26 April, 2024

Blog

උගතුන්ට ආයාචනයක්: දුහුනන් දැනුම් සඳහා ‘සංස්කෘතිය’ නඟා සිටවමු

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

සෝමපාල ගුණධිර

“සංස්කෘති” සඟරාව නමින්වත් නෑසූ, අකුරු කළ අයෙකු අප අතර ඇතැයි මම නො සිතමි. ඒ ප්‍රකාශනය ආරම්භ කරන ලද්දේ එවක ලංකා විශ්වවිද්‍යාලයෙන් බිහි වූ උද්යෝගශිලී තරුණ කණ්ඩායමක් විසිනි. “සංස්කෘතිය” සාරගර්භ, කාලින, ගවේෂණ සඟරාවක් බවට සිඝ්‍රයෙන් පත්වුයේ එය නඩත්තු කිරිම සඳහා තමන්ගේ කාලය පමණක් නොව සීමිත අදායම ද යෙදවූ ඒ ක්‍රියාකාරීන්ගේ කැපවීමත් ඔවුන්ම ලියූ ලිපිත් නිසා ය. කාලයත් සමග අපේ විශ්වවිද්‍යාල සංඛ්‍යාවෙන් වැඩුනත්, එබඳු ජනහිතකාමී ව්‍යාපෘති ඒවායින් මෙතෙක් බිහි නො වීම අභාග්‍ය සම්පන්න ය.

මට “සංස්කෘතිය” ගැන අසන්නට ලැබුණේ රැකියාවක් කරන, තරුණ අපේක්ෂකයෙකු වශයෙන් මා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධියකට සුදානම් වෙමින් සිටි අවදියේ ය. මගේ එක විෂයක් වූ ව්‍යවස්ථා නීතිය උදෙසා මම වුල්සි හෝල් ආයතනයේ දුරස්ථ පාඨමාලාවක් උපයෝග කරගතිමි. ප්‍රාචීන භාෂා පිළිබඳ අනිත් විෂයන් දෙක ස්වෝත්සාහයෙන්ම ඉගෙනගන්නට මට සිදුවිය. එවක මා බඳු බාහිර ශිෂ්‍යයන්ට සහාය විය හැකි දේශීය පෞද්ගලික ආයතන තිබුණේ නැත. එබැවින් මම මගේ විෂයන්ට අදාල එකම විවෘත පුස්තකාලය පිහිටි, කොළඹ කෞතුකාගාරයේ සෑම සති අන්තයකම පොත් කියෙව්වෙමි. කෞතුකාගාර පුස්තකාලයේ ප්‍රාචීන භාෂා පිළිබඳ පොත් රාශියක් විය. එහෙත් එහි භාෂාවට හා සංස්කෘතියට අදාල කාලින නිබන්ධන විරල විය. මා “සංස්කෘතියට” යොමු වුණේ ඒ අඩුව පිරිමහගන්නට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි.

මා විශේෂ සිංහල උපාධියක් ලබාගෙන, සිවිල් සේවා විභාගයට සුදානම් වන අවදියේ, මගේ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවයන් උකහාගන්නට මට පිහිට වුයේ තරුණ පුරෝගාමීන්ගේ ගවේෂණාත්මක ලිපිවලින් පෝෂිත වූ “සංස්කෘතිය” යි. සිංහල භාෂාවට හා සංස්කෘතියට පමණක් සීමා නො වූ ඔවුන්ගේ ලිපි නිදහසෙන් පසු ඉස්මතු වෙමින් තිබුණු ආර්ථික හා සමාජ ප්‍රශ්නවලට ද යොමු විය. අමරදාස වීරසිංහයන් විසින් ලියවුනු, “රුපියල් සත වලට සීමා වූ සිංහල සංස්කෘතිය” එබඳු එක ලිපියක් විය. ඒ ලිපියෙන් ආභාසය ලබා මා රචානය කළ, “කදාමිණි” නාට්‍ය පිටපතට 1956 වර්ෂය සඳහා පිරිනමන ලද, සිංහල නාට්‍යමණ්ඩලයේ සම්මානය හිමි විය.

“සංස්කෘතියේ” ස්වර්ණමය යුගය මෙරට හා පිටරට නියුක්තීන් සඳහා සමාරම්භකයන්ගේ නික්ම යාම සමගම කෙළවර වී, ප්‍රකාශනය ඇනහිටියේය. රැඳී සිටි අනුග්‍රාහකයන් කීපදෙනාගේ උත්සාහය නිසා නෑවතත් එළිදැක්වුණු සඟරාව, යළිත් නො පෙනී ගියේය. නවතම තත්වය නම් තවමත් අප අතර සිටින “සංස්කෘතියේ” යාවජීව කැපකරුවන් කීප දෙනා, තම වයස ද අභිබවා, කාලයෙන් හා ධනයෙන් කරන ලද පරිත්‍යාග නිසා, නැවතත් සඟරාව කියවන ලෝකයට පැමිණීම යි.

මා ද නව “සංස්කෘතියට” දායක වූ නමුත්, ස්වේච්ඡාවෙන්ම සාරගර්භ ලිපි සපයන්නන්ගේ අඩුව නිසා ප්‍රකාශනය ගුණාත්මකව පිරිහී ඇති බව දැක දුර්මුඛ වීමි. එහෙත් මගේ දායකත්වය ප්‍රතිලාභයක් නැති සේවයක් සේ පත්වාගෙන ගියේ, ජාතියේ ඥානපදනම ප්‍රසාරණය කරන්නට ඉන් විශාල සහභාගිත්වයක් ලබාගත හැකි බවට මා තුළ වූ විශ්වාසය නිසා ය. මම ඒ කලාප උඩින් පල්ලෙන් කියවා, මගේ පොත්ගුලට ඇතුළු කිරීම අනවශ්‍ය ය යි තීරණය කෙළෙමි. බොහෝ විට අලුත් කලාප පුරවන්නේ පෙරැත්ත කොට ලබාගත් ලිපිවලින් හා පරණ තැටිවලින් බව ප්‍රත්‍යක්ෂ විය.

මේ අතර 2014 නොවැම්බරයේ පළ වූ 24 වන කලාපය මගේ තක්සේරුව අභියෝගයට පත් කොට, එහි සන්දර්භයට මගේ අවධානය යොමු කළේය. සිංහල සාහිත්‍යය පටන් කොට දර්ශනය, මානවවිද්‍යාව, සමාජවිද්‍යාව හා කලාව සම්බන්ධ වූ ලිපි ගණනක් එහි පළව තිබිණ. කොළඹ, කැලණිය විශ්වවිද්‍යාලයන්හි අනුයුක්ත අලුත් විද්වතුන් විසින් එය ආලෝකමත් කොට තිබිණ. කලකට පසු පළමු වරට මම සඟරාව කවරයෙන් කවරයට කියවා, මගේ පොත් රාක්කයක තැන්පත් කෙළෙමි. ඒ කලාපයේ ද සංවිධානය පිළිබඳ එක අඩුවක් මම දිටිමි. එය බුද්ධිගෝචර රචනා එකතුවක් වුවත්, නඩේ ගුරෙකුගේ අඩුව නිසාදෝ, එහි තේමාවක් හෝ සම්බන්ධීකරණයක් නො විය. ඒ නිසාම දෝ කර්තෘවාක්‍යය ද විසිරුණු ගතානුගතික එකක් විය.

2015 මැයි මස පළ වූ අලුත්ම කලාපයේ, ඒ අඩුව ද පිරිමසා තිබෙනු දකින්නට ලැබීම සතුටට කරුණකි. ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා නමින් හැඳින් වූ තනි සම්බන්ධීකාරකයෙකු එහි විද්‍යමාන විය. හැඳින්වීම තුළින් ඔහු කලාපයට යොමුවක් දී තිබුණු අතර, ඔහුගේ ම සාරගර්භ ලිපියක් ද එහි පළ වී තිබිණ. සඟරාවට ලිපි සැපයු, කීප දෙනෙකුම ඔහුගේ බුද්ධිමය ආභාෂය ලද්දන් බව පෙනී ගියේය. එහෙත් බැලූ බැල්මටම එක අඩුවක් ඇස පෑරීය. මුල් කලාපයන් වසා සිටි, සිංහල භාෂාවට අදාල අද්යතන ප්‍රශ්න සාකච්ඡා කරන ලිපි, එහි වුයේ එකක් පමණි. ඒ ව්‍යතිරේකය මහාචාර්ය අසෝක ප්‍රේමරත්න විසින් ලියන ලද “භාෂණ සිංහලය ප්‍රමිතිකරණය” නමින් වූ රචනය යි. ඒ ක්ෂේත්‍රය යටතේ පළ වූ අනිත් ලිපි දෙක තෝරාගන්නට ඇත්තේ ඉඩ අහුරන්නට විය යුතු ය. මුලින් පළවූ අවස්ථාවේ ඒවා කාලීන රචනා වන්නට ඇතත්, වර්තමාන ප්‍රශ්නවලට ඒවායේ අදාලත්වය සීමිත විය. එදා මෙදා තුර, සිදු වී ඇති විපර්යාස බොහෝ ය. අවශ්‍ය වන්නේ ඒවාට ගැලපෙන විසඳුම් ප්‍රචලිත කිරිම යි.

සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයෙහි ඒ අඩුව පිරිමසන්නට උපරිම සුදුසුකම් ඇත්තේ විශ්වවිද්‍යාලවල සිංහල අංශයන්හි නියුක්ත විද්වතුන්ට ය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල පීඨයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් සඟරාවේ නඩත්තුව සඳහා මුදලින් කර ඇති අනුග්ග්‍රහය ප්‍රශංසනීය ය. එහෙත් සිය කෘතියේ නමවත් නිවරදව ලියන්නට, භාෂා ඥානයක් නැත්තෙකු විසින් අභව්‍ය, සුලභ, ටෙලිනාට්‍ය මාලාවක් නවකතාවක් සේ ඉදිරිපත් කළ කෘතියකට ස්වර්ණ සම්මාන පිරිනැමීමෙන්, අපේ සාහිත්‍ය විචාරකයන් සාහිත්‍ය හරපද්ධතියට කරන විනය පිළිබඳව එතුමා හෝ එතුමාගේ සහචරයෙකු විසින් ලියන ලද ලිපියක් එමෙන් දහස් ගුණයක් වටිනු ඇත. කොළඹ හා කැළණි විශ්වවිද්‍යාලයන්හි අචාර්ය සඳගෝමි කෝපරහේවා හා මහාචාර්ය අසෝක ප්‍රේමරත්න වැන්නවුන්ගේ සහභාගිත්වය නිසා “සංස්කෘතියේ” ඉදිරි ගමනට ඉමහත් රුකුලක් ලැබී ඇති බව ප්‍රත්‍යක්ෂ ය. “සංස්කෘතියේ” නිජබිම වූ පේරාදෙණියෙන් එක ද රචානයක්වත් නො තිබීම කැපී පෙනේ.

මා සඟරාවේ ආරම්භය, මෙතෙක් ආ දුෂ්කර ගමන හා දැන් තත්වය විස්තර කළේ පහත සඳහන් කරුණු තහවුරු කිරිම සඳහා ය.
1. අපේ මතු පරම්පරාවේ දැනුම වැඩුම අපේ පරම යුතුකමකි.

2. මේ සේවය විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ නැතිබැරි පවුල්වල, ඉංගිරිසි නො දත් දරුවන්ට ය.

3. ඒ අඩුව පිරිමැසිය යුත්තේ සමාජ, ආර්ථික, භාෂා හා වෙනත් ක්ෂේත්‍රයන්හි සිදු වන වර්ධනයන් ඔවුන්ට හඳුන්වා දෙන සාරගර්භ ප්‍රකාශන නිකුත් කිරීමෙනි.

4. ඒ දැනුම් පදනම පෝෂණය කිරීමට දැනටමත් අප සතු ආයුධය “සංස්කෘතිය” යි.

5. ඒ සඳහා සඟරාවේ බුද්ධිමය හා ආර්ථික පදනම ශක්තිමත් කළ යුතුව ඇත.

6. නැගී ඒන ජාතික ව්‍යාපාරිකයන් මුද්‍රණ පිරිවැය සපයතැයි බලාපොරොත්තු විය හැකි අතර, වඩා වැදගත් අවශ්‍යතාවය වන්නේ සීඝ්‍රයෙන් වැඩෙන දැනුම් සම්භාරය නො කඩවා සඟරාවට සැපයීම යි.

7. ප්‍රත්‍යක්ෂයෙන්ම, ඒ සැපයීම උපරිමයෙන් කළ හැකි, කළ යුතු, නියම සුදුස්සෝ අපේ විශ්වවිද්යාලවලට අනුයුක්තව සිටින උගත්තු ය.

8. මව්බිමෙන් තමන්ට ලැබුණු අනුග්‍රහයන්ට කළගුණ සැලකීමක් වශයෙන් ඒ සහයෝගය දැක්වීම ඔව්න්ගේ පරම යුතුකමකි.

මේ පදනම මත පිහිටා, අපේ මතු පරම්පරාවේ උන්නතිය සඳහා “සංස්කෘතිය” නඩත්තු කර නඟා සිටුවන්නට පහත සඳහන් ක්‍රියාමාර්ගය යෝජනා කරමි..
I. අදාල සෑම විශ්වවිද්යාලයක්ම නියෝජනය වන සේ පාලක මණ්ඩලයක් පිහිටු වීම

II. අනාගත කලාප සඳහා තේමාව, ක්ෂේත්‍රය හෝ වෙන යම් පදනමක් මත මණ්ඩලය විසින් සැලැස්මක් සම්පාදනය කිරීම

III. මතු එන කලාප සඳහා ඒ ඒ විශ්වවිද්‍යාලයෙන් සංස්කාරකයෙකු තෝරා ගෙන ප්‍රකාශනය පිළිබඳ වගකීම සම සේ බෙදා හදා ගැනීම. මෙසේ කිරීමෙන් කාර්යභාරය පෘථුලව බෙදී යනවා පමණක් නොව, සෑම ආයතනයක්ම කරළියට ඒමෙන් ධනාත්මක තරගයක් ද ආරම්භ වනු ඇත.

IV. සෑම විශ්වවිද්යලයකම නියෝජිතයාගේ වගකීම වන්නේ, තම ආයතනයට පැවරෙන වැඩකොටස උපරිම මට්ටමෙන් ඉටුකිරීමට වගබලාගැනීම ය.

V. මේ වැඩපිළිවෙළ නිසා මෙතෙක් තනිතනිව ක්‍රියාත්මක වූ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය නමෝවිත්තියෙන්, සාමූහිකව, ජාතික ප්‍රයත්නයකට යොමු වනු ඇත.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී, තවමත් අප අතර සිටින “සංස්කෘති” සඟරාවේ පුරෝගාමීන්ට කළ හැකි උදව්වක් තිබේ. එනම් අලුත් සැලැස්ම කඩා වැටෙන්නට ඉඩ නො දී, පෙරටම ගෙන යා හැකි, කාර්යසාධනයට නමක් ගත්, සූරයෙකු තෝරා පත්කර ගැනීම යි. ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතිනු ඇත්තේ මේ සූත්‍රධාරියා අත ය. විශ්වවිද්‍යාලවල හා වෙනත් උගතුන්ගේ ආයෝජන කලට වෙලාවට ලබා ගන්නා අතරම, සඟරාවේ නඩත්තුව සඳහා ජාතිහිතෛෂී දානවන්තයන් පොළඹවා ගැනීම හා මුද්‍රණ සම්බන්ධීකරණය ඔහුට භාර ය. ව්‍යාපාරිකයන්ගේ ආයෝජනය දැන් ඔවුන් ප්‍රචාරය සඳහා කරන වියදමෙන් සොච්චමක් වනු ඇත. ප්‍රාදේශීය පාලන හා අධ්‍යාපන, සංස්කෘති අමාත්‍යංශ වැනි ආයතන හරහා සඟරාව බෙදා හැරීමේ ජාලයක් සංවිධානය කිරිම ද අත්‍යවශ්‍ය පියවරකි.

විශ්වවිද්යාලයන්ගේ සහභාගිත්වය නිසා, ශීග්‍රයෙන් පෝෂණය වන, “සංස්කෘතිය” නො බෝ කලකින්ම “හාවඩ් රිවිව්” සඟරාව බදු හරබර ප්‍රකාශනයක් වේවා යි ඉතසිතින් පතමු.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.