2 December, 2020

Blog

සංවිධිත කම්කරු අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රති-ත්‍රස්ත පනතේ තර්ජනය

ෂිරාන් ඉලන්පෙරුම – 

ෂිරාන් ඉලන්පෙරුම

2018 ඔක්තෝබර් 9 වන දා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත ‘අඩු නපුරක්’ ලෙස සමාජය ඉදිරියේ හුවා දැක්වීමට ඇතැම් පාර්ශව විසින් කටයුතු කරනු දක්නට ලැබේ. කෙසේ වූවද, මෙම කෙටුම්පත විසින් කම්කරුවන්ගේ හා වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතු කරන ගැටලු බොහෝ අය විසින් නොතකා හරින බව පෙනෙන්නට තිබේ. 

ප්‍රති-ත්‍රස්ත පනත යනු 1978 දී සම්මත කල ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විස්ථාපනය කිරීම සදහා ඉදිරිපත් කරනු ලබන පනතකි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට තිබෙන්නේ කුප්‍රකට ඉතිහාසයකි. පුද්ගලයින් පැහැරගැනීම, චෝදනා ඉදිරිපත් නොකොට පුද්ගලයින් දීර්ඝ කාලයක් රැදවුම්භාරයේ තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහි වෙනස් කොට සැලකීම සදහා භාවිත කිරීම ආදී අවකල් ක්‍රියා ගණනාවක් සදහා පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මෙම පනත කාලාන්තරයක් පුරාවට වෘත්තීය සමිතිවල හා දෙමල සමාජයේ විවේචනයට පාත්‍ර විය. 

ස්වීය පනතක් ලෙස සලකන විට, ප්‍රති-ත්‍රස්ත පනත තුල එහි පූර්වගාමියා වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙහි දක්නට  ලැබුණු ඇතැම් නිශේධනීය ලක්ෂණ දක්නට නොලැබේ. පොලිස් රැදවුම්භාරයේ සිටිය දී ලබාදෙන පාපොච්චාරණ උසාවිවල සාක්ෂි ලෙස භාවිතා කිරීමේ හැකියාව ඉවත් කොට තිබීම මේ අතරින් විශේෂතම වර්ධනයකි. කෙසේ වූවද, ප්‍රති-ත්‍රස්ත පනතේ අත්තනෝමතිකත්වය වඩාත් හොදින් අවබෝධ කරගත හැක්කේ එය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට සාපේක්ෂව අධ්‍යයනය කිරීමෙන් නොවේ. 1970 ගණන්වලම සම්මත කල තවත් මර්දනීය නීතියක් වන 1979 අත්‍යවශ්‍ය සේවා පනත නම් නීතියේ ආනුශංගයක් ලෙස එය අධ්‍යනය කරන විට එමගින් ඇති විය හැකි නිශේධනීය ප්‍රතිවිපාක වඩාත් හොදින් අවබෝධ කරගත හැක.

අත්‍යවශ්‍ය සේවා පනත 

අත්‍යවශ්‍ය සේවා පනත විසින් ජනාධිපතිවරයාට රජයේ අංශයේ සේවකයින් විසින් සපයන සේවාවන්,  ‘ප්‍රජාවේ ජීවනය සදහා අත්‍යවශ්‍ය’ සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කරමින් ගැසට් පත්‍ර නිකුත් කිරීමේ බලය ලබා දී තිබේ. 

මෙම පනතට අනුව, ‘අත්‍යවශ්‍ය සේවා’ ලෙස ප්‍රකාශයට පත්කල සේවාවක සේවය කරන සේවකයින් සේවාවට කැදවනු ලැබ; ‘සාධාරණ කාලයක්’ තුල සේවාවට වාර්තා කිරීමට, සේවයේ නියුක්ත වීමට අසමත් වන්නේ නම් හෝ සේවයේ යෙදීම ප්‍රතික්ෂේප කරන්නේ නම් වසර 2 සිට 5 දක්වා කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමටත්, දේපල රාජසන්තක කිරීමටත්, ඔවුන්ගේ වෘත්තියට අදාල නිල නාම ලේඛනවලින් නම ඉවත් කිරීමට ලක්කිරීමටත් රජයට බලතල තිබේ. 

ඉහල උද්ධමනයක් තිබුණු, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සීඝ්‍ර ලෙස ඉහල යමින් තිබුනු සහ රජය රාජ්‍ය අංශයේ ආයතන පෞද්ගලිකකරණයට ලක්කිරීම ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබුණු යුගයක මෙම පනත මගින් පැහැදිලිවම අදහස් කලේ සංවිධිත කම්කරුවන් ‘විනයගත’ කිරීම සදහා මෙවලමක් ලෙස එය භාවිත කිරීමය. 1980 ජූලි වර්ජනය අවස්ථාවේ මෙය ඉතාම පුලුල් ලෙස භාවිතා කල අතර එම වැඩවර්ජනයේ දී කම්කරුවන් 40,000 ට අධික ප්‍රමාණයක රැකියා අහිමි කෙරිණ. 

ඉතාම මෑතකාලීන උදාහරණ ගතහොත්, 2017 ජූලි මාසයේ දී ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින් වැඩවර්ජනයක් දියත් කල විට, එම වර්ජනය කඩාකප්පල් කිරීම සදහා ඉන්ධන සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරන ලදී. 2017 දෙසැම්බර් මාසයේ දී, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ වර්ජනය බිද දැමීම සදහා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. 

ප්‍රතිත්‍රස්ත පනත සහ අත්‍යවශ්‍ය සේවා 

ප්‍රති-ත්‍රස්ත පනත තුල ත්‍රස්තවාදී වැරදි යන්න සංයුක්ත වන ‘ක්‍රියා’ සහ ‘චේතනා’සදහා ලබා දී තිබෙන නිර්වචනය අතිශයින් පුලුල් බවත් එය ආණ්ඩු විසින් අවභාවිතා කිරීමේ සම්භාවිතාවය ඉතාම ඉහල බවත් මේ වනවිට ඇතැම් විචාරකයින් විසින් පෙන්වා දී තිබේ. 

කම්කරුවන්ට සහ වෘත්තීය සමිතිවලට වඩාත් අදාල වන්නේ අදාල කෙටුම්පතේ 3(1) (ආ) සහ (ඈ) යන වගන්ති යටතේ දක්වා තිබෙන පහත සදහන් ‘චේතනාවන්’ය. අදාල වගන්ති පහත පරිදිය. 

3(1) () යම් ක්‍රියාවක් සිදුකිරීමට හෝ සිදුකිරීම වැලැක්වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් සාවද්‍ය ලෙස හෝ නීතිවිරෝධී ලෙස පෙලඹවීමේ අරමුණින් යුතුව ;

3 (1) () එබදු ආණ්ඩුවක් කටයුතු ඉටු කිරීම වැලැක්වීමේ අරමුණින් යුතුව ;

ඉහත කී ‘චේතනා’ සමග පහත දැක්වෙන පනතේ 2 (1) (ඈ) හා 2 (1) (ඌ) වගන්තිවල දැක්වෙන ‘ක්‍රියාවන්’ එක්ව කියවන විට පනත මගින් වෘත්තීය සමිති කටයුතුවලට එල්ල කරන තර්ජනය මනාව වටහා ගත හැක.

2 (1) () අත්‍යවශ්‍ය සේවාවලට හෝ සැපයුම්වලට බරපතල බාධා හෝ හානි සිදුකිරීම

2 (1) () යම් අත්‍යවශ්‍ය සේවා හෝ සැපයීම් සමග සම්බන්ධ යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප්‍රවර්ධන පහසුකමකට බාධා ඇති කිරීම හෝ අලාභ හානි සිදුකිරීම හෝ සදහා මැදිහත්වීම 

අත්‍යවශ්‍ය සේවාවලට හා ඊට ආනුශංග ‘තීරණාත්මක යටිතල පහසුකම්’ වලට ‘බාධා කෙරෙන’ ක්‍රියාකාරකම් යන්න සාමකාමී උද්ඝෝෂණ හා කම්කරු වැඩවර්ජන ආදී ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාකාරකම් සමුදායක් ඇතුලත් වන ආකාරයට ඉතාම පහසුවෙන් නිර්වචනය කිරීමට පුලුවන. 

ලංකාව තුල පලමු වතාවට ඉහත කී වගන්ති මගින් ‘අත්‍යවශ්‍ය සේවා’ පිලිබද භාෂාව ත්‍රස්තවාදය හා සම්බන්ධ නීති පටිපාටියට හා කතිකාවට ඇතුලත් කරනු ලැබ තිබේ. මෙම එලැඹුම මගින් සංවිධිත කම්කරුවන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කිරීමට ඉඩ හසර විවර කොට දී ඇත. 

ප්‍රතිත්‍රස්ත පනත යටතේ සංවිධාන තහනම් කිරීම 

පනත විසින් සංවිධානාත්මක කම්කරු ක්‍රියාකාරකම්වලට එල්ල කරන අනෙක් තර්ජනය පනතේ ‘විවිධ නියම’ යටතේ එන 81(1) වගන්තිය තුල අන්තර්ගත වේ. 

81 (1) වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සදහන් වුවද, මේ පනත යටතේ වරදකට හේතුවන ක්‍රියාවක යම් සංවිධානයක් නිරත වී සිටින බවට හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක ආරක්ෂාවට අගතිගාමී වන ආකාරයට ක්‍රියා කරමින් සිටින බවට විශ්වාස කිරීමට අමාත්‍යවරයාට සාධාරණ හේතු පවතින්නේ නම් අමාත්‍යවරයා විසින් (මෙහි මින් මතුතහනම් නියමයයනුවෙන් සදහන් කරනු ලබන) ගැසට් පත්‍රයෙහි පල කරන නියමයක් මගින් සංවිධානය තහනම් කරනු ලැබිය හැකිය

‘ත්‍රස්තවාදය’ නිර්වචනය කිරීමට යොදාගෙන තිබෙන පුලුල් අර්ථනිරූපණයේ සන්දර්භය තුල මෙම ‘තහනම් නියෝග’ පිලිබද ප්‍රතිපාදනය පිහිට වූ විට මෙකී තහනම් නියෝග වෘත්තීය සමිති සහ වෙනත් සේවක සංවිධානවල ක්‍රියාකාරකම් තහනම් කිරීමට හා කඩාකප්පල් කිරීමට යොදාගත හැකි බව ඉතාම හොදින් පැහැදිලි වේ. 

අමාත්‍යවරයාට පොලිස්පති නිර්දේශය මත හෝ ඕනෑම විදේශ රටක ආණ්ඩුවක් විසින් කරනු ලබන ඉල්ලීමක් අනුව යම් සංවිධානයක් තහනම් කල හැකි බව දක්වන පසුව එන ප්‍රතිපාදනය ඉහත කී ප්‍රශ්නවලට අතිරේක වශයෙන් ජාතික ස්වාධිපත්‍යය පිලිබද බැරෑරුම් ප්‍රශ්න මතු කරයි. 

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනු! ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගනු!

ප්‍රති-ත්‍රස්ත පනත හා අත්‍යවශ්‍ය සේවා නියෝග විසමුම්තිය මර්දනය කිරීම සදහා යොදාගත හැකි ආකාරය දැකීම අපහසු නොවේ. පලමුව, යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කොට පසුව එබදු සේවාවලට බාධා කරන කම්කරුවන් හා වෘත්තීය සමිති දඩයම් කිරීමට රජයට මෙම පනත මගින් බලතල ලබා දී තිබේ. මේ අනුව කම්කරුවන්ගේ හා වෘත්තීය සමිතිවල දෘෂ්ටිකෝණයෙන් බලනවා නම්, ප්‍රති-ත්‍රස්ත පනත යනු අත්‍යවශ්‍ය සේවා නියෝගවල මර්දනීය ස්වභාවය වඩාත් තීව්‍ර කරන නව මර්දන නීතියකි. 

මෙම පනත සම්මත වීමට ඉඩ හැරියොත් ආර්ථිකයේ ප්‍රධාන අංශ වන දුම්රිය, වරාය, සෞඛ්‍ය සහ අධ්‍යාපන ආදී ක්ෂේත්‍රවල සිටින සංවිධානගත සේවකයින් අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ එන දඩුවම්වලට පමණක් නොව ප්‍රති-ත්‍රස්ත පනත මගින් දැක්වෙන දඩුවම්වලට ද යටත් කල හැක. වරදෙහි තීව්‍රතාවය අනුව, රුපියල් මිලියනයක් දක්වා වූ දඩ ගැසීම්වල සිට වසර 15 සිට 20 දක්වා කාලයකට හෝ ජීවිතාන්තය දක්වා විහිදෙන සිරදඩුවම්වලින් ප්‍රති-ත්‍රස්ත පනතේ දණ්ඩනයන් සමන්විතය. 

1971 සිිට 2009 දක්වා කාලය තුල, උතුරේ සහ දකුණේ ඇති වූ සන්නද්ධ අරගලවල ප්‍රතිඵල ලෙස ශ්‍රී ලංකා රාජ්‍යය පැවැත්ම පිලිබද තර්ජනයන්ට මුහුණ පා සිටියේය. මෙම අන්තරාය ජාතික ආරක්ෂාවේ නාමයෙන් අපරාධ සිදුකිරීමට බලපත්‍රයක් නොවූවත්, එම කාලය තුල සිවිල් වැසියන්ට එරෙහිව සිදුවූ අවිගත් පහරදීම් ත්‍රස්ත විරෝධී නීති සම්මත කරගැනීම හා පවත්වාගැනීම සදහා රජයට යම් හේතුවක් සැපයීය. 

පශ්චාත් යුද සමය තුල තවදුරටත් රාජ්‍යයේ පැවැත්ම පිලිබද එබදු තර්ජනයක් නොපවතී. සංවිධානාත්මක අපරාධ පවතින බව සත්‍යය නමුදු ඒවා පවතින නීති රාමුව තුල ආමන්ත්‍රණය කල හැක. ජීවන වියදම ඉහල යමින් තිබෙන සහ රජයේ සේවාවන් පෞද්ගලිකකරණයට හෝ ප්‍රති-ව්‍යුහගත කිරීමට උත්සාහයන් දැරෙමින් තිබෙන පසුබිමක රජය විසින් අපේක්ෂා කරන ‘අස්ථාවරත්වය’ යනු සංවිධිත ශ්‍රමිකයින්ගෙන් එල්ල විය හැකි තර්ජනය බව සාධාරණ ලෙස උපකල්පනය කල හැක.

ප්‍රති-ත්‍රස්ත පනත කෙටුම්පත් කිරීමට සහයෝගය දැක්වූ ඇතැම් දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර බලවේග  විසින් අදාල පනතට ලබා දී තිබෙන අනුමැතිය හා ආශිර්වාදය නිසා ලාංකීය පුරවැසියන් මුලාවට පත් නොවිය යුතුය. ප්‍රති-ත්‍රස්ත පනත යනු රාජ්‍ය හිංසනයේ එක් පරිච්ඡේදයක් නිමා කරන්නක් නොව නව පරිච්ඡේදයක් විවෘත කරන්නකි. 

*ෂිරාන් ඉලන්පෙරුම – සමාජ සාධාරණත්වය සදහා මහජන ව්‍යාපාරය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.