

සරත් ද අල්විස්
“විවිධ අය අනාගතය දෙස විවිධාකාරයෙන් බලති. දුබලයනට එය සාක්ෂාත් කළ නොහැක්කකි. බියපත් වූවනට නොවැටහෙන්නකි. ධෛර්යවන්තයෝ එය වාසිදායක සේ සලකති.” ප්‍රංශ අධිරාජ්‍යය බිඳවැටීම හා එහි නව ජනරජය බිහිවීම අතරතුර පැවැති අර්බුදකාරී සමයෙහි දී වික්ටර් හියුගෝ නම් ප්‍රංශ ලේඛකයා එම පණිවිඩය ලෝකයට දුන්නේ ය.
අර්ථවත් වෙනසක් ඇති වන්නේ කිසියම් සාධනීයත්වයක් වෙත ළඟා වීමෙහි ලා උපයෝගී වන්නා වූ තාත්වික බව හා ප්‍රායෝගිකත්වය පාදක කොටගත් දැක්මක් ඔස්සේ ය. යථාර්ථයෙහි ස්වරූපය සැකැසෙන්නේ නිරවුල් අදහස් ඔස්සේ ය.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉකුත් අගෝස්තු 26 වැනිදා ප්‍රකාශයට පත්විණි. එහි අවසාන සංස්කරණය මම යූටියුබ් ඔස්සේ දිටිමි. නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශයටද මම සවන් දුන්නෙමි. මේ මා එය දුටු ආකාරයයි.
ජනතා සන්තානයන් හි නව අර්ථ නිරූපණයන් මතු කැරෙන වචන තුළ යටගිය ඉතිහාසය මැනවින් ගැබ් වී තිබේ. ඒවායෙහි අන්තර්ගත ප්‍රබල වෙනසක් පිළිබඳව වූ දර්ශනය සමාජය තුළ හදිසි තැතිගැන්මක් ඇති කරවනසුලු ය. ‘අර්බුදය’ ‘අරගලය’ හා ‘පුනරුදය’ යනු එබඳු සිංහල වචන තුනකි.
ජාතියක ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයන්හි දී සඳහන් වන්නා වූත් සමාජයේ විමර්ශනාක්ෂිය සහිත විද්වතුන් පිරිස විසින් එබඳු වචන විග්‍රහට භාජන කිරීම ඔස්සේ ඉදිරිපත් කරනු ලබන්නා වූත් යථාර්ථවාදී නිගමනයන් තුළින්, නිසැකව ම සිදු වන විපර්යාසයෙහි බරපතලකම වටහාගැනීමට අපට හැකි වනු ඇති බව එරික් හොබ්ස්බෝම් නමැති ඉතිහාසඥයා පෙන්වා දෙයි.
අප මේ ජීවත් වන්නේ ඇඩම් ස්මිත්ගේ හෝ ඩේවිඩ් රිකාඩෝගේ හෝ එසේත් නොමැති නම් කාල් මාක්ස්ගේ හෝ යුගයෙහි නොවේ. අසාර්ථක වූවක් වන නමුදු අදටත් බැහැර කරනු නොලැබ පවතින නව ආර්ථික ක්‍රමය පිළිබඳව හොබ්ස්බෝම් මෙසේ ලියයි; “මේ වනාහි ඉකුත් සියවස් දෙකක් හෝ තුනක් තුළ දී ධනවාදයේ වර්ධනය සමග සිදු වූ දැවැන්ත ආර්ථික හා තාක්ෂණ විද්‍යාමය ක්‍රියාදාමය විසින් සහමුලින් උඩුයටිකුරු කරන ලද ලෝකයකි. එය ඒ ආකාරයෙන් ම නොනැවතී ඉදිරියට යාමක් සිදු විය නොහැකි බව අපි දනිමු. අනාගත ලෝකය අතීතයෙහි ම දිගුවක් විය නොහැකිය. ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවකට අප අවතීර්ණව සිටින බවක් පෙනෙන්නට තිබේ. තාක්ෂණ විද්‍යාමය ආර්ථිකය විසින් නිර්මාණය කරන ලද බලවේගයන් සමස්ත පරිසරයම, එනම් මනුෂ්‍ය ජීවිතයෙහි භෞතික පදනම විනාශ කරදැමීමට තරම් ශක්ති සම්පන්න ය. බාහිරාවර්තිත හෝ අන්තර්වර්තිත පිපුරුමකට භාජන වීමේ සම්භාවිතාවක අවදානම ලෝකය ඉදිරියෙහි තිබේ. එයට ඉඩ තැබිය යුතු නැත. යා දෙන අනාගතයක් මිනිස් වර්ගයා සඳහා නිර්මාණය කළ හැකි වන්නේ අතීතය හෝ වර්තමානය හෝ ඉදිරියට ද පවත්වාගෙන යාම තුළින් නොවේ. මෙහි ලා අසමත් වුවහොත් වෙනස් වූ සමාජයක් වෙනුවට ඉතිරි වන්නේ අන්ධකාරයකි.” අප ගේ සමාජ-සාංස්කෘතික හා දේශපාලන හර පද්ධතීන් අතිශය සුවිශේෂී විපර්යාසයකට හසු වෙමින් පවතී.
ජනතාව අබිබවා ලාභයට ද සාධාරණත්වය නොතකා ඉපයුමට ද සමාජ අසහනය නොතකා දළ දේශීය නිෂ්පාදිතයටද ප්‍රමුඛතාව ලබා දීමෙහි නව ලිබරල් ධනවාදයේ ලක්ෂණ බිඳදැමීම මෙම ජනාධිපතිවරණයෙහි ඒකාන්ත ප්‍රතිඵලය වනු ඇත.
නිදහස පිළිබඳ නව අර්ථකථනයක් හා නව සමාජ ක්‍රමයක් සඳහා සුදුසු කාලය දැන් එළැඹ තිබේ. ප්‍රවර්තන ක්‍රමයෙහි මෙම වෙනස මෙහෙයවනු ලබන්නේ ඒක භාෂික බහුතරයකින් සමන්විත වූත් දේශපාලනමය යුහුසුලු බවක් සහිත වූත් ඩිජිටල් නැතහොත් තාක්ෂණ විද්‍යා යුගයෙහි අවශ්‍යතාවන් සපුරාලීම පිණිස ස්වකීය දූ දරුවන් සන්නද්ධ කර තැබීම පිළිබඳ අපේක්ෂා සහගත වන්නා වූත් මධ්‍යම පන්තියක් විසින් ය.
ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් වන්නේ සරල මාතෘකාවක් රැගෙන ය. ස්වකීය ව්‍යාපාරය වන ජාතික ජන බලවේගය ‘පුනරුදයක් ’ පිළිබඳ අපේක්ෂා සහිතව ගමන් කරන බවද ප්‍රභූ දේශපාලනය අවසන් කැරෙන බව ද අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. සුළුතර පන්තියක හිතුමතය මෙන් ම ගජමිතුරු ධනවාදය ද අවසන් කිරීමට ඔවුන් පියවර ගන්නා බව හෙතෙම කියයි.
ඉංග්‍රීසි ලිපිය මෙතනින් කියවන්න: Arbudaya, Aragalaya, Punarudaya