26 April, 2024

Blog

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨ ආචාර්යවරුන් 07 දෙනෙකු සේවය ස්ථිර කිරීමේදී චක්‍රලේඛ උල්ලංඝනය කරලා

සමන්ත රණසිංහ​ –

මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා 2015 දී සේවය ස්ථිර කිරීමේදී එවක පාලක සභාව විසින් ගත් දෝෂ සහිත තීරණයක් පදනම්ව 2020 පාලක සභාවද නැවත වරක් දෝෂ සහිත තීරණයක් ගනී. එනම් කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව, ඔහුගෙන් ද කරුණු විමසිමක් නොකොට, අසාධාරන ලෙස මෙතෙක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වෙත සිදුකල ගෞරවනීයව සේවය අවසන් කිරීමයි. ඒ සමඟම ඔහු දරමින් සිටි මහාචාර්ය ධූරයත්, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති ධූරයෙන් ද ඉවත් කොට ඇත. 

මෙම තීරණයත් සමඟ කලක් සිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලේඛකාධිවරයා වන බී.එම්. දයාවංශ හා පාලක සභාව විසින් කරගෙන පැමිණි දෝෂ ගණනාවක් කරලියට පැමිණෙමින් පවතී. මී​ට කදිම උදාහරණයකි වන්​නේ කළක් මෙම විශ්වවිද්‍යාලයේම අධ්‍යයන සහයක කාර්යමණ්ඩල සාමාජිකයන් ලෙස සේවය කළ කීපදෙනෙකු පසුව විවෘත සම්මුඛ පරීක්ෂණයකින් ආධුනි​ක කථිකාචාර්ය ධූරයට පත් කර, අනතුරුව සේවය ස්ථිර කිරීමේදී රාජ්‍ය චක්‍රලේඛන හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා තීරණ හා උපදේශන් උල්ලංඝනය කරමින් කටයුතු කර තිබීමයි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අධ්‍යයන සහයක කාර්යමණ්ඩලට ඇතුළත් වන්නේ ප්‍රදර්ශක, උපදේශක හා සහය වාදක යන තනතුරුය. මොවුන් ප්‍රධාන වශයෙන් අධ්‍යයන කටයුතුවලට ඍජුව සම්බන්ධ නොවන අතර, ජ්‍යෙෂ්ඨ කථිකාර්යවරුන් යටතේ දේශන සඳහා අමතර සහයක් ලබා දේ. මොවුන් සතියේ දින 05 තුළ සේවයට වාර්ථා කළ යුතු අතර, ඇඟිලි සලකුණු තැබීමද අනිවාර්ය වේ. මොවුන් පාලනය වන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩල සඳහා වූ සහකාර ලේඛකාධිවරයෙකු යටතේය. එබැවින් කිසි විටකත් අධ්‍යයයන කාර්යමණ්ඩලය ගණයේ ලා නොසැලකේ.

මෙම තනතුරුවල කළක් සේවය කොට කථිකාචාර්ය ධූරයට පත් ආචාර්යවරුන් කීපදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත. එනම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චිල්ටස් දයාවංශ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චානක පීරිස්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රලාල් අමරකෝන්, කථිකාචාර්ය රංජන් වික්‍රමරත්න, කථිකාචාර්ය ආරියරත්න ලංසක්කාර යන අය එලෙස සහයවාදක තනතුරේ සිට කථිකාචාර්ය ධූරයට පත් වූ අය වේ. තවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පනාපිටිය මහතා උපදේශක නතතුරේ සිට කථිකාචාර්ය ධූරයට පත් වූ අයකු වේ. මෙම කථිකාචාර්ය ධූරයට පත්වීමෙන් අනතුරුව සේවය ස්ථිර කිරීමේදී සිය අධ්‍යයන සහයක තනතුරේ සේවාකාලය හා පූර්ව ස්ථිර කිරීම පදම්ව නව කථිකාචාර්ය ධූරයේද සේවය ස්ථිර කර ඇති බවට ඉතා පැහැදිළ තොරතුරු හමුවේ. කෙසේ වෙතත් 2015.07.22 දාතමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එවක සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා විසින් ඉතා පැහැදිළිව අදාළ අධ්‍යයන සහයක තනතුරේ සේවාකාලය හා ස්ථිර කිරීම මෙම නව කථිකාචාර්ය ධූරයේ සේවා ස්ථිර කිරීම සඳහා සලකා බැලිය නොහැකි බව ඉතා පහැදිළිව ලිඛිතව දන්වා ඇත. එහි උපුටා ගැනීම පහත පරිදි වේ.

(උපුටාගැනීම ආරම්භය) සියළුම පරිවාස තනතුරු ස්ථිර කිරීමේදී අදාළ බඳවාගැනීමේ පරිපාටියේ ඇති ස්ථිර කිරීම පිළිබඳ නියමයන් හා කොන්දේසි වලට යටත් වන බව (උපුටා ගැනීම අවසන්) මෙහිදී 2009 අංක 57, 1978 අංක 16 විශ්වවිද්‍යාල පනතේ 72 වගන්තිය මෙන්ම, 1985 අංක 07 සංශෝධයයේ 72 වගන්ති සියලු ආධුනික කථිකාචාර්යවරුන්ට අදාළ බව අවධාරණය කර ඇත. මෙම ලිපියෙන් අවධාරණය කරන විශේෂ කරුණ වන්නේ මෙම ආධුනික කථිකාචාර්යවරුන් බාහිර හා අභ්‍යන්තර අයදුම් කරුවන් ලෙස වෙන වෙනම සැලකිය නොහැකි බවය. අපට පෙනී යන වැදගත් කරුණ වන්නේ 1980 සිට මෙම විශ්වවිද්‍යාල පද්ධතියට මෙම සෞන්දර්ය අධ්‍යයන ආයතනය අන්තර්ග්‍රහණය කළ දින සිට මෙන්ම 2005 ස්වාධීන විශ්වවිද්‍යාලයක් වීමෙන් අනතුරුවද බඳවාගත් සියලුම ආධුනික කථිකාචාර්යවරුන්ට මෙම චක්‍රලේඛන හා අනපනත් අදාළ බවය.

මෙම 2015.07.22 දාතමින් යුත් ලිඛිත උප​දෙස් පදනම්ව නර්තන හා නාට්‍ය කලා පීඨයේ කථිකාචාර්ය හේෂාන් ගමගේ වෙත මේ වන විට යම් විනය ක්‍රියා මාර්ගයක් ගෙන ඇත. ලක්ෂ 19කට ආසන් වැටුප් කපා ගැනීමටද තීරණය කොට ඇත. එහෙත් ඉහත නම් සඳහන් අය වත්මන් පරිපාලක නිසිබලධාරී සම්මානි මහාචාර්ය අබේරත්න බණ්ඩා යටතේ ඉතා සුරක්ෂිතව සිටීම මවිතයට කරුණකි. මහාචාර්ය සෞම්‍ය ලියනගේ ඉවත් කිරීමට ​බලපෑ හදිසි තත්වය සහ උවමනා​ව මෙම අයතා පරිදි සේවා ස්ථිරත්වයක් ලබා සිටින අයට ක්‍රියාත්මක නොවන්නේ ඇයි. කථිකාචාර්ය හේෂාන් ගමගේ පමණක් එහි ගොදු​රක් වන්නේ ඇයි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ලේඛකාධිවරයා මෙම කරුණු යටපත් කර පක්ෂාග්‍රාහීව කටයුතු කරන බවත් ඉතා පැහැදිළිය. මහාචාර්ය සෞම්‍ය ලියනගේ ඉවත් කිරීමට වත්මන් නිසිබලධරයා හා පරිපාලනය සමඟ එක්ව කුමන්ත්‍රණය කළ දූෂණ විරෝධී සංගීත පීඨ වෘත්තීයවේදීන්ගේ සංගමය මෙවැනි කරුණු ඇස නොගැටීමද මවිතයට කරුණකි. මෙම සංගමය සෞම්‍ය ඉලක්ක කිරීම තම හිතවත් ආචාර්යවරුන් බේරා ගැනීමට හා මෙම අනීතික තත්වයන් යටපත් කිරීම​ට ගත් කූට උපක්‍රමයක්ද?

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.