30 September, 2020

Blog

කොරෝනා රෝගීන් වැඩිපුර හමුවූ ජාඇල සුදුවැල්ලේ සැඟවුණු කතාව

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

මේ දිනවල ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්වය මුල් කොට වැඩිපුර ජනතා අවධානයට ලක්වන ප්‍රදේශ අතුරින් ගම්පහ දිස්ත්‍රක්කයේ ජාඇල නගරාසන්නයේ පිහිටි සුදුවැල්ල නම් ප්‍රදේශයට ද මුල් තැනක් හිමිව තිබේ. ඒඑම ප්‍රදේශයේ පදිංචිකරුවකු ඊට නොදුරු පමුණුගම ග්‍රාමයේ හොර පොල්කැඩීමක යෙදී සිටියදී ප්‍රදේශවාසීන්ට හසු වී ගුටිබැට ප්‍රහාරයකට ලක්ව රාගමමහ රෝහල වෙත ඇතුළු කරනු ලදුව එහි දී ඔහු කොරෝනා ආසාදිතයකු බවතහවුරු වීමත් සමඟිනි.

පසුව ඔහු සමීපව ඇසුරු කළ බව පැවසෙන පිරිස්කණ්ඩායම් වශයෙන් නිරෝධායනයට ලක් කරනු ලදුව ඔවුන් අතරිනුදු කොරෝනා ආසාදිතයන් හමු වී තිබේ. මාස හතක් වයසැති බිළිඳකු ද සිටින ඔහුගේ බිරිඳ ද ඒ අතර විය. එමෙන්ම මෙලෙස කොරෝනා ආසාදනයට ලක් වූ සහ නිරෝධායනය කෙරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් සිදුකෙරුණු විමර්ශන මගින් වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ ඔවුන්ගෙන් වැඩි දෙනකු මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවය.

එමෙන්ම මෙසේ කොරෝනා වසංගතය ආසාදනය වූවන් හා සමීප සම්බන්ධතා පැවැත්වූ බවට තහවුරු වූ කොළඹ, තොටළඟ නාගලගම් වීදියේ යම් පිරිසක් කෙරෙහි ද බුද්ධි අංශ අවධානය යොමු වනු ලදුව ඔවුන් අතුරිනුදු කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා ජාඇල සුදුවැල්ල දුරාචාර බහුල ප්‍රදේශයක් වශයෙන් වඩාත් ප්‍රකට තත්වයකට පත් වෙමින් තිබේ.

සාමාන්‍යයෙන් මෙබඳු සංසිද්ධීන් මුල්කොට සිදු කෙරෙන විමර්ශනවලදී එම ප්‍රදේශ මුල්කොට සිදු කරනු ලැබූ ව්‍යවහාරික සමාජ විද්‍යාත්මක ගවේෂණයන් හි මූලාශ්‍ර සහ දත්ත උපයෝගී කරගැනෙයි. නමුදු අපේ රටේ බොහෝ දෙනෙක් එබඳු විෂයක් තිබේ ද කියාවත් නොදනිති.

සැබැවින්ම සුදුවැල්ල යනුවෙන් ගම්මානයක් හෝ ග්‍රාම නිලධාරී වසමක් නැත. එය අයත් වන්නේ ජාඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 192 දරන බටහිර තුඩැල්ල ග්‍රාම නිලධාරී වසමටය. අතීතයේ සිට වැලිපර වලින් යුතු බිම්කඩක් වූ මෙම ප්‍රදේශයේ කෙළවර වැලි තුඩුවක් ලෙස පැවැතීම නිසා පසුව එය “තුඩු+ වැල්ල” ලෙස හැඳින් වී අද වන විට තුඩැල්ල බවට පත්ව ඇති බවට සාධක තිබේ.

සුදුවැල්ල යනු අක්කර සිය ගණනක් පුරා පැතිර තිබූ එම ස්වභාවික වැලි පරයේ මැදට වන්නට පිහිටි එක් ස්ථානයකි.කැලණි නදියෙන් උතුරට වන්නට පිහිටි සුවිසල් වැලි සහිත ප්‍රදේශයක් මුල්කොට ගත් ග්‍රාම නාම බොහොමයකි. ඒවා අතුරින් වැලිගම්පිටිය යන ග්‍රාම නාමය කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිල සංදේශයේ 173 කවියේ ද තිබේ. එමෙන්ම වත්මන් කඳානට නොදුරු රිලවුල්ල නම් ප්‍රදේශයේ සුදුවැලිවලින් පිරීගත් මළුවක්සහිත බෞද්ධ විහාරයක් තිබූ බවද කෝකිල සංදේශයේ 172 කවියේ සඳහන්ව තිබේ. එම ස්ථාන ද මෙම සුදුවැල්ලට නොදුරින් පිහිටා තිබූ බවක් පෙනේ. මෙම වැලිපරය වසර දහස් ගණනකට පෙර අතීතයේ සිදු වූ මුහුද ගොඩගැලීමක්මු ල්කොට මුහුදට යට වී තිබූ ප්‍රදේශයක් පිළිබඳ භූ විද්‍යාත්මක සලකුණක් බව

ගම්පහ දිස්ත්‍රික්කය මුල් කොට භූ විද්‍යාත්මක විමර්ශණයක් සිදු කළ භූ විද්‍ය මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පවසා ඇත. ඔහුගේ එම ප්‍රකාශය සත්‍යයක්ලෙස ගිනිය හැක්කේ අදටත් මුලුමනින්ම පාහේ වැලි මිශ්‍ර පසකින් යුතු එහි තිබී බෙලි කටු වැනි සුමුද්‍ර ජීවීන්ගේ අවශේෂ හමුවන බැවිනි. මෙය විහාරමහදේවී සිද්ධියට සම්බන්ධ මුහුද ගොඩගැලීම යැයි ද ඇතැමෙක් කියති.

මුතුරාජවෙල තෙත් බිම හා සම්බන්ධ කඩොලාන පද්ධතියකින් යුතු සුදුවැල්ල මෑතක් වනතුරුම ජනශූන්‍ය ප්‍රදේශයක්ව පැවතිණ. මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත වැඩිම උරග ගහණයක් නිරීක්ෂණය වන ප්‍රදේශයක් ලෙස ද මීට වසර තිහකට පමණ පෙර තරුණ සත්වවේදීන්ගේ සංගමය මගින් නිකුත් කොට ඇති වාර්තාවක්මගින් මෙම ප්‍රදේශය හඳුන්වා දී තිබේ. මෙම සුදුවැල්ල ප්‍රදේශය පුරා පැතිර ගත් වැලි තලය හැරුණු කොට මෙහි දක්නට ලැබෙන සුවිශේෂතම ස්ථානය වනුයේ ‘සුදුවැලි පොකුණ’ නමින් හඳුන්වන මිරිදිය තටාකයයි. අතීතයේ විසූ රැජිනක විසින් දිය නෑ පොකුණක් බව පැවසෙන මෙහි දියට බැසීමට භාවිතා කළ ස්ථානයක ගල්ලෑල්ලක් සහ ගලින් නිම වන ලද පියගැට පෙළක් ද තිබූ බව අවට ප්‍රදේශවල ගැමියන් තමන් හා කී බවක් ජාඇල ජයන්ති විද්‍යාලයේ හිටපු විදුහල්පති වරයකු වන එම්.ටී. ධර්මසේන මහතා අප හා කියා තිබේ. එමෙන්ම අතීතයේ මෙම පොකුණේ ජලය කෙතරම් පිරිසිදු ද යත් හිරු මුදුන් වූ විට එහි පිහිනන මසුන් සේම එහි පත්ලේ ඇති වැලිතලය ද මනාව දිස් වූ බව තුඩැල්ල ප්‍රදේශයේ පැරණි ගැමියන් අප හා කියා ඇත. එහෙත් අද වන විට මෙය විවිධ පරිසර දූෂණයන්ට ලක්වන ‘මිහිපිට අපායකි’.

එසේම අතීතයේ මෙහි දිය නෑ රැජිනිය නිශ්චය කර ගත නොහැකි වුවත් සැලකිය යුතු කාලයක සිටම ඒ පොකුණ අද්දර සුවිසල් රුකක් යට මඩු මාතා දේව ප්‍රතිමාවක් වඩා හිඳුවා පැරණි ගැමියන් ඊට වන්දනා මාන කළ බවක් පැවසේ. කෙසේ හෝ පසුගිය එල්.ටී.ටී.ඊ. යුද සමයේ මඩු වන්දනාවේ යාමට නොහැකි වූ බැතිමතුන් වැඩි වැඩියෙන් මෙම දේව ප්‍රතිමාව වෙත වන්දනා මාන කිරීමට පැමිණෙනු ලදුව පසුව කුඩා දෙව්මැදුරක් (chapel) ලෙස ස්ථාපිත වූ එය අද වන විට ජාඇල, තුඩැල්ලේ, සුදුවැල්ල මඩු දේවස්ථානය නමින් අංග සම්පූර්ණ දෙව්මැදුරක් ලෙස ගොඩ නැංවී තිබේ.

පහතරට තෙත් කලාපීය දේශගුණික ලක්ෂණ පළ කරන ජාඇල වැනි ප්‍රදේශයක පිහිටිය ද මඩු දේවස්ථානය පිහිටි පරිසරය මෙන් ඝර්ම කලාපීය ලක්ෂණ පෙන්වන මෙම සුදුවැල්ල ජනාකීර්ණ වීමට පටන් ගෙන ඇත්තේ 1970 දශකයේ අග භාගයේ සිටය. අගනුවර ආශ්‍රිත තොටළඟ, මෝදර, මට්ටක්කුලිය ආදී නාගරික පැල්පත් වලින් පිටාර ගලන සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන කොටස් අතීතයේ වත්තල, ජාඇල ආදී ප්‍රදේශවල දේශපාලන බලවතුන් ගේ උදව් උපකාර ඇතිව සුදුවැල්ලේ පදිංචි වී ඇත. ඒ අනුව පදිංචියට අවශ්‍ය සෙසු පහසුකම් පසෙක තිබිය දී පානීය ජලයවත් නොමැති නිසරු වැලිකතරක ජීවත් වන ඔවුන් හට විධිමත් සමාජ ආර්ථිකයක් ගොඩ නංවා ගැනීමට නොහැකි වීමේ කිසිදු අරුමයක් ද නැත. පවුල් තුන්සියයකට අයත් එක් දහස් පන්සියයකින් පමණ වන ජනතාවකගෙන් සමන්විත සුදුවැල්ලේ පදිංචි කරුවන් ගෙන් වැඩි පිරිසකට ජීවත් වීම උදෙසා කුමක් හෝ දෙයක් කිරීමට සිදුව තිබේ. ඒ අනුව නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අයත් පුද්ගලයන් ගේ සිට හොර පොල් කැඩීම තෙක් වන නීති හා සදාචාර විරෝධී ක්‍රියාවන්ට යොමුවන පුද්ගලයන් මෙවන් පරිසරයකින් බිහිවීමේ කිසිදු අරුමයක් නැත. මෙය අප සැලකිය යුත්තේ පොදු සමාජ ඛේදවාචකයක් ලෙසිනි. නමුදු මෙම සමාජ පරිසරය තුළින් වුව අතලොස්සක් පමණ පිරිසක් ඉහත සඳහන් සමාජ, ආර්ථික, සංස්කෘතික ගොහොරුවෙන් මිදී යහපත් ජීවන රටාවන්ට යොමුව හිඳින බව ද මෙම සුදුවැල්ල ගැන විමසුම් කළ අපට පෙනී යයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.