24 April, 2024

Blog

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

සජීව චාමිකර

සජීව චාමිකර

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත් පිරිසක් විසින් මහ පරිමාණයෙන් එළිපෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම සිදු කරමින් පවතී. මේ වන විට අක්කර 10 කට වඩා වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත. මෙලෙස එළිපෙහෙළි කිරීමට ලක් කර ඇත්තේ කුකුළේ ගඟ හා සම්බන්ධ කුඩව ගගේ ප‍්‍රධාන අතු ගංගා වල ජලපෝෂක වනාන්තර පද්ධතියයි. 

කලවාන ප‍්‍රදේශයේ පදිංචි දෙල්ගොඩ අප්පු ලෙස හඳුන්වන පුද්ගලයකු සහ පානදුර, මතුගම, නුවර හා කොළඹ යන ප‍්‍රදේශ වල ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙම වනාන්තර කොටසේ ව්‍යාජ ඔප්පු මගින් වනාන්තර ඉඩම් අත්පත් කර ගෙන එළි කිරීම සිදු කරයි.

මෙම වනාන්තර ඉඩම් සිංහරාජයට සම්බන්ධ කිරීමේ සැලැසුම් ක්‍රියාත්මක වන අතරතුර එම කටයුතු වැළැක්වීම සඳහා කඩිනමින් මෙම වනාන්තර එළිපෙහෙළි කර තේ වගාව ව්‍යාප්ත කර සංවර්ධනය කර ඇති බවට සනාථ කර ඉඩම් අයිතිය ලබා ගැනීමට සූදානම් වේ.

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ වනාන්තරය විනාශ කරන ආකාරය

සිංහරාජ අඩවියේ නීතිමය ආරක්ෂාව

1988 අංක 3 දරණ ජාතික උරුම වන භූමි පනතේ 2 වන වගන්තියට අනුව 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරණ ගැසට් නිවේදනය මඟින් හෙක්ටයාර 11,187 ක වනාන්තර ප‍්‍රදේශයක් සිංහරාජ ජාතික උරුම වන භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. 

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව ප‍්‍රකාශිත 2019 නොවැම්බර් 20 දින අංක 2150/31 දරණ ගැසට් නිවේදනය මඟින් සිංහරාජ ජාතික උරුම වන භූමිය හා ඒ වටා පිහිටි වනාන්තර හෙක්ටයාර 36,475 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර විශාල වනාන්තර පද්ධතියකට ආරක්ෂාව ලබා දී ඇත.

මීට අමතර ව මෙම රක්ෂිත ප‍්‍රදේශ ආවරණය වන භූමි ප‍්‍රදේශ හා ඒ වටා කලාපය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊට හේතු ව මේ කලාපය කඳුවැටි සහිත නායයාමේ අවධානමක් පවතින කලාපයක් වීම ය. 

මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදු කරන  ඕනෑම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව යම් සංවර්ධන ක්‍රියාවලියක් මඟින් රක්ෂිත වනාන්තර පද්ධතියේ පැවැත්මට හා එහි ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට මෙන් ම ජල පෝෂක වනාන්තර පද්ධතියේ පැවැත්මට හානිකර බලපෑම් එල්ල විය හැකි බැවිනි. 

පාරිසරික අණ පනත් උල්ලංඝනය කිරීම

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් විශාල වනාන්තර පද්ධතියක් එළි කර සිදු කරන තේ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් සිදු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් මැදිහත් වී නොමැත.

එපමණක් නොව එම ගැසට් නිවේදනයේ ම දැක්වෙන ලෙස ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශිත ප‍්‍රදේශයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සහ වන රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප‍්‍රකාශයට පත් කළ යම් ප‍්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. ඒ අනුව මෙම සියලූ වනාන්තර එළි කිරීම් මෙම නීතිමය ප‍්‍රතිපාදනයන් සියල්ලට ම ඇතුළත් වන බැවින් මේ සියලූ වනාන්තර එළි කිරීම සිදු කරන්නේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ. 

අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලූ ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඩස වන පරිච්ඡේදයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් අද වන විට සිදු කරන සියලූ පරිසර විනාශයන් හමුවේ ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබන මධ්‍යම පරිසර අධිකාරියේ සියලූ නිලධාරීන් මුණිවත රකින ආකාරයෙන් ම මෙම විනාශය හමුවේ ද නිද්‍රාශීලීව පසු වීම කණගාටුවට කරුණකි. 

සෞභාග්‍යයේ දැක්ම හාස්‍යයට ලක් කිරීම

මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්” කොටසෙහි සඳහන් වන්නේ ‘‘මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු බව ය.’’ එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිරසර පරිසර ප‍්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ ‘‘වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ” යනුවෙනි. එපමණක් නොව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ ‘‘ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්‍රියා කළ යුතු ය” යනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ය.

නමුත් මේ සියල්ල උල්ලංඝනය කරමින් ව්‍යාපාරිකයන් සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර විනාශ කරද්දී නිහඬ ව සිටීමෙන් සිදු වන්නේ සියලූ ම ජීවීන්ට භූමියට ඇති අයිතිය ව්‍යාපාරිකයින්ට පැවරීම ය. මේ සියල්ලට ම එරෙහිව ක්‍රියාත්මක වීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව අපට බලය ඇත. එම උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාව ද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව ව්‍යාපාරිකයන් විසින් සිදු කරන ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය. එසේ නොවුනහොත් සිංහරාජ අඩවියේ තේ වගා කර ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන සියලූ ජෛව ප‍්‍රජාවට අහිමි කරනු ඇත. ඒ මගින් සිදු වන්නේ දැනට සුළු පරිමාණ තේ වගාවන් සිදු කරන ජනතාවගේ වගා බිම්වල ජල සුරක්ෂිතතාව බිඳ දැමීමයි. 

සුවිශේෂී වනාන්තර සංහරාජයට අහිමි කිරීම

“ගම සමඟ පිළිසදරක්” වැනි වැඩසටහන් මගින් විධායකය විසින් රක්ෂිත වනාන්තරවල වගා බිම් ව්‍යාප්ත කිරීමට අනුබල ලබා දීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් තත්ත්වයන් වර්ධනය වෙමින් පවතී. එපමණක් නොව 2004 වසරේ දී ජනාධිපති කාර්යය සාධක බලකාය විසින් රටේ අනාගතය ගැන සිතා සැකසූ ඉතා හොද තීරණ ක්‍රියාත්මක නොවීම ද මෙම වන විනාශයන්ට ප‍්‍රධාන හේතුව වී ඇත. එම සැලසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලුම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (එ්) වගන්ති ප‍්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දේශ ලබා දෙන ලෙස ය. ඒ සඳහා නිර්දේශ ලැබුණමුත් ඊට අදාළ ලිපි ගොනු පරිසර අමාත්‍යංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර ගණනාවක කාලයක් තිස්සේ ගොඩ ගසා තිබේ. මේ කැබිනට් පත‍්‍රිකාව අනුව හෙක්ටයාර 2508.4 ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප‍්‍රමාණයක් සිංහරාජයට අළුතින් එක් කිරීමට නියමිත ව තිබේ. නමුත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ ක්‍රියාවලිය සීමා වී ඇත. අද දක්වා ම එම වනාන්තර සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් කිරීමට නොහැකි වී ඇත. මේ නිසා මෙම වනාන්තර දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් එක් ව ව්‍යාජ ඔප්පු සකස් කර රටට අහිමි කරමින් පවතී. 

වර්ෂ 2010 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව සමස්ත තෙත් කලාපීය ස්වාභාවික වනාන්තර ආවරණය සියයට 3 ක් බව හඳුනාගෙන තිබේ. මේ තත්ත්වය තුළ රක්ෂිත ආශ්‍රිත ව පිහිටන තෙත් වනාන්තර මේ ආකාරයෙන් විනාශ කිරීමෙන් තෙත් කලාපය දැවැන්ත පාරිසරික බිඳ වැටීමකට ඉදිරි කාලය තුළ දී මුහුණ දීමට සිදු වනු ඇත. මේ තත්ත්වය වැළැක්වීම සඳහා තෙත් කලාපයේ සියලූ වනාන්තර රක්ෂිත බවට පත් කිරීම මෙන් ම එම වනාන්තර ජාල ගත කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ව ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    සජීව චාමිකර මහත්මයා, ඔබට ස්තුතියි මේ ලිපියට.
    ඔබ හිතන්නේ මේ මොන “සෞභාග්‍යයේ දැක්මක්ද”? මේක ගෝඨාභයගේ “කාන්තාරයේ දැක්ම”.
    ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා කිසි කෙනෙක් “තිරසාර” කියන වචනයේ තේරුමවත් දන්නේ නැහැ.
    බලන බලන අතේ මහා රූස්ස ගස් කපා දමනවා. බොහොමයක් ගස් බෙහෙත් ගස්. කොහොඹ ගස් පවා කපලා දාල තිබුන. බොහෝ පැරණි ගස් ඒ කියන්නේ අවුරුදු 400, 500 පරණ ගසුත් කපලා දානව. දැන් ආපහු කැලා ගිනි තියන එකත් පටන් අරන්. හෙණ ගහන අපරාධ මේවා.
    ඒ වුනත් ඔබ ඇතුළු පරිසරවේදීන් සහ රටට ඇත්තටම ආදරේ හාමුදුරුවරු ටික දෙනෙක් විතරයි රාජපක්ෂලාගේ මේ “කාන්තාර දැක්මට” විරුද්ධව කතා කරන්නේ. තව අලුත් හාමුදුරුවරු ටිකක් දැක්ක කතා කරනවා. නමුත් ලංකාවේ ලොකුම හාමුදුරුවරු ටික ගෝඨාභයගේ “කාන්තාර දැක්මට” විරුද්ධව එක වචනයක් කතා කරන්නේ නැහැ. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ නම් නඩුවක් දාල තිබුන දැක්ක. නමුත් අනිත් හාමුදුරුවරු පඬුරු පාක්කුඩම් වලට පැයට කිලෝමීටර් සීයේ වේගයට පාලකයන්ට කඩේ යනවා. හිරිකිතයි බලා ඉන්න.
    2009 පොලොවට වැඳපු මහින්ද, 2021 ගස් වලට වඳිනවා කියලා සිංහලයන්ට සමච්චල් කරනවා. කෘඩියා සෙලේනිකා ගහට වැඳපු එක ගැන හිනා වෙනවා. මහින්ද ලොකු හාමුදුරු කෙනෙක් හම්බ වෙන්න ගිහින් ඒ ගැන කියල සමච්චලේට හිනා වුනා. බෝ ගස් වලට විතරලු බෞද්ධයෝ වැන්දේ. දැන් නිකම් ගස් වලටත් වඳිනවලු.(මේ සමාන වචන.) හැබැයි මහින්දට මතක නැහැ මහින්දලට චන්දෙ දීල බලයට ගෙනාවේ ගස් වලට වඳින බෞද්ධයෝ මිසක්, ශිවලින් වඳින දෙමළුවත්, කුරාන් පොතට වඳින මරක්කලයන්වත්, කුරුසෙට වඳින කතෝලිකයන්වත් නෙමෙයි කියල.

  • 0
    0

    සිංහරාජ වනාන්තරයට කරලා තියෙන අපරාධය ගස්වැල් වලට, පරිසරයට, සතා සීපාවට ආදරේ කරන සියලු සිංහලයන්ට හරිම වේදනාවක්.
    සිංහල බෞද්ධ ඉතිහාසයට හුඟක් සම්බන්ධ “සිංහරාජ වනාන්තරයේ” ඉතිහාසය සමහරු දන්නේ නැහැ.
    “සිංහරාජ වනාන්තරයට” ඒ නම ආපු විදිහ ගැන විවිධ කතා තියෙනව. සමහරු කියනව ඉස්සර සිංහයෙක් හිටියලු සිංහරාජ වනය ඇතුලේ ගල් ලෙනක. ඒ සිංහයා හින්දලු ඒ නම ආවේ. ඒ වුනාට කතාවට පදනමක් නැහැ.
    ඇත්ත කතාව නම් “සිංහරාජ වනාන්තරයේ” මුල් නම “සිංහලේ රාජකීය වනය”.
    සිංහරාජ වනාන්තරයට “සිංහලේ රාජකීය වනය” කියලා කියලා තියෙන්නේ ඒ වනාන්තරය රජුට අයිති රාජකීය ප්‍රදේශයක් විදිහට අපේ සිංහල රජවරු සෙනෙහසින් ආරක්ෂා කරපු නිසා. ඒ තරම් වැදගත්කමක් දීල තියෙන්නේ සිංහරාජ වනයේ තියෙන්නේ ලෝකයේ දුර්ලභම පැළෑටි, ගස්, සත්ව වර්ග නිසා.
    කොහොම හරි “සිංහලේ රාජකීය වනය” පස්සේ “සිංහලේ රාජ වනය” වෙලා ඊට පස්සේ “සිංහරාජ වනය” වෙලා.
    “සිංහරාජ වනාන්තරය” අයිති වෙසමුණි රජ්ජුරුවන්ට කියලයි මම අහලා තියෙන්නේ. ඒකේ ඇතුලෙ ඝන වනාන්තරයේ ඇතුලට වෙන්න ඉතා වටිනා බෙහෙත් වර්ග තියෙනව කියලා කියනව. රාවණා රජ්ජුරුවෝ සහ ඊට පස්සේ හිටපු රජවරු එතැන වැවෙන සමහර ශාක වල සාර භාවිතා කරලා තියෙන්නේ මොනවටද කියල ඇහැව්වොත් පුදුම හිතෙයි. සිංහරාජ වනාන්තරය හුඟක් ඇතුලේ අමුතු සත්තු, ලේ බොන මකුළුවෝ විදහට කුම්භාණ්ඩයන් සිංහරාජ වනාන්තරයේ දුර්ලභ ශාක ආරක්ෂා කරනවා කියල මම අහලා තියෙනව.
    සිංහරාජ වනාන්තරය කියන්නේ දිවි හිමියෙන් ආරක්ෂා කරගත යුතු මහාර්ඝ සම්පතක්.
    සිංහල බෞද්ධයන් පත් කර ගත්තු පාලකයෝම, ආරක්ෂා කරගත යුතු සිංහරාජ වනාන්තරය විනාශ කරන එක ගැන මට නම් හරිම කේන්තියි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.