නමටවත් ශ‍්‍රී ලංකාව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී, ජනරජයක්’ වශයෙන් තිබෙනු දැකීමට ඔහුට අවශ්‍ය වන්නට ඇත්තේ එනිසා විය යුතුය.

දෙමළ භාෂාවේ එක කියමනක් තිබේ: ‘‘වේයෝ හුඹස් සාදති. සර්පයෝ එහි වෙසෙති.’’ විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් ගත් විට අද ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් ඇත්තේ ඊට සමාන තත්වයකි. කිසි ජනාධිපතිවරයෙකුට තුන් වරක් එම ධුරය දැරිය නොහැකි බව 1978 ව්‍යවස්ථාවේ සඳහන් විය. එහෙත් එය, 2010 සැප්තැම්බර් 9 වැනි දා සංශෝධනය කෙරුණි. තමන් සතු තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බහුතරය පාවිච්චි කරමින් මේ සංශෝධනය ගෙනා මහින්ද රාජපක්ෂට දැන් තමන් කැමති වාර ගණනක් එම ධුරයට පත්විය හැකිය.

වාර්ගික ගැටුම

60 වසරකට අධික රුදුරු වාර්ගික ගැටුමක් විසඳුමකින් තොරව තවමත් සිදුවෙමින් තිබේ. අතීතයේ සිටි සෑම රජයක්ම, මේ වාර්ගික ගැටුම තමන්ට විසඳිය නොහැකි බව ලෝකයාට කියා සිටියේ, තමන්ට තුනෙන් දෙකේ බලයක් නැති කම පෙන්වා දෙමිනි.

එහෙත් තුනෙන් දෙකේ බලයක් ඇති රාජපක්ෂ එම බලය පාවිච්චි කරන්නේ තමාගේ බලය තව තවත් තර කර ගැනීමටයි. දිග් ගස්සා ගැනීමටයි. ඉස්සර ඔහු ලෝකයාට කීවේ, යුද්ධය අවසන් වූ වහාම තමා මේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සපයන බවයි. යුද්ධය අවසන් වී ඇති අද ඔහු කියන්නේ, ‘මේ රටේ සුළුතරයක් කියා පිරිසක් නැති බවත්, ජාතික ප‍්‍රශ්නයක් කියා දෙයක් නැති බවත්’ ය.

හමුදා කුමන්ත‍්‍රණවලින් සහ රාජ්‍ය නායකයන් ඝාතනය කිරීමෙන් බලය අල්ලාගත් බොහෝ ඒකාධිපතියන් සහ රජවරුන් මැරෙන තෙක් බලයේ සිටි අවස්ථාවන් මෙන්ම ජනතාව විසින් ඔවුන්ව පලවා හරින ලද අවස්ථාවන් ද අප දැක ඇත.

ඉරානයේ ෂා රජු එසේ ජනතාව විසින් බලයෙන් පන්නා දමන ලද රජ කෙනෙකි. ඉන්දුනීසියාවේ සුහර්තෝ, ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ ගඩාෆි, ඊජිප්තුවේ මුබරක් සහ ටියුනීසියාවේ බෙන් අලී, තවත් එවැනි ප‍්‍රජා පීඩක රාජ්‍ය නායකයන්ට උදාහරණයන් ය.

ඊළඟට, ‘අසමත් රාජ්‍යයන්’ සහ එම රාජ්‍යයන් අරක්ගෙන සිටින බලයට කෑදර නායකයන් ද අප දැක තිබේ. මේ අය බලයට එන්නේ ඡුන්දයෙනි. එහෙත් අනතුරුව රට පාලනය කරන්නේ, එක්කෝ නූල් සූත්තරවලිනි. නැත්නම් බිය ගැන්වීමෙනි. එසේත් නැත්නම් තුවක්කුවෙනි. හයිටි රටේ ෆ‍්‍රන්සුවා දුවැලියේ, පිලිපීනයේ මාකෝස්, පේරු රටේ ෆුජි මෝරි, බේලාරූස්හි ලූකෂෙන්කා සහ සිම්බාබ්වේහි රොබට් මුගාබේ ඊට නිදසුන් ය.

බලය සඳහා වන ඌරු කෑදරකම

මහින්ද රාජපක්ෂ අද ගමන් කරන දිසානතිය හඳුනා ගැනීමට සුදුසු වැදගත් ආදර්ශ දෙකක් අපට තිබේ. එනම් පිලිපීනයේ මාකෝස් සහ සිම්බාබ්වේ රටේ රොබට් මුගාබේ ය.

මාකෝස් එරට මැතිවරණයකින් බලයට පත්වුණේ 1965 දී ය. 1969 දී දෙවැනි වරටත් ඔහු මැතිවරණයකින් බලයට පත්විය. 1970 ඇති වූ වාමාංශික නොසන්සුන්තා හේතුවෙන් 1972 දී ඔහු හමුදා නීතිය පැනෙව්වේය. දෙවරකට පමණක් සීමා වී තිබු ජනාධිපති වාර ගණන අළුත් ආණ්ඩුක‍්‍රම සංශෝධනයකින් ඔහු වෙනස් කරගත්තේය. කෙසේ වෙතත්, තුන්වැනි වාරය සඳහා තේරී පත්වීමේ ඊළඟ ජනාධිපතිවරණය ඔහු පැවැත්තුවේ, හමුදා නීතිය අවසන් වීමෙන් අනතුරුව, 1981 ජනවාරි මාසයේ ය. වෙනත් වචනවලින් කිවහොත්, ඊට පෙර පැවති ජනාධිපතිවරණයෙන් අවුරුදු 12 කට පසුව ය.

එසේ තිබියදී ඔහු 1986 දී හදිසි ජනාධිපතිවරණයක් කැඳෙව්වේය. මේ ජනාධිපතිවරණයේදී ඔහු ජයග‍්‍රාහකයා වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරුණද, බරපතල ප‍්‍රචණ්ඩත්වයක් සහ මැතිවරණ දූෂණ සිදුවූ බවට වාර්තා වුණි. පිලීපීනයේ මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් වන ‘නැම්ෆ්රෙල්’ වාර්තා කළ පරිදි ඇත්ත වශයෙන්ම එම ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහිකාව වුණේ කොරාසන් අකිනෝ ය. ඇය වනාහී, 1983 දී මාකෝස් පාලනය විසින් ඝාතනය කරන ලද සෙනේට් සභික සහ විපක්ෂ නායක බෙනිග්නෝ අකිනෝගේ බිරිඳයි. කෙසේ වෙතත්, 1986 පැවති මේ ජනාධිපතිවරණයෙන් මද කලකට පසු ‘ජනතා බලය විප්ලවය’ ඉදිරියේ මාකෝස්ට දිවි ගලවාගෙන රටෙන් පැන යාමට සිදුවිය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා එඩිතර ශ‍්‍රී ලාංකීය කොරාසන් අකීනෝ කෙනෙකු බිහිවන්නේ කවදාද?

1979 අපේ්‍්‍රල් මාසයේ දී රොඬේෂියාවේ (අද සිම්බාබ්වේ) කළු ජාතිකයන්ට ප‍්‍රථම වරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයක් ලැබුණි. එරටේ බහුතරයක් ජනතාව එහිදී සිය ඡුන්ද බලයෙන් පත්කර ගත්තේ, මෙතොදිස්ත පල්ලියේ රදගුරුවරයෙකු වූ අබෙල් මුසොරේවා ය. එරටේ ප‍්‍රථම කළු ජාතික අගමැතිවරයා වුණේ ඔහු ය.

ඊට අවුරුද්දකට පසු 1980 දී තවත් මැතිවරණයක් පැවැත්වුණි. ඒ මැතිවරණයේදී, බිය ගැන්වීම් සහ තර්ජන ගර්ජන මගින් බලයට පත්වුණේ රොබට් මුගාබේ ය. තමාව ඒ මැතිවරණයෙන් පරාජය වුවහොත්, රටේ සිවිල් යුද්ධයක් ඇරඹෙන බව ඔහු ප‍්‍රසිද්ධියේම කීවේය. එදා සිට අද දක්වා පැවති සෑම මැතිවරණයකින්ම ඔහු සහ ඔහුගේ පක්ෂය විවිධ උපාමාරුවෙන් ජයගත්තේය. 1980 සිට 1987 දක්වා අගමැති තනතුර හෙබවූ ඔහු, 1987 දෙසැම්බර් මාසයේ දී එරට විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනුණි.

1980 සිට එරටේ පාර්ලිමේන්තු මැතිවරණ 6 ක් පවත්වා ඇත. 1990 සිට ජනාධිපතිවරණ 4 ක් පවත්වා ඇත. ඒ සෑම පාර්ලිමේන්තු මැතිවරණයකින්ම, මුගාබේගේ ‘සිම්බාබ්වේ අප‍්‍රිකානු ජාතික-දේශපේ‍්‍රමී පෙරමුණ’ ජයගෙන ඇත. එසේම සෑම ජනාධිපතිවරණයකින්ම රොබට් මුගාබේ දින්නේය. ඔහුට පරාජය අත්වුණේ, 2000 පෙබරවාරි මාසයේ පැවැත්වූ ව්‍යවස්ථාමය ජනමත විචාරණයෙන් පමණි. ඒ ජනමත විචාරණයේ ප‍්‍රතිඵලය, විපක්ෂයට මහා ජයග‍්‍රහණයක් විය. ඊට නායකත්වය දුන්නේ මෝර්ගන් ස්වන්ගිරායි ය.

මෑත අනාගතයේ ශ‍්‍රී ලංකාවේ ඉරණමත් එවැන්නක් විය හැකිද?

අසමත් රාජ්‍යයන්

1957 දී ජනාධිපති වශයෙන් බලයට පත් ෆ‍්‍රන්සුවා දුවැලියේ 1971 දී මියයන තෙක්ම හයිටි රටේ බලය හෙබවූයේය. ඔහුගේ ඇවෑමෙන් බලයට පත්වුණේ ඔහුගේ පුත්, 19 වියැති, ෂොන් ක්ලෝද් දුවැලියේ ය. ඉන් පසු ඔහුව බලයෙන් පහකෙරුණේ 1986 හටගත් ජනතා නැගිටීමකිනි.

1990 දී ප‍්‍රථම වරට පේරු රටේ ජනාධිපති පදවියට පත් ඇල්බෙර්තෝ ෆුජිමෝරි, 1993 දී නැවත ජනාධිපතිවරණයකින් ජයග‍්‍රහණය කෙළේය. එරටේ ව්‍යවස්ථාව අනුව, දෙවරකට පමණක් සීමා වී තිබූ ධුර ගණන වෙනස් කර ගැනීම සඳහා ඔහු 1998 දී ජනමත විචාරණයක් තිබ්බේය. එහෙත් ඉන් ඔහු පරාජය විය. එසේ තිබියදීත් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඔහු තමා ජයග‍්‍රාහකයා වශයෙන් ප‍්‍රකාශයට පත්කර ගත්තේය.

2000 නොවැම්බර් මාසයේ ඔහු බෘනායි රටේ පැවති සම්මන්ත‍්‍රණයකට සහභාගී වීමට ගිය අවස්ථාවේ ඔහුට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කර ගැනීම නිසා ඔහු නිලයෙන් පහ විය. ඉතිං, බෘනායි සිට ඔහු කෙලින්ම ගියේ ජපානයටයි. ඉන් පසු ඔහු එම රටේ ස්වයං-පිටුවහලේ ජීවත් විය.

1994 ජුලි මාසයේ බෙලාරූස් රටේ ප‍්‍රථම වතාවට පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ජයග‍්‍රහණය කෙළේය. 2001 පැවති ඊළඟ ජනාධිපතිවරණයෙන්ද ඔහු ජයග‍්‍රහණය කෙළේය. තුන්වැනි වරට 2006 මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ද ඔහු ‘අති විශාල’ ජයග‍්‍රහණයක් ලබාගත්තේය. මේ මැතිවරණය පැවැත්වුණේ මහපරිමාන ඡන්ද දූෂණ සහ ප‍්‍රචණ්ඩත්වය මැද්දේය. ඊළඟට නැවතත් 2010 දී එවැනිම වාතාවරණයක් යටතේ ඔහු යළිත් ජයගත්තේය.

යාවජීව වීම

තුන්වැනි වතාවකටත් තරග කළ හැකි වන සේ රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන ඇති කිසි ජනාධිපතිවරයෙකු, මරණයට පත්වුවහොත් හෝ ජනතාව විසින් පලවා හරිනු ලැබුවොත් මිස කැමැත්තෙන් බලය අතහැර ගොස් නැති බව ඉතිහාසය අපට කියාදෙයි. එසේත් නැතහොත්, හයිටි රටේ ජනාධිපති ෆ‍්‍රන්සුවා දුවැලියේ මෙන් පුතාට බලය පවරා ඉවත් වූ අවස්ථාද ඇත. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුවාවෙන්’ එවැන්නක් සිදුවන්නේද, අසමත් රාජ්‍යයන් හි ය.

උතුරු කොරියාව, නිකරගුවාව, අසර්බජානය, කොංගෝ සමූහාණ්ඩුව, සිරියාව, කටාර් සහ කියුබාව ඇතුළු තවත් ඒකාධිකාරවාදී රටවල පියාගෙන් පුතාට හෝ පවුලේ වෙනත් අයෙකුට බලය මාරු කොට තිබේ.

කෙසේ වෙතත්, අසීමිත සේ බලයට කෑදරවන කාට වුවත් අවසානයේදී අත්වන්නේ අවාසනාවන්ත ඉරණමක් බව අපට පෙනී යයි. ශ‍්‍රී ලංකාවේ රාජපක්ෂලාගේ අනාගතය කෙබඳුවේදැයි අපි බලා ඉමු.

*2014 නොවැම්බර් 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Historically A Third Term Means Lifetime! නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    එස්. වී. කිරුබාහරන් ලියන ‘ලෝකයේ පවතින පාලන ක‍්‍රම’ ගැන ලංකාවේ මිනිසුන් ඉගනගත්තේත්, ලංකාවේ මුල්ම වාර්ගික ගැටුම කවදා කෙසේ කොහේ කවුරුන් පටන්ගත්තේද යන්න දැනගත්තේත්, වටුක්කොටෙයි ප්‍රකාෂණයේ අඩංඟුවූයේ මොනවාද යන්න සහ පිරාපකරන්ගේ ත්‍රස්තවාදය පටන්ගත්තේ අැයිද යන්න පැහැදිළිකරගත්තේත් අද ඊයේ නම් නොවේ. එනිසා කිරුබාහරන් ලියන වැදිබන එසේ තිබිවේවා. අද ශ‍්‍රී ලංකාවේ ප්‍රධාන මාතෘකාව වී අැත්තේ මහින්ද රාජපක්‍ෂ නැවත ජනාධිපති කරනවාද මෙෙත්‍රිපාල සිරිසේන ජනාධිපති කරනවාද යන්නය. පහත කරුනු මා මෙහි සඳහන් කරන්නේ කිරුබාහරන්ලා ඉදිරියේදී කරන්නට බලාපොරොත්තුවන්නේදැයි කුමක්දැයි පෙන්වා දීමටයි.

    කලින් කොටියෙක් සහ දැන් කොටි කොටිකෑල්ලක් වන සහ GTF ග්ලෝබල් ටැමිල් ෆෝරම් වල කතාකාරයා වන සුරේන් සුරේන්දිරන් අල් ඡසීරා චැනලයට කීවේ දෙමළුන් එක් ලක්‍ෂ හතලිසි දහසක් මැරවූ රාජපක්‍ෂ කෙසේ හෝ පැරදිය යුතු බවයි. එම අවස්ථාවේ සුරේන්දිරන්ගේ නොයෙක් පච කතා රජීව විසින් බැහැරකලා වුවත් එතන වැදගත්වූයේ රඡීව කියූ “රාඡපක්‍ෂ පැරදිය යුත්තේ ශ්‍රි ලංකා හමුදාවන්ට අයහපත් තත්වයක් අැති නොවීම පිනිසය” යන්නයි. රාඡපක්‍ෂ පැරදිය යුත්තේ ඔහුව ජාතියන්තර අධිකරණයට ගෙනයාම වැලැවීමට බව නම් රජීව කීවේ නැත. ‘රාජපක්‍ෂ පැරදු පසුදාම ඔහුව ජාතියන්තර අධිකරණයට ගෙන යැමට ලැහැස්ති බව’ සුරේන්දිරන් දිගින් දිගටම පුනපුනා පැහැදිලිව කීවේය. GTFවල සහ වෙනත් කොටි කෑලිවල නොනිමි මෙහෙවරත් එයමයි. රජීව සහ සුරේන්දිරන් රාඡපක්‍ෂ පැරදවියයුතුබවට කාරනා දෙකක් කීවත් දෙදනාම එක් අරමුණකට ගොනු වී අැති බව පැහැදිළිය. එ් රාඡපක්‍ෂ පැරදවීමයි. එනිසා රඡීවට අවශ්‍ය වන්නේ රාඡපක්‍ෂ පරදවා ඔහුව ඡාතියන්තර අධිකරණට ගෙනයාමටය යන්න අපේ නිගමනයයි.

    රජීව විජේසිංහ මහතා නියම බ්‍රටිෂ් මාදිලියේ ලිබරල් කාරයෙක් නම් සහ අවංක මිනිසෙක් නම් විපක්‍ෂයට යාමට පෙර ඔහු දරා සිටින මංත්‍රිධූරයෙන් ඉල්ලා අස්විය යුතුව තිබිනි. අවංකකම කෙසේවෙතත් රජීව කලේ ගුනේ නැති දුෂ්ඨ ක්‍රියාවකි. මා එසේ කියන්නේ ඔහු වන්දයෙන් පත්වූ මංත්‍රිවරයෙක් නොව රාඡපක්‍ෂගේ පිහිටෙන් මංත්‍රිවී රාඡපක්‍ෂටම විරුද්ධවූ නිසාය. රාජිත මොහම්මඩ් නම් චන්දයෙන් මංත්‍රිවූ නිසා ඔහු ඉල්ලා අස්නොවීම ගැන මගේ විරෝධතාවයක් නැත. කළු සුද්දෙක් වුවත් ක්‍රිස් නෝනිස් නම් ඔහු අවංක මිනිසෙක් බව ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පෙන්නුම් කලේය.

    රජිවලා රාජපක්‍ෂ රජයට සම්බන්ධ වූයේ සහ යුද්ධය දිනවීමට සහයවූයේ දිනන පැත්තට එක්වී ඔවුන්ගේ අභිප්‍රායන් බලගැන්වීමට මිස සිංහල බෞද්ධයාට හිමිතැන ලබාදීමට නොවන බව දැන් ජනතාවට වැටහෙනවා අැත. ඉතින් පොදු අපේක්‍ෂක මෙෙත්‍රිට ඡනාධිපතිවරණය දිනන්න බැරි බව රඡීවට නොපෙනීම මට නම් පුදුමයක් නොවේ. රජිව නැවත කවදාවත් මංත්‍රි කෙනෙක් වෙන්නේ නැත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.