26 April, 2024

Blog

තුන්වැනි වාරයට යන ප්‍රජාතන්ත්‍රවාදී මාවත

සෝමපාල ගුණධීර –

සෝමපාල ගුණධීර

සෝමපාල ගුණධීර

මීළඟ ජනාධිපතිවරණයේදී විග්නේස්වරන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට දෙමල ජාතික සන්ධානය කළ යෝජනාව මට සතුටට හා විශ්මයට කරුණක් විය. සතුටට හේතු වුයේ තරුණ පරම්පරාව අතර පැතිර යන නිදහස් මත හා පුළුල් දර්ශනය නිසා ශත වර්ෂයේ මැදභාගය වන විට උතුරු වැසියෙක් රාජ්‍යනායකයා වෙනු ඇතැයි මා තුල පැවති ඉඟිය ඒ මගින් ධ්වනිත වූ නිසාය. නමුත් අප ජාතියක් වශයෙන් තවම ඒ මට්ටමට මුහුකුරා ගොස් නැති බව පැහැදිලි ය.

ද්‍රවිඩ  ජාතික සන්ධානයේ අපේක්ෂකයා පිළිනොගැනෙන්නේ  නම් ඊට හේතුව කුමක්දැයි සුමන්තිරන් මහතා විමසා ඇත. එය, මෙම තේරීමේදී ජාතිවාදී නැඹුරුවක් ඇත්දැයි ඉව ඇල්ලීමට කළ උත්සාහයක්  බව පෙනේ. ද්‍රවිඩ  ජාතික සන්ධානයේ පමණක් නොව පොදු අපේක්ෂකයා ලෙස ක්‍රියාකාරී දේශපාලනඥයෙකු ඉදිරිපත් කරන කවර හෝ දේශපාලන පක්ෂයක වුවත් බලාපොරොත්තු  කඩවීම නියත ය.  හේතුව, එවැනි අපේක්ෂකයෙකු තුළ ජනිත වන තමන්ගේ සහ තම පක්ෂයේ ප්‍රතිරූපය පුම්බා ගැනීමට ඇති ප්‍රවනතාව නිසා අන්‍යොන්‍ය එදිරිවාදුකම් උග්‍ර වීමයි. එවැන්නකු තෝරාගනු ලැබීම නිසා එක් කණ්ඩායමට අත්වන වාසිය අනුන්ට පාඩුවක් වනු ඇත.

`පොදු අපේක්ෂකයා’ (Common Candidate) සහ `ඒකාන්ත අපේක්ෂකයා’ (Single Issue Candidate) යන යෙදුම් දෙක අතර යම්කිසි ව්‍යාකුලත්වයක්  පවතින බව පෙනේ. පොදු අරමුණු සහිත පක්ෂ නියෝජනය කිරීම සඳහා පොදු අපේක්ෂකයෙකු තේරී පත්වීමෙන් පසු ඔහු තව දුරටත් බලයේ  රැඳී සිටිනු ඇත. අනෙක් අතට `ඒකාන්ත  අපේක්ෂකයා’ යනු සියලු විරුද්ධ පක්ෂ, තමන්  අතර ඇති විරෝධතා නොසලකා තම සම්පුර්ණ ඡන්ද සම්භාරය යොදවා,  පරාජය කිරීමට  නොහැකියි පෙනෙන අපේක්ෂකයෙකු පරාජය කිරීමට ඉදිරිපත් කරන්නෙකි.

Mahinda R`ඒකාන්ත අපේක්ෂකයෙකුගේ’ කාර්යභාරයට පැහැදිලි කෙළවරක් තිබේ. ඔහුට ඇත්තේ අයෝමය පුරුෂයා පරදවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පසුබිම සකස් කොට ගෙදර යාමයි. එවැනි අපේක්ෂයෙකු අවශ්‍යයෙන්ම දේශපාලනඥයෙකු නොවිය යුතු අතර ඔහුට පෞද්ගලික දේශපාලන අභිලාෂයන් නො තිබිය යුතුය. පැහැදිලි ලෙසම දේශපාලනයේ ක්‍රියාශීලී අයෙකුට එම කාර්යය කිසිසේත් ඉටු කළ නො හැකි ය. එම නිසා `ඒකාන්ත අපේක්ෂකයා’  වශයෙන් දේශපාලකයන් අතුරින් කෙනෙකු තෝරා ගැනීමට උත්සාහ කිරීම නිරර්ථක කාර්යයකි. අන්තහ්පුර ආරක්ෂක තනතුරු ලැබෙන්නේ නපුංසකයන්ට පමණි.

`ඒකාන්ත අපේක්ෂකයෙකු’ සෙවීමෙහි නිරතව සිටින ප්‍රතිසංස්කරණවාදීන්, ජනාධිපතිවරයාට  අභියෝග කළ හැකි සටන් කරුවෙකු හඳුනාගෙන ඇති සෙයක් පෙනේ. මැතිවරණ ඉක්මන් කිරීමටත්, ඒවා පවත්වන අනුපිළිවෙළ වෙනස් කිරීමටත්,  කලබලයේ අරලියගහ මන්දිරයට  කැඳවීමටත්, ආගමික නායකයන් හා පුජනීය ස්ථාන වන්දනාමාන කරන්නත් උනන්දුව වැඩිවන්නේ මේ නිසා විය යුතුය.

තම ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් මත තිබුන ජනාධිපතිවරයාගේ  දැඩි ග්‍රහණය ලිහිල් වී යන බවක් පෙනේ. සමහරු  පාර්ලිමේන්තුවේ ඡන්දය දීමට කැඳවන සීනුව නොසලකා හරිති. තවත් සමහරු තමන්ගේම මැයි දින රැලි පවත්වති. කලින් එක හඬින් ආවැඩුවෝ  දැන් රාජ්‍ය ප්‍රතිපත්තිවලට විවෘතව අභියෝග කරති. කැබිනට් තීරණ විවේචනයට ලක් කරන ප්‍රසිද්ධ ප්‍රකාශන නිකුත් කරන ඇමතිවරුද සිටිති.  කපිතාන් වරයා කොතරම් කාරුණිකව සලකා තිබුනත් ගිලෙන නැවෙන් මීයන් පැන යාම පුදුමයක් නොවේ. `එන පාට නම් හොඳ නැත’.

එල්ටීටීය පරාජය කිරීමේදී ඉටු කරන ලද සුවිශේසී කාර්ය භාරය නිසා ජනාධිපතිවරයාට අති විශාල ජන ප්‍රසාදයක් ලැබී තිබේ. ජනප්‍රිය හැසිරීම් රටාව නිසා ග්‍රාමීය ප්‍රදේශ වල ඔහුගේ ඡන්ද පදනම අතිමහත් ය. රෙජිමයට විරුද්ධව නැගී එන අප්‍රසාදයට ප්‍රධාන හේතුව ඔහු වටා සිටින අයගේ, නොපනත් කම්, නාස්තිය  නීති විරෝධී ක්‍රියාකාරකම්ය. ඔහු විශ්වාසය තබා ඇති අයගේ දුෂණය, නාස්තිය සහ අකාර්යක්ෂම තාවය ය. ජනාධිපති ධුරයේ වාර සීමාව ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරනය කිරීම සහ අග්‍ර විනිශ්චයකාරවරියට එරෙහි දෝෂාභියෝගය හැරෙන්නට පුද්ගලික වශයෙන්  ජනාධිපතිවරයා තම නම බේරාගෙන ඇත. මෙම වරද්දා ගැනීම් නිසා ඇතිවූ විශ්වාසය කඩවීම් නිසා රජය දිනාගෙන තිබුණු හොඳ හිත සම්භාරය සෝදාපාලුවට ලක්වීමට පටන්ගෙන ඇත.  දැනට මතුවී ඇති `ඒකාන්ත’ ව්‍යාපාරයට හේතුව මෙම අවිචාරවත් ක්‍රියාවල විපාකය වන අතර කල් යත්ම ජලය තවදුරටත් බොරවීම නිසා මැනවින් සංවිධානයවූ එක්සත් කණ්ඩායමක් පරාජය කිරීම දුෂ්කර කාර්යයක් වන්නට  පුළුවන.  ශේක්ස්පියර් කීවාසේ, අපේක්ෂාවන් ලබා ගැනීමට සීමාව ඉක්මවා උඩපැනීම නිසා මුනින් වැටෙන්නටත් ඉඩ තිබේ.

එහෙත් ජනාධිපතිවරයාට තවමත් ප්‍රතිවාදීන්ට එරෙහි උපක්‍රමික පියවරක් ගැනීමට අවස්ථාවක් තිබේ. එනම්, තම වාමාංශික ඇමතිවරුන්ගේ උපදේශය පිළිගෙන,  `ඒකාන්ත අපේක්ෂකයා’ ජයගැනීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ විරුද්ධ පක්ෂ සැලැස්මට යටින් වල කැපීමය. වෙනස් වන වාතාවරණය යටතේ තුන්වැනි වාරයක් දිනාගැනීමට පැහැදිලිවම ඉඩක්  නැතැයි පිළිගන්නේ නම් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ජනාධිපති විසින්ම පිහිටුවා ලිබරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරවා ගෙන, දහඅටවැනි සංශෝධනයේ ඒකාධිකාරී ලක්‍ෂණ වලින් තොර වාතාවරනයක තරඟයට ඉදිරිපත් විය හැක.   ඒකාධිපති මාවත වෙනස් කිරීමත්, කැමැත්තෙන්ම බලය අත්හැර දැමීමත් නිසා විශාල ජන අනුකම්පාවක් දිනා ගැනීම තුලින් සිහින ලෝකයකට යාමට ගත් උත්සාහයට සමාව ලැබෙනු ඇත. අතීත අප්‍රසන්න මතකයන් මකා දැමීමත් සමග එළඹෙන මැතිවරණයකදී ඔහුට විරුද්ධව ඉදිරිපත්වන කවරෙකුටත් වඩා ඉහලින් කැපී පෙනීමට හැකි වනු ඇත.

මේ අනුව ජනාධිපතිවරයාට විකල්ප දෙකක් ඇත. පළමුවැන්න, හමා එන කුණාටුව නොසලකා,  `ඒකාන්ත  අපේක්ෂකයෙකුට’ විරුද්ධව එන ජනාධිපතිවරණයේදී තුන්වැනි වාරයක් සඳහා තරඟ කිරීම ය.  අනිත්  විකල්පය නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් මගින් අපකීර්තියට ලක්වී ඇති ඒකාධිකාරී ජනාධිපති ධුරය අහෝසි කොට පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දීම මගින්    ` ඒකාන්ත  අපේක්ෂක’ ව්‍යාපාරයේ පදනම කඩා බිඳ දැමීම ය. දේශපාලන උපක්‍රම වල හසලයෙකුවන ජනාධිපතිවරයාට මීළඟ පියවර ගැන ඔහු විසින්ම තීරණයක් ගැනීමට  අවශ්‍ය තීක්ෂණ බුද්ධිය තිබේ.  මෙය සූදුවකි. ඉන් පරාජයවීම දශක කිහිපයක් තුල දේශපාලන භූමිකාව ආලෝකවත් කළ කෙනෙකුගේ ගමනක අවසානය විය හැකිය. දියවන්නාවේ රජ කිරීම, ගරා වැටෙන ජනාධිපති නිවස දෙස දුර්මුඛව බලා සිටිනවාට වඩා තෘප්තිකර ආස්වාදයකි.

*CT උදෙසා පරිවර්තනය කළේ හේමකිර්ති දිසානායක

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.