Colombo Telegraph

මුනිවරියකගේ නික්මයෑම- සීතා කුලතුංග

සන්තුෂ්‍යා ප්‍රනාන්දු –

මුනි වරුන්ගේ වෘතය නිහඩතාවයයි. එබැවින් නිහඩතාවයට අපි මුනිවත යයි කියමු. නිහඬතාවය තුලින් ආත්ම ගවේෂණය සහ ජීවිත ගවේෂණයෙහි යෙදුනු ශ්‍රී ලාංකික ලේඛන කලාවේ ද්වී භාෂිකත්වයේ සලකුණක් වූ සීතා කුලතුංග අප්‍රේල් 25 වන දා නිහඬවම මෙලොවින් සමු ගත්තාය.ශ්‍රී ලංකික ඉංග්‍රීසි සාහිත්‍යය සහ ශ්‍රී ලාංකිකයන්(1917- 2003) (Sri Lankan English Literature and the Sri Lankan People 1917-2003)කෘතිය රචනා කල මහාචාර්ය ඩී.සී.ආර්.ඒ. ගුණතිලකයන් පවසා ඇති ආකාරයට “ මට හැගෙන ආකාරයට ශ්‍රී ලංකාවෙ සැබෑ ද්වීභාෂිකයන් තිදෙනෙක් වෙති. නමින් ඔවුහු එදිරිවීර සරච්චන්ද්‍ර, තිස්ස අබේසේකර සහ සීතා කුලතුංග වෙති ”

කළුතර දිස්ත්‍රික්කයේ ගම්මන්පිල නමැති කුඩා  ගමක ඉපිද , විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කර , පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් තෘතීය අධ්‍යාපනය ලැබූ සීතා කුලතුංග ශ්‍රී ලාංකික ජන ජීවිතය පිලිබඳ මහත් විඥානයකින් යුක්ත වූ ලේඛිකාවකි.  නමුත් ඇය ව ඉතා සෙනෙහසින් ඇසුරු කිරීමේ භාග්‍යය ලද මා මෙය නොකියාම බැරිය; ඇයගේ ගමින් වත්, පාසලින් වත්, විශ්වවිද්යාලයෙන්වත් ඇයගේ අප්‍රමාණ ජීවිතය නිර්වචනය නොවේ. මනුෂ්‍ය ජීවිතයේ සංකීර්ණතාවය දෙස අකම්පිතව බලා හිදිමින්, එය සියුම් ව ස්පර්ශ කරමින්, එය වචනයට නගමින්, විවෘත මනසකින්  ජීවිතය පරිශීලනය කිරීම තුලින් ඇය පිරු  සාහිත්‍ය පාරමිතාව තුළින් පමණක් ඇයව  නිර්වචනය වෙයි. අපි දකුණේ, අපි සිංහල , අපි අසවල් පාසලේ- විශ්වවිද්‍යාලයේ ආදී වශයෙන් විවිධ කුලක- ගුරු කුල වලට ඇදෙමින් විවිධ වර දාන ලබා ගන්නා-ලබා දෙන විනය පිරිහුණු සමාජයක ඇය ඉතා අදීන සාහිත්‍ය ජීවිතයක් ගතකළ  ලේඛිකාවකි; කිසි දිනක කිසිදු ජන වර්ගයක්, ආගමක්,ගුරු කුලයක්, දේශපාලකයෙක් ඔසවා තැබීම සඳහා සිය  හැකියාවන් භාවිතා නොකළ ගෞරවාන්විත අකුටිල සාහිත්‍ය පෞරුෂයක් ඇය සතු විය.

සක් හඬ , උපන්දින  සහ සිංහල අපට ඉංග්‍රීසි යන සිංහල ග්‍රන්ථ ත්‍රිත්වයද , Dari the Third Wife, The High Chair and Cancer Days, When the Elephant Ran Amok, Small Wedding යන ඉංග්‍රීසි කෘතීන් ද ඇයගේ ස්වතන්ත්‍ර නිර්මාණ වන අතර විශ්ව සාහිත්‍යයෙන් සිංහලට ඇය විසින් පරිවර්තනය කරන ලද කෘති අතර එමිලි බ්‍රොන්ටේ ගේ Wuthering Heights (ප්‍රේමයේ උන්මාදය )  Some Inner Fury (ප්‍රේමය සහ කෝපාග්නිය) සහ මහාචාර්ය අශෝක බණ්ඩාරගේ විසින් රචිත Women, Population and the Global Crisis(කාන්තාව , ජනගහනය සහ ගෝලීය අර්බුදය ) හා Colonialism in Sri Lanka (ශ්‍රී ලංකාවේ යටත් විජිත වාදය) වෙයි. මෙම කෘති අතරින් Dari the Third Wife කෘතිය ට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ අතර එම කෘතිය සහ The High Chair and Cancer Days ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ විය. සිතා කුලතුංග ගේ සාහිත්‍ය ජීවිතය විවිධ ලේඛකයන් විසින් ඇගේ මරණයට පෙරද පසුවද දීර්ඝ ලෙස විශ්ලේෂණය කර ඇති බැවින් ඇයගේ නිර්ව්‍යාජ  ජීවිතය සියුම්ව බෙදා හදා ගැනීමේ භාග්‍යය ලද මා මේ සටහන ලියන්නේ ඉන් අපට උගත හැකි අකාලික සත්‍යයන් කිහිපයක් සටහන් කරන අටියෙනි.

කටු පඳුරු මත වුවද – ඉන්ද්‍රචාපයක රුව

මා විශාඛා  විද්‍යාලයට පහ වසර ශිෂ්‍යත්වය සමත්ව ඇතුළු වූ පසු එහි පවතී පළමු කළා උළෙලේ තේමා පාඨය කිසිදා අමතක නොවන ලෙස මගේ මතකයේ රැදී ඇත්තේ එය මට සීතා  කුලතුංගයන් ගේ ජීවිතය සිහි කරවන බැවිනි. “ කටු පඳුරු මත වුවද- ඉන්ද්‍රචාපයක රුව- රස විඳින මුදු හදක් – ඇතිව එනු මැනවි ඔබ” යනු එම තේමාවයි. මනුෂ්‍ය ජීවිතයක් ලද අප මුහුණ දෙන අහිමි වීම, ප්‍රියයන්  ගේ මරණය , දරුණු කායික ව්‍යාධීන්, පරාජයන් ආදී විවිධ දුක් මුදු හදකින්  විද දරා ගැනීමට ඇය තුල වූ අසහාය හැකියාව ද, කවර දුකක් අනුභව කළද එය කිසිවකු වෙත පරාවර්තනය නොකිරීමද ඇයගේ විශිෂ්ඨ ගුණයකි. ඇය මෙලොවට පැමිණ සිටියේ මෙලොව යම් කටු පඳුරක් වී නම් ඒ මත සිනහවෙමින් හිඳ, ලොවේ යම් සුන්දර දෙයක් වී නම් ඒ දෙසට සාහිත්‍යයේ ඇඟිල්ල දිගු කර අපට පෙන්වීමටය .

බලනුය දයා ඇසිනා

සිතා කුලතුංගයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී සාහිත්‍යකරණයට අවතීර්ණ වූ සමයේ ඇයව ඒ පිළිබඳව මහත්සේ උනන්දු කරවන ලද්දේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනි. එතුමන්ගේ මනමේ නාට්‍යයෙහි අවසානයේ මනමේ කුමරිය “ මා දෙසා – බලනුය දයා ඇසිනා” නම් වන ඉතා ශෝකී , තීව්ර ගීයක් ගයයි. සිතා කුලතුංග යන්ගේ සාහිත්‍ය කෘතීන්  වලින් පුරුෂ මූලික ලොවක ස්ත්‍රී කේන්ද්‍රික දයාව දක්වන්නේ කෙසේද යන්න යලි යලිත් විදහා පායි. බහු භාර්යා විවාහයක ශෝකී බව, ගැමි දරිද්‍රත්වයට ගොදුරු වන ස්ත්‍රීන්ගේ ඉරණම , ප්‍රේමය, විවාහය  , දාරක ප්‍රේමය වැනි ස්ත්‍රියට විෂය වන ඉතා ගැඹුරු සංවේදී මාතෘකා ඉතා දයාර්ද කෝණයකින් ඇගේ සාහිත්‍ය ඇසට  ග්‍රහණය විය . එපමණක්  නොව ඇගේ සැබෑ ජීවිතයෙදීද කිසිවෙකුගේ ජීවිතයේ වටිනාකම නොවටිනා වික්ටෝරියානු සදාචාරයේ මිම්මට හසු නොකළාය. අඩු වැඩි වශයෙන් පෘතග්ජන අප සියලු දෙනා ගේ මනසේ යම් ව්‍යාධියක් ඇතිබවට ඇය තුළ වූ නිසග අවබෝධය නිසා බොහෝ දෙනාගේ දුක අසන්නිය බවට ඇය පත් වූවාය. ඇයගේ පෘථුල විවේක බුද්ධිය , කිසිවෙකු නිර්දය විනිශ්චයට ලක් නොකරන ජීවිතාවබෝධය, ඇයගේ බහුශෘතභාවය තුලින් මතු වූ දාර්ශනික බව ඇය ඇසුරු කළ අපට වෙරළක් බඳු විය. සියලු පාපොච්චාරණයන්, පාෂයන්, පාපයන් ,දෝමනස්සයන් රැළි මෙන් පැන නැග එම වෙරළේ හැපී සමනය විය.  දාර්ශනිකයා, චින්තකයා, ප්‍රාඥයා වැනි වචන වලට ස්ත්‍රී ලිංග පද සිංහල භාෂාවේ නැත. එසේ වී නම් එම පද වලින් හැඳින්වීමට ඉතා සුදුසු ආධ්‍යාත්මික පෞරුෂයක් සීතා කුලතුංග සතු විය.

සිංහල අපට ඉංග්‍රීසි

අසූව දශකයේ මුල් භාගයේ ඉංග්‍රීසි වචන දහයක් හරි හැටි කතා කර ගත නොහැකි මමත් මගේ දෙසොහොරියනුත්  බමුණන් ලගට සුළගේ ගසා ගෙන ගොස් වැටුණු ගිරා පැටවුන් මෙන් සීතා කුලතුංගයන්ගේ ඇසුරට වැටුණෙමු. නුවර එළියේ සිට කොළඹට ආ අප ඊට පෙර ඇසුරු කර තිබුනේ කැබිනෙට්ටු පුරා වටිනා පිඟන් හා විසිතුරු බඩු එකතු කරන කාන්තාවන්ය. නමුත් කැබිනෙට්ටු පුරා  පොත් එකතු කරන , අනුන්ට කියවීමට පොත් දෙන කාන්තාවක් අපි ඇය වෙතින් දුටුවෙමු. අපට ඉංග්‍රීසි ඉගැන්වීමට පමණක් නොව එය නිවැරිදි ව උච්චාරණය කිරීමට උගන්වන ගුරුවරියක් ලඟටද අපව ගෙන ගියාය.  අලුත් ලෝකයක් අපට විවර කර දුන්නා පමණක් නොව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට උත්සාහ කළ ඕනෑම කෙනෙකුට සානුකම්පිත ගෞරවගෙන් සැලකීමද ඇයගේ විශිෂ්ඨ ගතියක් විය.ඉංග්‍රීසි භාෂාව අවියක් නොව අයිතියක් බව ඇය දැඩිව විශ්වාස කළාය.

ගොඩේ කෙනෙක්

සීතා කුලතුංග අවසන් වරට පල කරන ලද කාව්‍ය සංග්‍රහය වන්නේ “ A Gode Person and Other Poems”(ගොඩේ කෙනෙක් සහ වෙනත් කවි) ය. ඉංග්‍රීසි භාෂාව පිලිබඳ පෘථුල තාක්ෂණික ඥාණයෙන් කිසිවිට ඔද නොවැඩුණු , ගැමියෙක් මෙන් රසවත් ව කථා කියූ ,ලියූ ඇය සුවිශේෂී යුගයක් නියෝජනය කළාය.  අන්තර්ජාලයේ නිරන්තරයෙන් සැරිසරන, කිව යුතු දේ එසැණින් විද්‍යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවුඩ වලින් කියන, මුහුණු පොතේ “ යහළුවන්” ඡායාරූපයක් පළ කළ සැණින් එය Like කරන, පොත් කියවීම වෙනුවට අන්තර්ජාලයේ පොත් “ සර්ච්” කරන අතිධාවනකාරී සමාජය තුළ චිත්ත විවේකයට එතරම් ඉඩක් හෝ ගෞරවයක් නැත . එවැනි ලොවක මනුෂ්‍ය ජීවිතයේ සංකීර්ණත්වය සහ චමත්කාරය පිළිබඳව විවේක බුද්ධියෙන් දිගු පිළිසඳරක යෙදිය හැකි , නිහඩතාවය තුළින් ලොව දුටු සීතා කුලතුංගගේ අපරාජිත ජීවිතය සිහි කරවන ඇය විසින් රචිත “Some Days” කවියේ ඡායානුවර්තනයක් පහත සටහන් කරමි.

“සමහර දවස් මිණි වැනි

සිනාසෙන උදාවක

විවෘත විශ්වවිද්‍යාලයේ

අබලන් පාලම යටින් වුව

ඕලු පත් මත කුරුල්ලන්

සමබරව හිදින ලස්සන

උන් නම්

කුළල් කන

මහැදුරන් සේ නොම වන ! “

 

Back to Home page