
අෆුවා හිර්ෂ් –
මෙම ලිපිය If coronavirus doesn’t discriminate, how come black people are bearing the brunt? නමින් The Guardian පුවත්පතේ පළවූවකි. මෙම ලිපිය රචනා කර ඇති අෆුවා හිර්ෂ් එම පුවත්පතේ තීරු ලිපි රචිකාවියකි.
මා පළමු ව විශ්වාස කළේ කොරෝනා අර්බුදයේ දී අප සියල්ලෝ ම එකසේ මේ වෛරසයෙන් පීඩාවට පත්වන බව යි. අපි සියල්ලෝ ම එක ලෙස ම කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත් වෙන බව දැනදැන ම අපි තවදුරටත් කඹ ඇදීමක නිරත වන්නෙමු.

කොරෝනා රෝගීන් සඳහා උපස්ථාන කරමින් සිටිය දී වෛරසය වැළදී මියගිය බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් 04 දෙනා අ ප්‍රිකානු හා ආසියානු සම්භවයක් ඇති මුස්ලිම් ජාතිකයින් ය. පළමුවෙන් මියගිය වෛද්‍යවරු දෙදෙනා, වෛද්‍ය අහමඞ් එල් හව්රනි සහ වෛද්‍ය අදිල් එල් ටයාර් බ්‍රිතාන්‍යයේ විසූ සුඩානි ජාතිකයින් ය. හබිබ් සයිදි පකිස්ථානු සම්භවයක් ඇත්තෙකු වූ අතර ඇල්ෆා සාඖදු නයිජිරියානු ජාතිකයෙක් වූයේ ය.
මේ ව්‍යාජ සිතිවිල්ලේ තරම අපට මනා ලෙස වැටහෙන්නේ කොරෝනා වෛරසය සමාජයක විවිධ පන්තීන් කෙරෙහි දක්වන ප්‍රතිචාරය සැලකිල්ලට ගත් විට ය. සමාජයේ විවිධ පන්තීන් අතර ඇති පරතරය මනා ලෙස පිළිඹිබු වන්නට පටන් ගත්තේ තමන්ගේ මාසික පඩිය බැංකුවට වැටෙන, පාස්කු නිවාඩුව නොලැබීමේ සාංකාවෙන් තම ලැප්ටොප් යන්ත්‍රය ඉදිරියේ හිඳිමින් නිවසේ සිට වැඩ කරන මධ්‍යම පන්තිකයාත්, අල්ලට සිඟා කමින් තම දරුවන්ට කන්නට යමක් සොයන සාමාන්‍ය ජනතාවත් මේ මොහොතේ සිදු කරන අරගලය දකින විට ය.
කොරෝනා මර්දනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන ආරක්ෂණ ක්‍රමවේදවල ඇති අදූරදර්ශීභාවය සමස්ත ප්‍රජාව සැලකිල්ලට නොගෙන සිදු කරන ප්‍රකාශ වලින් ප්රතීයමාන වේ. පවුල් කිහිපයක් එක නිවෙසක් තුළ ජිවත් වෙනවිට, අඩු පහසුකම් සහිත ප්‍රජාව කෙසේ නම් මේ සමාජ දුරස්ථභාවය රකින්න ද? සතියකට සැරයක් නිවසට අවශ්‍ය භාණ්ඩ රැගෙන විත් ඒවා ගබඩා කරන්නට තරම්වත් ඉඩකඩක් තම නිවසේ නැති ප්‍රජාව කෙසේ නම් මේ ව්‍රතය රකින්න ද? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට හෝ එළියට පහළියට යාමට අවශ්‍ය මොහොතක ඔබ මුහුණ දෙන්නේ කොරෝනා ආසාධනය වීමේ අනතුරට පමණක් නොවේ. ඔබ මෙතෙක් මුහුණ නොදුන් පොලීසියේ තර්ජන ඝර්ජනවලට ද ඔබට මුහුණ දෙන්නට සිදු වනු ඇත. මෙය අනතුරක් වන්නේ වෙනදා පොලීසියට නොලැබුණු සමාජය පාලනය කිරීමේ අතුරු බලයක් ඔවුනට දැන් ලැබී තිබෙන නිසා ය.
දුගී දුප්පතුන් වාසය කරන ප්‍රදේශවල ජීවත් වන මිනිසුන් හට කොරෝනා වෛරසය වැළඳීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතින බව පෙනෙන්නට තිබෙන කරුණකි. මේ ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ දරිද්‍රතාවත් කෙටි ආයුෂ භුක්ති විඳීමත් සලකා බලන විට රෝග කාරක විෂබීජය විසින් මේ මිනිසුන් ගොදුරු කර ගැනීමේ ප්‍රවණතාව තවත් වේගවත් වනු ඇත. මෙයින් පෙනී යන්නේ අන් කිසිවක් නොවේ. සෞඛ්‍ය පහසුකම්වලට හිමිකම් නොකියන සමාජයේ පහළ ස්තරයේ ජන කොටස් කොවිඞ් 19 ව්‍යසනය හමුවේ අසරණභාවයට පත්වීමේ ඛේදවාචකය යි.
එපමණක් නොවේ. දැනට පළවී ඇති වාර්තා අනුව වාර්ගික සුළු ජන කොටස් කොරෝනා වෛරසයේ ගොදුරු බවට පත්වන ප්‍රවණතාව ඉතා භයානක තලයකට ගමන් කරමින් තිබෙන බව පෙනේ. උතුරු අයර්ලන්තයේ, එංගලන්තයේ සහ වේල්සයේ පමණක් 2000 කට ආසන්න පිරිසක් මේ ව්‍යසනයට ගොදුරු වී ඇත. මින් 35% පමණ ප්‍රතිශතයක් කළු ජාතික, ආසියානු හෝ අනෙකුත් සුළු ජන කොටස් වේ. සමස්ත ජනගහනයෙන් කොරෝනා ආසාධිත වූවන් සලකා බලන විට එය දෙගුණයක් වඩා වැඩි වීමකි.
සාමාන්‍ය නියුමෝනියා තත්ත්වයක දී සුළු ජන කොටස් ඒ සඳහා ගොදුරු වීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගත්ත ද ඇති වී තිබෙන නව තත්ත්වය අසාමාන්‍ය ස්වරූපයක් උසුලයි.
මහජන සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් හෙද සේවකයන් කොපමණ ප්‍රමාණයක් මේ වනවිට කොරෝනා වෛරසයට බරපතළ ලෙස ගොදුරු වී සිටින්නේ දැයි පරිපූර්ණ තත්ව වාර්තා තවමත් අප සතුව නැත. නමුත් දැනට ඇති තොරතුරු අනුව අප පෙන්වන චිත්‍රය නම් එතරම් සුබදායක නැත. කොරෝනා රෝගීන් සඳහා උපස්ථාන කරමින් සිටිය දී වෛරසය වැළදී මියගිය බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් 04 දෙනා අ ප්‍රිකානු හා ආසියානු සම්භවයක් ඇති මුස්ලිම් ජාතිකයින් ය. පළමුවෙන් මියගිය වෛද්‍යවරු දෙදෙනා, වෛද්‍ය අහමඞ් එල් හව්රනි සහ වෛද්‍ය අදිල් එල් ටයාර් බ්‍රිතාන්‍යයේ විසූ සුඩානි ජාතිකයින් ය. හබිබ් සයිදි පකිස්ථානු සම්භවයක් ඇත්තෙකු වූ අතර ඇල්ෆා සාඖදු නයිජිරියානු ජාතිකයෙක් වූයේ ය.
මේ මරණ කන වැකුණු සැනින් අපට සැල වූයේ තවත් එවැනි මරණයකි. එය තෝමස් හාවී ගේ මරණය යි. හාවී අත්වැසුම්වලින් පමණක් තම ආරක්ෂාව සපයා ගනිමින් අසාධිත රෝගීන්හට උවැටන් කළ සෞඛ්‍ය සේවකයෙකි. තවත් එවැනි ම සෞඛ්‍ය සේවිකාවක වූ අරීමා නස්රින් තමා රැකියාව කළ රෝහලේ ම මියැදුනා ය.
මින් ගම්‍යමාන කරන්නේ අන් කිසිවක් නොව බ්‍රිතාන්‍යයේ ජාතික වෛද්‍ය සේවය (NHS) තවමත් යැපෙන්නේ සුළු ජාතික ජන වර්ගවල වැඩි දායකත්වය මත බව නොවේ ද? ජාතික වෛද්‍ය සේවයෙන් 40% ක් සේවය කරන්නේ මෙකී ජන වර්ගවලට අයත් සේවයකින් ය. එය මහා බ්‍රිතාන්‍යයේ ජනතාවට අනුපාතික ව කල්පනා කළ ද දෙගුණයක ප්‍රමාණයකි.
මේ සංඛ්‍යා ලේඛන සහ දත්ත සිහියේ තබා ගැනීම වැදගත් වන්නේ අන් කිසිවක් නිසා නොවන මේ වන විට වෛද්‍ය සේවයේ නියුතු සේවකයින් අගය කිරීමේ ව්‍යාපාරයේ මේ සැඟවුණු මිනිසුන් සහ ගැහැනුන් කෙතරම් සුළුවෙන් ස්මරණය කරන්නේ ද යන්න ප්‍රකට ව පෙනෙන කරුණක් බැවිනි. මෙය තවත් මොනවට ප්‍රකට වන්නේ ජාතික තලයේ පුවත්පත් ජාතික වෛද්‍ය සේවයේ සේවකයින්ගේ ඡායාරූප පළ කරන විට සමස්ත වෛද්‍ය සේවයම මූර්තිමත් කර තිබෙන්නේ සුදු හම සහිත මිනිසුන් සහ ගැහැනුන්ගෙනි. වෛද්‍ය වෘත්තියේ වීරවරියන් සහ වීරයින්ගේ අසමසම කැපවීම් සහ සේවාව අගය කිරීම මේ මොහොතේ සිදු කළ යුතු දෙයක් වුව ද ඒ හා සමගාමීව සැබෑ වීරයින් සහ නිසි ගෞරවය ලැබිය යුත්තන් කවුරුන් ද යන්න පිළිබඳවත් ආඛ්‍යාන නිර්මාණය කළ යුතු ව ඇත. මේ මොහොතේ ජාතික වෛද්‍ය සේවය නියෝජනය කරමින් පුවත්පත් මුල් කවර සරසන්නේ සුදු හම පමණක් සහිත වීරවරයින් නම් එය සැබෑ තතු මඟ හරිමින් සුළු කණ්ඩායම්වල දායකත්වය මකා දැමීමට ගන්නා උත්සාහයක් වනු නොවැලැක්විය හැකි ය.
මේ සතියේ සමාජ ක්‍රියාධරයින්ගෙන් සැදුම් ලත් CharitySoWhite සහනාධාර කණ්ඩායම ඉතා නිවැරදි ලෙස බ්‍රිතාන්‍යයේ ජීවත්වන සුළු ජන කොටස් සහ කොරෝනා ආසාධනය වීමේ ශීඝ‍්‍රතාවයේ ඇති ප්‍රවණතාව පිළිබඳ ව කලින් අනතුරු අඟවමින් ඒ සඳහා පියවර ගතයුතු බව නිවේදනය කළේ ය. ඔවුන් විසින් නිකුත් කළ වාර්තාවට අනුව සුදු ජාතිකයින්ට සාපේක්ෂ ව සුළු ජන කොටස් සඳහා තිබෙන වෛද්‍ය පහසුකම් අවස්ථා හීනවීම, පාසල් වසා දැමීම, පහළ ආදායම් තත්වයන් සහ අනාරක්ෂිත නිවාස හේතුවෙන් මේ සුළු ජන වර්ග කොරෝනා වෛරසයෙන් ආසාධනය වීමේ වැඩි නැඹුරුවක් තිබෙන බව වාර්තා කොට ඇත.
මින් අපට නැවත නැවතත් ප්රත්යක්ෂ කරවන්නේ බ්‍රිතාන්‍යය රජයේ ප්‍රතිපත්ති නිෂ්ක්‍රීය වාර්ගික පදනමකින් සකසා තිබේ යැයි පැවසුව ද තවමත් සමාජයේ නිර්ප්‍රභූ කොටස් සඳහා විශේෂිත අවධානයක් යොමු කළ යුතු බව නොවේ ද? ‘සියල්ලන්ට ම සමාන ලෙස සැලකීම’ යන උදෘතයන් බොහෝ විට අසමානතා උධ්භවය ලබන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ මොහොතේ ආර්ථික අවපාතය හේතුවෙන් දුර්වල වන සමාජ සුබසාධන කණ්ඩායම ආරක්ෂා කර ගැනීමත් ඔවුන් ඉලක්ක කරගත් වැඩ පිළිවෙළක් දියත් කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් වන්නේ ය.
කොරෝනා වසංගත සමයේ සුළු ජන කොටස්වලට එය බලපා ඇති භයංකාර ස්වභාවය තේරුම් ගැනීමට ඇමරිකාව දෙසට අවධානය යොමු කිරීම වුව ද සෑහේ. කොරෝනා ආසාධනයේ බලපෑම මේ වන විටත් සමස්ත ඇමරිකාව වසා පැතිරෙමින් තිබේ. මිචිගන් ප්‍රාන්තයේ 15% කොරෝනා ආසාධනය වී ඇති අතර ඉන් මේ වන විට මිය ගොස් ඇති කළු ජාතිකයින්ගේ ප්‍රමාණය 40% කි. චිකාගෝ ප්‍රාන්තයේ අප්‍රිකානු ඇමරිකානු ජන අනුපාතය 30% ක් වන අතර මේ වන විට මරණ අනුපාතය 70% කි. ලූසියානා ප්‍රාන්තයේ තත්වය ද එසේම ය. එහි වාසය කරන කළු ජාතිකයින්ගේ ප්‍රතිශතය 32% ක් වන අතර මේ වන විට මරණ අනුපාතිකය 70% කි.
වාර්ගික අර්බුදවලට ඉතිහාසයක් ඇති බව නොරහසකි. නමුත් කොරෝනා මර්දන ව්‍යාපෘතියේ ගනු ලබන තීරණ යටත් විජිත මානසික තත්වය පිළිඹිබු වීම පුදුමයට කරුණක් නොවේ. නැගෙනහිර ආසියානු කලාපයේ කොරෝනා පැතිරී තිබිය දී ඒ අනුව කලට වේලාවට ගත යුතු ව තිබුණු තිරණ නොගැනීම, නව එන්නත් අප්‍රිකානු මිනිසුන් යොදා පරීක්ෂා කිරීම පිළිබඳ ව ප්‍රංශයේ පැවති විවාදය සලකා බැලූ විට වුව ද අපට පෙනෙන්නේ කොරෝනා වසංගතය විසින් මේ මොහොතේ අප ජීවත් වන සමාජ ක්රමයේ කුණු වීමේ ස්වාභාවය තවත් මතු කර පෙන්වන බව යි.
කොරෝනා වෛරසය ජාති ආගම් කුලමළ තකන්නේ නැත යන සිතුවිල්ල අප අප ව සනසා ගැනීමට පමණක් සෑහෙන ප්රකාශනයක් පමණි. ඔබ දරිද්‍රතාවෙන් පෙළෙන්නේ නම්, නිශ්චිත ආදායමක් නැති නම්, ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නැති නම්, නිවාස සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන නොමැති නම්, ඔබ වෛරසයට බිලි වීමේ අවධානම නවතාලිය නොහැකි ය. ඔබගේ ප්‍රජාව ඔබට කොතෙක් ආදරය කළත්, ඔබ ගෞරවනීය වෘත්තියක නියැලූනත් ඔබ සෞඛ්‍ය සේවයේ නියුතු කළු ජාතිකයෙකු හෝ ආසියානු ජාතිකයෙකු නම්, මේ උවදුරෙන් ඔබට ගැලවීම දුෂ්කර ක්‍රියාවක් වනු ඇත.
අප අද දවසේ මුහුණ පා සිටින මේ තත්වයට හේතු සොයා ගැනීමට තවත් කල් ගත වනු ඇත; තවත් සංඛ්‍යා ලේඛන සහ තොරතුරු අවශ්‍ය වනු ඇත. කණගාටුවට කරුණ වන්නේ ඒ වන තෙක් අපට තවදුරටත් මිනිස් ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවීම යි.
*පරිවර්තනය – සෞම්‍ය ලියනගේ