20 April, 2024

Blog

නිදහස් අධ්‍යාපනය උරචක්‍රමාලාවක් නොවේ

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධීර

නිදහස් අධ්‍යාපනය ගැන සිතන විට මගේ සිතට දැනෙන්නේ ඉමහත් සතුටකි – ණයගැති බවකි. මගේ තත්තා සේවය කළේ රජයේ කාර්යාලයක සුළු සේවකයකු වශයෙනි. ඔහුට මුදල් අය කරන, පෞද්ගලික විද්‍යාල දකින්නටවත් ලැබුණේ ඔහුගේ ගමේ ධනවතුන් වෙනුවෙන්, ඔවුන්ගේ පුතුන් ඒවාට ඇතුළු කිරීමට ගෙන ගිය අවස්ථාවල පමණි. එවක ප්‍රාථමික අංගයේ ඉගෙනීම ලැබූ මා ගැන තාත්තා තුළ මහත් බලාපොරොත්තුක් විය. එහෙත් මා පෞද්ගලික විද්‍යාලයකට යැවීමට තමාට වත්කමක් නැති බව ඔහු හොඳින් දැන සිටියේය. “කොලුවා ජේස්ට විබාගේ පාස් වුණාම ඉස්කෝලෙක උගන්නන්න යවන්නයි ඉන්නේ. බැරි වෙන එකක් නෑ නේද?” යි මගේ පියා ඔහුගේ මිත්‍රයන්ගෙන් නිතර විමසීය.

පළමු වතාවට 1944 දී පවත්වන ලද පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් මා මුදුණින්ම සමත් වුයේ ඒ අතර ය. ඒ සාමාර්ථය ගමේ බලවතුන්ට දැරිය නො හැකි සිද්ධියක් විය. මගේ ශිෂ්‍යත්වය අවලංගු කරවන්නට පෙත්සම් ඉදිරිපත් විය. ජිවන දීමනා එකතු කළ විට මගේ තත්තාගේ මාසික වැටුප රුපියල් පනහේ සීමාව ඉක්ම වන බව ඔවුහු තර්ක කළහ. අපේ ගෙය පිහිටා තිබුණේ ගර්හිත හැතපුම් තුනේ සීමාව ඇතුළත බව ඔප්පු කිරීම සඳහා අයෙක් ටේප් පටියකින් ඒ දුර මැන්ණෝය. ඒ විරෝධතා නිසා මගේ ශිෂ්‍යත්වය අවලංගු විය. එහෙත් තාත්තා ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ, එවක කොළඹ අධ්‍යාපන නිලධාරියාව සිටි, වේදවානම් මහතාගේ අනුකම්පාව හා වැටහෙන නුවණ නිසා, ඒ ශිෂ්‍යත්වය නැවතත් මට ලැබිණ. ඒ පිහිටෙන් ගලහිටියාව මාධ්‍ය විද්‍යාලයට බැඳී, ඉංගිරිසියෙන් අධ්‍යාපනය අරඹා, ලන්ඩන් මැට්‍රක්යුලේෂන් විභාගය සමත් වීමි. එහෙත් එවකට විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වධාරීන්ට ලැබුණු දීමනාව ප්‍රමාණවත් කිරීමට තාත්තාට වත්කමක් නො වූ නිසාත්, ඔහුගේ විශ්‍රාමයෙන් පසු පවුල නඩත්තු කිරීමේ වගකීම මට පැවරුණු නිසාත්, ගුරු වෘත්තියට බැඳී, පුද්ගලිකව පාඩම් කර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගන්නට මට සිදුවිය. මධ්‍ය විද්‍යාලයකින් ආ පළමුවන නිලධාරියා සේ ලංකා සිවිල් සේවයට බැඳෙන්නට මට හැකි වුයේ ඒ බාහිර උපාධියේ පිහිටෙනි.

මා ආ දුරුමග ගැන හැරී බලන විට, මට නිතැතින්ම සිහිවන්නේ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ කන්නන්ගර මැතිතුමා ය. එතුමාගේ දූරදර්ශි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නො වන්නට හීනෙකින්වත් දිසාපතියෙකු, අධ්‍යක්ෂකයෙකු, සංස්ථා සභාපතියෙකු, අමාත්‍යංශ ලේකම්වරයෙකු වනවා තබා ඒ ගැන හිතන්නට වත් මට නො ලැබෙන බව මම ඉඳුරාම දනිමි. ඒ හැම තැනකදීම කන්නන්ගර මැතිතුමා මට ලබා දුන් ණය හැකි පමණින් ගෙවන්නට කිසි විටෙක අමතක නො කෙළෙමි. එසේ කළේ එතුමාගේ ප්‍රතිමා ඉදිකිරීමෙන්වත්, ඒවාට මල්මාලා පැළඳවීමෙන්වත් නොව, එතුමා නඟා සිටුවන්නට කැප වූ, නැතිබැරි ජනතාවට මගේ උපරිම සේවය ලබා දීමෙනි. එසේ කළ හැක්කේ මගේ නිල කාමරය තුළට වී, මහේශාක්‍ය ලීලාවෙන් වැජඹීමේන් නොව, මහජනයාට නිරාවරණය වීමෙන් බව මට වැටහුණේය. අධ්‍යක්ෂක තනතුර ලබා, කුඩා කර්මාන්ත දෙපාරමේන්තුවට ගිය දා මෙහිදී මගේ සිහියට නැගෙයි. එහි සේවකයෙකු මට වෙන්වූ කාමරයේ දොර ඇරගෙන, මා ඊට ඇතුළු වන තුරු බලා සිටියේය. දොර මුදුණේ සවි කර තිබුණු ‘මෙහි ඇතුල්වීම තහනම්’ යයි සඳහන් ලෑල්ල මට ඇස ගැසුණේ එවිට ය.

“ඇතුල් වෙන්න සර්” සේවකයා මට ආයාචනය කළේය.

“ඇතුල් වෙන්නේ කොහොමද? මේ ‘ඇතුල්වීම තහනම්’ කියල ගහල තියෙන්නේ’ මම ඔහුට කීවෙමි.

“ඒ පිට අයට” සේවකයා මට කරුණු පැහැදිලි කළේය.

“පිට අය අපිනෙ. මෙතනින් වැඩක් කර ගන්න එන අය තමයි මේකේ අයිතිකාරයෝ. ගලවනවා ඔය ලෑල්ල. මා හමුවෙන්න එන කෙනෙකුට කවදාවත් තහංචි දාන්න එපා”. මට ඇතුළු වන්නට ගැලවුණු තහනම් ලෑල්ල මා එම දෙපාරතුමේන්තුවෙන් ඉවත්ව යන තුරු නැවත සවි වුණේ නැත. මා හමුවන්නට ආ කුදුමහත් සැම කෙනෙකුටම මගේ දොර නිබඳව විවෘත වී තිබුණේය.

මහජනයාට ප්‍රවේශය ලබා දීම පමණක් ප්‍රමාණවත් නැත. ඔවුන් එන තෙක් බලා සිටීමෙන් පමණක් නිදහස් අධ්‍යාපනය ඔස්සේ මුදුණට පැමිණි අයෙකුගේ ණය ගෙවා නිම කළ නො හැකි බව මම විශ්වාස කරමි. මා සේවය කළ හැම තැනකම මම ක්ෂේත්‍රයට ගොස් නැතිබැරි අයගේ අගගිඟකම් සොයා බලා, ඒවාට පිළියම් යෙදුවෙමි. ජීප් රථයකින් තබා ට්‍රැක්ටරයකින්වත් යන්නට බැරි තැන්වලට පයින් ගියෙමි. මූදූරුවේ මහවැලි ගඟබඩ මහා වනයේ ගඟෙන් වතුර ඇද ගොඩගොවිතැන් කළ ගොවියන් හමුවන්නට මා ගඟ ඉහළට ගියේ බෝට්ටුවකිනි. එහිදී තම ගොවිතැනට දිය අදින්නට ගොවියන් දරන වෙහෙස දුටු මම ඔවුන්ට ණයට වතුර පෝම්ප ලබා දීමට පියවර ගතිමි. එසේ ලැබුණු පොම්පයක් ගෙන යාමට කච්චේරියට පැමිණි ගොවියෙකුට එය බාරදීමට පෙර, ඔහු හඳුනාගත යුතු විය. “තමුසේ අඳුනන පියන් කෙනෙක්, කම්කරුවෙක් මෙහෙ ඉන්නවාද?” යි ගබඩාබාරකරු ගොවියාගෙන් විමසා තිබේ. ඒ පැනයට පිළිතුරු දෙමින්, “පියන්ල කම්කරුවෝ කව්රුවත් මම දන්නේ නෑ. දිසාපතිතුමා නම් මම අඳුනනවා” යයි ගොවියා ගත් කටටම පිළිතුරු දුන් බව අසා මම අමන්දානන්දයට පත්වීමි. මගේ සේවා කාලය තුළ මට ලැබුණු ලොකුම සම්මානය ඒ පිළිතුර බව මම දිවි ඇති තෙක් විශ්වාස කරමි.

නිදහස් අධ්‍යාපනය ඔස්සේ පෙරට එන නැතිබැරියන් අමතක නො කළ යුතු තවත් කරුණක් නම් ලබන තනතුරු නිසා තම හිස උදුම්මා නො ගත යුතු බව ය. එසේ මුදුණට ආ ඇතැම් නිලධාරීහු තමන් උපන් දා සිට කෑ කොස්පොළොස් අමතක කොට, වැජඹෙන පුරාජේරු ජිවිතයකට ප්‍රවිෂ්ට වෙති. රෑ පුරා සමාජ ශාලාවල ගැවසෙමින් කාලය කා දමති. එබඳු ආටෝප ජීවන රටාවක් ගත කිරීමට මුදල් හිඟ වන විට පගාවට පෙළඹෙති. ධනවත් පවුලකින් විවාහයක් කර ගෙන අමාරුවේ වැටෙති. එබඳු නො ගැලපෙන කරකාර බන්ධන නිසා අකාලයේ මිය ගිය මගේ සගයන් කීප දෙනෙක් මෙහිදී මගේ සිහියට නැගෙයි. මගේ ආදායමට දැරිය නො හැකි වියදමකට මම නො බැඳුනෙමි. එසේ කිරීම අයුතු ලාබ ලැබීමට මග පැදීමක් බව මට ප්‍රත්‍යක්ෂ විය. මගේ දරුවන් සියලු දෙනාම උපන්නේ රජයේ රෝහල්වල ය. අමාත්‍යංශ ලේකම් කෙනෙකුව සිටියදී මා ලෙඩට බේත් ගත්තේ මහ ඉස්පිරිතාලෙනි.

දොස්තරවරුන්ගේ වැඩවර්ජන නිසා අසරණව, බංකු මත වැටී සිටින හව්හරණක් නැති ලෙඩුන් දකින මගේ සිත සසල වෙයි. ඔවුන්ට නිදහස් අධ්‍යාපනය නො ලැබෙන්නට වැඩ වරණ දොස්තරවරුන්ගේ මහලු දෙමව්පියන් ද ඒ බංකු මතම වැතිරී සිටිනු ඇතැයි මට සිතේ. සේවක අයිතිවාසිකම් අනභිබවනීය ය. ඒවා ලබා ගැනීමට සටන් වැදීම සේවකයන්ගේ පරම යුතුකමකි. ඒ උදෙසා ස්වාමි පක්ෂය හා සමග අභීතව සටන් කළ යුතු ය. එහෙත් ඒ හේතුව නිසා සාමාන්‍ය ජනතාව අතරමංකරන්නට කාටවත් අයිතියක් ඇතැයි මම විශ්වාස නො කරමි. ගොයම් කෑ මුවාගේ වරදට මුවහම පලි නැත. විශේෂයෙන්ම මහජන මුදලින් අධ්‍යාපනය ලබා කරලියට ආ කෙනෙකුට තමන්ගේ පෝෂකයන් පරදුවට තබා ඔවුන්ට ද්‍රෝහී වී, තම මල්ල පුරවා ගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත.

මා පාසල් ගිය යුගයට වඩා දැන් සමාජය පොහොසත් ය. මේ වන විට මධ්‍යම පංතිය වර්ධනය වී ප්‍රසාරණය වී තිබේ. ඒ පරිවර්ථනය අනුව නිදහස් අධ්‍යාපනයේ හැඩතලද වෙනස් විය යුතු යයි මම විශ්වාස කරමි. අද පවතින ආර්ථික පරිසරය අනුව හැම දරුවෙකුටම එක හැන්දෙන් නිදහස් අධ්‍යාපනය බෙදිය යුතු යයි මම නො අදහමි. දේශ​පාලන ලකුණු දමා ගැනීම සඳහා දෙමාපියන්ගේ ආදායම නොසලකා නිල ඇඳුම් හා පොත්පත් නොමිලයේ බෙදා දීම එබඳු මහදැනමුතු කමකැයි මම සිතමි. ඇතිහැකි අයගේ දරුවන්ටත් දෙන මේ ප්‍රදාන ඉතිරිකර ගත හොත් ඒ පිරිවැයෙන් නැතිබැරි දරුවන්ට වඩා පහසුකම් සැලසීමට ඉඩ සැලසෙනු ඇත.

ප්‍රතිපාදන සීමා නිසා විශ්වවිද්‍යාලවලින් විසිවෙන දරුවන්ට තම මුදල් ගෙවා දැනුම ලබා ගැනීම, හුදෙක් නිදහස් අධ්‍යාපනයේ මූලික ප්‍රතිබිම්භය ආරක්ෂා කර ගැනීම උදෙසා තහනම් කිරීම ම්ලේච්ඡ ක්‍රියාවකැයි මම සිතමි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ජාතික ධනය හා මානව සම්පත් පිටරටට ඇදී යාම පමණි. කළ යුතුව ඇත්තේ ස්වයංඅධ්‍යාපනය තහකම් කරනු වෙනුවට ඒ අනුසාරයෙන් නැතිබැරි දරුවන්ගේ අධ්‍යාපන අවශතා පුළුල් කිරීම ය. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට මුදල් ගෙවා ඇතුළු වන සෑම අපේක්ෂකයෙකු වෙනුවට ඒ වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල අනුපිළිවෙලින්, මුදල් නොගෙවන අපේක්ෂකයෙකු බඳවා ගත යුතු යයි අණ ලැවිමෙන් පිට රටට විසිවෙන මුදල් රඳවා ගන්නා අතරම විභාගයෙන් විසිවන්නට නියමිතව සිටි අසරණයන් කණ්ඩායමකට නො සිතූ අවස්ථාවක් ලැබෙනු ඇත.

මෙහි මා සඳහන් කර ඇති මගේ අත්දැකීම් පුරසාරම් සේ නො ගනු මැනවි. නිහඬ ජිවිතයක අගට එළැඹි සිටින මට කයිවාරුවෙන් වැඩක් නැත. මා ඒ අවස්ථා හුවාදැක්වුයේ හුදෙක් මා ආ මග දිගේ ඉදිරියට ඇදෙන මගේ අනුගාමිකයන්ට මග පෙන්වීමක් වශයෙන් පමණි. ඒවා කියවා ඔවුන්ගෙන් අඩක්වත් තමන්ගේ මුල අමතක නොකරන්නට, පොදු ජනයාගෙන් ඈත් නොවන්නට, ඔවුන්ට ගැම්බර් නොදමන්නට, පුහු අටෝප ජිවිතයකට ඇබ්බැහි නොවන්නට, දුෂණයට නැඹුරු නොවන්නට, තමන්ගේ සිතැඟි ඉටු කර ගැනීම සඳහා අසරණයන් බිල්ලට නොදෙන්නට, නිදහස් අධ්‍යාපනය අර්ථවත් කරන්නට අධිෂ්ඨාන කර ගත හොත්, නොයෙක් දුෂ්කරතා මැද හණිහණික මේ ලිපිය ලියන්නට මා දැරූ වෙහෙස මහත්ඵල මහානිශංස වනු ඇතැයි උදක්ම අදහමි.

නිදහස් අධ්‍යාපනය රට නගන මහඟු උපාය මාර්ගයකි. එය උරචක්‍රමාලයක් කරගත යුතු නැත.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    Well said. Respect you.

  • 2
    2

    An emotional story. sometimes, we hear such inspiring stories from few good guys like Gunadeera. However, government bureaucrats of his era has done more damage than the good to the people of this country particularly government officers coming from humble background like Gunadeera. He can be happy on his personal approach Fortunately, they remain single isolated stories. Thanks for sharing and I wish him long life.

  • 3
    0

    I met the writer Mr. Gunadeera when he visited to meet my late uncle Mahanayake Keraminiye Jinananda Thero. Free Education is Free because there are many stockholders to that project. Most Medical Doctors think Free education is a Birth Right of theirs and anything they do to save the system is unquestionable. Sri Lankadid provide Free education when the country was very rich with resources and the recipient of the Free education paid the cost to the poor people in many ways. Today our young generation think Free Education is a one way street and they are not responsible for any expenses the poor Tax payer spend. It is high time like what Mr. Gunadeera says to PAY back the cost of Education to the country for the poor people who paid for their education can get some relief.

  • 1
    0

    Nicely written article and my Utmost respect to the writer for his broad perspective. i too believe that serving everyone from the same spoon doesn’t ensure justice or the right place for all. As he nicely puts in allowing people who can afford private education to receive private education will ease the stress on free education which would in turn benefit the less privileged. The fairy tale of providing free education for all at university level as depicted by the inter university students federation and JVP sounds fancy but is unrealistic in achieving. By allowing private universities to prevail among the government universities the number of opportunities will not only increase but provide a healthy competition to both parties. One of the critical components that are missing in the SL context is that lack of financial support as student loans(which would help the students be independent in funding for their education than being a burden to the parents) and part time employment (university shedules hardly make allowances for these and so is our market)

  • 0
    0

    Writer shows how should the beneficiaries of the free education compensate to the others who couldn’t win. Today, university students and doctors who won the game through free education close the doors to others who couldn’t win the game. Our great leaders who introduced free education didn’t take this concept as a political advantage. But today it has become a political slogan of some unpopular politicians. If the government invests more to higher education in order to increase the number of students the cost has to be paid by the people through taxes otherwise the private sector should take part. The parties who oppose to private education agree to increase tax burden? What is the solution they proposed? If the problem is on the quality it could be improved other than closed. Anyone cannot get 100% quality at the beginning. Quality should be improved day by day. The parties who oppose private educational institutions are blocking their efforts to improve quality in one had and criticize on their quality in other hand. What is behind this? gealousy?

  • 0
    4

    හොද ලිපියක්. ඒත් එකතුවක් කල යුතුයි. මා නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබුවෙක්. සයිටම් සාධාරණය කිරිමට ඉදිරිපත් කරන තවත් තර්කයක් වන්නේ පසුගිය වසර 40 තුල ලංකාව තුල නැගී ආ නව මධ්‍යම පංතියට මුදල් ගෙවා තම ළමයිනට අධ්‍යාපනය ලබා දිමට හැකිව ඇති හෙයින් එයට අවකාශය ලබා දීම නිදහස් අධ්‍යාපනයට එරෙහි විමක් නොවේ ය යන්න ය. නිදහස් අධ්‍යාපනයෙන් ඉහලට නැගුන පිරිස් (සෝමපාල ගුණවීර) පවා මෙම තර්කය ඉදිරිපත් කරති. මෙම තර්කයේ මා දකින ප්‍රධාන දුර්වල කම වන්නේ කන්නන්ගර ප්‍රතිපත්තිය දුප්පත් රටකට ගැලපුන ද සිදුව ඇති වෙනස්කම් අනුව අද අපේ රටට නොගැලපෙන්නේ ය යන ඇගවීම එමගින් දීම ය. මෙම තර්කය ගෙනෙන්නන් ස්කැන්ඞිනේවියානු රටවල් ගැන කුමක් කියන්නේ ද? එම පොහොසත් රටවල් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්නේ මන් ද? මෙයින් අපට පෙනි යන්නේ කන්නන්ගර ප්‍රතිපත්තිය දුගි රටක අධ්‍යාපනය මෙහෙයවිම පිලිබද මූලධර්මයකට වඞා වැඞි යමක් බව ය.
    සයිටම් සංකේතයකි. එය නවලිබරල් පිලිවෙත ප්‍රශ්ණ කල හැකි දුර්වල පුරුක ය. අපේ සටන නිදහස් අධ්‍යාපනය කප්පාදු කොට අධ්‍යාපනය භාංඞකරණය කිරිමට එරෙහිව ය.
    ලංකාව තුල තම ලමයිනට මුදල් ගෙවා ඉගැන්විය හැකි නව ධනපති සහ මධ්‍යම පංතියක් අද වන විට බිහිව ඇත්නම් කල යුත්තේ කුමක් ද? එම කොටස ආවරණය කෙරෙන බදු ක්‍රමයයක් හරහා රටේ අධ්‍යාපන වියදම ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස අවම වශයෙන් සියයට 6 කට නැංවීම ය. මා මෙම සටන් පාඨය සුත්‍රගත කලේ එම වර්ධනයන් සැලකිල්ලට ගනිමිනි.
    බොරු තර්ක වලින් අධ්‍යාපන භාංඞකරණ ක්‍රියාවලිය සාධාරණය කිරිමට ඉඞදිය නොහැක. අධ්‍යාපනයට සියයට 6 ක් ඉල්ලීම සමග අධ්‍යාපන භාංඞකරණ ක්‍රියාවලියට එරෙහි සමාජ ව්‍යාපාරය ගැට ගසමු.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.